Sunday, December 26, 2010

මිතුරේ සයුරු රළතෙම


ඈත දියඹේ අහස සිඹ
ඉකිරි කවඩි අරගෙන
තාලෙන් තාලෙට රැළි නගා
වෙරළට එන

පුංචි පැටව් කැනූ අගල්
කිරිසුදු පෙනින් පුරවන
වැලි මාලිගා බිමට හලා
ඔච්චම් කරන

වෙරළේ වැලි තීරය
සිත්සේ තෙත් කර
රන් පැහැ රටා දමා
ඔපවත් කරන

ලොකු පොඩි සැම
මද නලින් පිලිගෙන
හිතේ දුක රූරා අරගෙනා
සිතිජයේ හලන

මිතුරේ සයුරු රළතෙම
ඉඳහිට සැර වෙන
නිවී ඈතට යනෙනා
දිවි රැකදෙන

කෝපවෙන්ට එපා කිසිදින
ඔදතෙද පිරි නුඹේ පව්ව අබිමුව
කුහුඹුවනි අපි වූ අසරණා
වරක් පෑගුන




සුනාමි ඛේදවාචකයේ සයවන වසර සිහිකරමින් ...
නිල් සයුර අප මිතුර අරන් ඇවිදින් පුංචි රළපෙළ ලස්සන කරනු මැන අපේ වෙරළ
කෝපවෙන්ට එපා කිසිදින

Wednesday, December 22, 2010

ලස්සන සමනළයා


රැඳෙන්නට ඉඩදුන්
පතක එල්ලුන
බිජුවකින් එළිදැක
පතම කා
ගසද වනසන
දළබුවා
හැංගිලා කුටියක
හැඩවෙලා
තටුලබා ඉගිල යයි
ලස්සන සමනළයා

Saturday, December 18, 2010

පාලමේ හැඩ


උස් පහත් පොළොවක
එතෙර මෙතෙර තැනින් තැන
සිරසට එසවුණ මහ කුළුණු
තිරසට යාකර තැනෙන පාලම
දෙපැත්තක අත්වැට

කුළුණු අතරින් ගලන
දිය දහර මද පවන සැඩ සුලඟ
ඔරු පාරු මහ නවුකා ද
පාලම උඩින් පේලි සැදී
යති එති රිය පෙරහැර

කුළුණු පාමුල රොක්වෙන රොඩු
පොළෝ තලයේ වෙනස්කම්
කුළුණක පිහිටුම සවිබලය
වෙනස් කළොත් හැඩය
වෙත් ද පාලමක්...

Tuesday, December 14, 2010

හරය

මොරදිදී දෙසන
අඩු වැඩිකොට
බෙදා ගුණකර
උනුනටම
වාසි ගෙනෙන සේ
සකසන
අගය

Saturday, December 11, 2010

සිසිරයේ තනි වූ


සිසිරය ලඟ එතැයි
විහඟුන් රෑනින් ඉඟිල ගියා
හිම කැටි බරැතැයි
ගස් කොළ සැලුවා
හිම පොඩි දියවෙතැයි
හිරුත් ඈතට වෙලා
අඳුර නුඹ වෙළතැයි
හිමතරින් එඹී බලා
පහන්ටැඹ සැරසෙතැයි
මද එළියක් විහිදලා


මෙ ඡායා රූපයෙන් දැක්වෙන්නේ 2010 නොවැම්බර් 30 දා ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් නුවරට ආසන්න ෆ්ලෙඩ්බර්ග් කදුකර ප්‍රදේශයේ අධික හිමපතනයෙන් වැසීගිය දසුනකි.

ඡායා රූපය දුටුවිට සිතුනේ; ඇති හැකි පුලුවන් උදවිය හිම වැටෙන්නට කලින් යන්න ඇති...
ඡායා රූපය: AP Photo

Wednesday, December 8, 2010

එපා හලන්නට හිම සළුපට


නීල අහසේ
ඉහළට නැග
සිපගෙන වළාපෙළ
පැලැඳි හිම සළුපට
එපා හලන්නට
කෝප වී
වස්සා
මොර සූරන වැසි
යටකරන පහත්බිම
වෙසෙන අසරණයින්
නැහැ කලේ වරදක්
උත්සන්නට
රසදිය කඳ

Thursday, December 2, 2010

විකි ලීක්ස්


ලෝ ජන බලවත් කරනට පෙනීසිටි පෝතකයා
කීකරු රැල සුරකින්නට නූල් ඇදි පුරෝහිතයා
ලොවටම මාත්තරා දෙන ඇස්බැන්ඳුම් දේශකයා
උඩු සුලඟට නිරුවත් වෙලා බූවලු චරපුරුෂයා

කොළටික කපා කඹ අග ඉන්නා උනට දියව්
කාන්දුවට පොරොප්ප බටයෙන් කපා ගනිව්
අනුනට දුන් විරේක සැර තොපත් අත්විඳ බලව්
ලැජ්ජා ඇතොත් මින්මතු ඔත්තු නොබලා ඉඳිව්


English Version: Shameful Diplomacy – WikiLeaks published in
Amazing Spring blog

Monday, November 29, 2010

ඔබේ රිද්මය මගේ රිද්මය


දුවලා අහුමුලු හැම තැන
දුබලා ආ එක් කර ගෙන
විදලා පෙනහළු මානෙ යවන
සලනා විඩාව දුරුලන පවන
පිලිගෙනා බලැති රුහිරු

හැකිලී විසිරෙන විසිරී හැකිලෙන
ලබ් ඩබ් හඬ ඇති කරමින
බෙදලා යවන හරි හරියට ජීවය දෙන
විශ්මිත පුංචි පොම්පය හදවත මම

මොහොතක විරාමයක් නැති
නුඹ දුවන්නේ කොහොමද
මහන්සියක් නැතිවා මගේ සකි
රැකගෙන රිද්මය හරි හැටි

මග බලනා ලොකු පොඩි අය එමටයි
ඇදෙන්නට දුර බෝමයි
පමාවුනොත් මැලවෙනවා නිසැකයි
විරාමයක් ගන්නට බෑමයි

මෙතුවක් කල් මට අත දුන්න
තවත් කලක් මට අත දෙන්න
මල් පොඩි අතු අග ලෙලදෙන්න
ඔබේ රිද්මය මට රැක දෙන්න

මග තොට බාධක මතුවීම
මා වෙහෙසන බලපෑම
පොඩ්ඩක් වෙහෙසී එය වලකන්න
මගේ රිද්මය ඔබ රැක දෙන්න

ප.ලි:
පද කාණ්ඩ හදවත හා පුද්ගලයා අතර දෙබසක් හැටියට ඉදිරිපත්කර ඇත. පලමු කාණ්ඩ දෙක හදවත තමුන් ගැන ද එතැන් සිට මාරුවෙන් මාරුවට පුද්ගලයා හා හදවත අතර සිදුවන සංවදයයි.

Thursday, November 25, 2010

කට රතු


බුලත් කොළය පිරිමැද
පුවක් දුම්කොළ
හුණු ඇබින්දක් එක්කර
හැකි පුලුවන් උදවිය
කරදමුංගු වසාවාසිත් ගෙන
රස කර හපමින
චුරුස් ගා විද විද
පැල්ලම් ඇති කර
හපය ඉවතලන
වියැකෙන තුරු පැහැය
කට රතු දොඩවන

Monday, November 22, 2010

නිවුටන් ආපහු එන්න


බලයට ප්‍රතිවිරුද්ධ බලයක්
දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවක්
ඇත් ද බලන්න

වැටෙන්නේ ආකර්ෂණය
උඩ යන්නේ හෑල්ලුව
හින්ද ද බලන්න

මත මිටිකර පසෙකලා
ඔළුව සැහැල්ලුවෙන්
නියුට්‍රල් වී එන්න


සටහන:
ශ්‍රීමත් අයිසැක් නිව්ටන් කි‍්‍ර. ව. 1642 සිට 1727 දක්වා කාලය අතරතුර බි‍්‍රතාන්‍යයේ ජීවත් විය. සුප‍්‍රසිද්ධ ඇපල් ගෙඩියේ කතාව නිසා පාසල් යන කුඩා දරුවන්ට වුව ද ඔහුගේ නම හොඳින් හුරු පුරුදු ය. නිව්ටන් තමන්ට අයත් ඇපල් වත්තක වාඩි වී සිටියේ ය. හදිසියේ ම ගසකින් ඇපල් ගෙඩියක් බිමට වැටෙනු දැක, ඒ ඔස්සේ කල්පනා කරමින් ගුරුත්වාකර්ෂණ න්‍යාය ලොවට හඳුන්වාදීමට තරම් හේ තියුණු පරිකල්ඵනා ශක්තියක් ඇත්තකු විය. එසේ ම විශ්වයේ කොතැනක හෝ පවතින වස්තුවක සිදුවිය හැකි චලිතයේ ස්වභාව විස්තර කැරෙන නියමයන් තුනක් ද නිව්ටන් විසින් ඉදිරිපත් කරන ලදී. අප කවුරුත් දන්නා ඕනෑම කි‍්‍රයාවකට සමාන හා ප‍්‍රතිවිරුද්ධ වූ ප‍්‍රතික‍්‍රියාවක් ඇත. යන නියමය නිව්ටන් ගේ එම නියමයන් තුනෙහි තෙවැන්නයි... වැඩිදුර කියවන්න
සටහන උපුටාගත්තේ/මූලාශ්‍රය: "http://www.danuma.lk"

Thursday, November 18, 2010

කාසි ගහ

දහසක් බලාපොරොත්තු කරපින්නාගෙන රන්මසු සොයා මැදපෙරදිග රටක රැකියාවට එන ධනපාල තවත් සොච්චමක් සොයාගන්න කාෂ්ඨක පරිසරය සමඟ ඔට්ටු අල්ලයි... (කාසි ගහ කෙටිකතාව)

අද නම් හරිම රශ්ණෙයි, 48ත් පැනලා ඇති.

නැගිට්ට ගමන්ම කවුළුව ලඟ බිත්තියට හේත්තු වෙලා ඇල් වතුර ජොග්ගුව බඩට හිස්කර ගත් ධනේ ඔහුටම කියා ගත්තා. රෑ වැඩමුරය ඉවර වෙලා කාමරයට ඇවිත් උදේ පැය හතරක් විතර නිදා ගත්තේ එකොළහමාරටවත් එළියට යන්න බලාගෙන.

ධනපාල වැඩකරන්නේ පෞද්ගලික ඉස්කෝලෙක පිරිසිදු කරන්නෙක් හැටියට. ලංකාවෙන් ආපු දවස්වල පටන් මාස අටක් විතර වැඩකලේ උදේ වරුවේ, ඒ වැඩේ නම් ලේසියි. උදේ හයට ගියාම හවස හතරහමාර වෙනකොට කමරේට එන්න පුලුවන්.

කුමාරයි, චන්දරෙයි, රාජුයි ඇරෙන්න තවත් නේපාල්කාරයින් තුන්දෙනෙක් ධනපාලත් එක්ක එකම කාමරේ ඉන්නේ. වැඩ ඇරිලා ඇවිත් අනික් කට්ටිය වගේ ටී.වී. එකේ ඉන්දියන් චැනල් වල චිත්‍රපටි බලමින් කාලය කා දාන්න ධනේට හිත් දුන්නේ නැහැ.

ටිකක් ඇවිදලාවත් පී.ටී. එකක් දෙකක් හොයාගන්න පුලුවන් නම්... කියලා හිතලා වැඩ ඇරිලා ආපු ගමන් දවස් කීපයක් කාමරෙන් ගියත් සති මාස ගනන් ගෙවිලා ගියේ මොකුත්ම හොයාගන්න බැරිව.

වෙන නම් පී.ටී. හොය හොයා කාලය නාස්ති කරලා හරියන්නේ නැහැ... කියලා හිතූ ධනේ දවසක් ටවුන් එකේ අතුරු පාරක් දිගේ ඇවිද ගියේ වාහන වලට බඩු පටවන්නවත් හිත හදා ගෙන. ලීටර් එකහමාරේ වතුර බෝතලයක් ෂොපින් බෑග් එකේ දාගෙන ඉස්කෝලෙන් අහුල ගත් අයිතිකාරයෝ නැති තුවා පොඩ්ඩත් අතේ අරන් පැය තුනක් විතර ඇවිද්දා.

ටවුන් එකේ තැන තැන පොඩි පිකප් ට්‍රක් පාර්ක් කාරලා තිබුනා, ඒ හැම එකක් ගාවම සද්ධන්ත පටාන් කාරයෝ රොක් වෙලා හිටියා. එන කට්ටිය වාහනේ කතාකරන් අරන් ගියේ හයර් එකට වෙන්න ඇති. අසල සිටි කට්ටියෙන් දෙන්නෙක්වත් අඬගහගෙන ගියා.

මෙතැන නැවතිලා බලමු... කියලා හිතන් ධනේ ටිකක් ඈතට වෙන්න කාර්ඩ්බෝඩ් කෑලක් පේමන්ට් එකේ එලලා වාඩි වුනා. එදා පැය ගානක් බලා ඉඳලා රෑවෙලා නිකම්ම කාමරේට ආව.

පහුවදා හවසත් එතැනට ඇවිත් ටික වෙලාවක් වාඩිවෙලා ඉඳ පටාන් ඩ්‍රයිවර් කෙනෙක්ට ලංවෙලා ඇහුවා "බායි කාම් හේ..." (සහෝදරයා වැඩ තියෙනවයි ) ඒකා බඩ අල්ලාගෙන හිනාවෙන්න පටන් ගත්තා... මොන මොනවදෝ ඒකාගේ බාසාවෙන් කිව්වා. ධනේට තෙරුනේ "පයිලුවාන්" කියපු වචනය විතරයි. ඒකා හිනාවෙලා ඇත්තේ මං වගේ කෙට්ටු එකෙක් කොහොම බර උස්සනවද කියලා වෙන්න ඇති.

වෙන මෙතැන ඉඳලා හරියන්නේ නැහැ. ලඟ තිබුණ කේරල රෙස්ටුරන්ට් එකෙන් පරෝටා එකයි සුලෙමානි එකයි අරගෙන කකුල් දෙක රිදුම් දෙනකම් ඇවිද්දා... කාමරය තියෙන දිසාවට.

ඒ අතර තුර මතකයට ආවේ ඊයේ ගෙදරින් ආ ලියුම. නංගි අලුත් පන්තියකට යන්න ඕනලු. අයියා කියනවා පොඩි එකාගේ කැස්ස අඩුවක් වෙන්නේ නැති නිසා ලොකු දොස්තර මහත්තයාව ටවුන් එකේ ප්‍රයිවෙට් එකේ චැනල් කරලා පෙන්නන්න ඕනලු. ඊලඟ පඩියට දවස් හතරක් තියෙනවා, ගෙදර වියදමටයි අනික් දෙවල් වලටයි සල්ලි යැව්වාම ඉතිරි වෙන්නේ දිර්හම් විසිඅටයි. ඒකෙන් මං කොහොම ජීවත් වෙන්න ද?

මදැයි කාමරයේ දිහාත් පහුවෙලා නොවැ... දහඩියෙන් තෙතබරිත වූ තුවා පොඩ්ඩ දෑතින් මිරිකලා මූණ පිහදාගනිමින් කමරය පිහිටි පරන ගොඩනැගිල්ල පැත්තට ආපසු ගමන් කරන්න පටන් ගත්තා.

ඇවිත් කාමරයට ගොඩවුනා. අනිත් උන් කට්ටියම රවුම් ගහන්න ගිහින්, ෂොපින් මෝල්වල රවුම් ගහලා මොනවහරි කාල ඇවිත් නිදා ගන්න එක නොවැ උන්ගේ වැඩේ. දොස් කියලා වැඩක් තියෙයි, උන්ගේ ලැබීම.

කිරි කිරි ගාන කරාමෙ ඇරලා ඇඟ පිච්චෙන පයිප්ප වතුරෙන් නාගත්තේ ඉස්කෝල් බාත් රූම් වලට තියන්න දෙන එකෙන් ඉතුරු කරගත් සබන් කැටයකින්.

උඩ ඇඳේ කකුල් වල වයර් ඇදලා දාල තියෙන තිරය ඇදලා දාගෙන කට්ටිය ආපහු එන්න කලින් ඇඳට වැටුනත් නින්ද අහලකවත් නැහැ.

ගෙදර කාටවත් තේරෙන්නේ නැති එක නොවැ පුදුමේ. මං කොහෙන් කියලා සල්ලි හොයන්නද? නංගිවත් හොඳට ඉගෙන ගනිපුවාවි. පොඩි එකාට තවමත් හොඳ නැතිනම්... ධනේගේ ඇස්වලට කඳුලු පැන්නේ කලින් ඇතිවූ තරහ තුනීවෙලා ගිහින්. ගෙදර අය වෙන කාගෙන් ඉල්ලන්නද...

අයියා උසස් පෙල කරන්න ටවුන් එකේ ඉස්කෝලෙට ගිය අලුතයි තාත්තා ගහෙන් වැටිලා එක්තැන් වුනේ. ධනේ පෙඩි කාලේ ඉඳන් අත් උදව් දීලා තාත්තා ගේ දෑතේ රස්සාව පුරුදු වෙලා හිටියා. ගෙදර බර කරට ගත් ධනේ ඉස්කෝලේ යෑම නැවත්තුවට ලොකු ඉස්කොලේ මහත්තයා කැමැති වුනේ නැති හැටි අද වගේ මතකයි. අයියා විශ්ව විද්‍යාලෙට යාවි කියන අදහසින් කවුරුත් හිටියත් ඒක එහෙම වුනේ නැහැ. ගෙදර ප්‍රශ්ණ නිසා අයියාට අම්පාර ටෙක් එකට යන්න ලැබුන අවස්ථාවත් නැති වුනා, ලිපිකාර රස්සාවකට ගියා.

ටුවරිස්ට්ලා නැති හින්දා අලිකපන එක නැවැත්තුවා. වඩු වැඩ රස්සාවකට ආවත් ඒජන්සිය මාව රැවැට්ටුවා. මෙනවා කරන්න ද ආපහු යන්නැයි, ඔහේ රස්සාව කරන් ඉන්නවා, ඒජන්සියට ගෙවන්න ගත්තු ණය බේරල ඉවරත් නැහැ නොවැ.

කට්ටිය හින්දි සින්දුවකුත් කියාගෙන කාමරේට පහත් වුනා. ටික වෙලාවකින් කුමාර උඩ ඇඳට නැග්ගා. ඇඳ හෙලවුන පාරටයි ධනේ සිතුවිලි සාගරයෙන් ගොඩ ආවේ.

මෙ කිසි කරදරක් නැහැ මං වඩු වැඩ කරගෙන ලංකාවෙම හිටියා නම්. කෝ කට්ටියම කියුවා මැදපරදිග ආවාම ඒ රස්සාවෙන් හොඳට හම්බ කරන්න පුලුවන් කියලා... මැදැයි කොරා...

කීයට නිදා ගත්තාද ධනේ වත් දන්නේ නැහැ.

හරි මං අතාරින්නේ නෑ...

පහුවදා පුරුදු පරිදි වැඩ ඉවරවලා ටවුන් එකට ගියා. කිසිම අරමුණක් නැතිව යමින් ඉන්න විට "ඩනේ, ඩනේ..." කියලා කවුරු හරි කථා කරනවා ඇහුනා. ඔළුවයි මූණයි තුවායක් වගේ රෙද්දකින් ඔතාගෙන කෙනෙක් බයිසිකලයක ඇවිත් නැවතුනා. ලැගේජ් එකේ කාර්ඩ්බොඩ් මිටියක්. එයා මූන වහලා තියෙන රෙදිකඩ අයින් කලාමයි අඳුන ගත්තේ...

සයිබු... එකපාරටම ධනේට කෑගැසුනේ සතුටින්.

සයිබු බංගාලිදේශ්කාරයෙක්, ධනේ ලගේ ඉස්කෝලේමයි වැඩ කරන්නේ. හැබැයි මිනිහා රෑ වැඩමුරය විතරමයි කලේ. දන්න හින්දියෙන්නුයි ඉංග්‍රීසියෙනුයි කතාකරලා ධනේගේ කතාව කියුවා."නෝ ප්‍රොබ්ලම්, මී හෙල්ප් යූ බයියාහ්" සයිබු කීවා.

බයිසිකලයේ බාර් එක දිගේ ගැටගහලා තිබුන දිග කම්ම්බි කොක්කක් ඇදලා අරන් ධනේ අතට දුන් සයිබු...

“චලෝ…” (යං) කියා එක්ක ගිහින් ලොකු කුණු බක්කියකට එබිලා බැලුවා, “නෙහි" (නෑ) කියලා අනෙකට ගියා. ඒ ලඟම හිස් කාර්ඩ්බොඩ් පෙට්ටි කිහිපයක් තිබුනා. ඒවා ගලවා අඩුක්කු කරන විදිය පෙන්නලා දුන්නා. බක්කිය තුල ඇති පෙට්ටි දෙකක් කම්ම්බි කොක්කෙන් ඇදලා ගන්න හැටි පෙන්නලා දුන්නා. ඉන් පස්සේ ධනේත් එක්ක ගිහින් සුලෙමානි එකක් අරන් දීලා සයිබු යන්න ගියා.

එදා ධනේට විසිකර තිබූ පෙට්ටි අටක් එකතු කරගන්න ලැබුනා. රෑ අටහමාරට විතර සයිබු කී තැනට එක් කර කාර්ඩ්බෝඩ් ටිකත් අරන් ගියා.

කාලයක් ඔය විදියට කාර්ඩ්බොඩ් එකතුකර වැඩිපුර ගානක් හොයා ගත්තා.

ඒ අතර තුර සයිබු සේවා කාලය ඉවරවෙලා බංගලාදේශයට ගියේ කඩයක් දාන්න සල්ලි එකතු කරගෙන.

සයිබුගේ රෑ වැඩ මුරය ධනේට පවරුනා, එයාගේ බයිසිකලයත් ධනේට තෑගි කලා.

උදේ එකොළහට විතර ගියාම හවස අටහමාර විතර වෙනකම් එකදිගටම කාර්ඩ්බෝඩ් ගොඩාක් එකතු කරන්න පුලුවන්. ඒවා රිසයිකල් කොම්පැණියට විකුණනවා. ධනේගේ අමතර රස්සාව ජයයි.

මොන රශ්ණය, සීතල, දූවිලි කුණාටු තිබුණත් ධනේ නෙවේ කාමරයට වෙලා හිටියේ.

අයියා ගෙදර වියහියදම් ඔක්කෝම ධනේ පිටම පටවලා. ඉගෙන ගන්න දක්ෂ නංගී මොනවද සම්බන්ධයක් ඇති කරගෙන රවුම් ගහනවා කියන කාරනය, ගෙදර කට්ටියගෙ අරපිරිමැස්මක් නැති වැඩ ආදිය ධනේට නිතරම හිතට වද දුන්නා.

පමණක් ප්‍රදේශවල කුණු බක්කි ඉවත්කරලා අලුත් ජාතියක් හයිකරලා. ඒ පලාතේ කඩවලින් හම්බ වෙන හිස් පෙට්ටි ටිකක් ඇර කුණු බක්කියේ තියෙන දෙයක් ගන්න විදිහක් නැහැ.

අනික් ප්‍රදේශවලත් කුණු බක්කිත් මාරු කරන්න යන කතාවක් තියෙනවා.ඒ අතර තුර බලාපොරොත්තු නැති විදියට සයිබු ආපහු ඇවිල්ල කියලා ප්ලාස්ටික් නන්දු කිව්වේ.

