පසුගිය දිනක දඹුල්ල බස් නැවතුම් පොළේ සිහිසුන්ව ඇදවැටුණ හමුදා සෙබළෙකු හට උපකාර කිරීමට අසල සිටි කිසිවෙකු ඉදිරිපත් නොවූ කනගාටුදායක පුවතක් සැලවුණා. පැය භාගයකට ආසන්න කාලයකට පසුව එම ස්ථානයට පසුකර යමින් සිටි තරුණයින් දෙදෙනෙකු රෝගියාව රෝහල වෙත ගෙනගියද ඒ වෙද්දි රෝගියා මෙලොවින් සමුගෙන සිටි බව කියැවුණි. අසල රැස්ව බලා සිටි පිරිස ඇද වැටුණ රෝගියාට වෙත නොයන්න ඇත්තේ කොරෝනා රෝග බියෙන් වෙන්න ඇති නමුත් එම සෙබළා විටින් විට ෆිට් රෝගී තත්වයෙන් පෙළුණ බව පුවත් වලින් කියැවුණි.
දීර්ඝ සති අන්තය පුරා පැවැති ඇඳිරිනීතිය ලිහිල් කර දවසක උදේ කෝල් එකක් ආවා ළඟපාත වෙසෙන කෙනෙකුගේ ටෙලිෆෝනය සම්බන්ධ කරගන්න ගත් උත්සාහයන් කීපයක් අසාර්ථක වූ කල පණිවුඩයක් ගෙනිහින් දෙන්න මෙන් ඉල්ලමින්. ගෙමිදුලට යන්න බැහැ වතුර. බංකුවක් උඩ එළවළු ජාති කීපයක් අතුරලා, දිය බේරෙනවා. බඩුගෙනා බෑග් කීපයක් සෝදා තාප්පේ අයිනේ වැල්පොටක එල්ලෙනවා. මං සොයාගෙන ගිය පුද්ගලයා දාඩිය පෙරාගෙන ස්කූටිය හෝදනවා. ගෙදර උන්දෑ ග්ලවුස් දා ගත් අතින් බෝතලයකින් තවත් බෝතලයකට එළකිරි වත් කරනවා. වටාපිටාව දැක්කම තත්වය තේරුම් ගියා, ආපු කාරණේ ඉටුකර ආපසු හැරෙද්දි ...හත්තිලව්වේ වෛරසරක නිසා හෝද හෝදම පණ යනවා, කිව්වා.
මූදු රැල්ල බිඳෙන හඬ ඇහෙන තරම් මූහුදට සමීපව පදිංචිව ඉන්න අපිට අළුත් මාළු අරන් සිරිසෝම මුදලාලි ගේදොරකඩටම එන්නේ හැතැප්ම කීපයක් දුර ගෙවාගෙන. කවදාවත් බයික් හැඬලයේ එල්ලෙන රෙදිකඩින් අත පිසලා පිරිසිදු කරන්නේ නැතිව සල්ලි ගන්නෙත් නැහැ, ඉතිරි දෙන්නෙත් නැහැ. පිළිවෙළකට වැඩ කරන පුද්ගලයෙක්. පහුගිය දවසක දි කියනවා දැන් ඉස්සර වගේ වෙළඳාම සරු නැතිලු, පමණක් කට්ටිය සල්ලි ගැණලා ගැණලා දෙන්නේ එයාගෙන් ඉතුරු ගන්න තියෙන අකැමැත්තටලු. ...ඒ උනාට එයාල දෙන දෙන ඒවා අපි ගන්නෙපයි... කිව්වේ දුක්මුසු ස්වරයකින්. මිනිස්සුන්ට තියෙන්නේ රෝග බිය.
මේ උදාහරණ කිහිපයක් පමණි. ලොවම වෙලාගෙන වේගයෙන් පැතිර ගිය කෝවිඩ්-19 වෛරසයෙන් ආසාදනය වී කොරෝනා වසංගතයට ගොදුරුවේ යැයි මහජනයා අතර ඇති රෝග බිය හෙවත් කොරෝනා-ෆෝබියාව (Corona-phobia) නම් හිත පෙළන භීතිකා රෝගී තත්වය ඊට හේතුවයි.
කෝවිඩ්-19 ව්යාප්තිය පාලනය කිරීම ඉලක්ක කරගෙන පැනවූ තත්වයන් ලිහිල් කර ද 60% ක ජනතාව පෙර පරිදි නිදහසේ සැරිසරමින් කටයුතු කිරීමට බියක් දැක්විය හැකි බව දින කිහිපයකට කලින් BBC Radio 4 විසින් කරන ලද මත විමසුමකින් හෙළිවී ඇත. එය කොරෝනා-ෆෝබියාව සමාජය කෙරෙහි කරහැකි අයුතු බලපෑමේ තරම කියාපායි.
