Wednesday, August 26, 2020

උනන නූනන - Water Spring


බුබුලමින්
උනන කල
නොමසුරුව
බෙදන තුරු
ගරුසරු
සැලකුම් ලබන
ළිඳ
වාසනාවකි,
පින්වත්ය.
උල්පත්
හිඳුන දා
වළකි
අවලාද, කුණු
පුරවන.

Tuesday, July 28, 2020

පාට පාට රොඩු - Colored Shavings


තරඟය උන්ගේය
දිනුම ද උනුන්ටමය
පිල් බෙදුන මිනිසුනේ
උල් කර කර
පාට කළේ නුඹයි
නැවත නැවතත්
උන්ගේ සිත්තම
ගෙවෙන තුරු
නුඹේම
පාට
පැන්සල…

Tuesday, July 7, 2020

හලන කුමරියේ - Angle of Freeing



දිරච්ච රෙදිකඩ ගලවා විසිකර
පඩිබර පැත්තට ඇදෙන තරාදිය
මොට්ට කඩුව ලා පසෙක
කුමරියේ නුඹ ගන්නවා
රයිසිය අතට නිතරම 
හනි හනිකට හලනවා
ගල් බොරළු බේරා එමට
ලොකු පොඩි කොටු දැල
සම නැහැ හැම විට
රොඩු බොඩු
හිරකරන බේරන ලතාව
දැලේ හිදැසේ තරමට...

Monday, June 1, 2020

නෙතු සරසන මුව හසරැලි - Smile


ජීවිතය ගමනකි
වට වංගු කඳු දුර්ග පිරි
මගක ඇදෙනා
ලොකු පොඩි මතක
පිරිමැද සිත සතුට ගෙනෙනා
නිමල සිනාවක
මහිමය සිරි සොබනා...

සිත ඉඟිකර සැණිනා
මුව වටා විහිඳි
හකු හා කරන
මුදු චූටි පේශිය
මුවදෙකොන ඉහළට අදිනා
මනරම්ය පූදින මුවමල
සිනාව
හද පතුලින්
සිත සතුටින්ම නම් සොඳිනා
නිසැකය
එසැනින් අවදිකර
සියුම් නාරටි නෙතුවටා
සුමුදු රැළි රැළි ඇඳෙනා
දිගු නීල දෑසේ
නෙතු කැළුමින්
ලස්සන මුව සරසා
අමිල හසරැලි නැඟෙනා

සටහන:
කවි, ගී වලින් අනන්තව වර්ණනා කරන, පින්සලෙන්, මූර්තියෙන් ඔප් නංවන, කාච සිදුරෙන් නෙක හැඩ, කෝණ වලින් අත්පත් කරන මුහුණ තරම් තවත් සුන්දර අංගයක් නැතිතරම්. කාල යාත්‍රාවේ ගමනේ යෙදෙන ජීවිතය එක්ක කෙනෙකුගේ රුව ද විවිධ අවස්ථාවන් පසුකර යුතුම වන්නේය. එය මොන අවස්ථාව, අදියරය වුණත් රුවකට බැඳුණ විශේෂිත, අසම-සම (යුනික්), අමිල වස්තුවක් ලොව ඇත්නම් නම් එය සිනාවය. කාලයත් එක්ක රූ සපුව වෙනස් වුව ද කෙනෙකුගේ සිනාව වෙනස් වේද?

සිනාව සුන්දරය, අයෙකු උත්පත්තියෙන් ලබන අමිල දායාදකි. එහෙත් සිනාව පෑම එහෙමත් නැතිනම් ප්‍රකාශ කිරීමේ තීව්‍රතාවය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්ය. කෙනෙකු කොච්චර දුන්නත් අඩුවක් නොවන වස්තූන් මේ ලොවේ ඇත්නම් සිනාව ඒ අතරින් මුල්තැන ගන්නවා ඇති. පමණක් විටෙක ඒ මද සිනාව ලබන්නා ඒ මොහොතේ ලබන සුන්දරම, මිලකළ නොහැකි දායාදය ඒ සොඳුරු සිනහව වෙන්න පුළුවනි. එහෙත්, වියරු සිනහව අනපේක්ෂිත අප්‍රසන්න අවස්ථාවන් ඇති කරතෑකි.

අපි හැමෝම උපතින් ලද ඒ සුන්දර සම්පත සිනාව සරල ද?

මිනිස් මුව වටා පිහිටා ඇති සියුමැලි මස්පිඩු විශේෂයක් සිනාවට සම්බන්ධය, ඒවා හකු වලට යා වෙලා තියෙන්නෙ. හිතක උපදින සිනහව කියන හැඟීම ස්නායූ මගින් ඒ මස්පිඩු වලට දැනුම් දෙනවා, ප්‍රතිඵලයක් හැටියට මුව දෙකොන ඉහළට ඇදෙනවා. සතුටක සේයාව මුහුණේ ඇඳෙනවා. ඒ සිනාව ඇත්තවශයෙන්ම, අව්‍යාජ නම් එම පුද්ගලයගේ සිත සතුටින් ප්‍රමෝදමත් වෙනවා, මුවමඩලේ ස්නායුවක් විසින් ඒ සුන්දර පණිවුඩය ඇස් වටා පිහිටි සුමුදු මස්පිඩු වෙත අරගෙන පිම්මේ දුවනවා. එහි ප්‍රතිඵලය සුන්දර ඇස්වටා ලස්සන රැළි මතුවෙනවා. අව්‍යාජ සිනාවක් මුවමඩල පුරා විසිරිලා ලස්සන ඇස් කොනින් ප්‍රකාශ වෙන්නේ එහෙමයි.

