Showing posts with label වෙනත් කතා. Show all posts
Showing posts with label වෙනත් කතා. Show all posts

Saturday, July 18, 2026

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

 

මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් යොදවා, කණ්ඩායමක බුද්ධිය-ශ්‍රමය හා තාක්ෂණය කියන එකතුවකින් හැඩගැන්වෙන IT system එකක ඵලදායීතාවය කියන්නේ එය බාවිතා කර වැඩගන්න කණ්ඩායමේ සාර්ථක බව මතයි. Usersලා කියන ජනේල කවුළුව තමයි අරකී සිස්ටම් එකහා එම සිස්ටම් එකෙන් සේවාව ලබන ප්‍රජාව අතර යාකරන ස්මාර්ට් පාලම. උදාහරණයක් හැටියට එම ප්‍රජාව සමාජයේ විවිධ මට්ටමේ පුද්ගලයින්ගෙන් සැදුම්ලත් ජනයා වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් ආයතනයක සේවක මඩුල්ල වෙන්න පුළුවන්. යූසර්ස්ලා කියන අය; අරකී ප්‍රජාව, IT system සීමාවන්, ඒ ගැන දැනුම/අවබෝධය හා පුද්ගල කැපවීම/රුචිය ආදී පරාමිතීන් ගනනාවකින් වට වූ බොක්ෂින් වළල්ලක තරඟ වදින උදවිය. ඒවගේම ඔවුනුත් සොබාවයෙන්ම සංවේදී මිනිස්සු. සිස්ටම් එකක ඵලදායීතාවය, කාර්යක්ෂමතාවය හා සාර්ථකත්වය කෙරෙහි usersලා කියන ස්තරය (layer) බොහෝම වැදගත්, ඔවුන් අර කවුළුවෙන් එපිට සමඟ කරන ගනුදෙනුව බොහෝම වැදගත්. ඉතිං අපි IT system building, කණ්ඩායම් ගොඩනැඟීමේ (team building) දී මෙන්ම යූසර් ට්‍රේනිංවල දී තරහ පාලනය (anger management) කියන කොටස ගැන ලොකු උනන්දුවක් දක්වන්න සිදුවෙනවා.

තරහ පාලනය උගැන්වීම සඳහා මා උපයෝගී කර ගත්තේ ගෞතම බුදුන්වනසේගේ බොහෝ වටිනා දේශනයක් පාදක කරගත් කතාවක්:

“If someone offers you a gift and you decline to accept it, to whom does it belong?”

යමෙකු ඔබට තෑග්ගක් පිළිගන්වයි, ඔබ එය බාරගන්නේ නැහැ, එය අයිති කාට ද?

එක හඬින් ඇහෙන්නේ:

“Then it belongs to the person who offered it.”

එහෙමනම් එය තවමත් අයිති ලබා දුන් එම පුද්ගලයාටම නොවෙ ද?


වැඩමුළුවේ ස්වභාවය හා පරිසරය අනුව පාදක කතාව පැහැදිලි කරන අවස්ථා ද විය, එය සැකැවින් මෙසේය: 

මිනිසෙකු බුදුන් වහන්සේ වෙත ගොස් බුදුන්ට අපහාස කරයි. බුදුන් වහන්සේ සන්සුන්ව සිටියි. මිනිසා කෝපයෙන් කෑගැසීම අවසන් කල පසුව, බුදුන් වහන්සේ ඔහුගෙන් මෙසේ විමසීය, "ඔබ යමෙකුට තෑග්ගක් මිලදී ගෙන පිළිගන්වනවා, එය ඔහු බාර ගත්තේ නැත්නම්, එම තෑග්ග අයිති කටද?" මිනිසාගේ පිළිතුර වූයේ "තෑග්ග මිලදීගත් දා සිට තවමත් ඔහුට අයිති" බවයි. බුදුන් වහන්සේ පිලිතුරු දෙමින්, "නිවැරදියි. ඔබේ කෝපයත් එසේමයි. ඔබේ අවලාදය මම පිළිගන්නේ නැති නිසා, එම කෝපය, අවලාදය ද ඔබ තුලමය."


ඔබේ මනසේ සාමය, යහපැවැත්ම සම්පූර්ණයෙන්ම ඔබේ පාලනය යටතේ පවතී. අන් අයගේ නිෂේධාත්මක බව හෝ "කෑගැසීම" පිළිගැනීමට හෝ ප්‍රතිචාර දැක්වීමට ඔබට අවශ්‍ය නැත; ඔබ එය ලබා නොගැනීමට තෝරා ගන්නේ නම්, නිෂේධාත්මක බව එය ගෙනා පුද්ගලයා සමඟ පවතින බැවින් ඔහුම රැගෙන යාවි. ඔබ සැනසිල්ලෙන්...

Your peace of mind is entirely within your control. You do not have to accept or react to the negativity or "shouting" of others; if you choose not to receive it, the negativity remains with the person who brought it.

Let them take the apple back.

Image credit to Gemini AI


ප.ලි: මෙම අගනා කරුණ මගේ ජීවිතයට එක් කළේ මම බුදු දහම ගැන ඉගෙන ගන්න කාලයේ. පාසැල් කාලයේ සිට මෙම කරුණ එදිනෙදා ජීවිතයේ මෙන්ම වෘත්තීය ජීවිතයේ ලොකු අස්වැසිල්ලකි, අදටත් එහෙමයි.




Saturday, December 2, 2023

ඩී.ඊ.එම්. ඕ'ක්‍රසි මලාය (ශනිදා දහයට!)


අරගලය කියන යෙදුම මිනිසා ලොව උපන්දා සිට හුස්ම ඉහළ පහළ ගැනීම, හෙලීම තරම් පොදු දෙයකි. මනුසතා තම පැවැත්ම, ආරක්ෂාව වෙනුවෙන් බාහිර සමාජය සමඟ ද අනෙකුත් සත්වයින් සමඟ ද යෙදෙන අරගලය වගේම තම වටාපිටාව පරිසරයේ අනේක අබ්බැහි, ආකර්ශණ, නොමඟ යෑම් වලින් මිදීමට තමා තම සිත සමඟ යෙදෙන අරගලය ද සුළුපටු නොවේ. අරගලය මොනාකාර වුවද විශ්ව සාහිත්‍යය කෙරෙහි අරගලය ලබා දෙන නිමිති, මූලයන් අපමණය. කාව්‍ය  සාහිත්‍යයේ අදටත් තැනක් හිමි සූෆි කාව්‍ය සීරුවෙන් හසුකරගන්නේ පුද්ගලයා තම සිත සමඟ කරන අරගලය නොවෙද?

සමාජ දේශපාලන පෙලීම හා පීඩා අරගලයන් වලට ඉන්දන සපයන අතර, ප්‍රතිරෝධය මැඩලීම අරගලයන් පෝෂණය කරනවා වගේම නිර්මාණකරනයට ද උත්තේජනය සපයයි කියන්න පුළුවනි. මේ එක් උදාහරණයකි, 70 දශකයේ වූවා කියන සිද්ධියකි.

70 දශකයේ මැද භාගයේ දී, මෙරට ඉංග්‍රීසි පුවත්පතක අපූරු මරණ දැන්වීමක් පළ වුණි. එහි දැක්වුණු අන්දමට මියගිය පුද්ගලයා ඩී.ඊ.එම්. ඕ ක්රසි නමැති මහතෙකි. ඔහුගේ මරණයෙන් ශෝක වන්නන් අතර, ටී. රූත් (භාර්යාව), එල්.අයි. බර්ටි (පුතා) සහ ෆේත්, හෝප් සහ ජස්ටිස් නමැති සොහොයුරෝ ද වූහ. ලිපිනය ලෙස සඳහන්ව තිබුණේ අරලිය මැඳුර, පණගියවත්ත, අඳුරුවෙල යනුවෙනි.

බැලූ බැල්මටම මෙහි අමුත්තක් නොතිබුණ ද, ටික දවසකින්ම එහි සැඟවී තිබූ කර්කශ සරදම හෙළි වුණි. මියගොස් තිබෙන්නේ “ඩිමොක්රසි” නොහොත් ප්‍රජාතන්ත්‍රවාදයය. ශෝකවන පිරිසට සත්‍යය (Truth), නිදහස (Liberty), විශ්වාසය, බලාපොරොත්තුව හා යුක්තිය (Faith, Hope, Justice) අයත්ය.

මේ කාලයේ මෙරට පැවතියේ ද, පුවත්පත් ආයතන මර්දනය, විපක්ෂ රුස්වීම් තහනම වැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලන ක්‍රියාවලියකි. අර සිනා උපදවන මරණ දැන්වීම, ඊට සිය විරෝධය දක්වනු පිණිස, නිර්මාණශීලී පාඨකයකු විසින් කරන ලද්දකි (ඔහු වෘත්තියෙන් වෛද්යවරයෙකි).