කල්පනා කර කර ඉඳලා හරි යන්නේ නැහැ. බිත්තියේ එල්ලපු වීදුරුව කැඩිච්ච ඔරලෝසුව දිහා එබිලා බැලුවා. අප්පේ... දන්නේම නැතුව දොලහටත් ලං වුනා. රශ්ණෙයි කියලා බැහැනේ, හවස ලොරියට බඩු දෙන්නත් එපැයි.

ඉක්මනට ලෑස්තිවෙලා යන්න ඕනේ.


කලින් පලකල නන්දුට රෙස්ට් නිර්මාණය මෙ කෙටි කතාව හා සම්බන්ධය.

ආගන්තුක වචන:
දිර්හම් - එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බාවිතා කරන මුදල් ඒකකය
පටාන් - වයඹදිග පකිස්ථාන ප්‍රාන්තයක වැසියෝ, සිරුරින් හැඩි දැඩි බර වැඩ කරන්න දක්ෂයෝ
පයිලුවාන් - යෝධයා, බොඩි බිල්ඩර්
පී.ටී. - පාර්ට් ටයිම් - අමතර ආදායමක් උපයාගන්න (විවේක කාලවලදී ) කරන ස්ථීර නොවන අමතර රැකියාව
සුලෙමානි - ප්ලෙන් ටී
48ත් - ඌශ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 48ත්


ප.ලි:
සීගිරි.කොම් ෆෝරමය පැවැත්වූ සීගිරි සාහිත්‍ය තරඟාවලිය 2010 හොඳම කෙටිකතාව අංශයේ ප්‍රථම ස්ථානය "කාසි ගහ" හිමි කරගත්තේය.

Monday, November 15, 2010

බැංකු කාඩ්


මගේ සල්ලි මට දෙන්න
ලොබ කරන
බැංකුවෙ මසුරු අත...
ඩෙබිට් කාඩ්

නැති සල්ලි මට ගන්න
බල කරන
විසිතුරු මවනා
පඩිපත හූරන
බැංකුවෙ කෑදර හිත...
ක්‍රෙඩිට් කාඩ්

Tuesday, November 9, 2010

දෑතේ මිණි කැට


උදැල්ල රැඳි ගොවිරජු
ලීයට පණ දෙන කැටයම්කරු
කෙන්දෙන් සියුම් දම් ගොතනා රන්කරු
රළු කළු ගල් හැඩ කරනා ගල්වඩු
යකඩ තලා හැඩ මවනා කම්මල්කරු
දහඩිය හෙලා උපයන සම්මානය
දෑතේ මතුවන මිණි කැට
රළු කරගැට

Thursday, November 4, 2010

ජීවන ගමන


දෙකෙළවර යාකරන කෙටි මගකි කෙළින් ඉර.
ජීවන ගමන බොහෝවිට කෙළින් ඉරක් නොවෙන්න පුලුවනි.

ගමනාන්තයට ලඟා වූ තැනැත්තා පමණි දන්නේ
ගෙවා ආ දුර, බාධක මග හැරීමට යායුතු වූ වට වංගු
හා නැග බැස ගිය කඳුහෙල් මිටියාවත් ගැන.

සේන්දු වූ ගමනාන්තය තවත් ගමනක ආරම්භය වෙන්න පුලුවනි.
එහෙත් නොනැවතී ඉදිරියට ඇදෙන්න.
ජීවන ගමන දිගු චාරිකාවකි,
කිසි විටෙක ගමනාන්තයක් නොවේ.



මෙම නිර්මාණය ඉංග්‍රීසි බසින් Long Journey - AmazingSpring Blog හි කියවිය හැකිය.

පතොක් යායට පියනගමු

Sunday, October 31, 2010

සෙවණැල්ල


අඳුර නුඹ
එළිය දකින්නට
වරම් දෙන

සේයාව නුඹ
අඳුරේ ගමනෙදි
ඉදිරියෙන් පියමැන
මග පෙන්වන

සේයාව නුඹ
එළිය දුටු විට
ඉදිරියට යවා
තනියට එන

සේයාව නුඹ
අසලින් හිදින
කලණ මිතුර



පතොක් යායට පියනගමු...

Tuesday, October 26, 2010

පන්හිඳ


වට පියාපතක්
උල් බට පතුරක්
කටු තලයක්
ගිලූ තීන්ත කුප්පියක්
පන්හිඳ

පිර වූ සීමාව
ගලා උල්පතව
පුරවා පත් ඉරු
රැඳි සාක්කුවේ
පන්හිඳ

තුඩ බෝල රැන්දු
උකු තීන්ත පිරවූ
වැඩි වේග කැන්දු
මන සිත් බැන්දු
පන්හිඳ

දැඩි ලෝම තුඩින
සැදි මන රුවින
ඇඳි සිහින් ඉරින
වැඩි සිත් දිනින
පන්හිඳ

පුවරු වේ එබී
ක්ලික් හඬ දිදී
තිරයේ හැඩ ගනී
සුරතේ නොම රැඳී
පන්හිඳ


ඔබ සැමට ඇරයුමක්! පතොක් යායට පියනගමු...

Monday, October 18, 2010

කෙහෙල් මලේ


රුවක් නැතුවට බඹරුන් කැන්දු
පලක් නොවුනිද මන්ජරි රැන්දු

පෙති නැතුවට මුදු සිත් බැන්දු
මති නොවුනිද මීයට මන කැන්දු

පලක් නැතුවට කෙහෙම් මල තෙපලු
මලක් නොවුනිද කෙහෙල් මල පලලු


සටහන:
පල හටගන්නේ පුෂ්පයකින් හෙවත් මලකිනි. එතකොට කෙසෙල්, එයද පලයකි. කෙසෙල් පල හටගන්නේ කෙසෙල් මල් වලින් විය යුතුය. එහෙත් කෙසෙල් මලේ කතාව වෙනස්ය.

අනික් මල් මෙන් නොව කෙසෙල් මලෙහි එක විට හැම පැත්තටම දිගහැරෙන, සිත් ඇඳගන්නාසුළු මුදු පෙති නැත. ඒත් ඒ දිගහැරෙන ගනකමින් යුත් පෙත්තක් කෙසෙල් ඇවරියක් ඇති කරන්න තරම් සමත් මල් සමූහයක් දරයි. උද්භිද විද්‍යාත්මකව ඒ මල් සමූහය වසා සිටිනා පෙත්ත සාමාන්‍ය මලක පහලින් ඇති කොලපැහැ කොටස හෙවත් මනිපත්‍රයක් ලෙස සැලකේ.

ගනකම්, දම්පැහැ පෙතිය පිටතට රෝල්වී දිගහැරෙන්නේ චූටි කෙසෙල් ගැට පේලි දෙකක් පිටතට නිරාවරණය කරමිනි. කෙසෙල් ගෙඩියක් හටගන්නට පරාගනය අවැසි නැතත් බඹර පහස තිළිණ කරන්න අදහසින් වෙන්න ඇති සොබාදහමින් මලේ ඇඟිලිති වල පැණි පුරවා තියෙන්නේ; බඹරුන්, මී මැස්සන්, ලේන් යාලුවෝ ගෙන්වා ගන්න විකල්ප ක්‍රමයක් (මතිය) හැටියට.

කෙසෙල් ඇවරි පලදරන සාරවත් ඇඟිලිති කෙසෙල් ගැට ලෙස පිටතට ගෙනාවාට පසුව කෙසෙල් කැනේ දණ්ඩ දික්වී ඉතිරි නිස්සාර ඇඟිලිති දරන පෙතිවලින් වැසුන කෙහෙල් මුව ඈත් කරන්නේ ඒවා වඳ සේ විද්‍යාත්මකව සලකන නිසාවත්ද? සමාජයේ පවතින ගැහැටකාරී පුරුද්දක ආරම්භය සනිටුහන් කරමින් ද?

ලංකාවේ විවිධ ප්‍රදේශවල කෙසෙල් මල, කෙහෙල් මල, කෙහෙල් මුව කියන නම් වලින් මෙ මල හඳුන්වනවා. ඒ අතරම කිසිදු වැදගැම්මකට නැති දෙයක් හඳුන්වන්න පොදු ජන වහරේ කෙහෙම්මල කියන වචනය පාවිච්චි කරනවා. පමණක් ප්‍රදේශවල කෙහෙම් මල කියන්නේ කෙහෙල් මුව යන්න බව අසා තියේද?

කෙහෙම්-මල කෙසේ වෙතත් සරු කෙසෙල්-මල පල දරන්නකි.

ඉතිරි වන කෙහෙල් මුවය/කෙහෙල් මුහය ද රස කෑමකි.


ඉංගීසි බසින් කෙහෙල් මුවය/කොහෙල් මුහය යන්න Banana Heart යැයි කියැවේ.
ජනවහරේ යෙදෙන කෙහෙල්මල වචනය ගැන සෙවීමේ ප්‍රයත්නය කාලෙකට පසුව උද්භිද විද්‍යාත්මක කෘතීන් කියවීම කරා දිග් ගැස්සුනා.

මීට වඩා වෙන්ස අදහසක් ඇතිනම් කරුණාකර බෙදා ගන්න.

Monday, October 11, 2010

සමනය කරන වෙරළ


හෝ හෝ හඬ දෙවමින
ගෙවා දුර පෙරලා එන රළු රළ
බිඳුනත් හැප්පී ගල් කුළ
අඩුවක් නැහැ පෙන්නන ඔදතෙද
නිහඬව පිලිගෙන
රන්වන් කැට විහිඳුන සිනාවෙන්
කිරිසුදු මුදු පෙණ කර
පෙරලා යවන්නේ කොහොමද
පුරවා දයාවෙන්
සමනය කර අම්මා වාගේ

Friday, October 1, 2010

ජීවය දෙන තුටු කඳුල


විඩාව සෝසුසුම
සමනය කර ගිලිහෙන
කඳුළු බිඳ
වැටී වැව් තලය මත
නැගෙන තරංඟ
හැපී ඉස්සෙන ජල තලය
එතෙර ගල්තලාවේ
හිදැසක රැඳි පස් පිඩක
වැඩෙන පතොක් පඳුරක
ජීව ජල බිඳුව ලබාදී
විකසිත සොම්නස් මල
මතුකරන දිළෙන මුතුකැට
ජීව බලය දෙන


පිදුම:
මැදපෙරදිග රැකියාවල නිරතව කට්ට කාෂ්ඨක පරිසරයක් එක්ක ඔට්ටු අල්ලන
ලක්ෂ සංඛ්‍යාත දිරිය මිනිසුනට ගෞරවයෙන්

Sunday, September 26, 2010

දමක පුරුක් සේ



සිහින් රන් හූයෙන්
ගොතා වියන රටා පිරුණ
දිලිසෙන මාලා කර පලඳන
සවිබල වැඩි කරවන
තඹ කිසිදින නොදිලෙන
කිරන බරට රන් සම සම
සංයෝගය වැරදුනාම
දුබල පුරුක බිඳ දමන
දිලිසෙන වටිනා රන් දම

උතුම් මිනිසත් බවෙන් නිමැවුන
යහගුණ විහිඳා බැබලෙන
අමිල අගනා පුරුක් පෑහුන
සොයුරු සිතින් එක්වුන
දුරලා මිලින පාරතෑකි බන්දන
සවිමත් කර මිතුදම
අදිතෑකි මහබර

ගල්මල් අඩවියේ පොස්ට් 50 සනිටුහන් කරයි.
එය ඔබ දුන් දිරියයි, ශක්තියයි.
මිතුදමේ සෑම පුරුකක්ම අගයමින්
ගෞරවයෙන් පුදන වගයි.

