Thursday, September 22, 2011

පුන්සඳ අඳුර


නගරයේම පැත්තක වුණත් පාර දෙපස තියෙන තට්ටු දෙකේ ගෙවල් පේළිය, ඒ ගෙවල් ඉස්සරහට වෙන්න වැටිලා ඇති හැඩේට සිමෙන්ති බිම් ගඩොල් අතුරාපු අඩි පාර, වටා පිටාව කවදත් වගේ නිස්කලංක විය. ගෙවල් වටකර ඇති උස තාප්ප හා පාර අතර පස් තීරුවේ වවා ඇති මල් ගස්වලට අද පාරේ පහන් කණුවලින් එළිය ඕනේ නැහැ වගෙයි. ගෙවල් කිහිපයක් අතර හිදැසක් ඇති වෙන්න ඉඩ හැර ඇති කොටසේ පිළිවෙළට වවාපු මල්පැල, තැනින් තැන ඇති උස ඉඳි ගස් කිහිපයත් අතර සවි කර ඇති සෙල්ලම් පිටියත් අද පාළුවට ගිහින්. ඉඳහිට ඇහෙන සංගීත නාදයක්, අතරින් පතර ගෙයක ඉහළ මාලයේ උස ජනේල වහගෙන කඩා වැටුණ දුහුල් තිර රෙදි අතරින් පාරට පෙනෙන අඳුරු ආලෝකය නොවෙන්න මුලු පළාතම නිහඬතාවය විසින් ගිලගෙන විය.


අතේ ඇති බෝතලයේ ඉතිරි වතුර ටික කටට හලා ගනිමින්ම තාප්පයකට උඩින් පාරට ඇලවූ අරලිය ගහ තියෙන ඉසව්වට ලං වුණා ද විපරම් කර බැලුවේ ඊට ගෙවල් දෙකකට එහා තාප්ප කෙළෙවරේ හයි කරලා තියෙන සිසිල් වතුර කරාමයේ උවමනාව වැඩිපුර දැනෙන්නට වූ නිසාවෙනි.


ලීටර් භාගයේ බෝතලයට වතුර එකක් පුරවාගෙන, තෙතමාත්තු කරගන්න තුවා පොඩ්ඩෙන් මූණ කර හා දෑත් පිසදා ගත්තාම දැනෙන සනීපය... කවදාවත් දැකලා නැති ඒ ගෙදර උදවියට හිතෙන් පිං දීලා එතැන් සිට බස් නැවතුම් පොළට ඇති කිලෝමීටර එකහමාරක් විතර පයින් ගමන ඉක්මන් කරන්නේ පුරුද්දට වගේ. ගෙවල් පේළිය පසුකර මහා පාරට ළඟාවෙත්ම ඇහෙන්න පටන් ගන්නේ තොරතෝංචියක් නැතිව දුවන වාහනවල රෝද පාරේ ලේන් වෙන්වෙන්න හයිකර ඇති දිලිසෙන කෑලි උඩින් පනින වාරයක් පාසා ඇතිවන සරාස්! බරාස්! සද්දය. මහපාරට ලං වෙත්ම ඒ සද්දය ටික ටික වැඩියෙන් දැනෙනවා. නගරය මැදට වෙන්න පාර දෙපස ඇති ගොඩනැගිලිවල උසත් වැඩිවෙන්නේ තරඟයට වගේ කියලා හිතෙනවා. ඒවා පහුකරන වෙහෙසකර දෑස් පුරුද්දට වගේ විපරම් කරන්නේ බස් නැවතුම් පොළ දිහා.


හොල්ට් එකේ එච්චර සෙනඟක් නැහැ... බස් එක ගිහිල්ලා වගේ...


පොලිතින් කවර දෙකකම ඔතාපු මෝබයිලය කලිසමේ සාක්කුවෙන් අරන් වෙලාව බලුවාම දැනගත්තේ අනික් බස් එකට තව විනාඩි දහඅටක් ඉන්න එපැයි... පසෙකින් වූ ලෑලි තීරු වලින් හැදූ බංකුවේ යාම්තමට වාඩි වුණේ දාඩියෙන් තෙතබරිත වූ ඇඳුමෙන් බංකුව තෙමේවිද... සැකයෙනි.


වැළමිටි දණහිස් දෙකට බරකර දෙඅත්ලේ නිකට හොවාගෙන කලබලයෙන් පිරි පාරදෙස බලා උන්නෙමි. මද දුරකින් ඇති සිග්නල් එළියට කුරුමානම් අල්ලන වාහනයක් සෙමින් සෙමින් ඉදිරියට යමින් ඈතට ඇදෙන දෙසට ඇස් යොමු වුණේ නිරායාසයෙනි. එකිනෙක පරයා ඉහළට නැගි ගොඩනැගිලි පේළිය අතරින් පුන්සඳ පේනෙන්නේ නැතත්  ඈත අහස සඳ රැසින් ඔපවත් වෙලාය.


පාර එපිට අලුත් තට්ටු ගොඩනැගිල්ලක් ඉදිවෙමින් පවතී. රෑ තිස්සේ පිරිස වැඩ. ඒ ඉදිරිපිට පෙළට නවතා ඇති කොන්ක්‍රිට් මිශ්‍රණ ගෙනෙන වාහන පෙළකි. ඉහළටම එසවෙන කොන්ක්‍රිට් පොම්පකරන යන්ත්‍රය අවැසි පරිදි එහා මෙහා කර සූදානම් කරන ආරක්ෂක හිස්වැස්මක් පැළඳ සිටි කඩිසර තරුණයෙකු නෙත ගැටුනි. ඔහු වරෙක වෝකි ටෝකියකින් පහළ සිටින අය දෙස බලමින් උපදෙස් දේ. කඩිසර ඔහු සෝපානයෙන් බිමට බැස ඇවිත් කොන්ක්‍රිට් මිශ්‍රණයෙන් සාම්පල් ගෙන පිරික්සයි. නැවත ඉහළට යන ඔහු යමක් විපරම් කර බලා ආයෙත් පහතට එයි. පළාතම දෙවනත් කරමින් කොන්ක්‍රිට් පොම්පය පණ ගැන්වේ. පෝලිමේ ඇති වාහනවලින් කොන්ක්‍රිට් මිශ්‍රණ පොම්පයට හිස්වේ, පෝලිමේ උන් වාහන එකිනෙක අඩුවේ. පළාතම නිහඬ කරමින් කොන්ක්‍රිට් පොම්පය නවතී. ඇතෙකු හොඬ පහත් කරන විදියට නිල්පැහැ නල කොටසින් කොටස පහත් වී කොන්ක්‍රිට් පොම්පය ඇකිළුණි. අර තරුණයා සෝපානයේ නැගී නැවත ඉහළට ගියේය. අට්ටාලයේ උඩ වැඩ කර අය ඔහු වට කරගෙන කතාකරනු පෙනේ.


තව අවුරුදු තුන හතරකින් ලෙකු පුතාත් මේ විදියට වැඩ කරාවි කියන ආඩම්බරයකින් හිත පිරුණි.


ඈතින් එන බසය දැක බංකුවෙන් නැගිට්ට විට පිට දිගේ බේරෙන දාඩිය බිඳු තරඟයට මෙන් කොඳු ඇට ගනිමින් පහතට ඇදෙනවා දැනුණි.


හ්ම්... කමක් නැහැ, මොන දුකක් විඳලා හරි කොල්ලෝ දෙන්නා ගොඩ දානවා.


බස් එකට අතුල් වෙනවාත් එක්කම...


"ජයසෝම අයියේ... සෙනඟත් නැති එකේ මෙහාට ඇවිත් අතපය දිග ඇරලා වාඩියං අයියේ..."