මෙම මරණ දැන්වීම පුවත් පතේ පලවූ දා උදයේම එය එවකට පැවැති රජයේ ප්‍රබල ඇමැතිවරයෙකුගේ නෙත ගැටුන බවත්, වහාම ඔහු ආරක්ෂක අංශය අරකී මැදුරට යවා එහි විසූ අයගේ වතගොත සොයා බැලීමට තරම් කලබල වූ බව පුවත්පත් වලින් කියවා ඇත්තෙමි. එතැන් පටන් එය ලියුවා යැයි සැක කර ප්‍රගතිශීලී ලේඛකයින්, මාධ්‍යවේදීන් බොහෝ දෙනෙකුට අනේක පීඩා හා හිරිහැර සිදු වූ බව කියවෙයි. පසුව නිර්මාණය කල වෘත්තීය වෛද්‍යවරයා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ බව කියවේ.

තවද, මෙකී මරණ දැන්වීම 70 දශකයේ තරුණ කැරැල්ලක රහස සංඥාවක් නිකුත් කිරීමට යොදාගත් එකක් බව ද ප්‍රකට කතාවක්  විය.

මේ දැන්වීම පිළිබඳ කතාව, ඉන්දියාවට ද පැතිරුණි. ඒ කාලයේ ඉන්දියාවේ අගමැතිනිය ඉන්දිරා ගාන්ධිය. එහිද ලංකාවට සමානවම මාධ්‍ය හා විපක්ෂය මර්දනය කිරීම සිදුවෙමින් පැවතුණි.

1975 ජූනි මාසයේ, “ටයිම්ස් ඔෆ් ඉන්ඩියා” පුවත්පතක අවමංගල්‍ය දැන්වීම් තීරයෙහි, “ඩි ඕක්රසි, ඩී.එම්.ඕ.” නමැති මහතකුගේ මරණය ගැන නිවේදනයක් පළ වුණි. ශෝක වන්නෝ ද ලංකාවේ දැන්වීමේ පරිදිමය. පසුව දැනගන්නට ලැබුණු අන්දමට, අපේ දැන්වීම අනුකරණය කරමින් එය පළ කර තිබුණේ, පසුකලෙක “රීඩර්ස් ඩයිජස්ට්” සඟරාවේ ඉන්දියානු මුද්රණයේ නියෝජ්‍ය සංස්කාරකවරයා ලෙස කටයුතු කළ අශෝක් මහදේවන්ය.


ps:

එකී මරණ දැන්වීම මෙසේ පලවූ බව කියවේ:

D.E.M. O’ Cracy, beloved husband of Truth, loving father of L I Bertie, brother of Faith, Hope and Justia, interned on Saturday 20th instant, Araliya Medura, Panagiyawatte, Anduruwella

Dr. Riley Fernando ගේ නිර්මාණයක් බව කියවේ.

Saturday, October 21, 2023

මැජික් (ශනිදා දහයට!)

එකොමත් එක රටක ජනාධිපතිතුමා හා අගමැතිතුමා විදේශයක ලෝක සමුළුවකට සහබාගී වෙන අතරතුර ඔවුන්ට වෙනත් රාජ්‍ය නායකයෙකු විසින් රාත්‍රී භෝජනය සංග්‍රහයක් පවත්වනවා, ප්‍රධාන පෙලේ හෝටලයක...


ජනාධිපතිවරයා ඔහුගේ පිරිවර සමඟත් අගමැතිවරයා ඔහුගේ පිරිවර සමඟත් ශාලාවේ දිග මේසයක මුහුණට මුහුණලා අසුන්ගෙන සිටිනවා.


රාජ්‍යනායකවරුන්ට සැකසූ කෑම මේසය බොහෝම වටිනා පිඟන් කෝප්ප ආයිත්තම් වලින් පිරිලා, හැඳි ගෑරුප්පු එහෙම රන් ආලේපිත ඒවා විය. ජනාධිපතිතුමා මෙවන් තැනකින් සිහිවටනයක් හැටියට වටිනා පුංචි දෙයක් අරන් යන්න පසුබට වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මෙවැනි තැනක එහා මෙහා වෙන දේවල් ගැන කවුරුවත් තකන්නේ නැහැ, නොදැක්කා වගේ ඉන්න එක සිරිත නෙවැ. ඒත් පොඩි ප්‍රශ්ණයක්, මෙදා ඔහුට කලින් අගමැතිවරයා ඉස්සර වුන හැටි දැකලා පොඩ්ඩක් අප්සෙට් වුනා.


සතුටු සාමිචියෙන්, සැහැල්ලුවෙන් පිරුණ කතා අතර ජනාධිපතිවරයාට පොඩි කට්ට අදහසක් පහළ වුනා.


ජනාධිපතිවරයා මැජික් එකක් පෙන්නන්න ඉදිරිපත් වෙනවා.


"මිත්‍රවරුණී, මම මේ හැන්දයි ගෑරුප්පුවයි මගේ සාක්කුවට දානවා. ඒවා අපේ අගමැතිතුමාගේ සාක්කුවෙන් අරන් පෙන්නනම්" කිව්වේ සභාව මවිතයට පත් කරමින්.


අගමැතිවරයාට හීන් දාඩිය දානන්නට විය. වෙනෙකෙකු තම සාක්කුවට අත දාන්න කලින් හිනාවක් දාගෙනම තමා කලින්ම සාක්කුවට දාගත් රන් අලේපිත හැන්ද හා ගෑරුප්පුව අරන් පෙන්නන්නට විය.


* 80 දශකයේ අග ප්‍රසිද්ධ කතාවකි

Monday, February 13, 2023

පිටි පස්සේ කට්ටියක්

බිබි දාත්තා (බිබි අක්කා) දකුණු පළාතේ වෙරළාසන්න පොඩි නගරයක් ආශ්‍රිත ගමක ජීවත් වූ මුස්ලිම් කාන්තාවකි. එම පෙදෙසේ අනෙක් අය වගේම ඇය ද කතා කළේ බාගෙට භාගයක් සිංහල දෙමළ වචන ද කලවමෙනි, එය ඔවුන්ට අමුතු දෙයක් නොවිය. භාෂා දෙක කලවමේ භාවිතය නිසා නොයෙක් විට අනේක පටලැවිම් ද ඇතිවෙන අවස්ථා එමටය.


වෙදමහත්තයාගේ ඩිස්පෙන්සරිය තිබුණේ නගරයේ අතුරු පාරක් අයිනේ වූ ලැලි එකින් එක ගලවා අරින වහන ඉදිරිපස දොර සහිත පරණ තාලේ කඩකාමරයකය. ඇතුල්වෙනවාත් එක්කම ශාලාවේ පරණ පුටු පේළියකි, එහි කිසිවෙකු නොවිය.


විග විගස ආපු බිබි දාත්තා ලෙඩ්ඩු බලන කමරයට ඇතුල් වෙද්දි වෙදමහත්තයා නිවිහැනහිල්ලේ දවසේ පත්තරේ කියවමින් උන්නේ, උපැස් යුවළ නළලට එසවූ වෙද මහත්තයා "ඇයි මේ බිබි දාත්තා කලබලෙන්"


"පිටි පස්සේ කට්ටියක්, පිටි පස්සේ කට්ටියක් වෙදමහත්තයෝ"


"හරි, හරි බිබි දාත්තා ඔහොම වාඩිවෙන්න කෝ, මං බලන්නම්" වෙදමහත්තයා උපැස් යුවලද ගලවා අතට අරන්, දොරකඩට ගොහින් නළලට අතක් තියාගෙන පාරේ ඈත විපරම් කරන්නට විය. "කෝ කවුරුවත් පේන්න නැහැ නෙහ්" කියමින් වෙදමහත්තයා ලෙඩ්ඩු බලන කාමරයට ආපහු එන්නට විය.


"නේ, නේ වෙදමහත්තයෝ පිටි පස්සේ කට්ටියක්"


"හරි, හරි කලබල වෙන්නේ නැතිව වාඩි වෙන්නකෝ"


"බේ වෙදමහත්තයෝ, වාඩි වෙන්න බේ. පිටි පස්සේ කට්ටියක්, හරී රිදෙනවා"


"හරි, හරි වුට්ටක් ඔහොම ඉමුකෝ" වෙදමහත්තයාට කාරණය පසක් වුණේ පොඩි හිනාවකුත් එක්කම.


තෙල්කොළ කෑල්ලක බෙහෙත් ආලේපය ඔතලා, ගාන්න ඕනෙ විදියත් කියලා ලෙඩා පිටත් කල වෙදමහත්තයාට බිබි දාත්තාගේ වචන ආයෙත් මතක් විය "පිටි පස්සේ කට්ටියක්", බීබි දාත්තාගේ තට්ටමේ විසප්පුවක්...