Wednesday, September 22, 2010

රටාවට පියාඹන කුරුල්ලනී


පෙළ ගැසී
වමින් වමට
දකුණින් දකුණට
සීරුවෙන් පසුපසින
උසින් උසට
ගැටෙන්නේ නැතිව පියාපත්
පෙරටුකරන් නායකයා
රටාවට
දුරින් දුරට
පියාඹන ශිල්පයේ
රහස කිමැයි
කියාපන්නේ කුරුල්ලනී


සටහන:
මේ නිර්මාණයට උපයෝගී කරගත්තේ කුරුළු ලෝකයේ දක්නට ඇති අපූර්වත්වයක්. තමන් ජීවත්වෙන ආවේණික පරිසරයට ශීත සෘතුව උදාවෙත්ම කුරුළු විශේෂ රංචු පිටින් උණුසුම් දේශගුණික කලාපවලට සංක්‍රමණය වෙනවා. මෙම ගමන බොහෝවිට සැතපුම් දහස් ගනනක්, ඒ සඳහා සොබාදහමින් ඔවුන්ට දායාදය කර ඇති බුද්ධිය හා ඥානය මොනතරම් උසස් ද?

කුරුළු කණ්ඩායමේ පෙරමුණ දරන පක්ෂියාගේ දෙපසින් පිළිවෙලට තටු සලන කුරුළු රෑන මොනතරම් නම් ලස්සනද? ඉදිරියෙන් පියාසර කරන කුරුල්ලාගේ වම් පසින් පටන් ගන්නා පේලියේ සෑම පක්ෂියෙකුම තමාට ඉදිරියෙන් පියාසර කරන්නාගේ වමින් වමට වෙන්නද ඒ විදියට ම දකුණු පැත්තේ පේලිය කුරුල්ලන් පෙරමුණෙන් පටන් දකුණි දකුණටත් විහිදී V-හැඩය සකසයි. පසුපසින් ගමන් කරන පක්ෂියා ඉදිරියෙන් පියාසර කරන්නාට ඉහලින් පිහිටන සේ පෙල ගැසේ. ඒ අන්දමට සැකසී තටු සැලීමෙන් ඇතිවන සුලං රැල්ලේ තෙරපුමෙන් පසුපසින් ගමන් කරන පක්ෂියාගේ තටු සැලීමේ දී වැය වෙන ශක්තිය අඩුවන බව සොයාගෙන ඇත. තවද තම ඉදිරියෙන් ගමන් කරන පක්ෂියා මොනයම් කරුණක් නිසා හෝ වෙහෙසට පත් වුවහොත් ඉදිරියට අවුදින් ඒ තැන හා හැඩය ආරක්ෂා කරගන්නට පිටුපසින් ගමනේ යෙදෙන පක්ෂීන් වහා ක්‍රියාකරයි. කුරුළු නඳ දෙමින් ඉදිරියේ ගමන් කරන පක්ෂියා දිරිගැන්වීමට පිටුපසින් ගමන් කරන්නන් උත්සුක වේ. ගමනේදී පක්ෂියෙක් තුවාල ලබයිද ඒ පක්ෂියා සමඟ තවත් පක්ෂීන් දෙදෙනෙකු පහතට බසින බවත් කියැවේ. පෙරමුණ හොබවන පක්ෂියා වෙහෙසට පත්වූ විට පසුබැස ඒ ස්ථානයට පසුපසින් ගමනේ යෙදෙන පක්ෂියා පත් කරයි. පෙරමුණේ දරණ පක්ෂියා නඩයේ ආරක්ෂාව, වේගය පාලනය ආදී නායකත්ව වගකීම් දරමින් නඩය හසුරුවයි.

කුරුළු රෑනට ඈතින් ඉඳන් බලන විට V-හැඩය දිස් වුවද නඩයේ සැමදෙනා තම ඉදිරි දසුන දිස්වෙන සේ කණ්ඩායම රකිමින් පියාසර කරයි.

රටාවට පියාඹන කුරුළු රෑන එකමුතුව, කණ්ඩායම් හැඟීම යන මහඟු ගුණාංග පිලිඹිබු කරමින් ආරක්ෂිතව සැතැපුම් දහස් ගානක් ඈත ඉලක්කයට පියාසර කරති. තවද තම පරිසරයේ දේශගුණික වෙනස ඇතිවෙද්දී පෙරලා ආපසු ඒමට සමත් වෙති.

Saturday, September 18, 2010

මෙට්‍රික් නොවූ කල


සටහන:
අද භාවිතයේ ඇති කිරුම් මිණුම් සඳහා යොදා ගන්න ක්‍රමය මෙට්‍රික් ක්‍රමය ලෙස ප්‍රකටය. මෙට්‍රික් ක්‍රමය ක්‍රි.ව. 1791 සිට ප්‍රංශයේ භාවිතා වූ බව කියැවේ. 60 දශකයේ දී මෙට්‍රික් ක්‍රමය සම්මත අන්තර්ජාතික කිරුම් මිණුම් ඒකක හෙවත් අන්තර්ජාතික ඒකකය (ISU - International System of Units) ලෙස පිලිගෙන ඇත. ප්‍රංශ බසින් Système International d'Unités ලෙස යෙදෙන බැවින් මෙම ක්‍රමය SI ඒකකය ලෙසත් සඳහන් වේ.

1970-80 කාලය තුල දී ශ්‍රී ලංකාවේ කිරුම් මිණුම් ඒකකය ලෙස මෙට්‍රික් ක්‍රමයට මාරු වූයේ ඉන් පෙර යොදා ගත් බ්‍රිතාන්‍ය ඒකක (imperial units) ක්‍රමයේ සිටය.

ඇමෙරිකා එක්සත් ජනපදය, බුරුමය හා ලයිබීරියාව යන රටවල් තුන හැර ලොව පුරා කිරුම් මිණුම් ඒකකය ලෙස මෙට්‍රික් ක්‍රමයට අනුගතව ඇත.

මෙට්‍රික් ක්‍රමයේ සම්මතය අනුව සෑම ඒකකයක් ම දහයේ පාද වලින් දැක්විය හැකිය. ඒ සම්මතයේ පිහිටා මිලිතත්පර, කිලෝතත්පර හඳුන්වා දීමට විද්වතුන් උත්සාහ කරද එම ඒකකයන් යොදාගෙන ස්වභාවදර්මයෙන් සැකසුන දිනය ගොඩනැගීමට සමත් නොවූහ.

කාළය මැනීමේ ඒකක ක්‍රමය හැර සෑම ඒකකයම මෙට්‍රික් විය.

නිර්මාණයේ සඳහන් ගලපන්න යන වචනය හැඩගැස්සීම, adjust කිරීම යන අරුතින් යොදා ඇත.

Tuesday, September 14, 2010

ඉකිබිඳියි ඔරලෝසු කුළුණ


ගාලු කොටුවේ යෝධ ඔරලෝසු කුළුන
සෙවනක් දුන්නා පිටදී ගෙන සැන්ඳෑ හිරු
විඩාබර දෙපා දිගහැර වාඩි වෙන්නැයි
සෙනෙහසින් කීවා බෑවුමේ තණ බිස්ස
වෙහෙසකර දෑස් ලුහුබැන්ඳා රළ පෙළ

එදා පෙර අපර නැවියන් රුවලින් හබලින්
සොයා ආ සෙරෙන්ඩිපයට හරසරින් පිලිගෙන
සියුමැලි දකුණු ලියන් දෑතින් ගෙතූ බීරළු රේන්දය
ලොවටම මොස්තර හැඩකෙරුමට පැටවූ
ගාලු වරාය

උස්සා උසට කලුගල් පවුර කර ඕලන්ද කොටුව
පාමුල තැනුවට පුංචි වරායක්
සොබාදහමින් තිළිණ ලද ලොව විරල
කඩිසර සමුදු මගක හෙබවූ සොබාවික මැණික
ගාලු වරාය

ඉකිබිඳින හඬක් ඇසුනා...
සෙවන සැදූ මිත්තණිය තවමත් හිටගෙන...

කොලොම්පුරයට මන බැන්දූ සුදු බලයන්
කුදලාගෙන ගියේ නැව් ගොන්නත්
උන් ගිය මග අඩි තබනා උනුන්ගේ උනුත්
විවේක දුන්නේ වෙහෙසුන හින්ද ද සියවස් ගනනක්
ගාලු වරාය

ඈත්කර නිවහන සුරූපිය දුරස් වුනා
පාමුල නැතත් දුර සිට රුවින් පිනා
කරකාර ගන්නටා පොරොන්දූන් වුනා
දීගේ කැඩුවේ රන්කහවනු ගිලන් ද පිනා

එක් කර ගොරහැඬි සිල්ලරයන් උනා
තනා සමුදු කටුගෙයක් පාමුල උන් කනා
වරාය කුමරිය වියපත් කඳුලින් වනා
කොහේ යන්නද ඔහේ බලන් ඉන්නවා විනා

ඇගේ දුක්බර මුහුණත දුටුවා...
නුඹටත් දුකදැයි සෙනෙහසින් ඇසුවා!

සටහන:
ගාලු වරාය ලොව ඇති විරල ගනයෙහිලා ගැනෙන ස්වභාවික වරායන් කිහිපයෙන් එකකි. මුහුද ගොඩබිම තුලට නෙරා ඇවිත් පසෙකින් රූමස්සල කඳුවැටියත් අනෙක් පසින් ගාලු කොටුවත් තෙරක් නොපෙනෙන ඉන්දීය සාගරයෙන් ඇය සුරකින්නේය. අද වරාය ලෙස උපයෝගී කරගෙන ඇත්තේ ඉන් සැකසුන සුළු ප්‍රදේශයකි පමණි.

ක්‍රි.පු. 1400 තරම් ඈත කාලයේ ද ගාලු වරායෙන් කුරුඳු රට පටවා ඇති බව සඳහන් වේ.

දොලොස්වන ශත වර්ෂයේ තරම් ඈත අතීතයේ දී පාර්සි, අරාබි, මලායනු, ඉන්දු, චීන, ග්‍රීක, රෝමානු ආදී පෙර අපර නැවියන් ඔවුන්ගේ සමුද්‍ර මාර්ගික වෙළෙදාමේ කෙන්ද්‍රස්ථානය ලෙස ස්වභාවික ගාලු වරාය යොදාගෙන ඇත. එම මුහුදු මාර්ගය සිල්ක් රූට් (Maritime Silk Route) ලෙස ප්‍රකටය. ක්‍රි.ව. 1505 දී පෘතුගීසීන් ගාලු වරාය අත්පත්කර ගැනුමට ආවිට ගාලු වැසියන් යුද වැදුනද පෘතුගීසීන්ගේ ප්‍රබල හමුදා ශක්තිය හමුවේ පරාජය වී ඇත. පසු කලෙක ඔවුන් කුඩා බලකොටුවක් ද තැනූ බව කියැවේ.

පෘතුගීසීන් විසින් බීරළු කර්මාන්තය ගාල්ල අවට ප්‍රදේශයේ හදුන්වා දුන් බවත් ඈත ඉතිහාසයේ ගාලු වරාය මූලික කරගෙන ලොව නන්දෙසට බීරළු රේන්ද සැපයූ ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස ලංකාව කීර්තියක් අත්පත් කරගෙන තිබූ බවත් සඳහන් වේ (මේගැන මා කලින් පල කල බීරළු රේන්ද කලාව නැමැති නිර්මාණයෙන් විස්තර කලා). බීරළු රේන්ද අදටත් ගෝල් ලේස් (Galle Lace) ලෙස විදේශයන්හි ජනප්‍රියයි.

ක්‍රි.ව. 1640 දී පෘතුගීසීන් පලවාහරිමින් ගාලු වරායෙන් රට තුලට අවතීර්ණ වූ ඕලන්දයින් 1663 දී දැනට පවතින ගාලු කොටුව ගොඩනගා ඇත. කොටු පවුරේ නැගෙනහිර පෙදෙසේ පාමුල (පොඩි කොටු දෙරටුව පැත්තට වෙන්න ) වරායක් ද ගොඩනැගූවේය. ඕලන්ද කාලයේ ගාලු පුරවරය වඩාත් බැබලුන යුගයක් බව කියැවේ.

