Friday, August 23, 2013

තවත් එක් සිරකරුවෙක්-4 (Prisoner of an Open Jail) -- අවසන් කොටස


පළමුවෙනි කොටස: තවත් එක් සිරකරුවෙක්-1
දෙවෙනි කොටස: තවත් එක් සිරකරුවෙක්-2
තෙවෙනි කොටස: තවත් එක් සිරකරුවෙක්-3

නීතියෙන් නිදහස් වූ තවත් සිරකරුවෙක්... තීන්දුවේ හැටියට රටෙන් පිටමං කිරීමට ලක්වෙන තවත් එක් සංක්‍රමණික සේවකයෙක්... විලංගු වැටුණ දෑත් සඟවා ගත නොහැකිව ඉස්සරහට කරගෙන නිලදරුවන් දෙදෙනා පසුපස වැටී ගුවන් තොටුපොළ තුළට පිවිසුනි. ආගමන විගමන කවුන්ටරයේ රාජකාරිය නිමා වූ වග කියාපාමින් පාස්පොට් පිටු මත මුද්‍රා කීපයක් වැටුණි. එතැනින් නියමිත දොරටුව කරා කැටුව ගිය සිරිජයන්තව ලියකියවිලි හා පාස්පොට් එක සමඟ ගුවන් සේවයේ කාර්ය මණ්ඩල ප්‍රධානියා භාරයට පැවරුණි. ගුවන් පාලම හරහා ඔහු සමඟ  ගොස්, ගුවන් යානයේ පිවිසුම් දොරටුව අසල දී විලංගු ගලවා නිදහස් කෙරිණි. යානයේ අන්තිම මගියා හැටියට ගොඩ වූ සිරිජයන්තව ගුවන් සේවිකාවක් විසින් නියමිත ආසනය කරා එක්ක ගියා. යානය පුරා සිටි හැමෝම තමුන් දිහා බලන් ඉන්නවා මෙන් ඔහුට දැනුණි.

කටුනායකට සේන්දු වූ යානයෙන් බැස යන්න මගීහු නොඉවසිල්ලෙන් පේළි ගැසුන ද කලින් දැනුම් දුන් පරිදි ගුවන් සේවක මඬුල්ලේ ප්‍රධානියා කතා කරන තුරු ආසනයේ රැඳී සිටින්න සිරිජයන්තට සිදුවිය. ගුවන් යානයෙන් බැස ආ මගීන් තම වාරය එනතුරු තවමත් ආගමන විගමන කවුන්ටර ඉදිරිපිට පෝලිම් ගණනාවක බලා සිටී. ප්‍රධානියා පෝලිම මගහැර සිරිජයන්තව ඉස්සරහට එක්ක ගියා. සිරිජයන්තගේ පාස්පොට් එක හා ලියකියවිලි කවුන්ටරයට භාර දුන්නා, ගොඩ බැසීම සනිටුහන් කර ලියකියවිලි ආපහු ඔහු අතට ලැබුණා.

"ඔහේ හිරේ වැටිලා උන්නද?" අහමින් කවුන්ටරයේ උන් මහත්මයා පාස්පොට් එක සිරිජයන්ත අතට දුන්නේ.

සිරිජයන්ත අසරණව බිම බලා ගත්තා.

"යූ කැන් ගෝ නව්, ඩෝන්ට් ෆොගෙට් යුවර් ලැගේජ්. බයි" කියූ ප්‍රධානියා ට්‍රොලි බෑගය ඇදගෙන විගහට යන්න ගියා.

සිරිජයන්ත නිදහස්.

ගුවන් යානා කිහිපයකින් බැස ගත් සෙනඟින් ශාලාව පිරිලා. යානාවලින් ගොඩ බෑ බඩු පොදි එන තුරු නොඉවසිල්ලෙන් බලා ඉඳි, ඒ අතර කඩිසරව එහේ මෙහේ දුවන කාර්ය මණ්ඩලයේ සේවිකාවන් ඔවුනට උපකාර කරයි.

