Tuesday, August 29, 2023

රාත්‍රි ගෙවී | After Nights

 


වඩාත් දික් වූ රාත්‍රීන් ගෙවුන පසුව පවා
එළඹෙන උදය බලකරනුයේ
අළුත් බලාපොරොත්තු, නැවුම් ගීතයන් (ගයන්න).


උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: Morgan Harper Nicholas)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral

Tuesday, August 22, 2023

අපේක්ෂාව - Hope


 

කෙඳි වලා රොදක්
හිස් නිල් අහසේ තනිවෙලා
උදා හිරු රැසින් දිලෙනවා...
ඈත අහස් කුසේ
ලිහිණියෙකු කරනම් ගසයි...

ඉරි තැලුන පොලවක
පත් හැලී වියලි රුක
අහස බලාන අසරණව,
ඉල්ලනවා දෝ දිය බිඳක්
හිස් අහස යට,
අතු අග දළුලන්නට...

Saturday, August 19, 2023

මුහුදු රළ | A Wave

 


ඔබේ උදව්වක් ඕනෑකරන මිනිසුන්
බොහෝවිට
ඔබෙන් ඉල්ලීමක් කරන්න බැරි තරමට හෙම්බත්ය.
ඔවුනට අතදෙන්න.
දියේ ගිලීම
හැමවිටම
ගිලීමක් හැටියට
නොපෙනෙන්න පුලුවනි.

සටහන:
තමන්, තමන් ගැන අවතක්සේරු කරගන්න, කොන්වෙන, පීඩාවට පත්වෙන හා දිවිතොර කරගැනීම ආදී පීඩාකාරි සමාජ ව්‍යවසන මුල්කරගෙන ලියා ඇති කවියක් හැටියට ගැනෙන, ප්‍රකාශිත වචන වලට වඩා ගැඹුරු අරුතක් ඇති එකකි මෙම පදපෙල.

* නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.
Iain S. Thomas කවියාගේ A Wave කවියේ පරිවර්තනයකි.
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral

Monday, August 14, 2023

සමනළයා නුදුටු පියාපත් - You Can Fly


පුංචි නුඹේ
දිගෑරුන දෙපියාපත්
පුලුල්ය,
විචිත්‍රය,
අලංකාරය,
සවිමත්ය
නුදුටුවේ ද නුඹ
සමනළයෝ.
මින් මතු නුඹ
නොවෙයි පිලවෙකු,
හැඩි දළඹුවෙකු
රන් සමනළයෙකු මිස...
පියාඹතෑකි
උසින් උසට
දුරින් දුරට
නිදැල්ලේ...

දරුවා,
ඇයි බැරි,
නුදුටුවාට නුඹ
අත්තටු සවි ඇති
ලස්සන සමනළයෙකි
උසින් උසට
දුරින් දුරට
පියාසර කරතෑකි...


Personal Motivational සංකල්පයක් ආශ්‍රයෙන් කල නිර්මාණයකි

Thursday, August 10, 2023

කඳුලක සංයුතිය - Tears



ජල අණුවක වෙත් නම්
එච්චර සංඝටක
ජලකර අම්ලකර එක්ව
නොබිඳෙන බන්ධන...
කඳුළු බිඳුවක
කොච්චර?
විශ්ලේෂණය කරන්න සිතුනා.
එනමුදු,
තුටු කඳුලක
සතුට සුවඳ උතුරන,
දුක් කඳුලක
වේදනාව කැකෑරෙන,
සංවේදනය...
තව තව ලංවී
තරවෙන,
සුනු විසුනුව
ඉහිරුණ,
බන්ධන රටාව...
වෙත් ද කඳුලක
සංයුතියේ කොතැනක...  
ඔන්න ඔහේ
වියැළුනාවෙ
අතෑර දැම්මා.

Wednesday, August 2, 2023

නිදිකුම්බා මල වට | Touch-me-not


මල්පෙති වේදිකා නැත පිලිගන්න
කවුලු පත් වැහුනා
රූංගා එනවිට
කෙඳි පෙති විසිරී මල වට
ගෝලේ රටාවට
කටු පිරි අතුපතරින්
කෝමද බිඟුනේ
රොන් ඉරුවේ
ලස්සන සුමුදු රෝස
නිදිකුම්බා මලේ...


සටහන:
නිදිකුම්බා පඳුරේ හැකිලෙන-දිගහැරෙන ස්වභාවය නිසා නොයෙක් භාෂා වලින් නිදිකුම්බා පැලය සංවේදී පැලය, ලැජ්ජාශීලී පැලය කියන නම් දී තියෙන අතර උද්භිද විද්‍යාත්මක නම මිමෝසා පුඩිකා (Mimosa Pudica - සංවේදී පැලය යන අරුත) වේ. දෙමළ බසින් තොට්ටා සිනින්ගි (Thotta-siningi) යැයි කියන බව ලඟකදී දැන ගත් නමුත් අපේ ගම් පලාතේ කතාකරන දෙමළින් කියන්නේ තොට්ටාල් වාඩි (ඇල්ලුවෙත් මැලවෙන කියන අරුත) කියාය. ඉංග්‍රීසියෙන් sensitive plant, sleepy plant, action plant, touch-me-not, or shame plant වශයෙන් නම් කිහිපයකි.