"හරි හරි... අද රනේත් පරක්කුවෙලා වගේ?"


"ඔව් අයියේ, හෙට ස්ටෝරුවේ රෙපයාර් එකක්. රාක්ක පේළි දෙකක්ම අලුත් තැනකට මාරු කරන්න වුනා. එකෙන් පැය එකහමාරක් විතර වැඩියේ වැඩ කරන්න වුණා"


"හොඳයි, හොඳයි"


"මොන හොඳක් ද බං අයියේ, සතයක්වත් වැඩිපුර දෙන එකෙක්යැ ඒකා."


"ජයසෝම අයියා පරක්කු වුණේ?"


"තාප්පේ එහා පැත්තේ ගහෙන් ඉඳුනු රට ඉඳි වැටිලා තණකොළ තැනින් තැන විනාශ වෙලා තිබුණේ. හෙට නිවාඩු දවස නිසා ඒවා සුද්ද කරලා අලුතෙන් හිටවන්න දාගත්තේ අදට."


"අර හොයපු තණකොළ ඇට ජාතිය හම්බ වුණාද?"


"ඔව් මල්ලි, බොහෝම අමාරුවෙන් හොයාගත්තා ගාන නම් ටිකක් වැඩියි. ඒවා වැවිලා ගොඩ එනකම් ලේසි නැහැ."


"වැරදුණොත් සල්ලි හම්බ වේවිද?"


"ප්‍රශ්නයක් වෙන එකක් නැහැ..."


“ඒක නෙවෙයි ජයසෝම අයියේ... හවස සනී හම්බ වුණා, ආයෙත් විස්ස විද්‍යාලවල කලබල වගේ කිව්වේ. මං හිතුවේ දන්නවා ඇතියි කියලා. උඹ ඒ ගැන කල්පනා කරන්න එපා අයියේ. හෙට උදේ මං නංගිට කතා කරනවා, ඉන් පස්සේ උඹට කෝල් එකක් දෙන්නම්. මං ඉස්සරහ හෝල්ට් එකෙන් බහිනවා.”


“ඇයි මෙතැනින් බහින්නේ?”


“අස්කරන ගෙයක බඩු පැක් කරන පාට් ටයිම් එකක් ලැබුණා, රෑ තිස්සේ ඒ වැඩේ කරලා ඉවරයක් කරන්න පුලුවන්. සනියත් එනවා වාහනේ අරන්. දැනටත් හොල්ට් එකේ බලන් ඉන්නවා ඇති.”


රනේ තනිකඩයා. මොනවා හරි කරලා සල්ලි ටිකක් හොයාගෙන මල්ලිවයි නංගිවයි උගන්වනවා. හිත හොඳ එකා.


අතරින් පතර දෙතුන් දෙනා එකතුවෙන බසය නගරයෙන් ඉවතට ඇදේ. ඉන් බොහෝ දෙනෙක් අමතර ආදායමක් උපයන්න මොනවා හෝ වැඩක් කරලා නවාතැන කරා යන අය වෙති. පමණක් උදවිය බර නින්දේය. බසයේ එතරම් සෙනඟක් නොවූයේ රෑ එකළොහ ද පහුවී ඇති නිසාය.


වීදුරු කවුළුවෙන් ඔහේ ඉවත බලා සිටියෙමි...