මේ කිසිවක් ගැන සිරිජයන්තට තැකීමක් නැත, තනිවුණා වගේ දැනුණා.

ඉහිරුණ පැතුම් අව්කාෂ්ටක කතරක ගුලිකර, සෝසුසුම් වලින් දවා අළුකර, වියරු දූවිලි කුණාටුවෙම පාකර යැවූ සිරිජයන්ත අවුරුදු දෙකහමාරකට කලින් රැගෙන ගිය පුංචි ගමන් මළුව අතැතිව ගෙදරට ගොඩ විය.

නන්දා ජීවිතය ගැට ගහගත්තේ කඩයප්පම් හදලා. ඇගේ නැන්දා ඇයට හයියක් වුණා. හදිස්සියේ රෝගාතුර වූ ඇය ද මිය ගිහින් මාස දෙකක් ලං වෙලා තිබුණි. නැන්දාගේ වියෝවත් සමඟම කඩයප්පම් හැදිල්ල නතර කර තිබුණ ද කඩල තම්බා පාර්සල් කර කඩවලට දැමීම නන්දා කරගෙන ගියා.

දවස, දෙක ගෙවුණි. සිරි අහන දෙයකට උත්තර දෙනවා මිස වැඩි කතාබහක් නැත. තනියෙම ඉන්න කැමැත්තක් දැක්වූවා. එය නන්දාගේ හිතට කරදර දෙන්න පටන් ගත්තා, ඒත් ඒ ගැන සිරිට දැනෙන්න තිබ්බේ නැහැ.

සුභසාධක සංවිධානයෙන් හා කොම්පැනියෙන් ලැබුණ මුදල් ටික මාරු කරගන්න සිරි ටවුමට ගිය අතර තුර නන්දා හේමාට කතා කරා. හේමා මානසික රෝහලක වැඩකරන පළපුරුදු හෙදියක්.

සිරි මුහුණ පෑ අකරතැබ්බයන් ඔක්කෝම හේමාට කිව්වා.

කාලයක් බිත්ති හතරකට කොටුවෙලා උන් සිරිජයන්තගේ මානසික තත්වය මොනාකාරයේ වෙන්න පුළුවන්ද කියන එක හේමා විසින් නන්දාට පැහැදිලි කර දුන්නා.

"සිරි මොනවද කරන්න බලාපොරොත්තුව?"

"ඕනකරන ආයුධ ටික සූදානම් කරන් ටයිල් වැඩ කරන්නයි කල්පනාව."

"ඒක හොඳයි. ඊට කලින් සිරි ඉන්න තත්වයෙන් ගලවගන්න ඕනේ. ඒක අමාරු දෙයක් නෙවෙයි. පුළුවන් හැම වෙලාවෙම උඹ එයා ළඟින් ඉන්න ඕනේ. සමාජය එක්ක ගැවසෙන ක්‍රමයක් හදා ගන්න ඕනේ. ඒකෙන් එයාගේ හිතේ තියෙන කලකිරීම, කොන්වීම ටික ටික අඩුවෙලා යාවි. නැතුව දැන්ම මේසන් වැඩපොලකට යන එක එයාට හොඳ මදියි... ඇයි නන්දෝ උඹ සද්ද නැත්තේ..."

"මං කල්පනා කළේ කොහොමද ඒ දේ කරන්නේ?"

"උඹේ කඩල බිස්නස් එකට සිරිව සම්බන්ධ කරගනින්, උදේට කඩල පාර්සල් ගෙනියන වැඩේ සිරිට කරන්න පුළුවන්."

"කවුද ගේට්ටුව අරිනවා වගේ, සිරි එනවා ද කොහේද?"

"නන්දෝ, මේක ලෙඩක් නෙවේ. උඹ මේවා ප්‍රශ්නයක් කරගන්න එපා. සිරිට නොදැනෙන්න මේ දේවල් කරන්න ඕනේ. ඕන උදව්වකට මං ඉන්නවා."

