Tuesday, September 14, 2010

ඉකිබිඳියි ඔරලෝසු කුළුණ


ගාලු කොටුවේ යෝධ ඔරලෝසු කුළුන
සෙවනක් දුන්නා පිටදී ගෙන සැන්ඳෑ හිරු
විඩාබර දෙපා දිගහැර වාඩි වෙන්නැයි
සෙනෙහසින් කීවා බෑවුමේ තණ බිස්ස
වෙහෙසකර දෑස් ලුහුබැන්ඳා රළ පෙළ

එදා පෙර අපර නැවියන් රුවලින් හබලින්
සොයා ආ සෙරෙන්ඩිපයට හරසරින් පිලිගෙන
සියුමැලි දකුණු ලියන් දෑතින් ගෙතූ බීරළු රේන්දය
ලොවටම මොස්තර හැඩකෙරුමට පැටවූ
ගාලු වරාය

උස්සා උසට කලුගල් පවුර කර ඕලන්ද කොටුව
පාමුල තැනුවට පුංචි වරායක්
සොබාදහමින් තිළිණ ලද ලොව විරල
කඩිසර සමුදු මගක හෙබවූ සොබාවික මැණික
ගාලු වරාය

ඉකිබිඳින හඬක් ඇසුනා...
සෙවන සැදූ මිත්තණිය තවමත් හිටගෙන...

කොලොම්පුරයට මන බැන්දූ සුදු බලයන්
කුදලාගෙන ගියේ නැව් ගොන්නත්
උන් ගිය මග අඩි තබනා උනුන්ගේ උනුත්
විවේක දුන්නේ වෙහෙසුන හින්ද ද සියවස් ගනනක්
ගාලු වරාය

ඈත්කර නිවහන සුරූපිය දුරස් වුනා
පාමුල නැතත් දුර සිට රුවින් පිනා
කරකාර ගන්නටා පොරොන්දූන් වුනා
දීගේ කැඩුවේ රන්කහවනු ගිලන් ද පිනා

එක් කර ගොරහැඬි සිල්ලරයන් උනා
තනා සමුදු කටුගෙයක් පාමුල උන් කනා
වරාය කුමරිය වියපත් කඳුලින් වනා
කොහේ යන්නද ඔහේ බලන් ඉන්නවා විනා

ඇගේ දුක්බර මුහුණත දුටුවා...
නුඹටත් දුකදැයි සෙනෙහසින් ඇසුවා!

සටහන:
ගාලු වරාය ලොව ඇති විරල ගනයෙහිලා ගැනෙන ස්වභාවික වරායන් කිහිපයෙන් එකකි. මුහුද ගොඩබිම තුලට නෙරා ඇවිත් පසෙකින් රූමස්සල කඳුවැටියත් අනෙක් පසින් ගාලු කොටුවත් තෙරක් නොපෙනෙන ඉන්දීය සාගරයෙන් ඇය සුරකින්නේය. අද වරාය ලෙස උපයෝගී කරගෙන ඇත්තේ ඉන් සැකසුන සුළු ප්‍රදේශයකි පමණි.

ක්‍රි.පු. 1400 තරම් ඈත කාලයේ ද ගාලු වරායෙන් කුරුඳු රට පටවා ඇති බව සඳහන් වේ.

දොලොස්වන ශත වර්ෂයේ තරම් ඈත අතීතයේ දී පාර්සි, අරාබි, මලායනු, ඉන්දු, චීන, ග්‍රීක, රෝමානු ආදී පෙර අපර නැවියන් ඔවුන්ගේ සමුද්‍ර මාර්ගික වෙළෙදාමේ කෙන්ද්‍රස්ථානය ලෙස ස්වභාවික ගාලු වරාය යොදාගෙන ඇත. එම මුහුදු මාර්ගය සිල්ක් රූට් (Maritime Silk Route) ලෙස ප්‍රකටය. ක්‍රි.ව. 1505 දී පෘතුගීසීන් ගාලු වරාය අත්පත්කර ගැනුමට ආවිට ගාලු වැසියන් යුද වැදුනද පෘතුගීසීන්ගේ ප්‍රබල හමුදා ශක්තිය හමුවේ පරාජය වී ඇත. පසු කලෙක ඔවුන් කුඩා බලකොටුවක් ද තැනූ බව කියැවේ.

පෘතුගීසීන් විසින් බීරළු කර්මාන්තය ගාල්ල අවට ප්‍රදේශයේ හදුන්වා දුන් බවත් ඈත ඉතිහාසයේ ගාලු වරාය මූලික කරගෙන ලොව නන්දෙසට බීරළු රේන්ද සැපයූ ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස ලංකාව කීර්තියක් අත්පත් කරගෙන තිබූ බවත් සඳහන් වේ (මේගැන මා කලින් පල කල බීරළු රේන්ද කලාව නැමැති නිර්මාණයෙන් විස්තර කලා). බීරළු රේන්ද අදටත් ගෝල් ලේස් (Galle Lace) ලෙස විදේශයන්හි ජනප්‍රියයි.

ක්‍රි.ව. 1640 දී පෘතුගීසීන් පලවාහරිමින් ගාලු වරායෙන් රට තුලට අවතීර්ණ වූ ඕලන්දයින් 1663 දී දැනට පවතින ගාලු කොටුව ගොඩනගා ඇත. කොටු පවුරේ නැගෙනහිර පෙදෙසේ පාමුල (පොඩි කොටු දෙරටුව පැත්තට වෙන්න ) වරායක් ද ගොඩනැගූවේය. ඕලන්ද කාලයේ ගාලු පුරවරය වඩාත් බැබලුන යුගයක් බව කියැවේ.

ක්‍රි.ව. 1796 දී ඉංග්‍රීසීන් රට අත්පත්කර ගත්ත ද ගාලු කොටුව වෙනසක් නොකර ආරක්ෂා කලෝය. 1873 වසරේ දී කොළඹ වරාය ගොඩනැගෙන තුරු ගාලු වරාය දිවයිනේ ප්‍රධාන වරාය ලෙස ක්‍රියාත්මක වී ඇත.

පසු කලෙක වරාය දැනට ගාලු වරාය යැයි භාවිත වන ප්‍රදේශයට ගෙනගොස් ඇත. කලින් තිබූ වරාය පරණ වරාය ලෙස ප්‍රසිද්ධියක් දැරූ අතර අපේ පාසැල් කාලයේ දී පිහිණුම් පුහුණුවට උරදුන් ජනප්‍රිය තැනක් විය. පසුව එහි කොටසක් නාවික හා සමුද්‍ර කෞතුකාගරයක් ද තවත් කොටසක නාවික පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවා ඇත.

1988 වසරේ දී ගලු නගරය හා උතුරු ඕලන්දයේ වෙල්සන් නගරය මිත්‍රත්වයේ සංකේතයක් වන Twin City සංකල්පයෙන් යා කලෝය. අදටත් ගාලු පුරවරයේ ඕලන්ද ගෘහ නිර්මාණශිල්පය පිලිඹිබු කරන ගොඩනැගිලි දැකගත හැකිය.

90 දශකයේ මුල ගාලු වරාය වැඩි දියුණු කරන පොරොන්දු පිට රජයක් පත්විය. කිසියම් සැලසුමක් ඇති විය, පරිසරය යන නම පෙරදැරි කරගෙන සැලසුම් හැකිලින. අඩුවක් නැති පොරොන්දු වූව ද මෑත යුගයේ ගාලු වරායේ දි‍යුණුව උදෙසා සැලකිය යුතු කිසිවක් සිදුවූවා ද සැකයකි, ඒ සම්බන්ධව ඊට වඩා ලිවීම පලක් නැත (ඇය දැක දැක කඩිසර සමුදු මගක ඉවත ගිය නැව් රජුන්, කුමරුන් කැන්දන්නට පලාතේ තවත් වරායක් ඉදිවීම එක්තරා සතුටකි).

සුඛවිහරණය අවම යුගයක සියවස් ගනන් වෙහෙසුන නිසාවත් දෝ විදෙස් ආක්‍රමණ වලින් පීඩා වින්ද නිසාවත් දෝ නූතන යුගයේ නුඹට විවේකය ලැබුණේ. ඇය තවත් බොහෝ කලක් විවේකයේ ගිමන් හරීවි කියා සිතේ. ස්වභාවික ගාලු කුමාරිය වියපත් වුනත් සුන්දරයි. සොබාදහමින් උරුම වූ ඒ අමිල තිලිණය බොහෝ අගේය.

සිල්ක් රූට් නම් ප්‍රෞඩ අතීතය සිහිකරමින් මෙ මෑතක දී ජුවෙල් ඔෆ් මස්කට් (Jewel of Muscat) නම් නවවන සියවසේ රුවල් නැවක අනුරුවකට දැවයෙන් සැකසූ නැවක් සිල්ක් රූට් ඔස්සේ තරණය කලේය. ඒ චාරිකාව ඕමාන් රටේ සිට පෙර කල මලයානු දේශයේ කොටසක් වූ සිංගප්පූරුව දක්වා ගමනේ යෙදුනේ ලොව විවිධ රටවල නැවියන් සමූහයක් කැන්දන්, ඒ අතර ලාංකිකයෙකු ද විය. එම නෞකාව ගාලු වරායට ද සේන්දු විය (විස්තර මෙතැනින්). ඒ නෑගම් ඒම ගාලු කුමාරිය සතුටු කඳුලින් දෝවන්න ඇති.

නිර්මාණයට අදාල වැඩි විස්තර (මූලාශ්‍රයන්) පහත ලින්ක් මගින් ද කියවිය හැකිය:

http://en.wikipedia.org/wiki/Galle

http://cf.hum.uva.nl/galle/galle/galleindex.html

18 comments:

  1. ඉගෙන ගන්න ළමයින්ට බොහොම වැදගත් පාඩමක්නෙ...පුළුවන්නම් මේක ඔබතුමාගෙ ඉංගිරිසි බ්ලොග් අඩවියෙත් දාන්නකෝ...

    ReplyDelete
  2. @Anonymous:
    බොහෝම ස්තුතියි මිත්‍රයා. අගේ ඇති අදහසක්, මං විස්තර සකසා ගෙන Amazing Spring (http://amazingspring.blogspot.com/) හි පොස්ට් කරන්නම්.

    ReplyDelete
  3. @Shadow/හේමලයා:
    බොහෝම ස්තුතියි සටහනට, එය කියවීමත් සතුටක් යාළු

    ReplyDelete
  4. ඉදල හිටල ගාලු ගියාට ඔච්චර විස්තර දැනගෙන යනව කියලයෑ....... විස්තරයට ස්තුතියි ......

    ReplyDelete
  5. ගාල්ල...එක පැයකටවත් ගිහින් එන්න තියේ නම්...

    ReplyDelete
  6. @Chejana you can use Google map to do that. :)

    ReplyDelete
  7. @කංචු:
    බොහෝම ස්තුතියි ඔබේ සටහනට

    ReplyDelete
  8. @චේජනා:
    ඇත්තෙන්ම නංගී, එත් දැනට හිතෙන් ටුවර් එකක් විතරයි.

    නිතරම ගාලු දුවන හිත ඔරලෝසු කණුව පාමුල වාඩි වූවා...

    ReplyDelete
  9. ජීවිතේ ලස්සනම කාලයක... ලස්සනම මතකය්න් හුඟ්ක් ඔය නගරයේ තියෙනවා. වටිනා සටහනක්.

    ReplyDelete
  10. Dinesh, Google map can show me aerial view of Galle, still my life is inside that and can't feel and touch... :(

    ReplyDelete
  11. @පිස්සා පලාමල්ල:
    ජීවිතේ ලස්සනම කාලයක... ලස්සනම මතකයන්...
    එහෙමනම් තවත් ලස්සනට දැනෙන ඇති, සන්තෝසයි මිත්‍රයා.

    ReplyDelete
  12. @චේජනා:
    Thats the reality in this virtual world

    ReplyDelete
  13. ඇත්තෙන්ම ගාලු නගරය මම මහනුවර නගරයට පස්සේ කැමතිම නගරය. එයිනුත් ගාලු කොටුව මගේ හදබඳගත් ස්තානයක් . .. එතනට තියෙන බැඳීම වැඩිවුනා ඩීන් මේ ලිපිය කියෙව්වට පස්සේ ඇත්තමයි . .

    ReplyDelete
  14. @දුකා:
    බොහෝම ස්තුතියි යාළු. අවාසනාවට ඒ ලස්සන පරිසරයේ රැඳෙන්න වුනේ ජීවිතයෙන් ටික කාලක් විතරයි, ඒත් අදටත් ඒ සුන්දර මිනිසුනටත් පරිසරයටත් තියෙන්නේ පුදුම සමීප බවක්. ඒ නොවෙන්න අපි මීට වඩා වෙනස් මනුසතුන් වෙන්නත් ඉඩ තිබුනා වෙන්න පුලුවන්. ජීවිතයේ ඉතිරි කාලයවත් ඒහේ ගතකරන්න ලැබුනොත්... වාසනාව.

    ReplyDelete
  15. මනැසින් නැවතත් ගාලු කොටුවේ හුදකලා වීමි. මා කැමතිම මගේ නගරය. අපූරු පබැදුමක්. බෙදාහදාගත්තට ගොඩක් ස්තුතියි.

    ReplyDelete
  16. @readmyeye:
    අපි ඈතින් ඈතට යද්දී ඒ මිත්තණියගේ සෙවන වැඩියෙන් දැනෙනවා මගේ හිතේ...

    බොහෝම ස්තුතියි ඔබේ සටහනට.

    ReplyDelete