(දෙමළ බසින් කට්ටි: හමේ ඇතිවෙන ගෙඩි/විසප්පුව/cyst)

* 80 කාලේ සිදුවූ සත්‍ය සිදුවීමකි


Thursday, January 12, 2023

ලොකු බිත්තර දාපන්කෝ කිකිළියේ...

 


ලෝක බිත්තර දිනය | World Egg Day යෙදෙන්නේ ඔක්තෝබර් මස දෙවන සිකුරාදා, ඒ සඳහා වෙනම දියනක් වෙන් කරලා තියෙන්නේ 1996 ජාත්‍යන්තර බිත්තර කොමිසම (International Egg Commission) මුල්වෙලා. ඔවුන්ගේ අරමුණ පෝෂ්‍ය ගුණයෙන් අගතැන්පත් මූලයක් වෙන බිත්තර ගැන මහජනතාව දැනුවත් කරනවා වගේම මහජන සෞඛ්‍යය හා පෝෂණය වැඩි දියුණු කිරීම.

ලංකාවේ මහජන පෝෂණය කෙසේ වෙතත් කැලන්ඩරය පුරාම බිත්තරයෙන් පෝෂණය වෙන්නේ බිත්තර නිෂ්පාදකයින් එහෙමත් නැත්නම් ෆාම් කාරයින්. ලංකාවේ බිත්තරේ ද ලක්සරියක් (ඒ කතාව එච්චරයි තිත).

එය කෙසේ වෙතත් තවත් බිත්තර කතාවක්:

ලංකාවේ ගෙවතු, කොරටු වගාව බොහෝම සරු කාලයක් තිබුණා. ඒ කාලේ ගෘහාශ්‍රිත සත්වපාලනයත් බොහෝම හොඳට කෙරුණා. මේ කියන යුගය රුපියල් දෙකකට බිත්තර කීපයක්ම ගත හැකි වූ කාලේ.

සෝමපාල පොඩි කුකුල් පාලනයක් කරගෙන හංදියේ කඩේට ගම් බිත්තර සපයන්නෙක්, ටිකක් මෝඩයි.

"බිත්තර ටික නම් පංකාදුයි සෝමේ" කූඩෙන් බිත්තර තෝරලා පෙට්ටියේ අඩුක්කු කරන මුදලාලි කට කොනකින් හිනාවක් දාගෙන කිව්වා.

"එහෙමෙයි, මුදලාලි..." අහිංසක සෝමෙ ඔළුව කසන්නට විය.

"තව චුට්ටක් ලොකු වුණා නම් ශත දෙකහමාරක් වැඩි කරලා දෙන්න තිබුණා" මුදලාලි ඉක්මන් වුණේ සෝමෙට වෙන මොකුත් කියන්න ඉඩ තියන්නේ නැතිව.

බිත්තර විකුණපු සල්ලිවලින් කිරි වැස්සිට පුනක්කු, කුකුල් කෑම එහෙම අරන් ආපු සෝමේ හනි හනිකට පලා මිටි ටිකත් ලියාගෙන, කුකුල් කෑමත් හදාගෙන කුකුල් කොටුවට වැදුණා.

කෑම ටික බඳුන්වල දාලා වතුර බේසම් සුද්දකරලා වතුර පුරවපු ගමන් කුකුල්ලු, කිකිළියන් ඒ වටා රොක් වෙන්න ගත්තා. ඒත් එක්කම අලුත දාලා තිබුණ බිත්තර ටිකත් එකතු කරගත්තා.

ඔන්න කූඩුව කෙළවරේ කිකිළියෙක් කෙකර ගානවා, සෝමේ හිමීට ළංවෙලා බැලින්නම් තවත් ලොකු බිත්තරයක්.

"පුළුවන් නම් තවත් ටිකක් ලොකුවට බිත්තර දාපන්කෝ... මුදලාලි කිව්වා ශත දෙකහමාරක් වැඩියෙන් දෙන්නම් කියලා" කිකිළියගේ පිට අතගාන ගමන් සෝමේ කිව්වේ හරි අහිංසක විදියට.

"පුහ්, මේ ටික දාන්නෙත් හරි අමාරුවෙන්, ඔහේ කියන්නේ ශත දෙකහමාරට තව __  ඉරාගන්න කියල ද?" අහලා කිකිළි ගස්සගෙන යන්න ගිහින්.

2022/10/14 වැටුන World Egg Day දා ලියපු එකක් මෙය.


බිත්තර හැදෙන හැටි, කෙටි වීඩියෝවක් බලමු:



Friday, September 17, 2021

වෙනස් කතාවක්

මහා විශාල කාන්තාරයක් මැද්දේ පුංචි ක්ෂේම භූමියක් තියෙනවා. දන්නවනේ ක්ෂේම භූමියක් කිව්වාම ගස්වැල් එහෙම සරුවට වැවෙන, වතුර ආදී ස්වාභාවික සම්පත් වලින් පිරුණ, කුරුල්ලෝ, වන සතුන් එහෙම ගැවසෙන තැනක් වෙන්න පුළුවන් වුණාට මේ කියන ක්ෂේම භූමිය ටිකක් වෙනස්. මෙහේ ස්වාභාවික සම්පත් භූමියේ තැන තැන විසිරිලා තියෙන්නේ. බීමට ගන්න පිරිසිදු වතුර ලබා දෙන උල්පතෙන් බුබුළුලා උනන පිරිසිදු වතුර නදිය දිගේ හඬ දිදි ගලා අවිත් ජලාශයේ පිරෙනවා. නිල්කැටේට වතුර, බලන්න ලස්සනයි. නදිය දෙපැත්තේ, ජලාශය වටේ ලස්සන වන වඳුලේ පලතුරු, බෙහෙත් ආදී නනා ප්රකාර පැල, පඳුරු, ගස්  පිරිලා. සොබාසිරියෙන් පිරි මේ පුංචි බිමේ අඩුවක් කියන්න දෙයක් නැහැ. ඒ වගේම තැන තැන තියෙන හිස් ඉඩකඩන් වල පිළිවෙළට, ක්රමවත්ව ඉදි කරපු ගොඩනැඟිලි බොහෝමයකි.

භූමිය වටේ ඇති ඌෂ්ණ පරිසරය ක්ෂේම භූමිය තුළට වෙද්දි වෙනස් වෙන්නේ ගස් කොළන් වලින් පිරී ඇති නිසාය. මෙම පාරිසරීක වාසිය අත්පත් කරගෙන මෙම භූමිභාගය සංචාරක මධ්යස්ථානයක් බවට පත්විය.  කාන්තාර මායිමට වෙන්න තනා ඇති විවිධ ප්රමාණයේ විලා, පුද්ගලික විලා සංකීර්ණ ද ක්ෂේම භූමිය අතුළතට වෙන්න පිහිටි විලා වගේම නිවාස සංකීර්ණ ද ඈත අවට නගරවල කාර්ය බහුල ජීවිතයක් ගෙවන දේශීය සංචාරකයින් අතර වගේම විදෙස් සංචාරකයින් අතර ද ජනප්රිය වෙන්නට විය. තවද සංක්රමණි කුරුල්ලන්ගේ පරාදීසයක් වෙන ක්ෂේම භූමිය කේන්ද්ර කරගත් සොබාවික පාරිසරය සංචාරකයින් ආකර්ෂණය කරන (tourist attractions) ප්රධානම සාධකය වේ.

මෙම සංචාරක කර්මාන්තයේ රැකියා කරන උදවිය හා ඔවුන්ගේ පවුලේ අය ජීවත් වෙන නිවාස සංකීර්ණ ද ක්ෂේම භූමියේ පසෙක පිහිටා ඇත.

ක්ෂේම භූමියේ වටේ ඈත ඈතට වෙන්න පිහිටි වැලි කඳු පේළිය, ඒ අතරින් උදෙන්ම එබී බලන හිරු රැස් හරිම අලංකාරයි. බටහිර අහසින් බැස යන සැඳැ හිරු වැලි කඳු අතරින් හැංගිලා යද්දි, මලානික හිරුකිරණ වැටී වටේම ඇති වැලි කඳුවැටි දිලිසෙන්නේ එක එක පාටින්. ඈතින් හමා එන කුණාටු හුළඟ වැලි කඳු කලතාගෙන අරන් එන වැලි කුණාටු මේ ලස්සන භූමියට කරන අරියාදු ද කෙළවරක් නැහැ. හැබයි මේ ලස්සන ක්ෂේම භූමිය වටා ඇති උස ගස්, ඒවයේ උඩ ඉඳන් පහළට කඩා හැලෙන්න වගේ වැවුණ අතු ඉති නිසා වැලි කුණාටුවෙන් කරන හදිය ටිකක් හරි අඩු කරනවා.

මේ ලස්සන භූමිය කරා ඇදෙන සංචාරකයින් හට සංචාරක ව්යාපාරය උසස් සේවයක් ලබා දේ. එමෙන්ම එය වාසස්ථානය කරගෙන වෙසෙන්නන් බොහෝම සතුටින්, සාමයෙන් ජීවතය ගෙවන්නේ සොබාදහමෙන් ලැබුණ දායාදයන් ආදරයෙන් රැක බලාගෙන පරිස්සම් කරගෙන.

ඔවුන්ගේ ව්යාපාර හා එදිනෙදා ජීවිතය පහසු කරන්න,  පැවැත්ම,  සුබ සිද්ධිය,  වෙනුවෙන්ම කැපවුන බල සේනාවක් මෙහි ඉන්නවා, ඔවුන්ගෙන් රාජකාරිය මේ සුන්දර ක්ෂේම භූමියේ තැන තැන විසිරිලා තියෙන පොදු පහසුකම් වලට අවශ්ය කරන දේවල් නිසි පිළිවෙළට සපයලා ඒ ඒ කාරිය කලට වේලාවට හරියාකාරව පවත්වාගෙන යාමයි.

මේ ලස්සන භූමිය කාන්තාරයකින් වට වෙලා තිබුණ ද මෙහි  ජීවත් වෙන වැසියන්ට බීමට පිරිසිදු වතුර සපයන්නෙ ජලාශයෙන් අරන් පිරිසිදු කරලා. එම ජලය පියවරෙන් පියවර පෙරා නියමිත කාලයක් ගබඩා කරලා තියලයි පාවිච්චියට බෙදාහරින්නේ.

සංචාරක පහසුකම් (tourist facilities) වල හා මෙහි මිනිසුන් පාවිච්චියට ගෙන අපිරිසිදු වෙන වතුර, කැළි කසළ එහෙම එකතු වෙන තැනක් ක්ෂේම භූමියේ ඈත කෙළවර, කාන්තාරය දෙසට වෙන්න පිහිටා තියෙන්නේ. ගෙවල් වලින් ඉවත්වෙන අපවිත්ර ජලය නල මාර්ගායෙන් එකතු කරලා එතැනට අරන් එනවා, එම නල මාර්ගයේ තැනින් තැන පොඩි යන්ත්රාගාර ඉදිකරලා තියෙනවා ඒවා ලිෆ්ට් ස්ටේෂන් (lift stations) හැටියට හඳුන්වනවා, ඒවායෙන් අපවිත්ර ජලය නල මාර්ගයෙන් කැළි කසළ එකතුවෙන තැනට ගෙන යෑම ක්රමවත් කරනවා. ඒ තැන තැන පිහිටි පොඩි යන්ත්රාගාර නොවෙන්න නෙයෙකුත් අපද්රව්ය නල මාර්ග හිරවෙලා අපවිත්ර ජලය කැළි කසළ පිටාර ගලන්න ඉඩ තියෙනවා. එකතුවෙන අපවිත්ර ජලය කැළි කසළ විශාල යන්ත්රාගාරයකට අරන් පිරිසිදුකර කැළි කසළ වල ඇති අපවිත්ර ගන ද්රව්ය හා ජලය වෙන්කරනවා. ඒ වෙන්කර ගත් ජලය (reclaimed wastewater) යම් දුරකට ප්රිසිදු කරලා ආයෙත් ක්ෂේම භූමියේ අලංකාරයට වවා ඇති ගස්වලට (landscaping) වතුර සැපයීමට පාවිච්චි කරනවා. අන්තිමෙදි ඉතුරුවෙන ගන අපද්රව්ය (sludge) කාන්තාරය පැත්තට වෙන්න හදා ඇති නියැදි (beds) වල පුරවා වේලලා අරන් භවභෝග වගාවන් වලට දාන කොප්ම්පොස්ට් පොහොර හදන්න යොදා ගන්නවා. ඔන්න ඔය විදියට ක්ෂේම භූමියේ පරිසරය ආරක්ෂා වෙනවා. ස්වභාවික ජල මූලාශ්ර පරිස්සම් කරනවා.

සංචාරකයින් සඳහා වෙන්කර ඇති විලා හා පහසුකම් (facilities) වලින් ඉවතලන කසළ වෙන වෙනම බඳුන්වට දාන අතර ඒවා හවුස්කීපින් වලින් එකතු කර නියමිත කන්ටේනර් වලට දානව. ගෙවල් වල ඉවතලන කසළ වෙන් වෙන් වශයෙන් තෝරලා නියම කර ඇති ස්ථානයේ දැම්මාම ගොඩනැගිල්ලේ පහත මාලයේ අදාළ කසළ කන්ටේනර් වලට වැටිලා එකතු වෙන අතර පොලිතීන් හා නොදිරන කසළ එකතු කර ක්ෂේම භූමියෙන් පිටත යවනවා. ඉවතලන දිරන කසළ කන්ටේනර් කොම්පොස්ට් ප්ලන්ට් එකට ගෙනියනවා. 

බීමට ගන්න ජලය පවිත්ර කිරීම, අපවිත්ර ජලය පවිත්ර කිරීම ආදිය ස්වයංක්රීය යන්ත්රාගාරවල සිදුවෙන අතර එම කටයුතු මධ්යම පාලක මැදිරියකින් පාලනය වේ. බීමට ගන්නා ජලය ගබඩා කිරීම හා බෙදාහැරීම, අපවිත්ර ජලය හා කැළි කසළ එකතු කිරීම ආදිය ද මද්යම පාලක මැදිරියේ පාලනය යටතේ පවතී. කටයුතු ස්වයංක්රීයව සිදු වුව ද ඒ ඒ කාරියන් අධීක්ෂණය හා පවත්වා ගැනීම් ආදිය කරන්නේ  කලින් කී සේනාවේ උදවිය අතිනි. ඔවුන් හා පාලක මැදිරිය අතර මනා සම්බන්ධීකරණයක් හා සහයෝගීතාවයක් ඇතිව ඒ කටයුතු පිළිවෙළට සිදුවේ.

මේ ලස්සන බිමේ සොබාවයෙන් ලද දායාදයන් තවත් ලස්සන කරමින් ගොඩනැගිලි අද්දර ලස්සනට වැවුව මල් පාත්ති, පාර දෙපැත්ත අලංකාර කරන ගස්, මල් වැට හා තැන තැන උයන් කිහිපයක් වේ. මේවාට ජල සැපයුම සිදුවන්නේ පස්යට එලා ඇති නල පද්ධතියකිනි. ඒ ඒ තැන අනුව සවිකර ඇති උපකරණයන් වලින් පාලනය වෙන වාරි ජල සැපයුම ද ස්වයංක්රීයව සිදුවේ. එම උපකරණ හා නල පද්ධතියේ නඩත්තුවට අනුයුක්ත කල කොටසක් සේනාවේ ඇත.

මොනතරම් යන්ත්රානුසාරයෙන් හා ස්වයංක්රීයව වැඩ කටයුතු සිදු වුව ද ඒ ඒ නියමිත සේවාවන් කිරීමට වෙන් වූ සේනාවේ දායකත්වය හා අධීක්ෂණය නැතුව බැරිය. ඔවුන්ගේ සේවය දවසේ පැය විසිහතර පුරා අඛණ්ඩව අවශ්යය.

දීප්තිමත් රතු පාට කවර්-ඕල් මාදිලියේ නිල ඇදුම් ඇඳගත් සේනාවේ සාමාජිකයින් ක්ෂේම භූමිය පුරා තැනින් තැන සේවයේ යෙදෙන්නේ රතු කුහුඹු හමුදාවක් වගේ එහේ මෙහේ දුවමින්, කඩිසරවය. වරෙක ගණ කොළ පැහැ ගස් වලට සාත්තු කරමින් ඉන්නා පිරිසකි. පිරෙන කුණු කන්ටේනර් අයින් කරමින්, ඒ වෙනුවට හිස් කන්ටේනර් තියලා  කර කුණු මෝලට අරන් යන පිරිසකි. වතුර පිරිසිදු කරන යන්ත්රාගාරවල නොයෙකුත් අදියර වලදී එක් කර යුතු රසායනික ද්රව්ය ගෙන යමින් ඒවාට අඩු වැඩිය සපයන තවත් පිරිසකි.

ඒ වගේම මේ සුන්දර භූමියේ ආරක්ෂාව මූලික වගකීම වන පොඩි කණ්ඩායමකුත් ඒ සේනාවේ ඉන්නවා. කාන්තාරයේ වැලි පැහයට හුරු අඳුරු පාට නිල ඇඳුමකින් සැරසී සිටින ඔවුන්ගේ රාජකාරිය ක්ෂේම භූමියට බාහිරෙන් එන්න පුලුවන් බලපෑම් ගැන අවධානයෙන් ඉන්න එක. යම්කිසි අන්දමකින් පොඩි හෝ පිටස්තර බලපෑමක හෝඩුවාවක් ලැබුණොත් අනික් සේවාවන් වලට යොදවලා ඇති සේනාව ඒ රාජකාරියන් අතෑරලා දාලා ආරක්ෂක යුනිෆෝම් වලට බැහැලා භූමියේ ආරක්ෂාව වෙනුවෙන් සීරුවෙන් පෙළ ගැහෙනවා. භූමියේ, සංචාරකයින්ගේ හා වැසියන්ගේ ආරක්ෂාව සැලසීම තමයි මුල්තැන ගන්නේ, එහෙව් හදිසි අවස්ථාවක දී අනෙක් කටයුතු අඩාල වෙන්න ඉඩ ඇත, ඇනහිටින වෙලාවන් පවා නැතිවා නෙවෙයි. අන්න ඒ වගේ දිගටම පැවතුනොත් ලස්සන ක්ෂේම භූමිය කඩා වැටෙන්න පුළුවන්. අරකී පිටස්තර බලපෑම, බිය සම්පුර්ණයෙන්ම පහව ගියාට පසුවයි ආරක්ෂක සේවාවට අදාළ නොවන සේනාවට සාමාන්ය සුපුරුදු කටයුතුවලට යන්න අවසර ලැබෙන්නේ.

කලාතුරකින් දවසක වරක්, එහෙමත් නැත්නම් කීපවරක් ක්ෂේම භූමියේ ආරක්ෂාව ගැන අනතුරු දැන්වීම් (Alert) ඇතිවෙනවා, ඒ විගසම අනෙකුත් සේවාවන් වලට අනුයුක්ත සේනාවේ සාමාජිකයින් ආරක්ෂක සේවාවන් වලට කැඳවුම් ලබනවා. පමණක් වෙලාවට අනතුරු හැඟවීම් සදෝස් නැත්නම් ෆෝල්ස් එලාම් (false alarm). එවැනි අවස්ථාවක කැඳවුම් ලැබූ සේනාව ඉක්මනින් මුදා හැරියත්, පමණක් වෙලාවට තත්වය සාමන්ය අතට පත්වෙන්න සෑහෙන වෙලාවක් ගතවෙන්න පුළුවන්. රතු යුනිෆෝමයෙන් සැරසුණ කඩිසර සේනාව දකින්න නැති භූමිය ද මලානිකය, සෝම්බේරිය.

ඔන්න දවසක්, උදේ හිරු රැස් ඈත වැලි කඳු වළල්ලේ තැනින් තැන එඹී බලන වෙලාවක ක්ෂේම භූමියේ නිරිතදිග කොනේ මුර කුටියේ උන්න හේවායා නරක ආරංචියක් දුන්නා. එවෙලේ ආරක්ෂක කටයුතුවල නිරතව ඉන්න පිරිස වෝකි-ටෝකිවලින් ආරංචිය දැනගත් වහාම ක්ෂේම භූමිය හයි-ඇලර්ට් තත්වයට පත් කරා. සුළු මොහොතක් ගත වෙන්න ඇති, අනෙකුත් සේවාවන් වල නිරතව ඉන්න සේනාව, ඕෆ් ඩියුටි හිටිය සේනාව හැමෝම  ක්ෂේම භූමියේ  ආරක්ෂාව තහවුරු කිරීමේ රාජකාරියට කැඳවුම් ලැබුවා.  මධ්යම පාලක මැදිරියේ සේවයේ යෙදී ඉන්නා සේනාවේ සාමාජිකයින් දෙදෙනා හා අනෙකුත් තැන්වල සේවයේ යේදි  ඉන්නා අත්යාවශ්ය සේවාවන් පවත්වාගෙන යායුතු මූලික කණ්ඩායමේ කිහිපදෙනා හෙවත් ස්කෙලිටන්-කෲ (skeleton-crew) විසින් හැම නියමිත සේවාවක්ම පවත්වාගෙන යායුතුය. පාලක මැදිරියෙන් දෙන නියෝග  ඉටු කිරීමට ස්කෙලිටන්-කෲ එකේ අය එහාට දුවනවා, මෙහේට දුවනවා ඉස්පාසුවක් නැහැ. මේ අතර සේනාවේ බහුතරයක් පිටතින් ඇතිවිය හැකි බලපෑමක සැකය නිසා සීරුවෙන් ක්ෂේම භූමිය වටා. ඔය විදියට කාලය ගත වෙද්දි ගොඩනැගිලිවල තැන්පත් කර ඇති කසළ එකතු කරන කන්ටේනර් පිරිලා වටේ ඉහිරෙන්න පටන් ගන්නවා. ඒවා ගැන බලන්න නියමිත ස්කෙලිටන්-කෲ සාමාජිකයින්ට විතරක් වැඩේ කරගන්න අමාරු වෙනවා, තවත් සාමාජිකයින් කීප දෙනෙකු උදව්වට එනවා. අපවිත්ර ජලය එකතු කරන නල ජාලයේ පොම්පයක් ඇන හිටීම නිසා උතුරන්න පටන් අරන්. තැන තැන එක එක ප්රශ්ණ, ඒ වෙනුවෙන් යමක් කරන්න පුළුවන් උදවිය ළඟ පාතක නැහැ, ඔවුන් ආරක්ෂක සේවාවට යොමු කරලා.

දවසේ පැය, දෙක ගෙවිලා, හවස් වරුව වුණා. දැන් දැන් ලස්සනට පිළිවෙළට තිබුණ ක්ෂේම භූමියේ තැන තැන ගඳ ගහන්න පටන් ගන්නවා. ගොඩනැඟිලි වල කුණු කසළ කන්ටේනර් වලින් දුගඳ විහිදෙනවා, ඒවා අදින බල්ලෝ බළල්ලු හැම තැනම හැඩි කරනවා. පමණක් තැන්වල මල්පාත්ති වලට වතුර සැපයුම ඇනහිටිලා ගස් මැලවෙලා. රැයේ අඳුරත් එක්ක බිය සැක ක්ෂේම භූමිය පුරා ගලද්දි, ස්කෙලිටන්-කෲ එකේ අය ද හෙම්බත් වෙලා හොඳ පණ ගිහින්. එක දිගට වැඩ කරලා හෙම්බත් වූ පාලක මැදිරිය ද අනෙකුත් සාමාජිකයින්ට අණ දෙන්න, උපදෙස් ලබා දෙන්න බැරි තරමට ශක්තියෙන් හීන වෙලා, කඩා වැටෙන්න ආසන්නය.

ආරක්ෂක තත්වය නැවත යථා තත්වය යට පත් වෙන්න දවස් කීපයක් ගියා. ඒ වෙද්දි මේ ලස්සන ක්ෂේම භූමිය ජරා ගොඩක් බවට පත් වෙලා.

එය ඕෆ්-සීසන් වූ බැවින් සංචාරක පහසුකම්වල අලුත්වැඩියා සිදුවෙමින් පැවැති කාලය විය, වාසනාවට සංචාරකයින් කවුරුවත් නොවිය.

මෙතෙක් කතාව කියවූ ඔබ වෙනස් කතාවක් රසවිඳින්න ඇතැයි සිතමි.

මේ ලස්සන ක්ෂේම භූමියට වඩා අතිශයින්ම සුන්දර, එකිනෙකට වඩාත් සංවේදී ජාල කිහිපයකින් යාවුන ඉතා  අලංකාර ක්ෂේම භූමියක් මේ ජීවන වාලුකාවේ ඇති බව ඔබ දන්නවාද? එය ඔබ, මා දන්නා අපේ වටිනා ශරීරයයි.

අපේ ශරීරයේ ද අමිල සේවාවක් කරන බල සේනාවක් ඉන්නවා, එය රුධිරය එහෙමත් නැත්නම් ලේ. ශරීරයේ හැම අස්සක් මුල්ලක් නෑර දුවමින්, ලොකු කුඩා හැම පේශියක්, ඉන්ද්රියක්ම පෝෂණය කරන්නේ ලෙය, ඒවායෙහි ක්රියාකාරීත්වයට උවමනා කරන ඉන්ධනය වෙන ඔක්සිජන් රැගෙන යන්නේ ලෙය. එහැම තැනකම එකතු වෙන අපද්රව්ය කියන කැළි කසළ අස්කරලා ඉවතට රැගෙන එන්නේ ද ඒ ලෙය. මේ අසමසම කාරිය ඉටු කරන්නට රතු බලසේනාවක් ඉන්නවා ලෙයහි, ඔවුන් රතු රුධිරාණු එහෙමත් නැත්නම් RBC-red blood cells හැටියට හඳුන්වන්නේ.

ඒ වගේම අපේ ශරීරයට ලෙඩරෝග ඇති කරන වෛරස්, බැක්ටීරියා ආදී විෂබීජ වලින් ශරීරය ආරක්ෂා කරන සුදු බලසේනාවක් ද එම ලෙයහි ඉන්නවා. ඔවුන් සුදු රුධිරාණු හෙවත් WBC-white blood cells හැටියට හඳුන්වන්නේ. සාමාන්ය තත්වයක් යටතේ ඉන්න මේ ආරක්ෂකයා වන සුදු සේනාව, රතු සේනාවට වඩා ගණනින් අඩුය. එහෙත් ශරීරයට යම් පිටස්තර ව්යාධියෙකු කියන සතුරෙකු ඇතුල් වුවහොත් මේ පුංචි සුදු හමුදාව යුද්ධ ප්රකාශ කරලා සටන් වදින්න සමත්ය.

ඒ වගේම, අපේ සිරුරේ යම්කිසි වෛරස්, බැක්ටීරියා ආදී විෂබීජ නිසා අසාධනයක් පවතී නම් ඒවාට විරුද්ධව සටන් කිරීමට සුදු සේනාව වැඩි කර ගනී. කෙනෙකු බියට පත් වූ අවස්ථාවක ද සුදු සේනාව වැඩි වෙන්නට පුළුවන් බව කියවේ. පමණක් අවස්ථාවල වැඩි වෙන සුදු රුධිරාණු නිසා ශරීරයට වඩාත් ප්රයෝජනවත් රතු රුධිරාණු විනාශ කිරීමේ අවදානම ද ඇත.

මානසික පීඩනය, නොසන්සුන්තාවය හා බියට පත් වූ පුද්ගලයෙකුගේ සිරුරේ ඇතිවෙන හෝමෝන නැත්නම් ශ්රාවයන් නිසා සිරුරේ ඇති වන සමහර අහිතකර ඵලවිපාකයන් වන හෘද ස්පන්ද්ය ඉහළ යෑම, රුධිර පීඩනය වැඩි වීම, නොයෙකුත් ඉන්ද්රීන්වල ක්රියාකාරිත්වය වැඩිවීම, මංශපේශී වලට වැඩි පීඩනයකින් රුධිරය ගැලීම වගේ අසාමාන්ය දේවල් නිසා කෙනෙකු අසහනකාරී තත්වයකට පත්විය හැකිය. එය ශරීරයේ ප්රතිශක්තීකරණය බිඳ වැටීමට ද හේතුවේ.

එදා දවසේ ක්ෂේම භූමියේ ඇති වූ හයි-ඇලර්ට් තත්වයට බලපා තිබුණේ ෆෝල්ස්-එලාම් එකකි. දුර ඈත, ඈත වැලි කඳු වළලු අතර දකින්න ලැබුණ අසාමාන්ය වාහන ගැවසීම හා දිස් වූ දුමාරය ඊට හේතු විය. ඒ ඉසව්වේ වැලි කඳු අතර පැවැති සෑන්ඩ් ඩියූන්  හෙවත් වැලි කඳුවැටිවල වාහන පැදවීමේ විනෝද රැළියක් (sand dune rally) පවත්වා තිබුණ ද කාන්තාරය මැද තනි වූ ක්ෂේම භූමියේ ආරක්ෂක අංශ වලට එය පැහැදිලිව හඳුනාගත නොහැකිවිය. එහි අනිටු ඵලවිපාක වූයේ සුන්දර ක්ෂේම භූමිය දින ගණාවක් තුළ ජරා ගොඩක් බවට පත්වීමය.

එසේ වුවද, ඒ ෆෝල්ස්-එලාම් තත්වය හේතුවෙන් සිදු වූ හානිය පාඩුව ආපසු හරවා රිවර්ස් කර ගැනීමට හැකිය ඒවාය. කසළ ඉවත්කර, පරිසරය පිරිසිදුකර, යන්ත්ර සූත්ර අලුත්වැඩියා කල ද හැකිය. 

එහෙත්, යම් විදියකින් මනසේ ඇතිවිය හැකි අනියත බිය එහි ප්රතිඵලයක් ලෙස ඇති විය හැකි අහිතකර ඵලවිපාකයන් නිසා මිනිස් සිරුරක ඇති වෙන්න පුළුවන් හානිය සුළුපටු නොවේ, පමණක් තත්වයන් ඉතා අහිතකර බලපෑම් කරන්න පුළුවන්.

මෙ දිනවල පවතින කොරෝනා උවදුර නිසා අප පසුකරමින් ඉන්නේ බොහෝ නොසන්සුන් හා පීඩාකාරී ජීවිතයක් බව නොරහසකි. මේ ව්යාධියෙන් ආරක්ෂා වීම පුද්ගලිකව ද සමාජමය වශයෙන් ද අප කාගේත් වගකීමකි, ඒ වගේම උත්සාහයකි. එහෙත් මෙවන් අවදියක රෝගය ගැන ඇති බය නිසා ඔබේ සිත නොසන්සුන් (ටෙන්ෂන්) තත්වයට පත් වෙන්න දෙන්න දෙන්න එපා. එය මානසිකව පෙළන තත්වයකට පත් කර ගන්න එපා.

අනවශ්ය නොසන්සුන් මනස හා බිය කෙනෙකු ගේ සිරුර දුර්වල කරමින් රෝගියෙකු කරන හැකියාව වැඩි කරයි. මෙවන් කාලයක හිතට සැනසිල්ල ඇතිකරන ක්රියාකාරකම් වල යෙදෙමින් එවැනි තත්වයන් මගහරවා ගත හැකිය. ඔබේ හිතට කරදරයක් ද? තනිවම දුක් විඳින්න එපා හිත කරදර කරගන්න එපා. ඔබට සවන්දෙන්න අඩුම වශයෙන් එක් කෙනෙක් දෙන්නෙක්වත් කොහේ හෝ ඇති, කතා කරන්න. හිත නිදහස් කරගන්න.

එවගේම ඔබට පුළුවන් අවස්ථාවක තවත් කෙනෙකුට උවමනාවෙන් අහුම්කන් දෙන සවන් යුගලක් වෙන්න. අවශ්ය විටෙක අඬන්න උරහිසක් දෙන්න. හිත නිදහස් කරගන්න පිහිටක් වෙන්න.

මේ ලෝකය හිතනවාට වඩා පුංචි ලෝකයකි. 

සැම දෙනාම සුවපත් වේවා!

Tuesday, June 15, 2021

දියේ ගිලෙන වෙළෙන්ඳා

නගරයේ කෙළවර ජලාශයේ කළුගල් බැම්ම උඩ පිරිසක් කලබලෙන් කෑගසමින් උන්නා. අසල වාහන නැවතුම් පොළේ නවතා තිබූ ලොරියකින් කඹයක් අරගෙන සෙනඟ වෙත දුවන කීප දෙනෙකි.


බැම්ම උඩ දනින් හිඳිනා කෙනෙක් පින්සෙණ්ඬු වෙනවා "අත දෙන්න, අත දෙන්න, බය වෙන්න එපා..."


ඔහු ද විග විගස ඒ දෙසට යන්නට විය.


දිය මත පාවෙන ප්ලාස්ටික් බංකුවකි. බැම්ම උඩට නැඟ්ග ඔහුට බැම්ම පාමුල දියේ උරහිස තෙක් ගිලුණ කෙනෙකු දකින්නට හැකි විය. මොහතකින්, කළුගල් බැම්ම මත දිගා වූ ඔහු දියේ ගිලෙමින් උන් පුද්ගලයාට අත දික් කළේය, රැස්ව සිටි පිරිස ද පුදුමයට පත් කරමින් ඔහු අර පුද්ගලයා දියෙන් ඇද බැම්මෙන් උඩට ගන්නට සමත් විය.


අසල සිටි කීපදෙනෙකු ගොඩගත් පුද්ගලයා රෝහලට අරන් ගියා.


අනෙක් අය ඔහුව වටකර ගෙන ස්තුති කරනට විය.


"අපි විනාඩි විස්සක්, විසිපහක් විතර එයාව ගොඩ ගන්න දැඟලුවා. එතැන ගල්වල පාසි, වතුරට බහින්න විදියක් නැහැ. ඔබ කොහොමද එච්චර ඉක්මනට එයාව ගොඩ ගත්තේ?" බැම්මේ දිගාවී බැගෑපත් වූ හැඩි දැඩි සිරුරක් හෙබි ප්‍රියමනාප පුද්ගලයා අහන්නට විය.


ඔහුගේ ඇඳුමේ ගෑවී ඇති පාසි තල්ලිය, වැලි රොඩු පිහිමින් "ඒක සුළු දෙයක්. මං බැම්මේ දිගාවෙලා එයාට කිව්වා මගේ අතගන්න කියලා."


"අපි කීවතාවක් කිව්වයි අත දෙන්න, අත දෙන්න කියලා. එයා අපේ දිහාවත් බැලුවේ නැහැ. ඒක නෙවෙයි ඔහු අඳුනනවා ද"


"නැහැ. ඒත් ඔහු අවුරුදු ගානක් තිස්සේ මේ නගරයට එන ලොකු වෙළෙන්ඳෙක් කියලා දන්නවා. දවසේ වෙළෙදාම ඉවර කරන එයා රටකජු ගොට්ටක් අරන් ඇවිත් පැත්තක වාහනය නවත්තලා, ප්ලාස්ටික් බංකුව දාලා ගල් බැම්මේ වාඩි වෙලා ඉන්නවා, හවසට සල්ලි එකතු කරන වෙලාව එනකම්.  සමහර විට බංකුව ලිස්සලා වතුරට වැටිලා ඇති..."


"ඒක නෙවෙයි, ඔබ අච්චර ඉක්මනට එයාව බේරගත්තේ කොහොමද?" නොඉවසිල්ලෙන් හුන් කෙනෙකු ඇහුවා.


හැඩි දැඩි පුද්ගලයා දෙසට හැරුන ඔහු "ඔබ ඉල්ලා සිටියේ, බැගෑපත් වූයේ අත දෙන්න, අත දෙන්න කියලා."


"ඒකේ වැරද්ද මොකක්ද?"


"නැහැ, එයා වෙළෙන්දෙක්, මං එයාට හෙමින් කිව්වේ මගේ අත ගන්න කියලා එකපාරයි. ඒත් එක්කම මුහුණ ඔසවා බැලුවා, මගේ අත තද කරලා අල්ලා ගත්තා. එයාම ගල් කණ්ඩියට පය තියද්දි ඇදලා ගත්තා"


"හරි පුදුමයි"


"නෑ පුදුමයක් නෙවෙයි, වෙළෙන්ඳෙක් කාටවත් අත දීලා පුරුද්දක් නැහැ. ඔවුන් කැමැතියි කාගෙ වුනත් අත අරගෙන ගොඩයන්න."

Saturday, June 5, 2021

නාට්ටාමි

පෙර දා රාත්රිය පුරා ඇද හැලුන වරුසාව උදේ ද කඩින් කඩ වහින්නට විය. සතියේ දිනක් වුව ද නගරයේ කඩවීදි පුරා පාළුවක් දැනෙන්නට විය. වැසි දිනවල දී අවට පෙදෙස් වලින් බඩු තොග මිලදී ගැනීමට නගරයට ඇදෙන සුළු වෙළෙන්දෝ ද අඩුය. එවගේම අනෙකුත් ඕනෑ එපාකම් සඳහා එන පාරිභෝගිකයින් ද අඩුය. එවැනි දවසක කඩවීදිය දෙපැත්තේ අත් කරත්ත, හයර් දුවන වාහන ගාල් කර තබා තැන තැන කල්ලි ගැහී කතා කරමින් ඉන්නා නාට්ටාමිලාද, රියදුරන්ද,  සහායකයින් ද, සුළු සුළු වැඩ කරමින් දවසේ ගාන උපයාගන්නා  පිරිසද දකින්නට පුළුවන.


වන්-වේ පාරට රිවර්ස් කරන වාහනයක් නිසා ඇදී එන වාහන හිරවී ඇති සෙයකි, එක දිගට නාදවෙන වාහනවල නළා හඬ ඒ බව කියයි. පදිකයෙකු වෙන මගේ ගමන් මඟ හරස් කර මා ඉදිරියේ ඇත්තේ බොක්ස්-බෝඩ් තොගයක් පැටවූ පටු, අඩි හයක් පමණ දිග අත්කරත්තයකි, ඊට උඩින්  හතරැස් ගැල්වනයිස් බාර් ද කිහිපයකි. ඒ බාර් කරත්තයෙන් පිටතට නෙරා ඇත, එහි  පිටුපස කෙළවරේ රතු පාටට හුරු සිලි සිලි බෑගයක් සුළං සමඟ පොරබඳිමින්, රතු කොඩියක උවමනාව සපුරමින් අනතුරු හඟවයි. කරත්තය මැද්දක් හරියට වෙන්න රෝද දෙකකි, ඒ හැර බඩු තොගයේ සම්පූර්ණ බර රැඳී ඇත්තේ කරත්තය ඇදගෙන යන කෙසඟ සිරුරක් ඇති මිනිසාගේ දැතේය. ඔහුගේ අත්වල නහර ඉලිප්පී ඇත, දෙපාවල මස්පිඩු මත ගැට ගැසුන නහර මතු වී ඇත, දකුණු කකුලේ විළුඹ පොළවේ නොගැටෙන සේ පය ඔසවාගෙන සිටී. ඒ අතර විටින් විට ආපස්සට හැරී කරත්තය මත ඇති බඩු තොගය උඩින් ඉස්සී විපරම් කරයි. අප ගමන් කරන්නේ වාහන යන අතට විරුද්ධ දෙසටය, ඉඹි ගමනේ අප පසුකර  ඇදෙන වාහන පෙළ දෙස බලා සිටි ඔහු කරත්තය අදින්නට වෙර දරන්නේය. කරත්තය අඟලක් වත් සෙලවුණේ නැතුව ඇති.


අප ගමන් කරන දෙසට විරුද්ධ පැත්තට වාහන පෙළ අතරින් මෝටර් සයිකල් කිහිපයක් ද ඊට වම්පස ලේන් එකට වෙන්න තවත් හිස් අත් කරත්තයක් ද ඉදිරියට ඇදේ.


"...අය්යේ පොඩ්ඩක් හිටපං, මං ෂපෝට් එකක් දෙන්නං" ඒ පාරේ අනික් පැත්තේ හිස් අත් කරත්තය තල්ලු කරන පුද්ගලයාගේ කටහඬය, ඔහු නමක් කීවද එය පැහැදිලිව ඇහුණේ නැත. අත් කරත්තය අයිනක නතර කර ඔහු බෆර් එකිනෙකට ගෑවෙන නොගෑවෙන තරම් හිර වූ වාහන අතරින්ම අප දෙසට ආවේ දඟර නැට්ටුවෙකු විලසිනි.


තදබදයේ හිර වූ වාහනවල ඇක්සලේටරය පාගන්න බැරිකමට දෝ ආයෙත් ඉවසිල්ලක් නැති නළා හඬ දෙවනත් කරන්නට විය.

බර පැටවූ අත්කරත්තය ළඟම උන්, යම්තම් අඳුරු වීදුරු ෂටර් වැසා ඇති වාහනයේ රියැදුරු අසුනෙන් කේන්තියෙන් එසවූ අතක් දිස්විය. එයට දකුණතේ ඇඟිලි තුඩු එක් කර 'පොඩ්ඩක් ඉවසන්න' කියන්නාක් මෙන් සංඥා කල ඔහු "හරි ඇදපන් අය්යේ..." කියමින් අත්කරත්තයට පිටුපසින් තල්ලුවක් දුන්නා. 


අත්කරත්තය ඉදිරියට ඇදේ, ඊට පිටුපසින් මා ද පය එසවූවෙමි.


"ඇයි බං කරත්තේ හිස්, උඹ ගිය වැඩේ මොකෝ උනේ..." ඒ අත්කරත්තය ඇදගෙන ඉදිරියෙන් යන අයගේ හඬය.


"ඒක හරි ගියේ නෑ නේ බං, වැස්ස් හින්දා අද ලෝඩ් එක ගෙනියන්නේ නෑ කිව්වා"


"මෙච්චර වෙලාවක් ගියයි ඒක කියන්න, උඹ උදේම ගියානේ මල්ලි?" අනුකම්පාව ගැබ් වූ ඒ හඬ බාල විය.


"මොනව කරන්න ද බං, ඉඳලා ඉඳලා හැරිලා ආවා"


"මොකුත් දුන්නේ නෑ?"


"නෑ බං"


"උදෙන්ම. හිස් අතිං ආවා?"


"ඉබ්බා උන්නේ, උඹ දන්නවනේ උගෙන් පිහාටු ගන්නවා බොරු"


"හරි, ලෝඩ් එක බාලා ගිහින් මොනව හරි කාල ප්ලේන්ටියක් ගහමු. උඹත් මොකුත් කෑවෙ නෑනේ"


"අය්යේ, ඉක්මන් කරපන්. ආයෙ කලු කරනවා. උඹ තර්පලේ* දාලත් නෑනේ"


"තියෙනවා, යට. පොඩි දුරක් නෙහ් දැම්මේ නෑ, මෙතැන බ්ලොක් උනානේ"


ඔවුන් දෙදෙනා කදේ දා ගෙන ඉදිරියට ගිය අතර නියමිත ස්ථානයට ළඟා වූ මා ද නතර වූයෙමි.


