Saturday, October 24, 2026

සුනම්‍ය - Bow Down, Rise Up

 


සුනම්‍ය (උණ ගසේ ගීතය):
පවන් සලයි, මල් හිනැහෙයි,
ගුමු ගුමුවයි සමනල තටු රඟන්නේ...
රළ නඟයි, ගඟ පහළට ඇදෙන්නේ,
සිලි සිලියයි නුඹ පවනට පුදන්නේ...

සිහින් සුළන් රැල්ලේ වෙලි
අතු ඉති පත් තාලෙට රඟන්නේ...
සිහින් සුළන් අහුරනු ඇයි
සිලි සිලියයි පවනට පුදන්නේ...

සුළන් සැරයි, සියොත් හඬයි,
පත් සැලෙයි, ගස් අතු ඇඹරෙන්නේ...
ගඟ සැරයි, හෝ හෝ හඬ නඟන්නේ,
වියරු සුළඟේ නුඹ කොහොමද ඉඳින්නේ...

සිහින් සුළන් රැල්ලේ වෙලි
අතු ඉති පත් තාලෙට රඟන්නේ...
වියරු සුළන් අහුරනු බැහැ
නමා සිරස මාරුතයට ඉඩ හරින්නේ...

සුනැමි නුඹ හැම විඳගෙන
අතු විහිඳා අහස උසට නඟින්නේ...
පුරුකෙන් පුරුක සවිබලව වැඩෙන්නේ
පාමුලින් කපා කවුරුද නුඹ බිම හෙළන්නේ...

උසින් උසට පිය නඟින එවුනට
පුරුකක්වී යුතුකම පුදන්නේ...
උන් ඉහළින් ඉහළට නඟින්නේ,
අපි සතුටින් පහළට බහින්නේ...

සිලි සිලියයි පවනට පුදන්නේ,
නමා සිරස මාරුතයට ඉඩ හරින්නේ,
උසින් උසට පිය නඟින එවුනට
පුරුකක්වී පිදෙන්නේ...


ශක්තිය යනු දෘඩ හෝ තද බව නොවන බව උණ ගස උගන්වයි. මෘදු සුළඟක දී, එය පැද්දෙමින්, මෘදු සුළඟ සිලි සිලියක සංගීතය බවට පත් කරයි. ප්‍රචණ්ඩ කුණාටුවකදී, එය පහළට නැමී, නොබිඳී යටත් වන අතර, සුළඟ බාලවූ පසු නැවත නැඟී සිටියි. කපා දැමූ විට පවා, එය කැමැත්තෙන් ඉදිරිපත් වන අතර, අන් අයට තනිවම ළඟා විය නොහැකි උසකට ඔසවන පලංචියක් බවට පත්වේ.

ජීවිතයත් එසේමය. කරුණාව කරුණාවෙන් හමුවන්න, ප්‍රීතියට එහි හඬ, රිද්මය සොයා ගැනීමට ඉඩ දෙන්න. අභියෝග හමුවේ නම්‍යශීලීව දුෂ්කරතාවන්ට මුහුණ දෙන්න. නැමෙන්න, නමුත් බිඳී නොයන්න. ඔබට හැකි විට, පරාර්ථකාමීව යුතුකම ඉටු කරන්න, එවිට අන් අයට නැඟී සිටිය හැකියාව ලැබෙනවා ඇත. සෑම කුණාටුවක්ම පහව යන අතර, ගැඹුරින් මුල් බැසගත් සහ ත්‍යාගශීලී ආත්මයන් උසින්, ශක්තිමත් සහ ප්‍රඥාවන්තව නැඟී සිටිනවා ඇත.

මෙම නිර්මාණය උණ ගස විසින් කියා දෙනු ලබන සුවිශේෂ ජීවිත පාඩම වටා ගොඩ නැඟුවෙමි. උණ ගස නිමිත්ත කරගත් නිර්මාණයක් මා පළමුව කළේ 2011 දී, එම නිර්මාණයේ පිදුම සටහන මෙසේ විය: ඉහළට නඟින්න තැනෙන අට්ටාලයක උස සකසන්න නැතිනම් කොටසක් දරන්න ජීවිතය කැපකර උණ ගස් වලට වඩා උස, මිටි වූ මිනිසුනට. ජීවන චාරිකාවේ බොහෝ නිහඬ කැපවීම් කර දිරායන පුද්ගලයින් බොහෝ හමුවී ඇත, විශේෂයෙන්ම කට්ට කාෂ්ටක පරිසරයක් ගැහැට විඳගෙන මැදපෙරදිග රැකියාව කරන කාලෙයේ හමුවූ ඔවුන් විශේෂයි. ඔවුන් පියවරු විතරක් නෙවෙයි ජීවිතයේ යව්වනය අනුන් වෙනුවෙන් දියකර වැඩිමහල් සොයුරන්, බාල සොහොයුරන් වගේම ඥාතීන් ගේ චරිත පණ පෙවූ අය විය. ඒවගේම ඊට නොදෙවෙනි භූමිකාවක නිරත කාන්තා පාර්ශවය ද බොහෝ වෙති.


a pleasant wave of music | නැවුම් සුවඳ මුසු, ප්‍රසන්න මදනල නගන මියුරු ගී රාවය

සුනම්‍ය
නිර්මාණය රසබර ගීතයක් කරා, සුනම්‍ය - උණ ගසේ ගීතය සවන් දෙන්න, රසවිඳින්න, ගීතය ගැන ඔබේ අදහස් අගේ කරමි.

තවද සුනම්‍ය නිර්මාණය Bow Down, Rise Up හැටියට ඉංග්‍රීසියෙන් ද නිර්මාණයක් හා ගීතයක් වුණා. එම පෝස්ටුව මගේ Amazing Spring බ්ලොග් අඩවියේ මීට සමගාමීව පළකර ඇත.


No comments:

Post a Comment

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts