Tuesday, November 10, 2026

කැරකොප්පු හොල්මන

 


ඒ 1979-80 කාලේ රාත්‍රියක්.

කැරකොප්පුව පළාතටම නිසල අරණ සලසන මුහුද ආසන්නයේ බිම් තීරුව. ඈත මුහුදේ ඉඳන් වියරුව පෙරළාගෙන එන මහ රළ ගොඩබිම ආසන්නයේ පිහිටි ගල් පර්වතයක හැපිලා සුදෝ සුදින් ඉහළට නගිනවා වගේම තවත් වරෙක තාලෙට ඇවිත් වෙරළේ මුදු පෙනව විසිරෙනවා. මුහුදු වෙරළ හා කැරකොප්පුව වෙන් කර දිවෙන ගාල්ල කොළඹ මහා මාර්ගය, පාර දිගේ මිටි තාප්පය උඩින් අරලිය ගස් පේළිය වෙරළේ තැන තැන ඇති වැටකෙයියා පඳුරු එක්ක අල්ලාප සල්ලාපයේ... කැරකෝප්පුව පාර දිගේ සෑහෙන දුරක අදෙන බිම් තීරුවක්, මායිම්ව පාර දිගේ ලයිට් කණු කීපයක් එකිනෙකට දුරින් උසට හිටගෙන උන්නත් පිලමන්ට් බල්බ දෙන මන්දාලෝකය දුන්නේ ඉන් දෙක තුනක විතරයි. සඳවතිය තුනීවි ගිය ඇඳුම් මාරුකරන්න හැංගිලා. නිසල අරණේ තැන, තැන නෙක විදි සොහොන් සැරසිලි, සුදු අරලිය සෙවන, පාට පාටින් පිපෙන මිනීමල් පැල, කවදාවත් ඉටිපන්දම් එළියක් නොදුටු පස්කඳු, තුනීවූ සමතලා පොළව උදේ හිරු රැසින් දිළුනත් අඳුරු රැයක කැරකොප්පුව ගිලගත් පාළුවට එක් කළේ වෙනස්ම රූපයක්. මහ මුහුද හඬන සද්දය නොවෙන්න පළාතම ගිලගත්තේ මූසල නිහඬතාවය ඉඳහිට බිඳ දැමුවේ එහෙ මෙහේ පියාඹන වවුල්ලු. කැරකොප්පුව මැද පිහිටි ගම් උළු සෙවිලි කල ශාලාවේ උස කණු වගේම කොට බිත්ති වල සුදු හුණු අඳුරේ පාරට පෙනුණේ අමුතු විදිහට, ගුපත සිතුවිල්ලක් එක් කරමින්. ඒ වගේම තවත් කොටසක මැද්දට වෙන්න පිහිටි, පිලිවෙළට නඩත්තුවෙන දේවස්ථානය වෙනම අයිකොනයක්, හිතට දෙන්නේ තැන්පත් බවක්. 

ගාල්ල දෙස සිට පාගමින් එන බයිසිකලයේ කැරකෙන ඩයිනමෝවෙන් දෙන එළිය නොවෙන්න පළාතම අඳුරුය, මුහුද හඬන හෝ, හෝව විතරයි ඔහුට ඇහෙන්නේ. මලානිකව දැල්වෙන පහන් කණුවක් යට නතර වූ ඔහු ඔරලෝසුව දෙස බැලුවා. තත්පර කට්ට හනි හනිකට දුවයි, ඩයලයේ පුංචි හතරැස් කවුළුව අතරින් එබී බලන්න දෝ ඉලක්කමක් අනිකාව උඩට තල්ලු කරන උත්සාහයක. දකුණු කකුල පැඩලයේම රඳවාගෙන වම් කකුලෙන් පාර අයිනේ වැලි තීරුවට වාරු දී ගෙන ඉන්න ඔහුට හීන් දාඩිය දාන්නට විය.

කැරකෝප්පුව අවට ගැන මිනිස්සු කියන නොයෙක් කතා ඔහුගේ හිතේ හොල්මන් කරන්නට විය.

වෙන කරන්න දෙයක් නැහැ, ඔහුටම කියාගත් ඔහු දෙපයින්ම පැඩලය පාගන්නට විය.

කැරකොප්පුව බිම් තිරය පටන් ගන්නවාත් එක්කම උඩහට ඇදෙන හරස් පාරේ දුර ඈත ගෙයක පහන් එළියක් හැර වෙන දෙයක් දකින්නට නැත. හඬන මොරදෙන මුහුද දිහාවත් අඳුර ගිලගත් සැතපෙන නිසල අරණ දිහාවත් නොබලන ඔහු පාරේ දුර ඈත බලාගෙන බයිසිකලය පාගන්නට හිතාගත්තා. කොච්චර වෙරදාගෙන පෑගුවත් බයිසිකලය තවමත් කැරකොප්පුව සීමාවේ අඩක් වත් පහුකරලා නැහැ.

හදිස්සියේ බයිසිකලයේ බ්රේක් දෙකම තද කරලා අල්ලනට විය...

ඔහු ඉදිරියේ පාරේ, කැරකොප්පුව ඈත කෙළවරේ විශාල සුදෝ සුදු රෙද්දකින් වසාගත් අත්දෙකක් උඩ පහළ වනන හැටි පේනවා. හීන් දාඩියෙන් නැහැවුණ ඔහුට තවත් අඩියක් ඉස්සරහට පාගන්න දිරියක් නැත. ආපසු හැරිලා යන්නත් බැහැ. රෑ දොළහ වෙන්න කලින් මෙතැනින් පැනගන්නත් ඕනේ. ඔහොම හිතන් ඉන්න අතරතුර යෝධ රලක් ඇවිත් ගල් පර්වතයේ වැදිලා මහා සද්දයක් ඇති කළේ හිතට තවත් බයක් එකතු කරමින්.

මේ වෙලාවේ, දරුවා වඩාගත් අර ගැහැණියවත් ද?

තැතිගත් ඔහු දෙපැත්ත නොබලා ඉදිරියටම බයිසිකලය පදින්නට වූයේ මොන මොනවා දෝ මුමුණමින්.

මැක්ස්වෙල් මැන්ඩිස්ගේ මම බොහෝම බය වුණා ගිතයේ රූප ඔහු ඉදිරියේ මැවෙන්නට විය.

දැන්, දැන් කැරකොප්පුව සීමාවෙන් තුන්කාලක්ම පසුකර ඇති ඔහුගේ තොල් වේලෙන්නට විය, වෙවුලන්නට විය. මිමිණීම වැඩි වෙන්නට විය. මහ මුහුද හඬන්නේ වෙනස් විදියටය හිතෙන්නට විය.

පුළුවන් හයියෙන් පෑගුවත් බයිසිකලය ඉදිරියට යන්නේ හෙමින් නෙහ්, ඔහුට සිතුණි.

දැන්, දැන් කැරකොප්පුව අන්තිම හරියට එමින් ඉන්න ඔහු පාරෙන් දෑස් ඉවත් කර හොරැහින් නිසල අරණේ කෙලවර දිහා බැලුවේ, නැහැ බැලුණේ බොහෝම බයෙනි.

මුහුදු රළ සද්දය එකපාරටම වැඩි විය, සුළඟ සැර විය. ඔහුගේ ඇස් ඉදිරිපිට තරු කඩා හැලේ... මේ මොනවා ද වෙන්න යන්නේ?

නිසල අරණ තුළ කෙළවරේ පැල පොල් ගහක අත්තක් සැරවෙන සුළන් පහරේ රිද්මය අල්ලන් උඩ පහළ යයි, ඒ ආසන්නයේ ඇති නිමි නිමී පත්තුවෙන මර්කරි බල්බයේ එළිය පොල් අත්තේ මතුපිට දිලිසෙයි.

"වාටුවේ පිට කාටවත් ඉන්න දෙන්න බැහැ" කියලා එළෙව්වත්, ඇටන්ඩන්ට් කියපු කතාව ඔහුට මතක් විය "කැරකෝප්පුවෙ හොල්මන් නැහැ. තමුසෙලයි ඔළුවේ ඉන්නේ. බය නැතුව ගෙදර ගිහින්, උදේට එනවා"


හොල්මන් බ්ලොග් ට්‍රේන්ඩ් එකට අකුරු කළේ දන්න අඳුනන කෙනෙකුගේ අත්දැකීමක්.


සටහන:
කනත්ත, සුසාන භූමිය, මිනී පිට්ටනිය අපිට හුරු වචන. මේ කනත්ත හැඳින්වූයේ කැරකොප්පුව හැටියට. කැරකොප්පුව ලන්දේසි භාෂාවෙන් පැමිණි වචනයක් ලෙස සැලකෙන අතර, ලන්දේසි බසින් "කැරකොප්" (Kerkhof) යන්නෙන් දේවස්ථානයකට යාබදව පිහිටි සුසාන භූමිය හැඳින්වූ බව කියවේ.

No comments:

Post a Comment

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts