ටවර් ක්‍රේන් (Tower crane) ලෙස බහුලව හැඳින්වෙන මෙය, උස් සිරස් කුළුණු (tower) ව්‍යුහයක් මත සවි කර ඇති, විශාල සහ ස්ථාවර සමතුලිත දොඹකරයකි. ටවර් ක්‍රේන් යන්ත්‍රයක ඉහළ කොටසේ සිට විහිදෙන, තිරස්ව හෝ යම් ආනතියක් සහිතව පිහිටි දිගු බාහුව (boom) —සාමාන්‍යයෙන් 'ජිබ්' (jib) හෙවත් "වැඩ කරන බාහුව" (working arm) ලෙස හැඳින්වේ—ඉදිකිරීම් භූමියක් තුළ බර ද්‍රව්‍ය එසවීමට, නියමිත ස්ථානවල තැබීමට සහ එක් තැනක සිට තවත් තැනකට ගෙන යාමට යොදා ගැනේ (අන්තර්ජාලයෙන් ලබාගත් සරල හැඳින්වීමක පරිවර්තනයකි).
අඩි සිය ගානක උස ටවර් ක්‍රේන් ක්‍රියාත්මක කරන්නෙ ක්රේනයේ ඉහළ පිහිටි කුටියක රැඳී ඉන්නා වූ පළපුරුදු ඔපරේටර් කෙනෙකු විසිනි. එම කුටියට ඔහු ළඟා වෙන්නේ විශාල දම්වැල් වලින් ඔසවන බාස්කට් එකක් වැනි ව්‍යූහයක තුළ බැස ක්රේණයේ උස කුළුණට සමීපව උඩට එසවීමෙනි, ඔහු විසින්ම ක්‍රියාත්මක කරන උපකරණයක පාලනය හරහාය. ඉහළ කුටියේ සිටින ඔපරේටර්වරයා සමඟ සම්බන්ධීකරණය, පණිවුඩ හුවමාරුව ක්රේනය පාමුල සිටින සහායකයෙකු රේඩියෝ (වෝකි-ටෝකි) හරහා සිදු කරයි.
ඩේව් ජනාකීර්ණ නගරයේ උසට ඉදිවෙන නව ගොඩනැගිල්ලක ඉදිකිරීමේ බිමක වැඩ කරන පළපුරුදු ටවර් ක්‍රේන් ඔපරේටර්වරයෙකි. වටේම ඇති අනෙකුත් ගොඩනැගිලි වලට උඩින් ඉදිකිරීමේ කිරිමේ කටයුතු වලට අවශ්‍ය දේවල්, බර ලෝඩ් උඩ පහළ ගෙනියන්න ඔහු ලිෆ්ට් එකෙහි බූමය (boom) හසුරුවන හැටි දකින කෙනෙකුට වෙනම ලස්සනකි, ඔහු ඒ වැඩේට දක්ෂයෙකි. නගරයේ උසම තැනක පිහිටි, ඔහු වැඩ කරන, විශාල ටවර් ක්‍රේන් එක හසුරුවන කුටියේ සිට උදේ හිරු, ඈත අහස පීරන උස ගොඩනැගිලි අතරින් නැඟ එන ලස්සන, දවසේ රාජකාරිය නිමාකර විඩාපත් හිරු වෙරළේ ජල කඳ රිදී පැහැයෙන් සරසන අලංකාරය, චමත්කාරය ඔහු උපරිමයෙන් රසවිඳියි. වැඩට යන එන අතර තුර, කෑම වෙලාවෙදි, එහෙමත් නැති නම් හවසක විවේකයේ ඉන්න වෙලාවෙ දී ඩේව් ජනාකීර්ණ, කලබල නගරයේ ඉහළක හිඳ ඔහු දකින, විඳින දේවල් ඔහුගේ සඟයන් වටකරගෙන රසකර කියන්නට පුරුදුව සිටියා. "පොත් ලියන එකෙක්, කවියෙක් උඩට එක්ක ගියා නම්, පහළට ගේන්න ලේසිවෙන එකක් නැහැ..." ඩේව් නිතරම කියුවා.
සැහැල්ලුවෙන්, විනෝදයෙන් ජීවිතය ගත කරන ඩේව්ගේ කතා ටවර් ක්රේනයේ පාමුල ඉඳන් ඔහුගේ වැඩවලට උදව් දෙන සහකරු, සුනිල්ගේ හිතේ ඊර්ෂ්‍යාවක් ලියලන්නට පටන් ගත්තා. කාලයක් යද්දි එය වෛරයකට හැරුණා. සුදුසුකම් සියල්ල අතැති සුනිල් නිතරම හිතුවේ ඩේව් වැඩකරන කුටියේ වාඩි වෙන්න, ටවර් ලිෆ්ට් ඔපරේටර් වෙන්න.
දවසක්, ඩේව් ටවර් ක්රේනය ක්‍රියාත්මක කරමින් ඉන්නා අතරතුර, පාලනය ගිලිහී එය වේගයෙන් පහළට ඇද වැටෙන්නට විය. දැඩි අරගලයකින් පසු, ඔහුට යම් තාක් දුරකට එය පාලනය කර ගැනීමටත්, යන්ත්‍රයේ දිගු බාහුව (boom) මුහුද දෙසට හරවා ගැනීමටත් හැකි විය. වාසනාවකට මෙන්, එමගින් සිදුවන්නට ගිය මහා විනාශයක් වළක්වා ගැනීමට හැකි විය. වැඩ බිමේ ආරක්ෂක අංශ නිලධාරීන්ගේ සහාය සහ උත්සාහයෙන් ඩේව්ව ආරක්ෂිතව පහළට ගෙන එන ලදී. කෙසේ වෙතත්, ඔහු දැඩි කම්පනයකට (shock) පත්ව සිටි අතර මුඛයෙන් රුධිරය වහනය වෙමින් තිබූ බැවින්, ඔහුව වහාම රෝහල වෙත ගෙන යාමට සිදුවිය. ගිලන් රථයට නංවන අවස්ථාවේදී ඔහු සිහිසුන් විය. දින ගණනාවක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීමෙන් පසු ඔහුව සාමාන්‍ය වාට්ටුවකට මාරු කෙරිණි. මාස කිහිපයකට පසුව ඔහු නැවත සේවයට පැමිණි විට, ඔහුගේ සේවය තවදුරටත් අවශ්‍ය නොවන බව දැනුම් දෙන ලදී. ඔහු භක්තියෙන්, ගෞරවයෙන් කර රැකියාව අහිමිව ඉතා අසරණ වූ ඩේව් මාස කිහිපයකට පසු මෙලෝකයෙන් සමුගෙන ගියේය.
තමාගේ සහායකයා මෙම කුමන්ත්‍රණයට සම්බන්ධ බව ඩේව්ගේ හිත නිතර, නිතර කියන්නට විය.
වෙනදා වගේම උදේ පහටත් කලින් සුනිල් අවදි වුණා. ඩේව් අයියා ගෙන් පසුව ඒ කැබින් එකේ වැඩ කරන එක ඔහුට දැන් අමුත්තක් නොවුණත්, අද උදේ පපුවේ මොකක්දෝ අමුතු බරක් තිබුණා. කවුදෝ බලා සිටින්නාක් වගේ හැඟීමක් ඔහුට දැනුණා.
වෙනදා වගේ ස්ටාෆ් බස් එකේ කවුරුවත් කතා කළේ නැහැ. ඩේව්ගේ ආසනය හිස්ව තිබුණා. කවුරුත් එහි වාඩි වුණේ නැහැ.
ඉදිකිරීම් භූමියට ළඟා වන විටත් අහස අඳුරුය, අළු පැහැයි. අහස පෙනෙන තරම් උස ටවර් ක්‍රේන් මුදුන එක වලාකුළු අතරට ගිලී තිබුණා. බාස්කට් එකට නගින පඩිපෙළ ළඟ සුනිල් නතර වුණා. යකඩ පඩිපෙළ අයිස් වගේ සීතලයි.
"ඩේව් අයියා නැතත් මට පුළුවන්" කියා ඔහු තමාටම කියා ගත්තා.
ඔහු පඩි නගින්න පටන් ගත්තා. එක, දෙක, දහය… සුළඟ වැඩි වුණා. පහළින් ඇසුණු යන්ත්‍ර හඬ ටිකෙන් ටික දුරස් වී, අන්තිමට සම්පූර්ණයෙන්ම නැති වුණා. කුරුල්ලෙකුගේ හඬවත් නැහැ. ඒ නිහඬතාව සාමාන්‍ය එකක් නෙවෙයි.
හදිසියේම ඔහුට ඇසුණා. පිටුපසින්, පඩි පෙළ නගින තවත් කෙනෙකුගේ පා හඬක්, සෙමින්, බොහෝම සෙමින්...
සුනිල් හැරී බැලුවා. කිසිවෙක් නැහැ. හිස් පඩි පෙළ පමණයි.
"මං අහන්නේ… කවුද?"
පිළිතුරක් නැහැ. සුළඟේ කෙඳිරිල්ල පමණයි.
ඔහු වේගයෙන් නැග බාස්කට් එකට ඇතුළු වුණා. ලිවරය ඇද්දා. බාස්කට් එක ඉහළට නගින්න වුණා. අවට නගරය පහළින්, ටිකෙන් ටික කුඩාවි ගියා. ඈත මුහුද රිදී පැහැයෙන් දිලිසුණා. ඩේව් අයියා කියූ ලස්සන ඒකද කියා සුනිල්ට මොහොතකට හිතුණා. බය පොඩ්ඩක් අමතක වුණා.
ඒ අතරම, අහසේ මැදදී, බාස්කට් එක කිසිම හඬක් නැතිව නතර වුණා.
සුනිල් ලිවරය ඇද්දා. ඔබා බැලුවා. නැහැ. කන්ට්‍රෝල් පැනල් එකේ එක ලයිට් එකක්වත් නැහැ. රේඩියෝ බට්න් එක ප්රෙස්කලා, එකෙන් ආවේ කෘමි හඬක් වැනි කුරු කුරු සද්දයක් පමණයි.
"හෙලෝ! හෙලෝ! ඇහෙනවද? බාස්කට් එක හිරවුණා!"
ඔහුගේ හඬ ඒ අනන්ත අහසේ මැකී ගියා.
බාස්කට් එක පතුලේ යකඩ දැලෙන් බැලුවාම, පහළ ඉදිකිරීම් භූමිය කුඩා හතරැස් කුටී පෙළක් වගේ. සුළඟට බාස්කට් එක සෙමින්, සෙමින් සුළඟේ පැද්දෙනවා. අත් දෙකෙන් යකඩ රේලිං අල්ලා ගත්තේ මර බයෙන්. අත්ලේ දහඩිය. හදවත ගැහෙනවා.
එවිටම, හරියටම පිටුපසින්, හුස්මක් වැනි සීතල ඔහුගේ ගෙලට දැනෙන්නට විය.
සුනිල් ගල්ගැහීලා, නොසෙල්වී සිටියා. බාස්කට් එකේ ඔහු හැර කිසිවෙක් නැති බව ඔහු දන්නවා. මීටර් සියයක් උසින්, එහෙනම් මේ හුස්ම කාගේද?
මොහොතකට පසු ඔහුගේ උරහිස් මත යමක බරක් දැනුණා,
බරයි. ඉතා සීතලයි. ඇඟිලි පහක්. සම හරහා ඇට දක්වා විනිවිද යන සීතලක්. ඒවා ඇඟිලි බව ඔහුට හොඳින්ම දැනුණා.
හුස්ම ඇද ගන්න බැරි වුණා. කෑ ගහන්න උත්සාහ කළත් හඬ පිටවුණේ නැහැ. ඇස් පියාගෙන ඔහු මවට, දෙවියන්ට කියූ ප්‍රාර්ථනා සිතින් මතු කළා. ඩේව් අයියාගේ අනතුර, හිස් ආසනය ඔහුට මතක් වුණා.
ඉන්පසු ඒ අත් දෙක, සෙමින්, ඉතා සෙමින්, ඔහුව ඉදිරියට තල්ලු කළා.
බාස්කට් එක පැද්දෙන වේගය වැඩි වෙන්න පටන් ගත්තා, එක පැත්තකට ඇලවුණා.
කෝ, කෝ රෙඩියෝව....
බියජනක අමුතු හිනාවක් ඔහු වටා ඇසෙන්නට විය...
* ගල්මල්-Coral ප්රබන්ධයකි.
තවත් හොල්මන් කතාවක් ළඟදීම බලාපොරොත්තු වෙන්න...
අලුතින් එක් වූ හොල්මන් කතා කියවන්න:
තවත් හොල්මන් කතා:
- ගල්මල්-Coral: නිහඬ කටහඬ
- ගල්මල්-Coral: කැරකොප්පු හොල්මන
- බලුනකුට: වෙල් යායේ අද්භූත පහන් එළිය
- කොළොම්පුරේ: වවුලගල යායේ මහසෝනාගේ හෝරාව
- බකමූණු කතා: මහරගම ගුරුපාරේ කෝපිකඩේ...
- Hot Chocolate Days: බාලිකාවට ආ භූතයෝ
- ඩ්‍රැකීගේ අඩවිය: සීයා සහ පෙට්ටිය
- කොළොම්පුරේ: සීයා සහ පෙට්ටිය (දෙවන කොටස)
බ්ලොග් පෙට්ටගමෙන් හොල්මන් කතා:
- දුමීගේ කට කහන කතා: මේරි ආච්චි
- සිත් ආර: අබූත
- නිදිගෙ පංච තන්තරේ: යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
- අකුරු: අහිමි සඳ

No comments:
Post a Comment