වරින් වර අඳුරුවෙන, එළිය දෙන, ඉඳහිට සැරවෙන සුළඟ ඇදහැලෙන්නට නියමිත වැස්ස ගැන ඉඟිකරයි. ඉඳහිට ඈත පෙදෙසකින් ආ කෙනෙකු කියන ගංවතුර තර්ජනය ගැන කරන විස්තර කනවැකෙයි, ඒ අනුව ගිංගඟේ ඉහළ පෙදෙස් ගැන චිත්රය හිතේ ඇඳේ. නගරය මැද්දේ කෑකෝ අතරම පැය ගණනාවක් ගෙවී ගියේය.


සයුර සිපගන්න ලස්සන කොළ පැහැ රූමස්සල කඳුවැටිය හා කොටුපවුර අතරින් ලද ඉඩකින් රිංගන සැඳෑ හිරුගේ සෝමාරි එළිය තවමත් කඩිසර කඩවීදිය දෙස එබී බලන සෙයකි.


සවස 5.05 කෝච්චියට යාගත නොහැකි වූ මා සිතේ ප්රධාන බස් නැවතුම්පොළ, මේ පැයේ බසයකට ගොඩවීම, කොළඹ පාර සිට ඇවිද යන්නට ඇති දුර, රූප මාලාවක් මැවේ. වෙනත් විකල්පයක් නැත, පය ඉක්මන් කළෙමි.


ටික දුරක් එද්දි අත්කරත්ත කීපයක් කඩවීදියේ නවතා තියෙන අයුරු ඈත සිට දුටුවෙමි. කීප දෙනෙක් කරත්ත දෙකකට බර දී කතාවට වැටී හිඳී, උදේ දුටු දෙදෙනා ද එතැනය. ඒ අසල නතර වූ මා වෙත සුහද සිනාවක් පාමින් ඔවුන් අත්කරත්තයෙන් නැගිටින්නට විය.

 

"මොකද්ද වෙන්න ඕනෙ සර්?" මුව ආවරණය නිකටින් පහළට පහත් කරගෙන බීඩියක් උරමින් හිටි අයෙක්, බීඩිය බිම දා පයින් පොඩි කරන ගමන් මාස්ක් එක හරියාකාරව දාගනිමින් මගෙන් අහන්නට විය.


"ලොක්කා! මට ඔය දෙන්නත් එක්ක ටිකක් කතා කරන්න පුළුවන් ද?"


"ඇයි මොකෝ සර්" ගිලිච්ච ඇස් දෙක ලොකු කර තවෙකෙක් අහන්නට විය, මුහුණුවල සැකයක් මතුවෙන්නක් මෙනි.


"උදේ මේ දෙන්නත් එක්ක අත්කරත්තයක් තල්ලු කරන් යනවා මං දැක්කා"


"ආ... ඔව් සර්"


"ඉතිං, අද දවසෙ වැඩ කොහොමද?" ඔවුන් තුළ ඇති වූ තැතිගැන්ම තුනී කරන අටියෙන් සිනාසෙමින් බොහෝම සෙමින් ඇසුවෙමි.


"හරිම ෂවුත්තුයි, උදේ එක විතරයි. අපි පස්දෙනාගේ ස්පොට් එක මේක. දවසටම ආවේ වැඩ දෙකයි." නවතා ඇති කරත්ත පහකි, ඉන්නේ හතර දෙනෙකි. වටපිට බලන මට ඉන් අයෙක් ඇඟිල්ලකින් 'එක' සන්කරයි "තව ටික වෙලාවක් හිටියා, අපි ගියා සර්"


"බොහෝම කණගාටුයි"


"මේ රස්සාව එහෙමයි සැර්, උඩහට වැස්සොත් ගිලෙන්නේ අපි..." තවෙකෙක් දොඩමළු වෙන්නට විය. "අද වැඩ දෙකක් හරි හම්බුනා, අපි පස් දෙනාට මොනව හරි කාල ප්ලේන්ටියක් බීලා බීඩියක් ගහන්න පුළුවන් උනේ ඒකෙන්. දෙයියෝ දෙන විදිය තමයි. බීඩියත් හවුලේ ගහන්න වෙන දවස් තියෙනවා, අතමිට සරු නම් ගෝඩ්ලීෆ්. හොරකම් කරන්නෑ සර්, මේක පුරුද්දට කරන රස්සාව. අතරින්න බෑනේ සර්..." ඔහු දොඩමළු වෙන්නට විය...


"ඒක නෙවේ තර්පලේ* කියන්නේ මොකක්ද" ඔහු නවතාලනු වස් අපේ කතා නායකයා දෙස බලමින් ඇසුවෙමි.


"මල්ලී, මගේ කරත්තේ යට තියෙන එක ගනින් බං"


පිළිවෙළට නවා, නයිලෝන් ලණු පටකින් ඔතා, ගැටගසා ඇති පාර්සලයක් බඳු එය කරත්තය මත දිගෑරුනි. එක පැත්තක් ලානිල්පාටින් ද අනෙක් පැත්ත සිල්වර් පේන්ට් ගෑවාමෙන් පාටින් ද යුත් එය ඝන ඉටි රෙද්දකි. නැවීම් නිසා හා අව්වට දුර්වර්ණ වූ එය ආපදා අවස්ථාවක පාවිච්චියට ගන්නා වූ කූඩාරම් එහෙමත් නැතිනම් ටාර්පොලීන් ටෙන්ට් ෂීට් එකක් වෙන්නැති.


දැන් එතැන පස්දෙනාම වෙති. ඔවුන්ගේ කතා විලාසයෙන්, වචන භාවිතයෙන් ඉඟියක් ලැබුණ ද ඔවුන් රස්සාවෙන් එකම කුලකයේය. අනෙකාගේ බඩගින්න දැනෙන, අනෙකා අදින බර දැනෙන, අතේ පිච්චියක් නැතිව අනෙකාගේ ලෝඩ් එකට තල්ලුව දෙන නාට්ටාමිලාය. එවුනට අනෙකාගේ හෘදස්පන්දනය දැනෙනවා වගේම, ඔවුනටම හුරු දහඩිය දුගන්ධය වගේම ඇඟ පුරා දුවන ලෙය එකම රතුපැහැ වගේම ඒ හා මුසුවූ තවත් බොහෝ දෑ පොදු වෙන්නට පුළුවන.


ඔවුන් නගරයේ කඩවීදි ඔස්සේ බර පැට වූ අත්කරත්තයක් තල්ලු කරගෙන, ගොරෝසු සද්ද නගා ඉඩ ඉල්ලමින් සෙනඟ අතර ඇදෙන අයවෙති. විටෙක බර පාර්සලයක් කර මත තියාගෙන, තවත් එකක් දෙකක් අතින් එල්ලා ගෙන කඩවීදි හරහා ඔබ මොබ යන්නෝය. කට්ට අව්කාෂ්ටකය, වැස්ස, කුණාටුව, දූවිල්ල සමඟ පොරබදින වළගැසුණ මුහුණ, අත් පා වල සම කඩාගෙන එළියට පනින්න මෙන් දිස්වෙන ඉලිප්පුණ, තැන තැන ගැටගැහුණ නහර පිරුණ කෙසඟ සිරුර වසා අවපැහැ ෂෝටකින් සැරසී විටෙක ඒ මත කැහැපට ගසා තදට වෙළුණ පිජාම සරමකින් ද සැරසුණ අය වෙන්න පුළුවනි. ඔවුන් පෝෂ් නොවුනද ද මිනිසුන්ය. අනේක බර කර ගසා වෙහෙස විඩාවටපත් කෙළවරක් නැතිව බැටකන නගර මද ජීවන රටාව නිසාදෝ ඒ හා බැඳි ජීවන රටාව නිසා දෝ පුරුදු බොහෝ ඇති, මොන බර එසවූවද විළුඹ පොළවේ ගැටීම පමණක් එවුනට බොහෝ වේදනාව ගෙනදෙනවා ඇති.


නගරයේ කිලිටි ඇඳගත් නාට්ටාමි ඔසවන්නේ නගරයට එන පිරිසුදුව හැඳගත් අයට එසවිය නොහැකි බරකි. ඒ හොර බොරු නොකර මහසිවි කාසි ඉපැයීමටය. එය ද බඩවියත රකින, නැණ ගුණ පාදා දරු දැරියන් රකින  තවත් රස්සාවකි. 


ප.ලි: මෙය 2020 අගෝස්තු අග දවසක අත්දැකීමක් මුල්කරගෙන ලියූවකි.

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts