Wednesday, June 30, 2010

මැටි පහනට තෙල් බිඳක්


කොප්පරා ගොඩ ගෝනි කර
පැතුමින් නෙත් යොමන් පටවා
ලබන්නට පිරිසිදු තෙල් බිඳක්
එලිය දකින්නට මැටි පහනක

පොල් ලෙලි ගොඩ
තල්ලු වී පල්වලට
තැලී ඇඹරී
තැනෙනා කඹ
පිට රට පාට ගෙන
තැනේවි ද තොණ්ඩු
උනුනට ම සරි

හැලුන පොල් කටු
යන අඟුරු වලට
ගිනිතියා තැනේවි ද
දැවටෙනා අභූත කාසියට

මහතුනි විත් කරපිටින් උන්
වී මැතිඳුන් බරක් නොවන්
එපා පටවන්න පුනක්කු උනට
තෙල් බිඳක් මැටි පහනට දෙන්න
ගෙවා ගන්න අඳුර
යාන්තමින් වත්

නොවුනොත්
ඇඹරුණ කඹ ද
වියකුරු ගිනි අඟුරු ද
බා ගනු ඇත උන්
දරන මෙ බිම
තවත් නොකරන් පව්

19 comments:

  1. හැමදෙයක්ම මුදලින් මැන කාලයෙන් කිරන වෙලාවක.....මේ සිතුවිල්ල හරිම විරල අගය කලයුතු එකක්...මේක කියවත්දී මට කරුවල ගෙදර තිනන් මතක් වුනා...........:)...

    ReplyDelete
  2. සමාජයේ පැති කඩක් මැනවින් ග්‍රහණය කර ගැනීමක් . . . ජීවත් වීම සඳහා උන් කරන ඒ අරගලය . . . . .

    ReplyDelete
  3. ම්....ම්....මගේ සොඳුරු දාර්ශනිකයා...!

    හරිම සුන්දර නිර්මානයක් උතුමානෙණි...හිතිවිලි පෙරළිකරනවා නෙව...
    කටුක යතාර්ථය ස්පර්ෂ කොට නිමැවුණු සුන්දර ලියැවිල්ලක්...
    ලියාගන්නට බොහෝ දේ ඇත....

    සුලා..

    ReplyDelete
  4. හැමදාම වගේ හරි අපූරු නිර්මාණයක් ඩීන් අයියා....පේන්නෙ නැද්ද සුලා අයියගෙ ප්‍රතිචාරය...ඔන්න මම තවත් නමක් අල්ල ගත්තා...

    ReplyDelete
  5. වත්මන් දේශපාලනික හරඹය ගැන ලියවිච්ච හරවත් කවි පෙළක් විදියටයි මට නම් පේන්නෙ .

    ReplyDelete
  6. හරි අපූරු නිර්මාණයක්....

    ReplyDelete
  7. ජීවන බර කර පිට තියන්..
    බොහෝ වෙහෙසින් ..
    ඉදිරියට යන..
    සියලු මිනිසුන් දුටිමි ..
    මෙතුලින් මම

    තොණ්ඩුවට
    ගෙල සිර වෙන්නට කලින්
    හැකිවේද ගැලවෙන්න

    දල්වන්න හැකි උනොත්
    පහනක්..
    එළි වේවී නොවෙද දිවි
    සිතේ මට් එහෙමත්...

    ReplyDelete
  8. අය්යෙ, අද නම් මම ඔයාම මේක විස්තර කරන තුරු බලන් ඉන්න තීරණය කළා...දෙතුන් පැත්තක් ම පේනව මට...
    ජීවන බර උර දරන මිනිස්සුන්ට බරක් වෙන මැතිඳුනුත් ඇතුලුව...

    ReplyDelete
  9. සරුසාර පොල් අස්වනු කොප්පරා පොලකට එක් වේ. ලෙලි ගැසී, සෑහෙන තරම් පාරක් කන පොල්ගෙඩිය දෙපලු වී ගිනි තපින්න එහෙමත් නැතිනම් දුම් වදින්න සලස්වනවා. මදයේ ආරක්ෂාවට සොබාදහමින් ලද පොල්කට්ටෙන් වෙන්වී එන්නේ සුදෝ සුදු පොල් ස්ථරය වෙනුවට දුර්වර්ණ වූ කොප්පරා පලුව. ඒවා ගෝනි කර වෙලඳ පොළට සැපයේ.

    මෙ නිෂ්පාදනයේ වටිනාකමක් ඇති දෑ ගන්නෝ අරගෙන යයි. එතරම් වටිනාමකක් නැති දෑ කොප්පරා පොලේ ඔහේ ගොඩ ගැසේ.

    පොල් ලෙලි වැඩි කොටසක් ලෙලි වලක පල්වී, තැලුම් ලැබ, පොල්කෙඳි නිපදවේ. ඒ කෙඳි එකින් එක එක්වී ඇඹරී ලණු තැනෙයි. ඉල්ලුම් අනුව ලණු විවිධ ස්වරූපයේ, ප්‍රමාණයේ කඹ බවට පත්වේ. නොයෙකුත් අවශ්‍යතා සඳහා ලණු, කඹ පාවිච්චි කරයි.

    පොල් කටු, ඇඟුරු නිෂ්පාදනයට යොදා ගනි. වැඩි කාලයක් රැඳෙන දැඩි රශ්ණයක් ලාබදෙන්න සමත් පොල් කටු ඇඟුරු ද නොයෙකුත් දේ සඳහා පාවිච්චි කරයි.

    කොප්පාරා නිෂ්පාදනය හා ඉන් ඉවතලන දෑ මගින් කරන අතුරු නිෂ්පාදන මුල් කරගෙන මෙ නිර්මාණයෙන් උත්සාහ දරණුයේ සමාජීයමය වැදගත්කමක් ඇතැයි සිතන විමසුමක් කිරීමටය.

    මහා පරිමාණ හෝ සුළු පරිමාණ පොල් වගාවක, එහෙමත් නැතිනම් ගෙවත්තක පොල් ගස් වලින් ලැබෙන පලදාව කොප්පරා පොලට එක්වේ. එතැනින් පදමට සැකසී ඉහල වටිනාකමක් ඇති කොප්පාරා අරගෙන යයි. නමුත් පොල්ගස් රැක්කෝ, ගස් බඩගා ගෙඩි කැඩුවෝ, ගෙඩි අහුලා රැස් කෙරුවෝ, ගෙඩි ලෙලිගා සුද්ද කෙරුවෝ, මන්න පාරක් ගසා ගෙඩි බින්දෝ, දුම් මැස්සේ ගිනිකකා කොප්පරා සැකසූවෝ, ගෝනි කර පටවන්නෝ යනාදීන් ගැන කවර තැකීමක් ද? ඒත් ඔවුනට කුලියක් කියා සොච්චමක්වත් ලැබෙනවා ඇති.

    ඒ වාගේම මැතිවරණයකදී ද මහජන චන්දය ලබා ගත්තෝ අරගෙනම යන්න යනවා නේද? තම වටිනා කියන චන්දය ලබා දී ඔවුන් මුදුන් වහලින් පහත් වෙන්න වරම් නොපැතූවත් තම ජීවිත ගැටගසා ගන්න, ආලෝකමත් කරගන්න අවම වශයෙන් යමක් බලාපොරොත්තු වෙනවා නොඅනුමානයි.

    මෙ අතර මැතිවරණයෙන් පරාජය වූවෝ විවිධ පිටස්තර අදිසි හස්තයන්ගේ ඉත්තන් වී බලලෝබයෙන් අරකී ලණු, කඹ පාට කවා බලාපොරොත්තු සුන්වෙන චන්දදායකයින් බාගන්න අර අදින්න පුලුවන්.

    පොල්කටු අඟුරු ගිනිතියා ගත්තා නම් මොන වින්නැහියක් කරන්න බැරිද.

    නිර්මාණයෙන් අයදින්නේ මහජන වරමින් පත්වී ඔවුන් මත බරින් බරම පටවා පීඩා ඇතිකරන්නේ නැතිව ඔවුනට ජීවත් වෙන්න ඉඩ සලසන්න, ඔවුන්ගේ ජීවිත ආලෝකමත් කරගන්න ක්‍රම සලස්වන්න. ඔවුන් විනාශ මුඛයෙන් බේරාගන්න, යන්නයි.

    ඒත් බලයෙන් මත්වී කුලල් කා ගන්නා දේශපාලකයින් මේවා තෙරුම් ගනීද?

    ReplyDelete
  10. @Shadow/හේමලයා:
    බෙහෝම ස්තුතියි ඔබේ වටිනා අගය කිරීමට.

    ReplyDelete
  11. @දුමී:
    නිවාඩුවේ ගිහිල්ලත් වරද්දන්නේ නැතිව මේ පැත්තට ඇවිත් නිර්මාණය අගය කරලා සටහනක් තියන්න වෙලාවක් මිඩංගු කලාට තුති.

    ReplyDelete
  12. @සුලා:
    බාලයින් කීපදෙනෙක් එක්ක මා පාසැල් ගියේ රෙල්පාරක් දිගේ පයින්. ඒ අතර තියෙන රේල්පාලම උඩින් යෑම අපිට තහනම්, එය මග හරින්න මහපාරට පෙවිසෙනවා. ඒ මහපාර කොටසේ දෙතැනක කොප්පරා පොලවල් දෙකක් තිබුණා, වසර ගානක් දුටු දසුන නාස්පුඩුවල රැඳුන සුවඳ තවමත් මතකයි.

    සුන්දර පාසැල් කාලයේ බොඳවූ සිහින පට අතරින් මතකය ආවර්ජනය කරන මොහොතක... අහිමි වූ රත්තර හදවත් ගනනාවක් මෙනෙහි කර වේදනාව...

    මේ කරුණු එක්ව; ඔබේම වචනයෙන් "...හිතිවිලි පෙරළිකරන..." මොහොතක සිත දිවගොස් නැවතුනේ කඩිසර හන්දියක් මැද සංඥා එළි කුළුනක ඉදිරියෙන්... වැටෙන පාට කුමක් වුවත් පයින් යන්නා කවදත් අනතුරේ.

    බොහෝම ස්තුතියි ඔබේ ඇගයීමට.

    ReplyDelete
  13. @දිල්:
    මගේ පලමු නිර්මාණය පළ කල දවස පටන් මේ දක්වාම ඔබෙන් ලැබෙන නිර්මාණ අගය කිරීම ගොඩාක් වටිනවා දිල් නංගී. බොහෝම ස්තුතියි.

    හැම අභියෝගයම ජය ගෙන ඉදිරියටම පිය මනින්න, ඔබට ජයෙන් ජය පතමි.

    (සුලා සොයුරා නිකම් ඉන්න වෙලාවට නම් ලිස්ට් එකක් හදල පුලුවන් වෙලාවට ඒවා බෙදනවා, ගනන් ගන්න එපා)

    ReplyDelete
  14. @isimbuwa:
    ඔබ හරි. නිර්මාණයෙන් විමසන කරුණු විස්තර කරා, බලන්න.

    නිර්මාණය ඇගයීම ඉතා අගේ කරමි, බොහෝම ස්තුතියි.

    ReplyDelete
  15. @Praසන්ன:
    නිර්මාණය අගය කිරීම ගැන බොහෝමත්ම ස්තුතියි.

    ReplyDelete
  16. @nimanthi:
    "දල්වන්න හැකි උනොත්
    පහනක්..
    එළි වේවී නොවෙද දිවි..."

    බොහෝමත්ම ස්තුතියි ලස්සන පදපෙලට

    ReplyDelete
  17. @චේජනා:
    නිර්මාණයේ පසුබිම ගැන විස්තර කරා, විවේකයේ කියවන්න

    ReplyDelete
  18. මගේ සහෝදරයා....

    මේ සටහන් ගැන කියවන කියවන වාරයක් පාසා උඹගේ හදවත හැඳින්නා යාළුවේ....මම් දන්නෑ මෙච්චර මානවදයාවක්....!
    මං උඹව මුරුංග අත්තෙ තියනවා කියලා හිතන්න එපා...මුරුංග අතු හයිය නැහැ නෙව....ඉතිං මේව ගැන මට හිතෙන දේ ලියන්න අවසරගන්න ඕනය..???

    සුලා...

    ReplyDelete
  19. @සුලා:
    සොයුරාණෙනි මේ "අපේ" අවකාශය නුඹට මොන බාධකයක් ද? අවසරයක් ද?

    ReplyDelete