Monday, August 12, 2013

තවත් එක් සිරකරුවෙක්-3 (Prisoner of an Open Jail)


පළමුවෙනි කොටස: තවත් එක් සිරකරුවෙක්-1
දෙවෙනි කොටස: තවත් එක් සිරකරුවෙක්-2

වැලි කාන්තාරය හරහා දූවිලි දෙවනත් කරමින් ඇදුන පිකප් රථය හතරැස් ගොඩනැගිලි කිහිපයක් ඇති දෙසට හැරී ලොකු යකඩ ගේට්ටුවක් ඉදිරිපිට නතර විය. නුහුරු දේශයක, අමුතුම භාෂා කීපයක් කතා කරන දහ පහළොස් දෙනෙක් අතර සිරිජයන්ත තනි වුණා. ඔවුන් ඉන්දියාවේ පිටිසර පළාත් කීපයකින් ආ පිරිසක් බව දැනගත්තේ පස්සේ.

පහුව දා උදේ එළිවෙත්ම කට්ටියම කැන්ටරයකට ගොඩ වුණා. ඉඩ ඇති විදියට දෙපැත්තේ හයි කරපු ලෑලි බංකුවලත්, බිමත් වාඩි වුණා. වැඩපොළවල් කීපයකට කට්ටිය දාලා  ෆොර්මන් සිරිජයන්තව එක්ක ගියේ අන්තිම වැඩපොළට. ඔහු ඉංග්‍රීසි ටික ටික කතා කරන පකිස්තානු ජාතිකයෙක්. වැඩ කරන කට්ටිය එක්ක සම සමව වැඩකරන කෙනෙක්. තරමක් ලොකු පරණ ගෙයක් අලුත්වැඩියා කෙරෙමින් තිබුණේ. සිරිජයන්තගේ හැකියාවන් පෙන්නන එතැන හොඳ තැනක් වුණා.

දවස් ගෙවුණේ හරි හෙමින් වගේ... මාස හතරක් ගතවුණා, සිරිජයන්තට තරමක් පරණ තට්ටු ගොඩනැගිල්ලක අලුත්වැඩියා කිරීමේ වැඩපොළක් භාර දුන්නා. පිළිවෙළට වැඩ කෙරීගෙන යද්දි නිවාඩු ගිහින් හිටි මර්මුස් ආපහු ආවේ. සිරිජයන්ත තම කණ්ඩායමේ මූලිකත්වය අරන් සිටි නිසා දෝ දැක්ක මුල් දවසේ පටන් ඔහු පෙන්නුවේ නුරුස්සන ගතියක්. සුළු කාරණයකට පවා සිරිජයන්ත එක්ක පැටලෙන්න ආවා. වාහනයේ යනෙන අතර වාරයේ දී වගේම නවාතැන්පොල දී ද වෙනසක් වුණේ නැහැ.

මර්මුස්ගේ බලපෑම් වැඩි වෙත්ම ෆොර්මන්ට කිව්වා. විහිළුවෙන් වගේ "හී කෙරේසි මෑන්... යූ නෝ ෆයිට්. ඕ.කේ." කියා පිටට තට්ටුවක් දාලා යන්න ගියා. වෙනසක් වුණේ නැහැ.

පහුවදාට හතරවෙනි තට්ටුවේ බිත්ති කපරාරුව පටන් ගන්න නියමිතව තිබුණා. ඊට කලින් පරණ කපරාරු ගලවා ඉවත් කරන්න ඕනේ. අත්-උදව්කාරයෝ හැමෝම එතැන වැඩ. පාට්කාර් විතරයි සිරිජයන්තලාට උදව්වට පස්වෙනි තට්ටුවේ හිටියේ. අයින් කරලා තිබුණ අබලන් පලන්චියක් ගෙනත් බැල්කනියේ අටවපු මර්මුස් පිට පැත්තේ බිත්තියක කපරාරු ගලවන්න පාට්කාර්ට පැවරුවා. විනාඩි විස්සක් විසි-පහක් වැඩ කර පාට්කාර් වැඩේ නැවැත්තුවේ පලන්චිය හයිය මදියි කියලා. දෙන්නා බහින් බස් වුණා. මර්මුස්ට තරහ ගියා, ආයුධ අරන් පලන්චියට ගොඩවෙලා කලබලෙන් වැඩ කරන්න පටන් ගත්තා.

ටික වෙලාවකින් සිරිජයන්තට කතා කර ඔහු බිත්තිය ඇතුළතට විහිඳුන ඉරිතැලීම් කීපයක් පෙන්නුවා. ආපහු යන සිරිජයන්ත තරප්පු පේළිය දිගේ උඩට නඟිනවාත් එක්කම දඩෝං ගාගෙන පෙරළෙන සද්දයක් ඇහුණා. පලන්චියෙන් වැටුණ මර්මූස් දෙවැනි තට්ටුවේ බැල්කනි දෙකක් හරහා දාපු බාල්ක කඳන් ගොඩේ උඩුබැලි අතට වැටිලා.

කට්ටියම තරප්පු පෙළ දිගේ පහළට දිව්වා. නායක් පාට්කාර්ට අතපය දික් කරමින් සැරෙන් කතා කාරා. හින්දි නළු නනා පටෙකාර් වගේ හැම දෙයම කරන්න උත්සාහ කරන පාට්කාර් දකුණතේ දබරැඟිල්ල නායක්ගේ දෙතොල් වලට හිරකර "චුප්" කිව්වා. එව්වරයි. සද්දය නැවතුණි.

පාට්කාර් මර්මුස්ව උස්සන්න හැදුවා. පළාතම දෙවනත් කරමින් කෑගහපු විදියට මර්මුස්ගේ අතක් පයක් කැඩිලා වෙන්නැති. ලෑලි තට්ටුවක තියා ඒකාව පහළට අරන් එන්න මුල් වුණේ පාට්කාර්. තුවාලකාරයා එක්ක කැන්ටරයේ ඉස්පිරිතාලෙට ගියේ මර්මුස්ගේ පළාතේ ගෝලයෝ තුන්දෙනා විතරයි.

අනික් කට්ටිය පුරුදු වැඩ කටයුතුවල වැටුණා. ඒත් වැඩ ඇරිලා යද්දි පවා වෙනදා වගේ සද්දයක් නොවුණි. තැන තැන කීප දෙනෙක් කුටු කුටු ගානවා හැර නවාතැන්පොල පුරා පැතිරුණේ මූසල ගතියකි.

ෆොර්මන් ඇවිත් සිරිජයන්තව කාර්යාලයට එක්ක ගියා.

පොලිස් නිලධාරීන් දෙදෙනෙක් එහි විය. කට උත්තරයක් දෙන්න ඔවුන් එක්ක පොලීසියට යන්න කිව්වා. සිරිජයන්තට හීන් දාඩිය දැම්මා.

ගේට්ටුවෙන් පිටවෙද්දි සිරිජයන්තට හැරිලා බැලුනේ ඉබේටම වාගේ. ෆොර්මන් අසරණව බලා ඉන්නවා. කට්ටියක් තාප්පය කෙළවරේ එඹීගෙන උන්නා.

කොම්පැනියේ මන්දූක් පොලීසියට ඇවිත් හිටියා.

"උඹ ඇත්ත කියපන්, කිසි දෙයකට බය වෙන්න එපා. අපි ඉන්නවා." මන්දූක් කිව්වා.

මර්මුස් විසින් පාට්කාර්ට බැල්කනියේ වැඩ පැවරූ තැන ඉඳන් තමන් තරප්පු පේළියෙන් නගිනවත් එක්කම ඇසුණ සද්දය දක්වා වූ සිද්ධි එකිනෙක සිරිජයන්ත විස්තර කරා, එය පොලිසියේ නිලධාරියා විසින් සටහන් කරගත්තා.

මන්දූක් හා පොලීසියේ නිලධාරින් විනාඩි විස්සක් විතර කතා කරන්න ඇති. ඉන් පසුව, පොලිස් නිලධාරීයා සැකසූ සටහනක් ගෙනා මන්දූක් සිරිජයන්තගේ අත්සන අරගත්තා. එහි මොනවා සඳහන් වුණා ද නොදත් ඔහුට මන්දූක්ගේ කීමට අවනත වෙනවා හැර කරත හැකි කිසිවක් නොවිය.

සිහි විකල්ව දොඩවන මර්මුස් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබුණි, ඔහුගෙන් කට උත්තර ගැනීම අපහසු විය. තත්වය යහපත් අතට හැරෙන තුරු සිරිජයන්තව රිමාන්ඩ් කෙරුණි.

සති දෙකක් ගත විය, මර්මුස්ට සැත්කම් දෙකක් කර තිබුණි. කීපවතාවක් පොලීසිය ඔහුගේ කට උත්තර අරන් තිබුණ ද ඒවා එකිනෙකට වෙනස් විය.

සිරිජයන්තගේ රිමාන්ඩ් කාලය දික් කෙරිණි. ඔහු බලන්න ඉඳහිටවත් ආවේ ෆොර්මන් විතරයි.

මර්මුස්ගේ කට උත්තර අනුව සිරිජයන්ත සමඟ බිත්ති අලුත්වැඩියාව ගැන කතා කිරීමෙන් පසුව සිදුවූ කිසිවක් ඔහුට මතක නැත. වැටුණේ කොහොමද කියන්න තරම් දැනුමක් නැත. ඒ පැත්තේ එවෙලේ වැඩ කළේ මර්මුස් විතරයි, වෙනත් කිසිවෙක් නොවිය.

පොලිස් පරීක්ෂණවල සැකය සිරිජයන්ත දෙසට යොමුවිය.

සිරිජයන්ත සිරගත කෙරිණි.

තානාපති කාර්යාලෙන් ආ මහත්තයා ද බලකළේ වරද පිලි අරන් දඬුවම ලිහිල් කරගන්න කියාය.

කාගේවත් සරණක් නැති සිරිජයන්ත කියන කතාව කවුරුවත් ඇහුවේ නැහැ. එහෙම නැතිනම් විශ්වාස කෙළේ නැහැ.  මාස ගාණක් හිරගෙයි ගෙවුණා. නඩුවාර කීපයක් පැවතුණා. දැන් කොම්පැනියෙන් එන්නේ මන්දූක් විතරයි.

අනතුරින් කොඳු ඇට දෙකක් පිපිරීමෙන් ලෙඩ ඇඳට වැටුණ මර්මුස් ආබාධිතයෙකුව හැටියට ඉන්දියාවට ගියේ.

ඊට සතියකට විතර පස්සේ... දවසක් උදේක ෆොර්මන් නීතිඥ මහත්තයෙක් එක්ක ආව. අරාබි ඇඳුමින් සැරසී සිටි ඔහු කතා කළේ ඉංග්‍රීසියෙන්. සිරිජයන්ත පොලිසියට දුන් කට උත්තරය ඒ විදියටම ඔහුට කිව්වා. ඔහු උවමනාවෙන් ඇහුන්කම් දුන්නා. සිරිජයන්ත දිවුරා කිව්වා ඔහු අතින් කිසිම වරදක් වුණේ නැහැ කියලා.

ඊළඟ නඩු වාරය ලංවෙන බව පකිස්තානුවා කිව්වා.

තානාපති කාර්යාලයේ මහත්තයා දෙවැනි වතාවටත් ආවා. වරද පිළිගන්න කියලා නැවත කිව්වා.

එහෙම කරන්න සිරිජයන්ත වරදක් කරලා නැහැ.

ඊළඟ නඩුවාරයට අර නීතිඥ මහතා ද පැමිණියා. සිද්ධිය ගැන පැහැදිලි සාක්කි නැති කාරණය ගෙනහැර දැක් වූ ඔහු සිරිජයන්ත නිදහස් කරගන්න උත්සාහ කර ද නඩුව තවත් වරක් කල්ගියා.

සති දෙකකින් ආ ඊළඟ නඩු වාරයේ දී සිරිජයන්ත නිදහස් කෙරුණා, කොන්දේසියක් මත. තවදුරටත් පුරුදු රැකියාව කරගෙන යන්න බැරි විදියට අනතුරින් රෝගාතුර වූ මර්මුස්ට සිරිජයන්ත විසින් දිර්හම් එකසිය පනස්දාහක් ගෙවන්න නියම විය.

මාස හයකට ආසන්න කාලයක් හිරගෙයි ගත කර නීතියෙන් නිදහස් සිරිජයන්ත වෙනත් තැනකට මාරු කරා. මේ තරම් ලොකු වන්දි මුදලක් ගෙවා කවදා මෙතැනින් නිදහස් වෙන්නද? ඉටු නොවෙන හීනයක් වගේ සිරිජයන්තට දැනෙන්නට විය.

අවුරුදු දෙකකට වැඩි කාලයක් හිරගෙයි ගත විය. තානාපති කාර්යාලයෙන් දෙවතාවක් ආවද කිසිවක් කරන්න සමත් නොවිය.

ඒ අතර දවසක් පකිස්තානු ෆොර්මන් සිරිජයන්ත බලන්න  ආවේ ගිනිගහන මහා කාන්තාරයට වැහි පොදක් වගේ පුංචි සුබ ආරංචියක් අරං...

ඊළඟ සති අන්තයේ ෆොර්මන් කැටුව ආ නීතිඥයා සමඟ ඉන්දීය සේවකයින්ගේ සුබසාධනය වෙනුවෙන් වැඩ කරන ස්වේච්ඡා සංවිධානයක නියෝජිතයින් දෙදෙනෙකු සිරිජයන්ත බලන්න ආවා. සිරිජයන්තට උසාවියෙන් නියමකර මුදල සකස් කර දෙන්න ඔවුන් උත්සාහ කරන බව කිව්වා. සිරිජයන්තට කිසිවක් අදහාගත නොහැකි විය,  දෑසින් දෝරේ ගලන්න පටන් ගත්තා, දෑත් එක් කර ඔවුනට නමස්කාර කරා.

බිත්ති හතරක හිරවූ නිදොස් මිනිස් හිතක මියැදෙමින් තිබූ ඇතුළාන්තයෙන් පටන් ගෙන බලාපොරොත්තුවේ අංකුර ලියැලෙනු දැනුණි.

සති හයකට පසුව ඔවුන් තිදෙනා සමඟ ෆොර්මන් ද ආවා. දානපතියෙකුගේ පරිත්‍යාගයකින් වන්දි මුදල ගෙවන්න කටයුතු යොදා ඇති බව දැනුම් දුන්නා. 

නීතිඥ මහතා විසින් හැම දෙයම සූදානම් කරා. තානාපති කාර්යාලයෙන් සිරිජයන්තට ගුවන් ටිකට් පත ලබාදුන්නා. හිරගෙදරින් ගුවන් තොටුපලට එක්ක ගිය සිරිජයන්තව ගුවන සිසාරා පියාසර කරන්න මානන යානයකට නිදහස් කෙරුණි...



සිව්වැනි කොටස: තවත් එක් සිරකරුවෙක්-4 -- අවසන් කොටස

16 comments:

  1. හ්ම්ම්ම්.. මොනව කියන්නද කියල හිතට එන්නේ නෑ..
    තුෂ්නිම්භූත ගතියක් ඉතිරිවෙනවා

    "සුළු කාරණයකට පවා ......... පැටලෙන්න ආවා"
    හේතු ප්‍රත්‍ය නැතිව අපත් එක්ක ගැටෙන මිනිස්සු කොපමණ ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. කතාවේ වටාපිටාව දන්න උදවියට වැඩියෙන් දැනෙනවා, ඉතිරි කොටසත් කියවා බලමු.

      Delete
  2. Nikam mokadda mokadda wage.. Thalena miniha thamayi hama thaninma thalenne..

    ReplyDelete
  3. නොදන්න පැත්තක තනිවෙච්ච කාට උනත් අත්වෙන්නෙ ඔය ඉරණම තමයි.

    ReplyDelete
    Replies
    1. බොහෝවිට වෙන්නේ එකයි මිත්‍රයා.

      Delete
  4. ජිවිතයේ තිත්ත ඇත්ත..අපි හුඟක් ලියන්න අකමැති මග ඇරලා යන්න කැමති ඉසව් ඩීන් අය්යා අතින් ලියවෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම තිත්තයි, ඒත් යටපත් කරන්න බැරි කතා අතරින් මේ එකක් විතරයි.

      Delete
  5. ඔහොම ලියමු කෝ දිගටම...කුතුහල‍යක් තියෙන්නේ....

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉදිරි කොටසින් මොනවද වෙන්නේ කියලා බලමු.

      Delete
  6. කතාව අමුතුම පැත්තකට ගියා නේ.. මට හිතන්නවත් බැරි උනා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට, ඒ වෙනස් පැත්ත තමයි කතාව ලියන්න මුල් වුණේ.

      Delete
  7. කතාව දැන් වෙනමම පැත්තකට වගේ ගලාගෙන යන්නෙ. මනුස්සයට වෙච්ච දේ ගැනනම් මම පුදුම වෙන්නෑ..

    ReplyDelete
    Replies
    1. ඒ පරිසරයේ සිද්ධ වෙන, ඒ යටවි යන තවත් කතාවක්, ඉදිරි කොටස් වලින් පස්සේ සෙන්නාගෙන් ගැඹුරු විමසුමක් ලැබේවි.

      Delete
  8. @ධාරා:
    ගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නවා.

    සොඳුරු මංපෙත අතගැසූ අලුත් වැඩේට ගල්මල් අඩවියෙන් සුබ පැතුම්!

    ReplyDelete
  9. ටිකක් ප්‍රමාද වුනා කියවන්න එන්න.
    සිද්ධිය කියවනකොටනම්, අරාබිකරයෙ භාෂා ප්‍රශ්නය එක්ක මුසුවුණු පිටස්තරයින් මුහුණ දෙන අවනීතියෙ තවත් පුවතක් කියලා හිතෙන්නෙ. හැබැයි, මනුස්සකමට නිගා දෙනවුන් අතරම, කිසිම නෑදෑ බැඳීමක් නැතුවත් අසරණයෙක් වෙනුවෙන් වෙහෙසෙන මනුස්සකම දත් මිනිසුන් පිරිසක් හින්දා, සහනයක් ලැබිලා.
    තමන් යන රටේ භාෂාව කතා කරන්න, කියවන්න දැනගෙන යන එක හුඟක් වැදගත් නේද?

    ReplyDelete