Showing posts with label කෙටිකතා. Show all posts
Showing posts with label කෙටිකතා. Show all posts

Friday, August 19, 2022

තාත්තාගේ තෑග්ග

 

"මිස්ට සේරසිංහ, අපේ පුතාට හොඳ ස්පෝර්ට්ස් ෂූ පෙයාර් එකක් ගන්න ඕනේ..."


ස්ටූලයකට බර දී ගෙන අලස මහවීදිය දිහා ඔහේ බලමින් උන් අපේ පාළුව බිඳිමින් තාත්තයි, මුහුණ පුරා සිනා පිරි පුතයි ෂෝ රූම් එකට ඇතුල් වුණේ...


වහ වහා අපි තීදෙනාම ස්පෝර්ට්ස් ෂූ සෙක්ෂන් එකට පිය මැන්නෙමු.


"කීයක විතර පෙයාර් එකක් ද පුතේ..." මං ඇහුවා, පුතා තාත්තා දිහා බැලුවා...


"පුතා කැමති හොඳ ලේටස් ඩිසයින් පෙයාර් එකක්, ගාන ප්‍රශ්නයක් නැහැ, කොලිටිය හොඳ නම්" ආදරණීය හිනාවක් පුරවා ගත් තාත්තා කිව්වේ, පුතාගේ මුහුණ සතුට තවත් වැඩි විය.


ස්ටෝරු කාමරයෙන් සපත්තු ජෝඩු කීපයක් අරන් ඇවිත්, පෙට්ටි වලින් ගලවා   පුතාට පෙන්වන අතර පෙට්ට්යේ අලවා ඇති ප්‍රයිස් ටැග් එක තාත්තාට පෙන්නු වෙමි. ඔහු ඔළුව වනා සන් කල පමණි.


පාට, ඩිසයින් අතර තනි වූ පුතා, සපත්තු ජෝඩු කීපයක් පැළඳ අඩි කීපයක් එහා මෙහා යමින් ෂෝ රූම් බිත්තියේ කණ්ණාඩිය ද තුටු සිනාවෙන් සරසන්නට විය. වරෙක බෑක් පැක් එක උරේ එල්ලාගෙන, තවත් විටෙක උඩින් දාගත් කමිසය හදමින් හැඩට පා ඔසවන පුතා... ඊට එහා ස්ටුලයකට බර දී හිඳිනා තාත්තා ද තම පුතු ගේ මුව සිනාවෙන් සතුටු වෙන හැටි... මාරුවෙන් මාරුවට දෙදෙනා දිහා බලන මට පෙනේ.


ඉඳහිට කෙනෙකු ආවොත් මිසක් මේ දවස්වල හරි හමන් බිස්නස් එකක් නොවිය.


විනාඩි විස්සක්, විසිපහක් විතර ගෙවූ පුතා සපත්තු ජෝඩු දෙකක් අතැතිව තාත්තා ළඟට දුව ආවේය.


"කොයික ද හොඳ?"


"පුතා කැමැති කොයික ද?"


පුතුගේ දෙනෙතු අත් දෙකේ ඇති සපත්තු ජෝඩු දෙක අතරෙ මාරුවෙන් මාරුවට දුවමින්, දකුණත පැත්තේ මොහොතක නතර විය.


"පුතා කැමැති කොයික ද" නිහඬතාවය බිඳිමින් තාත්තා ඇසුවේ හරිම ආදරයෙන්.


තාත්තාගේ කනට ලං වූ පුතා යමක් කියයි.


"කමක් නෑ පුතේ, ඔයාට හොඳම එක තෝරගන්න."


පුතුගේ තේරීම වුණේ මිලෙන් වැඩිම සපත්තු ජෝඩුවය.


"ඒකට මැච් වෙන සොක්ස් පෙයාර් එකකුත් තෝරාගන්න පුතේ..." කියූ තාත්තා ස්ටූලයෙන් හෙමිහිට නැගිට, මොහොතක් හිඳ සීරුවෙන් අඩිය දෙක තියා ඇවිදින්නට විය.


"මෙන්න මේකත් මට දෙන්න..." සේල් රබර් සෙරෙප්පු බාස්කට් එකෙන් ජෝඩුවක් තෝරාගෙන ඇවිත් මගේ අතට දුන්නා.


"මේක තාත්තට ද?"


"ඔව්, මට."


"අපි පොඩ්ඩක් මේක දාල බලමු නේහ්, මේ අයිටම් වල පොඩි පොඩි වෙනස්කම් තියෙනවා."


"නෑ, කමක් නැහැ, සයිස් එක හරි නෙහ්..."


මා පෙරැත්ත කළත්, පැළද සිටි සපත්තු ගලවා ඔහු තෝරාගත් සෙරෙප්පු ජෝඩුව පැළද බලන්න කැමැත්තක් දැක්වූයේ නැහැ. ඒ අයිටම් පොඩි පොඩි අඩුපාඩු ඇති නිසා සෑහෙන අඩු මුදලකට විකුණන්නේ, ඔහු තෝරාගත් සයිස් එකෙන් වඩාත් හොඳ ජෝඩුවක් තෝරා දී මා නිහඬ වූයෙමි.


පුතාගේ ස්පෝර්ට්ස් ෂූ ජෝඩුවට විශේෂ වට්ටමක් ලබා දී වෙනම බිලක් හදන්නට හිතාගත්තෙමි. 


"තාත්තේ, මම ටක් ගාලා ගිහින් CR පොත් තුනක් අරන් එන්න ද?" අසල ඇති පොත් කඩේට් යන්න පුතා සැරසෙයි...


"සල්ලි?"


"අර සල්ලි, මං ළඟ තියෙනවා නෙහ් තාත්තේ" කියමින් පුතා කුරුල්ලෙකු වගේ පිටත් විය.


පුතා නැති අතර වාරයේ දී අපි පොඩි කතාවකට වැටුණා. තාත්තා මීට පෙර කීපවරක්ම ෂෝ රූම් එකට ආව ගිය කෙනෙකි. ඒ හැම වාරයකදීම ස්පෝර්ට්ස් ෂූ සෙක්ෂන් එකට යන ඔහු සපත්තු හරවමින් මිල බලලා, කවදා ද සේල් තියෙන්නේ අහලා ගිය වාර එමට විය.


"මිස්ට සේරසිංහ අච්චර කියලත් මම රබර් සෙරෙප්පු දෙක දාලා බැලු නැහැ, තරහ වෙන්න එපා. සොරි."


"අපොයි, ඒක ප්‍රශ්නයක් නැහැ."


"මගේ සොක්ස් දෙක හොඳටම ඉරිලා, පුතා ඉස්සරහ ෂූස් ගැල්ල්ව්වොත් එයා ඒක දකීවි නෙහ්... ඒකයි වෙන එකක් නෙවෙයි..."


පුතා ආපසු එනවා පෙනේ...


පුතාගේ ආසාව වූ, වටිනා, මිලෙන් වැඩි ස්පෝර්ට්ස් ෂූ ජෝඩුවක් අරන් දුන් ඒ තාත්තා බිල ගෙවන්න දාහේ කොළ හා පන්සීයේ කොළ කීපයක් එන්විලොප් එකකින් අරන් ගැනපු විදිය මගේ සිතේ ෆ්ලෑෂ් විය...


සටහන: කොරෝනා කාලෙන් පසුව සිදුවූ, හිතවත් පාවහන් වෙළඳ සැලක කළමණාකරුවෙකුගේ අත්දැකීමක් මුල්කරගෙන, නම් වෙනස් කර ලියූ කෙටි කතාවකි. එය තාත්තා විසින් පොරොන්දුවක් ඉටුකිරීමක් විය.

Monday, May 18, 2020

සුන්දර මිඳුළක පිපෙන මල්වල ලස්සන, වල්පැල හෙවැනැල්ලෙන් යටපත් වෙන්න දෙන්න එපා

සිරිමෙවෙන් මහත්තයා දවසේ පත්තරෙත් අරන් ආවේ ජැම්සන් ගහ යට බංකුවේ වාඩි වෙන්න හිතාගෙන. ගහේ අතුපතර පනිමින් තොරතෝංචියක් නැතිව සද්ද කර කර ප්රීති වෙන පැණි කුරුල්ලන් දැකලා බංකුවට නොගිහින් ඉස්තෝප්පු පඩියෙම වාඩි වුණා. ඒත් එක්කම වගේ ඈත සිට එන ගිරව් රෑනක් ක්රෑක්..., ක්රෑක්... සද්දෙන් පළාතම දෙවනත් කරමින් පියාසර කරා. සුදුනෝනා පොඩි දුවත් එක්ක ලෙඩෙක් බලන්න ගිහින්.

බැස යන හිරු රැස් පොල් රුප්පව අතරින් පහළින් උඩට විහිදෙන්නට වූයේ යම්තම් උඩට හරවපු ෆ්ලෑෂ් ලයිට් එකක් වාගේය. පොල් රුප්පාවෙන් එපිට ඉස්කෝලෙ වත්තට එහා කඳු ගැටියේ තියෙන දිවුල් ගහේ ඒ මේ අත ඇඹරෙමින් ගිය අතු හිරු රැසින් දිලුණේ හරිම ලස්සනට.


තව විනාඩි කීපයකින් හිරු ඈත මුහුදෙන් බැස අද දවසට සැඟව යනවා ඇති. මුහුදු වෙරළ විනාඩි කිහිපයකින් පයින් යන දුරක පිහිටිය ද වෙරළ දැක සති ගාණක් වුණානේ... සිරිමෙවෙන් මහත්තයාට නිකමට වගේ හිතුණා. දෑතේ ඇඟිලි එකිනෙකට පටලවා අත්ල හිස පිටුපසට ගෙන බිත්තියට හේත්තු වූ ඔහු පැණි කුරුල්ලන්ගේ නැටුම දිහා බලා උන්නා...


ජැම්සන් ගහ දෙපැත්තෙ කොහොඹ පැල දෙකෙන් බංකුවට අමුතු සිසිලක් ලබා දුන්නේ, පහුගිය අවුරුද්දේ කොහොඹ අතුවල බෝවුන දළඹුවන්  නිසා ගහේ අතූ කපා දාන්න වුණ එක ගැන පොඩි දුකකුත් ඇති වුණා. මායිම් වැටට වෙන්න වවාපු රත්මල් පඳුරු පේළියේ අතරමැද දම්පාට මල් පඳුර ලස්සනයි නෙවැ.


ගේට්ටුවෙන් ඇතුල්වී ගෙට ගොඩවෙන අඩි පාර දෙපැත්තේ වවපු රතුතම්පලා පාටට හුරු පොඩි කොළ සහිත පඳුරු, අඩි පාරේ අතුරපු හතැරැස් කොන්ක්රිට් ස්ලැබ්, ඒ ස්ලැබ් අතර වවපු තණකොළ මිඳුලට එක් කළේ ලස්සනක්. පඳුරු පාමුල කවඩි, සිප්පිකටු ඇතිරුවේ පොඩි දුවගේ උවමනාවට නෙහ්.


මිඳුල පුරා තැනින් තැන උස මිට, පාට පාට මල් පැල වලට ඉඩ වෙන් වුණේ පිළිවෙළකට. ක්රෝටන්, ෆර්න්ස්, මුසැණ්ඩාස් තාප්පෙ අයිනට වෙද්දි ගෙයි ජනේල ළඟ, දොරකඩ ළඟ ඉඩ අරගත්තේ රෝස පඳුරු, දහස්පෙතියා, සමන් පිච්ච වැල, ඕකිඩ් වගේ විශේෂ සැලකිලි ලත් උදවිය. සිමෙන්ති මල් පොච්චි කීපයක අරක් ගෙන ඉන්න පාට කීපයක ඇන්තූරියම් කාලෙන් කාලෙට එහා මෙහා වෙනවා.


තණ පිඩැලි ඇල්ලූ මිඳුල පුරා කොළ පැහැ ඇස්වලට මොනතරම් නම් සිසිලක් දෙනවද? ජැම්සන් ගහ යට බංකුව වටේ ගං වැලි පුරවපු රවුම තණකොළ පිරි මිඳුල තවත් ලස්සන කරා.


සීනියාස් මල් පාත්තියේ පාට පාටින් පිරුණ මල් අඩුවක් වුණේ නැහැ. මොනවා හෝ හේතුවක් නිසා මනිප්ලාන්ට් අපේ මිඳුලට හරිගියේම නැහැ නෙව...


"ඇයි තාත්තේ පඩිය උඩට වෙලා..."


"අම්මයි දුවයි ළඟටම එනකම් දැක්කේ නැහැනේ…"


"ඒකනේ… තාත්තා බර කල්පනාවක වැටිලානේ හිටියේ..."


"නෑ දුවේ... බංකුවට යන්නයි ආවේ, ජැම්සන් ගහේ පැණි කුරුල්ලෝ රංචුවක් සෙල්ලමේ හිටියා. උන්ට හිරිහැර කරන්නේ ඇයි කියලා මෙතැන වාඩි වුණා. ඔන්න ඔහේ නිකන් කල්පනාවට වැටුණා..."


"ඒක නෙවෙයි දුවේ, සුභා නැන්දට කෝමෙයි?" සුදුනෝනාගේ කම්මුල් ලාවට වල ගැහෙමින් සිනාවක් ඇදුනත්, නොදැක්කා වගේ සිරිමෙවෙන් මහත්තයා ඇහුවා...


"නැන්දට දැන් හොඳයි. අපි යද්දි මිඳුලේ වල්පැල උගුල්ලනවා. අපිත් තුන්දෙනාම එකතුවෙලා වල්පැළෑටි ගැලෙව්වෙ නැතැයි ඉතිං"


"හොඳයි නේ, English කියමනක් තියෙනවා… Don’t let the tall weeds cast a shadow on the beautiful flowers in your garden


"පුතා දන්නවද ඒකෙන් අදහස් කරන්නේ මොනව ද කියලා?"