ක්‍රි.ව. 1796 දී ඉංග්‍රීසීන් රට අත්පත්කර ගත්ත ද ගාලු කොටුව වෙනසක් නොකර ආරක්ෂා කලෝය. 1873 වසරේ දී කොළඹ වරාය ගොඩනැගෙන තුරු ගාලු වරාය දිවයිනේ ප්‍රධාන වරාය ලෙස ක්‍රියාත්මක වී ඇත.

පසු කලෙක වරාය දැනට ගාලු වරාය යැයි භාවිත වන ප්‍රදේශයට ගෙනගොස් ඇත. කලින් තිබූ වරාය පරණ වරාය ලෙස ප්‍රසිද්ධියක් දැරූ අතර අපේ පාසැල් කාලයේ දී පිහිණුම් පුහුණුවට උරදුන් ජනප්‍රිය තැනක් විය. පසුව එහි කොටසක් නාවික හා සමුද්‍ර කෞතුකාගරයක් ද තවත් කොටසක නාවික පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවා ඇත.

1988 වසරේ දී ගලු නගරය හා උතුරු ඕලන්දයේ වෙල්සන් නගරය මිත්‍රත්වයේ සංකේතයක් වන Twin City සංකල්පයෙන් යා කලෝය. අදටත් ගාලු පුරවරයේ ඕලන්ද ගෘහ නිර්මාණශිල්පය පිලිඹිබු කරන ගොඩනැගිලි දැකගත හැකිය.

90 දශකයේ මුල ගාලු වරාය වැඩි දියුණු කරන පොරොන්දු පිට රජයක් පත්විය. කිසියම් සැලසුමක් ඇති විය, පරිසරය යන නම පෙරදැරි කරගෙන සැලසුම් හැකිලින. අඩුවක් නැති පොරොන්දු වූව ද මෑත යුගයේ ගාලු වරායේ දි‍යුණුව උදෙසා සැලකිය යුතු කිසිවක් සිදුවූවා ද සැකයකි, ඒ සම්බන්ධව ඊට වඩා ලිවීම පලක් නැත (ඇය දැක දැක කඩිසර සමුදු මගක ඉවත ගිය නැව් රජුන්, කුමරුන් කැන්දන්නට පලාතේ තවත් වරායක් ඉදිවීම එක්තරා සතුටකි).

සුඛවිහරණය අවම යුගයක සියවස් ගනන් වෙහෙසුන නිසාවත් දෝ විදෙස් ආක්‍රමණ වලින් පීඩා වින්ද නිසාවත් දෝ නූතන යුගයේ නුඹට විවේකය ලැබුණේ. ඇය තවත් බොහෝ කලක් විවේකයේ ගිමන් හරීවි කියා සිතේ. ස්වභාවික ගාලු කුමාරිය වියපත් වුනත් සුන්දරයි. සොබාදහමින් උරුම වූ ඒ අමිල තිලිණය බොහෝ අගේය.

සිල්ක් රූට් නම් ප්‍රෞඩ අතීතය සිහිකරමින් මෙ මෑතක දී ජුවෙල් ඔෆ් මස්කට් (Jewel of Muscat) නම් නවවන සියවසේ රුවල් නැවක අනුරුවකට දැවයෙන් සැකසූ නැවක් සිල්ක් රූට් ඔස්සේ තරණය කලේය. ඒ චාරිකාව ඕමාන් රටේ සිට පෙර කල මලයානු දේශයේ කොටසක් වූ සිංගප්පූරුව දක්වා ගමනේ යෙදුනේ ලොව විවිධ රටවල නැවියන් සමූහයක් කැන්දන්, ඒ අතර ලාංකිකයෙකු ද විය. එම නෞකාව ගාලු වරායට ද සේන්දු විය (විස්තර මෙතැනින්). ඒ නෑගම් ඒම ගාලු කුමාරිය සතුටු කඳුලින් දෝවන්න ඇති.

නිර්මාණයට අදාල වැඩි විස්තර (මූලාශ්‍රයන්) පහත ලින්ක් මගින් ද කියවිය හැකිය:

http://en.wikipedia.org/wiki/Galle

http://cf.hum.uva.nl/galle/galle/galleindex.html

Friday, September 10, 2010

ප්‍රදීපාගාරය


ජයගෙන නැග උසට
විඳගෙන රළු රල
බේරා ගල් පර
පෙන්වා නිසි මග
ලොකු පොඩි හැමට
බෙදනා එළිය දුරට
බිඳුවක් ලැබෙයිද
එක්ටැම් ගේ
අඳුරේ හැම
විඳගන්නා නුඹට

පිදුම:
ලබාගන්න නොව ලබාදෙන්න වෙහෙසෙන හැමට උපහාරක් සේ ගෞරවයෙන්

Monday, September 6, 2010

කටුස්සනි


ඉන්නේ නුඹ බදාගෙන අතු ඉති
ගන්නේ පාට හූරා අවසරින ද සකි
ලන්නේ ඇඟ ගල්වා විගස හැකි
වන්නේ ගැට ගහගන් පණ ද රැකි

ගස් හොරු කපයි ද නූපන් හෙට දිනේ
ගැස් සිලා හැලේද නොමෝරන කොලේ
උස් රිකිලි අග සරු ලා දළු හිනැහේ
ඉස් සිලා නෙලා ගනු මිස කිමද පලේ

දළු විතරද පැණි පිරුණ මලුත් ඇති
කළු ඇඹලයින්ද පේලියේ ඇදී එති
තළු මරමින් බල්පන්නේ එවුනුත් රසැති
රළු කටුස්සනි වඩිව් ඔය ගස් මැරෙති

Monday, August 30, 2010

තව කාසියක්


යන්තරේ රළු රෝල අතරින්
ඇදෙන උක්දඬු එකිනෙක
තැලී පොඩිවී තෙරෙපී
බිඳෙන් බිඳ යුෂ සරිකර
විසිවෙන හපය කුමට ද
පැණි බඳුන් වඩී නම්...

ගැහැට විඳ ගෙන සොච්චම
වක්කර කට පලල් පුනීලයේ
පුරවන තඩි බරණියේ බරට
රට කහවණු ගනින නුවරුනට
කුමට ද නුඹේ සෝකාලාපය
ඉල්ලයි එවුන් තව කාසියක්

නුඹේ සෝසුසුම් දෝ
ගිනි පිඹින්නේ කතරේ
සොයුරියේ...

සටහන:
විදේශ රැකියාවල නිරත ලාංකිකයින්ගේ සංඛ්‍යාව මිලියන 1.8 ක් වෙන බව මෑතක පලවූ පුවත්පත් වාර්තාවල දැක්විනි. ඉන් 70% ක්ම කාන්තාවන් බවත්, බහුතරයක් මැදපෙරදිග රටවල සේවය කරන බවයි සඳහන් වෙන්නේ.

වර්තාවලට අනුව විදේශ රැකියාවේ නියුතු ලාංකිකයින් විසින් රටට උපයා දුන් විදේශ විනිමය ප්‍රමාණය මෙසේය (මුදල් ඒකකය ඇමෙරිකානු ඩොලර්):

වසර 1999 දී බිලියන 1.0
වසර 2002 දී බිලියන 1.3
වසර 2008 දී බිලියන 2.9
වසර 2009 දී බිලියන 3.3

මෙමස (අගෝස්තු-2010) මුලදී පලවූ වාර්තාවක් අනුව 2010 වසරේ පලමු මාස හතර අතුලත දී බිලියන 1.2 ක් වූ බවත් එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 14% කට වඩා වර්ධනයක් පෙන්නුම් කරන බවත් කියැවේ. 2010 වසරේ අපේක්ෂිත ආදායම බිලියන 4 කි.

මෙම ආදායම් මාර්ගය 2020 වසර වෙන විට බිලියන 10 දක්වා වර්ධනයක් ලබන්නට රජය ඉලක්ක කරයි.

මූලාශ්‍රය:
http://gulfnews.com/news/gulf/saudi-arabia/sri-lankan-maid-gives-details-of-abuse-in-saudi-arabia-1.674259
http://www.thesundayleader.lk/2010/08/01/war-end-increases-remittances/
http://www.nation.lk/2010/06/20/busi3.htm

ප.ලි:
මහා පරිමාණ උක් කර්මාන්තයේ යුෂ/පැණි අරන් ඉවතලන උක් රොඩු (හපය) හෙවත් bagasse ("baa-gas") හි අඩංගු වෙන සෙලියුලෝස් කෙඳි පරිසර-හිතකර කෑම අසුරන හා වරක් පාවිච්චිකර ඉවතලන (Disposable) කෑම බඳුන් ආදිය නිෂ්පාදනයට යොදා ගනී.

Friday, August 27, 2010

දිය කෙළිය


රළු රළ නැග එන බැස යන
උන් කෙළිති දිය මත තුටින් එල්ලෙමින

බුර බුරා විදිමින වියතින් වියත උස්වෙන
උනට කෙළිති දිය යට කර වලලමින

සටහන:
දකුණත පැත්තේ ඉහල ඡායා රූපයෙන් දැක්වෙන්නේ කැරීබියානු දූපතක සාගර රළ මත විනෝද වෙන විදේශ සංචාරකයින් පිරිසකි.

අනෙක් ඡායා රූපයෙන් දැක්වෙන්නේ දැඩි ගංවතුරින් යටවූ පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ පෙදෙසකි. සොබාදහමේ ආශීර්වාදය ලබමින් ගොවිතැනින් ජීවත් වූ ඔවුන්, උරන වූ ජලකඳ සමඟ ඔට්ටු අල්ලයි - ජීවිත බේරාගන්නට.

ඇති හැකි බලවතුන් වනසන සොබාදහමට අසරණයින් ගෙවන තවත් වන්දියක් ද?නැතිනම් සොබාදහමේ තවත් ප්‍රකෝපකාරී බැල්මක්ද?

Monday, August 23, 2010

කෝච්චිය


කවුරුවත් ඇතිරූ පාරක
වේගයෙන් දුවන එන්ජිම
අමුණා ගත් මැදිරි පේලිය
පටවාගෙන සෙනඟ රිසි ලෙස
ඇදෙති ඉස්සරහට
නගා හූ හඬ
පිරිමැද යකඩ පීලි දෙක
සවි කල සිල්පර කොට උඩ
තලා පොඩිකර ගැල් කැට...

විසිරුණ ගල් පාත්තිය සරිකර
ඇණ මුරිච්චි තද කර
යෝධ යතුර කුළු ගෙඩිය
කරපින්නා ගෙන
ලයින්මෑන් පයින් ලුහුබඳි
ඊලඟ කෝච්චියට
මඟ පාදන්නට...

Tuesday, August 17, 2010

නන්දුට රෙස්ට්


අහස උසට නැගුන
සුවිසල් මහල් අතර
රැදුන කුණු බක්කි

කම්බි කොක්කෙන් විපරම් කර
ඇදලා ගත්තේ
හිස් ඇලුමිනියම් කෑන්
කරාච්චියේ ඛාන්

වැටුනොත් කාඩ්බෝඩ් කෑල්ලක්
කිලෝමීටර් ගානක ඉවෙන් ඇවිත්
එක්තු කරගත්තෙ
බංගාලි නුවර සයිබු

කන්දෙපලට තරම් සිනාව රැන්දු මූණ
තැන තැන පැද හීරෝ බයිසිකලය
ප්ලාස්ටික් කැල්ලක් ඉතිරි නොකර
අහුලා ගත්තෙ ගුජරාතේ නන්දු

හමන දුගඳ වලකන්න
පරිසරය රැකගන්න
නව පන්නයෙ කුණු බක්කි
ඉදිවිය පෙලොව යට

පලාතම අපූරුයි ලස්සනයි
නැහැ නොවැ කුණු ලොරියෙ කරදරය
අලුත් ක්‍රමය වැඩ පටන්
පරණ බක්කි හිස්

පුංචි කවුළුවකින් වැටෙන කුණු
කැබලිවී වැටෙයි ඇතුලට
හයිඩ්‍රොලික් ක්‍රමයට පාලනය
අලුත් කුණු ලොරිය එන්නෙ ඉඳහිට

සීතල රශ්ණය දූවිලි කුණාටු
කිසිවකට හිස නවාපු නැති
දාඩියෙන් අදුම් පෙඟුන
අවුරුදු ගානක් නිවාඩු දා උදේ
දකින ඛාන් කෝ අද

කෑන් කල කෑම බීම
අහක දාන පත්තර කාඩ්බෝඩ්
අඩුවක් නැති නිසා ඛාන්ලා, සයිබුලා
දිවිගැට ගහගනීවි

කුණු බක්කිය හයි-ටෙක්
නන්දුට රෙස්ට්
නන්දුට මුවාවූ දයාපාලලා දීරසේනලා
ගනේෂ්ලා නැතිව නොවේ

සටහන:
මෙ පදවැල මැදපෙරදිග නගරයක සත්‍ය සිද්ධියක් මුල්කරගෙන කරන ලද්දකි. එනමුත් චරිතයන්හි නම් පමණක් වෙනසක් කර ඇත.

