Monday, October 24, 2016

දියබිඳු හදන වළාකුළු



පාවෙන
පුංචි පුංචි
සුමුදු
කෙඳි කැටිති
සදනා
මහමේඝ වළා...
මුවාකර
ඔදතෙදැති හිරුරැස්,
සඟවා
සඳ සාවුන්
දිලෙනවා
නෙක රටාපා...
විසිරෙන
රොන්-රොඳ වළා
සරසනවා
හිස්-අහස ලස්සනට...
උරණවෙලා
වළාපෙළ කලබලෙන්
දුවනවා
පරදා එකිනෙක...


ගැටෙන 
මහ වළාවන්
කෙටෙන
විදු සැර
නඟන
ගෙරවුම් යටකර
සැලෙන
සිරි පොද
මවන
පරිසරය නිසසල...
බැසයන
වැසි දිය
චාරිකාවේ
සොයා දියමං
නඟින්නට
දියබිඳුවි අහසට 
තනන්නට
සුමුදු වලාකුළු
වහින්නට
පොද වැස්සක්...

Wednesday, June 8, 2016

අතරමංව


සැඳෑව හෝරා කිහිපයක් ඈතය 
ඉර සැඟවුනි
පියාසලන ගුවනේ අතරමං කර
රොන් රොඳ කෙඳි වළා
බොඳ සුදු අළු කළු පැහැගෙන
පාවේ ඔබ මොබ
එළමින පාවඩ
ඈත උඩු වියන අහස
උසය අඳුරුය
මෝදුවෙන පුංචි තරු කැට
දිදුලනු දැකුමට
කිමිදෙමි තෙරක් නැති ගුවන
මුදු රළු පරළු සුළං
වාසුලි මැද...


ඉංග්‍රීසි කවිය: Survival

Wednesday, June 1, 2016

සංකේතේ


ධන රතු
වැඩ වරා
සුව අඩු
පෝලිම දික්වෙලා
සිරි පාලකයින් බුදිමතේ
සේපාලිකා මල් පිපි
සුවඳ හමයි
චැනල් ගඟ ගලයි
දෙගොඩ තලා
පල්ලමේ එවුන්
පොඩිවෙලා...

Thursday, May 26, 2016

ඉහිරුණ පොඩි හිත් විලංගුවේ



තද නිල් පාට රියේ
සුදු තින්ත පින්තාරුව
බන්දා නයනු ධයනු ළංකර
අහුරා වීදුරු කවුළු
කම්බි කොටු දැල
මුරකරන නිලදරු 
බාරයේ යනෙන
පොඩි ලමෝ
අසුනු අතර දුවපැන
සෙල්ලමේ...
ඇහුරු කවුළුවෙන්
ඈත බලාගෙන
ඇයි පුතේ
උඹ විතරක්
අසුන් කොනක
තනිවුණේ...
මොන බන්ධන ඉහිරිලාද
පොඩි හිත් මල්
වැටුණේ විලංගුවේ...

සටහන:
බන්ධනාගාර රථයක එහා මෙහා ගෙනියන පොඩි ළමයින් පිරිසක්, බොහෝවිට පරිවාස ළමා නිවාසය හා බන්ධනාගාර කඳවුර අතර ප්‍රවාහනයේ වෙන්න ඇති. කොටුකර හිටියත් ඔවුන් එකතුවී සෙල්ලමක. තවත් ආසනයක ඇස් යුග බරකරගත් දරුවෙක් කම්බි දැලින් ඈත බලාගෙන සොවින්... මෙදරුවා අනෙක් ළමයින් හා එකතු නොවී ඉන්න පුංචි හිතේ මොනවා හෝ පීඩාවකින් වෙන්න ඇති, එහෙමත් නැතිනම් පුංචි රැඳවුම්කරුට නැඟිට ඇවිදින්න තරම් නිදහසක් නැතිව වෙන්න ඇති.

Monday, May 9, 2016

රතු අල



වසත් හිරු
පහස විඳමින
සතොස් කොළ පත්
වැජඹෙන
රතු නාරටි විහිඳුන
වඩා රකින
රතු අල
පාත්තියේ පැලකළ

පදපෙලට සම්බන්දයක් නැති බෝනස් විස්තර
Beetroot: Health Benefits, Nutritional Information

Friday, May 6, 2016

පමාවී ආ කොහා



බනින්නෙපා
ආවෙ නැතැයි කියා
අරගෙන එරබදු මල්
ගයන්නේ කෝමද
පුරුදු ගීතය
තේ රබර් පොල් කුරුඳු
මැළවුන ගම්මැද්දේ
කපුටු රාළ අමනාපයෙන්
නෑගම ආවේ නෑ කියා
මෙදා කෝකිල ගී රැව් දුන්නේ
ඈත සරු වී මෝල යායේ
ගෙවෙන බක් පුර සඳ එළියේ
ආපහු යන ගමරට
මැයිමල් පොහොට්ටු පොඩි පූදින
වියපත් අත්තේ විරාමයක
කොහෝ කොහෝ...
කියන්නේ හැංගිලා
බෝ දුකින්...

නිමිත්ත: නිහඬව සිටි කොහා මැයි මුල දී කෑගහන්න පටන් අරන්

Friday, April 29, 2016

කොටු පවුර පාමුල සමනල අඩවිය

නුහුරු රශ්නයක බැටකමින් වුව ද පුරුදු තුසර බිඳුවල පහස නැතුවට පොළොව දිගේ ඇදුන තණ පඳුරුවල පත් කවදත් වගේ උද්යෝගයෙන් එකතුව තණකොළ පලස හැඩ කරනවා. තණපලසේ තැනින් තැන කොළ පැහැය වියැකී ගිහින් අඩිපාර ඇඳිලා. කොටුපවුරේ ඉහළට එසවෙන කණ්ඩියක මුදුන තෙක් විහිඳුන තණපලස මැද්දෙන් වැටුණ අඩිපාර උදේ හිරු රැසින් නැහැවිලා, වියලී ගිය තණපත් දුඹුරු පැහ ගැන්වුණ අඩිපාරේ අමුතුම ලස්සනක් මවනවා. හරියට ආකාසෙට යන පාරක් වගේ...

ළහිරු රැසින් නැහැවෙන කළුගල් බංකුව සෙනෙහසින් එන්න, එන්න කියන්නාක්මෙනි. පසෙකින් ඈත රූමස්සල කඳුවැටිය ද අනෙක් පසින් ධර්මපාල උයන ද තම තද ගන හරිත පලසේ අබිමන කියා පානවා වගේය. ඈත කඳු හෙල් අතරින් එඹී බලන හිරු රැස් දහරා ගාලු වරාය බොක්කේ හිර වූ සාගර ජල තලය සීරුවෙන් තාලෙට මවන පොඩි රළ මත වැටී බබළන ලස්සන... ගල් බංකුවේ ඇරයුම කොහොම නම් ඉවතලන්න ද?



ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණය දෙපසින් ඇවිත් කොටු දොරකඩ දී එක්වෙන පාරේ වෙනදා වගේ වැඩි කලබලයක් නැත, නිවාඩු දිනයක් නිසා. ඉදිරියෙන් දිස්වෙන ගාලු ක්‍රිකට් පිටියේ පැත්තක පුහුණුවීම් වල යෙදෙන කිහිප දෙනා මිස පළාතම නුහුරු නිහඬ බචකින් වැසී ගොසින් කියා හිතේ.

අපේ ඉස්කෝලේ බිත්තියක ඇඳි පුරාණ ගාලු කොටුපවුරේ සිතුවම  මගේ සිතට ආවා. කොටුපවුර ඉදිරිපිට විශාල ඇලකි, ඒ හරහා වැටුණ කොටුදොරටුව දෙසට දිවෙන පාරකි. පාර පුරා බඩුමුට්ටු පටවා ගත් අත් කරත්ත, ගොන් බැඳි කරත්ත පේළියකි. දිය අගලේ කිඹුලන්, උරගයින් නිදැල්ලේ සැරිසරයි. පාර දෙපස තැනින් තැන ගාම්භීරා ලීලාවෙන් සැරසුණ මුර සෙබළුන්ය.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියක් හැටියට කිරුළු පළඳින්න කලින් ගාලු මහජන ක්‍රීඩා පිටිය (The Esplanade) හැටියට ජනප්‍රිය පිට්ටනිය හරහා දිවෙන ප්‍රසිද්ධ අඩි පාරක් විය.  එය ගාලු ප්‍රධාන බස් නැවතුම්පොළ හා දුම්‍රිය ස්ථානයේ සිට කොටුව දොරකඩ කරා පයින් ගමන් කරන්නන් ගේ ෂෝට්කට් එකකි. පිට්ටනිය වටා මායිමේ අතු විහිඳුන, කූරු කූරු වගේ කොළ ඇති පයිනස් වර්ගයේ ගස් සිටුවා තිබුණි, ඒවාට කිව්වේ කසගස් කියාය. ගාලු නගරයේ පිහිටි ප්‍රධාන පාසැල් කිහිපයක ක්‍රීඩා පිටිය වූයේ මෙ පිට්ටනියයි. හැමදාම  හවස යාමයේ පිට්ටනියේ පාපන්දු ක්‍රීඩා කරන්නන්ගෙන් පිරී ගියේය. බොහෝ විට පාපන්දු තරඟ කිහිපයක් පැවැත් වුණ අතර ඒ වටා සෙනඟ ද රොක්ව සිටියේය. දවසේ රාජකාරි ඉවර කර ගෙවල් කරා යන උදවිය තම බස් වාරය එන තුරු ක්‍රීඩා පිටියට එඹිකම් කරන්න අමතක කරේ නැත.  