ඒ ජීව විද්‍යාත්මකව සිනාවක් මතුවෙන අන්දමය. මේ පදපෙල ගැන අදහස එන්නේ මීට අවුරුදු ගණනාවකට පෙර, මා ගුවන් සමාගමක වැඩ කරන කාලේ. ගුවන් සේවක/සේවිකාවන්  බඳවා ගැනීමේ දී සලකන කරුණු අතර සිනාව, කට හඬ, මිත්‍රශීලී බව ආදී නනා ප්‍රකාර දේ ගැන අවධානය යොමුවේ. සාකච්ඡාවකදී  දී ඇති වූ පොඩි පටලැවිල්ලක් නිරාකරණය කරගැනීමට ඒ අංශයට සම්බන්ධ මානව සම්පත් කළමනාකරණ ක්ෂේත්‍රයේ විශේෂඥ, බටහිර ජාතිකයෙකු වූ මගේ සඟයාගෙන් විමසූ කරුණකට පිළිතුර වූයේ "ඉන්ඩස්ට්‍රියට අවශ්ය සිනාව, ඒක ජෙනුයින් ද කියන එක නෙවේ". එය එහෙම වුණත් සම්මුඛ පරීක්ෂණයක දී බොහෝවිට මුහුණේ ඇඳෙන ඉරියව්, විශේෂයෙන් මුව හා ඇස් වලින් ප්‍රකාශ වෙන ඉරියව් ගැන අවධානය යොමුවේ. ඔන්න ඒ කාරණය ගැන විස්තර සොයද්දී මේ පදපෙල ගැන අදහස මතුවෙන්නේ. එදා අද තරම් ලේසියෙන් අන්තර්ජාලයෙන් විස්තර සොයන්න බැහැ, සැහෙන්න උත්සාහ කරලා පොඩි විස්තරයක් සොයාගන්නවා පොතකින්, ඒත් the science of smiles කියන එක පද පෙළකට හරවන්න ගිහින් අතෑරලා දාන්න වුණා. පසුගිය සතියේ අපේ ප්‍රවීණ බ්ලොග් සහෘද රවියාණෝ ගේ බිත්තියේ පොස්ටුවකට කොමන්ටුවක් කරලා මේ උවමනාව ආයේ මතු වුණා. වැඩේ මොනතරම් සාර්ථක ද නැද්ද කියන්න ඔබට බාරයි.

මිනිස් සිරුරක ව්‍යූහය හෙවත් ඇනටොමිය පොදු ආකෘතියක්, ඒ වගේම සිනාව උපද්ධවන මුව වටා පිහිටි, ඇස්වටා පිහිටි සියුම් මස්පිඩු ස්නායු ද පොදුවේ පිහිටන දෙයක් වුවද ලස්සන සිනාවක දායාදය උරුමය එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන්.  ඒ වගේම කෙනෙකුට ජීවිතයේ සිනාසීමට තරම් කාරණයක්, විවේකයක් හෝ වාසනාවක්  නැතුවා වෙන්නත් පුළුවන්. කෙසේ වෙතත්; හැකි සෑම විටම ඔබ මුණගැහෙන කෙනෙකුට ඔබේ නොමසුරු, ලස්සන සිනාවක් පිරිනමන්න. සමහර විට ඒ සිනාව ලබන්නා මුලු දවසටම ලැබූ එකම එක සිනාව එය වෙන්න පුළුවන්. සුන්දර සිනාවකින් ඔබේ මුහුණ පුරා විසිරුන සුමුදු පේශීන් හා සංවේදී ස්නායු ප්‍රකුර්තිමත් වෙනවා වගේම මුහුණ ද ලස්සන වෙනවා ඇති.

English Version: Smile

Sunday, May 24, 2020

දොරඟුළු හැර නිදහසේ - Free from Lockdown


හිත්පිත් නැති
කටු කොරෝනාව
දුව පැන ඇවිදින නුවර
හිරකර නුඹ ගෙදර...
නිදහස කවදා ද
දින ගනිනවා ඇති
පෙරළමින් දින දසුන,
එදවස හෙට නම්...
ඉපිලෙනවා ඇති
සිත...
තුටින,
නුඹ බෝ තුටින...

සුරතල් සතුන්
නුඹ සෙවණේ
සෙනෙහේ ලබන
පැකට් කෑම රස කර බුදින
එන්නත දෙක කාලෙට විඳින
දන්නවා නම් දවස
කූඩුවෙ දොරඟුළු හරින
අනේ උන්ගේ
හිතට...

* අවලාදයක් නොව, නිදහස් සිතුවිල්ලක් පමණි

Wednesday, May 20, 2020

සිත සයුරකි - Mind is an Ocean


සිත සයුරකි
සිතුම් රළ
හැඟුම් නල
මතුවෙන...

English version Mind is an Ocean

Monday, May 18, 2020

සුන්දර මිඳුළක පිපෙන මල්වල ලස්සන, වල්පැල හෙවැනැල්ලෙන් යටපත් වෙන්න දෙන්න එපා

සිරිමෙවෙන් මහත්තයා දවසේ පත්තරෙත් අරන් ආවේ ජැම්සන් ගහ යට බංකුවේ වාඩි වෙන්න හිතාගෙන. ගහේ අතුපතර පනිමින් තොරතෝංචියක් නැතිව සද්ද කර කර ප්රීති වෙන පැණි කුරුල්ලන් දැකලා බංකුවට නොගිහින් ඉස්තෝප්පු පඩියෙම වාඩි වුණා. ඒත් එක්කම වගේ ඈත සිට එන ගිරව් රෑනක් ක්රෑක්..., ක්රෑක්... සද්දෙන් පළාතම දෙවනත් කරමින් පියාසර කරා. සුදුනෝනා පොඩි දුවත් එක්ක ලෙඩෙක් බලන්න ගිහින්.

බැස යන හිරු රැස් පොල් රුප්පව අතරින් පහළින් උඩට විහිදෙන්නට වූයේ යම්තම් උඩට හරවපු ෆ්ලෑෂ් ලයිට් එකක් වාගේය. පොල් රුප්පාවෙන් එපිට ඉස්කෝලෙ වත්තට එහා කඳු ගැටියේ තියෙන දිවුල් ගහේ ඒ මේ අත ඇඹරෙමින් ගිය අතු හිරු රැසින් දිලුණේ හරිම ලස්සනට.


තව විනාඩි කීපයකින් හිරු ඈත මුහුදෙන් බැස අද දවසට සැඟව යනවා ඇති. මුහුදු වෙරළ විනාඩි කිහිපයකින් පයින් යන දුරක පිහිටිය ද වෙරළ දැක සති ගාණක් වුණානේ... සිරිමෙවෙන් මහත්තයාට නිකමට වගේ හිතුණා. දෑතේ ඇඟිලි එකිනෙකට පටලවා අත්ල හිස පිටුපසට ගෙන බිත්තියට හේත්තු වූ ඔහු පැණි කුරුල්ලන්ගේ නැටුම දිහා බලා උන්නා...


ජැම්සන් ගහ දෙපැත්තෙ කොහොඹ පැල දෙකෙන් බංකුවට අමුතු සිසිලක් ලබා දුන්නේ, පහුගිය අවුරුද්දේ කොහොඹ අතුවල බෝවුන දළඹුවන්  නිසා ගහේ අතූ කපා දාන්න වුණ එක ගැන පොඩි දුකකුත් ඇති වුණා. මායිම් වැටට වෙන්න වවාපු රත්මල් පඳුරු පේළියේ අතරමැද දම්පාට මල් පඳුර ලස්සනයි නෙවැ.


ගේට්ටුවෙන් ඇතුල්වී ගෙට ගොඩවෙන අඩි පාර දෙපැත්තේ වවපු රතුතම්පලා පාටට හුරු පොඩි කොළ සහිත පඳුරු, අඩි පාරේ අතුරපු හතැරැස් කොන්ක්රිට් ස්ලැබ්, ඒ ස්ලැබ් අතර වවපු තණකොළ මිඳුලට එක් කළේ ලස්සනක්. පඳුරු පාමුල කවඩි, සිප්පිකටු ඇතිරුවේ පොඩි දුවගේ උවමනාවට නෙහ්.


මිඳුල පුරා තැනින් තැන උස මිට, පාට පාට මල් පැල වලට ඉඩ වෙන් වුණේ පිළිවෙළකට. ක්රෝටන්, ෆර්න්ස්, මුසැණ්ඩාස් තාප්පෙ අයිනට වෙද්දි ගෙයි ජනේල ළඟ, දොරකඩ ළඟ ඉඩ අරගත්තේ රෝස පඳුරු, දහස්පෙතියා, සමන් පිච්ච වැල, ඕකිඩ් වගේ විශේෂ සැලකිලි ලත් උදවිය. සිමෙන්ති මල් පොච්චි කීපයක අරක් ගෙන ඉන්න පාට කීපයක ඇන්තූරියම් කාලෙන් කාලෙට එහා මෙහා වෙනවා.


තණ පිඩැලි ඇල්ලූ මිඳුල පුරා කොළ පැහැ ඇස්වලට මොනතරම් නම් සිසිලක් දෙනවද? ජැම්සන් ගහ යට බංකුව වටේ ගං වැලි පුරවපු රවුම තණකොළ පිරි මිඳුල තවත් ලස්සන කරා.


සීනියාස් මල් පාත්තියේ පාට පාටින් පිරුණ මල් අඩුවක් වුණේ නැහැ. මොනවා හෝ හේතුවක් නිසා මනිප්ලාන්ට් අපේ මිඳුලට හරිගියේම නැහැ නෙව...


"ඇයි තාත්තේ පඩිය උඩට වෙලා..."


"අම්මයි දුවයි ළඟටම එනකම් දැක්කේ නැහැනේ…"


"ඒකනේ… තාත්තා බර කල්පනාවක වැටිලානේ හිටියේ..."


"නෑ දුවේ... බංකුවට යන්නයි ආවේ, ජැම්සන් ගහේ පැණි කුරුල්ලෝ රංචුවක් සෙල්ලමේ හිටියා. උන්ට හිරිහැර කරන්නේ ඇයි කියලා මෙතැන වාඩි වුණා. ඔන්න ඔහේ නිකන් කල්පනාවට වැටුණා..."


"ඒක නෙවෙයි දුවේ, සුභා නැන්දට කෝමෙයි?" සුදුනෝනාගේ කම්මුල් ලාවට වල ගැහෙමින් සිනාවක් ඇදුනත්, නොදැක්කා වගේ සිරිමෙවෙන් මහත්තයා ඇහුවා...


"නැන්දට දැන් හොඳයි. අපි යද්දි මිඳුලේ වල්පැල උගුල්ලනවා. අපිත් තුන්දෙනාම එකතුවෙලා වල්පැළෑටි ගැලෙව්වෙ නැතැයි ඉතිං"


"හොඳයි නේ, English කියමනක් තියෙනවා… Don’t let the tall weeds cast a shadow on the beautiful flowers in your garden


"පුතා දන්නවද ඒකෙන් අදහස් කරන්නේ මොනව ද කියලා?"


“මිඳුලක් කියන්නේ ගෙයකට විශේෂ තැනක් නෙහ්. ලස්සනට, පිළිවෙළට සකස් කරපු මිඳුලක් ගෙයකට  අලංකාරයක් එකතු කරන්නේ. හැබැයි ලස්සන මිඳුලක් හදා ගන්න සෑහෙන්න මහන්සි වෙන්න වෙනවා. පාත්ති හදලා, පැල ඉන්ඳලා, ඒවා ලොකු වෙනකම් සාත්තු කරලා,  මල් දකින්න කාලයක් යනවා. ඒ අතර ලේසියෙන්ම කිසිම මහන්සියක් දරන්නේ නැතුව වල්පැල බිහි වෙන්න පුළුවන්. වල්පැල අයින් කරලා මල්පැල ආරක්ෂා කරගත්තේ නැත්නම් ගෙමිඳුලේ පිපෙන ඕන ලස්සන සුවඳ දෙන මල් යටපත් කරගෙන අර වල්පැල ඉස්මතු වෙන්න පුළුවන්, ඒ යෝධ වල්පැල වල අඳුරු හෙවනැල්ල මල් මත වැටෙන්න පුළුවන්. ඒකත් හරියට මිනිස් හිත වගේ, යහපත් අදහස්, පුරුදු මල්පැල වගේ රෝපණය කර කාලයක් තිස්සේ ඇතිකර ගතයුතු යහපත් අදහස් හා කලක්රියාවයි. වල්පැල කියන්නේ ඒ අතර තුර  නිරායාසයෙන් හිතට ඇතුළුවී, වැඩී, ලස්සන මල්මෙන් වැඩූ යහපත් අදහස් යටපත් කරන්න පුළුවන් අඳුරු හෙවැනැලි. අපි කල්පනාකාරී වුණේ නැත්නම් ඒ අඳුරු හෙවැනැලි අපේ සිත විනාශ කරන්න පුළුවනි, විගහටම. අපි කල්පනාකාරී වෙන්නෙ ඕනේ ඒකයි".


“Don’t let the tall weeds cast a shadow on the beautiful flowers in your garden.”– Steve Maraboli

Sunday, May 17, 2020

කොරෝනා-ෆෝබියාව (Corona-phobia) පරදමු

පසුගිය දිනක දඹුල්ල බස් නැවතුම් පොළේ සිහිසුන්ව ඇදවැටුණ හමුදා සෙබළෙකු හට උපකාර කිරීමට අසල සිටි කිසිවෙකු ඉදිරිපත් නොවූ කනගාටුදායක පුවතක් සැලවුණා. පැය භාගයකට ආසන්න කාලයකට පසුව එම ස්ථානයට පසුකර යමින් සිටි තරුණයින් දෙදෙනෙකු රෝගියාව රෝහල වෙත ගෙනගියද ඒ වෙද්දි රෝගියා මෙලොවින් සමුගෙන සිටි බව කියැවුණි. අසල රැස්ව බලා සිටි පිරිස ඇද වැටුණ රෝගියාට වෙත නොයන්න ඇත්තේ කොරෝනා රෝග බියෙන් වෙන්න ඇති නමුත් එම සෙබළා විටින් විට ෆිට් රෝගී තත්වයෙන් පෙළුණ බව පුවත් වලින් කියැවුණි.