නිර්මාණය ඉවතලන කසල රැස් කරනා කුණු බක්කිය වටා ගෙතුනද කතාවස්තුව ගෙනහැර දක්වන් චරිත සෝචනීය පැතිකඩක් ගැන කියාපන්නේ නැද්ද?

ඔවුන් කුණු බක්කිය හාරා අවුස්සමින් එකතු කරන හිස් ඇලුමිනියම් කෑන්, කාඩ්බෝඩ්, පරණ පත්තර, ප්ලාස්ටික් නිෂ්පාදන ආදියෙන් ජීවත් වෙති. මෙ ඉවතලන දෑ රිසයිකල් කිරීමේ (ප්‍රතිචක්‍රකරණයේ) යෙදෙන ආයතන උපයෝගී කරගනී.

එකතු කරන්නන් කොටස් දෙකකි. රිසයිකල් කිරීමේ ආයතන හා ඒවාට සැපයුම් කරන ආයතන ඉවතලන අපද්‍රවය එක් කිරීම සඳහා පිරිස (නුපුහුණු කම්කරුවන්) සේවයේ යොදවාගනී. ඔවුන් ගෙවන ජීවිතයේ කටුකත්වය ලියන්න වචන මදිය.

අනෙක් කොටස වෙනත් රැකියාවන්වල යෙදෙමින් අමතර ආදායමක් ඉපයීමේ අරමුණින් කුණු බක්කි අවුස්සන අයවලුන්ය. මොවුන් රැස් කරන කොටස අනුව ලැබෙන මුදල නිසාම වෙහෙසෙති වෙලාවක්, පරිසර තත්වයන් ආදිය නොතකාම.

ඔවුන් මෙවන් දුෂ්කර ක්‍රියාවක් කරන්නේ දහසකුත් බලාපොරත්තු කරපින්නා ගෙන බව සැකයක් නැත. ඔවුන්ගේ දහඩිය කීදෙනෙකුගේ කුසගින්න පුරවනවා අද්ද? ඔවුන් මෙවන් දුකක් විඳින බව ඔවුන්ගේම ඈයෝ දනවාද සැකයකි. ඒත් අනුන්ට බරක් නොවී මහන්සියෙන් ලොකු බරක් ඇදගෙන යන්නෝ නොවෙත්ද?

මෙවන් පිරිස ඉන්දියාව, පකිස්තනය, බංගලිදේශය, නේපාලය හා ලංකාව වැනි ආසියාතික රටවලින් ආ අසරණයින් පිරිසකි. සුවපහසුවේ හිඳිමින් මොවුන් දෙස බලා සුසුමක් පිට කිරීම හැර වෙන කරන්න දෙයක් නැත.

ඒත් සති තුනක පමණ සිට ඔවුන් දකින්නට නැත, ඔවුන් දෙස වේදනාවෙන් බැලූ දෙනෙත සමඟ කීරිගාන සිත තරඟ කරයි මට හිතේ.

අපිත් අසරණයි නන්දු...


පළමු පල කිරීම: 24-02-2010

Sunday, August 8, 2010

සමාවෙයන් පුතුනේ


හතේ කණිසමට අඩ හෝරාවකි
උදේ හිරුත් සැරින් රවනා බැලුම්
ගතේ දහඩියෙන් තෙතබරිතව
තත්පර කටුව ලුහුබැඳ දෑත් විසිකර
ටිකක් ඇඟ සොලවා ලහි ලහියේ
දුවනා අඩිපාරේ

වංගුව දෙක ගෙන තාලෙට රූං හඬ දෙන
ඉඳ හිට වේගය අඩුකර හන්දියේ නවතින
ගොරවමින් පණගෙන පිම්මේ දුවන
රටාවට බිම් ගඩෝල් ඇතිරූ තීරුවේ
බන්ඩි ගැහුන වියැලුන දෙබල් අත්තක්
දෑතින් අතුල්ලාගෙන
සීරුවෙන් ඇදෙන පොඩ්ඩෙක්

සෙමින් ලංවී විමසුවෙමි වන්ඩිය ගැන
තෙජසින් කීවා හාලි ඩෙවිඩ්සන් බව
වයසක ආච්චි සෙනෙහසින් රැලි වැඩිකර මුව
සිම්ඹා කවට කොලු පොඩ්ඩා ලං කර

වියලි පේර අත්තක් දෑතින් ගෙන
ගර්..ර් හඬ මුවින් මතුකර
ගල්කැට ගැලවුන වල පිරුණ
පටු තාර පාරේ අතුල්ලාගෙන ගිය
බාලේ අත් ට්‍රැක්ටරය සිහිවිය...

කොස් කොල ඔටුන්න කුරුම්බැට්ටි මැසිම
පොල්පිති ටිකියා පුවක්පට්ට වාහනේ
නුඹට අහිමි වුනේ මට ජය කැන්දූ දැණුම
අප සිරකල හින්ද නොවෙද එක්ටැම් ගෙයක
සමාවෙයන් මගේ පුතුනේ!

Wednesday, July 28, 2010

ග්ලාස් ක්ලීනර්

තොරතෝංචියක් නැතිව
නැගෙන කිරිකිරිය
ග්‍රීස් වේලුන කප්පියෙන් ද...
දැවැන්ත ඔරලෝසු කණුවෙ
විශාල බට්ටා වගෙ
ඒත් රිද්මයක් නැතුව වැනෙන
හිතේ දෝංකාරය ද...

අධ්‍යාපන, විදේස
අමාත්යන්සේ මහත්වරුන්
මගෙ ඉන්ගිරිසියට පෙරලපු
ලියවන පට්ටල් නිපුණතාවය
සහතික කරන්න මැලිවුනෙ
අපේ බාස් සීයා
ලියාපදිංචි වෘත්තීය පුහුණුකරුවෙක්
නෙවේ නිසාලු!

දන්න ලියවන පට්ටලෙ
වැඩට ආවත්
සහතික නැති නිසා
තට්ටු තිස්-දෙකේ බිල්ඩිමක
කළු වීදුරු තහඩු සුද්ද කරන
ග්ලාස් ක්ලීනර් කෙනෙක් මං...

තොටිල්ලක් වගේ යකඩ කොටුව
හතර පැත්ත වානේ කඹෙන් එල්ලලා
උඩින් කැරකෙන කප්පි හරහා
මෝටරයෙන් දුවන
ක්ලීනර් කාට් එක මගේ ජීවිතය
පල්ලකැලේ රාජු මල්ලි අතේ
රිමෝට් කොන්ට්‍රෝලය

නිල් පාට කොට කලිසම
සුදු අත්-කොට වූ කමිසය
අවුරුදු ගානක යාළු සියල් පෑන
පැත්තකට දැම්මේ
උඹව ලොක්කෙක් කරන්න
මල්ලියේ...

ලෝගුව දාගෙන
උඹ එක්ක ආ ලොක්කි
අපෙ පරම්පරාවෙන් උරුම
ඉඩම වික්කෙ
මගෙ කොටස
උඹව උගන්වන්න
උකස් කරපු කොටස
විතරක් මට ඉතිරිකරලා...

ඒක බේරගන්න
රට ආපු මගෙ
ඇසේ කඳුලින් තෙමා
කළු වීදුරු තහඩු පිරිමදිනවා
හිතේ වේදනාව
ගිනි පිඹිනවා...

හුළං පාර සැර නොවෙන්න
දූවිලි කුණාටු ඇස් අඳ නොකරන්න
මෝටරේ අතර මඟ ඇන නොහිටින්න
රාජු මල්ලි හොඳ මුනියා වෙන්න...

රන්කහවනු එකතු කරලා
කාමර දෙකේ මන්දිරය කඩලා
තට්ටු ගෙයක් හදනවා අහස උසට
ගෙවදින දාට උඹලාටත්
කියලා යවන්නම්...
වරෙල්ලා...

සටහන:
ආර්ථික හා සමාජමය ප්‍රශ්ණ නිසා මදපෙරදිග රක්ෂාවක් සොයා ගෙන ඇවිත් දුක්විඳින දහසක් දෙනා විවිධ අවස්ථාවන් වලදි හමුවී ඇත. මෙය ඉන් එකකි, කථානායකයාගේ පෞද්ගලික ප්‍රශ්ණයට වඩා විශාල ප්‍රශ්ණ වැලක් මෙහිදි ගෙනහැර දක්වන්න අදහස් කලා.

කෙටි හදුන්වාදිමකින් පසුව අති නවීන උපකරණ/උපාංග පාවිච්චියට සමත් හැකියාවක් ඇති බුද්ධිමත් ලාංකීක තරුණ අය මෙහි ආවත් ඔවුන්ගෙ නිපුණතාවය (Skills) සනාථ කරන්න තරම් සහතික නැතිවීම බොහෝවිට ඔවුන් නුපුහුණු කම්කරු ගනයේ රක්ෂාවලට තල්ලු කරනවා.

මෙවන් සහතික අනුමත කිරීමේ කාර්යය අධ්‍යාපන හා විදේශ අමාත්‍යංශ වලට අයත් අංශ දෙකකට පැවරී ඇතිමුත් පෞද්ගලික හෝ කුඩා අයතනයකින් පුහුණුවක් ලද අයෙකුට පිහිටක් වෙන්නේ නැහැ. ඒත් මෙවන් අයගෙ හැකියා ව දියුණු කරන්න සමත් ප්‍රමාණවත් වැඩ පිලිවෙලක්ද නැත.

ඉතිං සමාජ-ආර්ථික ප්‍රශ්ණ හා නිලධාරිවාදයේ ගිරයට අහුවූ පුවක් ගෙඩි මෙන් මෙලෙස නුපුහුණු කම්කරුවන්සේ දුක් විඳිනවා.

පළමු පල කිරීම: 28-01-2010

Wednesday, July 21, 2010

පැසසුම් නොලත් විරුවෝ

පොත් බෑග වතුර බෝතල ගොඩ
එල්ලාගෙන පුංචි අපේ
පාසැල් ගමනේ මුල් පියවර
කියා දුන්න එලිසා ආච්චි

හූ හඬින් පෙරලා ගෙන
යකඩ යකා දිව යන මග
පරිස්සමින් පියනගින්න
පුංචි බලකාය
හුරු කල පොඩි මුත්තා

පහල පන්තිවල දී
පුංචි කටයුතු කරගන්නට
මෑණියන් සේ නොපැකිලිව
උදව්කරපු කාන්ති නැන්දා

ඉන්ටවල් සීනුව වගේ
ඇදිහැස බිස්කට් ටික
නොවරදවා පහල පන්තියට
අරන් ආපු ගුණසේන අය්යා

කැරපොත්තො ගෙම්බො
හිරිකිතය යුද කරපු කාලෙ
අණුදක්නෙන් බලා
ඇන්ද රූප හරිගස්සලා
කොස්කොලේ දෙල්කොලේ නෙමේ
කියලා මග පෙන්වපු
අද විද්වතුන් කැලකගේ
මහා ආචාර්ය සිරි අය්යා

එක් වුනාම
නොසන්ඩාල වැඩ අඩුවක් නැති
හිත්පිත් නැති සල්ෆියුරික් සෝඩියම් ලා
පාවිච්චියට අප හුරුකර
රසායනාගාරෙ පියසේන අය්යා

සද්ද බද්ද නිතරම වැඩි
න්‍යායධර්ම හිසට උඩින් ලිස්සන
හෞතික විද්‍යාව ප්‍රිය විෂයක් කර
උදව් කරපු ආතර් අය්යා

සුන්දර පාසැලින් සමු අරන්
ගෙවුනත් දශක ගනන්
ආවේ දුෂ්කර ගමන ගෙවන්
පින්සිදුවන්නට මෙවන් දනන්
පින් පුදමි ඔබට!

කෙනෙකුගේ අධ්‍යාපනය එහෙමත් නැතිනම් ඉගෙන ගන්නා කාලය මෙතැකින් නිමාවෙනවා කියන්න බැරි දෙයක්. එහෙත් ක්‍රමාණුකූල අධ්‍යාපනය පාසැලෙන් පටන් ගන්නවා කියන එක කවුරුත් අවිවාදයෙන් පිලිගනීවි. එම සුන්දර පාසැල් සමය නිමාකර වැදගත් කඩඉමක් පසුකරන්න සිසුවෙකුගේ දක්ෂකම, බුද්ධිය, වාසනාව පමණක් ප්‍රමාණවත් නොවේ. ඒ උදෙසා ගුරු මව්වරු, පියවරු ලබා දෙන ආලෝකය, මග පෙන්වීම වචන කරන්න අකුරු මදියි. හැමදෙයම මුදලින් අගයනු ලබන අදටත් බොහෝ දුරට මෙ සටහන වලංගු යැයි විශ්වාස කරන්නෙමි.

එතැන් පටන් විවිධ මං මාවත් ඔස්සේ ඉදිරියට ඇදෙති. නිරායාසයෙන්ම කාර්යබහුල යන්ත්‍රික ජිවන රටාවට බදුන් වෙති. එහෙත් තමුන්ට මග පෙන්වූ ගුරුවරයෙක් මතක් කර පින් දීමක් කර කෘතගුණ දක්වන්න ඉඳහිටවත් අමතක කරන එකක් නැහැ.

මතකයන් පාසැල් කාලය කරා ආපස්සට ගෙන යනවිට මතක් වේවි පාසැල් අධ්‍යාපනයේ කඩඉම ජය ගන්න අපට උදව් කල තව පිරිසක් සිටියා නේද කියලා. මොවුන් නිහඬ සේවයක් ලබාදී පැත්තකට වෙන අහිංසක සහායක කාර්ය මඩුල්ල.

තවද පුංචි පාසැල් සමයත් එක්ක මතකයට එන තවත් බොහෝ දෙනා ඇති.

මෙ උත්සාහය ජීවිතය ජයගෙන ලොකු ගමනක් ඉදිරියට යන්න උදව් කල පොඩි මිනිසුන් ගැන මතකය අවදි කිරීමයි. ඔවුනට පින් පොදක් දී කෘතගුණ දක්වමු.

පළමු පල කිරීම: 30-01-2010

Tuesday, July 13, 2010

යළි ගොඩනගමු


ඇද හැලුන වැසි
ඉතිරි කල දියබිඳ මත
වැටෙන සූරිය කිරණ
ඉඳ හිට කල සිතුවම
පාට දේදුන්න

හිරු පහස ලැබ
සුලඟේ පාවීයන දියබිඳ
වි‍යැකෙන පාට දේදුන්න
සමුගනි ලමා සිත

දමා හැඩතල තනා
රිංගන සුදෝ සුදු
එළිය බිද බෙදා
පාට පෙන්නන
පුන්චි ප්‍රිස්මය

හැම එක්විය යුතු අද
අරගෙන නුඹ මුල්තැන
බෙදන්නේ ඇයි
බල සුන් කර

පමා වී නැත තව
සිතන්න සබඳ
උඩු යටිකුරු කර
කාරනා වූ ප්‍රිස්මය
යළි ගොඩනැගිය
හැකිය සුදෝ සුදු
බලැති ශක්තිය
ගිලෙන්නට නොදී
උතුම් ලක් නැව


කලින් පලකල ප්‍රිස්මයේ නිර්මාණය අගයමින් සටහනක් තැබූ මා මිත්‍ර හද ගී පොත... අඩවියේ තිස්ස දොඩන්ගොඩ මහතා මෙසේ සඳහන් කර තිබුණා:

සොයා දෙන්න...
මගේ සහකරු...
නැවත දෙමී...
හද බැඳි සුද..


මෙම "යළි ගොඩනගමු" නිර්මාණය සිතේ ලියලා එන මොහොතක ඔබේ සටහන විස්මයක් ඇති කලා. සොයුරාණෙනී මෙ නිර්මාණය ඔබට තුතිමල් මිටක් සමඟ.


රූප සටහන ගත්තේ මෙතැනින්:
"http://image.tutorvista.com/content/dispersion/white-light-recomposition.jpeg"

Friday, July 9, 2010

ප්‍රිස්මයේ



ප්‍රිස්මයේ!
සැර වුණත්
හිරු එළිය
සුදු
ඇයි බෙදුවේ
වෙන්කර
පාට




පළමු පල කිරීම: 09-02-2010

Monday, July 5, 2010

ගිලුන හඳ


පැතුම් බිඳක් දෝත ගෙනාවා බන් කී හඳ
ග්‍රහණයට හසුවී ලොව අඳුරේම ගිල් වූ හඳ
බටහිරින් ආයේ දිලෙන්න දඟලන ඒ හඳ
නූලේ පැටලී ඇඟිල්ල දික්කරන වා හඳ



සටහන:
නිර්මාණයෙන් කියවෙන්නේ මෙ දිනවල ශ්‍රී ලාංකික අපගේ පිළිකුලට බඳුන් වී ඇති අප්‍රිය හඳ ගැනයි.

කරුණාකර මේ හා සම්බන්ධ ඉංග්‍රීසි බසින් රචනා කල මගේ නිර්මාණය Eclipsed Moon-ග්‍රහණයට හසුවූ හඳ කියවන්න.
http://amazingspring.blogspot.com/

Wednesday, June 30, 2010

මැටි පහනට තෙල් බිඳක්


කොප්පරා ගොඩ ගෝනි කර
පැතුමින් නෙත් යොමන් පටවා
ලබන්නට පිරිසිදු තෙල් බිඳක්
එලිය දකින්නට මැටි පහනක

පොල් ලෙලි ගොඩ
තල්ලු වී පල්වලට
තැලී ඇඹරී
තැනෙනා කඹ
පිට රට පාට ගෙන
තැනේවි ද තොණ්ඩු
උනුනට ම සරි

හැලුන පොල් කටු
යන අඟුරු වලට
ගිනිතියා තැනේවි ද
දැවටෙනා අභූත කාසියට

මහතුනි විත් කරපිටින් උන්
වී මැතිඳුන් බරක් නොවන්
එපා පටවන්න පුනක්කු උනට
තෙල් බිඳක් මැටි පහනට දෙන්න
ගෙවා ගන්න අඳුර
යාන්තමින් වත්

නොවුනොත්
ඇඹරුණ කඹ ද
වියකුරු ගිනි අඟුරු ද
බා ගනු ඇත උන්
දරන මෙ බිම
තවත් නොකරන් පව්

Saturday, June 26, 2010

මිහිකත කෝපවී


පෙළුවා මුලු ලොවම උන් පාගා
උල් අඩි යකඩ සපත්තුවෙන්
ඉවසන්න බැරිවද මවුනි
මිහිකත කෝපයෙන්
දෙදරුවේ උන්ගේ ම පිලිකන්න
කෙළවරක් නැතිව බුබුලමින්
විද විද තෙලෙන්...

උන් එක්ව අත්වැල් බැඳ
යහමින් අනුන් හූරපු කිරීටයේ එවුන්
උල්පන්දම් දුන් පවින් ද දඟලන්නේ
හිරකරන්න බැරිව පොරොප්පය බලෙන්...

සොබාදහම ඉදිරියේ
ඇද වැටී මහබල පෙන්වූ එවුන්...

ලොවම
වැනසෙයි දෝ තෙලෙන්
බැදෙයි දෝ තෙලෙන්
ගිලෙයි දෝ තෙලෙන්

කමාකරන් මෑණී
අපි අසරණ එවුන්...

සටහන:
ඇමෙරිකා මහාද්වීපයේ මැක්සිකෝ බොක්ක ආශ්‍රිත ඛණිජ තෙල් නිධියේ කැණීම - Deepwater Horizon සම්බන්ධ ඛේදවාචකය මුල්කරගෙන සැකසිනි.

මේ සම්බන්ධ විමසුමක් “චේජනාගේ පිටුව (Chejana's Web Page)” හි පල කල ඛේදාන්තයක කතාවක් ලිපියෙන් කියවන්න පුලුවනි.

Sunday, June 20, 2010

ප්‍රෙෂර් කුකර්



දස අත ගිඟුරවා කැරකෙමින්
නැඟු කන්දොස්කිරියාව
අඩු වුනින් පෙන්නුවද
පිසුම අහවර බව...

කෙටි විරාමයක් හැර
විවර කල බඳුන
බ්'හොග් හඬ දුනි
දිස්විය බුබුලන බවක්!

පදමට පිසී තිබුණිද
වා පිත් දුරුලන්න එක් කල
උළුහාල් ඇට ඉදිමී ලොකුවට
රතු මිරිස් කරල දෙබෑ වී ඇට හැම තැන
බඩේ රුදාව වලකන්න බිඳක්
එක් කල පෙරුම්කායම් ගඳත් එමට
අඩක් තැම්බුන ලොකු ඇට ද තැන තැන
අහුලා විසිකලොත්
මට්ට්ම බැස අඩුවෙන...
චෙෆ් මං තට්ටුවෙන!

හුනස් අතු පිති
තරම් නොවන උදුන
ආයේ රත් කරනු බැරිය
මිලත් වැඩිවී අතත් හිඟවී
අහවරවී ඇති ගෑස්
තවත් ගන්නට බැරිය

තෙම්පරාදු කර හිතැතිව
කොත්තමල්ලි කොල ඉහ
ලස්සන කර
බෙදා කන්නයි ඇත්තේ
කොහොම කොහොම හරි
පිසා ගත් පරිප්පු ඉවුම


සටහන:
අද වර්ශ 2010 ජූනි මස 20දා, මෙම ගල්මල්-Coral බ්ලොග් අඩවිය තෙමස සටහන් කරයි.

මා නිර්මාණයන් කවි-හවුලකට සීමා කරමින් සිටි අවදියක සොයුරු දුකාගේ උනන්දු කරවීම නිසාම බ්ලොග් අවකාශයට පා තැබුවෙමි. එතැන් පටන් මේ දක්වා ආ කෙටි කාලය තුල දී මෙ සයිබර් අවකාශයෙන් දැන හැඳින ගත් උදවිය, මිතුදම් ආදිය නිසා නිම්වළලු පුළුල් වුනා කීවොත් නිවැරදිය. නිර්මාණ අගයමින් අදහස් (කොමන්ට්) දක්වන සැමගෙන් ලද උනන්දු කිරීම ඉතා අගේ කරන අතර ඔබ සැමගේ සහයෝගය නිරතුරුව බලාපොරොත්තු වෙනවා.

මෙ පොස්ට් එක සොයුරු දුකා වෙනුවෙන් ස්තුති පූර්වකව පුදමි.

(නිර්මාණයට පාදක වූ අදහස, මාතෘකාව හෝ පිදීම අතර කිසිදු සම්බන්දයක් නොමැත)

Wednesday, June 16, 2010

යායක මල් තිළිණයක්


ගසක් මලක් සොයා
වරු ගනන් පීරූ ගූගලය
ඈඳින පත් ඉරුවක්
ඉහේ මලක්...

ලැබුණාලු එදා
සිරි ලකෙන් ගසක්
සැකයකි ඉස්සුවාද
සුදු හොරෙක්
කිඩාරමක්!

යැව්වානම් තෑග්ගක්
ලෙසිනා අයෙක්
නොවෙත්ද විරුවෙක්
පිදිය යුතු රන් මල් මිටක්

අදත් උන්දැලා
නොවෙත්ද උතුම්
ලබන්නට තුටු පඬුරක්
යායක කිඩාරම් මල්


සටහන:
අපේ පුංචි රට ජෛව විවිධත්වයෙන් අගතැන් රටවල් 25න් ප්‍රමුඛ ස්ථානයක් ගනී. එහෙයින්ම ලංකාවට ආවේණික ශාඛ ප්‍රබේධ හා ඒවායෙහි ජාන පදාර්ථ සොරකම් කරන ජාත්‍යන්තර කල්ලින් ගේ කොල්ලකෑම් වලට දිගින් දිගටම ඉලක්ක වී ඇත.

ශ්‍රී ලංකාවට ආවේණික ගසක් (ලංකාවට ආවේණික ගස්වල උද්භිද විද්‍යාත්මක නමෙහි සිලනිකා Ceylanica කියන කොටස යෙදෙනවා) ගැන සොයා බලන විට දැනගත්තා ඕලන්දක්කාරයෝ 18 හා 19 ශතවර්ෂ වලත් කිඩාරම් පැල ලංකාවෙන් ගෙන ගොස් ඇතිබව.

වසර 2006 දී ඕලන්දක්කාර විද්‍යාඥයෝ දෙදෙනෙක් කිඩාරම් පැල රටින් පන්නන්න උත්සාහගත් අවස්ථාවක අත් අඩංගුවට ගත් බව පුවත්පත් වල පලවුනා.

මෙ වන විට ඒ රටට ආවේණික කිඩාරම් විශේෂ ඇති බව කියැවේ.

කිඩාරම් විශේෂ කිහිපයක් ලංකාවෙ තිබෙන බවත් මෙ ශාඛය සර්ප විෂට බෙහෙත් කරන්න යොදා ගන්නා බවත් කියැවේ.

නුදුරු කාලයකදීම අපේ රටට ආවේණික ගස්කොලන් වල නම් විතරක් අපිට ඉතුරු වෙන්නත් බැරි නැහැ... එතකොට අපේ උන්දැලා දැන් ඩයිනෝසර්ලා ගැන රස කර කියනවා වාගේ කතා කියාවි!

පළමු පල කිරීම: 06-03-2010

Saturday, June 12, 2010

විසිතුරු පහන්


යටකර
ලොකු ගානක්
රුවින්
සැරසුවත්
වීදි කොනක්
විහිඳනා
මද කාන්තිය
සෑහේද නුඹට

පළමු පල කිරීම: 04-02-2010

Tuesday, June 8, 2010

1.00 පවර්පොයින්ට් - MS-PowerPoint යොදාගෙන ලස්සන නිර්මාණයක් සැකසීම

පවර්පොයින්ට් MS-Office පවුලේ සාමාජිකයෙකි. ප්‍රධාන වශයෙන් වැඩමුළුවක, අධ්‍යාපනික හෝ ව්‍යාපාරික ආදී සාකච්ඡාවක දී කරන ඉදිරිපත් කිරීමක් හෙවත් ප්‍රෙසෙන්ටේෂනයක් (Presentation) සකසා ගැනුමට උපයෝගී කරගනු ලබන සොෆ්ට්වෙයර් එකකි.

පවර්පොයින්ට් භාවිතාකර සකසන අලංකාර ඉදිරිපත්කිරීමක් එකිනෙක අනුපිලිවෙලට දිස්වෙන පෙලගැස්මක් හෙවත් ස්ල්යිඩ් පෙලක් Slide-Show ලෙස දර්ශණය කල හැකිවීම පවර්පොයින්ට් වඩාත් ප්‍රචලිතවීමට හේතුවකි.

මූලික දැණුම ලබාගෙන හුරුවීමෙන් උසස් තත්වයේ ප්‍රෙසෙන්ටේෂන් සකසා ගැනීමට හැකිවනු ඇත.
එපමණක් නොව, පවර්පොයින්ට් උපයෝගී කරගෙන ලස්සන සිතුවමක් පසුබිම සේ යොදා සැකසූ කවි පන්තියක්, පිටුවක් වැනි නිර්මාණයක් කරගන්න ද පුළුවන. එ සඳහා අවශ්‍ය කරන මූලික දැණුමෙන් පටන් ගෙන තමුන්ගේම නිර්මාණයක් සකසා ගන්න පුලුවන් මට්ටම දක්වා පියවරෙන් පියවර පැහැදිලි කරන අරමුණින් සැකසූ අත්වැලකි (guideline) මෙය.

භාවිතයට පහසු වෙන සේ මෙකී අත්වැල කොටස් තුනකට වෙන් කර ඇත. මෙහි විශේෂත්වය වෙන්නේ මෙ අත්වැල ද පවර්පොයින්ට් යොදාගෙනම සකස් කර තිබීමයි. එය ඔබ වෙත ගෙන එන්නේ අන්තර්ජාලයේ ඇති Slide-Share සේවාව ඔස්සේය. අදාල සබැන්ඳිය (link) මගින් යාවූ විට එය ඔබේ මොනිටරය මත ස්ලයිඩ් පෙලක් (Slide-Show) සේ දිගහැරෙනු ඇත.

යම් ලෙසකින් ස්ලයිඩ් පෙල (Slide-Show) බැලීමට අපහසුවක් ඇතිනම් Download කරගැනීමට හැකි ලෙස ද සකසා ඇත. එසඳහා වන සැබැඳිය නියමිත ලෙස ස්ථාන ගතකර ඇත.

MS-Office පවුලේ අනික් සොෆ්ට්වෙයාර් මෙන් නොව පවර්පොයින්ට් වල දී සිංහල ෆොන්ට් කෙලින්ම යොදා ගත නොහැකිය. නොයෙක් මෘදුකාංග උපයෝගී කරගෙන සිංහල යුනිඛේත සකසන විට පියවි ඇසට නොපෙන්න යම් කොටසක් ද එක්වේ. පවර්පොයින්ට් වලදී ඒවා දැකගත හැකි කොටස් බවට පත්වී අකුරු පෙල්වල් හී නිමවුම (format) බාධා කරයි. මෙ ප්‍රශ්ණය විසඳාගන්නා අයුර නියමිත තැන්හිදී සාකච්ඡා කරනු ඇත.

පහත දක්වා ඇති ලෙස මෙ පවර්පොයින්ට් අත්වැල කොටස් තුනකින් සමන්විත වේ:

1.01 පවර්පොයින්ට් මූලික දැණුම (පියවෙන් පියවර විස්තර කරන අතහුරුවක්)

1.02 ටෙම්ප්ලේට්ස් යොදා ගෙන ලස්සන නිර්මාණයක් සැකසීම

1.03 ඕනෑම පිංතූරයක් පසුතලය සේ යොදාගෙන ලස්සන නිර්මාණයක් සැකසීම

දෙවන හා තෙවන පියවරයන් අනුගමනය කිරීමට නම් පවර්පොයින්ට් පිලිබඳව මූලික දැණුමක් අවශ්‍ය වේ. එය පලමු පියවරෙන් සකසනු ඇත.

පැහැදිලි කිරීමෙ පහසුව තකා jpeg file සැකසීම යොදා ගත්තද jpeg වෙනුවට "png" file පිලියෙල කර ගත හැකිය. සාමාන්‍යයෙන් png, jpeg file වලට වඩා විශාලය.

මෙ අත්වැල පිලිබඳව ඔබේ අදහස් ලබා දෙන්නේ නම් කෘතඥවෙමි.

තවද, පවර් පොයින්ට් සම්බන්දව යම් ප්‍රශ්ණයක් මතුවේ නම් මෙහි සටහනක් තබන්න, විවෙකය ලැබෙන ලෙස ඒවා නිරාකරණය උත්සාහ ගන්නම්.

මෙම අත්වැල ගල්මල් අඩවියෙන් ඔබට පිදෙන තුටුපඬුරකි. එම අදහස, සැකසීම හා ඉදිරිපත්කිරීම සම්පුර්ණයෙන් ගල්මල්-Coral නමින් පෙනීසිටින නමින් එම්.ඩීන් වන මා සතුය.

මෙය දැණුම බෙදා දීමට ගත් උත්සාහයකි. වාණිජමය අරමුණු උදෙසා උපුටගැනීමෙන් වලකින ලෙස ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

1.01 පවර්පොයින්ට් පිලිබඳව මූලික දැණුම - Introduction to PowerPoint (Sinhala)

පවර්පොයින්ට් උපයෝගී කරගෙන ඉතා ආකර්ශණීය ඉදිරිපත්කිරීමක් හෙවත් ප්‍රෙසෙන්ටෙෂන් (presentation) එකක් සකසා ගන්න පුලුවනි. මයික්‍රෝසොෆ්ට් පවර්පොයින්ට් බාවිතයට පහසු සොෆ්ට්වෙයාර් එකක් ලෙස ප්‍රකටය.

මෙය කොටස් තුනකින් සමන්විත අත්වැලේ පලමුවැන්නයි. ඉන් මයික්‍රෝසොෆ්ට් පවර්පොයින්ට් භාවිතා කර ප්‍රෙසෙන්ටෙෂනයක් සකසා ගන්නා අන්දම පියවරෙන් පියවර පෙන්වා දේ.

ඔබට MS-පවර්පොයින්ට් පිළිඹඳව දැණුමක් ඇත්නම් දෙවන (1.02) හා තෙවන (1.03) කොටස් වෙත යොමුවිය හැකිය.

පාඩම මෙතැනින්.

1.02 ටෙම්ප්ලේට්ස් යොදා ගෙන ලස්සන නිර්මාණයක් සැකසීම

පවර්පොයින්ට් ස්ලයිඩයක අලංකාරය පසුබිම, ෆොන්ට් වල පැහැය හා රටාවන් හි සංකලනය අනුව අඩු වැඩි වේ. අන් MS-Office සොෆ්ට්වෙයාර් වල මෙන්ම පවර්පොයින්ට් හිදි මෙවන් සංකලනයන් යොදා සැකසූ ටෙම්ප්ලේට් (template) ගනනාවක් සපයා ඇත. ඊට අමතරව පවර්පොයින්ට් ටෙම්ප්ලේට් බාගතකර හැකි අඩවි ගනනාවක් අන්තර්ජාලයේ ද ඇති අතර ඉන් පමණක් ඒවා නොමිලේ සපයයි.

මෙය කොටස් තුනකින් සමන්විත අත්වැලේ දෙවැන්නයි. ඉන් මයික්‍රෝසොෆ්ට් පවර්පොයින්ට් ටෙම්ප්ලේට් පසුතලය සේ යොදාගෙන ඔබේම නිර්මාණයක් කරගන්නා ගන්නා අන්දම පියවරෙන් පියවර පෙන්වා දේ.

මෙ කොටස තේරුම් ගැනීමට MS-පවර්පොයින්ට් පිළිඹඳව දැණුමක් තිබිය යුතුය. එය පලමු (1.01) කොටසින් සැකසෙනු ඇත.

පාඩම මෙතැනින්

1.03 ඕනෑම පිංතූරයක් පසුතලය සේ යොදාගෙන ලස්සන නිර්මාණයක් සැකසීම

තම නිර්මාණයක පසුතලය (background) ලෙස ටෙම්ප්ලේටයක් (template) වෙනුවට තෝරාගත් පින්තූරයක් ද යොදා ගැනීමට පුලුවන.

එය කරගන්නා අන්දම මෙ කොටසින් විමසා බලනවා.

මෙ කොටස තේරුම් ගැනීමට MS-පවර්පොයින්ට් පිළිඹඳව දැණුමක් තිබිය යුතුය. එය පලමු (1.01)කොටසින් සැකසෙනු ඇත.

පාඩම මෙතැනින්