“මිඳුලක් කියන්නේ ගෙයකට විශේෂ තැනක් නෙහ්. ලස්සනට, පිළිවෙළට සකස් කරපු මිඳුලක් ගෙයකට  අලංකාරයක් එකතු කරන්නේ. හැබැයි ලස්සන මිඳුලක් හදා ගන්න සෑහෙන්න මහන්සි වෙන්න වෙනවා. පාත්ති හදලා, පැල ඉන්ඳලා, ඒවා ලොකු වෙනකම් සාත්තු කරලා,  මල් දකින්න කාලයක් යනවා. ඒ අතර ලේසියෙන්ම කිසිම මහන්සියක් දරන්නේ නැතුව වල්පැල බිහි වෙන්න පුළුවන්. වල්පැල අයින් කරලා මල්පැල ආරක්ෂා කරගත්තේ නැත්නම් ගෙමිඳුලේ පිපෙන ඕන ලස්සන සුවඳ දෙන මල් යටපත් කරගෙන අර වල්පැල ඉස්මතු වෙන්න පුළුවන්, ඒ යෝධ වල්පැල වල අඳුරු හෙවනැල්ල මල් මත වැටෙන්න පුළුවන්. ඒකත් හරියට මිනිස් හිත වගේ, යහපත් අදහස්, පුරුදු මල්පැල වගේ රෝපණය කර කාලයක් තිස්සේ ඇතිකර ගතයුතු යහපත් අදහස් හා කලක්රියාවයි. වල්පැල කියන්නේ ඒ අතර තුර  නිරායාසයෙන් හිතට ඇතුළුවී, වැඩී, ලස්සන මල්මෙන් වැඩූ යහපත් අදහස් යටපත් කරන්න පුළුවන් අඳුරු හෙවැනැලි. අපි කල්පනාකාරී වුණේ නැත්නම් ඒ අඳුරු හෙවැනැලි අපේ සිත විනාශ කරන්න පුළුවනි, විගහටම. අපි කල්පනාකාරී වෙන්නෙ ඕනේ ඒකයි".


“Don’t let the tall weeds cast a shadow on the beautiful flowers in your garden.”– Steve Maraboli

Friday, August 23, 2013

තවත් එක් සිරකරුවෙක්-4 (Prisoner of an Open Jail) -- අවසන් කොටස


පළමුවෙනි කොටස: තවත් එක් සිරකරුවෙක්-1
දෙවෙනි කොටස: තවත් එක් සිරකරුවෙක්-2
තෙවෙනි කොටස: තවත් එක් සිරකරුවෙක්-3

නීතියෙන් නිදහස් වූ තවත් සිරකරුවෙක්... තීන්දුවේ හැටියට රටෙන් පිටමං කිරීමට ලක්වෙන තවත් එක් සංක්‍රමණික සේවකයෙක්... විලංගු වැටුණ දෑත් සඟවා ගත නොහැකිව ඉස්සරහට කරගෙන නිලදරුවන් දෙදෙනා පසුපස වැටී ගුවන් තොටුපොළ තුළට පිවිසුනි. ආගමන විගමන කවුන්ටරයේ රාජකාරිය නිමා වූ වග කියාපාමින් පාස්පොට් පිටු මත මුද්‍රා කීපයක් වැටුණි. එතැනින් නියමිත දොරටුව කරා කැටුව ගිය සිරිජයන්තව ලියකියවිලි හා පාස්පොට් එක සමඟ ගුවන් සේවයේ කාර්ය මණ්ඩල ප්‍රධානියා භාරයට පැවරුණි. ගුවන් පාලම හරහා ඔහු සමඟ  ගොස්, ගුවන් යානයේ පිවිසුම් දොරටුව අසල දී විලංගු ගලවා නිදහස් කෙරිණි. යානයේ අන්තිම මගියා හැටියට ගොඩ වූ සිරිජයන්තව ගුවන් සේවිකාවක් විසින් නියමිත ආසනය කරා එක්ක ගියා. යානය පුරා සිටි හැමෝම තමුන් දිහා බලන් ඉන්නවා මෙන් ඔහුට දැනුණි.

කටුනායකට සේන්දු වූ යානයෙන් බැස යන්න මගීහු නොඉවසිල්ලෙන් පේළි ගැසුන ද කලින් දැනුම් දුන් පරිදි ගුවන් සේවක මඬුල්ලේ ප්‍රධානියා කතා කරන තුරු ආසනයේ රැඳී සිටින්න සිරිජයන්තට සිදුවිය. ගුවන් යානයෙන් බැස ආ මගීන් තම වාරය එනතුරු තවමත් ආගමන විගමන කවුන්ටර ඉදිරිපිට පෝලිම් ගණනාවක බලා සිටී. ප්‍රධානියා පෝලිම මගහැර සිරිජයන්තව ඉස්සරහට එක්ක ගියා. සිරිජයන්තගේ පාස්පොට් එක හා ලියකියවිලි කවුන්ටරයට භාර දුන්නා, ගොඩ බැසීම සනිටුහන් කර ලියකියවිලි ආපහු ඔහු අතට ලැබුණා.

"ඔහේ හිරේ වැටිලා උන්නද?" අහමින් කවුන්ටරයේ උන් මහත්මයා පාස්පොට් එක සිරිජයන්ත අතට දුන්නේ.

සිරිජයන්ත අසරණව බිම බලා ගත්තා.

"යූ කැන් ගෝ නව්, ඩෝන්ට් ෆොගෙට් යුවර් ලැගේජ්. බයි" කියූ ප්‍රධානියා ට්‍රොලි බෑගය ඇදගෙන විගහට යන්න ගියා.

සිරිජයන්ත නිදහස්.

ගුවන් යානා කිහිපයකින් බැස ගත් සෙනඟින් ශාලාව පිරිලා. යානාවලින් ගොඩ බෑ බඩු පොදි එන තුරු නොඉවසිල්ලෙන් බලා ඉඳි, ඒ අතර කඩිසරව එහේ මෙහේ දුවන කාර්ය මණ්ඩලයේ සේවිකාවන් ඔවුනට උපකාර කරයි.

මේ කිසිවක් ගැන සිරිජයන්තට තැකීමක් නැත, තනිවුණා වගේ දැනුණා.

ඉහිරුණ පැතුම් අව්කාෂ්ටක කතරක ගුලිකර, සෝසුසුම් වලින් දවා අළුකර, වියරු දූවිලි කුණාටුවෙම පාකර යැවූ සිරිජයන්ත අවුරුදු දෙකහමාරකට කලින් රැගෙන ගිය පුංචි ගමන් මළුව අතැතිව ගෙදරට ගොඩ විය.

නන්දා ජීවිතය ගැට ගහගත්තේ කඩයප්පම් හදලා. ඇගේ නැන්දා ඇයට හයියක් වුණා. හදිස්සියේ රෝගාතුර වූ ඇය ද මිය ගිහින් මාස දෙකක් ලං වෙලා තිබුණි. නැන්දාගේ වියෝවත් සමඟම කඩයප්පම් හැදිල්ල නතර කර තිබුණ ද කඩල තම්බා පාර්සල් කර කඩවලට දැමීම නන්දා කරගෙන ගියා.

දවස, දෙක ගෙවුණි. සිරි අහන දෙයකට උත්තර දෙනවා මිස වැඩි කතාබහක් නැත. තනියෙම ඉන්න කැමැත්තක් දැක්වූවා. එය නන්දාගේ හිතට කරදර දෙන්න පටන් ගත්තා, ඒත් ඒ ගැන සිරිට දැනෙන්න තිබ්බේ නැහැ.

සුභසාධක සංවිධානයෙන් හා කොම්පැනියෙන් ලැබුණ මුදල් ටික මාරු කරගන්න සිරි ටවුමට ගිය අතර තුර නන්දා හේමාට කතා කරා. හේමා මානසික රෝහලක වැඩකරන පළපුරුදු හෙදියක්.

සිරි මුහුණ පෑ අකරතැබ්බයන් ඔක්කෝම හේමාට කිව්වා.

කාලයක් බිත්ති හතරකට කොටුවෙලා උන් සිරිජයන්තගේ මානසික තත්වය මොනාකාරයේ වෙන්න පුළුවන්ද කියන එක හේමා විසින් නන්දාට පැහැදිලි කර දුන්නා.

"සිරි මොනවද කරන්න බලාපොරොත්තුව?"

"ඕනකරන ආයුධ ටික සූදානම් කරන් ටයිල් වැඩ කරන්නයි කල්පනාව."

"ඒක හොඳයි. ඊට කලින් සිරි ඉන්න තත්වයෙන් ගලවගන්න ඕනේ. ඒක අමාරු දෙයක් නෙවෙයි. පුළුවන් හැම වෙලාවෙම උඹ එයා ළඟින් ඉන්න ඕනේ. සමාජය එක්ක ගැවසෙන ක්‍රමයක් හදා ගන්න ඕනේ. ඒකෙන් එයාගේ හිතේ තියෙන කලකිරීම, කොන්වීම ටික ටික අඩුවෙලා යාවි. නැතුව දැන්ම මේසන් වැඩපොලකට යන එක එයාට හොඳ මදියි... ඇයි නන්දෝ උඹ සද්ද නැත්තේ..."

"මං කල්පනා කළේ කොහොමද ඒ දේ කරන්නේ?"

"උඹේ කඩල බිස්නස් එකට සිරිව සම්බන්ධ කරගනින්, උදේට කඩල පාර්සල් ගෙනියන වැඩේ සිරිට කරන්න පුළුවන්."

"කවුද ගේට්ටුව අරිනවා වගේ, සිරි එනවා ද කොහේද?"

"නන්දෝ, මේක ලෙඩක් නෙවේ. උඹ මේවා ප්‍රශ්නයක් කරගන්න එපා. සිරිට නොදැනෙන්න මේ දේවල් කරන්න ඕනේ. ඕන උදව්වකට මං ඉන්නවා."

මාරුකර ගත් මුදලින් සිරිජයන්ත තිබුණ ණය තුරුස් ඉවර කර දැම්මා. අතේ ඉතිරි වූ සොච්චමින් මොනවා කරන්න ද හිතමින් ඉන්න වෙලාවක කාකගේ පුතා ගෙට ගොඩ වුණේ.

ලොකු කාකලා ඉන්දියාවෙන් ඇවිත් පදිංචි වූ අය. ඔවුන් පිරිමින් කාටත් කතා කළේ කාකා කියලා, ඒ ඔවුන්ගේ භාෂාවෙන් අයියා කියන ගෞරවයෙන්. ගැහැණු උදවියට නෝනා කිව්වේ ලොකු පොඩි බේදයක් නැතිව. සිරිජයන්තගේ තාත්තා වැඩ කර කිරිනැලියේ වෙදමහත්තයාගේ සාප්පුව තිබූ කඩපේළියේ කෙළවරේම කඩකාමරයක කාකලා පදිංචි වෙලා උන්නේ. රස්සාවට කළේ පකෝඩා, මුරුක්කු, බට්ටෝ වගේ දේවල් හදලා පැකට් කරලා කඩවලට දාන එක. දවසක් පිටි මුට්ටය බයිසිකලේ අරන් එද්දි මෝටර් සයිකල් කාරයෙක් පස්සෙන් ඇවිත් හප්පලා කාක වැටිලා, දකුණු කකුල කැඩිලා. වෙළඳාම පවා කරගන්න බැරිව අන්ත අසරණව සිටි කාකට මාස ගාණක් පත්තු හදලා වෙදකම් කළේ සිරිජයන්තලාගේ තාත්තා. දෙමහල්ලෝ ජීවතුන් අතර නැතත් අදටත් පවුල් දෙක හරි එකතුයි. කාකගේ පුතා කිව්වාම නොදන්න කෙනෙක් පළාතේ නැහැ, හිත හොඳ මිනිහා.

"සිරි ඇවිල්ලා කියලා ආරංචි වුණා. බලලා යන්නයි කියලා ආවේ."

සිරිජයන්තගේ අවාසනාවන්ත කතාව ඔහු අසා සිටියා.

"සිරි හැම දෙයම වෙන්නේ මිනිස්සුන්ට. ගිය දේ ගියාදෙන්. දැන් මොනවද කෙරෙන්න ඕනේ?"

කිසි උත්තරයක් නැතිකොට...

"සිරි මං අඳුරන කෙනෙක්ගේ ටෙස්ට් කරත්තයක් තියෙනවා, කවුරුවත් වැඩ කරන්නේ නෑ. නිකං තියෙන්නේ. මං ඒක කතා කරලා දෙන්නම්. අපි බඩු දෙන්නම්. ටේස්ට් කඩල ටිකකුත් දාමු. සිරි බිස්නස් එක පටන් ගන්න."

"ඔව් සිරි එහෙම කරමු. ඔයා වැඩ පටන් ගන්න ආයුධ ටික ගන්නත් එපැයි." කතාවට එක් වුණේ නන්දා.

"බිස්නස් එක පටන් ගන්න, පුළුවන් සපොර්ට් එකක් අපි දෙන්නම්." කාකගේ පුතා උපදෙස් දුන්නා.

"අපි හොඳ දවසක් බලලා වැඩේ පටන් ගමු සිරි" නන්දා එක පයින් සූදානම්.

"එපා, එපා... සිරිට මොකුත් කරන්න එපා... අතෑරපල්ලා."

නිදා උන් නන්දාගේ මොර දීමත් එක්ක තැතිගත් සිරිජයන්ත පියවි ලොවට ආවේ.

"ඇයි නන්දෝ, හීනෙන් බය වුණාද?"

"මට වතුර ටිකක් දෙන්න."

මේසයේ තිබූ එනැමල් ජොග්ගුව අතට ගත් නන්දා වතුර බීගෙන බීගෙන ගියා. ඇගේ නළලින් දාඩිය බේරෙනවා.

"ඔව්, අරුන් ඇවිල්ලා සිරිව වාහනේට ඇදගෙන යනවා..." කඩා හැලෙන්න සැරසෙන කඳුළු ගුලි පිරුණ දෑස් පිට අත්ලෙන් පිසලන ගමන් ඇය සිරිජයන්තගේ උරහිසේ ඔළුව තියා ගත්තා. 

"විකාර, එහෙම වෙන්නේ නැහැ ළමයෝ" හිස කෙස් අතරින් ඇඟිලි දුවවමින් නන්දාගේ හිස පිරිමැදින්න වුණා.

"දැන් වෙලාව කීයද සිරි?"

"හතරට දහයයි."

"කඩල ටික ලෑස්ති කරන්න ඕනේ, මං කුස්සියට යන්නම් සිරි."

"කෝපි ටිකක් බොමුද?"

ටික වෙලාවකින් නන්දා කෝපි අරන් ආවා. බර කල්පනාවේ හිටි සිරිජයන්ත නැඟිට වාඩි වුණා.

"සිරි ඔයා නිදා ගත්තේ නැහැ නේද?"

"හ්ම්..."

"මොකද මේ බස්සෙක් වගේ හ්ම්, හ්ම් කියන්නේ..."

"හ්ම්... බස්සා වෙන මොනවා කියන්නද?"

මොහොතක් කරදර අමතක කර හිනැහුන දෙදෙනා සුපුරුදු උදේ කොපි කෝප්පය රසවින්ඳා.

නන්දා පිටුපස වැටුණ සිරිජයන්ත ද කුස්සියට ඇදුණා...

කඩල මුට්ටි දෙක ඇර බැලූ ඇය පොල් ගෙඩියක් අරන් සුද්ද කරා.

"කෝ දෙන්න" පොල් ගෙඩියයි මහපිහියයි ඇගේ අතින් ගත් සිරිජයන්ත වැරෙන් පාරක් දී පොල්ගෙඩිය දෙබෑකරා. 

"අද නම් එක පාරින්ම බින්දා, සිරි ඔයා කේන්තියෙන් නේද ඉන්නේ" නන්දා හිනැහෙන්න වුණා.

සිරිජයන්ත පොල් කෑලි කපන අතර නන්දා තෙම්පරාදුවට උවමනා දෑ සූදානම් කරා.

"නන්දා."

"ඇයි?"

"අද හවස කරත්තය ගෙනියන්නේ නැහැ, කඩල වතුරෙ දාන්න එපා."

"ඔව් සිරි ඔය වසවර්තියෝ එක්ක හැප්පෙන්න ඕනේ නැහැ."

"ඕකුන්ට බයේ නෙවෙයි නන්දෝ. උන් එක්ක එකට එක කරන්න ගිහින් පොලිසි ගානෙ රස්තියාදු වෙන්න බැහැ. හිරේ විලංගුවේ වැටෙන්න බැහැ. මට එහෙම වුණොත් නන්දා දිහා මේ සමාජය බලන්නේ කොහොමද කියලා මං නොදන්නවා නෙවෙයි. අන්න ඒකයි කරත්තයේ වෙළඳාම නවත්තන්න තීරණය කළේ."

"මං බයේ හිටියේ, සිරි මොන වගේ තීරණයක් ගනීද කියලා" දකුණු ඇහැ හීන් කර මුහුණේ ඇඳුණ අනුකම්පාවෙන් පිරුණ හිනාව ඒ අදහසට එකඟ බව කියා පෑවේය.

"උන්ට දිනුම දුන්නා නෙවෙයි නන්දා, අපි පරාද නැහැ. අද මුලු ගමම උන්ව මහ ඉහළින් පිළිගන්නවා. එහෙම කරන්නේ උන් කවුද කියලා නොදැන නෙවෙයි."

"හ්ම්..." නන්දා හූ මිටි තිබ්බා මිස කිසිවක් කතා කරේ නැහැ.

"රතු මහත්තයලාගේ සීයා, තාත්තා, බාප්පා හැම එකාම කළේ හන්දියේ රේස් මඩු. උන්ගේ ගෙවල් බූරු පොළවල්, කසිප්පු තිප්පොලවල්. ඒ දවස්වල රුක්කත්තන ගහ යට කඩේ අබිං වික්කේ, එතැන අද උන්ගේ ලොකු මන්දිරය හදලා තියෙන්නේ. කාර්වල එන අය එතැන එකතුවෙන්නේ නිකම් නෙවෙයි. පළාතම දුම්. උන්ටම හරි ගිය කාලේ, අද රටේ මිනිස්සු කරන්න ඕනෑ-එපා දේවල් තීරණය කරන්නේ ඒ වගේ උත්තමයන්."

"අපිට ඒව වෙනස් කරන්න බැහැ නේද?" සිරි ගැන නන්දාට බය හිතුණා.

"සිරි කඩල ටික බේරෙන්න දානවයි" කිසිත් කරකියා ගත නොහැකිව මොහොතක් නිහඬව සිටි නන්දා කතාව වෙනතකට හරවන්න උත්සාහ කරා.

පුරුදු පරිදි දෙදෙනා එකතුව කඩල පැකට් සූදානම් කරා.

"මම ඉක්මනට ගිහින් එන්නම්. වැඩියේ මහන්සි වෙන්න එපා, ඕන වුණොත් සිරියාවතීව කතා කරගන්න" කී සිරිජයන්ත උදේ රාජකාරිය සඳහා පිටත්ව ගියා.

එමින් ගමන කාකගේ පුතාට ගණන් බේරන්න ගිය සිරිජයන්ත සිදුවූ දේවල් ඔහුට කිව්වා.

රතුමහත්තයා තුන්මං හන්දියේ කඩපේළියේ කඩකාමර හතරක් අරන් රෙපයාර් කරන බව සිරි දන්නේ නැහැ වගේ... කාකට හිතුණා.

"සිරිගේ තීරණය මොකද්ද?"

"කඩල කරත්තයේ බිස්නස් එක නවත්තන්න හිතුවා..." ඊට මුල් වූ කාරණය ද සිරි විස්තර කරා.

"ඔව් සිරි එහෙම් කරන එක තමයි දැනට හොඳ."

"අපි කරත්තයේ ගනුදෙනු බේරන්නේ කොහොමද?"

"ඒක ප්‍රශ්නයක් කරගන්න එපා සිරි, මං ඒ ගැන කතා කරලා ඔයාට කියන්නම් කෝ..."

"මට දවස් දෙකක් විතර දෙන්න, කරත්තය සුද්ද කරලා ලෑන්ඩ් මාස්ටරයකින් අරන් එන්නම්."

"රෝද තුනටම ටයර් ටියුබ් දාලා සති දෙකක්වත් නැතුව ඇති නේද සිරි?"

"හ්ම්... මොනවා කරන්න ද? කරදරයක් නැති සීදේවි කරත්තේ."

"හරි, සිරිලා මොනව කරන්න ද කල්පනාව?"

"උදේට කඩවලට කඩල පැකට් දාන එක දිගටම කරගෙන යනවා."

"ඒක විතරක් ඇද්ද?"

සිරි මොකුත් කතා කළේ නැත.

"සිරි, මම බඩු දෙන්නම්. පැකට් කරලා බසාරෙකේ හෝල්සේල් දාන්න තැනක් සෙට් කරලා දෙන්නම්. පොලිතීන් සීලර් එකක් මං දෙන්නම්."

"නැහැ, එහෙම හරි නැහැ. කාකලා කරන බිස්නස් එකම අපි කරන එක හරි නැහැ."

"ඇයි?"

"ඔයාලට පාඩු වෙනවා නේද?"

"නැහැ සිරි. ඒක හරිම සිම්පල්. මොනවා කරත් අපිට නියමිත කොටසක් තියෙනවා, ඒක කොයි විදියකට හරි අපිට ලැබෙනවා. අපි කාටහරි පිහිට වුණොත් අපිට ලැබෙන දේ වැඩි වෙන්න පුළුවන්. සිරිලා අපිට පිහිට වුණ අය, මේක අපේ යුතුකම. මොකද කියන්නේ? හොඳ වෙලාවක් බලලා වැඩේ පටන් ගමු."

සිරිජයන්ත නිහඬව උන්නා.

"නන්දාත් එක්ක කතා කරලා හොඳ විදියක් කියන්න සිරි."

ඒ අදහසට නන්දා ද කැමැති වුණා.

එළඹෙන බක් මහේ නව චන්ද්‍ර චාප මතුකරන බලාපොරොත්තුවෙන් මැදින් සඳ අඳුරු අහසේ ඉක්මනින් සැඟවෙන්න හිතුවා.

~~~oOo~~~

සටහන:
මර්මුස්ගේ අනතුරට හේතුව පලංවියේ පැත්තක් ඇණ මුරුච්චි පොට පැනීමෙන් ගැලවී වැටීමෙන් බව දැන හිටියේ ෆොර්මන් විතරයි. අනතුරින් පසුව එතැනට ගිය ඔහු කිසිත් නොවුණා වගේ පලංවියේ හදලා දැම්මේ. එහෙම නොවෙන්න ඔහුද, සමාගම ද නීතියෙන් දඬුවම් විදින්න සිදුවෙන බව ඔහු දැන හිටියා. කොම්පැනියෙන් මර්මුස්ට ලොකු වන්දියක් ගෙවන්නත් වෙන්න තිබුණා. කොම්පැනියේ ඉහළ අයට ද මේ ගැන දැනුම් දුන්නා. සිරිජයන්ත නිදොස් බව දැනගත් ඔවුන් ප්‍රසිද්ධ නීති ආයතනයක වැඩ කරන; අසරණයින්ට ස්වේච්ඡාවෙන් පිහිට වෙන නීතිඥ මහතෙකුගේ සේවාව ලබා ගත්තා. වන්දි මුදල හදා ගන්න මුල් වුණේ ද ඔහුමය.

ඉන්දීය සංක්‍රමණික සේවකයින්ගේ සුභසිද්ධිය වෙනුවෙන් කටයුතු කරන සංවිධානය මෙතැන දී ලාංකිකයෙකුට පිහිටට එන්නේ ඉන් තවත් ඉන්දීය පවුලකට සැලසෙන ආර්ථික වාසිය ඉලක්ක කරගෙන.

අරාබිකරයේ අසරණයින්ට සහන සපයන ස්වේච්ඡා සංවිධානවලට පිං පතා මුදල් පරිත්‍යාග කරන ස්වදේශිකයින් ගැන විටින් විට කියවෙනවා, එය විමතියට කරුණක් වෙන්න පුළුවන්. මේ එවැනි පරිත්‍යාගයකින් මරණ දණ්ඩනයෙන් බේරී ජීවිත දානය ලබාගත් ලාංකිකයෙකුගේ හා නේපාල ජාතිකයෙකු ගැන කියවෙන සිද්ධීන් දෙකක්.

කතාවේ අරමුණ මැදපෙරදිග රැකියාවට ගිය තවත් නිදොස් ලාංකිකයෙකුගේ අවාසනාවන්ත ඉරණම ගෙන හැර දැක්වීම. සිරිජයන්ත  කිසිම පිහිටක් නැති, රාජකාරී මට්ටමෙන් වුණත් සෙතක් ඉටුනොවෙන අන්ත අසරණයින්ගෙන් කෙනෙකු පමණි. මේ කතාව ද කාසිගහ, නන්දුට රෙස්ට්,  කඟවේනිය නුඹ, තව කාසියක්, දුරු රටක කම්මලේ පොඩි නගේ වැනි විදෙස් රැකියාවේ තවත් පැත්තක් පෙන්වන්න කර උත්සාහයක් පමණි. එහෙත් හුදු රචනයක්ම නොවේ.


Monday, August 12, 2013

තවත් එක් සිරකරුවෙක්-3 (Prisoner of an Open Jail)


පළමුවෙනි කොටස: තවත් එක් සිරකරුවෙක්-1
දෙවෙනි කොටස: තවත් එක් සිරකරුවෙක්-2

වැලි කාන්තාරය හරහා දූවිලි දෙවනත් කරමින් ඇදුන පිකප් රථය හතරැස් ගොඩනැගිලි කිහිපයක් ඇති දෙසට හැරී ලොකු යකඩ ගේට්ටුවක් ඉදිරිපිට නතර විය. නුහුරු දේශයක, අමුතුම භාෂා කීපයක් කතා කරන දහ පහළොස් දෙනෙක් අතර සිරිජයන්ත තනි වුණා. ඔවුන් ඉන්දියාවේ පිටිසර පළාත් කීපයකින් ආ පිරිසක් බව දැනගත්තේ පස්සේ.

පහුව දා උදේ එළිවෙත්ම කට්ටියම කැන්ටරයකට ගොඩ වුණා. ඉඩ ඇති විදියට දෙපැත්තේ හයි කරපු ලෑලි බංකුවලත්, බිමත් වාඩි වුණා. වැඩපොළවල් කීපයකට කට්ටිය දාලා  ෆොර්මන් සිරිජයන්තව එක්ක ගියේ අන්තිම වැඩපොළට. ඔහු ඉංග්‍රීසි ටික ටික කතා කරන පකිස්තානු ජාතිකයෙක්. වැඩ කරන කට්ටිය එක්ක සම සමව වැඩකරන කෙනෙක්. තරමක් ලොකු පරණ ගෙයක් අලුත්වැඩියා කෙරෙමින් තිබුණේ. සිරිජයන්තගේ හැකියාවන් පෙන්නන එතැන හොඳ තැනක් වුණා.

දවස් ගෙවුණේ හරි හෙමින් වගේ... මාස හතරක් ගතවුණා, සිරිජයන්තට තරමක් පරණ තට්ටු ගොඩනැගිල්ලක අලුත්වැඩියා කිරීමේ වැඩපොළක් භාර දුන්නා. පිළිවෙළට වැඩ කෙරීගෙන යද්දි නිවාඩු ගිහින් හිටි මර්මුස් ආපහු ආවේ. සිරිජයන්ත තම කණ්ඩායමේ මූලිකත්වය අරන් සිටි නිසා දෝ දැක්ක මුල් දවසේ පටන් ඔහු පෙන්නුවේ නුරුස්සන ගතියක්. සුළු කාරණයකට පවා සිරිජයන්ත එක්ක පැටලෙන්න ආවා. වාහනයේ යනෙන අතර වාරයේ දී වගේම නවාතැන්පොල දී ද වෙනසක් වුණේ නැහැ.

මර්මුස්ගේ බලපෑම් වැඩි වෙත්ම ෆොර්මන්ට කිව්වා. විහිළුවෙන් වගේ "හී කෙරේසි මෑන්... යූ නෝ ෆයිට්. ඕ.කේ." කියා පිටට තට්ටුවක් දාලා යන්න ගියා. වෙනසක් වුණේ නැහැ.

පහුවදාට හතරවෙනි තට්ටුවේ බිත්ති කපරාරුව පටන් ගන්න නියමිතව තිබුණා. ඊට කලින් පරණ කපරාරු ගලවා ඉවත් කරන්න ඕනේ. අත්-උදව්කාරයෝ හැමෝම එතැන වැඩ. පාට්කාර් විතරයි සිරිජයන්තලාට උදව්වට පස්වෙනි තට්ටුවේ හිටියේ. අයින් කරලා තිබුණ අබලන් පලන්චියක් ගෙනත් බැල්කනියේ අටවපු මර්මුස් පිට පැත්තේ බිත්තියක කපරාරු ගලවන්න පාට්කාර්ට පැවරුවා. විනාඩි විස්සක් විසි-පහක් වැඩ කර පාට්කාර් වැඩේ නැවැත්තුවේ පලන්චිය හයිය මදියි කියලා. දෙන්නා බහින් බස් වුණා. මර්මුස්ට තරහ ගියා, ආයුධ අරන් පලන්චියට ගොඩවෙලා කලබලෙන් වැඩ කරන්න පටන් ගත්තා.

ටික වෙලාවකින් සිරිජයන්තට කතා කර ඔහු බිත්තිය ඇතුළතට විහිඳුන ඉරිතැලීම් කීපයක් පෙන්නුවා. ආපහු යන සිරිජයන්ත තරප්පු පේළිය දිගේ උඩට නඟිනවාත් එක්කම දඩෝං ගාගෙන පෙරළෙන සද්දයක් ඇහුණා. පලන්චියෙන් වැටුණ මර්මූස් දෙවැනි තට්ටුවේ බැල්කනි දෙකක් හරහා දාපු බාල්ක කඳන් ගොඩේ උඩුබැලි අතට වැටිලා.

කට්ටියම තරප්පු පෙළ දිගේ පහළට දිව්වා. නායක් පාට්කාර්ට අතපය දික් කරමින් සැරෙන් කතා කාරා. හින්දි නළු නනා පටෙකාර් වගේ හැම දෙයම කරන්න උත්සාහ කරන පාට්කාර් දකුණතේ දබරැඟිල්ල නායක්ගේ දෙතොල් වලට හිරකර "චුප්" කිව්වා. එව්වරයි. සද්දය නැවතුණි.

පාට්කාර් මර්මුස්ව උස්සන්න හැදුවා. පළාතම දෙවනත් කරමින් කෑගහපු විදියට මර්මුස්ගේ අතක් පයක් කැඩිලා වෙන්නැති. ලෑලි තට්ටුවක තියා ඒකාව පහළට අරන් එන්න මුල් වුණේ පාට්කාර්. තුවාලකාරයා එක්ක කැන්ටරයේ ඉස්පිරිතාලෙට ගියේ මර්මුස්ගේ පළාතේ ගෝලයෝ තුන්දෙනා විතරයි.

අනික් කට්ටිය පුරුදු වැඩ කටයුතුවල වැටුණා. ඒත් වැඩ ඇරිලා යද්දි පවා වෙනදා වගේ සද්දයක් නොවුණි. තැන තැන කීප දෙනෙක් කුටු කුටු ගානවා හැර නවාතැන්පොල පුරා පැතිරුණේ මූසල ගතියකි.

ෆොර්මන් ඇවිත් සිරිජයන්තව කාර්යාලයට එක්ක ගියා.

පොලිස් නිලධාරීන් දෙදෙනෙක් එහි විය. කට උත්තරයක් දෙන්න ඔවුන් එක්ක පොලීසියට යන්න කිව්වා. සිරිජයන්තට හීන් දාඩිය දැම්මා.

ගේට්ටුවෙන් පිටවෙද්දි සිරිජයන්තට හැරිලා බැලුනේ ඉබේටම වාගේ. ෆොර්මන් අසරණව බලා ඉන්නවා. කට්ටියක් තාප්පය කෙළවරේ එඹීගෙන උන්නා.

කොම්පැනියේ මන්දූක් පොලීසියට ඇවිත් හිටියා.

"උඹ ඇත්ත කියපන්, කිසි දෙයකට බය වෙන්න එපා. අපි ඉන්නවා." මන්දූක් කිව්වා.

මර්මුස් විසින් පාට්කාර්ට බැල්කනියේ වැඩ පැවරූ තැන ඉඳන් තමන් තරප්පු පේළියෙන් නගිනවත් එක්කම ඇසුණ සද්දය දක්වා වූ සිද්ධි එකිනෙක සිරිජයන්ත විස්තර කරා, එය පොලිසියේ නිලධාරියා විසින් සටහන් කරගත්තා.

මන්දූක් හා පොලීසියේ නිලධාරින් විනාඩි විස්සක් විතර කතා කරන්න ඇති. ඉන් පසුව, පොලිස් නිලධාරීයා සැකසූ සටහනක් ගෙනා මන්දූක් සිරිජයන්තගේ අත්සන අරගත්තා. එහි මොනවා සඳහන් වුණා ද නොදත් ඔහුට මන්දූක්ගේ කීමට අවනත වෙනවා හැර කරත හැකි කිසිවක් නොවිය.

සිහි විකල්ව දොඩවන මර්මුස් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබුණි, ඔහුගෙන් කට උත්තර ගැනීම අපහසු විය. තත්වය යහපත් අතට හැරෙන තුරු සිරිජයන්තව රිමාන්ඩ් කෙරුණි.

සති දෙකක් ගත විය, මර්මුස්ට සැත්කම් දෙකක් කර තිබුණි. කීපවතාවක් පොලීසිය ඔහුගේ කට උත්තර අරන් තිබුණ ද ඒවා එකිනෙකට වෙනස් විය.

සිරිජයන්තගේ රිමාන්ඩ් කාලය දික් කෙරිණි. ඔහු බලන්න ඉඳහිටවත් ආවේ ෆොර්මන් විතරයි.

මර්මුස්ගේ කට උත්තර අනුව සිරිජයන්ත සමඟ බිත්ති අලුත්වැඩියාව ගැන කතා කිරීමෙන් පසුව සිදුවූ කිසිවක් ඔහුට මතක නැත. වැටුණේ කොහොමද කියන්න තරම් දැනුමක් නැත. ඒ පැත්තේ එවෙලේ වැඩ කළේ මර්මුස් විතරයි, වෙනත් කිසිවෙක් නොවිය.

පොලිස් පරීක්ෂණවල සැකය සිරිජයන්ත දෙසට යොමුවිය.

සිරිජයන්ත සිරගත කෙරිණි.

තානාපති කාර්යාලෙන් ආ මහත්තයා ද බලකළේ වරද පිලි අරන් දඬුවම ලිහිල් කරගන්න කියාය.

කාගේවත් සරණක් නැති සිරිජයන්ත කියන කතාව කවුරුවත් ඇහුවේ නැහැ. එහෙම නැතිනම් විශ්වාස කෙළේ නැහැ.  මාස ගාණක් හිරගෙයි ගෙවුණා. නඩුවාර කීපයක් පැවතුණා. දැන් කොම්පැනියෙන් එන්නේ මන්දූක් විතරයි.

අනතුරින් කොඳු ඇට දෙකක් පිපිරීමෙන් ලෙඩ ඇඳට වැටුණ මර්මුස් ආබාධිතයෙකුව හැටියට ඉන්දියාවට ගියේ.

ඊට සතියකට විතර පස්සේ... දවසක් උදේක ෆොර්මන් නීතිඥ මහත්තයෙක් එක්ක ආව. අරාබි ඇඳුමින් සැරසී සිටි ඔහු කතා කළේ ඉංග්‍රීසියෙන්. සිරිජයන්ත පොලිසියට දුන් කට උත්තරය ඒ විදියටම ඔහුට කිව්වා. ඔහු උවමනාවෙන් ඇහුන්කම් දුන්නා. සිරිජයන්ත දිවුරා කිව්වා ඔහු අතින් කිසිම වරදක් වුණේ නැහැ කියලා.

ඊළඟ නඩු වාරය ලංවෙන බව පකිස්තානුවා කිව්වා.

තානාපති කාර්යාලයේ මහත්තයා දෙවැනි වතාවටත් ආවා. වරද පිළිගන්න කියලා නැවත කිව්වා.

එහෙම කරන්න සිරිජයන්ත වරදක් කරලා නැහැ.

ඊළඟ නඩුවාරයට අර නීතිඥ මහතා ද පැමිණියා. සිද්ධිය ගැන පැහැදිලි සාක්කි නැති කාරණය ගෙනහැර දැක් වූ ඔහු සිරිජයන්ත නිදහස් කරගන්න උත්සාහ කර ද නඩුව තවත් වරක් කල්ගියා.

සති දෙකකින් ආ ඊළඟ නඩු වාරයේ දී සිරිජයන්ත නිදහස් කෙරුණා, කොන්දේසියක් මත. තවදුරටත් පුරුදු රැකියාව කරගෙන යන්න බැරි විදියට අනතුරින් රෝගාතුර වූ මර්මුස්ට සිරිජයන්ත විසින් දිර්හම් එකසිය පනස්දාහක් ගෙවන්න නියම විය.

මාස හයකට ආසන්න කාලයක් හිරගෙයි ගත කර නීතියෙන් නිදහස් සිරිජයන්ත වෙනත් තැනකට මාරු කරා. මේ තරම් ලොකු වන්දි මුදලක් ගෙවා කවදා මෙතැනින් නිදහස් වෙන්නද? ඉටු නොවෙන හීනයක් වගේ සිරිජයන්තට දැනෙන්නට විය.

අවුරුදු දෙකකට වැඩි කාලයක් හිරගෙයි ගත විය. තානාපති කාර්යාලයෙන් දෙවතාවක් ආවද කිසිවක් කරන්න සමත් නොවිය.

ඒ අතර දවසක් පකිස්තානු ෆොර්මන් සිරිජයන්ත බලන්න  ආවේ ගිනිගහන මහා කාන්තාරයට වැහි පොදක් වගේ පුංචි සුබ ආරංචියක් අරං...

ඊළඟ සති අන්තයේ ෆොර්මන් කැටුව ආ නීතිඥයා සමඟ ඉන්දීය සේවකයින්ගේ සුබසාධනය වෙනුවෙන් වැඩ කරන ස්වේච්ඡා සංවිධානයක නියෝජිතයින් දෙදෙනෙකු සිරිජයන්ත බලන්න ආවා. සිරිජයන්තට උසාවියෙන් නියමකර මුදල සකස් කර දෙන්න ඔවුන් උත්සාහ කරන බව කිව්වා. සිරිජයන්තට කිසිවක් අදහාගත නොහැකි විය,  දෑසින් දෝරේ ගලන්න පටන් ගත්තා, දෑත් එක් කර ඔවුනට නමස්කාර කරා.

බිත්ති හතරක හිරවූ නිදොස් මිනිස් හිතක මියැදෙමින් තිබූ ඇතුළාන්තයෙන් පටන් ගෙන බලාපොරොත්තුවේ අංකුර ලියැලෙනු දැනුණි.

සති හයකට පසුව ඔවුන් තිදෙනා සමඟ ෆොර්මන් ද ආවා. දානපතියෙකුගේ පරිත්‍යාගයකින් වන්දි මුදල ගෙවන්න කටයුතු යොදා ඇති බව දැනුම් දුන්නා. 

නීතිඥ මහතා විසින් හැම දෙයම සූදානම් කරා. තානාපති කාර්යාලයෙන් සිරිජයන්තට ගුවන් ටිකට් පත ලබාදුන්නා. හිරගෙදරින් ගුවන් තොටුපලට එක්ක ගිය සිරිජයන්තව ගුවන සිසාරා පියාසර කරන්න මානන යානයකට නිදහස් කෙරුණි...



සිව්වැනි කොටස: තවත් එක් සිරකරුවෙක්-4 -- අවසන් කොටස

Tuesday, August 6, 2013

තවත් එක් සිරකරුවෙක්-2 (Prisoner of an Open Jail)

පළමුවෙනි කොටස: තවත් එක් සිරකරුවෙක්-1

අත්ලට වතුර අරන් කීපවරක්ම නන්දාගේ මුහුණට ඉස්සා. පැත්තකට හැරී වැටිලා ඉන්න ඇයගේ මුහුණට හොඳින් සුළං වඳිනවා කියා සිරිජයන්තට හිතුණා. ඒ විදියටම වැතිර ඉන්න ඉඩ හැර හිස පිරිමැද්දා. ඇගේ නළලේ දකුණු පැත්තෙන් රෝල් වෙමින් එන වතුර බිංදුවක් වේගයෙන් නළලත ඉස්මත්තෙන් වම් පැත්තට ගිලිහෙන්න හදන හැටි සිරිජයන්ත බලා හිටියේ නොඉවසිල්ලෙන්. නන්දා ඇහැර බැලුවා. ඒ ඇස් බයෙන් පිරිලා.

"මොනවද හොයන්නේ?" හිස ඔසවා වට පිට බලන්න උත්සාහ කර ඇගෙන් සිරිජයන්ත ඇහුවා.

"ඕකුන් වසවර්තියෝ, උන් එක්ක හැප්පෙන්න යන්න එපා සිරි."

"හරි, හරි ඔයා බය වෙන්න එපා ළමයෝ..."

අත්ලට ගත් වතුර ටිකකින් නන්දාගේ මූණ තෙතත් මාත්තු කර  සිරිජයන්ත නන්දාව නැගිට්ටවා ඇඳි පුටුවේ වාඩි කරා. බෝතලයේ ඉතිරි වතුර ටික උගුරු කිහිපයකට ඉවර කර නන්දා පුටු ඇන්ඳට ඔළුව තියාගත්තා.

උණුවතුර බෝතලයේ තිබූ තේ කහට ටික එනැමල් ජොග්ගුවට හැලු සිරිජයන්ත තේ හැන්දෙන් බෝතලය හූරා ගෙන වැඩි සීනි තේ කොප්පයක් හදා නන්දා අතට දුන්නා.

තේ උගුරු කීපයක් ගත් ඇය "මට ඇති, ඔයා මේ ටික බොන්න සිරි..."

ගෙදර ආ ගමන් තොලගාන කහට කෝප්පය නැති අඩුව අද නොදැනුණ ද සිරිජයන්ත කොප්පයේ ඉතිරි තේ ටික හිස් කරා.

"ඔයා පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න, මං කරත්තය අස්කරලා එන්නම්."

මොනවා කරන්න ද නිච්චියක් නැති සිරිජයන්ත හනි හනිකට කරත්තයේ ඉතිරිව ඇති කෑම ජාති මේසයට මාරු කළේ පුරුද්දට වගේ. උඩින් පල්ලෙන් කරත්තය සුද්ද කර සිරිජයන්ත ගෙතුළට යමින් ගමන වට්ටියේ අතුරා ඇති කොණ්ඩකඩල ටිකක් අතට අරං බැලුවා.

"ඔව්වා තෝරලා ඉවරයි සිරි, පෙඟෙන්න දාන්න තියපුවා" නන්දා කිව්වා.

"හරිම බඩගිනියි නන්දෝ. තියෙන දෙයක් කාලා ඉමුකෝ" නන්දාව කල්පනාවෙන් මුදවා ගන්න පුළුවන් එහෙමැයි සිරිජයන්තට හිතුණා.

"ඉන්න මං බෙදාගෙන එන්නම්, ඔයා ඇඟ හෝදන්නේ නැතැයි."

"නෑ. කාලා ඉමු."

වම් පය නවා ඇඳි පුටුව උඩට ගෙන හරිබරිවී වාඩි වූ සිරිජයන්ත අතට බත් පංගුව දුන් නන්දා  වාඩි වුණේ දකුණත පැත්තේ පුටුවේ. සිරිගේ අත පිඟානත් කටත් අතර ඉහළ පහළ යන්නේ පුරුද්දට වගේ... නන්දාට හිතුණා.

"අපි දැන් මොනවද කරන්නේ සිරි..." දෙදෙනා අතර නිහඬතාවය බින්දේ නන්දා.

"කෝ... තවම බත් එකට අත තියලවත් නැහැනේ?"

"ඔළුව කකියනවා සිරි, කන්න බෑ වගේ."

"එහෙම කියලා බැහැ, කාලා අර ඊයේ පෙරේදා පාමසියෙන් ගෙනාපු පෙති දෙකක් බීලා හොඳට නිදාගන්න."

"එතකොට උදේට කඩල?"

"කොහොම හරි කඩල ටික දාන්න එපැයි, මං ඒ ටික කරන්නම්. ඔයා කාලා, බෙහෙත් බීලා නිදා ගන්න."

නන්දා ඕනෑවට එපාවට වගේ කෑම කටවල් කීපයක් කන්න ඇති. සිරිජයන්ත කොච්චර එපා කිව්වත් ඇහුවේ නැහැ, ඇය කඩල ටික සෝදා පෙඟෙන්න දැම්මා. වෙනදා තරම් කඩිසර නොවුණත් පුරුදු පරිදි දවසේ ඉතිරි වැඩ ටික ඕ අතින්ම ඉටු විය.

"මේක බීල ඔයා ඇල වෙන්න..." බෙහෙත් පෙති දෙක ඇගේ අතට දී සූදානම් වුණේ පිළිකන්නේ ළිඳට යන්න.

"තනියෙම යන්න එපා සිරි, ඉන්න මාත් එනවා.."

සිරිජයන්ත වතුර බාල්දි කිහිපයක් හනි හනිකට ඇඟට වත්කර ගන්න අතර නන්දා කොට්ටං ගහ යට කළු ගල් බැම්ම උඩ වාඩිවී උන්නා.

තට්ටු, තට්ටු කඳ වටේ උසට වැඩුණ කොට්ටං අතු එහා මෙහා වෙන්නේ නන්දාව අහල රූස්ස ගසක් මුදුනේ  ලැග ඉන්න බස්සා ගෙන් වහන් කරන්න වගේ. නන්දා තවමත් බර කල්පනාවේ වැටිලා ඉන්නේ. සිරිජයන්ත අතට ගත් පනිට්ටුව ලිං බක්කියේ වැද්දුවේ උවමනාවෙන්ම, සද්ද කරන්න.

"අපි දැන් මොනවද කරන්නේ සිරි..." නන්දා ආයෙත් ඇහුවේ පනිට්ටුව ඔහු අතින් ගන්න ගමන්.

"කලබල වෙලා බැහැ, අපි කල්පනා කරලා හොඳ විදියක් කරමු. ඔක්කෝට කලින් ටිකක් නිදා ගන්න ඕනේ".

"හ්ම්..."

දෙදෙනා පිළිකන්නෙන් ගෙට ගොඩ වූයේ කිසි කතාවක් නැතිව.

සිරිජයන්ත කුස්සියට ගියා.

උදේට කඩල තම්බන භාජන හෝදා පිළිවෙළට තියා ඇත, කාලකට අඩු භූමිතෙල් බෝතලයත් ලිප් බොක්කේම පුරුදු තැන ඇත.

"ගිනි පෙට්ටිය කොහේ ද නන්දෝ..."

"මේ ජාමේ ගිනි පෙට්ටිය මොකටද?" නන්දාගේ ඇස් එළියට පනින තරම්ය...

"ඇයි බය වුණාද?" හිනාව තද කරගත් සිරිජයන්ත නන්දගේ දෙවුරෙන් අල්ලා සොලවමින් ඇහුවා.

"ඔව් සිරි. ඇත්තටම මට බය හිතුණා."

"ඇයි ළමයෝ... උවමනා කරන දේවල් සූදානම් කරලා තිබ්බොත් උදෙන්ම ඔයාව ඇහැරවන්න ඕනේ නැහැ නේ..."

"නෑ, නෑ. පෙති බිව්වානේ නිදාගත්තාම හරියයි. මං උදෙන් නැඟිටලා කඩල ටික සූදානම් කරන්නම්."

"හරි, දැන් නිදා ගමු. ඒක උදේට බලන්න බැරියැ."

පැය භාගයකටත් යන්න ඇති... ඒ පැත්තට මේ පැත්තට මාරුවෙන් මාරුවට හැරෙන්න නන්දා ද තාම නිදි නැත.

"ඔඩි කොලොන් ටිකක් ඔළුවට දාන්නද?" මොන බෙහෙත බිව්වත් ඔළුව කැක්කුමට ඔඩි කොලොන් ටිකක් හිසේ උලන්නේ නැතිව නන්දාට හරියන්නේ නැති බව සිරිජයන්ත මතක් වුණි.

"ඔඩි කොලොන් ගෙදර නැහැ සිරි. රෙදි පටියකට විනාකිරි ටිකක් දාල ගේන්න පුළුවන්ද?"

"මෙච්චර ඉක්මනට ඉවර වුණාද?"

"නෑ සිරි. සිරියාවතීගේ හිච්චි එකාට සනීප නැතිව ඉල්ලන් ගියා හවස."

විනාකිරි වලින් තෙත්කර රෙදි පැලැස්තරය නළලට දා ටික වෙලාවක් හිස පිරිමදිද්දි නන්දා නින්දට වැටුණාය.

ගෙවී යන මැදින් සඳේ කිරණ කාමරයේ ජනේල පියන් අතර හිදැසින් එඹිකම් කරමින් මේසයේ ඉටිරෙද්ද මත දිලිසෙයි. නින්ද අහලකවත් නැති සිරිජයන්තට එය කරදරයක් විය. ඇඳෙන් නැඟිට එළිය අහුරන්න සුදුසු මොනවා හරි හොයන්නට වුණා. මේසය උඩ බාම් බෝතලේට යට කර තියෙන බඩු ලයිස්තුව සිරිජයන්තගේ නෙතු ගැටුණේ අහම්බෙන් වගේ.

"අවුරුද්දට කැවිලි ටිකක් හදන්න ඕනේ, ලයිස්තුව ලියලා දෙන්නම්, බඩු ටික ගෙනැල්ල දෙන්න පුළුවන් නේද සිරි..." කල් තියාම අවුරුද්දට සූදානම් වෙන නන්දා ඇහුවේ පෙරේදා උදේ.

"කැවිලි හද හදා ඉන්න ඕන නැහැ ළමයෝ, අවශ්‍ය කරන හැම ජාතියම කඩෙන් ගන්න තියෙන එකේ."

"එහෙම බැහැ සිරි, අවුරුදු තුනකට පස්සේ මේ ගෙදර අලුත් අවුරුද්දට කැවිලි ටිකක් හදන්න යන්නේ."

සිරිජයන්ත මොකුත් කියන්න ගියේ නැහැ.

පිජාම සරම දෙකට නවා ජනෙල් තිරය උඩින් දැමූ සිරිජයන්ත ආයෙත් ඇඳට වැටුණා.

මීට අවුරුදු කීපයකට කලින්... කරදර වැලක් ලියලන්න පටන් ගත්තා. තාත්තාට උරුම වූ ගෙයයි ඉඩමයි හතර මායිමවත් දැකලා නැති ලොකු තාත්තාගේ දරුවන්ට පැවරුණේ අවුරුදු ගානක ඇදි ඇදී තිබුණ දේපල නඩුවකින්. දරුමල්ලන් නැති නන්දාගේ මාමයි නැන්දයි එක්ක පදිංචියට ආවා. මාමා ගෙයයි ඉඩම් කෑල්ලයි නන්දා නමට ලියා දුන්නා. සති තුනයි ගියේ, මාමා ළිඳ ළඟ ඇද වැටී ලෙඩ වුණා. එක්තැන් වූ අසරණ මාමාට බෙහෙත් කරන්න හතර අතේ ණය වෙන්න වුණා. මාස කීපයක් ලෙඩ ඇඳේ  හිටි මාමා මිය ගියා. 

සිරිජයන්ත පළපුරුදු මේසන් කෙනෙක්, ටයිල් වැඩවලට දස්සයෙක්. ණය බරින් නිදහස් වෙන්න සිරිජයන්ත මැදපෙරදිග දේසේ රස්සාවකට යන්න හිතාගත්තා, නන්දාව ද කැමැති කරවා ගත්තා. කොළඹ ඒජන්සි ගානේ රස්තියාදු වුණාට ඉදිකිරීම් අංශයේ රස්සාවක් ලැබුණේ නැහැ. බ්‍රෝකර්ලා කීප දෙනෙකුට අහුවුණා, එච්චරයි.

