සිරිමෙවෙන් මහත්තයා දවසේ පත්තරෙත් අරන් ආවේ ජැම්සන් ගහ යට බංකුවේ වාඩි වෙන්න හිතාගෙන. ගහේ අතුපතර පනිමින් තොරතෝංචියක් නැතිව සද්ද කර කර ප්රීති වෙන පැණි කුරුල්ලන් දැකලා බංකුවට නොගිහින් ඉස්තෝප්පු පඩියෙම වාඩි වුණා. ඒත් එක්කම වගේ ඈත සිට එන ගිරව් රෑනක් ක්රෑක්..., ක්රෑක්... සද්දෙන් පළාතම දෙවනත් කරමින් පියාසර කරා. සුදුනෝනා පොඩි දුවත් එක්ක ලෙඩෙක් බලන්න ගිහින්.
බැස යන හිරු රැස් පොල් රුප්පව අතරින් පහළින් උඩට විහිදෙන්නට වූයේ යම්තම් උඩට හරවපු ෆ්ලෑෂ් ලයිට් එකක් වාගේය. පොල් රුප්පාවෙන් එපිට ඉස්කෝලෙ වත්තට එහා කඳු ගැටියේ තියෙන දිවුල් ගහේ ඒ මේ අත ඇඹරෙමින් ගිය අතු හිරු රැසින් දිලුණේ හරිම ලස්සනට.
තව විනාඩි කීපයකින් හිරු ඈත මුහුදෙන් බැස අද දවසට සැඟව යනවා ඇති. මුහුදු වෙරළ විනාඩි කිහිපයකින් පයින් යන දුරක පිහිටිය ද වෙරළ දැක සති ගාණක් වුණානේ... සිරිමෙවෙන් මහත්තයාට නිකමට වගේ හිතුණා. දෑතේ ඇඟිලි එකිනෙකට පටලවා අත්ල හිස පිටුපසට ගෙන බිත්තියට හේත්තු වූ ඔහු පැණි කුරුල්ලන්ගේ නැටුම දිහා බලා උන්නා...
ජැම්සන් ගහ දෙපැත්තෙ කොහොඹ පැල දෙකෙන් බංකුවට අමුතු සිසිලක් ලබා දුන්නේ, පහුගිය අවුරුද්දේ කොහොඹ අතුවල බෝවුන දළඹුවන් නිසා ගහේ අතූ කපා දාන්න වුණ එක ගැන පොඩි දුකකුත් ඇති වුණා. මායිම් වැටට වෙන්න වවාපු රත්මල් පඳුරු පේළියේ අතරමැද දම්පාට මල් පඳුර ලස්සනයි නෙවැ.
ගේට්ටුවෙන් ඇතුල්වී ගෙට ගොඩවෙන අඩි පාර දෙපැත්තේ වවපු රතුතම්පලා පාටට හුරු පොඩි කොළ සහිත පඳුරු, අඩි පාරේ අතුරපු හතැරැස් කොන්ක්රිට් ස්ලැබ්, ඒ ස්ලැබ් අතර වවපු තණකොළ මිඳුලට එක් කළේ ලස්සනක්. පඳුරු පාමුල කවඩි, සිප්පිකටු ඇතිරුවේ පොඩි දුවගේ උවමනාවට නෙහ්.
මිඳුල පුරා තැනින් තැන උස මිට, පාට පාට මල් පැල වලට ඉඩ වෙන් වුණේ පිළිවෙළකට. ක්රෝටන්, ෆර්න්ස්, මුසැණ්ඩාස් තාප්පෙ අයිනට වෙද්දි ගෙයි ජනේල ළඟ, දොරකඩ ළඟ ඉඩ අරගත්තේ රෝස පඳුරු, දහස්පෙතියා, සමන් පිච්ච වැල, ඕකිඩ් වගේ විශේෂ සැලකිලි ලත් උදවිය. සිමෙන්ති මල් පොච්චි කීපයක අරක් ගෙන ඉන්න පාට කීපයක ඇන්තූරියම් කාලෙන් කාලෙට එහා මෙහා වෙනවා.
තණ පිඩැලි ඇල්ලූ මිඳුල පුරා කොළ පැහැ ඇස්වලට මොනතරම් නම් සිසිලක් දෙනවද? ජැම්සන් ගහ යට බංකුව වටේ ගං වැලි පුරවපු රවුම තණකොළ පිරි මිඳුල තවත් ලස්සන කරා.
සීනියාස් මල් පාත්තියේ පාට පාටින් පිරුණ මල් අඩුවක් වුණේ නැහැ. මොනවා හෝ හේතුවක් නිසා මනිප්ලාන්ට් අපේ මිඳුලට හරිගියේම නැහැ නෙව...
"ඇයි තාත්තේ පඩිය උඩට වෙලා..."
"අම්මයි දුවයි ළඟටම එනකම් දැක්කේ නැහැනේ…"
"ඒකනේ… තාත්තා බර කල්පනාවක වැටිලානේ හිටියේ..."
"නෑ දුවේ... බංකුවට යන්නයි ආවේ, ජැම්සන් ගහේ පැණි කුරුල්ලෝ රංචුවක් සෙල්ලමේ හිටියා. උන්ට හිරිහැර කරන්නේ ඇයි කියලා මෙතැන වාඩි වුණා. ඔන්න ඔහේ නිකන් කල්පනාවට වැටුණා..."
"ඒක නෙවෙයි දුවේ, සුභා නැන්දට කෝමෙයි?" සුදුනෝනාගේ කම්මුල් ලාවට වල ගැහෙමින් සිනාවක් ඇදුනත්, නොදැක්කා වගේ සිරිමෙවෙන් මහත්තයා ඇහුවා...
"නැන්දට දැන් හොඳයි. අපි යද්දි මිඳුලේ වල්පැල උගුල්ලනවා. අපිත් තුන්දෙනාම එකතුවෙලා වල්පැළෑටි ගැලෙව්වෙ නැතැයි ඉතිං"
"හොඳයි නේ, English කියමනක් තියෙනවා… Don’t let the tall weeds cast a shadow on the beautiful flowers in your garden”
"පුතා දන්නවද ඒකෙන් අදහස් කරන්නේ මොනව ද කියලා?"
“මිඳුලක් කියන්නේ ගෙයකට විශේෂ තැනක් නෙහ්. ලස්සනට, පිළිවෙළට සකස් කරපු මිඳුලක් ගෙයකට අලංකාරයක් එකතු කරන්නේ. හැබැයි ලස්සන මිඳුලක් හදා ගන්න සෑහෙන්න මහන්සි වෙන්න වෙනවා. පාත්ති හදලා, පැල ඉන්ඳලා, ඒවා ලොකු වෙනකම් සාත්තු කරලා, මල් දකින්න කාලයක් යනවා. ඒ අතර ලේසියෙන්ම කිසිම මහන්සියක් දරන්නේ නැතුව වල්පැල බිහි වෙන්න පුළුවන්. වල්පැල අයින් කරලා මල්පැල ආරක්ෂා කරගත්තේ නැත්නම් ගෙමිඳුලේ පිපෙන ඕන ලස්සන සුවඳ දෙන මල් යටපත් කරගෙන අර වල්පැල ඉස්මතු වෙන්න පුළුවන්, ඒ යෝධ වල්පැල වල අඳුරු හෙවනැල්ල මල් මත වැටෙන්න පුළුවන්. ඒකත් හරියට මිනිස් හිත වගේ, යහපත් අදහස්, පුරුදු මල්පැල වගේ රෝපණය කර කාලයක් තිස්සේ ඇතිකර ගතයුතු යහපත් අදහස් හා කලක්රියාවයි. වල්පැල කියන්නේ ඒ අතර තුර නිරායාසයෙන් හිතට ඇතුළුවී, වැඩී, ලස්සන මල්මෙන් වැඩූ යහපත් අදහස් යටපත් කරන්න පුළුවන් අඳුරු හෙවැනැලි. අපි කල්පනාකාරී වුණේ නැත්නම් ඒ අඳුරු හෙවැනැලි අපේ සිත විනාශ කරන්න පුළුවනි, විගහටම. අපි කල්පනාකාරී වෙන්නෙ ඕනේ ඒකයි".
“Don’t let the tall weeds cast a shadow on the beautiful flowers in your garden.”– Steve Maraboli
No comments:
Post a Comment