Wednesday, July 28, 2010

ග්ලාස් ක්ලීනර්

තොරතෝංචියක් නැතිව
නැගෙන කිරිකිරිය
ග්‍රීස් වේලුන කප්පියෙන් ද...
දැවැන්ත ඔරලෝසු කණුවෙ
විශාල බට්ටා වගෙ
ඒත් රිද්මයක් නැතුව වැනෙන
හිතේ දෝංකාරය ද...

අධ්‍යාපන, විදේස
අමාත්යන්සේ මහත්වරුන්
මගෙ ඉන්ගිරිසියට පෙරලපු
ලියවන පට්ටල් නිපුණතාවය
සහතික කරන්න මැලිවුනෙ
අපේ බාස් සීයා
ලියාපදිංචි වෘත්තීය පුහුණුකරුවෙක්
නෙවේ නිසාලු!

දන්න ලියවන පට්ටලෙ
වැඩට ආවත්
සහතික නැති නිසා
තට්ටු තිස්-දෙකේ බිල්ඩිමක
කළු වීදුරු තහඩු සුද්ද කරන
ග්ලාස් ක්ලීනර් කෙනෙක් මං...

තොටිල්ලක් වගේ යකඩ කොටුව
හතර පැත්ත වානේ කඹෙන් එල්ලලා
උඩින් කැරකෙන කප්පි හරහා
මෝටරයෙන් දුවන
ක්ලීනර් කාට් එක මගේ ජීවිතය
පල්ලකැලේ රාජු මල්ලි අතේ
රිමෝට් කොන්ට්‍රෝලය

නිල් පාට කොට කලිසම
සුදු අත්-කොට වූ කමිසය
අවුරුදු ගානක යාළු සියල් පෑන
පැත්තකට දැම්මේ
උඹව ලොක්කෙක් කරන්න
මල්ලියේ...

ලෝගුව දාගෙන
උඹ එක්ක ආ ලොක්කි
අපෙ පරම්පරාවෙන් උරුම
ඉඩම වික්කෙ
මගෙ කොටස
උඹව උගන්වන්න
උකස් කරපු කොටස
විතරක් මට ඉතිරිකරලා...

ඒක බේරගන්න
රට ආපු මගෙ
ඇසේ කඳුලින් තෙමා
කළු වීදුරු තහඩු පිරිමදිනවා
හිතේ වේදනාව
ගිනි පිඹිනවා...

හුළං පාර සැර නොවෙන්න
දූවිලි කුණාටු ඇස් අඳ නොකරන්න
මෝටරේ අතර මඟ ඇන නොහිටින්න
රාජු මල්ලි හොඳ මුනියා වෙන්න...

රන්කහවනු එකතු කරලා
කාමර දෙකේ මන්දිරය කඩලා
තට්ටු ගෙයක් හදනවා අහස උසට
ගෙවදින දාට උඹලාටත්
කියලා යවන්නම්...
වරෙල්ලා...

සටහන:
ආර්ථික හා සමාජමය ප්‍රශ්ණ නිසා මදපෙරදිග රක්ෂාවක් සොයා ගෙන ඇවිත් දුක්විඳින දහසක් දෙනා විවිධ අවස්ථාවන් වලදි හමුවී ඇත. මෙය ඉන් එකකි, කථානායකයාගේ පෞද්ගලික ප්‍රශ්ණයට වඩා විශාල ප්‍රශ්ණ වැලක් මෙහිදි ගෙනහැර දක්වන්න අදහස් කලා.

කෙටි හදුන්වාදිමකින් පසුව අති නවීන උපකරණ/උපාංග පාවිච්චියට සමත් හැකියාවක් ඇති බුද්ධිමත් ලාංකීක තරුණ අය මෙහි ආවත් ඔවුන්ගෙ නිපුණතාවය (Skills) සනාථ කරන්න තරම් සහතික නැතිවීම බොහෝවිට ඔවුන් නුපුහුණු කම්කරු ගනයේ රක්ෂාවලට තල්ලු කරනවා.

මෙවන් සහතික අනුමත කිරීමේ කාර්යය අධ්‍යාපන හා විදේශ අමාත්‍යංශ වලට අයත් අංශ දෙකකට පැවරී ඇතිමුත් පෞද්ගලික හෝ කුඩා අයතනයකින් පුහුණුවක් ලද අයෙකුට පිහිටක් වෙන්නේ නැහැ. ඒත් මෙවන් අයගෙ හැකියා ව දියුණු කරන්න සමත් ප්‍රමාණවත් වැඩ පිලිවෙලක්ද නැත.

ඉතිං සමාජ-ආර්ථික ප්‍රශ්ණ හා නිලධාරිවාදයේ ගිරයට අහුවූ පුවක් ගෙඩි මෙන් මෙලෙස නුපුහුණු කම්කරුවන්සේ දුක් විඳිනවා.

පළමු පල කිරීම: 28-01-2010

13 comments:

  1. අගේ ඇති පද පෙළක්....අපෙ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන විදේශ විනිමය ගැන පම්පෝරි ගසනවා හැර ඔය කියන ආයතන වලින් වෙන සේවය නම් ඉතාමත් අල්පයි...:(...

    ReplyDelete
  2. ඉතාමත් වටින කාලීන මාතෘකාවක්....මගේ සහෝදරයා හැමදාමත් හිතන්න ඕන දේවල්නෙ ලියන්නෙ....මං හිතන්නෙ පුළුල් සංවාදයක් ඇති කළයුතුයි මේ ගැන...අවුරුදු ගනනාවක් විදේශගතව සේවය කල මට මේ මගේ යාළුවන්ට බොහෝ අත්දැකීම් ඇති මේ ගැන...
    ඇත්තටම ඉන්දියාව,පාකිස්තානය,ලෙබනන් වැනි රටවල උදවියත් එක්ක වැඩ කරලා මටනම් එමට පලපුරුද්ද තියෙනවා...මහලොකුවට අර ඩිග්‍රිය මේ ඩිග්‍රිය තියෙනවා කියලා පාරම්බානවා..වැඩකරල බලන්න ඕන හැටි දැනගන්න...අපේ මේසන් බාසුන්නැහැ දන්නවා උන්ට වඩා...
    මං හිතන්නෙ අපේ රටේ වෘතීය අධ්‍යාපනය හොඳින් ලබා දෙනවා..නමුත් ඒවාට පිළිගැනීමක් දෙන්න නිළධාරියෝ අකැමැතියි...අපිට හොඳ ආචාර්ය මංඩල ඉන්නවා..ඒකෙ දෙකක් නැහැ...නමුත් පාඨමාලා අවසානයේ ලැබෙන සහතික පත්‍රය කිසිකමකට නැහැ...මංහිතන්නෙ දැනට අවුරුද්දකට හෝ දෙකකට උඩදි වෘත්තීය අධ්‍යාපන සඳහා විශ්ව විද්‍යාලයක් ආරම්භ කරා..නමුත් සමාජය ඒ ගැන දැනුවත් වෙලා නැහැ...

    යාළුවනේ එන්න අපි කතාකරමු මේ ගැන...

    සුලා..

    ReplyDelete
  3. @Shadow/හේමලයා:
    ඒක තමයි හරිම කතාව. අඩුම තරමේ එහෙම කඹුරලා පොඩිගානක් ඉතිරි කරගෙන ගියහම දෙපයින් හිටගන්නවත් උදව්වක් කරන එකක්යැ.

    අපේ ම මිනිසුන් පුලුවන්කම තියාගෙන දුක් විදිනව බලන එකත් එක කරුමයක්.

    ReplyDelete
  4. @සුලා:
    මගේ කලින් පොස්ට් එකක ඔබේ කොමන්ට් එකකට උත්තර ලියමින් මං සඳහන් කරා මැදපෙරදිග රැකියා වටාපිටාව අලල කල නිර්මාණ කිහිපයක් තියෙන බව. මෙ ඉන් එකක්.