තවත් දින කීපයකින් කෝවිඩ්-19 පැතිරීම වැළක්වීමට රජය යොදාගත් උපාය මාර්ගයන් වෙන ඇඳිරිනීතිය, ප්රදේශ හුදෙකලා කිරීම, සංචරණ බාධක ආදිය ලිහිල් කළ ද කොරෝනා-ෆෝබියාව නිසා සාමාන්ය ජනජීවිතය මුළුගැන්වීමට ඇති ඉඩකඩ බොහෝය. එය ජන ජීවිතය යථා තත්වයට පත්කරලීමේ ව්යායාමය මෙන්ම ජාතික නිෂ්පාදනය හා ආර්ථිකය නංවාලීමේ උත්සාහය අඩපණ කරන සාධකයක් විය හැකිය. බාධක ලිහිල් කිරීමත් සමඟ පොදු ප්රවාහණ සේවා, කාර්යාල, තැපැල් හල්, බැංකු ආදී දෛනික කටයුතු සෙමින් සෙමින් යථා තත්වයට පත්වෙනවා ඇති. පමණක් පෙදෙස් නිදහසේ සැරි සරන්නට පටන් ගන්නේ සති ගනාවකිනි, ඒ අතර කඩින් කඩ ලද නිදහසින් අඩු වැඩියෙන් ජිනජීවිතය හැඩගස්වා ගත් උදවිය ද වෙති. සමාජයේ පවතින කොරෝනා-ෆෝබියාව නිසා විවිධ මට්ටමේ හැල හැප්පිලි ඇති වෙන්න පුළුවනි. අනුන් පාලනය කරන්න යෑමට වඩා තමන්ට පාලනය කරන්න බැරි දේවල් පාලනය කරීමට උත්සාහ ගැනීමෙන් වැළකී සිටීම කොරෝනා-ෆෝබියාවෙන් තමන් ද මිදී සමාජය ද මුදවා ගැනීමට මග පාදනවා ඇත.
සමාජය ගත් කල දැනුම, ධාරණය, චිත්ත බලය, විඥානය වගේම අවබෝධය ද විවිධ මට්ටම් වල ඇති මිනිසුන් වෙති. දවසේ බත්පතේ සිට බොහෝ දේ අහිමි වූ අනේක ජනයා ඇති. කවදාවත් නින්දකට අමතරව ගෙදර ඉඳලා පුරුද්දක් නැති කෙනෙකුට සති ගණනාවක් ගෙදර කොටුවෙලා ඉන්න වුණාම ඇතිවෙන මානසික පීඩාවන් ගෙන් අඩු වැඩි අය ඇති. කොරෝනා වසංගතය නිසා අද සමාජ වියමනේ කෙඳි දුරස්වෙලා, පලුදු වෙලා, තැලී පොඩි වූ තැන් ඇති. ඒ අතර ඔබ මා මේ ලස්සන ලංකාවේ ශක්තිමත්ම පුද්ගලයා නොවුණත් දුර්වලම පුද්ගලයා නොවන බව විශ්වාස කරමි. මේ විවසනය හමුවේ ඇද හැලෙන කාඩ්පැක් එකක් වැනි ආර්ථිකය කියන්නේ මිල මුදලින් මැනිය හැකි කිරත හැකි නිෂ්පාදනය හා භෞතික සම්පත් පමණක් නොවේ. අනේක ෆෝබියාවන් කියන බියෙන්, සැකයෙන්, අවිනිශ්චිත බව ආදිය නිසා බැටකන සමාජයක ආර්ථිකයට වෙන පාඩුව සුළු පටු නොවේ. සමාජයේ මිනිස් බල සම්පත මනසින් නිරවුල් හා ශක්තිමත් නම් ඒ දේශයට මුහුණ දෙන්න බැරි අභියෝගයක් නැත. කඩාවැටෙන ලෝක ආර්ථිකය හමුවේ, ලංකික අපිට ඇති ශක්තිමත්ම හා විශ්වාසවන්තම සම්පත් සමුදාය අපේ මිනිස් ශ්රම බලකායයි.
කොරෝනා වසංගතය ලෝවැසි ජීවිත පෙළමින් සිටිනතර ලෝක දේශපාලන ආර්ථික බළමුළු චීනය වෙත විවිධ පැතිවලින් පහර දෙමින් සිටි. ඉන් එකක් වෙන්නේ චීනය තුළ පිහිටි ලොව කාර්මික බලවතුන්ගේ රටවලට අයත් නිෂ්පාදන කම්හල් චීනයෙන් පිටතට ගෙන යාමට පෙළඹවීමයි. ඒ අනුව ජපාන කියා සිටියේ රථවාහන නිපදවන කම්හල් චීනයෙන් අයින් කරගෙන පිටරටක පටන් ගන්නේ නම් ඒ සඳහා යන වියදම් ජපාන රජයෙන් දරන බවයි. එය එක් උදාහරණයකි.
කොරෝනා වසංගතය අප රටේ නව නිර්මාණ හා නිෂ්පාදන ක්ෂිතිජ ඉම මොනතරම් පුළුල් ද ඈතට විහිඳා ඇද්ද ලොවට පෙන්නුම් කරන්න අවස්ථාවක් උදාකරා. ලක් රජය උත්සුකවි ලෝකයේ නව නිෂ්පාදන ආර්ථික ප්රවණතාවය රටට වැඩදායී ලෙස යොදා ගනීවි කියා හිතන්න පුළුවන්. අන්න එදාට අවැසි මිනිස් බලශක්තිය සුරක්ෂිත කරන්න මුල් පියවර තබන්න ඔබට හා මට අද පටන් ගන්න පුළුවන්, එනම් කොරෝනා-ෆෝබියාවෙන් ලාංකිකයින් ගලවා ගමු. අපේ සිසු ප්රජාව ගලවාගමු. ෆෝබියා තත්වයන් සුවපත් කරන්න පුළුවන් වෙන්නේ බෙහෙත් පෙත්තකට, කරලකට නොව සෙනෙහසින් පිරි, සුහඳ හදවතකට පමණි.
+++
ReplyDelete