Tuesday, August 6, 2013

තවත් එක් සිරකරුවෙක්-2 (Prisoner of an Open Jail)

පළමුවෙනි කොටස: තවත් එක් සිරකරුවෙක්-1

අත්ලට වතුර අරන් කීපවරක්ම නන්දාගේ මුහුණට ඉස්සා. පැත්තකට හැරී වැටිලා ඉන්න ඇයගේ මුහුණට හොඳින් සුළං වඳිනවා කියා සිරිජයන්තට හිතුණා. ඒ විදියටම වැතිර ඉන්න ඉඩ හැර හිස පිරිමැද්දා. ඇගේ නළලේ දකුණු පැත්තෙන් රෝල් වෙමින් එන වතුර බිංදුවක් වේගයෙන් නළලත ඉස්මත්තෙන් වම් පැත්තට ගිලිහෙන්න හදන හැටි සිරිජයන්ත බලා හිටියේ නොඉවසිල්ලෙන්. නන්දා ඇහැර බැලුවා. ඒ ඇස් බයෙන් පිරිලා.

"මොනවද හොයන්නේ?" හිස ඔසවා වට පිට බලන්න උත්සාහ කර ඇගෙන් සිරිජයන්ත ඇහුවා.

"ඕකුන් වසවර්තියෝ, උන් එක්ක හැප්පෙන්න යන්න එපා සිරි."

"හරි, හරි ඔයා බය වෙන්න එපා ළමයෝ..."

අත්ලට ගත් වතුර ටිකකින් නන්දාගේ මූණ තෙතත් මාත්තු කර  සිරිජයන්ත නන්දාව නැගිට්ටවා ඇඳි පුටුවේ වාඩි කරා. බෝතලයේ ඉතිරි වතුර ටික උගුරු කිහිපයකට ඉවර කර නන්දා පුටු ඇන්ඳට ඔළුව තියාගත්තා.

උණුවතුර බෝතලයේ තිබූ තේ කහට ටික එනැමල් ජොග්ගුවට හැලු සිරිජයන්ත තේ හැන්දෙන් බෝතලය හූරා ගෙන වැඩි සීනි තේ කොප්පයක් හදා නන්දා අතට දුන්නා.

තේ උගුරු කීපයක් ගත් ඇය "මට ඇති, ඔයා මේ ටික බොන්න සිරි..."

ගෙදර ආ ගමන් තොලගාන කහට කෝප්පය නැති අඩුව අද නොදැනුණ ද සිරිජයන්ත කොප්පයේ ඉතිරි තේ ටික හිස් කරා.

"ඔයා පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න, මං කරත්තය අස්කරලා එන්නම්."

මොනවා කරන්න ද නිච්චියක් නැති සිරිජයන්ත හනි හනිකට කරත්තයේ ඉතිරිව ඇති කෑම ජාති මේසයට මාරු කළේ පුරුද්දට වගේ. උඩින් පල්ලෙන් කරත්තය සුද්ද කර සිරිජයන්ත ගෙතුළට යමින් ගමන වට්ටියේ අතුරා ඇති කොණ්ඩකඩල ටිකක් අතට අරං බැලුවා.

"ඔව්වා තෝරලා ඉවරයි සිරි, පෙඟෙන්න දාන්න තියපුවා" නන්දා කිව්වා.

"හරිම බඩගිනියි නන්දෝ. තියෙන දෙයක් කාලා ඉමුකෝ" නන්දාව කල්පනාවෙන් මුදවා ගන්න පුළුවන් එහෙමැයි සිරිජයන්තට හිතුණා.

"ඉන්න මං බෙදාගෙන එන්නම්, ඔයා ඇඟ හෝදන්නේ නැතැයි."

"නෑ. කාලා ඉමු."

වම් පය නවා ඇඳි පුටුව උඩට ගෙන හරිබරිවී වාඩි වූ සිරිජයන්ත අතට බත් පංගුව දුන් නන්දා  වාඩි වුණේ දකුණත පැත්තේ පුටුවේ. සිරිගේ අත පිඟානත් කටත් අතර ඉහළ පහළ යන්නේ පුරුද්දට වගේ... නන්දාට හිතුණා.

"අපි දැන් මොනවද කරන්නේ සිරි..." දෙදෙනා අතර නිහඬතාවය බින්දේ නන්දා.

"කෝ... තවම බත් එකට අත තියලවත් නැහැනේ?"

"ඔළුව කකියනවා සිරි, කන්න බෑ වගේ."

"එහෙම කියලා බැහැ, කාලා අර ඊයේ පෙරේදා පාමසියෙන් ගෙනාපු පෙති දෙකක් බීලා හොඳට නිදාගන්න."

"එතකොට උදේට කඩල?"

"කොහොම හරි කඩල ටික දාන්න එපැයි, මං ඒ ටික කරන්නම්. ඔයා කාලා, බෙහෙත් බීලා නිදා ගන්න."

නන්දා ඕනෑවට එපාවට වගේ කෑම කටවල් කීපයක් කන්න ඇති. සිරිජයන්ත කොච්චර එපා කිව්වත් ඇහුවේ නැහැ, ඇය කඩල ටික සෝදා පෙඟෙන්න දැම්මා. වෙනදා තරම් කඩිසර නොවුණත් පුරුදු පරිදි දවසේ ඉතිරි වැඩ ටික ඕ අතින්ම ඉටු විය.

"මේක බීල ඔයා ඇල වෙන්න..." බෙහෙත් පෙති දෙක ඇගේ අතට දී සූදාන වුණේ පිළිකන්නේ ළිඳට යන්න.

"තනියෙම යන්න එපා සිරි, ඉන්න මාත් එනවා.."

සිරිජයන්ත වතුර බාල්දි කිහිපයක් හනි හනිකට ඇඟට වත්කර ගන්න අතර නන්දා කොට්ටං ගහ යට කළු ගල් බැම්ම උඩ වාඩිවී උන්නා.

තට්ටු, තට්ටු කඳ වටේ උසට වැඩුණ කොට්ටං අතු එහා මෙහා වෙන්නේ නන්දාව අහල රූස්ස ගසක් මුදුනේ  ලැග ඉන්න බස්සා ගෙන් වහන් කරන්න වගේ. නන්දා තවමත් බර කල්පනාවේ වැටිලා ඉන්නේ. සිරිජයන්ත අතට ගත් පනිට්ටුව ලිං බක්කියේ වැද්දුවේ උවමනාවෙන්ම, සද්ද කරන්න.

"අපි දැන් මොනවද කරන්නේ සිරි..." නන්දා ආයෙත් ඇහුවේ පනිට්ටුව ඔහු අතින් ගන්න ගමන්.

"කලබල වෙලා බැහැ, අපි කල්පනා කරලා හොඳ විදියක් කරමු. ඔක්කෝට කලින් ටිකක් නිදා ගන්න ඕනේ".

"හ්ම්..."

දෙදෙනා පිළිකන්නෙන් ගෙට ගොඩ වූයේ කිසි කතාවක් නැතිව.

සිරිජයන්ත කුස්සියට ගියා.

උදේට කඩල තම්බන භාජන හෝදා පිළිවෙළට තියා ඇත, කාලකට අඩු භූමිතෙල් බෝතලයත් ලිප් බොක්කේම පුරුදු තැන ඇත.

"ගිනි පෙට්ටිය කොහේ ද නන්දෝ..."

"මේ ජාමේ ගිනි පෙට්ටිය මොකටද?" නන්දාගේ ඇස් එළියට පනින තරම්ය...

"ඇයි බය වුණාද?" හිනාව තද කරගත් සිරිජයන්ත නන්දගේ දෙවුරෙන් අල්ලා සොලවමින් ඇහුවා.

"ඔව් සිරි. ඇත්තටම මට බය හිතුණා."

"ඇයි ළමයෝ... උවමනා කරන දේවල් සූදානම් කරලා තිබ්බොත් උදෙන්ම ඔයාව ඇහැරවන්න ඕනේ නැහැ නේ..."

"නෑ, නෑ. පෙති බිව්වානේ නිදාගත්තාම හරියයි. මං උදෙන් නැඟිටලා කඩල ටික සූදානම් කරන්නම්."

"හරි, දැන් නිදා ගමු. ඒක උදේට බලන්න බැරියැ."

පැය භාගයකටත් යන්න ඇති... ඒ පැත්තට මේ පැත්තට මාරුවෙන් මාරුවට හැරෙන්න නන්දා ද තාම නිදි නැත.

"ඔඩි කොලොන් ටිකක් ඔළුවට දාන්නද?" මොන බෙහෙත බිව්වත් ඔළුව කැක්කුමට ඔඩි කොලොන් ටිකක් හිසේ උලන්නේ නැතිව නන්දාට හරියන්නේ නැති බව සිරිජයන්ත මතක් වුණි.

"ඔඩි කොලොන් ගෙදර නැහැ සිරි. රෙදි පටියකට විනාකිරි ටිකක් දාල ගේන්න පුළුවන්ද?"

"මෙච්චර ඉක්මනට ඉවර වුණාද?"

"නෑ සිරි. සිරියාවතීගේ හිච්චි එකාට සනීප නැතිව ඉල්ලන් ගියා හවස."

විනාකිරි වලින් තෙත්කර රෙදි පැලැස්තරය නළලට දා ටික වෙලාවක් හිස පිරිමදිද්දි නන්දා නින්දට වැටුණාය.

ගෙවී යන මැදින් සඳේ කිරණ කාමරයේ ජනේල පියන් අතර හිදැසින් එඹිකම් කරමින් මේසයේ ඉටිරෙද්ද මත දිලිසෙයි. නින්ද අහලකවත් නැති සිරිජයන්තට එය කරදරයක් විය. ඇඳෙන් නැඟිට එළිය අහුරන්න සුදුසු මොනවා හරි හොයන්නට වුණා. මේසය උඩ බාම් බෝතලේට යට කර තියෙන බඩු ලයිස්තුව සිරිජයන්තගේ නෙතු ගැටුණේ අහම්බෙන් වගේ.

"අවුරුද්දට කැවිලි ටිකක් හදන්න ඕනේ, ලයිස්තුව ලියලා දෙන්නම්, බඩු ටික ගෙනැල්ල දෙන්න පුළුවන් නේද සිරි..." කල් තියාම අවුරුද්දට සූදානම් වෙන නන්දා ඇහුවේ පෙරේදා උදේ.

"කැවිලි හද හදා ඉන්න ඕන නැහැ ළමයෝ, අවශ්‍ය කරන හැම ජාතියම කඩෙන් ගන්න තියෙන එකේ."

"එහෙම බැහැ සිරි, අවුරුදු තුනකට පස්සේ මේ ගෙදර අලුත් අවුරුද්දට කැවිලි ටිකක් හදන්න යන්නේ."

සිරිජයන්ත මොකුත් කියන්න ගියේ නැහැ.

පිජාම සරම දෙකට නවා ජනෙල් තිරය උඩින් දැමූ සිරිජයන්ත ආයෙත් ඇඳට වැටුණා.

මීට අවුරුදු කීපයකට කලින්... කරදර වැලක් ලියලන්න පටන් ගත්තා. තාත්තාට උරුම වූ ගෙයයි ඉඩමයි හතර මායිමවත් දැකලා නැති ලොකු තාත්තාගේ දරුවන්ට පැවරුණේ අවුරුදු ගානක ඇදි ඇදී තිබුණ දේපල නඩුවකින්. දරුමල්ලන් නැති නන්දාගේ මාමයි නැන්දයි එක්ක පදිංචියට ආවා. මාමා ගෙයයි ඉඩම් කෑල්ලයි නන්දා නමට ලියා දුන්නා. සති තුනයි ගියේ, මාමා ළිඳ ළඟ ඇද වැටී ලෙඩ වුණා. එක්තැන් වූ අසරණ මාමාට බෙහෙත් කරන්න හතර අතේ ණය වෙන්න වුණා. මාස කීපයක් ලෙඩ ඇඳේ  හිටි මාමා මිය ගියා. 

සිරිජයන්ත පළපුරුදු මේසන් කෙනෙක්, ටයිල් වැඩවලට දස්සයෙක්. ණය බරින් නිදහස් වෙන්න සිරිජයන්ත මැදපෙරදිග දේසේ රස්සාවකට යන්න හිතාගත්තා, නන්දාව ද කැමැති කරවා ගත්තා. කොළඹ ඒජන්සි ගානේ රස්තියාදු වුණාට ඉදිකිරීම් අංශයේ රස්සාවක් ලැබුණේ නැහැ. බ්‍රෝකර්ලා කීප දෙනෙකුට අහුවුණා, එච්චරයි.

අන්තිමේ දී පොඩි කොම්පැනියක මේසන් රස්සාවක් ලැබුණා. එරමුදු ගහ අග්ගිස්සේ කොහා හඬ ටිකෙන් ටික වැඩිවෙනවත් එක්කම... දවසක් සිරිජයන්තට අලුත් රස්සාවට පිටව යන්න වුණා.

Image Credit: http://www.magpienest.org/

20 comments:

  1. හ්ම්.. ඉතිරියත් බලමු.. හොදට කතාව ගලා යනවා. මේ කොටසේ සිද්ධිය එක තැන හිර උනා වගේයි. බලමු.. ජය වේවා

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්තටම සිරිජයන්ත හිරවෙලා...

      බොහෝම ස්තුතියි ඔබේ විමසුමට.

      Delete
  2. මේසන් බාස් කෙනෙක් කඩල තම්බන්න ගත්තෙ මොකටද කියල බලමුකො එහෙනං ඊගාව එකෙන්.

    ReplyDelete
    Replies
    1. තවත් එක අවාසනාවන්ත සිදුවීමක් විතරයි...

      Delete
  3. මතෘකාව ගැන අවධානය යොමු වුනේ දැනුයි.. මේ අපිත් ඉන්න හිර ගේ ගැනද කියන්නෙ ?

    ReplyDelete
  4. Kathaawa nohithapu paththakata giya. Balamu kohen nawathiwida kiyala. Mama kalin kotasath kiyewwa. Comment 1 Singlish unaata mukuth hithanna epa! Phone 1e (Nokia 6720c) Sinhala na.

    ReplyDelete
    Replies
    1. ගල්මල් අඩවියට සාදරෙන් පිලිගන්නවා.
      සිංග්ලිෂ් වුනත් ඔබේ කොමන්ටුව අගේය, බොහෝම ස්තුතියි.

      Delete
  5. දිගට ම ලියන්න කෝ....

    ReplyDelete
    Replies
    1. කතාව කියවන්න ලේසි වෙන විදියට කොටස් වශයෙන් පලකරන්නේ, ඉක්මනටම ඉතිරිය පලකරන්න සූදානම්.

      Delete
  6. අපූරුයි.. තුන්වැන්න බලාපොරොත්තුවෙන් හිඳිමි..

    ReplyDelete
    Replies
    1. පොඩි විරාමයක් ඇතුව තෙවැනි කොටස පළ කරන්න නියමිතයි.

      Delete
  7. දුක්බර කතාවක වගේ .

    ReplyDelete
    Replies
    1. ඔව්, එක්තරා විදියක.

      Delete
  8. මතකය ඔස්සේ තුන්වෙනි කොටසට...

    ReplyDelete
  9. ඊ ළඟ කොටස බලාපොරොත්තුවෙන්..

    ReplyDelete
    Replies
    1. ඔව්, ඉතිරි කොටස තවත් දින කිහිපයකින්...

      ගන්දිට මොකද වුනේ නංගී?

      Delete
  10. සෑහෙන්න හිත රිදෙන ගතියක් තියෙන්නෙ මේ ලියන්නේ අපේ කථාවම නිසාද?

    ReplyDelete
    Replies
    1. සංවේදී හිත් පෙළෙනවා තමයි, කතාවේ පරිසරය ගැන දන්න උදවියට දැනෙනවා වැඩියි මහත්මයෝ.

      Delete