අහස උසට නැගුන
සුවිසල් මහල් අතර
රැදුන කුණු බක්කි
කම්බි කොක්කෙන් විපරම් කර
ඇදලා ගත්තේ
හිස් ඇලුමිනියම් කෑන්
කරාච්චියේ ඛාන්
වැටුනොත් කාඩ්බෝඩ් කෑල්ලක්
කිලෝමීටර් ගානක ඉවෙන් ඇවිත්
එක්තු කරගත්තෙ
බංගාලි නුවර සයිබු
කන්දෙපලට තරම් සිනාව රැන්දු මූණ
තැන තැන පැද හීරෝ බයිසිකලය
ප්ලාස්ටික් කැල්ලක් ඉතිරි නොකර
අහුලා ගත්තෙ ගුජරාතේ නන්දු
හමන දුගඳ වලකන්න
පරිසරය රැකගන්න
නව පන්නයෙ කුණු බක්කි
ඉදිවිය පෙලොව යට
පලාතම අපූරුයි ලස්සනයි
නැහැ නොවැ කුණු ලොරියෙ කරදරය
අලුත් ක්‍රමය වැඩ පටන්
පරණ බක්කි හිස්
පුංචි කවුළුවකින් වැටෙන කුණු
කැබලිවී වැටෙයි ඇතුලට
හයිඩ්‍රොලික් ක්‍රමයට පාලනය
අලුත් කුණු ලොරිය එන්නෙ ඉඳහිට
සීතල රශ්ණය දූවිලි කුණාටු
කිසිවකට හිස නවාපු නැති
දාඩියෙන් අදුම් පෙඟුන
අවුරුදු ගානක් නිවාඩු දා උදේ
දකින ඛාන් කෝ අද
කෑන් කල කෑම බීම
අහක දාන පත්තර කාඩ්බෝඩ්
අඩුවක් නැති නිසා ඛාන්ලා, සයිබුලා
දිවිගැට ගහගනීවි
කුණු බක්කිය හයි-ටෙක්
නන්දුට රෙස්ට්
නන්දුට මුවාවූ දයාපාලලා දීරසේනලා
ගනේෂ්ලා නැතිව නොවේ
සටහන:
මෙ පදවැල මැදපෙරදිග නගරයක සත්‍ය සිද්ධියක් මුල්කරගෙන කරන ලද්දකි. එනමුත් චරිතයන්හි නම් පමණක් වෙනසක් කර ඇත.
නිර්මාණය ඉවතලන කසල රැස් කරනා කුණු බක්කිය වටා ගෙතුනද කතාවස්තුව ගෙනහැර දක්වන් චරිත සෝචනීය පැතිකඩක් ගැන කියාපන්නේ නැද්ද?
ඔවුන් කුණු බක්කිය හාරා අවුස්සමින් එකතු කරන හිස් ඇලුමිනියම් කෑන්, කාඩ්බෝඩ්, පරණ පත්තර, ප්ලාස්ටික් නිෂ්පාදන ආදියෙන් ජීවත් වෙති. මෙ ඉවතලන දෑ රිසයිකල් කිරීමේ (ප්‍රතිචක්‍රකරණයේ) යෙදෙන ආයතන උපයෝගී කරගනී.
එකතු කරන්නන් කොටස් දෙකකි. රිසයිකල් කිරීමේ ආයතන හා ඒවාට සැපයුම් කරන ආයතන ඉවතලන අපද්‍රවය එක් කිරීම සඳහා පිරිස (නුපුහුණු කම්කරුවන්) සේවයේ යොදවාගනී. ඔවුන් ගෙවන ජීවිතයේ කටුකත්වය ලියන්න වචන මදිය.
අනෙක් කොටස වෙනත් රැකියාවන්වල යෙදෙමින් අමතර ආදායමක් ඉපයීමේ අරමුණින් කුණු බක්කි අවුස්සන අයවලුන්ය. මොවුන් රැස් කරන කොටස අනුව ලැබෙන මුදල නිසාම වෙහෙසෙති වෙලාවක්, පරිසර තත්වයන් ආදිය නොතකාම.
ඔවුන් මෙවන් දුෂ්කර ක්‍රියාවක් කරන්නේ දහසකුත් බලාපොරත්තු කරපින්නා ගෙන බව සැකයක් නැත. ඔවුන්ගේ දහඩිය කීදෙනෙකුගේ කුසගින්න පුරවනවා අද්ද? ඔවුන් මෙවන් දුකක් විඳින බව ඔවුන්ගේම ඈයෝ දනවාද සැකයකි. ඒත් අනුන්ට බරක් නොවී මහන්සියෙන් ලොකු බරක් ඇදගෙන යන්නෝ නොවෙත්ද?
මෙවන් පිරිස ඉන්දියාව, පකිස්තනය, බංගලිදේශය, නේපාලය හා ලංකාව වැනි ආසියාතික රටවලින් ආ අසරණයින් පිරිසකි. සුවපහසුවේ හිඳිමින් මොවුන් දෙස බලා සුසුමක් පිට කිරීම හැර වෙන කරන්න දෙයක් නැත.
ඒත් සති තුනක පමණ සිට ඔවුන් දකින්නට නැත, ඔවුන් දෙස වේදනාවෙන් බැලූ දෙනෙත සමඟ කීරිගාන සිත තරඟ කරයි මට හිතේ.
අපිත් අසරණයි නන්දු...
පළමු පල කිරීම: 24-02-2010
අපේ රටෙත් මෙවැනිම අයවලුන් නැද්ද?....:(
ReplyDeleteමාත් නිතරම දකින දසුනක් මේක.
ReplyDeleteතව එක ඩිරාම් එකක් වැඩිපුර තමන්ගෙ ගෙදරට යවල පොඩි එවුන්ගෙ බඩ පිරෙන්න තව එක චපාතියක් වැඩිපුර පුච්චන්න පුලුවන් විදිහට වෙහෙසෙන, උන්ගේ ජීවිත කොච්චරනම් කටුකද ?
කාර් එක හොඳට වායු සමීකරණය කරලත් මූණට වැටෙන තද රස්නයට බැන බැන, ට්‍රැෆික් එකට බැන බැන සිග්නල් ලයිට් එක ලඟ නතර කරගෙන අපි ඉන්නකොට ඊයනුත් උණුවෙන මහ ගිනි දවල් කම්බි කූරක් අරගෙන කුණු බක්කි අදින නන්දුලා . . . උඹලගෙ දහීර්ය ගැන හිතාගන්නවත් බැහැ අපිට.
අරුත්බර පදපෙළක් අයියෙ..
ReplyDeleteසටහනත් තදින්ම හිතට වැදුණා...
ඛාන්ලා සයිබුලා වගේම නන්දුලත් අපිත් එක්කම මේ සමාජයෙ ඉන්නව නොවෙද... මට මතක් වෙනව මේ වචන ටික..
"බෝතල් පත්තරේ.... බෝතල් පත්තරේ..."
ගෙන් ගෙට යන අතරේ අහළ පහළ කුණු ගොඩවල් අවුස්සන මේ චරිත මටත නිතර ඇස ගැටිල තියෙනව...
ඒත් අයිය කියන විදිහට අපිත් අසරණයි නේද?
මැද පෙරදිග වගේම මේ රටේත් එතරම් අන්ත දුක් විඳින කොටසක් ඉන්නව. ඒත් මිනිස්සු එයාල දිහා බලන්න අකැමැතියි.
ReplyDeleteකුසගින්න ජීවන අවශ්‍යතා ළඟ මිනිසුන් කොයිතරම් අසරණ වෙනවද?
මේ ක්‍රමය මිහිමතින් තුරන් කල නොහැකි නොවේ. ඒත් හදවත් ඇති අය නියම තැන්වල නැත.
සමාජයේ අසරණ මිනිස් කොට්ඨාශයක් වෙනුවෙන් පද ගැළපූ ඔබට තුති...
ReplyDeleteඅපේ රටෙත් ඉන්න දයාසේනලා ගැන ඔබ සිහි කරලා තියෙනවා. ඒත් මොන අපා දුක් වින්ඳත් ඔවුන් ඉන්නෙ තමන්ගේ මවුබිමේ ( මට වෙලාවකට එහෙම හිතෙනවා ) මමත් අනන්තවත් මෙහෙදි ඔය හිත කීරි ගැහෙන දර්ශනය දැක තියෙනවා.
ReplyDeleteමම ගොඩක් වෙලාවට හිස් කෑන් කවරයකට නොදා කුණු බක්කියට දානවා. ඒ නන්දු වෙනුවෙන් මට කරන්න පුළුවන් දේ.
මේ සටහන අයියා ලියපු කවියට අදාල එකක් නෙමෙයි. ඒත් මට ලියන්න හිතුනා. අපි දැනට ඉන්න ගෙදර කිට්ටුව තියෙනවා විශාල ගෙයක්, මේ රටේ කෙනෙක් ගේ, 2008 වර්ශයේ රාමදාන් සමය කිට්ටුව ඒ නිවැසියො ගේ ඉදිරිපිට හැදුවා කුඩා කාමර කොටසක්. කුඩා ගරාජයක් තරම්, මොකටද කියලා අපිට තේරුණේ ඊට ටික දවසකට පස්සෙ. රාමදාන් සමය ආරම්භ උනහමයි. බලනකොට ඒ හදලා තියෙන්නෙ කුඩා දාන ශාලාවක්. උපවාස වේලාව අවසාන වෙනකොට ඒ මිදුල ළඟ පාරෙ එක් රැස් වෙලා ඉන්නවා විශාල පිරිසක්. ගිනි කාශ්ටකේ , උපවාසෙනුත් හෙම්බත් වෙලා තියෙන අසරණ මුහුණු. හරිම පව් කියලා තියෙනවා. මම දැන් රාමදාන් සමය තුනක් මෙහෙ හිටියා. නොකඩවාම මේ පාරත් ඒ නිවෙස් හිමියෝ ඒ කටයුත්ත කරනවා. එන්න එන්න පිරිස වැඩියි වගේ. කොටින්ම හවස 5 විතර ඉඳන් මේ අය පාරෙ බලාගෙන ඉන්නවා. එතනට එන 99% ක්මදෙනා කම්කරුවො. සමහ්‍ර විට වතුර වත් නොබී හිටියට රැකියාවෙ නියැලෙන්න වෙනවත් ඇති. ඒත් අර මිනුස්සු කරන්නෙ නම් මහාම පිනක් කියලා මට හිතෙනවා. හිතන්න දෙයක් නැහැ. ගේ දැක්කම ඔවුන්ගේ ආර්ථිකය ගැන හිතා ගන්න පුළුවන්. ඒත් ඔච්චර බණ අහන අපේ රටේ මිනිස්සුන්ට වඩා නම් ඒ මිනිස්සු හුඟාක් ඉදිරියෙන් නේද?
තව දෙයක් ඒ ගෙදර් තාප්පෙ පාර පැත්තට වෙන්න සවිකරලා තියෙනවා ජල කරාමයක්. ඕන වෙලාවක ඕනා කෙනෙක් ට වතුර අරන් යන්න කොච්චරවත් හතර වටේ වැඩ කරන කම්කරුවො වතුර ගන්නෙ එතනින්.
පින්කම් කියන්නෙ මෙන්න මේවා , මට හිතෙන්නෙ එහෙම.
ඉස්සර මීගමුව පැත්තෙ ප්‍රොජෙක්ට් එකකට වැඩ කරන කාලෙ හැමිල්ටන් ඇලේ අයිනෙ එක තැනක ඒ ඇලේ වතුර පෙර පෙර එකතේ පෙරන බාජනේ රැඳෙන මන්ඩි ටික එකතු කරන ගෑනු කෙනෙක් හිටිය, කොහොම එනවද මම දන්නෙ නම් නෑ, රත්තරන් එකතු කරනව කියල තමා කීවෙ, කොහොම ආවත් කොතනකින් හරි ඉතාම ස්වල්පයක් නෙ, ඒත් අවශ්‍යතාවය නිසා ම මිස ඒ වතුර අල්ලන්න බැරි තරම් අපිරිසිදුයි,
ReplyDelete@Shadow/හේමලයා:
ReplyDeleteඇත්ත අපේ රටේ එවැන්නන් බොහෝ ඇතිවාට සැක නැත.
මැදපෙරදිග වැනි කාෂ්ඨක පරිසරයකකට ඇවිත් විවිධ හේතූන් නිසා අවැසි අමතර මුදලක් සොයාගන්න ඔවුන් විඳින දුක. කෙනෙකුට හිතෙන්න පුලුවනි ඒ ඔවුන්ගේ කැමැත්ත කියා. ඒත් බොහෝ විට එය එසේ නොවේ, ඔවුන් කෙරෙහි පැටවෙන දැරිය නොහැකි බර, වගකීම සමහර විට ඔවුන් උපයන රන්කහවනු ලැබෙන දෑත් වල නාස්තිය ආදී විවිධ කරුණු නිසා තම මූලික රැකියා කාලයෙන් පසුව මෙවැනි ඉවතලන දේ අහුලා කාසි කරන පිරිසක් ගැනයි විමසුම. බෙහෝ විට අපේම අය තම අනන්‍යතාවය වසාගෙන, ලැජ්ජාවට දෝ නන්දුලා වෙනවා. ඒකයි නන්දුට මුවාවූ දයාපාලලා දීරසේනලා ගනේෂ්ලා නැතිව නොවේ පදවලින් කීවේ.
බොහෝම ස්තුතියි යාළු නොවරදවා ඇවිත් සටහනක් තියා යන එකට.
(ටික දවසකින් ඒ පැත්තේ එන්න බැරිවුණා)
මමත් අඩු වැඩි වශයෙන් කරන්නේද ඔය රස්සාවමැයි...!!!!!
ReplyDelete@දුමී:
ReplyDeleteඔව් යාළු මෙ අව් කාශ්ටකේ කියලා වැඩක් නැහැ, ඒත් ඒ අසරණ මිනිසුන්ගේ උවමනාවන් උන්ව ඊටත් වඩා දවනා වෙන්න ඇති. එකයි නේ උන් මේ කාශ්ටට පරිසරයත් එක්ක මේ තරම් හැප්පෙන්නේ.
බොහෝම ස්තුතියි සටහනට.
@sansarasidu:
ReplyDeleteමේ මිනිසුන් මොනතරම් දුකක් වින්දත් ඒ අයව සත්‍ය ලෙස අපේ පරිසරය සුරකින වීරයින් නොවෙද?
සමාජය දියුණුව කියමින් ප්ලස්ටික් බෑග්, බොතල් වලට ගියාට කලකට පෙර ලංකාවේ වැඩිහරියක් පරණ පත්තර, පොත්පත්, සඟරා ආදියත් බෙහෙතක් ගේන බොතලයක් පවා පිරිසිදු කර ආයේ පාවිච්චි කරා. ඒකයි නියම රිසයිකලින්, සමාජය ඒවට පිටුපාලා ඉස්සරහට ගියා. දැන් සමුළු පුටු රත් කරන අය කියන නිසා ලොකු ප්‍රෝග්‍රෑම් තියාගෙන මොස්තරේට "රිසයිකල්"
බොහෝම ස්තුතියි සනා මල්ලි ඇවිත් සටහනක් තියලා ගියාට.
@``` Outsider```:
ReplyDeleteඔබේ අදහසට මා සපුරාම එකඟයි.
සුද්ද පවිත්‍ර කරන අයවලුන් පිළිකුල් කරන අය හිතන්නේ නැහැ ඒ කාර්‍යය ඒ මිනිසුන් නොකලා නම් අපේ වටා පිටාව මොනතරම් (අ)සුන්දරව ඇත්ද? කියන එක.
බොහෝම ස්තුතියි ඔබේ සටහනට.
@Praසන්ன:
ReplyDeleteබොහෝම ස්තුතියි යාළු, ඔබේ සටහන ලොකු ගැඹුරක් ඇත්තක්. ඒ වෙනුවෙන් ඔබටත් මගේ ආචාරය.
@හරී:
ReplyDeleteනන්දුට මුවාවූ දයාපාලලා දීරසේනලා ගනේෂ්ලා නැතිව නොවේ පදවලින් කියන්න අදහස් කලේ මෙහි වෙසන ලාංකික කට්ටියක් ගැන. ඔවුන් මොන හෝ හේතුවක් නිසා මුවා වී ඉන්නවා ඇති, ඒකත් වැරදි නැහැ; කවුද කැමැති ඒ වගේ වැඩ කරන්න.
නංගී, හැම තැනම බොරළු අතර මැණික් කැට තියෙනවා. ඒත් වැරදි දේවල් වලින් උත්පාදනය වන පුවත් වැරදිම නොවැ මතු කරන්නේ. ඒ වාතාවරණය අනුව ඔබ මතුකර පෙන්වූ උසස් ගතිගුණ ඇති ඒ "උතුම් මිනිසා"ට පින්.
බොහෝම ස්තුතියි ඔබේ දිර්ග සටහනට.
@චේජනා:
ReplyDeleteඇත්තෙන්ම නංගී ඒ මනුස්සයාගේ අසරණ බව මොනතරම් නම් ද කියලා හිතාගන්න පුලුවන් අර වගේ අපිරිසිදු වතුරත් එක්ක ඔට්ටු අල්ලීමෙන්.
කෙනෙක් කියන්න පුලුවන් ඒක තමා ලෝකයේ විශමතාවය කියන එක කියා. ඒත් ඒවා දකින අපි මෙතරම් තැවෙන්නේ සිත දැඩි නති නිසා ද, එහෙමත් නැති නම් එවැන්නන් නොසලකා හරින කොටසට අපි තවමත් පත්නොවූ පිණටද?
බොහෝම ස්තුතියි නංගී ඔබේ සටහනට.
@තිස්ස දොඩන්ගොඩ:
ReplyDeleteඇත්තෙන්ම නන්දුලාට, ඛාන්ලාට, දීරේලාට ඇලිමිනියම් කෑන් ටිකක් හරි ඇහින්ඳ හැකියි. ඒත් අපිට?