මාරුකර ගත් මුදලින් සිරිජයන්ත තිබුණ ණය තුරුස් ඉවර කර දැම්මා. අතේ ඉතිරි වූ සොච්චමින් මොනවා කරන්න ද හිතමින් ඉන්න වෙලාවක කාකගේ පුතා ගෙට ගොඩ වුණේ.

ලොකු කාකලා ඉන්දියාවෙන් ඇවිත් පදිංචි වූ අය. ඔවුන් පිරිමින් කාටත් කතා කළේ කාකා කියලා, ඒ ඔවුන්ගේ භාෂාවෙන් අයියා කියන ගෞරවයෙන්. ගැහැණු උදවියට නෝනා කිව්වේ ලොකු පොඩි බේදයක් නැතිව. සිරිජයන්තගේ තාත්තා වැඩ කර කිරිනැලියේ වෙදමහත්තයාගේ සාප්පුව තිබූ කඩපේළියේ කෙළවරේම කඩකාමරයක කාකලා පදිංචි වෙලා උන්නේ. රස්සාවට කළේ පකෝඩා, මුරුක්කු, බට්ටෝ වගේ දේවල් හදලා පැකට් කරලා කඩවලට දාන එක. දවසක් පිටි මුට්ටය බයිසිකලේ අරන් එද්දි මෝටර් සයිකල් කාරයෙක් පස්සෙන් ඇවිත් හප්පලා කාක වැටිලා, දකුණු කකුල කැඩිලා. වෙළඳාම පවා කරගන්න බැරිව අන්ත අසරණව සිටි කාකට මාස ගාණක් පත්තු හදලා වෙදකම් කළේ සිරිජයන්තලාගේ තාත්තා. දෙමහල්ලෝ ජීවතුන් අතර නැතත් අදටත් පවුල් දෙක හරි එකතුයි. කාකගේ පුතා කිව්වාම නොදන්න කෙනෙක් පළාතේ නැහැ, හිත හොඳ මිනිහා.

"සිරි ඇවිල්ලා කියලා ආරංචි වුණා. බලලා යන්නයි කියලා ආවේ."

සිරිජයන්තගේ අවාසනාවන්ත කතාව ඔහු අසා සිටියා.

"සිරි හැම දෙයම වෙන්නේ මිනිස්සුන්ට. ගිය දේ ගියාදෙන්. දැන් මොනවද කෙරෙන්න ඕනේ?"

කිසි උත්තරයක් නැතිකොට...

"සිරි මං අඳුරන කෙනෙක්ගේ ටෙස්ට් කරත්තයක් තියෙනවා, කවුරුවත් වැඩ කරන්නේ නෑ. නිකං තියෙන්නේ. මං ඒක කතා කරලා දෙන්නම්. අපි බඩු දෙන්නම්. ටේස්ට් කඩල ටිකකුත් දාමු. සිරි බිස්නස් එක පටන් ගන්න."

"ඔව් සිරි එහෙම කරමු. ඔයා වැඩ පටන් ගන්න ආයුධ ටික ගන්නත් එපැයි." කතාවට එක් වුණේ නන්දා.

"බිස්නස් එක පටන් ගන්න, පුළුවන් සපොර්ට් එකක් අපි දෙන්නම්." කාකගේ පුතා උපදෙස් දුන්නා.

"අපි හොඳ දවසක් බලලා වැඩේ පටන් ගමු සිරි" නන්දා එක පයින් සූදානම්.

"එපා, එපා... සිරිට මොකුත් කරන්න එපා... අතෑරපල්ලා."

නිදා උන් නන්දාගේ මොර දීමත් එක්ක තැතිගත් සිරිජයන්ත පියවි ලොවට ආවේ.

"ඇයි නන්දෝ, හීනෙන් බය වුණාද?"

"මට වතුර ටිකක් දෙන්න."

මේසයේ තිබූ එනැමල් ජොග්ගුව අතට ගත් නන්දා වතුර බීගෙන බීගෙන ගියා. ඇගේ නළලින් දාඩිය බේරෙනවා.

"ඔව්, අරුන් ඇවිල්ලා සිරිව වාහනේට ඇදගෙන යනවා..." කඩා හැලෙන්න සැරසෙන කඳුළු ගුලි පිරුණ දෑස් පිට අත්ලෙන් පිසලන ගමන් ඇය සිරිජයන්තගේ උරහිසේ ඔළුව තියා ගත්තා. 

"විකාර, එහෙම වෙන්නේ නැහැ ළමයෝ" හිස කෙස් අතරින් ඇඟිලි දුවවමින් නන්දාගේ හිස පිරිමැදින්න වුණා.

"දැන් වෙලාව කීයද සිරි?"

"හතරට දහයයි."

"කඩල ටික ලෑස්ති කරන්න ඕනේ, මං කුස්සියට යන්නම් සිරි."

"කෝපි ටිකක් බොමුද?"

ටික වෙලාවකින් නන්දා කෝපි අරන් ආවා. බර කල්පනාවේ හිටි සිරිජයන්ත නැඟිට වාඩි වුණා.

"සිරි ඔයා නිදා ගත්තේ නැහැ නේද?"

"හ්ම්..."

"මොකද මේ බස්සෙක් වගේ හ්ම්, හ්ම් කියන්නේ..."

"හ්ම්... බස්සා වෙන මොනවා කියන්නද?"

මොහොතක් කරදර අමතක කර හිනැහුන දෙදෙනා සුපුරුදු උදේ කොපි කෝප්පය රසවින්ඳා.

නන්දා පිටුපස වැටුණ සිරිජයන්ත ද කුස්සියට ඇදුණා...

කඩල මුට්ටි දෙක ඇර බැලූ ඇය පොල් ගෙඩියක් අරන් සුද්ද කරා.

"කෝ දෙන්න" පොල් ගෙඩියයි මහපිහියයි ඇගේ අතින් ගත් සිරිජයන්ත වැරෙන් පාරක් දී පොල්ගෙඩිය දෙබෑකරා. 

"අද නම් එක පාරින්ම බින්දා, සිරි ඔයා කේන්තියෙන් නේද ඉන්නේ" නන්දා හිනැහෙන්න වුණා.

සිරිජයන්ත පොල් කෑලි කපන අතර නන්දා තෙම්පරාදුවට උවමනා දෑ සූදානම් කරා.

"නන්දා."

"ඇයි?"

"අද හවස කරත්තය ගෙනියන්නේ නැහැ, කඩල වතුරෙ දාන්න එපා."

"ඔව් සිරි ඔය වසවර්තියෝ එක්ක හැප්පෙන්න ඕනේ නැහැ."

"ඕකුන්ට බයේ නෙවෙයි නන්දෝ. උන් එක්ක එකට එක කරන්න ගිහින් පොලිසි ගානෙ රස්තියාදු වෙන්න බැහැ. හිරේ විලංගුවේ වැටෙන්න බැහැ. මට එහෙම වුණොත් නන්දා දිහා මේ සමාජය බලන්නේ කොහොමද කියලා මං නොදන්නවා නෙවෙයි. අන්න ඒකයි කරත්තයේ වෙළඳාම නවත්තන්න තීරණය කළේ."

"මං බයේ හිටියේ, සිරි මොන වගේ තීරණයක් ගනීද කියලා" දකුණු ඇහැ හීන් කර මුහුණේ ඇඳුණ අනුකම්පාවෙන් පිරුණ හිනාව ඒ අදහසට එකඟ බව කියා පෑවේය.

"උන්ට දිනුම දුන්නා නෙවෙයි නන්දා, අපි පරාද නැහැ. අද මුලු ගමම උන්ව මහ ඉහළින් පිළිගන්නවා. එහෙම කරන්නේ උන් කවුද කියලා නොදැන නෙවෙයි."

"හ්ම්..." නන්දා හූ මිටි තිබ්බා මිස කිසිවක් කතා කරේ නැහැ.

"රතු මහත්තයලාගේ සීයා, තාත්තා, බාප්පා හැම එකාම කළේ හන්දියේ රේස් මඩු. උන්ගේ ගෙවල් බූරු පොළවල්, කසිප්පු තිප්පොලවල්. ඒ දවස්වල රුක්කත්තන ගහ යට කඩේ අබිං වික්කේ, එතැන අද උන්ගේ ලොකු මන්දිරය හදලා තියෙන්නේ. කාර්වල එන අය එතැන එකතුවෙන්නේ නිකම් නෙවෙයි. පළාතම දුම්. උන්ටම හරි ගිය කාලේ, අද රටේ මිනිස්සු කරන්න ඕනෑ-එපා දේවල් තීරණය කරන්නේ ඒ වගේ උත්තමයන්."

"අපිට ඒව වෙනස් කරන්න බැහැ නේද?" සිරි ගැන නන්දාට බය හිතුණා.

"සිරි කඩල ටික බේරෙන්න දානවයි" කිසිත් කරකියා ගත නොහැකිව මොහොතක් නිහඬව සිටි නන්දා කතාව වෙනතකට හරවන්න උත්සාහ කරා.

පුරුදු පරිදි දෙදෙනා එකතුව කඩල පැකට් සූදානම් කරා.

"මම ඉක්මනට ගිහින් එන්නම්. වැඩියේ මහන්සි වෙන්න එපා, ඕන වුණොත් සිරියාවතීව කතා කරගන්න" කී සිරිජයන්ත උදේ රාජකාරිය සඳහා පිටත්ව ගියා.

එමින් ගමන කාකගේ පුතාට ගණන් බේරන්න ගිය සිරිජයන්ත සිදුවූ දේවල් ඔහුට කිව්වා.

රතුමහත්තයා තුන්මං හන්දියේ කඩපේළියේ කඩකාමර හතරක් අරන් රෙපයාර් කරන බව සිරි දන්නේ නැහැ වගේ... කාකට හිතුණා.

"සිරිගේ තීරණය මොකද්ද?"

"කඩල කරත්තයේ බිස්නස් එක නවත්තන්න හිතුවා..." ඊට මුල් වූ කාරණය ද සිරි විස්තර කරා.

"ඔව් සිරි එහෙම් කරන එක තමයි දැනට හොඳ."

"අපි කරත්තයේ ගනුදෙනු බේරන්නේ කොහොමද?"

"ඒක ප්‍රශ්නයක් කරගන්න එපා සිරි, මං ඒ ගැන කතා කරලා ඔයාට කියන්නම් කෝ..."

"මට දවස් දෙකක් විතර දෙන්න, කරත්තය සුද්ද කරලා ලෑන්ඩ් මාස්ටරයකින් අරන් එන්නම්."

"රෝද තුනටම ටයර් ටියුබ් දාලා සති දෙකක්වත් නැතුව ඇති නේද සිරි?"

"හ්ම්... මොනවා කරන්න ද? කරදරයක් නැති සීදේවි කරත්තේ."

"හරි, සිරිලා මොනව කරන්න ද කල්පනාව?"

"උදේට කඩවලට කඩල පැකට් දාන එක දිගටම කරගෙන යනවා."

"ඒක විතරක් ඇද්ද?"

සිරි මොකුත් කතා කළේ නැත.

"සිරි, මම බඩු දෙන්නම්. පැකට් කරලා බසාරෙකේ හෝල්සේල් දාන්න තැනක් සෙට් කරලා දෙන්නම්. පොලිතීන් සීලර් එකක් මං දෙන්නම්."

"නැහැ, එහෙම හරි නැහැ. කාකලා කරන බිස්නස් එකම අපි කරන එක හරි නැහැ."

"ඇයි?"

"ඔයාලට පාඩු වෙනවා නේද?"

"නැහැ සිරි. ඒක හරිම සිම්පල්. මොනවා කරත් අපිට නියමිත කොටසක් තියෙනවා, ඒක කොයි විදියකට හරි අපිට ලැබෙනවා. අපි කාටහරි පිහිට වුණොත් අපිට ලැබෙන දේ වැඩි වෙන්න පුළුවන්. සිරිලා අපිට පිහිට වුණ අය, මේක අපේ යුතුකම. මොකද කියන්නේ? හොඳ වෙලාවක් බලලා වැඩේ පටන් ගමු."

සිරිජයන්ත නිහඬව උන්නා.

"නන්දාත් එක්ක කතා කරලා හොඳ විදියක් කියන්න සිරි."

ඒ අදහසට නන්දා ද කැමැති වුණා.

එළඹෙන බක් මහේ නව චන්ද්‍ර චාප මතුකරන බලාපොරොත්තුවෙන් මැදින් සඳ අඳුරු අහසේ ඉක්මනින් සැඟවෙන්න හිතුවා.

~~~oOo~~~

සටහන:
මර්මුස්ගේ අනතුරට හේතුව පලංවියේ පැත්තක් ඇණ මුරුච්චි පොට පැනීමෙන් ගැලවී වැටීමෙන් බව දැන හිටියේ ෆොර්මන් විතරයි. අනතුරින් පසුව එතැනට ගිය ඔහු කිසිත් නොවුණා වගේ පලංවියේ හදලා දැම්මේ. එහෙම නොවෙන්න ඔහුද, සමාගම ද නීතියෙන් දඬුවම් විදින්න සිදුවෙන බව ඔහු දැන හිටියා. කොම්පැනියෙන් මර්මුස්ට ලොකු වන්දියක් ගෙවන්නත් වෙන්න තිබුණා. කොම්පැනියේ ඉහළ අයට ද මේ ගැන දැනුම් දුන්නා. සිරිජයන්ත නිදොස් බව දැනගත් ඔවුන් ප්‍රසිද්ධ නීති ආයතනයක වැඩ කරන; අසරණයින්ට ස්වේච්ඡාවෙන් පිහිට වෙන නීතිඥ මහතෙකුගේ සේවාව ලබා ගත්තා. වන්දි මුදල හදා ගන්න මුල් වුණේ ද ඔහුමය.

ඉන්දීය සංක්‍රමණික සේවකයින්ගේ සුභසිද්ධිය වෙනුවෙන් කටයුතු කරන සංවිධානය මෙතැන දී ලාංකිකයෙකුට පිහිටට එන්නේ ඉන් තවත් ඉන්දීය පවුලකට සැලසෙන ආර්ථික වාසිය ඉලක්ක කරගෙන.

අරාබිකරයේ අසරණයින්ට සහන සපයන ස්වේච්ඡා සංවිධානවලට පිං පතා මුදල් පරිත්‍යාග කරන ස්වදේශිකයින් ගැන විටින් විට කියවෙනවා, එය විමතියට කරුණක් වෙන්න පුළුවන්. මේ එවැනි පරිත්‍යාගයකින් මරණ දණ්ඩනයෙන් බේරී ජීවිත දානය ලබාගත් ලාංකිකයෙකුගේ හා නේපාල ජාතිකයෙකු ගැන කියවෙන සිද්ධීන් දෙකක්.

කතාවේ අරමුණ මැදපෙරදිග රැකියාවට ගිය තවත් නිදොස් ලාංකිකයෙකුගේ අවාසනාවන්ත ඉරණම ගෙන හැර දැක්වීම. සිරිජයන්ත  කිසිම පිහිටක් නැති, රාජකාරී මට්ටමෙන් වුණත් සෙතක් ඉටුනොවෙන අන්ත අසරණයින්ගෙන් කෙනෙකු පමණි. මේ කතාව ද කාසිගහ, නන්දුට රෙස්ට්,  කඟවේනිය නුඹ, තව කාසියක්, දුරු රටක කම්මලේ පොඩි නගේ වැනි විදෙස් රැකියාවේ තවත් පැත්තක් පෙන්වන්න කර උත්සාහයක් පමණි. එහෙත් හුදු රචනයක්ම නොවේ.


10 comments:

  1. එහෙම කරපු එක හොඳා.. කතාව ඉහලින්ම රස වින්දා ඩීන් අයියා..

    ReplyDelete
  2. කතාවෙ අන්තිම හරියනං හෙන හැඟීම්බරයි.

    මේ වගේ සිද්ධි කොතෙක් වෙනව ඇත්ද ඔය රටවල්වල. සිරිජයන්ත ඔය මට්ටමෙන් හරි බේරිච්ච එක ලොකු දෙයක්.

    ReplyDelete
  3. ලස්සණ යි. ලස්සණ යි. තව කතා ලියමු.

    ReplyDelete
  4. විචාරක තුමා,හැලප තුමා සමග අලුත්ම තුමා අරූ තුමාගෙ,Aru-ge adaviya වියට පිවිස ජිවිතයේ ලැබූ සත්‍ය අත්දැකීම් කියවන්න කියල මා කාරුණිකව ඔබ සැමට ආරාධනා කරමි.

    ReplyDelete
  5. මෙහෙම වුන එක හොඳයි ..අමනුස්සයෝ අතර මනුස්සයොත් ඉන්නව. කලබලේට ලියලා වගෙයි ඩීන් අය්යා අද. සමහර තැන්වල ලියන බසත් සමහර විටක කතා කරන බසත් යෙදිලා . නමුත් කතාවේ අරමුණ නම් එයින් අඩු වී නැහැ

    ReplyDelete
  6. කතාව එක හුස්මට කියවන්න තිබුනත් කොටසෙන් කොටස කියවලා ඉවර කලා. මුල් කොටස කියෙව්වට පස්සෙ දෙවෙනි කොටස කියවන්නමයි හිත, ඒත් පහුවෙනිදයි කියෙව්වෙ. :)

    'සිරිජයන්ත හා අපි'
    අරාබියේ අපේ එකෙක් නැති තැනකට වැඩට එනවා කියන්නෙ තනිකරම පරණ පවක්, භාෂාව නොදැන පරිසරයට නුහුරුව, ලංකාව මතක් වෙවී මාසයක් හමාරක් ගෙවා ගන්නවා කියන්නෙ හිරබත් කෑමක් වගේම තමා. ටිකෙන් ටික හැම දේකටම හුරු වුනත්, සිරිජයන්තට උනා වගේ දෙයක් උනොත්? ජීවිතයම ඉවරයි, එහෙම නැත්තං ආයෙ මුලක ඉදන්ම පටන් ගන්න වෙනවා.
    වැරදිලාවත් මර්මුස්ගෙ ජීවිතය නැති උනානම්? කම්පැනියට,ෆෝමන්ට හෝ ස්වෙච්ඡා සංවිධානයකට කරන්න පුලූවන් දෙයක් නැති වෙන්න තිබුනා!
    කාතාවේ චරිත වන කාකා, කාකාගෙ පුතා වගේම කතාවෙන් පිට හිටිය Khadim M. Al Daheri වගේ අය ඉන්න නිසා මේ සමාජය තවමත් ලස්සනයි.

    තවත් මේ වගේ කතා (සමහරවිට අත්දැකීම්) ලියන්න. :)

    ReplyDelete
  7. කතාව කියවූ හැමට බොහෝම ස්තුතියි.

    සටහනක් එකතු කර හැමට විශේෂ ස්තුතිය, පසුව වෙන වෙනම පිළිතුරු ලියන්නම්.

    ReplyDelete
  8. අද කතාව කියෙව්වෙ බාගෙට. ඉතිරි කොටස් එක්ක කියවලාම සටහනක් දමන්නම්. අවිවේකය නිසා හිත එකලස් කරන් රස විඳින්නට බැහැ මල්ලියෙ.

    ReplyDelete
  9. මොකද ඩීන් අයියා කාලෙකින් නිෂ්ශබ්ද?

    ReplyDelete