නගර සභාවකට අයත් පැල තවානක් පවත්වාගෙන ගිය සමාගමක අත් උදව්කරුවෙක් හැටියට මැදපෙරදිග රැකියාවකට ආ තමා වීරසේකර මහත්තයාගේ මඟපෙන්වීම යටතේ තවාන්කරුවෙක් වීම, එතැන් පටන් ක්‍රමයෙන් පැල සකස් කිරීම, ගෙවතු සැකසීම ආදිය පළපුරුද්දෙන් කර හැටිත් එකිනෙක රූප පෙළ ගැහෙන්නට විය. පෙරළා ගමරට ගිය තමා සංචාරක හෝටල් කිහිපයකම උයන්පල්ලෙක් හැටියට වැඩ කර ද තමන්ගේම ගෙයක් හදාගැනීමේ සිහිනය නිතර කල් දැමූ හැටිත් ලොකු පුතා උසස් පෙළ පන්තියට ඇතුල් වෙද්දී රැකියාවක් නැතිව සිටි හැටිත් හිතට ආවේය.


ජයසෝම නැවත වරක් මැදපෙරදිග රැකියා සොයන්න පටන් ගනී. තම හැකියාව ඔප්පු කිරීමේ ක්‍රමයක් නැතිව උයන්පල්ලෙක් හැටියට රැකියාවක් සොයාගන්න නොහැකිව රජයේ ආයතනයක සේවා සපයන සමාගමක සුළු සේවකයෙකු හැටියට රස්සාවට එයි.


මාස කිහිපයක් උත්සාහ කර ගෙවත්තක් නඩත්තු කරන අමතර රැකියාවක් සොයාගනි. පුංචි ගෙවත්තේ කොහොඹ ගස් දෙක හා තැනින් තැන දුඹුරු වූ කේඩෑරි තණකොළ පියැදි කීපයක් හැර වෙනෙකක් නොවිය. එය මාස කිහිපයකින් මල් පැල වලින් පිරි, ඒ අතර ගල් ඇතිරූ ලස්සන ගෙවත්තක් බවට පත්කරයි. ඉහළ මට්ටමේ බැංකු නිලධාරියෙකු වූ ගෙහිමියා තම පඩිය වැඩිකර දුන් හැටි සිහිවිය. ඊට පසු ඔහුගේ මිතුරෙකුගේ ගෙවත්තක් සැකසීමට ද ජයසෝමට පැවරිණ.


ජයසෝම බොහෝ උනන්දුවෙන් ගෙවතු රැක බලා ගනි. නිති පතා සතියේ දින හයක් ගෙවතු තුනක වැඩ කරයි. ඉතිරි දවසේ ද නිකම් ඉන්න කැමැති නැති ඔහු වැඩක් පලක් සොයාගනි, එහෙමත් නැතිනම් වැඩි සාත්තු අවශ්‍ය ගෙවත්තක වැඩෙහි යෙදේ.


ජයසෝම ගෙවතු වැඩට යනෙන අතර නගරයේ තැනින් තැන ඉදිවෙන මහල් ගොඩනැගිලි දෙස උනන්දුවෙන් බලයි. වෙහෙසබර ඔහු මඳකට නැවතී දහඩිය බේරෙන නළල කරගැට පිරි ඇඟිලිවලින් පිසලා දකින්න උත්සාහ කරන්නේ එතැන්වල වැඩ කරන ඉංජිනේරු මහත්වරු යැයි ඔහු හිතන අය දෙසය. ඔවුන් අතර තම ලොකු පුතා දකී. ජයසෝමට විඩාවක් නොදැනේ. ලහි ලහියේ පා ඔසවන ඔහු බස් නැවතුම් පොළට එයි.


හදිස්සියේ කවරෙකු හෝ  "චාචා" කියමින් උරහිසට තට්ටුකර නිසාවෙන් තිගැස්සී අවදි වූයෙමි. හෝල්ට් එක කරා ළඟාවී ඇති බසයෙන් බැස්සෙමි.  එතැන් සිට නවාතැනට තවත් කිලෝමීටර් බාගයක් තරම් දුර පයින් යා යුතුව ඇත.


වෙලාව බලන්න මෝබයිලය අතට ගත්තාමයි දැක්කේ, මිස් කෝල් හතරක්! කවුද මේ වෙලාවේ ලංකාවේන් කෝල් කරලා තියෙන්නේ. ක්‍රෙඩිට් ඇත්තෙත් නැහැ.


රනේ කී කතාව මතකයට ආවේය.


ඈත අහසේ නැඟි පුන්සඳ ද බ්‍රවුන් පේපර්යකින් වැහුවා වගේ බොඳවෙලාය. දූවිලි ගතියක් එහෙම දැනෙන්න තිබුණේ නැහැනේ... ගිරීස්ම රස්නෙ හින්දා වෙන්න ඇති... හිතමින් ජයසෝම අඩිය ඉක්මන් කර කාමරයට ආවද කවුරුවත් එහි නොවිය.

පුන්සඳ අඳුර (අවසන් කොටස)

Image Credit: http://blog.lib.umn.edu

24 comments:

  1. කතාවෙ මුල් කොටස පුරාවට මගේ හිතේ නැගුණෙ එකම ප්‍රශ්නයයි: කවුද මේ? කවුද මේ?? කවුද මේ???
    මේ ලොකු පුතෙක් ඉන්න පියෙක් බව එළි වෙන්නෙ මැද හරියෙදි, තරුණ ඉංජිනේරුවා දුටු විටදි. මේ ඉන්නෙ අහවල් රටේය, මෙහෙම කෙනෙක්ය ආදී වශයෙන් නොකියා, රටඉඳි ගස්, මහමග විස්තර ආදියෙන් මෙලෙස තොරතුරු හෙළිකිරීම හුඟක් සාර්ථකයි.

    ඒ වගේම කතාබහෙන් හෙළිවන ආර්ථික අපහසුකම්, දුෂ්කරතා මැද ගෙවෙන දිවිය, සරසවියේ ගැටළුව තාත්විකව දක්වා තියෙනවා.
    නමුත් අවසන් කොටසෙ තැනින් තැන උත්තම පුරුෂ ආඛ්‍යාතයන් යෙදී ඇති නිසා මට පොඩි පැටළිල්ලක් ආවා, මේ ජයසෝම චරිතයමද, ඔහුව දකින වෙන කෙනෙක්ද කියලත්.

    කුහුල දනවන තැනකින් කථාව නවත්වලා. බොඳ වුණු සඳ එළිය දුක්මුසු යමක් ඉඟි කරනවා වගෙයි. ඊලඟ කොටස එනතුරු බලා සිටිමි.

    ReplyDelete
  2. තමන්ගේ මුළු ජීවිතය කැප කරලා හරි දරුවන්ගෙ හෙට දවස සවිමත් කරන්න දත කන තවත් එක් පියෙක් වගෙ ජයසෝම.... අරාබි කරයේ දැනෙන රස්සෙනට වතුර බෝතල් කීයක් බීලා හරි උගුර තෙමාගෙන මේ ඔට්ටු වෙන්නේ කා වෙනුවෙන්ද ?...අපූරු කතාවක ආරම්භය.......බලමු ඊ ලඟට...

    ReplyDelete
  3. ඩීන් මහත්තයගෙ කතාව ලස්සනයි. මට ගුණදාස අමරසේකරයන්ගේ "අප්‍රසන්න කතාවක්" කෘතිය මතක් උනා. ඒත් අර ඩොක්ට නලිනි කිව්වා වගේ උත්තම පුරුෂ , ප්‍රථම පුරුෂ ප්‍රශ්නය මටත් ඇති උනා. ඒ ගැන ඔබතුමා තව ටිකක් අවධානය යොමුකරන්න. තව එකක් තමා ලියන භාෂාවයි කියන භාෂාවයි දෙකෙන්ම නැතුව එකක් තෝරාගෙන ලියනවා නම් කියවන්නාට ටිකක් පහසුවෙයි.

    පොඩි අඩුපාඩුවක් පෙන්නලා දුන්නට ඔබතුමා අමනාප වෙන එකක් නැහැ කියල හිතනවා. ඒ මොනවා උනත් මම නං කතාව ගොඩක් රසවින්දා.

    ReplyDelete
  4. @නලිනි චන්දිමා/පොත් ගුල්ලා

    අඩුපාඩු පෙන්වාදීම ස්තුති පූර්වකව ගොඩාක් ඉහළින් පිළිගන්නවා.

    මං උත්සාහ කළේ වීදුරු කවුළුවෙන් ඉවත බලා සිටි ජයසෝම තම අතීතාවර්ජනයේ ගිලීම මතුකරන්න.

    පොඩි වෙනස් කම් කිහිපයක් ද කරා.

    නැවතත් දෙදෙනාටම බොහෝමත්ම ස්තුතියි.

    ReplyDelete
  5. //මොන දුකක් විඳලා හරි කොල්ලෝ දෙන්නා ගොඩ දානවා.//

    පිට රටවල රැකියා කරන බොහෝ දෙනෙක්ගෙ ඉරණම නේද මේ..තමන්ගෙ ජීවිතේ වටිනාම කාලය වැලි කතරක් මැද්දට දියකරනවා තමන්ගෙන් යැපෙන්නන් වෙනුවෙන්.. දවස පුරාම හිතෙ දැවෙන ගින්දර නිවාගන්නෙ දූ දරුවන්ගෙ සතුටු මුහුණු සිහිකරලා...ඒත් කතා කරන්නම ඕන වෙලාවක දුරකතන ඇමතුමක් දෙන්න ක්‍රමයක් නැති වුනාම හිතට දැනෙන අසරණ කම..

    ස්තූතියි ඩීන් අයියා...

    ReplyDelete
  6. බලාපොරොත්තු මතින් වෙහෙස නිවන බලාපොරොත්තුවේ සිහින වලින් දිරිය ලැබ දරුවන් වෙනුවෙන් සෙනෙහෙ පුදන පියෙක්.. පසුබිම අපූරුවට විස්තර වෙලා... ඊළඟ ලිපිය තෙක් බලන් ඉන්නවා..
    දිරි ඔබට..!

    ReplyDelete
  7. තමන්ගේ දරුවන් වෙනුවෙන් පිටරටවල රැකියා කරන පියවරුන්ගේ සිහිනය ලස්සනට විස්තර කරල තියෙනවා. ජය.

    ReplyDelete
  8. ආරම්භය හිටි හැටියේ වගේම අවසානයත් එහෙමම වෙලා... ඒඅතරේ සුළු කාලයක් තුලදී අතීතය සිහි කරමින්.. වර්ථමානය හුවා දක්වමින්.. අනාගතය පෙන්වන්න හදන බවක් කතාව පුරා ඉස්මතු වෙලා පේනවා... විදේශගතව ඉන්න හුඟ දෙනෙකුගේ පොදු කතාව උනත් අවධානය එක දිගටම තබා ගෙන කියැවිය හැකි අන්දමින් ගොනු කිරීම විශිෂ්ඨයි...

    ReplyDelete
  9. දිගටම ලියන්න . ''බ්‍රවුන් පේපරයකින් එතු සඳ '' ඒ තමයි මට මේ කතාවේ ලස්සනම වැකිය . පියවරුන්ගේ දුක ලියවුන අපුරු නිර්මාණයක් .

    ReplyDelete
  10. ගුණ දොස් කියන්න තරම් මම දැනුවත් නැහැ,, මටත් හිතෙනවා කථාව කුහුලකින් අතරමඟ නවත්තලාදෝ කියලා,,

    ReplyDelete
  11. අදහස් දැක්වූ සැමටම බොහෝම ස්තුතියි, වෙන වෙනම පිළිතුරු ලියන්නම් පසුව.

    ReplyDelete
  12. මැද පෙරදිග දහදිය හෙලන අපේම තාත්තලාගේ කාථාවයි මේ. ටිකක් කියවගෙන යත්දි තමයි, කොහෙද? කියල තේරුනේ. රටඉඳි ඇට තවන් කල තැනින්. අපි අපේ බිල්ඩිමේ පාරට වතුර පයිප්පයක් දැම්මා, මහත්තයා උවමනාවෙන්මයි ඒක කලේ, කෙනෙකුට වතුර පොදක් ගන්න හන්දියෙම තැනක් නැති නිසා. අදටත් එතනින් ත්‍රීවීලර් මල්ලිලා , ඇතුලු හැමෝම වතුර පුරවාගෙන යනවා. ඒක දකිනකොට අපිට පැන්තාලියක් තිබ්බාසේ සතුටුයි. නමුත් ආයෙත් බිල්ඩිම ගන්නාකෙනා එය තවදුරටත් තියාවිද දන්නේනෑ. මෙ සටහනේ සංවේදී බව වඩාත් හිතට දැනුනා, මල්ලී, ඔබට තව තවත් මෙවන් නිර්මාණ කිරීමට දිරිය ශක්තිය ලැබේවා! තවද මෙය ඔබේ ආදරණීය පියතුමාට උපහාරයක් වේවා!

    ReplyDelete
  13. @නලිනි චන්දිමා:
    රනේ දුන් පුවතත් සමඟ තනිවෙන ජයසෝම ඔහුගේ දෙසිත සමඟ කරන කතිකාවක් හැටියට අතීතාවර්ජනය ඉදිරිපත් කරන්න උත්සාහ කලේ, ඒත් එතැනදී මගේ අත් හදා බැලීම එතරම් සාර්ථක නැති බව දැනුනි.

    රචනයේ අඩුපාඩුකම් පෙන්වා දීම ගැන බොහෝමත්ම ස්තුතියි. විමසුම් සටහන ගොඩාක් අගේ කරනවා. අනික් කොටස ඉවර කරගත් විට පලකරන්නම්.

    ReplyDelete
  14. @දිල්:
    ජයසෝමලා බොහෝය, ඔවුන් බොහෝ දේ කරන්නේ බලාපොරොත්තුව කියන ඉන්ධනයෙන් ලැබෙන පණ නිසාම වෙන්න ඇති.

    බොහෝම ස්තුතියි නංගී සටහනට, අනික් කොටසින් හමුවෙමු.

    ReplyDelete
  15. @පොත් ගුල්ලා:
    ඔබතුමන් මේ රචනය ගොඩාක් ඉහළට අරන් ගියා, ඊටත් වඩා මගේ ඉදිරිපත් කිරීමේ තිබූ දෝෂය දක්වා කර උපකාරය බොහෝමත්ම ස්තුතියි පූර්වකව බාර ගත්තෙමි. එවැනි අවංක විමසුම් නොවෙන්න මගේ අත් හදා බැලීම කිරා බලන්න හැකියාවක් නැතිවෙනවා. ඒ ගැන ඔබට හා නලිනි නංගිට අනේකවර ස්තුති කරන්නෙමි.

    මං උපයෝගී කරගත් බාසා විලාස දෙකෙන් ඉදිරිපත් කරන්න උත්සාහ කලේ ජයසෝමගේ (හිතෙන්) "තනියෙන් කියවීම" තුලින් පුද්ගලයෙකු පත්වෙන අසරණකම මතු කරන්න.

    ඔබේ සටහන හා විමසුමට බොහෝමත්ම ස්තුතියි.

    තවත් මෙවැනි කතාවක් කාසි ගහ

    ReplyDelete
  16. @Luckey:
    මං කතාව නවත්වාපු තැන දී ඇති වෙන තෙරපුම/හැප්පුම ඔබ වඩාත් රසවත්ව ඉදිරිපත් කරලා තියෙනවා.

    /ජීවිතේ වටිනාම කාලය වැලි කතරක් මැද්දට දියකරනවා තමන්ගෙන් යැපෙන්නන් වෙනුවෙන්/
    ගැන විස්තර කරන්න තවත් වචන නැහැ.

    බොහෝමත්ම ස්තුතියි.

    ReplyDelete
  17. @නන්දු:
    සටහනක් එක් කිරීම ගැන සතුටුයි, බොහෝමත්ම ස්තුතියි.

    අළුත් අදහස් ඇති ඔබේ නිර්මාණ රටාවද ගොඩාක් සිත්ගත්තා නංගී.

    ReplyDelete
  18. @Praසන්ன:
    බොහෝම ස්තුතියි ඔබේ සටහනට.

    ReplyDelete
  19. @මාරයාගේ හෝරාව:
    අනාගතය පෙන්වීමකට වඩා අනාගතයක් දකින්න වලිකන පුද්ගලයෙක් හැටියට ජයසෝම තුලින් පොදු හැටියට පෙනෙන තවත් කතාවක්...

    බොහෝම ස්තුතියි මලයෝ නුඹේ සටහනට.

    ප.ලි. මේ කතාව ලියද්දි හිතුනා කතාව කෙටිම නැති නිසා නුඹ තවත් වරක් දොස් කියන එකක් නැහැ කියලා.

    ReplyDelete
  20. @Bindi:
    ඇත්තෙන්ම අගෝස්තු මාසයේ (නිකිණි) පෝය හඳ ග්‍රීස්මය නිසා දුමාරයෙන් වැහිලා එළියක් නැතිව තිබුනා දැක්කාම පුන්සඳ ද බ්‍රවුන් පේපර්යකින් වැහුවා වගේ බොඳවෙලාය හිතුනා. පදපෙලක් කරන්න හිටියත්, සාහිත්‍ය මාසය වෙනුවෙන් කරන්න හිටි රචනයට පිටුවහලක් වුනා.

    බොහෝම ස්තුතියි බින්දි.

    ReplyDelete
  21. @හරී - පිණිපළස:
    ජයසෝමලා නම් කැමැති වේවි කතාව ඉවර වෙනවා නම්... ඉතිරි කොටසත් ලියන්නම වෙනවා නොවැ.

    බොහෝම ස්තුතියි නංගී.

    ReplyDelete
  22. @Chandi:
    මේ මැදපෙරදිග දේසයේ දකින වෙනස්ම දෙයක් තමයි පරේ යනෙන අයට වතුර පොඩ්ඩක් ලබා ගන්න පුලුවන් විදියට වතුර කූලයරයක් සවිකර තිබීම. එවැන්නකින් ඉඳහිට වතුර උගුරක් බොන අය වගේම මුලු දවසේම වතුර සරි කරගන්න අයත් ඕනතරම්. මට මතකයි පිණි පළස ලියන හරි නංගී වරක් පොස්ට් එකක් හෝ කොමන්ටුවක ඒ ගැන ලියා තිබුණා.

    ලංකාවේ වුවද වැඩියේ පිරිස ගැවසෙන තැනක එවැන්නක් කිරීම ලොකු දානයක් අක්කේ.

    බොහෝමත් ස්තුතියි අක්කේ, ඒ වගේම පිං.

    ReplyDelete
  23. ගල්මල් අඩවියට එක්වූ අලුත් මුහුණු නන්දු හා වර්ෂා සාදරයෙන් පිලිගන්නෙමු.


    මේ නංගිලා දෙදෙනාගේ බ්ලොග් "අලුතින් හඳුනාගත් බ්ලොග්" යටතේ දක්වා ඇත. ඔවුන්ට අත දෙමු.

    ReplyDelete
  24. දිනේෂ් ඔබ සාදරයෙන් පිලිගන්නවා, ඔබේ දෙවැනි නම ගොඩාක් හුරුයි ඔබ බෝපේ පලාතෙ ද?

    ReplyDelete