අන්තිමේ දී පොඩි කොම්පැනියක මේසන් රස්සාවක් ලැබුණා. එරමුදු ගහ අග්ගිස්සේ කොහා හඬ ටිකෙන් ටික වැඩිවෙනවත් එක්කම... දවසක් සිරිජයන්තට අලුත් රස්සාවට පිටව යන්න වුණා.

Image Credit: http://www.magpienest.org/

Wednesday, July 31, 2013

තවත් එක් සිරකරුවෙක්-1 (Prisoner of an Open Jail)



දෑතින්ම කරත්තය තල්ලු කරගෙන හෙමින් හෙමින් ඉදිරියට ඇදෙන සිරිජයන්ත විටින් විට දකුණතින් සීනුව ද හැඬලුවා.

කෝච්චි පාර දුවන බිංගෙට උඩින් වැටුන බෝක්කුව උඩට නගින්න පාර එසවෙන්නේ එකවර පොඩි කඳු ගැටයක් හදමින්.

ඉර අවරට ගිහින් ටික වෙලාවක් ගත වි තිබුණ ද එතරම් අඳුරක් නැති තරම්. බෑවුම පටන් ගන්නවාත් එක්කම පාරේ අයිනට කර කරත්තය නවතා, පිටුපස රෝද දෙකට ලී කට්ට හිරකරපු සිරිජයන්ත කරත්තයේ පැත්තක හයි කර ඇති භූමිතෙල් ලාම්පුව දැල්වූවා.

ලාම්පුව නැතිව ගොම්මන් වෙලාවේ උඩහ බෝක්කුවෙන් කරත්තය ගෙනියන්න එහෙම එපා... වෙළදාමේ මුල්ම පාඩම කියා දුන්නේ කාකගේ පුතා.

දවසේ වැඩ කටයුතු ඉවර කර හෙම්බත්වී ගෙවල් කරා ආපසු ඇදෙන බයිසිකල්කරුවෝ මහත් වෙහෙසක් දරා කඳු ගැටය  පසුකරයි. ඇතමෙක් පාමුලදීම බැස බයිසිකලය තල්ලු කරගෙන ගොස් බෝක්කුව උඩ දී බයිසිකලයට ගොඩවී පැද යයි.

අඳුරු වෙලාවේ උඩහ බෝක්කුව අහලකදී බැඳුම් ජාති කෑම ගැන නොයෙකුත් කට කතා පැවතීම නිසා ඒ හරියෙ දී වෙළඳාම එතරම් හොඳ නැති වුණත් ඉන් එහා කඩල කරත්තය එනතුරු බලා ඉන්න අය බොහෝය. බැඳුම් ජාති කීපයක්ම නිතර තියෙන කරත්තය අරන් මෙතැනින් යන එන සිරිජයන්ත ඒ ගැන කිසිවක් කතා නොකර ඉන්න වග බලාගත්තා. 

කරත්තය මදක් සොලවා ලී කට්ට කෑලි දෙක ගලවා බක්කිය යට ලාච්චුව තුළට දා වැසූ ඔහු ආයෙත් කරත්තය තල්ලු කරන්න පටන් ගත්තා. කන්ද මුදුනේදී කරත්තය ආපස්සට ඒම වලකන්නටත්, භාජන එහා මෙහා පෙරළීම වලකන්නටත් ලොකු හටනක් දෙන්න වෙනවා. වෙනදා වගේම බොහෝම මහන්සියෙන් කරත්තය බෝක්කුව උඩට ගෙනාව විතරයි, කරත්තයේ යමක් ගැටුණා වගේ දැනී සිරිජයන්ත හිස ඔසවා බැලුවා.

කරදණ්ඩ උසමහත් ගැටවරයින් දෙදෙනෙකු කරත්තය හරස් කරගෙන ඉස්සරහින් හිටී.

"මහත්තයලට මොනව ද ඕනේ?" පුරුදු පරිදි කඩදාසි උරයක් අතට ගෙන, කට පළල් කර උරයේ අඩියෙන් අල්ලාගත් සිරිජයන්ත ඇසුවේ යටහත් පහත්ව.

"අපිට තමුසෙගේ දහ ජරාව ඕනේ නෑ ඕයි. තමුසේ මේ බිස්නස් එක නවත්තන්න ඕනේ එච්චරයි." ඉන් එකෙක් සැරෙන් කීව්වා.

"ඇයි මහත්තයෝ එහෙම කියන්නේ, මං පවුලක් ආරස්සා කරන්නේ මේකෙන් කීයක් හරි හොයලා."

තට්ටුවෙන් අල්ලලා කරත්තය එකපාරට ඉස්සරහින් එසවූ අනෙකා "තමුසෙගේ බයිලා අපිට වැඩක් නැහැ, අපි කියන්න ඕන දේ හොඳින් කිව්වා. තමුසේ දන්නවද අර ඉන්නේ කවුද කියලා?"

හන්දි වල මස්ගොබ පෙන්නන්න වගේ අත්කොට සුදු කමිසයකින් සැරසුණ, මහත කොට කර වටා රන් මාලයක් දිලිසෙන, ඩෙනිමකින් සැරසී බෝක්කුව උඩ අත්වැටට හේත්තුවී  හිඳින ගැටවරයෙකු දිහා පෙන්නුවේය. ඔහු දෙපැත්තේ තවත් කොලුවන් තුන් දෙනෙකු අත්වැට උඩ වාඩි වී සිටී.

"රතු මහත්තයාගේ පුතා සුදු මහත්තයා නේද?"

"ඔව්, තමුසේ දන්නවානේ එයා කවුද කියලා..."

"ඒක නෙමේ මහත්තයලා මං කියන දෙයත් අහන්න..." කියනවාත් සමඟම එකෙකු පැන සිරිජයන්තගේ කමිස කොලරයෙන් අල්ලා ගත්තේය.

වහ වහා එතැනට ආ සුදු මහත්තයා "ඕකව අතෑරපං. කියන්න ඕන දේ උඹලා කිව්වා නේද?"

"ඔව් සුදු මහත්තයෝ"

"මේ බිස්නස් එක නවත්තන්න ඔහේට තව දවස් දෙකක් දෙනවා" සිරිජයන්තගේ නහයට ගෑවෙන නෙගෑවෙන තරම් ළඟට ඇවිත් කියූ සුදු මහත්තයා "වරෙල්ලා" කියා නඩේ ද එක්ක බෝක්කු කණ්ඩියේ පහළට බහින්න වුනා.

කිසිවක් හිතා ගත නොහැකිව මොහතක් එක තැන ගල්ගැහී උන් සිරිජයන්ත කරත්තය ඉදිරියට තල්ලු කරා. බෝක්කුව බෑවුමේ නිරායාසයෙන් පහතට ඇදෙන කරත්තය පාලනය කරගන්න ද වෙහෙසක් දරන්නට වේ. ඔහේ විනාඩි දහයක් පමණ ඉදිරියට ගිය විට කඩල කරත්තය මඟ බලා සිටි බාල මහලු හැමෝම කරත්තය වටා රොක්වුනා. කවදත් වගේ පුදුරු පරිදි වෙළෙඳාම සිදුවිය.

තම්බපු කඩල භාජනය හිස්වෙත්ම අනෙකුත් බැදුම් වර්ග තියෙන පොලිතින් බෑග් වල කර තදකර ගැට ගැසූ සිරිජයන්ත හන්දියෙන් පිටත්වුනා. ගෙදරට සේන්දු වෙනතුරු පුරුද්දට වගේ විටින් විට සීනුව හැඬලුවා.

කරත්තය දොරකඩ නතර කර සිරිජයන්ත ගෙතුළට එබිකම් කරා. මිටි බංකුවට බරවී වට්ටියේ අතුරාගත් කොණ්ඩකඩල අහුලන නන්දාට තමා ආ වග කියන්නාක් මෙන් වරක් දෙකක් උගුර පෑදුවා.

"ඔහොම ඉන්න මං එන්නම්..." අහුලා සුද්ද කරපු කඩල කොටහ වට්ටියේ පැත්තකට කරන ගමන් ඕ කීවාය.

"එච්චර දෙයක් නැහැ, මං බඩු ටික අස්කරන්නම්."

"අද ජය පාටයි..."

"ඒක නම් එහෙම තමයි, ඉස්සරට තව ගොඩාක් ජය වේවි."

"ඇයි ඒ?"

"නෑ. මොකුත් නැහැ. නිකමට කිව්වේ." ඇගේ හිතට තව බරක් එක් කරන්නේ මොටදැයි හිතුණ සිරිජයන්ත කතාව යටපත් කළේය.

රෙදිකඩ අරන් සාලයේ පැත්තක ඇති මේසය පිසදා, බිත්තියට නොගෑවෙන සේ මේසය ඉස්සරහට ඇදගත් සිරිජයන්ත මේස කකුල් හතර බහාලා ඇති හිස් කිරිටින් වල භූමිතෙල් ඇත්දැයි බැලුවා. කරත්තයේ ඇති මුරුක්කු, මික්සර් වර්ග පැක්කර ඇති බෑග් එකින් එක ගෙනත් මේසය මත තැබුවා. ඒවා ආරස්සා වෙන විදියට වසා ගැට ගසා තැබුවා. කරත්තය පිසදා ඉස්තෝප්පුවට කර වැසූවා.

පිළිකන්නේ ළිඳට ගොස් ඇඟ සෝදා ගත් සිරිජයන්ත ආපහු එද්දි නන්දා ඇහුලූ කොණ්ඩ කඩල සෝදා පෙඟෙන්න දාමින් සිටියාය. ඒ අසළ තිබූ බඩු ඔතාගෙන ආ පරණ පත්තර පිටුවක් අරන් කියවන්න උත්සාහ කරද හවස සිදුවූ සිද්ධිය හිතේ හොල්මන් කරන්නට විය.

සිරිජයන්ත නිදි නැති රැය පහන් කළේය.

පුරුදු පරිදි උදේ පාන්දර ඇහැරී ලිප ගිනි මැලවූ නන්දා කඩල මුට්ටි දෙක එක්ක පොර බඳින්න පටන් ගත්තා. ඒ අතර තුර තෙම්පරාදුවට අවැසි දේ සූදානම් කරා. පොල් ගෙඩිය දෙබෑ කරගත් ඇය පොල් කෑලි කැපුවා. ගිනිදැල් අඩුවෙන ලිප ලඟට දුවන ඇය කුරුඳු දර කෑල්ල දෙක එක් කරා. වරෙක උඩ නඟින, සුළඟේ නටන ගිනිදැල් වලින් රත්පැහැ ගැන්වූ ඇගේ කම්මුල් වළගැසී ඇති හැටි ඇලවී ඉන්නා සිරිජයන්තගේ හිතේ අනුකම්පාවකට හැරිණ.

සිරිජයන්ත ද නැඟිට ඇවිත් බංකුවේ කොනක හිඳ ගත්තා.

"මොකද අද කලින්ම ඇහැරිලා? කඩල තැම්බෙන්න තව වෙලා තියෙනවා."

වෙනදා කඩල තෙම්පරාදු කරාට පසුව නන්දා සිරිජයන්තව ඇහැරවයි. දෙදෙනා එක්ක පොඩි ග්‍රොසරි බෑග් වල කඩල අහුරයි. උදේ හය වෙද්දි ගෙයින් පිටවෙන සිරිජයන්ත බයිසිකලයෙන් ගොස් කඩයප්පම් කඩ කිහිපයකට කඩල පැකට් දී එමින් ගමන සඳුදා හා බදාදා දිනවල දී ඉස්කෝලේ ගේට්ටුව ළඟ ද කඩල විකුණයි.

ඒ අතර තුර නන්දා හවස් වරුවේ කරත්තයට උවමනා කරන කඩල තැම්බීමට ලක ලැහැස්ති කරයි.

ගෙදර එන සිරිජයන්ත කලින් දා වෙළෙදාමේ ආදායමෙන් ගෙවිය යුතු ණය පියවා අඩුම කුඩුම අරගෙන එන්නේ හවස වෙළඳාමට සූදානම් වීමටය.

වෙනදා නැති කම්මැලිකමක් සිරිජයන්තගේ හිතේ කොනක ලියලයි. නෑ, නෑ දැන්ම නන්දට දැනගන්න තියන්න හොඳ නැහැ.

ටිං ටිං... ටිං ටිං... ටිං ටිං...

වෙනදා මෙන් කඩල කරත්තය උඩ බෝක්කුව නැග ගත්තේය. සිරිජයන්තට දැඩි තෙහෙට්ටුවක් දැනෙන්නට විය. බක්කිය යටින් වතුර බෝතලය අරන් හිස ඔසවා බලද්දී කලින් දවසේ කරත්තය හරස් කර කොලු ගැටව් දෙදෙනා බෝක්කුවේ අත්වැට උඩ වාඩිවී සිටිනවා දුටුවාය. එකෙකු අතේ තරමක මහත පොල්ලක් විය.

"හලෝ, ඊයේ කියපුවා මතකයි නේද? සුදු මහත්තයා  නරක මිනිහා කියන්නෙපා."

ඔවුන් මඟ හැර යන්න සිරිජයන්ත හිතා ගත්තේය.

බෝක්කු බෑවුම දිගේ පහළට ඇදෙන කරත්තය ආපස්සට ඇද වෙරෙන් අල්ලා ගත් සිරිජයන්ත ඉදිරියට ඇදුණේය.

සුපුරුදු පරිදි දවසේ වෙළදම ඉවර කර කරත්තය අරන් ගෙමිඳුලට ආවා පමණි. දූවිලි කන්දක් අවුස්සමින් කැබ් රථයක් පාරේ නැවතුණි.

"රතු මහත්තයා..." ඉස්සරහ කරගෙන තවත් දෙදෙනෙකු ගාම්භීර තාලෙට මිඳුලට ආවා.

"අයිසේ සිරි අපි ඔහේව පොඩ්ඩක් හම්බ වෙන්ඩ ආවේ." 

"ගෙට, ගෙට ගොඩවෙමු මහත්තයෝ"

"නෑ, නෑ සිරි මෙහෙම හොඳයි. අපි කාරණේට එමු. සිරි දන්නවානේ ගමේ සමිතිය ගැන. යව්වන සමාජය එකේ ප්‍රබල කොටසක්. ගමේ තරුණයින්ගේ අදහස අරහෙන් මෙහෙන් කටගොන්නක් බීගෙන ගමේ කරදර ඇති කරන උන් වැඩි වෙලා කියලා, සිරිගේ ටේස්ට් කඩල බිස්නස් එක බොන උන්ට සපොර්ට් කරනවා කියන එකයි. ඔය අපේ සුදු මහත්තයා යව්වන සමාජයේ සභාපති, ඒකයි ඔහේට අරහෙම දැනුම් දීලා තියෙන්නේ."

"රතු මහත්තයෝ..."

"තව කතා වැඩක් නැහැ. මම මේ ආවේ අපේ දන්න අඳුනනකම නිසා මිසක් ගමේ සමිතියේ සභාපති හැටියට නෙවේ. ඔන්න ඕක නවත්තලා දාපන් බං." කියා සිරිජයන්තගේ උරහිසට තට්ටුවක් දැමූ රතු මහත්තයා කතා කරන්න ඉඩක් නොතියාම හනි හනිකට වාහනේට ගියා.

ගෝලයෙක් දුවගොස් කැබ් එකේ පසුපස දොර ඇරලා දුන්නා. සරම දනිස්සටත් උඩට ඔසවාගත් රතුමහත්තයා වාඩිවෙන ගමන් හිස පැත්තකට ඇලකර සිරිජයන්ත දිහා අමුතු බැල්මක් දැම්මා. දඩාස් ගා මහ හඬින් දොර වැහුවා. දඩාස්... දඩාස් ගා අනික් දොරවල් වැහෙනවාත් එක්කම දූවිලි කන්දක් මතු කර කැබ් රථය ආවාට වඩා වේගයෙන් පිටත්ව ගියා.

තමා මැදිකරගෙන හැම දෙයම කැරකෙනවා වගේ සිරිජයන්ත දැනුණි. කරත්ත බක්කියේ පැත්තක් අල්ලා ගත් ඔහු ගෙය දිහාට හැරුණේ නිකමට වගේ.

"හත් දෙයියනේ..."  කරත්ත බක්කිය යටට අත දා වතුර බෝතලය අර ගත් සිරිජයන්ත ගේ දොරකඩ වැතිර ඉන්න නන්දා දිහාට දිව්වේ එක පිම්මෙන්.



Tuesday, June 19, 2012

ධාරිතාව

දකුණතේ මාපට හා දබර ඇඟිලි තුඩු අතර තදින් හිර කරගත් මයික්‍රෝ SD කාඩ් එක ගිලිහී වැටේවිදෝ බියක් ඇති වුණි. කාඩ් හෝල්ඩරයේ සවිකරන්න උත්සාහ කරන දෑතම වෙවුලුම් දෙයි. දික්කර දෙපා තුඩු වලින් වාඩිවී උන් පුටුව වාරුවෙන් කොන්සෝල මේසයට ලං කර ගත්තේ දනිස්ස මේසයේ පැත්තකට හේත්තු කරගන්න හිතාගෙන. කුඩා කාඩ් එක ඒ මේ අත පෙරළා බැලුවත් මාපට ඇඟිල්ලේ නියපොත්ත තරම් කාඩ් එකේ 32GB තරම් විශාල ධාරිතාවයක් තියෙන්න පුළුවන් ද... හිතේ සැකයක් ඇතිවුණා. වමතේ වූ කාඩ් හොල්ඩරය දකුණු කලවාවට බරකර SD කාඩය සවිකරගන්න පුළුවන් විය.



දෙවැනියා කලින් දැනුම් දුන් පරිදි අවශ්‍ය කරන ඩොක්‍යූමන්ටස් එහෙම සූදානම් කර තිබුණේ. ඒ අතර අලුත් ප්‍රොජෙක්ට් එහෙකට අයිති සැලසුම්, ලියකියවිලි ආදි රහසිගත ලිපිලේඛන බොහෝමයක් වුණි. ඉහළ නියෝගයක් පිළිපදින නමුත් ඉටු කරන්න වෙන කාරිය ගැන හිතට එතරම් ප්‍රියක් නොවිය. තමා ඩොක්‍යුමන්ට් කොන්ට්‍රොලර් නොවෙද හිත ප්‍රශ්ණ කරයි.


20GB පමණ දත්ත තොගය කොපි වීමට සෑහෙන වෙලාවක් යාවි...


මේ වෙද්දි ආයතනයේ හැම ඩෙස්ක් එහෙකම නානා මාදිලියේ කොම්පියුටර් වලින් පිරිලා. ඉහළම තනතුරුවල ඉන්න අය කිහිප දෙනෙකුට හැර අනික් හැමෝම USB, ෆ්ලෑෂ් ඩ්‍රයිව්, සීඩී රයිටරයක් පාවිච්චි කරන්න බැරි තරම් විනය නීති මාලාවක් ක්‍රියාත්මකයි. ආයතනයට යන එන ෆැක්ස්, ලියුම් කඩදාසිය පවා ඩොක්‍යූමන්ට් මැනේජ්මන්ට් සිස්ටම් එකේ අතුළත්වේ.


අද මහා විශාල දත්ත පරිමාවක් දරන්න පුළුවන් කුඩා ප්‍රමාණයේ විවිධ මාධ්‍ය තිබුණ ද ආයතනයක රහසිගත බව, ආරක්ෂාව රැකී තියේද හිතුණි.


ඒ කාලේ... මුලින්ම වැඩ කර සමාගම 80 මුලදී රජය ලබා දුන් බදු සහන පාවිච්චි කර විශාල කොම්පියුටර් සිස්ටම් එකක් ගෙන්වූයේ පිටරටකින්. ප්‍රමාණයෙන් විශාල කොම්පියුටරය, වර්ක්ස්ටේෂන් දෙක හා තඩි ප්‍රින්ටරය වෙනුවෙන් තරමක් ලොකු වීදුරු කාමරයක් හැදුණා. එයාර්කන්ඩිෂන් කෙරුණා. වරායෙන් බඩු ටික ගේන්න ළංවෙද්දී කීවරක් ඒ කාමරය පිරිසිදුකර මොප් කරන්න වුණාද?


කොම්පියුටර් හයිකරන්න ආපු කට්ටිය එහා මෙහා ගියේ හරි උජාරුවට, අමුතු තේජසකින්. ඔවුන්ට ගොඩාක් සැලකිලි ලැබුණා. කතා කළේ ලොක්කෝ එක්ක විතරයි. කට්ටිය වීදුරු කාමයට ඇතුල් වුණේ සපත්තු ගලවලා, මේස් පිටින්ම වෙනමම සෙරෙප්පු වගයක් දාගෙන.


වීදුරු බිත්තියට පිටින් ඉඳන් කන්තෝරුවේ කට්ටිය ඒ දිහා බලන් උන්නේ පුදුමෙන් වගේ, හරිම උනන්දුවෙන්.


ඒ අතර තේ රට පටවන තවත් සමාගම් කීපයක්ම කොම්පියුටර් හයිකරන්න පටන් ගත්තා.


පමණක් උදවියගේ රස්සාවල් නැතිවේවි කියලා කතාවක් පැතිරුණා. සමහරු කලබල නොවුනාමත් නොවේ.


කොම්පියුටර් ඔපරේටර්වරුන් හැටියට පුහුණු කරන්න තෝරාගත් කිහිප දෙනා අතර මා ද ඇතුළත් බව දැන ගත්විට මොන තරම් නම් සතුටක් ඇති වූණාද? එදා වැඩ ඉවරවෙලා ගෙදර යන්න තිබුණ හදිස්සිය නිසාමද කොහේද ඔරලෝසුව හිමින් ගමනක වගේ දැනුණා. ආරංචිය අහපු අම්මාගේ දෑසින් කඳුළු කඩා වැටෙන්න පටන් ගත්තා, මුහුණ පුරා හිනාවක් ඇඳුණා. කිසිත් කතා කරන්න බැරිව මගේ හිස අතගෑවා.


අංශ කිහිපයකින් තෝරාගත් කණ්ඩායමේ හය දෙනෙකු හිටියා. සති කීපයක පුහුණුව අතර දී මූලික ඔපරේටර් හැටියට මාව පත් කරා.


ඒ කාලේ, ඒ ඒ අංශවලට අදාළ අය ඇවිත් නියමිත වැඩ කොටස කරේ වෙලාව බෙදාගෙන. මූලික ඔපරේටර් හැටියට ඒ හැම කෙනාටම අවශ්‍ය උදව්, උපකාර කරන්න මට පැවරුණා, වැඩ කරන කාලයෙන් වැඩිපුර කොම්පියුටර් කාමරයේම ගෙවන්න පටන් ගත්තා.


කොම්පියුටරය හයි කර සමාගමේ උදවිය සතිපතා ඇවිත් නඩත්තු කටයුතු කරලා යනවා.


ඔපරේටර්ලා හරිම උනන්දුවෙන් අලුත් ක්‍රමයට වැඩ කරගෙන ගියා. ඒත් සමාගමේ ගිණුම් අංශයේ වයසක ලොක්කෝ මේ ක්‍රමේට එතරම් කැමැත්තක් පෙන්නුවේ නැහැ. සිස්ටම් එකෙන් කරන ගිණුම් වලට අමතරව පුරුදු පොත් ගොඩත් එයාලට නැතිවම බැරි විය.


අවුරුදු කීපයකට පසුව වර්ඩ් ප්‍රොසෙසින් වලට PC දෙකක් ගේන්න සූදානම් කරා. ඒත් එක්කම පුහුණුවක් ලැබුණා. වීදුරු කාමරයේ පැත්තක් අලුත් කොම්පියුටරයකට වෙන්වුණා. පරණ සිස්ටම් එක වගේ නෙවේ ක්‍රීම් පාටට හුරු CPU එක උඩ හුරුබුහුටි පාට මොනිටරය, ඊට ගැලපෙන කීබෝඩය කාගෙත් සිත් ගත්තා. අනෙක හයි කළේ ඩිරෙක්ටර්ගේ කාමරයේ.


කොළයක් දෙකක් අරන් ඇවිත් දඩිබිඩිගා කොටන, ප්‍රින්ටරය රිදවන කඩිසර ඔපරේටර් කණ්ඩායමට අතරට නන්දා මිස්, ඔලිම්පියා මිස්ලා එක් වුණා. ටයිප් රයිටරයට හුරු නන්දාගේ ඇඟිලි කීබෝඩය මත දිව්වේ අමුතු රටාවකට.


ඒ කාලයේ... PC වල හාඩ් ඩිස්ක් තිබුණේ නැහැ. ඔපරේටිං සිස්ටම් තිබුණේ ෆ්ලොපි ඩිස්ක් දෙකක. ඉන් පටන් ගන්න PCය වර්ඩ්ප්‍රොසෙසරය වගේ අවශ්‍ය කරන සොෆ්ට්වෙයාර් ඇති ෆ්ලොපිය දා පාවිච්චි කරනවා. මවුස් තිබුණේ නැහැ. වර්ඩ්ප්‍රොසෙසරයේ බෝල්ඩ්, අයිටැලික්, අන්ඩර්ලයින් වගේ දේවල් කළේ ෂෝට්කට් වලින්. ඒ හැම එකම මතක් තියාගන්න ඔපරේටර් කෙනෙකුට හැකියාවක් තියෙන්න ඕනේ. කරන කියන ලිපි කටයුතු ෆ්ලොපිවල සේව් කරලා තිබ්බේ.


ඒ කියන්නේ 80 මැද කාලයේ… මුලදී ආපු අඟල් 5.25 ෆ්ලොපි ඩිස්ක් (floppy disk) එක පාවිච්චියට ගන්න මොනතරම් සූදානමක් කරන්න වුණාද? කිලෝ බයිට් 360 ක විතර ෆ්ලොපියක් මහා විශාල දෙයක් විය. ඉන් පස්සේ කිලෝ බයිට් 720 ක් දක්වා වැඩි වුවද, නැවෙන සුළු කවරයක තිබුණ ඩිස්ක් පලුදු නොවෙන්න මොනතරම් පරිස්සම් කරන්න වුණාද? අවුරුදු ගාණකට පසුව ආ තරමක් ඝනකම් කවරයක වූ අඟල් 3.5 ෆ්ලොපි ඩිස්ක් ඒ අතින් හොඳ විය.


ඒ කාලේ කොම්පියුටර් සිස්ටම් නඩත්තු වැඩ වලට දී ඉන්ජිනේරුවන් අඟල් 8 ෆ්ලොපිත් පාවිච්චි කරා මතකයි.


ඩිරෙක්ටර්ගේ කාමරයට 20MB හාඩ් ඩිස්ක් (hard disk) එකක් හයි කරපු ඩෙස්ක්ටොප් එකක් ගෙනාවා. ඒකෙන් තවත් සොෆ්ට්වෙයාර් සිස්ටම් කිහිපයක් ගැන හොඳ දැනුමක් ආවා.


ඒ අතර දවසක්...


"කුලේ කැමැති නැද්ද පිටරටක රස්සවට යන්න?" නන්දා මිස් ඇහුවා.


"තවම එහෙම දෙයක් ගැන හිතලා නැහැ."


"ඇයි ඒ?"


අම්මා තනිකර දා ඈතට යන්න අමාරුයි කියන්න බැරිව නිහඬ වූයෙමි.


"අපි අඳුරන පිට රටක වැඩ කරන අංකල් කෙනෙක් නිවාඩුවට ඇවිත් ඉන්නවා. එයා එක්ස්පීරියන්ස් ලීඩ් කොම්පියුටර් ඔපරේටර් කෙනෙක් හොයනවා. කුලේ ගැන මං කිව්වා."


"ඉතිං!"


"අංකල් කිවා ඔයාගෙන් අහලා බලන්න කියලා."


"ඇයි කුලේ කතා නැත්තේ?" අපි අතර වූ නිහඬතාවය බින්ඳේ නන්දා මිස්.


කවුරු ගැනත් හොයලා බලන හොඳ යෙහෙළියක් වූ නන්දා මිස්ට අපේ ප්‍රශ්ණ අමුත්තක් නොවිය. ඇගේ උනන්දු කිරීම නිසාම අරකී පුද්ගලයා මුණගැහුණා.


සති කිහිපයක් ගෙවුණා. අවුරුදු හතක් විතර දුක සැප බෙදාගෙන වැඩකර පිරිස ගෙන් වෙන්වී නුපුරුදු මැදපෙරදිග නගරයක විවිධ දේශවලින් ආ පිරිස අතර තනි වූණා. යමක් කතා කරන්න දන්න අඳුනන කෙනෙකුට උන්නේ නන්දා මිස්ගේ අංකල් පමණි.


නන්දා මිස් ඉඩ ලැබෙන විදියට ගිහින් අම්මා ගැන සොයා බැලුවා, විස්තර ලියුවා.


නවීන පන්නයේ කොම්පියුටර් කිහිපයකින් සමන්විත EDP අංශයකින් ආයතනයේ කටයුතු කෙරිණි. රැකියා ස්වභාවය අනුව ඔවුන් පාවිච්චි කර සොෆ්ට්වෙයාර් වෙනස් විය. මුහුණ දුන් ප්‍රශ්ණ ද විවිධය, මාස කිහිපයකින් පිළිවෙළකට වැඩ සකසන්න පුළුවන් විය.


නන්දා මිස්ගේ පියාගේ අභාවයෙන් තනිවූ රෝගී අම්මා බලාගන්න කෙනෙකු නැති කල ඇය රැකියාවෙන් අයින් වුණා. ඒ අතර අංකල්ගේ යෝජනාව අනුව අම්මාගේ ආශීර්වාදය ලබා නන්දා අපේ ගෙදර එළිකළ පහන වුණා. ඒ වෙන විටද ජීවත් වූ ගෙය අහිමි වූ මව ද අපේ ගෙදරම උන්නා, ටික කලකින් ඇය ද මෙලොව හැර ගියා.


ක්‍රමයෙන් උවමනාව පරිදි අනික් ඩෙස්ක් වල ද වූ කොම්පියුටර් කිහිපයක් අරක් ගන්න පටන් ගැනුණි. 90 මැද වෙද්දි ඉහළ තනතුරු දැරූවන්ට ඊමේල් නැතුව බැරිවිය.


ක්‍රමයෙන් අළුත් PCවල හයිකර ආ හාඩ් ඩිස්ක් වල ධාරිතාවය වැඩි වෙන්න පටන් ගැනිණ. වැඩ කරන PCවල රැඳී ඇති තොරතුරු ආරක්ෂාව සඳහා වෙනම බැක්අප් කරන්න සිදුවිය.


දෙදාහේ මුලදී විශ්ව විද්‍යාලයෙන් පිටව ආ දෙවැනියා වැඩ පුරුදුවෙන්නෙක් හැටියට සමාගමට සම්බන්ධ වුණා. හැම දෙයම අළුත් විදියට බලන්න පුරුදු වූ ඔහු අළුත් ගැජට් වලට ලොල් කෙනෙක්.


ෆ්ලෑෂ් ඩ්‍රයිව් ආපු මුල් කාලයේ දෙවැනියා එක්ක ගිය සම්මන්ත්‍රණයක දී ලැබුණ 128MB ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක තවමත් හොඳට වැඩ කරනවා.


දැන් නම් ෆ්ලෑෂ් ඩ්‍රයිව් වල ධාරිතාවය ගොඩාක් වැඩියි. සේප්පුවේ ෆ්ලෑෂ් ඩ්‍රයිව් හා පෝටබල් හාඩ් ඩිස්ක් මොනතරම් තොගයක් තියේද මන්දා?


ජීවිතයේ අනේක ප්‍රශ්ණවලට උරදුන්නද නන්දාගේ උනන්දුව නිසාම පිළිවෙළකට ගෙයක් දොරක් හදා ගන්න පුළුවන් වුණා.


දිනපතා වැඩ වලදී කොම්පියුටර් පාවිච්චිය නැතුවම බැරි දෙයක් වුණා. සමාගමේ කොම්පියුටර් සම්බන්ධ වැඩ කටයුතු හොයා බලන්න කොම්පියුටර් ඉංජිනේරුවන්ගෙන් සමන්විත වෙනම IT අංශයක් පිහිටවූවා. පැත්තක තියෙන පොඩි සර්වර් දෙකේ පෙනෙනවාට වඩා මහා ලොකු ධාරිතාවයක් ඇත. එදා වගේ නොව, එයත් සාමාන්‍ය කාමරයකි වෙනසකට ඇත්තේ වැඩියෙ කාටවත් යන්න බැරි ආරක්ෂිත තැනක් වීම පමණි.


මේ වෙද්දි ලීඩ් ඔපරේටර් කෙනෙකුගේ අවශ්‍යතාවය නැතිවෙමින් තිබුණා. ආයතනයේ ලිපි ලේඛන ආදිය කළමනාකරණයට සිස්ටම් එකක් ගෙනා පසුව ඩොක්‍යූමන්ට් කොන්ට්‍රොලර් හැටියට පත්කළේ පුද්ගලිකව උදව්වක් හැටියට බව කුලේ නොදන්නවා නොවේ.


දරුවෝ දෙන්නා ඉහළ අධ්‍යාපනය ඉවර කරන්න තවත් අවුරුදු කිහිපයක් තියෙනවා. ඒත් තව අවුරුදු දෙකක් ගත වෙන්න කලින් මේ රස්සාවෙන් අයින්වී ගමරට බලා යන්න වෙන්නා. ඒ රැකියාවක් සඳහා ලබාදෙන විසා වලට නියමිත වයස් සීමාවට ඉක්මවන නිසාවෙනි.


"මිස්ට කුලේ ඉස් දැට් රෙඩි" දෙවැනියා ලඟට ඇවිත් කතා කරනකම් දැක්කේ නැහැ.


නියපොත්තක තරම් කාඩ් එකක නොසෑහෙන වටිනා තොරතුරු තොගයක් පිටව ගියේය.


සටහන:
නුහුරු පරිසරයක හුරු මිනිසුන්ගෙන් තවත් එක් චරිතයකගේ පාවහන්ලාගෙන දකින්න, තාක්ෂණය හා පාහන්න ගත් පුංචි උත්සාහයක්...

ලංකාවේ කොම්පියුටර් තාක්ෂණය ගැන කලින් පල කල නිර්මාණයක් අහංකාර සුකුමාලිය

Sunday, October 2, 2011

පුන්සඳ අඳුර (අවසන් කොටස)




බ්‍රහස්පතින්දා රැයක දෙගොඩහරිය පහුවෙනකම් ඉස්පාසුවක් නැති රූපවාහිනිය ද අද මලානිකව ඔහේ හිඳී. වෙනදා අල්ලාප සල්ලාපයෙන් ද වරෙක උණුසුම් වාද විවාද වලින් ද කාමරය දෙදෙරවන ඉලංදාරීන් අද කොහේ ගියාද මන්දා? කාමරය ඇතුළේ තියෙන රස්නයෙන් තෙරෙන්නේ සෑහෙන වෙලාවක් කවුරුවත් කාමරයේ හිඳ නැති බවයි. තවදුරටත් හිටගෙන ඉන්න බැරිය දැනුණ නිසාම ඒ.සී.ය ඕන්කර දහඩියෙන් තෙත් වූ ඇඳුම් පිටින්ම ඇඳ මත වාඩි වූයෙමි.

කෝල් කරන්න ඇත්තේ කවුරුන් වෙන්න ඇත්දැයි හිතන්න උත්සාහ කළෙමි. හදිස්ස්යකට ලොකු පුතා කතා කළාවත් ද?

තවානේ වැඩකළ කාලේ රටේ තිබුණ භීෂණයත්, වැඩ ඇරිලා එන අය තම කාමරයේ උන්නු සමරේ වටකරගෙන බීබීසී අහන්න ආ හැටිත්, නිතර අහන්න ලැබුණ තැන තැන දැවුණ තරුණ ජීවිත යනා දී අප්‍රසන්න මතකයන් ඔළුව තුළ හොල්මන් කරන්නට විය.


දෙදෙරුම් දෙමින් දුවන ඒ.සී.ය ඇති කරන කන්කරච්චලය ද වදයක් විය. ඇඳෙන් නැගිට අඩි කිහිපයක් ගිහින් එය නිමා දාන්න ඕනකරද... ඔන්න ඔහේ තිබුණාවි හිතුණි.


මුන් ඔක්කෝම එකයි... හැමදාම කරන්නේ තව කාව හරි කුලප්පු කරලා උන්ගේ වැඩේ කරගන්න එකයි. අපේ කොල්ලෝ කෙල්ලෝ නැහෙන්නේ...

සිමෙන්ති පෙළොවේ ඇතිල්ලීගෙන ඇරෙන දොර බරා...ස් ගෑ සද්දෙත් එක්කම කට්ටියම කාමරේට කඩාගෙන පැන්නාය.

"ජයසෝම අයියා බර කල්පනාවක වගේ... මොකෝ හෝම් සික්ද?"


කවදත් ජිවිතයේ බරක් නොදැනුණ ශාන්ත අහපු විදියට කවුරුත් හිනාවෙන්න පටන් ගත්තා.


"ඇයි බං අයියේ, මොකද වුණේ? උඹට අසනීපයක්ද? ප්‍රශ්නයක් ද?" අහමින් ඇවිත් පැත්තකින් වාඩි වූ රෝලන්ඩ් ඇහිබැමි රැළි කරගනිමින් මගේ නළලට පිටඅත්ල තියා බැලුවේ සැකයෙන් වගේය.


"කෑම එකත් ගැට ගහපු ගමන් මේසේ උඩ, උඹ දාඩියපිටින් තවම. ඇයි බං අයියේ?"


"විස්ස විද්‍යාලවල කලබලලු නේද?"


"ඕක ඉතිං අළුත් දෙයක් නෙවෙයිනේ අයියේ."


"ඒක නම් එහෙමයි. මේ බලහං රෝලෝ... මිස්කෝල් හතරක්ම. බස් එකෙන් බැස්සට පස්සේ මං දැක්කේ."


"අනේ බං අයියේ?" කියූ රෝලන්ඩ් ඇඟිලි විහිඳුවාගත් අත්ලෙන් දෙතුන්වර නළලට තට්ටු කරගත්තේ මුහුණේ පුංචි සිනාරැල්ලක් මතුකරගෙන.


"ඈ අයියේ, උඹට සමන් හම්බ වුණේ නැද්ද? සිවා කීපවරක් උඹට කතා කරන්න උත්සාහ කරලා තියෙනවා. බැරි තැන සමන්ට කතා කරලා තිබුණා."


"සිවා ඇවිල්ලද රෝලෝ?"


"පොඩ්ඩක් හිටහං බං අයියේ. ඒකා සඳුදා එන්නේ නැහැලු. තව සතියකින් නිවාඩුව දික් කරගෙන."


"ඒ කොහොමද?"


"ඕක අහන්න දෙයක්යැ අයියේ, සිවා ලංකාවට යන්න කලින්ම ආනන්දන් එක්ක ඒ ගැන ප්ලෑන් කරලා ඇති. ඕං උඹට තමා අයියේ තවත් සතියක් අදින්න වෙන්නේ."


"මදැයි."


"ඒ ගැන උඹට කියන්නයි සිවකාරයා ට්‍රයි කරලා තියෙන්නේ."


මටත් නොදැනීන එකපරටම එසවුණ පපුකූඩුව තත්පර කිහිපයක් හුස්ම අල්ලා පහත් වුනි.


"අප්පේ... උඹ එළියට දාපු හුස්මෙන් තෙරෙනවා අයියේ උඹ මොනතරම් ගිනි ගොඩක ඉන්න ඇද්ද කියලා."


"ඒක කියන්න වචන නැහැ රෝලෝ..."


"එච්චර ගිනිකකා හිටියා, උඹ කෝල් එකක් දුන්නේ නැතැයි හාමිනේට?"


රෝලන්ඩ්ගේ බැල්මද ප්‍රශ්ණකරන්නාක් මෙන් විය, ඒ අතරම හරිබරි ගැහී වාඩිවෙන්න හැදු මා දිහා බලමින්...


"අයියේ, ඇඳුම් හෙම මාරුකරගෙන කාලා හිටහං. අපි තේකක් බීලම කතා කරමු."


ඔළුවේ බරක් නිදහස් වූ හින්ද ද මන්දා වෙනදා මෙන් වතුරේ රස්නයක් දැනුණේ නැති ගානයි.



"අයියේ උඹේ කෑම එක පිළුන් වෙලා. රොටි දෙකත් වේලිලා ඇති, මං ඔම්ලට එකක් හැදුවා උදේට කන්න ගෙනා පාන් තියෙනවා අරගෙන කාහං. ශාන්ත මං වතුර එකක් රත්වෙන්න තිබ්බා, උඹේ ස්පෙෂල් ප්ලේන්ටිය දාපං මල්ලී. මාත් ඇඟ හෝදගෙන එන්නම්..."


කී රෝලන්ඩ් ඈත්වෙනකම් ඉඳ ඉක්මනට ඔම්ලට් එක්ක රොටියක් කෑවේ පාන් වලින් ගත්තොත් උදේට මදිවෙන්න පුළුවන් නිසාය. ළඟපාත කඩේක පාන් තියෙන එකක්යැ...


එක මත එක හයිකරපු බන්ක් බෙඩ් හත ඒ මේ අත හරවා සකස් කර කමරය වසර දෙකකට වැඩි කාලයක් අපේ නිවහන විය. පිරිස අතරින් වැඩිමල් දෙදෙනා වූ සිවා හා තමා වෙනුවෙන් ඇඳන් දෙක බා තනි ඇඳන් හැටියට සකස් කරදුන්නේ රෝලන්ඩ්ගේ යෝජනාව අනුවය. හදිසි නිවාඩුක් ගිය සිවාගේ ඇඳ හිස්ය.


අපේ ඇඳන් දෙක අතර යම්තම් එහා මෙහා වෙන්න පුළුවන් හිදැසකි. බිත්තිය අයිනට වෙන්න ඇති සිවාගේ ඇඳ මුල්ලේ දාම් ලෑල්ල හේත්තුකර ගමන්ම ඇත.


එකම කාමරයේ වෙසෙන දහහතර දෙනාගෙන් හය දෙනෙකු බ්‍රහස්පතින්දා වැඩ ඇරී එද්දීම තම ඥාති මිත්‍රයින් ඉන්න දිහා යනවා.


තරමක් පොඩි එනැමැල් පලඟානේ එක එක ප්‍රමාණයේ පොඩි වීදුරු අටක් තියාගත් ශාන්ත ප්ලේන් ටී කේතලයත් අනික් අතින් අරන් ආවා. කේතලයෙන් පිටතට එල්ලෙන තේ උරවල නූල් අඟ ලේබල් සැහැල්ලුවෙන් කැරකෙයි.


"මේ සමන් කොහේ ගියාද බං අයියේ..." අහමින් රෝලන්ඩ් ඇවිත් මා ඉදිරිපිටින් සිවාගේ ඇඳේ වාඩි වුණා.


වැඩියේ මහන්සිවෙන්න එතරම් කැමැත්තක් නැති සමන් පාඩුවේ කාමරේටවි ඉන්නා කෙනෙකි.


රෝලන්ඩ් උත්තරයක් බලපොරොත්තු වුණේ නැතිව ඇති, වීදුරුවලට තේ වත්කරන ගමන්ම...


"අයියේ අපිට අද මාර වැඩක් වුනාණේ..."


"ඒ මොකෝ රෝලෝ?"



"ඔන්න හවස් හතට විතර ආනන්දන් කඩන් පහත් වුණා. අල්-මදල්ලගේ මහගෙදර උත්සවයක්, ගේ සූදානම් කරන්න උදව්වට කියලා අපිව එක්කන් ගියා. හය දෙනාම එකතුවෙලා පැයක් විතර වැඩකරා කියමු. ඔන්න සන්තෝසෙට කියලා ඒකා එකසිය පනහක් දුන්නා."


"පුදුමයි!"


"ඔන්න අපි ආපහු එනවා, කට්ටියම ගොඩවුණා රෙස්ටුරන්ට් එකකට. ආනන්දනුත් කාපිය. අපි එකසිය විස්සක් ගෙවලා ආවා. ආනන්දන්ට තරුවක් එකතුවේවි, සිවාට නිවාඩු, ඒකාගේ වැඩ උඹට. අපිට වෙන්නේ මේවගේ වැඩ..."

තේ උගුර උගුර හිස්වෙද්දී...

හඳ එළියෙන් බැබළුණ බස් නැවතුම් පොළ ඉදිරිපිට දර්ශනය, රනේ කී ආරංචිය, මිස්කෝල් එකින් එක විස්තර කරන්න මට සිදුවිය විය.


"ඉතිං අයියේ එච්චර බය හිතුණේ ඇයි?" ඇහුවේ ශාන්ත


"මලයෝ ජයසෝම අයියා විතරක් නෙවෙයි බං විස්ස විද්‍යාල වල දරුවෝ ඉන්න හැම දෙමාපියන්ම එච්චර බයකින් ඉන්නේ..." උත්තර දුන්නේ රෝලන්ඩ්


"අපි උන්නද මළා ද කියලා බලන්න කවුරුවත් නැහැ." ශාන්ත කීවේ දුක්මුසු ස්වරයකිනි


"එහෙම කියන්න එපා ශාන්ත, මම තවානේ වැඩ කරන කාලේ රටේ තිබුණ තත්වය ගැන කතා කරද්දී මට දැනුනාට වඩා වෙනස් අද මට දැනෙන බය. අපිට නැතිවෙන්න දෙයක් නැහැ, ඒත් අපේ බලාපොරොත්තුව..."


"උඹට ඒ විදියට හිතුණේ ඇයි බං අයියේ?" ඇහුවේ රෝලන්ඩ්


"පෝය හඳ!"


"ඒ හඳේ වරදක් නෙවෙයි බං අයියේ, හඳ අපිට පේන විදියේ වැරැද්ද මිසක්."


වෙහෙසකර දවස නිමාකරමින් සනිටුහන් කර සතියක අග සැහැල්ලුවෙන් ගතකර ඔවුනට නිදි දෙව්දුව අතවැනුවා වෙන්න ඇති... විසිර ගියහ.


Image Credit: http://blog.lib.umn.edu

Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts