"මිස්ට සේරසිංහ, අපේ පුතාට හොඳ ස්පෝර්ට්ස් ෂූ පෙයාර් එකක් ගන්න ඕනේ..."
ස්ටූලයකට බර දී ගෙන අලස මහවීදිය දිහා ඔහේ බලමින් උන් අපේ පාළුව බිඳිමින් තාත්තයි, මුහුණ පුරා සිනා පිරි පුතයි ෂෝ රූම් එකට ඇතුල් වුණේ...
වහ වහා අපි තීදෙනාම ස්පෝර්ට්ස් ෂූ සෙක්ෂන් එකට පිය මැන්නෙමු.
"කීයක විතර පෙයාර් එකක් ද පුතේ..." මං ඇහුවා, පුතා තාත්තා දිහා බැලුවා...
"පුතා කැමති හොඳ ලේටස් ඩිසයින් පෙයාර් එකක්, ගාන ප්‍රශ්නයක් නැහැ, කොලිටිය හොඳ නම්" ආදරණීය හිනාවක් පුරවා ගත් තාත්තා කිව්වේ, පුතාගේ මුහුණ සතුට තවත් වැඩි විය.
ස්ටෝරු කාමරයෙන් සපත්තු ජෝඩු කීපයක් අරන් ඇවිත්, පෙට්ටි වලින් ගලවා පුතාට පෙන්වන අතර පෙට්ට්යේ අලවා ඇති ප්‍රයිස් ටැග් එක තාත්තාට පෙන්නු වෙමි. ඔහු ඔළුව වනා සන් කල පමණි.
පාට, ඩිසයින් අතර තනි වූ පුතා, සපත්තු ජෝඩු කීපයක් පැළඳ අඩි කීපයක් එහා මෙහා යමින් ෂෝ රූම් බිත්තියේ කණ්ණාඩිය ද තුටු සිනාවෙන් සරසන්නට විය. වරෙක බෑක් පැක් එක උරේ එල්ලාගෙන, තවත් විටෙක උඩින් දාගත් කමිසය හදමින් හැඩට පා ඔසවන පුතා... ඊට එහා ස්ටුලයකට බර දී හිඳිනා තාත්තා ද තම පුතු ගේ මුව සිනාවෙන් සතුටු වෙන හැටි... මාරුවෙන් මාරුවට දෙදෙනා දිහා බලන මට පෙනේ.
ඉඳහිට කෙනෙකු ආවොත් මිසක් මේ දවස්වල හරි හමන් බිස්නස් එකක් නොවිය.
විනාඩි විස්සක්, විසිපහක් විතර ගෙවූ පුතා සපත්තු ජෝඩු දෙකක් අතැතිව තාත්තා ළඟට දුව ආවේය.
"කොයික ද හොඳ?"
"පුතා කැමැති කොයික ද?"
පුතුගේ දෙනෙතු අත් දෙකේ ඇති සපත්තු ජෝඩු දෙක අතරෙ මාරුවෙන් මාරුවට දුවමින්, දකුණත පැත්තේ මොහොතක නතර විය.
"පුතා කැමැති කොයික ද" නිහඬතාවය බිඳිමින් තාත්තා ඇසුවේ හරිම ආදරයෙන්.
තාත්තාගේ කනට ලං වූ පුතා යමක් කියයි.
"කමක් නෑ පුතේ, ඔයාට හොඳම එක තෝරගන්න."
පුතුගේ තේරීම වුණේ මිලෙන් වැඩිම සපත්තු ජෝඩුවය.
"ඒකට මැච් වෙන සොක්ස් පෙයාර් එකකුත් තෝරාගන්න පුතේ..." කියූ තාත්තා ස්ටූලයෙන් හෙමිහිට නැගිට, මොහොතක් හිඳ සීරුවෙන් අඩිය දෙක තියා ඇවිදින්නට විය.
"මෙන්න මේකත් මට දෙන්න..." සේල් රබර් සෙරෙප්පු බාස්කට් එකෙන් ජෝඩුවක් තෝරාගෙන ඇවිත් මගේ අතට දුන්නා.
"මේක තාත්තට ද?"
"ඔව්, මට."
"අපි පොඩ්ඩක් මේක දාල බලමු නේහ්, මේ අයිටම් වල පොඩි පොඩි වෙනස්කම් තියෙනවා."
"නෑ, කමක් නැහැ, සයිස් එක හරි නෙහ්..."
මා පෙරැත්ත කළත්, පැළද සිටි සපත්තු ගලවා ඔහු තෝරාගත් සෙරෙප්පු ජෝඩුව පැළද බලන්න කැමැත්තක් දැක්වූයේ නැහැ. ඒ අයිටම් පොඩි පොඩි අඩුපාඩු ඇති නිසා සෑහෙන අඩු මුදලකට විකුණන්නේ, ඔහු තෝරාගත් සයිස් එකෙන් වඩාත් හොඳ ජෝඩුවක් තෝරා දී මා නිහඬ වූයෙමි.
පුතාගේ ස්පෝර්ට්ස් ෂූ ජෝඩුවට විශේෂ වට්ටමක් ලබා දී වෙනම බිලක් හදන්නට හිතාගත්තෙමි.
"තාත්තේ, මම ටක් ගාලා ගිහින් CR පොත් තුනක් අරන් එන්න ද?" අසල ඇති පොත් කඩේට් යන්න පුතා සැරසෙයි...
"සල්ලි?"
"අර සල්ලි, මං ළඟ තියෙනවා නෙහ් තාත්තේ" කියමින් පුතා කුරුල්ලෙකු වගේ පිටත් විය.
පුතා නැති අතර වාරයේ දී අපි පොඩි කතාවකට වැටුණා. තාත්තා මීට පෙර කීපවරක්ම ෂෝ රූම් එකට ආව ගිය කෙනෙකි. ඒ හැම වාරයකදීම ස්පෝර්ට්ස් ෂූ සෙක්ෂන් එකට යන ඔහු සපත්තු හරවමින් මිල බලලා, කවදා ද සේල් තියෙන්නේ අහලා ගිය වාර එමට විය.
"මිස්ට සේරසිංහ අච්චර කියලත් මම රබර් සෙරෙප්පු දෙක දාලා බැලු නැහැ, තරහ වෙන්න එපා. සොරි."
"අපොයි, ඒක ප්‍රශ්නයක් නැහැ."
"මගේ සොක්ස් දෙක හොඳටම ඉරිලා, පුතා ඉස්සරහ ෂූස් ගැල්ල්ව්වොත් එයා ඒක දකීවි නෙහ්... ඒකයි වෙන එකක් නෙවෙයි..."
පුතා ආපසු එනවා පෙනේ...
පුතාගේ ආසාව වූ, වටිනා, මිලෙන් වැඩි ස්පෝර්ට්ස් ෂූ ජෝඩුවක් අරන් දුන් ඒ තාත්තා බිල ගෙවන්න දාහේ කොළ හා පන්සීයේ කොළ කීපයක් එන්විලොප් එකකින් අරන් ගැනපු විදිය මගේ සිතේ ෆ්ලෑෂ් විය...
සටහන: කොරෝනා කාලෙන් පසුව සිදුවූ, හිතවත් පාවහන් වෙළඳ සැලක කළමණාකරුවෙකුගේ අත්දැකීමක් මුල්කරගෙන, නම් වෙනස් කර ලියූ කෙටි කතාවකි. එය තාත්තා විසින් පොරොන්දුවක් ඉටුකිරීමක් විය.