හැඩතල නවා, මෝස්තර දමා
යකඩවලට හුස්ම දුන්නා,
පියාපත් දුන්නා විද්වතුන්...
ගුවන සිසාරා පියාසර කරනවා,
යකඩ කුරුල්ලෝ...
බඹරුනේ උඹට බැහැ පියාඹන්න
ඒ විද්වතුන් කිව්වා…
සුවඳ සොයා, ඈත දුර ගෙවා
හිමිදිරි උදයේ පියාපත් සැලුවා බඹරුන්
මල් පෙති නොතලා,
මල් පැණි රස වින්දා...
බඹරුනේ උඹට බැහැ පියාඹන්න
ඒ විද්වතුන් කිව්වා…
ඒත් උන් පියාපත් සැලුවා,
අහස දිහා බැලුවා, ඉගිල ගියා…
බින්දු, බින්දු, පැණි පුරවා,
රස මී බෙදුවා...
පරවෙන මලට හරයක් දුන්නා,
ගස් වැල් පළින් බර වුණා...
බඹරුනේ උඹට බැහැ පියාඹන්න
ඒ විද්වතුන් කිව්වා…
ඒක නොදත් වන බඹරා
තත්පරයකදී සිය, දෙසිය වතාවක් තටු ගැසුවා…
දවස ගානේ ඈත දුර ගෙවා ඉගිල ගියා
ගුමු, ගුමු, ගී මුමුණා මල් පැණි රස බැලුවා…
පසු බැස්සේ නැහැ, නැහැ පුංචි යාළුවා…
කවුද කිව්වේ පුතේ නුඹට බැහැ කියලා?
ඇයි හැංගෙන්නේ මුළු ගැන්විලා?
හිතන්න, පුංචි වන බඹරා
කවුරුවත් කියූ හන්දා
ඌ ඉන්නවාද පියාපත් හකුළා?
නෑ, නෑ
බඹරුන් පියාපත් හකුළාගෙන හිටියේ නෑ
සට, සට, ගා අත්-තටු සැලුවා
ගුමු, ගුමු, ගී මුමුණා ජීවිතය වින්දා
යුතුකම් ඉටු කළා...
උඹට බැරි නැහැ පුතේ
එපා, එපා, හැංගෙන්න
උසට උසේ නිල් අහසයි,
ඈත පේන සිතිජයයි
උඹට පුළුවන් ජය ගන්න!
කවුද කිව්වේ බැහැ කියලා?
උඹට පුළුවන් ජය ගන්න!
පියාඹන්න බැහැ කියූ බඹරුන්
ඈත දුර ගෙවා අත්තටු සැලුවා
ඉගිල ගියා, ඉගිල ගියා...
විද්වතුන් ලිව්වා කතාව අලුත් කරලා
“බඹරුන්ට පුළුවන්ලු පියාඹන්න...”
උන් පියෑඹුවා,
උන් හැමදාම පියෑඹුවා…
කවුද කිව්වේ බැහැ කියලා?
බඹරුන්ට පුළුවන් පියාඹන්න!
එපා, එපා, හැංගෙන්න
එපා, එපා, පසුබසින්න
බඹරුන්ට පුළුවන් පියාඹන්න
බඹරුන්ට පුළුවන් පියාඹන්න!
කවුද කිව්වේ බැහැ කියලා?
නුඹට පුළුවන්... ජය ගන්න...
මා මීට කලින් වතාවන් කිහිපයක දී ලියා ඇති මගේ වෘත්තීය ජීවිතයේ විවිධාකාර පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම් ආදී නොයෙකුත් වැඩමුළු, වැඩසටහන් ආදිය කරා කියන එක. ඒ ලබාපු අමිල අත්දැකීම, පළපුරුද්ද උපකාරී කරගෙන විභාග වලට සූදානම් කිරීම, ඉහළ අධ්යාපන මට්ටමේදි අභියෝග වලට මුහුණදීමට සූදානම් කිරීම ආදීය මුල්කරගෙන වැඩසටහන් කරගෙන යනවා. එවන් අවස්ථාවලදී උපයෝගී මාතෘකාවක් වටා ගෙතුන මගේ කියමනක් Believe Beyond the Blueprint කියන එක, එය මුල්කරගෙන පදපෙළක් කිරීමේ අවශ්යතාවය කලයක පටන් හිතේ තිබුණත් එම අදහස නිර්මාණයකට කැටිකිරීමේ අභියෝගය නිර්මාණය කිරීම පමා කරා කියන එකයි නිවැරදිම කියවීම. කිසියම් අවශ්යතාවයකට මෙම කරුණ මුල්කරගෙන, Lighthouse බ්ලොග් සඳහා ලිපියක් ලියන්න වුනා. එම ලිපිය ලිවීම, මෙම අදහස බ්ලොග් වලින් ඔබ්බට ගෙනයෑමට නවීන AI තාක්ෂණය සලසන ඉඩප්රස්ථාව හා AI සිංදු නිර්මාණයට ඇති මගේ රුචිය "නුඹට පුළුවන්" නිර්මාණයට රුකුල් දුන්නා කියන්න පුළුවන්. හැබැයි, නිර්මාණය සිංදුවක් කිරීමේ වෑයමේ දී කෙළවරක් නැති අභියෝග මතු වෙන්නට විය, ඒකත් තේමාවට හරියන්නම "... පුළුවන්, ජයගන්න..." කියමින් සාර්ථකව නිමාකරගත්තා කියන එකයි මගේ විශ්වාසය, එනමුත් ඒ ගැන කියන්න පුළුවන් වෙන්නේ පාඨක ඔබටය...
නිර්මාණයේ නිමිත්ත හැටියට: aerodynamics නොහොත් ගුවන් යානයක් පියාසර කිරීමේ මූලදර්ම ගැන විග්රහ කරන විද්යාවේ (වායුගතික විද්යාව) න්යායන් වලට අනුව වන බඹරෙකුට පියාසර කිරීමට නොහැකි විය යුතුය (aerodynamically a bumblebee cannot fly). වන බඹරාගේ සිරුරේ හැඩය, පියාපත් වල පරාසය/ප්රමාණය මුල්කර ගෙන හැදෙන න්යාය 1930 ගනන් වල ඉඳන් පවතින එකක්. එනමුත් වන බඹරුන් කවදත් හිමිදිරියේම බොහෝ ඈතට පියාඹා, මලින් මලට යමින්, මල් පැණි උරමින්, රස ගුණ මීපැණි නිපදවා ලෝකයාට තෑගි කරමින් ඉන්නේ මෙලොව පටන් ගත් දා ඉඳන් වෙන්න ඕනේ. උදේ පිපෙන සුමුදු, මෙලෙක්, මලක් පරවෙන්න කලින් පරාගනය කරලා මෙ පෘථිවි තලයේ ජීවීන්ට ගෙඩි පළ ලබා දෙන්න පුංචි වන බඹරුන් ලොකු යුතුකමක් ඉටුකරන්නේ. පසුකාලීනව එකී විද්යාවම හඳුනාගන්නවා තත්පරයකට දෙසිය-තිස් වතාවක් පමණ තටුගසන වන බඹරුන්ට පියාඹන්න පුළුවන් වෙනවා කියන එක.
එම කතාව දිරිගැන්වීමේ (motivational) ක්රියාවලියේ දී අරුත්බර රිදී රේඛාවක් අඳිනවා. බොහෝ අවස්ථාවල දී කෙනෙකු උත්සාහය අතහැර දාන්නේ, අධෛර්යමත් වෙන්නේ, මුළු ගැන්වෙන්නේ ඔහුට/ඇයට බැරි නිසාම නොව ආපස්සට අදින බාහිර කාරනා ගොන්නක් නිසා. කවුරුන්හරි පුන පුනා කිව්වොත් "උඹට බැහැ" කියන එක, ඊට හිත වහල්වීමට ඇති ඉඩකඩ අපමණයි, හරියට හැම සැහැල්ලු යකඩ රොඩ්ඩක්ම කාන්දමක් විසින් ඇදගන්න සමත් වෙනවා වගේ. බොහෝ විට කෙනෙකු කරන්න මැලිවෙන, ඔහුට කරන්නට බැරිවූ දෙයක් තවෙකෙකු කරන්න උත්සාහ කරද්දී නැහැ, බැහැ කියන බැරිදාසලා හෙවත් Naysayersලා ගෙන් දුරස් වෙන තරමට ඉලක්කය කරා යන්න පුළුවන් වෙනවා. ඔවුන් කියන්නේ ඔවුන්ගේ සීමාව, බැරිකම මිස ඔබේ ශක්තිය ගැන නෙවෙන්න පුළුවන්. ජීවිතයේ අභියෝගයන් ජයගන්න නම් තවත් කවුරුන් හෝ කපලා දෙන ස්ටෙන්සිලයක හිරව පින්තාරු කිරීම හෝ කවුරුන් හෝ ඇඳලා දෙන සැලස්මක් හෙවත් ප්ලෑනකට කොටුවීම නොව, ඉන් ඔබ්බට පියවර යත හැකිය යන විශ්වාසයයි වැදගත් - Believe Beyond the Blueprint.
අනෙක, මෙම නිර්මාණය හා ඉන් බිහිවෙන සිංදුව අද විශේෂයෙන් පිදෙන්නේ එදා සිට අද දක්වා ගල්මල්-Coral අඩවිය වටා සිටිය හා සිටින්නා වූ රසවතුන් වෙනුවෙන්. නිර්මාණ ද්විත්වය ගෙනෙන මෙම පෝස්ටුව ගල්මල් අඩවියේ හාරසිය වැන්න සනිටුහන් කරයි. මෙ ගමනේ දිරිය, ශක්තිය, ජවය ඔබ මිස වෙන කවුරුන් ද?
තවද, ඔබට අරගෙන යන්න පුංචි තිළිණයක්: වෙනත් අයෙකුගේ හෝ බාහිර විශ්ලේෂණයක් නිසා ඔබේ අදහස, ඉලක්කය, අභිප්රාය දියවෙන්න යන අවස්ථාවක දී මතක් කරන්න කඩිසර පුංචි වන බඹරා ගැන. "විශ්ලේෂණය නිසා ඇතිවන අකර්මන්යතාව" (paralysis by analysis) තුළ සිරවී සිටින විට, වන බඹරුන් (bumblebee) කිසිදු පැකිලීමකින් තොරව ක්රියාත්මක වෙමින් තම පියාපත් ගසන බව හිතට ගන්න. ඔබ ජයගත් දා ඔබ වෙනුවෙන් අනුන් එල්බ සිටි නිගමන වෙනස් කර ලියන්න ඔවුන්ට සිදුවේවි.
නිර්මාණය හා සිංදුව ගැන ඔබේ අදහස් කියන්න, එය මට බොහෝ වටී.
සවන් දෙන්න නුඹට පුළුවන් (You Can) ගීතය
The Breeze මගේ AI ගීත එකතුව රස විඳින්න:
The Breeze a pleasant wave of music | නැවුම් සුවඳ මුසු, ප්රසන්න මදනල නගන මියුරු ගී රාවය from ගල්මල්-Coral අඩවියෙන්
ග්රැෆික් ඉමේජය නිර්මාණයේ තේමාවට අදාලව හැදුවේ ChatGPT මගිනි.
තුතිමල් මිටක්: ලස්සන තනුව හා සිංදුව | Beautiful song done by Suno AI

No comments:
Post a Comment