යන්තරේ රළු රෝල අතරින්
ඇදෙන උක්දඬු එකිනෙක
තැලී පොඩිවී තෙරෙපී
බිඳෙන් බිඳ යුෂ සරිකර
විසිවෙන හපය කුමට ද
පැණි බඳුන් වඩී නම්...
ගැහැට විඳ ගෙන සොච්චම
වක්කර කට පලල් පුනීලයේ
පුරවන තඩි බරණියේ බරට
රට කහවණු ගනින නුවරුනට
කුමට ද නුඹේ සෝකාලාපය
ඉල්ලයි එවුන් තව කාසියක්
නුඹේ සෝසුසුම් දෝ
ගිනි පිඹින්නේ කතරේ
සොයුරියේ...
සටහන:
විදේශ රැකියාවල නිරත ලාංකිකයින්ගේ සංඛ්‍යාව මිලියන 1.8 ක් වෙන බව මෑතක පලවූ පුවත්පත් වාර්තාවල දැක්විනි. ඉන් 70% ක්ම කාන්තාවන් බවත්, බහුතරයක් මැදපෙරදිග රටවල සේවය කරන බවයි සඳහන් වෙන්නේ.
වර්තාවලට අනුව විදේශ රැකියාවේ නියුතු ලාංකිකයින් විසින් රටට උපයා දුන් විදේශ විනිමය ප්‍රමාණය මෙසේය (මුදල් ඒකකය ඇමෙරිකානු ඩොලර්):
වසර 1999 දී බිලියන 1.0
වසර 2002 දී බිලියන 1.3
වසර 2008 දී බිලියන 2.9
වසර 2009 දී බිලියන 3.3
මෙමස (අගෝස්තු-2010) මුලදී පලවූ වාර්තාවක් අනුව 2010 වසරේ පලමු මාස හතර අතුලත දී බිලියන 1.2 ක් වූ බවත් එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 14% කට වඩා වර්ධනයක් පෙන්නුම් කරන බවත් කියැවේ. 2010 වසරේ අපේක්ෂිත ආදායම බිලියන 4 කි.
මෙම ආදායම් මාර්ගය 2020 වසර වෙන විට බිලියන 10 දක්වා වර්ධනයක් ලබන්නට රජය ඉලක්ක කරයි.
මූලාශ්‍රය:
http://gulfnews.com/news/gulf/saudi-arabia/sri-lankan-maid-gives-details-of-abuse-in-saudi-arabia-1.674259
http://www.thesundayleader.lk/2010/08/01/war-end-increases-remittances/
http://www.nation.lk/2010/06/20/busi3.htm
ප.ලි:
මහා පරිමාණ උක් කර්මාන්තයේ යුෂ/පැණි අරන් ඉවතලන උක් රොඩු (හපය) හෙවත් bagasse ("baa-gas") හි අඩංගු වෙන සෙලියුලෝස් කෙඳි පරිසර-හිතකර කෑම අසුරන හා වරක් පාවිච්චිකර ඉවතලන (Disposable) කෑම බඳුන් ආදිය නිෂ්පාදනයට යොදා ගනී.
තිත්ත යථාර්තය.........කඹුරලා කඹුරලා මෙහෙට ගේන සොච්චමත් මෙහෙ ලොක්කන්ට සුර සැප ගන්නට පුදදෙන්ට නොවැ දැන් වෙලා තියෙන්නේ.....:(
ReplyDeleteෂහ් අවසානයි මහත්තයෝ.... කඳුලු එනවා ඇස් වලට...
ReplyDeleteටිකක් ලොකු උනත් අපි උනත් ඉන්නෙත් ඔය බෝට්ටුවේම නේද ?
ReplyDeleteහදවත සිතිවිලිවලින් පිරවෙනවාට අකැමැත්තෙන් නැවත නොලියන්නෙමියි සිතා හිතට අගුළු ලෑවත් මගේ සහෝදරයා උඹගේ මේ අපරිමිත වූ මනුස්සකම හමුවේ ගොළුවත රකින්න ඉඩ දෙන්නේම නැහැ නොවෑ...උඹ මගේ හදවත පහුරුගානවා සහෝදරයා...නිර්මාණය නම් උපරිමයි...ඕං මං අවසරයකින් තොරවම නිර්මාණය මගේ පරිඝණකයේ මතක ගබඩාවේ අලවා ගත්තා...
ReplyDeleteඋඹ දන්නවා මං කවුද කියලා...
"රට කහවණු ගනින නුවරුනට
ReplyDeleteකුමට ද නුඹේ සෝකාලාපය
ඉල්ලයි එවුන් තව කාසියක්"
හ්ම්ම්... මේකට නම් කියන්න මුකුත්ම ඉතිරි වෙලා නෑ...
හැමදාමත් වගේ අයිය අදත් බොහොම සංවේදි අන්තයක් නිරාවරණය කරල තියෙනවා...
ReplyDeleteනිර්මාණය නම් අපූරුයි!
ඒත් ඊට යටින් දිවෙන කතාව... ?
අවංකවම සංවේදී සිත් සසල කරවනවා..
@Shadow/හේමලයා:
ReplyDeleteඒකනේ යාළු ප්‍රශ්ණය...
බොහෝම ස්තුතියි ඔබේ සටහනට.
@තිස්ස දොඩන්ගොඩ:
ReplyDeleteDisposable කතාව කියවලා බය වෙලා වගේ. නිර්මාණයෙන් ගෙනහැර දක්වන්න උත්සාහ කලේ පුවත් සිරස්තල අත්පත්කරගත් "ඇණය" මොන පැත්තකට නැවේවිද යන්න බැලීමයි.
මැදපෙරදිග රැකියා රජය විසින් අල්ප හෝ කොහෙත්ම ආයෝජනයක් නොකර විදේශ විනිමය උපයන ප්‍රධාන ආදායම් මාර්ගයක් බවට පත් කරලා. ඒත් ඒ සඳහා දායක වෙන මිලියන 1.8 ක ජනතාවට මොනවද කරලා තියෙන්නේ, කරන්නේ යන්න විමසන්න ලොකු විමසුම් අවශ්‍ය නොවෙනු ඇති. ඒ ගැන ඉදිරියේ දී මොනවා (නො)වේවිද යන්න තේරුම් ගැනීමට ඉදිරි අවුරුදුවල දී මහජන රජයක් ලබන්න අපේක්ෂිත ආදායම පැහැදිලි කරනවා ඇති. එම අදායම ලබන්න පුලුවන් නුපුහුණු කියන ලාංකික ශ්‍රම බලකාය පුහුණු හෝ අර්ධ පුහුණු අංශයට දියුණු කරන්න පුලුවන් නම්. එවිට හෙලිවූ හා විවිධ සමාජ තත්වයන් නිසා යටපත් වූ හිංසාවනවට බඳුන් වෙන අසරන කතුන් ගෘහ සේවයට යැවීම වලක්වාලනු හැකි වේවි.
අඩු පඩි ගෘහ සේවයට ඉල්ලුමක් ඇත, ආර්ථික පීඩා හා දරිද්‍රතාවය නිසාම හොඳ සැපයුමක් ඇත. ලාංකීක කරුන් ඒ සැපයුමට තල්ලු කර ලේසියෙන් මුදල් ලබන්න බලා සිටින පියවරු, සහෝදරයින්, ස්වාමිපුරුෂයින්, ඥාතීන් ද අප සමාජයේ සිටිති. ඔවුන්ගේ කාසිය ගනින ආර්ථිකයක මෙ ප්‍රවණතාවයේ නැවතීමේ ලකුණ දකින්න නම් බොහෝ දේ ඉටුවිය යුතුව ඇත. එය ඉටුවේවිද? කවදාද?
@දුමී:
ReplyDeleteඔව් යාළු අපිද එම කුලකයේම උක්දඬු, සහතික ඇත්ත.
@ඇනෝ:
ReplyDeleteනුඹව මෙහෙමවත් දකින්න ලැබුණ එක හිතට සැනසුමක් යාළු. නුඹේ වචනයෙන්ම "හදවත සිතිවිලිවලින් පිරවෙනවාට අකැමැත්තෙන් නැවත නොලියන්නෙමියි " සිතුවත් නුඹ, අපි ආත්මාර්ථකාමී ද මන් දන්නේ නැහැ නුඹේ වචන කිහිපයක් නොදුටු ටික දවස කල්පයක් වගේ.
මේ අඩවියෙන් යමක් ගන්න නුඹට මොන අවසරද, අපිත් යන්තරේ මොන හෝ පැත්තක උක්දඬු වෙච්චි.
නුඹට යහපතක්ම පතනවා යාළු.
@චේජනා:
ReplyDeleteබොහෝම ස්තුතියි නංගී සටහනට, ඒත් "ඇණ" කතාව වෙනත් විදියට නැමෙන්න පටන් ගෙන නේ.
@sansarasidu:
ReplyDeleteසනා මල්ලිගේ රැකියාවෙ අත්දැකීම් වලින් දන්නව ඇතිනේ මේ දහදුක් විඳ හම්බකර එවන සල්ලි හා යැපෙන මිනිසුන් ගැන. මෙදිනවල පුවත් සිරස්තල ගත්තත් ඔය "ඇණේ" බොහෝ දෙනාට අමතක වී යාවි ටික දවසකින්. එහෙම වෙන්න පුලුවන් ඇයි කියන එකයි නිර්මාණයට සමාන්තර සටහනින් විමසුවේ.
බොහෝම ස්තුතියි මල්ලී ඔබේ සටහනට.