Tuesday, October 9, 2012

වටිනාකම



සිහින් තර
ඉරින් සැරසී
නෙක රටාවට
ලොකු පොඩි
හැම තැන
ඉඳිනා සීරුවට
කියා පානවා
අගයක්
විසිතුරු ලේබලයේ
මනාවට

ඉරි රටා
තැනී නැතිවද
වටිනාකමක් නැත්තේ
හද ගැහෙන
දුවපැන ඇවිදින
මිනිසුනට

සටහන:

අද ලෝකයේ වටිනාකමක් (මිලක්) නියම නොවෙන දේවල් අල්පයක් යැයි කියන්න පුළුවන්. ඒ වගේම තාක්ෂණය උපයෝගී කරගන්නේ නැති අංශයක් නැති තරම්. එදිනෙදා භාවිතයට අවැසි භාණ්ඩ මෙන්ම සේවාවන්ද වටිනාකමක් ඇති දේවල්, එනිසාම ඒ වටා සැකසෙන වෙළෙද පොළ ප්‍රබලයි. එම වෙළෙද පොළේ කොම්පියුටර් තාක්ෂණය විසින් සීරුවෙන් අත්පත් කරගත් අවස්ථාවකි PoS (පොස්) හෙවත් Point of Sale. එතැන දී සංකේතමය ඉරි එකතුවකින් සැදුම්ලත් බාර්-කෝඩ් වලින් ලොකු කාරියක් ඉටුවේ.

බාර්-කෝඩ් වලින් සැකසෙන්නේ වටිනාමක් නැතිනම් අගයක්. පාරිභෝගීක භාණ්ඩවලට වගේම සේවාවකට වටිනාකමක් තියෙනවා. ඒ සේවාව විධිමත් කරන්න, පහසු කරන්න බාර්-කෝඩ් යොදාගන්නවා.

උපන් මොහොතේ සිට අවසන් හුස්ම හෙළන තුරු මිනිසාට අවශ්‍යවෙන සේවාවන් බොහෝමයකි. ඒ ඒ සේවාවන් අනුව නියමවෙන අයකිරීම එහෙමත් නැතිනම් සේවාවනට මිනිසා කෙරෙහි ඇති වටිනාකම ද වෙනස් වෙන්න පුළුවන්; උදාහරණයක් හැටියට අයකරත හැකි සුව සේවයට, අවමංගල සේවයකට වගේ. එතකොට ජීවමාන මිනිසාට ලැබෙන වටිනාකම?