දෑතින්ම කරත්තය තල්ලු කරගෙන හෙමින් හෙමින් ඉදිරියට ඇදෙන සිරිජයන්ත විටින් විට දකුණතින් සීනුව ද හැඬලුවා.
කෝච්චි පාර දුවන බිංගෙට උඩින් වැටුන බෝක්කුව උඩට නගින්න පාර එසවෙන්නේ එකවර පොඩි කඳු ගැටයක් හදමින්.
ඉර අවරට ගිහින් ටික වෙලාවක් ගත වි තිබුණ ද එතරම් අඳුරක් නැති තරම්. බෑවුම පටන් ගන්නවාත් එක්කම පාරේ අයිනට කර කරත්තය නවතා, පිටුපස රෝද දෙකට ලී කට්ට හිරකරපු සිරිජයන්ත කරත්තයේ පැත්තක හයි කර ඇති භූමිතෙල් ලාම්පුව දැල්වූවා.
ලාම්පුව නැතිව ගොම්මන් වෙලාවේ උඩහ බෝක්කුවෙන් කරත්තය ගෙනියන්න එහෙම එපා... වෙළදාමේ මුල්ම පාඩම කියා දුන්නේ කාකගේ පුතා.
දවසේ වැඩ කටයුතු ඉවර කර හෙම්බත්වී ගෙවල් කරා ආපසු ඇදෙන බයිසිකල්කරුවෝ මහත් වෙහෙසක් දරා කඳු ගැටය පසුකරයි. ඇතමෙක් පාමුලදීම බැස බයිසිකලය තල්ලු කරගෙන ගොස් බෝක්කුව උඩ දී බයිසිකලයට ගොඩවී පැද යයි.
අඳුරු වෙලාවේ උඩහ බෝක්කුව අහලකදී බැඳුම් ජාති කෑම ගැන නොයෙකුත් කට කතා පැවතීම නිසා ඒ හරියෙ දී වෙළඳාම එතරම් හොඳ නැති වුණත් ඉන් එහා කඩල කරත්තය එනතුරු බලා ඉන්න අය බොහෝය. බැඳුම් ජාති කීපයක්ම නිතර තියෙන කරත්තය අරන් මෙතැනින් යන එන සිරිජයන්ත ඒ ගැන කිසිවක් කතා නොකර ඉන්න වග බලාගත්තා.
කරත්තය මදක් සොලවා ලී කට්ට කෑලි දෙක ගලවා බක්කිය යට ලාච්චුව තුළට දා වැසූ ඔහු ආයෙත් කරත්තය තල්ලු කරන්න පටන් ගත්තා. කන්ද මුදුනේදී කරත්තය ආපස්සට ඒම වලකන්නටත්, භාජන එහා මෙහා පෙරළීම වලකන්නටත් ලොකු හටනක් දෙන්න වෙනවා. වෙනදා වගේම බොහෝම මහන්සියෙන් කරත්තය බෝක්කුව උඩට ගෙනාව විතරයි, කරත්තයේ යමක් ගැටුණා වගේ දැනී සිරිජයන්ත හිස ඔසවා බැලුවා.
කරදණ්ඩ උසමහත් ගැටවරයින් දෙදෙනෙකු කරත්තය හරස් කරගෙන ඉස්සරහින් හිටී.
"මහත්තයලට මොනව ද ඕනේ?" පුරුදු පරිදි කඩදාසි උරයක් අතට ගෙන, කට පළල් කර උරයේ අඩියෙන් අල්ලාගත් සිරිජයන්ත ඇසුවේ යටහත් පහත්ව.
"අපිට තමුසෙගේ දහ ජරාව ඕනේ නෑ ඕයි. තමුසේ මේ බිස්නස් එක නවත්තන්න ඕනේ එච්චරයි." ඉන් එකෙක් සැරෙන් කීව්වා.
"ඇයි මහත්තයෝ එහෙම කියන්නේ, මං පවුලක් ආරස්සා කරන්නේ මේකෙන් කීයක් හරි හොයලා."
තට්ටුවෙන් අල්ලලා කරත්තය එකපාරට ඉස්සරහින් එසවූ අනෙකා "තමුසෙගේ බයිලා අපිට වැඩක් නැහැ, අපි කියන්න ඕන දේ හොඳින් කිව්වා. තමුසේ දන්නවද අර ඉන්නේ කවුද කියලා?"
හන්දි වල මස්ගොබ පෙන්නන්න වගේ අත්කොට සුදු කමිසයකින් සැරසුණ, මහත කොට කර වටා රන් මාලයක් දිලිසෙන, ඩෙනිමකින් සැරසී බෝක්කුව උඩ අත්වැටට හේත්තුවී හිඳින ගැටවරයෙකු දිහා පෙන්නුවේය. ඔහු දෙපැත්තේ තවත් කොලුවන් තුන් දෙනෙකු අත්වැට උඩ වාඩි වී සිටී.
"රතු මහත්තයාගේ පුතා සුදු මහත්තයා නේද?"
"ඔව්, තමුසේ දන්නවානේ එයා කවුද කියලා..."
"ඒක නෙමේ මහත්තයලා මං කියන දෙයත් අහන්න..." කියනවාත් සමඟම එකෙකු පැන සිරිජයන්තගේ කමිස කොලරයෙන් අල්ලා ගත්තේය.
වහ වහා එතැනට ආ සුදු මහත්තයා "ඕකව අතෑරපං. කියන්න ඕන දේ උඹලා කිව්වා නේද?"
"ඔව් සුදු මහත්තයෝ"
"මේ බිස්නස් එක නවත්තන්න ඔහේට තව දවස් දෙකක් දෙනවා" සිරිජයන්තගේ නහයට ගෑවෙන නෙගෑවෙන තරම් ළඟට ඇවිත් කියූ සුදු මහත්තයා "වරෙල්ලා" කියා නඩේ ද එක්ක බෝක්කු කණ්ඩියේ පහළට බහින්න වුනා.
කිසිවක් හිතා ගත නොහැකිව මොහතක් එක තැන ගල්ගැහී උන් සිරිජයන්ත කරත්තය ඉදිරියට තල්ලු කරා. බෝක්කුව බෑවුමේ නිරායාසයෙන් පහතට ඇදෙන කරත්තය පාලනය කරගන්න ද වෙහෙසක් දරන්නට වේ. ඔහේ විනාඩි දහයක් පමණ ඉදිරියට ගිය විට කඩල කරත්තය මඟ බලා සිටි බාල මහලු හැමෝම කරත්තය වටා රොක්වුනා. කවදත් වගේ පුදුරු පරිදි වෙළෙඳාම සිදුවිය.
තම්බපු කඩල භාජනය හිස්වෙත්ම අනෙකුත් බැදුම් වර්ග තියෙන පොලිතින් බෑග් වල කර තදකර ගැට ගැසූ සිරිජයන්ත හන්දියෙන් පිටත්වුනා. ගෙදරට සේන්දු වෙනතුරු පුරුද්දට වගේ විටින් විට සීනුව හැඬලුවා.
කරත්තය දොරකඩ නතර කර සිරිජයන්ත ගෙතුළට එබිකම් කරා. මිටි බංකුවට බරවී වට්ටියේ අතුරාගත් කොණ්ඩකඩල අහුලන නන්දාට තමා ආ වග කියන්නාක් මෙන් වරක් දෙකක් උගුර පෑදුවා.
"ඔහොම ඉන්න මං එන්නම්..." අහුලා සුද්ද කරපු කඩල කොටහ වට්ටියේ පැත්තකට කරන ගමන් ඕ කීවාය.
"එච්චර දෙයක් නැහැ, මං බඩු ටික අස්කරන්නම්."
"අද ජය පාටයි..."
"ඒක නම් එහෙම තමයි, ඉස්සරට තව ගොඩාක් ජය වේවි."
"ඇයි ඒ?"
"නෑ. මොකුත් නැහැ. නිකමට කිව්වේ." ඇගේ හිතට තව බරක් එක් කරන්නේ මොටදැයි හිතුණ සිරිජයන්ත කතාව යටපත් කළේය.
රෙදිකඩ අරන් සාලයේ පැත්තක ඇති මේසය පිසදා, බිත්තියට නොගෑවෙන සේ මේසය ඉස්සරහට ඇදගත් සිරිජයන්ත මේස කකුල් හතර බහාලා ඇති හිස් කිරිටින් වල භූමිතෙල් ඇත්දැයි බැලුවා. කරත්තයේ ඇති මුරුක්කු, මික්සර් වර්ග පැක්කර ඇති බෑග් එකින් එක ගෙනත් මේසය මත තැබුවා. ඒවා ආරස්සා වෙන විදියට වසා ගැට ගසා තැබුවා. කරත්තය පිසදා ඉස්තෝප්පුවට කර වැසූවා.
පිළිකන්නේ ළිඳට ගොස් ඇඟ සෝදා ගත් සිරිජයන්ත ආපහු එද්දි නන්දා ඇහුලූ කොණ්ඩ කඩල සෝදා පෙඟෙන්න දාමින් සිටියාය. ඒ අසළ තිබූ බඩු ඔතාගෙන ආ පරණ පත්තර පිටුවක් අරන් කියවන්න උත්සාහ කරද හවස සිදුවූ සිද්ධිය හිතේ හොල්මන් කරන්නට විය.
සිරිජයන්ත නිදි නැති රැය පහන් කළේය.
පුරුදු පරිදි උදේ පාන්දර ඇහැරී ලිප ගිනි මැලවූ නන්දා කඩල මුට්ටි දෙක එක්ක පොර බඳින්න පටන් ගත්තා. ඒ අතර තුර තෙම්පරාදුවට අවැසි දේ සූදානම් කරා. පොල් ගෙඩිය දෙබෑ කරගත් ඇය පොල් කෑලි කැපුවා. ගිනිදැල් අඩුවෙන ලිප ලඟට දුවන ඇය කුරුඳු දර කෑල්ල දෙක එක් කරා. වරෙක උඩ නඟින, සුළඟේ නටන ගිනිදැල් වලින් රත්පැහැ ගැන්වූ ඇගේ කම්මුල් වළගැසී ඇති හැටි ඇලවී ඉන්නා සිරිජයන්තගේ හිතේ අනුකම්පාවකට හැරිණ.
සිරිජයන්ත ද නැඟිට ඇවිත් බංකුවේ කොනක හිඳ ගත්තා.
"මොකද අද කලින්ම ඇහැරිලා? කඩල තැම්බෙන්න තව වෙලා තියෙනවා."
වෙනදා කඩල තෙම්පරාදු කරාට පසුව නන්දා සිරිජයන්තව ඇහැරවයි. දෙදෙනා එක්ක පොඩි ග්‍රොසරි බෑග් වල කඩල අහුරයි. උදේ හය වෙද්දි ගෙයින් පිටවෙන සිරිජයන්ත බයිසිකලයෙන් ගොස් කඩයප්පම් කඩ කිහිපයකට කඩල පැකට් දී එමින් ගමන සඳුදා හා බදාදා දිනවල දී ඉස්කෝලේ ගේට්ටුව ළඟ ද කඩල විකුණයි.
ඒ අතර තුර නන්දා හවස් වරුවේ කරත්තයට උවමනා කරන කඩල තැම්බීමට ලක ලැහැස්ති කරයි.
ගෙදර එන සිරිජයන්ත කලින් දා වෙළෙදාමේ ආදායමෙන් ගෙවිය යුතු ණය පියවා අඩුම කුඩුම අරගෙන එන්නේ හවස වෙළඳාමට සූදානම් වීමටය.
වෙනදා නැති කම්මැලිකමක් සිරිජයන්තගේ හිතේ කොනක ලියලයි. නෑ, නෑ දැන්ම නන්දට දැනගන්න තියන්න හොඳ නැහැ.
ටිං ටිං... ටිං ටිං... ටිං ටිං...
වෙනදා මෙන් කඩල කරත්තය උඩ බෝක්කුව නැග ගත්තේය. සිරිජයන්තට දැඩි තෙහෙට්ටුවක් දැනෙන්නට විය. බක්කිය යටින් වතුර බෝතලය අරන් හිස ඔසවා බලද්දී කලින් දවසේ කරත්තය හරස් කර කොලු ගැටව් දෙදෙනා බෝක්කුවේ අත්වැට උඩ වාඩිවී සිටිනවා දුටුවාය. එකෙකු අතේ තරමක මහත පොල්ලක් විය.
"හලෝ, ඊයේ කියපුවා මතකයි නේද? සුදු මහත්තයා නරක මිනිහා කියන්නෙපා."
ඔවුන් මඟ හැර යන්න සිරිජයන්ත හිතා ගත්තේය.
බෝක්කු බෑවුම දිගේ පහළට ඇදෙන කරත්තය ආපස්සට ඇද වෙරෙන් අල්ලා ගත් සිරිජයන්ත ඉදිරියට ඇදුණේය.
සුපුරුදු පරිදි දවසේ වෙළදම ඉවර කර කරත්තය අරන් ගෙමිඳුලට ආවා පමණි. දූවිලි කන්දක් අවුස්සමින් කැබ් රථයක් පාරේ නැවතුණි.
"රතු මහත්තයා..." ඉස්සරහ කරගෙන තවත් දෙදෙනෙකු ගාම්භීර තාලෙට මිඳුලට ආවා.
"අයිසේ සිරි අපි ඔහේව පොඩ්ඩක් හම්බ වෙන්ඩ ආවේ."
"ගෙට, ගෙට ගොඩවෙමු මහත්තයෝ"
"නෑ, නෑ සිරි මෙහෙම හොඳයි. අපි කාරණේට එමු. සිරි දන්නවානේ ගමේ සමිතිය ගැන. යව්වන සමාජය එකේ ප්‍රබල කොටසක්. ගමේ තරුණයින්ගේ අදහස අරහෙන් මෙහෙන් කටගොන්නක් බීගෙන ගමේ කරදර ඇති කරන උන් වැඩි වෙලා කියලා, සිරිගේ ටේස්ට් කඩල බිස්නස් එක බොන උන්ට සපොර්ට් කරනවා කියන එකයි. ඔය අපේ සුදු මහත්තයා යව්වන සමාජයේ සභාපති, ඒකයි ඔහේට අරහෙම දැනුම් දීලා තියෙන්නේ."
"රතු මහත්තයෝ..."
"තව කතා වැඩක් නැහැ. මම මේ ආවේ අපේ දන්න අඳුනනකම නිසා මිසක් ගමේ සමිතියේ සභාපති හැටියට නෙවේ. ඔන්න ඕක නවත්තලා දාපන් බං." කියා සිරිජයන්තගේ උරහිසට තට්ටුවක් දැමූ රතු මහත්තයා කතා කරන්න ඉඩක් නොතියාම හනි හනිකට වාහනේට ගියා.
ගෝලයෙක් දුවගොස් කැබ් එකේ පසුපස දොර ඇරලා දුන්නා. සරම දනිස්සටත් උඩට ඔසවාගත් රතුමහත්තයා වාඩිවෙන ගමන් හිස පැත්තකට ඇලකර සිරිජයන්ත දිහා අමුතු බැල්මක් දැම්මා. දඩාස් ගා මහ හඬින් දොර වැහුවා. දඩාස්... දඩාස් ගා අනික් දොරවල් වැහෙනවාත් එක්කම දූවිලි කන්දක් මතු කර කැබ් රථය ආවාට වඩා වේගයෙන් පිටත්ව ගියා.
තමා මැදිකරගෙන හැම දෙයම කැරකෙනවා වගේ සිරිජයන්ත දැනුණි. කරත්ත බක්කියේ පැත්තක් අල්ලා ගත් ඔහු ගෙය දිහාට හැරුණේ නිකමට වගේ.
"හත් දෙයියනේ..." කරත්ත බක්කිය යටට අත දා වතුර බෝතලය අර ගත් සිරිජයන්ත ගේ දොරකඩ වැතිර ඉන්න නන්දා දිහාට දිව්වේ එක පිම්මෙන්.
දෙවැනි කොටස: තවත් එක් සිරකරුවෙක්-2
මාර ආතල් කතාවක් නෙව. බොහොම සාරයි මේ කතාව.. එක හුස්මට කියවන්න හැකියි.. ජය වේවා
ReplyDeleteබොහෝම ස්තුතියි.
Deleteරතු මහත්තයා සුදු මහත්තයට බයිට් කඩයක දාලා දෙන්නද හදන්නේ , එක හුස්මට කියෙව්වා , ඊලග කොටස කියවන්න එන්නම්
ReplyDeleteබොහෝම ස්තුතියි, මීලඟ කොටස බලමු එහෙනම්.
Deleteඅරක්කු බිස්නස් එක වගේම බයිට් බිස්නස් එකත් සුදු මහත්තය අල්ලගන්න වගේ.
ReplyDeleteඅනික් කොටසින් බලමු.
Deleteබාර් එක රතු මහත්තයගෙද...?
ReplyDeleteමාතලන් උන්නැහේගේ ගෙස් කිරීම ගැන අනික් කොටසින් බලමු.
Deleteඅන්තිම හරිය ටැපලුනා... තුන් පාරක් විතර කියෙව්වමයි පැටලුම ඇරුනේ...
ReplyDeleteඩීන් අයියගේ ලිවීමේ රටාවේ පොඩි වෙනසක් පේනවා... සමහර තැන් කෙටි වාක්‍ය වලින්ම හින්දා පොඩි වාර්ථාකරණ ගතියක් තියෙනවා කියලා හිතෙනවා.. නිකං හරියට රනිල් මහත්තයා කතා කරනකොට වගේ...
//ඒවා ආරස්සා වෙන විදියට වසා ගැට ගසා තැබුවා. කරත්තය පිසදා ඉස්තෝප්පුවට කර වැසූවා.//
//පුරුදු පරිදි උදේ පාන්දර ඇහැරී ලිප ගිනි මැලවූ නන්දා කඩල මුට්ටි දෙක එක්ක පොර බඳින්න පටන් ගත්තා. ඒ අතර තුර තෙම්පරාදුවට අවැසි දේ සූදානම් කරා. පොල් ගෙඩිය දෙබෑ කරගත් ඇය පොල් කෑලි කැපුවා. ගිනිදැල් අඩුවෙන ලිප ලඟට දුවන ඇය කුරුඳු දර කෑල්ල දෙක එක් කරා.//
//ගෝලයෙක් දුවගොස් කැබ් එකේ පසුපස දොර ඇරලා දුන්නා. සරම දනිස්සටත් උඩට ඔසවාගත් රතුමහත්තයා වාඩිවෙන ගමන් හිස පැත්තකට ඇලකර සිරිජයන්ත දිහා අමුතු බැල්මක් දැම්මා. දඩාස් ගා මහ හඬින් දොර වැහුවා. //
ඊ ළග කොටස එනකල් ඉන්නේ...
පැටලුම් සහිත තැන් පෙන්වා දීම ගොඩාක් අගේ කරන අතර බොහෝම ස්තුතියි.
Deleteමේ කතාව ලිවීමේ දී චතුෂ මල්ලි ඇගේ මැරතනය කතාවට ලියූ පහත කොමන්ටුව මතක් වුනා:
//ඩීන් අයියා..උඹ මාර මනුස්සයෙක් බං.
මට උඹත් එක්ක වෙලාවකට යකා නගිනවා.
පත සයිස් කතාවක මුල අල්ලලා..ඒක හුණ්ඩුවක් ඇතුලේ හිර කරලා නවත්තන එකට...
ලියහංකෝ බං ටිකක් දිගට කම්මැලි නැතුව...//
ඊළඟ කොටස කියවා බලමු...
මම මුළින් හිතුවෙ, තෙල් බැදුම් කරත්තෙට ආව හොල්මන් දෙකක් කියලා. බලනකොට, හොල්මන්වලට එහා ජාතියක් ගැනනෙ කතාව.
ReplyDeleteහැබැයි ටිකක් කලබලෙන් ලිව්ව ගතියක් පෙනෙන්ඩ තියෙනවා කතාව පුරාම.
බැදුම් වලට හොල්මන් එනවලු, ඒත් අහිංසක මිනිසුන්ගේ මන හොල්ලන්නේ බල පුලුවන්කාර අය නොවැ...
Deleteමේ කතාව ලියන්න පටන් අරන් මාස ගනනාවක් වෙනවා. පහුගිය ටිකේ තිබුණ වාතාවරණය එතරම් හොඳ නැති නිසා කීප වරක්ම අතරමග නැවැත්තුවා.
අඩුපාඩු පෙන්වා දීම ගැන බොහෝම ස්තුතියි.
කතාව රසවත්. ඒත් ලියා තිබෙන ආකාරය වාර්තා ස්වරූපයක් ගන්නවා. මේවා හදා ගන්න හැකි දේවල්. හොද කෙටි කතා ටිකක් කියවන්න. එවිට යම් සිද්ධියක් ඔවුන් පවසා ඇති අයුරු විමසා බලන්න. ඔබත් එය ඔබේ ශෛලියෙන් ලියන්න බලන්න
ReplyDelete//බැඳුම් ජාති කීපයක්ම නිතර තියෙන කරත්තය අරන් මෙතැනින් යන එන සිරිජයන්ත ඒ ගැන කිසිවක් කතා නොකර ඉන්න වග බලාගත්තා.//
මේ මට හිතුණු විදිය
පුළුටු පිරුණු කරත්තයේ යන සිරිජයරත්ත මේ කිසිවක් නොදන්නා සේ එතැනින් පසුගර ගියේ කටකතා කරුවන් තුට්ටුවකට මායිම් නොකරමින්.
ඔබේ උත්සාහයට මගේ පැසසුම්.
ඔබේ විමසුම/ඇගයීම බොහෝම අගේ කරනවා. බොහෝමත්ම ස්තුතියි.
Deleteහරිම අපුරුයි ඩීන් අයියා.. බොහොම කාලෙකින් ගල්මල් අඩවියෙන් කතාවක් කියෙව්වේ. මටනම් බොහොම හිතට ඇල්ලුවා. ඊලග කොටස එනතෙක්.....
ReplyDeleteබොහෝම ස්තුතියි සෙන්නා. ඉතිරි කොටස් වෙනස්, ලඟදීම පල කරන්න සූදානම්.
Delete@චතුෂ, @නලිනි, @නලීන්:
ReplyDeleteකෙටි කතාව ගැන ඔබ තිදෙනාගේ විමසුම මට බොහෝම වටිනවා. චතුෂ කී විදියට මා වෙනස් විදියකට ලියන්න ගත් උත්සාහය එතරම් සාර්ථක නැහැ කියලා හැඟෙනවා. කතාවේ ඉතිරි කොටස් ද සම්පූර්ණ කරලයි තියෙන්නේ, අවශ්‍ය විදියට වෙන්ස් කරන්න උත්සාහ කරන්නම්.
නැවතත් ඔබ තිදෙනාගේ සටහනට බොහෝම ස්තුතියි.
එක හුස්මට කියෙව්වා සුපිරියි.වාර්තාකරණ ස්වරූපය නැතිකරගන්න උත්සහ කරන්න දිගටම ලියන්න ජයවේවා!
ReplyDeleteගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නවා.
Deleteසටහනට වගේම උපදේසයටත් බොහෝම ස්තුතියි.
රතු මහත්තයාලාගේ ලෝකේ පොඩි මහත්තුරුන්ට ඉඩ නැත.වෙහෙසක් නැතිව කියවිය හැක.
ReplyDeleteගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නවා.
Deleteබොහෝම ස්තුතියි සටහනට.
අමුතු තේමාවක් . මාත් මුලින් හිතුවේ හොල්මන් කතාවක් කියල ..සතුටුයි ඩීන් අය්යා කතාවක් ලියන්න පටන් ගත්තට
ReplyDeleteනිදහස් කියන ලොව වැඩෙන අසාමාන්‍ය කටුකම්බි වැටවල්... ඒ අතර හිරවූ තවත් සාමාන්‍ය චරිත කිහිපයක් මුල්වුනා. බොහෝම ස්තුතියි බින්දි.
Deleteගල්මල් අඩවියට අලුතින් එක්වූ චාමිකා හා දිලිනි සාදරයෙන් පිලිගන්නෙමු.
ReplyDeleteමට නම් මේ කතාවෙත්.. ලිවීම් රටාවෙත් වරදක් පේන්නෙ නෑ.. එය ලියා තිබෙන්නේ සරල බසින්.. කතාවක් තවකෙකුට කියන අයුරින්.. එම ස්වරූපය අකැපයැයි මා නම් සිතන්නේ නෑ.. ඩීන් අයියා මා දන්නා දක්ෂ කතා රචකයෙක්.. විශේෂයෙන් ඔබගේ ඇතැම් යෙදීම් ඉතා සිත්ගන්නා සුළුයි..
ReplyDeleteඔබේ විමසුම් සටහනට බොහෝම ස්තුතියි චතුර මල්ලි. මෙවැනි සටහන් වලින් අපේ පරණ කලා කවය ගැන මතක අලුත් වෙනවා.
Delete