බැසයන හිරු රැසින් අලංකාර වෙන කොටුපවුරේ බටහිරට දෙස පාමුල හා දිය පාර අතර බිම් කොටස සැලකිය යුතු විශාල බිම්කඩකි.  එහි පිට්ටනිය පැත්තට වෙන්න ඇති කොටස පළාතේ ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ගේ සෙල්ලම් පිටිය විය. හවස හතර පහුවෙද්දි, විකට් කූරු, බැට්, බෝල් සමඟ බයිසිකල් වලින් එන පිරිවර සැහැල්ලු පන්දු ක්‍රීඩාවේ යෙදෙනවා දකින්න පුළුවනි. ඔවුන් විසිර යන්නේ දවසේ සේවය අහවරව ඉන්දු සයුරේ ඈත ඉස්සව්වකින් බැස යන ඉර සතැපුනාට පසුවය.

මේ බිම් කඩ කෙළවර වූයේ මුහුදු සීමාවටය. බිම් කොටසේ ඈතට වෙන්න ගල් තලාව ආතර ළිඳක් පිහිටියේය. තෙරක් නොපෙනෙන ඉන්දීය සයුරේ සුවිසල් ජල කඳ මේ පුංචි ළිඳේ පැවැත්මට බාධාවක් නොවූ බව එහි පිරිසිඳු වතුර නෑමට දිනපතා ඇදී ආ සෙනඟ මගින් පෙන්නුම් කළේය. තවද උදේ හිරු එළියත් එක්ක එතැනට ඇදී එන රැකියාවට රෙදි අපුල්ලන පිරිසක් විය. දවල් කාලය වෙද්දි නෙක පාට රෙදිපිළි ගල් තලාවේ එලෙන්නට විය. එහා මෙහා ඇද ගැට ගැසුන රෙදි වැල් දිගේ සුළඟේ ලෙළ දෙන්න විය.

කාලෙන් කාලෙට ගාල්ලට එන සර්කස් කාරයින්ගේ කූඩාරම් අටවන්න මේ බිම් පෙදෙස ඉඩදුනි. පෙදෙසේ දැනට පවතින නලජල ව්‍යාපෘතියේ පයිප්ප ගබඩාව විය, 70 දශකයේ මැද ඒ සුවිසල් කාරිය කළේ රාජ්‍ය සංස්ථා හා නිර්මාණ නීතිගත සංස්ථාව, එහෙමත් නැතිනම් රා.සං. හා නි. නී.සං කියා පොඩි සන්දියේ අපේ හිත්වල නම ලියවෙච්ච රජයේ ආයතනයකි. 1979 විවෘත කල ලංකාවේ දිගම බස් නැවතුම් පොළ ලෙස ඔටුනු පලන් ගාලු බස් නැවතුම් පොළ ගොඩනගන කාලයේ මේ ලොකු හිත් ඇත්ති බස් නැවතුම් පොළ ඇගේ ඇකයේ දරා සිටියාය.

ගාලු මහජන ක්‍රීඩා පිටිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් බවට පත් විය. පාපන්දු ක්‍රීඩකයින්ට තහනම් පෙදෙසක් විය, අවට පාසැල් වලට ක්‍රීඩා පිටිය අහීමි විය.

තැන තැන පොඩි පඳුරු වලින් පිරි, බොරළු හා දුහුවිලි අඩු නැති කොටුපවුර පාමුල සැහැල්ලු පන්දු පිටියට තැනක් ලැබෙන්නට විය. මෙ බිම්කඩට එහායින් පිහිටියේ මහ ගස් වලින් පිරුන ධර්මපාල උයනයි. බිම්කඩ හා උයන වෙන්කර ගලා යන්නේ ඇල පාරකි. එය ඕලන්ද ඇළ, කැපූ ඇළ හැටියට ලේඛනවල සඳහන් වුව ද ජනවහරේ මෝඩ ඇළ කියා පාවිච්චි කෙරේ.  ඇළෙන් බලාපොරොත්තු වූයේ ගාලු නගරාශ්‍රිත වැසි ජලය මුහුදට බැස්ස වීම වුවත්, කාලයෙන් කාලයට කල ඇලේ පිළිසකර කටයුතු නිසා ඇළ පතුල හෑරි මුහුදු මට්ටමට වඩා පහත්වීමෙන් මුහුදු ජලය ගොඩ දෙසට ගැලීමයි. එසේ ගැලීම ගාලු දුම්‍රිය ස්ථානය අසල දී අදත් දකින්න පුළුවන් (පළාත් පාලන ආයතනයක සේවය කර මොඩ් නම් ඉන්ජිනේරුවෙකු විසින් කරන ලද මොඩ් ඇල නම් වෙනම ජල මාර්ගයක් ගාල්ලේ ඇති වග මතකයි, හරි විස්තර සොයා ගෙන පසු සටහනක් එක් කරන්න බලාපොරොත්තු වෙමි).  ධර්මපාල උයනේ හා කොටුව අතර ගමන පහසු කිරීම සඳහා ඇල මතින් තැනූ පාලමේ හැඩය තටු ආකාරයට නිම කර ඇත. එය සමනල පාලම ලෙස ජනප්‍රිය විය.



කොටුපවුර පාමුල පාමුල බිම් කඩ සමනල ක්‍රීඩා පිටිය හැටියට අභිෂේක ලබන්නේය. අද පළාතේ පාසැල් වල ක්‍රීඩා උත්සව හා ප්‍රසිද්ධ ඉසව් බොහෝමයකට ඉන් ඉඩ සැලසෙන්නේය.

හිටි හැටියේ එසවෙන ප්‍රසිද්ධ සන්නානම් දරන පාට පාට බැනර් කොඩි වලින් පිරෙන සමනල ක්‍රීඩා පිටිය සැඳැ සමයේ බසින ඉරේ චමත්කාර රැස් දහරා හා මුසුව සංගීතයෙන් පිරෙන වාර ද එමටයි. අනේක ඝෝෂා වලින් ද අඩුවක් නැත. බිම්කඩ ඈත කෙළවර සොබාවික ළිඳ තවමත් සේදීමේ කාරියට උරදරන බව ගල්තලාවේ එළෙන පාට පාට රෙදිපිළි සාක්කි දරයි.

එදා ගාල්ල වෙලාගත් රුදුරු සුනාමි ජලකඳේ කුරිරු ආගමනය වගේම අපමණ ජීවිත හා දේපල හානියක් කර ඈත සයුරට පසු බැස ගියේ කොහොමද කියන්න මෙ බිම්කඩ තරම් දන්නා අයෙක් නැති වෙන්න පුළුවන්. ඇය තවමත් බොහෝ දෑ නිහඬව දරන්නීය.



පිංතූර මගේ ඇස කාචය තුළින් දුටු ගාල්ල

Tuesday, April 26, 2016

තනි නෑ ගං මෝය


තෙරක් නොපෙනෙන
ඈත සයුරේ
උදෑසන කැටුව
පියඹා එන කුරුලු රෑන...
විඩාබර රැය පහන් කර
දියඹෙන් මතුවෙන බෝට්ටු පෙළ...
රිද්මයට නැග එන බැස යන
ලොකු පොඩි රළ එක්ක
ඔට්ටු අල්ලන කොලු කැල... 
ඈත ඈත නෙතු මානේ
සයුරු දිය පහස ලැබුමට
අහසින් බැස එන වලාපෙළ...
අහක බලාගෙන යනෙන 
මහ නැව් පෙළ...
විඩාබර දවස කෙළවර
පාට පාටින් අහස සරසා
ඈත සයුරේ ගිලි සැඟවෙන
සූරිය රජුන...
මවන නෙක අසිරි සිරිය
රිසි සේ වින්ද
ගං මෝය
අහුරා කළුගලින්
උස දියකඩනය වැට බැන්ඳ
කළුගල් පාත්තියේ
මුදු සැඩ රැස් විඳ විඳ
පිපෙන පාට පාට මල් කුඩ
තුටු කර සනසන
මහමෝදර ගං මෝය...

ප.ලි:
මහමෝදරින් මුහුදට වැටෙන්නේ ගිං ගඟේ අතුගඟක්. එය පරණ සිතියම් වල කැපූ ඇළක් හැටියටත් පෙන්වන අවස්ථා තියෙනවා, සමහර විට ගිං ගඟේ උඩහ ගං වතුරෙන් බේරගන්න කරපු උපක්‍රමයක් වෙන්න ඇති. ඉස්සර මහමෝදර මෝය (ගාල්ල කොළඹ සාමාන්‍ය මාර්ගයේ මහමෝදර රෝහල පසුකරත්ම කොළඹ දිශාවට වෙන්න පිහිටා ඇත ) කෙළින්ම මුහුදට වැටෙනවා. මුහුදු රළ සැර වුණාම මෝය කට වැහෙනවා වැලි පිරිලා. මේ තත්වය වළකන්න  දියකඩනයක් බැඳ ඇත්තේ සුනාමියෙන් පසු කාලයේ. ඉන් කලින් වූ මෝය කට සෑහෙන්න වැහිලා, දිය රැල්ලෙන් හා ඛාදනයෙන් වැළකෙනවා.

ඉස්සර මෝය නග්න ඇසින් දකින අසිරිය දියකඩනය නිසා ඇහිරිලා. ගොඩකරයේ සිට සෑහෙන්න ඇතුළට විහිදෙන දියකඩනය දැන් විදෙස් සංචාරකයින් පවා බස් පිටින් ඇවිත් බහින අළුත් කලාපයක්. ඒ විතරක්යැ දවස පුරා පාට පාට කුඩ මල් පිපෙද්දි ගල් පාත්තියේ... මෝයට මොන තනියක් ද... සතුටු නැතැයි...

Saturday, April 9, 2016

ගමන වමෙන්



වමෙන් යන මාවතේ
වාහනය පදවන්නේ දකුණින්
ඉඳහිට
වමෙන් පදවන එකක් වෙතොත්
එය ද
අවමංගල රථයක්...

Sunday, April 3, 2016

පුංචි තේ වත්තට වරෙං කොහෝ



සැඩ හිරු දවනවා
රන් දළු පිදූ අතු අග
පරවෙලා කළු
වියපත් කොළ වසා
දුඹුරු පැහැ දුහුවිලි
දළු නෙළන අතැඟිලි
පුරුද්දට දින ගනිනවා
විඳිනවා සුවඳ
පාට මල් ඉහිරුණ සළුපිළි
හෑල්ලු දළු ගෝනි
බර පොහොර මිටි
අතර හිරවෙලා
කුඩා තේ වැවිලි
යායේ තැනින් තැන
උස ඇල්බීසියා ගස්
යාරේ කොට වෙලා නිදි
ඈත හිස් අහසේ
කණකොක් රෑන පීරනවා
කොහෝ කෝ නුඹ...

Friday, March 25, 2016

ගමනක ගමන - Journey of a Journey




මාරුවෙන් මාරුවට
එසවෙන වම දකුණ
සීරුවෙන් පෙරළේ
දෙපැඩලය
විඳගෙන පීඩා
කැරකෙන කොග්වීලය
ලෝ දම කරගාගෙන
දුවවනවා ෆ්‍රීවීලය
ඉදිරියට
කරකවන්න
පසුපස රෝදය…

Tuesday, March 8, 2016

රැල්ල



ඈත සාගර ජලතල
ගැටෙන සුළං කඳ
මතු කරන කැලතිල්ල
මවන ලොකු පොඩි රළ පෙළ
ඔද තෙද පාමින
අවුදින් ගෙවා මහ ගව් 
ගොඩකරේ අබිමුව
බිඳි පොඩිව වෙරළෙ විසිරෙන
කිරි සුදු මුදු පෙණ
ගැටුමක...
ගිමන් හරින ගැඹුරු සයුර ඈතක
නිසසලය තැන්පත්ය
තවත් සුලඟක් හමන තුරු...