Monday, October 18, 2021

ජීවිතය පාටකූරු පෙට්ටියක් වාගේ

 


ජීවිතයම සිතුවම් එකතුවකි
නුඹ සිත්තරෙකි
කැමැතිම පාට තෝරාගෙන හැඩකරන
කාලයත් සමඟ
වඩාත් කැමැති පාට විග විගස ගෙවෙන
බොහෝ විට
එතරම් ඇල්මක් නැති පාට
නිරතුරුව ඉතිරි කර…

ඇති හැකි විටෙක
අලුත් පාටකූරු පෙට්ටියක් රැගෙන
තව පිටුවක්, කීපයක්
පාට කරනු ඇත
සතොසින…

හිතැඟි පිටුවෙන් පිටුව
වෛවර්ණව පාට කර
නොදැනීම එකතු වෙනවා ඇති
එතරම් ඇල්මක් නොදැක්වූ පාට කූරු,
අතෑරුන පිටු එහෙම
පාට කෙරුමට
තේරීමකින් තොරව...
බොහෝවිට
එය ඔබේම සිතුවම නොවෙද?

Tuesday, October 5, 2021

බර ද ලා දළු - Heavy Buds


රිකිලි අග්ගිසි පෙරදා
මල් මෙන් සැරසූ සියුමැලි
ළපටි අඹ දළු බැබලෙනවා
හිමිදිරි හිරු එළිය අරගෙන

නිල් අහසේ රඟ දෙන
දුහුල් සේල රටා වහන් කරගෙන
කළු වලාවක් හක්කලං කරනවා දෝ
දුර හිනිදුම් පත්තුවට...

ඈත හෝ හෝ හඬ දෙන
මූදු සුළඟ මෝරන
කඩා ඇද හැලෙනවා
කළු සේල බරවුන

වැස්ස මොර සූරන
අඹ දළු කොන්ද නවාගෙන
සොවින් බලා ඉන්නවා දෝ
ඉහිරුණු ලා දළු ගස පාමුල

කඳ ගැට පෑදී ඉලිප්පුණ
විහිදුන අතු ඉති රිකිලි කොළ දරන
සුවඳ සියුමැලි ලා දළු බරද
හැලුවේ ඇයි දැයි නොදනිමි...