Sunday, February 19, 2012

සිරිබර සැන්ඳෑවක්

දවස නිමාකරන හිරු බැස යන්නේ විඩාබර ලොවට විරාමයක් ලබාදෙන රාත්‍රිය උදාකරලා. දවස තිස්සේ අඩු වැඩියෙන්, මුදු දැඩි හිරු කිරණින් ලොව දවාලුව ද බටහිර අහසින් බැස යන සැන්ඳෑ හිරු මොනතරම් නම් ලස්සන ද? ඒ අතරින් සිතිජ ඉරෙන් සැඟවෙලා යන හිරු අහසේ වලාකුළු පාටකරන විදිය, මුහුදු ජලතලය මත රූ රටා අඳින හැටි මොනතරම් චමත්කාරයක් ද?



පයින් ඇවිද ගිහින් මුහුදු වෙරළේ සෙල්ලම් කරන්න පුළුවන් තරම් සමීපයක ජීවත් වූ අපේ පොඩි කාලය සෙමින් ඉගෙනීම් කටයුතු විසින් අත්පත් කරගත්ත ද පෙරළා ගෙදර එන අතර තුර ඉර බැස යන වෙලාවක නැවතිලා ඒ දිහා බලා ඉන්න තරම් විවේකයක් අපිට තිබුණා.


මැදපෙරදිග රටක සේවයට ඇවිත් පදිංචි වූයේ හිරු බැස යන බටහිර මුහුදු තීරයට යාබදව වුවද ආරක්ෂක සීමාවන් නිසා ද එම කර්මාන්ත පුරවරයේ නෙයෙකුත් ඉදිකිරීම නිසාද සැන්දෑ හිරු දසුන ඈත් විය. එහෙත් ඈත කඳුහෙල් උඩින් එඹී බලන උදේ හිරු දසුනට පොටෝ කැබින් වලින් නිමවූ කුටිවල හිරවූ යව්වනය ඇලුම් කරන්නට විය. නිවාඩුවට ගෙදර ගියාම ගාලු කොටුපවුර උඩට වෙලා හිරු බැස යන ලස්සන දසුන කොපමණ බැලුවත් එපා නොවෙන්නක්.


මැදපෙරදිග දේශයේ වෙසෙන අපිට ලස්සන වටාපිටාවක් දකින්න ලැබෙන්නේ පුංචි කාලයකට සීමා වූ සිසිරයක දී විතරයි. හිස් අහස පාට කරන වලාකුළු පේළි හැංඟී යන, නැවත එඹී බලන හිරු රැසින් පාට අරන් රටා මවන කාලය සමු ගෙන යන්න සූදානම් හැඩයි.


කාලෙකට පසුව ලස්සන හිරු බැස යන දසුනක් දැකගන්න ලැබුණා; ඒ පසුගිය ජනවාරි පළමුදා. දින ගැන ගැන ඉඳන් ඊළඟ සති අන්තයේ දී සූදානමින් ගියත් හිරු බැසයන වෙලාව ඉදිරියට ඇවිත්, පුංවි වෙලාවක් ඇතුළත ලස්සන දසුනක් අත්පත් කරගන්න ලැබුණා, මේ එයයි:




ඒ චමත්කාරයට ලොබ බැඳුණ හිත හැම සති අන්තයකම ආම්පන්න අටවාගෙන බලා සිටිය ද වෙනසක් විශේෂයක් ඇති දසුනක් ගන්න සති ගණන් බලා ඉන්න විය. එදා බලාපොරොත්තු නැති විදියට උෂ්ණත්වය පහතට වැටුණ, දැඩි හුළඟක් හැමූ දවසක් විය. ඒත් මෙච්චර ලස්සන දසුනක් පිටුපා එන්න හිතක් නොවිය, මෙය විනාඩි තිස්දෙකක තරම් කාලයක් තුළ හිරු බැස යන අන්දම දක්වන දසුනකි:




මෙ දසුන් ලස්සනට හසු කරගන්න පුළුවන් වෙන්නේ පරිසරයේ ඇති හිස් බව, ඒ හැර අපේ පුංචි රටේ මීට වඩා බොහෝ සුන්දර දසුන් දකින්න ලැබෙනවා.


මුහුදු වෙරළට වෙලා හිරු බැස යන දසුන දකින්න තිබුණ පෙරැත්තය තවමත් එහෙමමයි හිතේ.

ප.ලි: සම්පූර්ණයෙන්ම ගල්මල්-Coral වැඩක්, වීඩියෝ ක්ලිප් වල අඩුපාඩුකම් බොහෝමයක් තියෙන්න පුළුවනි, ඒ ගැන සමාකරනු මැනවි.