දීර්ඝ සති අන්තය පුරා පැවැති ඇඳිරිනීතිය ලිහිල් කර දවසක උදේ කෝල් එකක් ආවා ළඟපාත වෙසෙන කෙනෙකුගේ ටෙලිෆෝනය සම්බන්ධ කරගන්න ගත් උත්සාහයන් කීපයක් අසාර්ථක වූ කල පණිවුඩයක් ගෙනිහින් දෙන්න මෙන් ඉල්ලමින්. ගෙමිදුලට යන්න බැහැ වතුර. බංකුවක් උඩ එළවළු ජාති කීපයක් අතුරලා, දිය බේරෙනවා. බඩුගෙනා බෑග් කීපයක් සෝදා තාප්පේ අයිනේ වැල්පොටක එල්ලෙනවා. මං සොයාගෙන ගිය පුද්ගලයා දාඩිය පෙරාගෙන ස්කූටිය හෝදනවා. ගෙදර උන්දෑ ග්ලවුස් දා ගත් අතින් බෝතලයකින් තවත් බෝතලයකට එළකිරි වත් කරනවා. වටාපිටාව දැක්කම තත්වය තේරුම් ගියා, ආපු කාරණේ ඉටුකර ආපසු හැරෙද්දි ...හත්තිලව්වේ වෛරසරක නිසා හෝද හෝදම පණ යනවා, කිව්වා.

මූදු රැල්ල බිඳෙන හඬ ඇහෙන තරම් මූහුදට සමීපව පදිංචිව ඉන්න අපිට අළුත් මාළු අරන් සිරිසෝම මුදලාලි ගේදොරකඩටම එන්නේ හැතැප්ම කීපයක් දුර ගෙවාගෙන. කවදාවත් බයික් හැඬලයේ එල්ලෙන රෙදිකඩින් අත පිසලා පිරිසිදු කරන්නේ නැතිව සල්ලි ගන්නෙත් නැහැ, ඉතිරි දෙන්නෙත් නැහැ. පිළිවෙළකට වැඩ කරන පුද්ගලයෙක්. පහුගිය දවසක දි කියනවා දැන් ඉස්සර වගේ වෙළඳාම සරු නැතිලු, පමණක් කට්ටිය සල්ලි ගැණලා ගැණලා දෙන්නේ එයාගෙන් ඉතුරු ගන්න තියෙන අකැමැත්තටලු. ...ඒ උනාට එයාල දෙන දෙන ඒවා අපි ගන්නෙපයි... කිව්වේ දුක්මුසු ස්වරයකින්. මිනිස්සුන්ට තියෙන්නේ රෝග බිය.

මේ උදාහරණ කිහිපයක් පමණි. ලොවම වෙලාගෙන වේගයෙන් පැතිර ගිය කෝවිඩ්-19 වෛරසයෙන් ආසාදනය වී කොරෝනා වසංගතයට ගොදුරුවේ යැයි මහජනයා අතර ඇති රෝග බිය හෙවත් කොරෝනා-ෆෝබියාව (Corona-phobia)  නම් හිත පෙළන භීතිකා රෝගී තත්වය ඊට හේතුවයි. 

කෝවිඩ්-19 ව්යාප්තිය පාලනය කිරීම ඉලක්ක කරගෙන පැනවූ තත්වයන් ලිහිල් කර ද 60% ක ජනතාව පෙර පරිදි නිදහසේ සැරිසරමින් කටයුතු කිරීමට බියක් දැක්විය හැකි බව දින කිහිපයකට කලින් BBC Radio 4 විසින් කරන ලද මත විමසුමකින් හෙළිවී ඇත. එය කොරෝනා-ෆෝබියාව සමාජය කෙරෙහි කරහැකි අයුතු බලපෑමේ තරම කියාපායි.

තවත් දින කීපයකින් කෝවිඩ්-19 පැතිරීම වැළක්වීමට රජය යොදාගත් උපාය මාර්ගයන් වෙන ඇඳිරිනීතිය, ප්රදේශ හුදෙකලා කිරීම, සංචරණ බාධක ආදිය ලිහිල් කළ ද කොරෝනා-ෆෝබියාව නිසා සාමාන්ය ජනජීවිතය මුළුගැන්වීමට ඇති ඉඩකඩ බොහෝය. එය ජන ජීවිතය යථා තත්වයට පත්කරලීමේ ව්යායාමය මෙන්ම ජාතික නිෂ්පාදනය හා ආර්ථිකය නංවාලීමේ උත්සාහය අඩපණ කරන සාධකයක් විය හැකිය. බාධක ලිහිල් කිරීමත් සමඟ පොදු ප්රවාහණ සේවා, කාර්යාල, තැපැල් හල්, බැංකු ආදී දෛනික කටයුතු සෙමින් සෙමින් යථා තත්වයට පත්වෙනවා ඇති. පමණක් පෙදෙස් නිදහසේ සැරි සරන්නට පටන් ගන්නේ සති ගනාවකිනි, ඒ අතර කඩින් කඩ ලද නිදහසින් අඩු වැඩියෙන් ජිනජීවිතය හැඩගස්වා ගත් උදවිය ද වෙති. සමාජයේ පවතින කොරෝනා-ෆෝබියාව නිසා විවිධ මට්ටමේ හැල හැප්පිලි ඇති වෙන්න පුළුවනි. අනුන් පාලනය කරන්න යෑමට වඩා තමන්ට පාලනය කරන්න බැරි දේවල් පාලනය කරීමට උත්සාහ ගැනීමෙන් වැළකී සිටීම කොරෝනා-ෆෝබියාවෙන් තමන් ද මිදී සමාජය ද මුදවා ගැනීමට  මග පාදනවා ඇත.

සමාජය ගත් කල දැනුම, ධාරණය, චිත්ත බලය, විඥානය වගේම අවබෝධය ද විවිධ මට්ටම් වල ඇති මිනිසුන් වෙති. දවසේ බත්පතේ සිට බොහෝ දේ අහිමි වූ අනේක ජනයා ඇති. කවදාවත් නින්දකට අමතරව ගෙදර ඉඳලා පුරුද්දක් නැති කෙනෙකුට සති ගණනාවක් ගෙදර කොටුවෙලා ඉන්න වුණාම ඇතිවෙන මානසික පීඩාවන් ගෙන් අඩු වැඩි අය ඇති. කොරෝනා වසංගතය නිසා අද සමාජ වියමනේ කෙඳි දුරස්වෙලා, පලුදු වෙලා, තැලී පොඩි වූ තැන් ඇති. ඒ අතර ඔබ මා මේ ලස්සන ලංකාවේ ශක්තිමත්ම පුද්ගලයා නොවුණත් දුර්වලම පුද්ගලයා නොවන බව විශ්වාස කරමි. මේ විවසනය හමුවේ ඇද හැලෙන කාඩ්පැක් එකක් වැනි ආර්ථිකය කියන්නේ මිල මුදලින් මැනිය හැකි කිරත හැකි නිෂ්පාදනය හා භෞතික සම්පත් පමණක් නොවේ. අනේක ෆෝබියාවන් කියන බියෙන්, සැකයෙන්, අවිනිශ්චිත බව ආදිය නිසා බැටකන සමාජයක  ආර්ථිකයට වෙන පාඩුව සුළු පටු නොවේ. සමාජයේ මිනිස් බල සම්පත මනසින් නිරවුල් හා ශක්තිමත් නම් ඒ දේශයට මුහුණ දෙන්න බැරි අභියෝගයක් නැත. කඩාවැටෙන ලෝක ආර්ථිකය හමුවේ, ලංකික අපිට ඇති ශක්තිමත්ම හා විශ්වාසවන්තම සම්පත් සමුදාය අපේ මිනිස් ශ්රම බලකායයි.

කොරෝනා වසංගතය ලෝවැසි ජීවිත පෙළමින් සිටිනතර ලෝක දේශපාලන ආර්ථික බළමුළු චීනය වෙත විවිධ පැතිවලින් පහර දෙමින් සිටි. ඉන් එකක් වෙන්නේ චීනය තුළ පිහිටි ලොව කාර්මික බලවතුන්ගේ රටවලට අයත් නිෂ්පාදන කම්හල් චීනයෙන් පිටතට ගෙන යාමට පෙළඹවීමයි. ඒ අනුව ජපාන කියා සිටියේ රථවාහන නිපදවන කම්හල් චීනයෙන් අයින් කරගෙන පිටරටක පටන් ගන්නේ නම් ඒ සඳහා යන වියදම් ජපාන රජයෙන් දරන බවයි. එය එක් උදාහරණයකි.

කොරෝනා වසංගතය අප රටේ නව නිර්මාණ හා නිෂ්පාදන ක්ෂිතිජ ඉම මොනතරම් පුළුල් ද ඈතට විහිඳා ඇද්ද ලොවට පෙන්නුම් කරන්න අවස්ථාවක් උදාකරා. ලක් රජය උත්සුකවි ලෝකයේ නව නිෂ්පාදන ආර්ථික ප්රවණතාවය රටට වැඩදායී ලෙස යොදා ගනීවි කියා හිතන්න පුළුවන්. අන්න එදාට අවැසි මිනිස් බලශක්තිය සුරක්ෂිත කරන්න මුල් පියවර තබන්න ඔබට හා මට අද පටන් ගන්න පුළුවන්, එනම් කොරෝනා-ෆෝබියාවෙන් ලාංකිකයින් ගලවා ගමු. අපේ සිසු ප්රජාව ගලවාගමු.  ෆෝබියා තත්වයන් සුවපත් කරන්න පුළුවන් වෙන්නේ බෙහෙත් පෙත්තකට, කරලකට නොව සෙනෙහසින් පිරි, සුහඳ හදවතකට පමණි.

Friday, May 1, 2020

මැයි දිනය - May Day


වසර 1886 මැයි පළමු දින
වැඩ වරා රොක් වුණ
කම්කරු විරුවනී
හේමාකට් චතුරශ්‍රයේ
පැය අටක වැඩ මුරය ඉල්ලමින
හිත්පිත් නැති උණ්ඩ වරුසාවට
ළය දුන්න සිවු විරුවනි
ආචාරය මෙන්න,
අයුතු බලයට ලේ හැලුමට
විරෝධය පාමින්න
ජන ගඟක් ගැලුවා
දින සිව් වැන්න
තාඩන පීඩන මැද
සිර බත රසකර කන්න
කැප වුණ විරුවනි
ආචාරය මෙන්න,
කම්කරු අයිතිය ජයගන්න
රතු ලෙය පුදා ජීවිත බිලි දුන්න
විරුවන් සිහිකරන
ජගත් මැයි දිනය
ලොව සමරන්න...
සමයකි කටු ඔටුන්නක හැඩ
කුරිරු කොරෝනා වියාදිය
ලොව බිලගන්න
රතු කමිසය ඇඟලා ගන්න
වේදිකාවේ කෑ මොර
නැතුවට ඔන්න
වැඩකරන හැමට
සාධාරණ වැඩමුරයක් දිනුමට
එදා කැපවුන විරුවන් සිහිකරමු
තනි තනිවම අද...

2020 වසරේ මැයි දිනය නිමිත්තෙනි

Tuesday, April 28, 2020

වසන්තය යළි උදාවේවි - Never Doubt Spring Will Come



“The deep roots never doubt spring will come.” 
― Marty Rubin

වඩාත් දුෂ්කර හා අඳුරු (අපිට එතරම් හුරු නැතත් දරුණු හිම කුණාටුවෙන් පීඩා විඳින, හිරු එළිය ලැබෙන්නේ නැති ශීත සෘතුව වගේ) කාලයක් පසුකර අඳුරින් මිදී එළිය ගෙනෙන, මලින් බර වූ ලස්සන, නැවුම් වසන්තය යළි උදාවේවි කියන එක ඒකාන්තයි.

ඉතිං, අඳුර වෙලාගත් මේ දුෂ්කර කාලය අධිෂ්ඨානයෙන් යුතුව පසුකරමු.

Friday, April 17, 2020

මනුස්සකම - Humanity


මනුස්සකම
ජනප්‍රිය පදයකි
හෝඩියේ මුලකුර
මුලට අවුදින්
පහසුවෙන් මතුවෙන
ලොප් වූ කල
යහමින් දිලෙන

Wednesday, April 15, 2020

ඇඳිරියේ විරාමය - Curfew Interval


පඩිපත අහිමි
උර ඇට පෑදුණ
ගිනිගත් හිස්
තෝඩු අරුංගල්
මාල වළලු
අත්ලේන්සුවක ගුළිකරගෙන
බලා ඉන්නවා
ඔරලෝසුවෙ කටු
පිම්මේ දුවනවා
රන් කඩ පොළ
කළුවැල්ලෙ දිලෙනවා
මොනර කොලෙන්
තටුගසලා
සීතල සුපිරි පොළේ 
පෝලිමේ යනවා
සිලි සිලියක් අතේ අරන්
ගෙදර දුවනවා...

Sunday, April 12, 2020

කරදරකාරී පිලාකෝෂයෙන් මිදි නිදහසේ රෑනින් පියාසලන්නට නම්...

දවසක් උදේක හිමිදිරි හිරු රැස විඳිමින් ඇවිදින කෙනෙකු පඳුරක් පසු කර යන අතරතුර දී ඔහු දකිනවා ඉගිලෙන පුංචි, පුංචි සමනළයින් රෑනක්... මොහොතක් නැවතුන ඔහු දකිනවා පඳුරේ අතුපතර එල්ලෙනෙ පිලාකෝෂ ගොඩාක්. පමණක් සැහැල්ලු කෝෂ මද පවනේ වුණත් සෙලවෙනවා, අතු ඉති වල එල්ලීගෙන සුළඟේ කැරකෙනවා. ඒ අතර පමණක් කෝෂ එතරම් සෙලවීමක් නැහැ. බැලූ බැල්මට ඒවා බර වගේ පෙනුණා, සළඹයින් ඉන්නවා ඇතැයි හිතාගත් ඔහු පුරුදු පරිදි ඉදිරියට පිය නඟන්න වුණා.

පසුදා උදේ ද එතැනින් යද්දි ඔහු නැවතී බැලුවා. එතරම් සෙලවුමක් නැති පිලාකෝෂ ගණනින් අඩුවෙලා... කියා හිතාගත් ඔහු ඉදිරියට යන්න ගියා. තැනින් තැන පඳුරු වටේ පියාසලන සමනල රෑන්, රැන් ද දකින්නට වුණා.

ඊට පසුදා උදේ ද එතැනට එන ඔහුට දකින්න ලැබෙනවා යාන්තම් විවර වුණ පිලාකෝෂයකින් එළියට එන්න  වගේ යාන්තම් එඹී බලන පුංචි මුහුණක්. ටික වෙලාවක් ඒ දිහා බලා උන්නා. අතුඉති වල පිලාකෝෂ සෑහෙන්න අඩුවෙලා, සමනල්ලු  ඈතට පියඹා ගිහින් වෙන්න ඇති... පිලාකෝෂයෙන් එළියට එන්න වෙරදරන සමනලයා ගැන ඔහුට බොහෝ දුක හිතුණා. ආපසු හැරී ගෙදර ගිය ඔහු පුංචි කතුරක් අරන් ආවා. සමනළයාට එළියට එන්න පුළුවන් වෙන විදියට පිලාකෝෂයේ පොඩි කැපුමක් දැම්මා කතුරෙන්. සමනලයා පියාපත් සලා නිදහස් වේවි... යැයි බලාපොරොත්තු වුණත්, වෙනසක් වුණේ නැහැ. තවත් ටිකක් කපලා පැල්ම වැඩිකරා. පියාඹා යාවි... කියා හිතුවත් සමනලයා කෝෂයෙන් ගිලිහිලා බිම වැටුණා. බොහෝම පරිස්සමෙන් සමනලයා අරන් අත්තක් උඩින් තියාපු ඔහු ඒ දෙස ටික වෙලාවක් බලා උන්නා.

රිදෙන්න ඇති... ඌ පියාඹලා යාවි... කියලා හිතූ ඔහු ගෙදර යන්න පිටත් වුණා... මග දිගටම අර සමනලයා ගැන ඔහුගේ හිත කරදර කරන්නට වුණා. ආපසු හැරී ආ ඔහුට දකින්නට ලැබුණේ අර සමනලයා ආයෙත් බිම වැටී ඉන්න හැටිය.

සමනලයා ඔසවා පඳුරේ අත්තක තියන්න හිතාගත් ඔහුට දකින්න ලැබුණේ දියර පිරි, ඉදිමුණ බර අත්තටු සහිත පුංචි සමනලයෙක්.


පිලාකෝෂය තුළ වැඩෙන සළඹයා ලස්සන සමනළයෙකු සේ එළියට ආ යුතු වෙන්නේ පිලාකෝෂයේ ඇතිවෙන වෙන පුංචි විවරයක් තුළිනි. ඒ විවරය හරහා තෙරපෙමින් එළියට එන සළඹ තටුවල ගැබ්ව ඇති දිය තරලය මිරිකී ඉවත්වෙන අතරතුර, සමනල තටු සැහැල්ලු වේ.

ඔහු එදා දුටු ඒ පිලාකෝෂයෙන් එලියට එන්න වද විදින සමනලයා, සොබාදහම විසින් එම ජීවියාට දායාදය කර ඇති තවත් එක් පියවරක ගැහැට විඳිමින් ඉන්න ඇති. පුංචි සතා කෙරෙහි ඔහුගේ සිතේ උපන් අනුකම්පාව නිසා ඔහු කතුරක් ගෙන පිලාකෝෂය කපා විවෘත කර ද එම උපකාරය හේතුවෙන් පසුකළ යුතුම වෙන පියවරක් පුංචි සමනළයාට මග හැරුණි, එහි අනිටු ප්‍රතිඵලය වූයේ තටුවල පිරි දියතරළය ඉවත් නොවීම නිසා පුංචි සමනළයාට සොබාවයෙන් හිමිවන දායාදය --සැහැල්ලු අත්තටු ලැබීම; වැළකී යාමයි. ඈත අහසේ ඉහළට පහළට නිදහසේ පිසාසලන වරම නැතිවීම නොවෙද?

ජීවිතයේ මුහුණදීමට සිදුවන හැම දුක්ගැහටක්ම ජීවිතයට ගෙන දෙන්නේ පන්නරයකි. තව විදියකින් කියනවා නම් තිත්ත ආශීර්වාදයකි. අද මුලු ලොවම රෝග බියෙන් වෙලී ගිහින්, පුංචි දරුවාගේ සිට අත්දැකීම් පරිපුන් සෑම මිනිසෙකුම නිම්නැති කරදර ගොඩක, පිඩාවන් මැද කල් ගෙවන්නේ. එය නිදහස, තාක්ෂණය හා පහසුකම් අඩුවක් නැති නූතන සමාජයට හුරු දෙයක් නොවේ.

හිතන්න, දළඹුවා සළඹයෙකුවි වැඩෙන්නේ පිලාකෝෂයක් තුළ. ඒ කාලය තුළ දී සොබාදහම විසින් පුංචි සළඹයාට ලබා දෙන්නේ ලස්සන පාට වලින් හැඩකර අත්තටු යුගලයක්. චූටි සමනළයාට මෙලොවට ප්‍රවිෂ්ට වෙන දොරටුව වෙන්නේ පුංචිම පුංචි විවරයක්, හැම දුක් ගැහටක්ම විඳ ගෙන එහරහා එළියට එන පුංචි සමනලයා හිමි කරගන්නේ ගව් ගාණක් ඈතට හා අහස උසට පියාසැරිය හැකි සවිමත් අත්තටු යුගලයක්.

අනුපමේය මිහිකත මව මෙලොව සංකීර්ණතම ජීවියා වන මිනිස් දූ පුතුන් මත මේ දුක් ගැහැට පැට වූයේ ද හරිමගට ගන්න සැර වේවැල් පාරක් (corrective measure) හැටියට වෙන්න බැරිද. ඒ අතරතුර ඇය මිනිස් සංහතිය විසින් මෙලොව පලුදු කර තැන් පිරිමදිමින් සමනය කරගන්නා සුබ ලකුණු පෙන්නුම කරන්නීය. මේ  දුෂ්කර කාලයට දිරියෙන් මුහුණ දෙමු. අනෙකා ද දිරිමත් කරමු. මේ නුහුරු දුෂ්කර කාලය පසු කළොත් අන්න එදාට මේ අමිහිරි පිලාකෝෂයෙන් තනි තනිව මිදි නිදහසේ රෑනින් පියාසලන්න සවිමත් අත්තටු ලැබෙනු ඇත. එතැනින් ඉහළටත්, ඈතටත් පියාසර කර හැකිවෙනු ඇත.

Stay Home, Stay Safe and Stay Strong


* පිලාකෝෂය = Cocoon, දලඹු කෝෂය

Saturday, March 21, 2020

ජීවිත ජීවත් කරවන්න වෙහෙසෙන ජීවිත හැම ආරක්ෂා වේවා!

බේකරි කඩේ පිහිටියේ අපේ ගෙදරට මීටර 150 ක විතර දුරින්. උදෙන් ඒ යනෙන ගමනේ හමුවෙන පුරුදු මුහුණු බොහෝමයකි.

උදේ අඳුරේම වෙරළ දෙසට ඇදෙන මාළු වෙළෙන්දන් තොග අරගෙන ලහි ලහියේ වෙරළින් ඇතුළත පළාත් වලට ආපසු ඇදෙති.  මේට් බයික් වල හුටු හුටව පරදමින් ඔවුන්ගේ කතාව තොග ගණන්, සිල්ලර මිල නියම කරගැනීම වුවද විශේෂණ පේළියක් එක්ක දේශපාලන ගුණවරුණ වුවද කෙරෙන්නේ ඔවුනට ආවේණික බස් වහරකිනි.

දවසේ වැඩමුරයට සේන්දු වෙන්න දෝ පියාඹන මොටර් සයිකල් බොහෝමයකි, ඒ අතර ද පුරුදු සිනාවකින්, සැලුට් එකක් දාගෙන යන්න අමතක නොකරන කිහිප දෙනෙකි.

ජොගින් රිද්මයේම වෙරළ දෙසට දුවන ඇවිදින, උදවිය කීපදෙනෙකු හමු වීම ද පුරුද්දකි. වේගය, රිද්මය, ඉක්මන, මෝස්තරය කියන කාරණා ගමනක ස්පීඩ් කොන්‍රෝලරය එහෙමත් නැතිනම් ඇක්සලේටරය වුවද සුපුරුදු ලීලාවෙන් පුෂ් බයිසිකලයෙන් වැඩට යනෙන සුපුරුදු මුහුණු ගණනාවකි. පැදිල්ලේ වේගය අනුව දවසක් දෙකක් මගෑරුණද ඔවුන් නිරන්තරයෙන් තවත් උදේක හමුවෙති. බොහෝම හිතවත්ව උදේට සුබ පතමින්, කුළුපඟ හිනාවකින් ගනුදෙනු කර පසුකර යති.

මීට වසර දෙකකට පමණ කාලෙකට කලින් එවැනි බයිසිකල් හිතවතෙකුගේ ගමන නැවතුණි, නමක් ගමක් නොදන්න ඔහු ගැන විපරම් කර ද "ට්‍රාන්සර්" කරල වෙන්නැති හිතුණි.

පසුගිය මෙලේච්ඡ අප්‍රේල් සමයේ නිරස අත්දැකීම් අඩුවක් නැතිව ගෙවුණ, අපිව "ලොක්ඩවුන්" කර තිබූ සමයේ දවසක, මං නොබිව්වොත් සමීපතයන් ලෙඩවෙන මගේ බෙහෙතක් හොය හොයා හෙම්බත්වී ආපසු එන ගමනේ දාඩිය පෙරාගෙන බසයේ අසුන් ගෙන සිටි මා ළඟට ඇවිත් කතා කර කෙනෙකි. මට ඔහුව එකවර හඳුනාගත නොහැකිවිය. අතේ තිබූ කැප් එක හිස පළන්දා ගත් ඔහුව අඳුනාගන්න මහසිවෙන්න වුණේ නැහැ, ඒ අවුරුදු ගණනාවක් උදේ හමුවුන සුපුරුදු "ගුඩ් මෝනින්" හිතවතෙකි, "ට්‍රාන්සර්" කරලා වෙනැනති කියා සිතා සිටි හිතවතාය. පළමු වතාවට අප දෙදෙනා "ගුඩ් මෝනින්", "ගිහින් එන්නම්" යන සීමිත පද කිහිපයකට වඩා යමක් කතා කර අවස්ථාව එය විය. පාදයක කර සැත්කමක් නිසා "බයිසිකල් පැද්දාම, කකුල රිදෙන්න ගන්නවා. දැන් බස් එකේ වැඩට යන්නේ" කී ඔහු ප්‍රදේශයේ මහ රෝහලේ සේවය කරන බව දැන ගත්තෙමි.

ඊයේ (20/3) සවස හයෙන් පටන්ගත් පැය 60ක ඇඳිරි නීතිය බලපැවැත්වේ. අපේ ගෙවල් ඉදිරිපිට පාර,  ගාල්ල-කොළඹ පාරට සේන්දුවන කරාපිටිය රෝහලට දිවෙන ප්‍රධාන පාරකි.  තවත් පැත්තක මුහුදුබඩ දුම්‍රිය මාර්ගයවේ. යකඩ යකා නිදි වෙන්න ඇති, උණ බම්බු රේල්ගේට්ටුව අසල "එලාම්" කන් කරච්චලය ද සද්දයක් නැහැ. ඉඳහිට ඇදෙන වාහනයක්, ස්විච්-ඔෆ් කළොත් හුස්ම ගන්න බැරිවෙයි දෝ හිතා වෙන්නැති පළාතම දෙවනත් කරන මෝටර් බයික් කිහිපයක් හැරෙන්න පැත්ත පළාතම නිහඬයි.

අද උදේ පාන්දර වෙරළ පැත්තට ඇදෙන මාළු වෙළෙන්දන්ගේ කතාව නැත. උදේට හමුවන පුදුරු මුහුණු නැත. කළු දුමින් පළාතම දෙවනත් කරමින් ඩිපෝවෙන් අවදි වෙලා දුවන බස් ද නැත. කවුළු දොරින් පාළු පාර බලාගෙන උන්නෙමි. තවම උදේ හය පහුවුණා විතරයි, "බයිසිකල් පැද්දාම, කකුල රිදෙන්න ගන්නවා" කියූ අර මහත්මයා පුෂ් බයිසිකලය පදිමින් වැඩට යනවා දුටුවෙමි. මෙතැන් සිට අඩුම තරමින් කිලෝ මීටර් හතරක් ඔහු වැඩ කරනවා කී රෝහලට පැදිය යුතුවේ. ඔහු ඊටත් වඩා දුරක් ගෙවා එන බව ද දනිමි.

මේ සටහන ඒ මහත්මයාගේ සේවාවට කැපවීම ඇගයීමටය. එවන් සුව සේවාකට කැපවූ හැම වෙනුවෙන් මතක් කිරීමටය.



Sunday, February 23, 2020

පැනිපිරි රටඉඳි බෙදන්නේ - The Dates Palm Tree


පැනිපිරි රටඉඳි බෙදන්නේ
පාමුල දිය සිහිල, තුරුහිස දවන හිරු
විඳගෙන සවිබල ගස

Monday, February 17, 2020

ලීලාව - The Manner


දැවුවත් කරටිය එමට
පොල් ගසත් නැමෙන්නෙ
ඉරු දෙසට...

Sunday, February 2, 2020

අපායේ හංදිය

හදිස්සියෙම මල පොඩි සිඤ්ඤෝ පරලොව යමින් උන්නෙ...

ඈතින් ලොකු සද්දයක් ඇහෙනවා, හංදිය දිහාට සද්දේ වැඩි වෙනවා, පැහැදිලිව ඇහෙනවා.

ලාබ කරා හාල් ලාබයි...
ලාබයි ලාබයි පොල්...
එන්ඩ, එන්ඩ ලොකු ලූණු තමා ලාබ කරා...

බඩයි පිටයි ඇලෙන්න ඔන්න මෙන්න තියෙන පොඩි සිඤ්ඤෝ ඉනට අත තියාගෙන පැත්තට ඇලවෙලා පොඩ්ඩක් උරහිස පස්සට අරන් බැලින්නම් හන්දියේ වෙළෙන්දෝ පිරිලා, සද්දේ. ඒ අතරින් හීන්දෑරියෙක් මතුවෙනවා...

තක්කාලි ලාබයි, තක්කාලි...

පොඩි සිඤ්ඤෝට පුදුමයි.

ගැඹුරු කටහඬක්! ඕකුන්ට අහුවෙන්න එපා, ඔහේ අපායේ හිටියා ඇති කෙළින්ම යනවා... ඕකුන් හිතූමනාපෙට බඩු විකුණලා අපායට ආපු උන්. ටී බ්‍රේක් එකේ ඇවිත් ලාබෙට විකුණන්නේ අපායෙන් ගැලවෙන්න...

හංදිය අනික් පැත්තේ ලොකූ සෙනඟක්, හරි උනන්දුවෙන් මොනවදෝ අහන් ඉන්නවා.

* මෙය One|Zero|Zero හි වචන සීයේ සීමාවට යටත්ව ලියපු, පල නොවූ කතාවක්

Friday, January 31, 2020

අපායේ හංදියේ හමු වූ බොස් සහ වෙළඳ සේවකයා

පුහ්! මෙච්චර දුරක් ඇවිල්ලත් තවම ඉවරයක් නැහැනේ... හිතූ ඔහු ආ මග හැරී බැලුවේ නළලින් බේරෙන දාඩිය පිට අත්ලෙන් පිහමින්.

ඇවිදින්න පණ නැතිව ඇද, ඇද ඈත එන තම ස්වාමියා දැක්කේ අහම්බෙන් වගේ.

පුදුමයි! ආපහු හැරිලා යන්න තරම් පණක් නැති ඔහු හුන් තැනම නැවතී ගිනියම් බොරළු පිරි පාරේම වාඩි වුණා. තෙහෙට්ටුවෙන් ඇස් ගිලෙන්න වගේ.

ඇයි බොස් මෙහේ?

ඔහේ එකක්වත් තිබ්බයි ඔක්කෝම විකුණලා නේ?

ඇයි? බොස් කිව්වනේ අලුත් ලොට් එක එනවා එකක්වත් තියාගන්න එපා ඔක්කෝම විකුණන්න කියලා.

ඔව්, කිව්වා තමයි, පනහේ ඒවා පන්සීයට දෙන්න පුළුවන්කම තියෙද්දි වෙන මොනවා කරන්න ද?

මොකද වුණේ බොස්?

ඔහේ ඇදගෙන වැටිලා, කස්ටමර් කෙනෙක් 1990 කෝල් කරලා හොස්පිටල් ගෙනිහින්. ඔහේ මළා. ඔහේ කැෂියර් එකත් ලොක් කරලා නැහැ නේ.

මළා, ඉතිං.

ඉතිං තමයි, හොඳ වෙලාවට එකෙක්වත් ඇතුළට ගිහින් නැහැ. බොස් කිව්වේ ටිකක් කේන්තියෙන්.

ඉතිං.

මං ගියේ කෑෂ් කලෙක්ට කරගන්න. සල්ලි ගොඩයි. කිලෝ පහේ අරලිය බෑග් එකකට දාගත්තා. දොර වහගෙන හංගපු ඒවා තියෙනව ද හොයන්න ගත්තා. එච්චරයි මතක, කැරකෙනවා වගේ දැනුණා... දකුණතේ කෆ් එක අතුළෙන් රූටන පණුවෙක් වමතේ දබරැඟිල්ලයි මාපටැඟිල්ලයි අතර හිරකර ඉවතට ඇද දමමින් බොස් කිව්වා.

බලන්න බොස් මංවත් මාස්ක් එකක් දාගන්නේ නැතුවනේ වික්කේ.

යං, යං ඔහේ මෙතැනින් හැරිලා යනවා... හදිස්සියේ ඊතලයක් අරන් ආපු හේවායෙක් බොස්ට කිව්වා.

ඔය ළමයා මේ පාරේ කෙළින්ම යනවා... ඈත පාර දෙපැත්තේ කොළපාටින්, මලින් පිරි පාර අතින් පෙන්නුවා.

Monday, January 20, 2020

විහිදුවන එළිය - The Light


හිරු රැසින්
බැබළුණ ද
අහංකාර සඳ
රැස් දි දී
උගේම එළිය
විහිදුවන්නේ
කඳෝකිමි...


English Version: The Light

Sunday, January 12, 2020

තරුඑළිය - Starlight


මෝදුවෙන සඳ
දිලෙන්නේ
සැඟවුන හිරුගේ
කිරණ අරගෙන…
වියැකෙන සඳ
බැසයන්නේ
අඳුර පතුරවමින…
සඳ එළිය මුවාකල
තරුකැට පෙනෙන්නේ
අඳුර ගිලගත්
අහසේ බැබළෙන…
දුර ඈත ඉඳන්
පුංචි තරු බෙදන්නේ
තරුඑළියම නොවෙද…

English Version: Starlight