    මෙය දුක්බර පැත්තක්. අපේ රටට විදේශ විනිමය නැති වෙනවා. මා වරක් වගකිවයුතු උතුමෙක් එක්ක මෙ ගැන කතා කරා. අංශුමාත්‍රයක තැකීමක් තිබුනේ නැහැ.

    යාළු ඔබ මුල්පියවරක් තිබ්බා අපි බලමු. චූටි පින්සලක් වුනත් හැදෙන්න නම් කෙඳි කීපයක්වත් එක් වෙන්න එපායැ.

    ReplyDelete
  5. මැද පෙරදිග අපේ අයගෙ ජීවිතේ තවත් දුක්බර කතාවක් අය්යෙ...
    අපේ අධ්‍යාපනේ තියෙන දුර්වල ම තැන් තමා ඕව, මොකක් හරි දේකට ගියාම ඒක නොකෙරෙන හේතු නම් ඕනෙ තරම් පෙන්නනව ආණ්ඩුවෙ කන්තෝරුවලින්,

    මැද පෙරදිග අපේ අයගෙ ජීවිතේ දුක්බර වෙන්න එක හේතුවක් ගිහින් එන අපේ අයම කරන මවාපෑමත් කියල මට හිතෙනව...තමන් කොච්චර කරදර වින්දත් කියන්නෙ හරී ම හොඳයි කියල, ඊට පස්සෙ ඉතින් පත්තරවල එහෙම මොන තරම කරදර ප්‍රශ්න ගැන දැක්කත් යනව... මොකක් හරි කම්කරු ගනයේ ‍රැකියාවකට... මේ මම කියන දේ හුඟක් ම මම දැකල තියෙනව මගෙ ගමේදි නම්... ජීවත් වෙන්න බැරිම කමකට නෙවේ යන්නෙ, අල්ලපු ගෙදර කෙනා ගෙනාපු අරුමෝසම් ටික ගේන්න...

    ඕක ජපානෙටත් පොදුයි, විසා නැතිව මෙහෙ ඉන්න කොච්චර දුක් වින්දත් ගිහාම ජපානෙ සුරපුරක් කරල පෙන්නනව, ඉතින් තව කවුරුහරිත් ඒක අහල ගේ දොර උගස් කරල හරි ඇවිත් මෙහේ ඉසුරු සොයාගෙන යන්න එනව... සමහරුන්ට airport එකෙන් එලියට එන්න ලැබෙන්නෙත් නෑ... සමහරු ඇවිත් නොවිඳිනා දුක් විඳිනව...

    මම දන්නෙ නෑ මම හිතන හැටි හරිද වැරදි ද කියල ඒත් මට හිතෙනව සමහර මිනිස්සු ගිහින් කරදර විඳින්නෙ නිරපරාදෙ කියල , ඒත් ඉතින් සැබැවට ම අවශ්්‍යතාවය ට යන මිනිසු ගැන නම් කියන්න දෙයක් නෑ... අනික ඉතින් අපේ තානාපතිඅරු ත් කොච්චර හිටියත් කිසිම කෙනෙක් ගැන හොඳක් කියවෙනව මම අහල නෑ...

    ReplyDelete
  6. අර්ථවත් පැදි පෙළක්,
    දුක් විදින දනන්ගේ දුක දන්නේ දුක් විදින දනන් විතරයි .....
    ඔය කියන ආයතනවල වුන් ‍ඒ දුක දන්නෑ, මහ ලොකුවට පම්පෝරි ගහන්න විතරයි දන්නේ.

    ReplyDelete
  7. මගේ නංගියා(චේජනා) මේ ගැටළුව දිහා වෙනස්ම කෝණයකින් දැකල තියෙනව..ඇත්ත තමයි නංගියේ මෙහෙ මේ කර්කාෂ්ඨක පොලොවෙ සෙල්සියස් හතලිහ පනහ සීමාවෙ එළිපහලියේ වැඩකරනව කියලවත් අපිට හිතන්න පුළුවන්ද???ඒ විතරක්නම් මදෑ අධික ආර්ද්‍රතාවය(හියුමිඩිටි )..ඇත්ත තත්වය ඕකයි...
    මේසන් බාස් කෙනෙක් ගෙ එහෙම නැත්නම් ස්තීර කම්කරුවෙකුගෙ වැටුප දිරහම් 750කට එහා යන්නෙනැහැ...නුපුහුණු කම්කරුවෙකුගෙ වැටුප දිරහම් 600කට එහා යන්නෙ නැහැ..අද අපේ රටේ මේසන් බාස් කෙනෙක්ගෙ දිනක වැටුප රුපියල් දහකට කිට්ටුයි නෙවද...අත් උදව් කරුවෙක් පන්සියයයක්වත් නැතිව හොයාගන්න බැහැ...මං කියන්න හැදුවෙ මේකයි...තම දුවාදරුවන් එක්ක ඔය ලැබෙන වැටුපෙන් කළමනාකරණය කරගතහැකියි...අනෙක ස්වාධීනත්වය..!...මට ඔයකියන අයවලුන් එමට හමුවෙලා තියෙනවා..
    නංගියා කියාපු තවත් දෙයක්...මෙහේ එමට ෂොපිං මෝල් තියනවනෙ...රාත්‍රියට තමයි ඕව සක්‍රීය වෙන්නෙ...අතට හමුවෙන සොච්චම ත් අරගෙන මේවාට ගොඩවෙන අයවළුන් ඒ අතර අතරමං වෙනවා නෙව...
    තමන් කොපමණ දුක් වින්ඳත් කටුනායක ගුවන් තොටෙන් ගොඩබහින ඇත්තන්ගෙ විසිතුරු දැක්කහම මෙහෙ සුරපුරයක්ය කියන මානසිකත්වය අන් අයගේ හිත් තුල ඇතිවෙන එක වලක්වන්න බැහැ..හැබෑ තත්වය ඒක නෙවෙයි බව කියන්නෙ කීයෙන් කීදෙනාද..??
    නමුත් මේ පිළිබඳ කතිකාවතක් මාධ්‍යයෙන් කළයුතු වෙනවා...
    ඒ අතින් මේ මගේ දාර්ශණිකයා ගෙනයන හුදෙකලා සටණ කවදාහරි හොඳ ආරම්බයක් වෙනවාමයි..
    මේ

    සුලා..

    ReplyDelete
  8. විදේශ සේවයේ නියුතු ලාංකිකයින් විසින් රටට උපයා දුන් මුදල (ඒකකය ඇමෙරිකන් ඩොලර්):

    වසර 1999 දී බිලියන 1.0
    වසර 2002 දී බිලියන 1.3
    වසර 2008 දී බිලියන 2.9
    වසර 2009 දී බිලියන 3.3

    අලුත් වාර්ථාවක් අනුව 2010 වසරේ පලමු මස හතර අතුලත දී බිලියන 1.2ක් බවත් එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 14%ට වඩා වර්ධනයක් බවත් කියැවේ. මෙ වසරේ අපේක්ෂිත ආදායම බිලියන 4කි.

    http://www.thesundayleader.lk/2010/08/01/war-end-increases-remittances/

    ReplyDelete
  9. කොමන්ට්වලට පසුව පිලිතුරු ලියනවා, සමාවෙන්න

    ReplyDelete
  10. @චේජනා:
    නංගි ඔයා ඉදිරිපත් කරලා තියෙන්නේ හරවත් විමසුමක්, බොහෝම ස්තුතියි (උත්තර ලියාගන්න ප්‍රමාද විය).

    මෙතැන අධ්‍යාපනයෙන් හැදෙන රික්තයේ කිමිදිලා ගොඩ එන, තම මහන්සියෙන් දෙපයින් හිටගන්න උත්සාහ කරන අයට පිලිගැනීමක්, පිහිටක් ලැබෙන්නේ නැති එකයි ප්‍රතිපත්තිමය බිඳවැටීම.

    මා ඉහතින් දැක්වූ ලංකාවට විදේශ විනිමය උපයන ගොඩේ වැඩි දායකත්වයක් මැදපෙරදිග රැකියාවල නියුතු අයගෙන්. ඉන් ද බහුතරය හැම පීඩනයටම ගොදුරුවන අය. මොකද ඒ කුලකයට අයත් ඔවුන් කඹුරා ගන්න දෙය මව්බිමේ ඉන්නා පවුලේ උදවියගේ දෛනික වියදම් සඳහා යවන්න වෙනවා අනීවාර්යයෙන්ම.

    ඒ දැක්වූ දත්ත අනුව විදේශ විනිමය වර්ධනයක් පෙන්නුම් කරනවා. ඒත් ඒ දුෂ්කර ක්‍රියා කරන්නවුන් සඳහා මොනවා ඉටුවී ඇද්ද? ඔවුන් රැකියා කාලය ඉවරවී ගියාම මොනවගේ පිහිටක් ලබේද?

    ලක් රජය බලාපොරොත්තු වෙනවා 2020 දී විදේශ රැකියා වලින් ලැබෙන ආදායම ඇමෙරිකන් ඩොලර් බිලියන 20 දක්වා වර්ධනයක්. අනුගමනය කරන්නේ වතුරට තල්ලුකර දාලා ගිලෙන්නේ නැතිව ජීවිතය බේරාගන්න වැටිච්ච එකා දැනගන්න ඕනේ කියන න්‍යාය.

    ReplyDelete
  11. @Jeewani:
    නංගි ගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නවා.
    ඔබේ අගනා සටහනට බොහෝම ස්තුතියි.

    ReplyDelete
  12. අය්යගෙ හැම රචනයකින්ම එළි දැක්වෙන අනුන්ගේ දුකෙහිදී/අසාධාරනයේදී උණු වෙන සිත, එතනින් නොනැවතී ඒ ක්‍රමය වෙනස් කිරීමට මං සොයන්නට කියවන්නා පොළඹවනවා. නුපුහුණු ශ්‍රමිකයින් පුහුණු ශ්‍රමිකයින් ලෙස උසස් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන අපට නැතුව නොවෙයි; ඉන් ලද හැකි වාසි අපේ බලධාරීන් නොදැන නොවෙයි. ඔවුන්ගේ වුවමනාවක් නැතිකම නිසා කී දෙනෙක් මෙහෙම දුක් විඳිනවද? හිතට බරක් එක් කළ නිර්මාණයක් අය්යා.

    ReplyDelete
  13. @Chandima:
    බොහෝම ස්තුතියි නංගී ඔබේ විමසුම් සටහනට.

    ඇත්තෙන්ම වගකීමක් ඇති උදවියගේ උවමනාවක් නැතිකම නිසා අපේ රටේ ශ්‍රමය බාල්දු වෙන අතරම ඒ ශ්‍රමය පුදන මිනිසුන්ට ඉපැයීම නැතිවී යනවා. මේ මිනිසුන් උපයන දේ පෙරලා අපේම රටට යවා පවුල් නඩත්තු කරන්න වෙහෙසෙන අය. ඒ කියන්නේ ඔවුන්ට නැතිවන හැම රුපියලම අහිමි වෙන්නේ රටට.

    මැදපෙරදිග රැකියා අලලා කරන සවිස්තර විමසුමක් "පතොක් යාය" බ්ලොග් අඩවියේ කරගෙන යනවා. Visitors කවුන්ටරයට පහලින් ලබා දී ඇති ලින්ක් එක මගින් පතොක් යායට පිවිසෙන්න පුලුවනි.

    ReplyDelete