පෙර දා රාත්රිය පුරා ඇද හැලුන වරුසාව උදේ ද කඩින් කඩ වහින්නට විය. සතියේ දිනක් වුව ද නගරයේ කඩවීදි පුරා පාළුවක් දැනෙන්නට විය. වැසි දිනවල දී අවට පෙදෙස් වලින් බඩු තොග මිලදී ගැනීමට නගරයට ඇදෙන සුළු වෙළෙන්දෝ ද අඩුය. එවගේම අනෙකුත් ඕනෑ එපාකම් සඳහා එන පාරිභෝගිකයින් ද අඩුය. එවැනි දවසක කඩවීදිය දෙපැත්තේ අත් කරත්ත, හයර් දුවන වාහන ගාල් කර තබා තැන තැන කල්ලි ගැහී කතා කරමින් ඉන්නා නාට්ටාමිලාද, රියදුරන්ද, සහායකයින් ද, සුළු සුළු වැඩ කරමින් දවසේ ගාන උපයාගන්නා පිරිසද දකින්නට පුළුවන.
වන්-වේ පාරට රිවර්ස් කරන වාහනයක් නිසා ඇදී එන වාහන හිරවී ඇති සෙයකි, එක දිගට නාදවෙන වාහනවල නළා හඬ ඒ බව කියයි. පදිකයෙකු වෙන මගේ ගමන් මඟ හරස් කර මා ඉදිරියේ ඇත්තේ බොක්ස්-බෝඩ් තොගයක් පැටවූ පටු, අඩි හයක් පමණ දිග අත්කරත්තයකි, ඊට උඩින් හතරැස් ගැල්වනයිස් බාර් ද කිහිපයකි. ඒ බාර් කරත්තයෙන් පිටතට නෙරා ඇත, එහි පිටුපස කෙළවරේ රතු පාටට හුරු සිලි සිලි බෑගයක් සුළං සමඟ පොරබඳිමින්, රතු කොඩියක උවමනාව සපුරමින් අනතුරු හඟවයි. කරත්තය මැද්දක් හරියට වෙන්න රෝද දෙකකි, ඒ හැර බඩු තොගයේ සම්පූර්ණ බර රැඳී ඇත්තේ කරත්තය ඇදගෙන යන කෙසඟ සිරුරක් ඇති මිනිසාගේ දැතේය. ඔහුගේ අත්වල නහර ඉලිප්පී ඇත, දෙපාවල මස්පිඩු මත ගැට ගැසුන නහර මතු වී ඇත, දකුණු කකුලේ විළුඹ පොළවේ නොගැටෙන සේ පය ඔසවාගෙන සිටී. ඒ අතර විටින් විට ආපස්සට හැරී කරත්තය මත ඇති බඩු තොගය උඩින් ඉස්සී විපරම් කරයි. අප ගමන් කරන්නේ වාහන යන අතට විරුද්ධ දෙසටය, ඉඹි ගමනේ අප පසුකර ඇදෙන වාහන පෙළ දෙස බලා සිටි ඔහු කරත්තය අදින්නට වෙර දරන්නේය. කරත්තය අඟලක් වත් සෙලවුණේ නැතුව ඇති.
අප ගමන් කරන දෙසට විරුද්ධ පැත්තට වාහන පෙළ අතරින් මෝටර් සයිකල් කිහිපයක් ද ඊට වම්පස ලේන් එකට වෙන්න තවත් හිස් අත් කරත්තයක් ද ඉදිරියට ඇදේ.
"...අය්යේ පොඩ්ඩක් හිටපං, මං ෂපෝට් එකක් දෙන්නං" ඒ පාරේ අනික් පැත්තේ හිස් අත් කරත්තය තල්ලු කරන පුද්ගලයාගේ කටහඬය, ඔහු නමක් කීවද එය පැහැදිලිව ඇහුණේ නැත. අත් කරත්තය අයිනක නතර කර ඔහු බෆර් එකිනෙකට ගෑවෙන නොගෑවෙන තරම් හිර වූ වාහන අතරින්ම අප දෙසට ආවේ දඟර නැට්ටුවෙකු විලසිනි.
තදබදයේ හිර වූ වාහනවල ඇක්සලේටරය පාගන්න බැරිකමට දෝ ආයෙත් ඉවසිල්ලක් නැති නළා හඬ දෙවනත් කරන්නට විය.
බර පැටවූ අත්කරත්තය ළඟම උන්, යම්තම් අඳුරු වීදුරු ෂටර් වැසා ඇති වාහනයේ රියැදුරු අසුනෙන් කේන්තියෙන් එසවූ අතක් දිස්විය. එයට දකුණතේ ඇඟිලි තුඩු එක් කර 'පොඩ්ඩක් ඉවසන්න' කියන්නාක් මෙන් සංඥා කල ඔහු "හරි ඇදපන් අය්යේ..." කියමින් අත්කරත්තයට පිටුපසින් තල්ලුවක් දුන්නා.
අත්කරත්තය ඉදිරියට ඇදේ, ඊට පිටුපසින් මා ද පය එසවූවෙමි.
"ඇයි බං කරත්තේ හිස්, උඹ ගිය වැඩේ මොකෝ උනේ..." ඒ අත්කරත්තය ඇදගෙන ඉදිරියෙන් යන අයගේ හඬය.
"ඒක හරි ගියේ නෑ නේ බං, වැස්ස් හින්දා අද ලෝඩ් එක ගෙනියන්නේ නෑ කිව්වා"
"මෙච්චර වෙලාවක් ගියයි ඒක කියන්න, උඹ උදේම ගියානේ මල්ලි?" අනුකම්පාව ගැබ් වූ ඒ හඬ බාල විය.
"මොනව කරන්න ද බං, ඉඳලා ඉඳලා හැරිලා ආවා"
"මොකුත් දුන්නේ නෑ?"
"නෑ බං"
"උදෙන්ම. හිස් අතිං ආවා?"
"ඉබ්බා උන්නේ, උඹ දන්නවනේ උගෙන් පිහාටු ගන්නවා බොරු"
"හරි, ලෝඩ් එක බාලා ගිහින් මොනව හරි කාල ප්ලේන්ටියක් ගහමු. උඹත් මොකුත් කෑවෙ නෑනේ"
"අය්යේ, ඉක්මන් කරපන්. ආයෙ කලු කරනවා. උඹ තර්පලේ* දාලත් නෑනේ"
"තියෙනවා, යට. පොඩි දුරක් නෙහ් දැම්මේ නෑ, මෙතැන බ්ලොක් උනානේ"
ඔවුන් දෙදෙනා කදේ දා ගෙන ඉදිරියට ගිය අතර නියමිත ස්ථානයට ළඟා වූ මා ද නතර වූයෙමි.
වරින් වර අඳුරුවෙන, එළිය දෙන, ඉඳහිට සැරවෙන සුළඟ ඇදහැලෙන්නට නියමිත වැස්ස ගැන ඉඟිකරයි. ඉඳහිට ඈත පෙදෙසකින් ආ කෙනෙකු කියන ගංවතුර තර්ජනය ගැන කරන විස්තර කනවැකෙයි, ඒ අනුව ගිංගඟේ ඉහළ පෙදෙස් ගැන චිත්රය හිතේ ඇඳේ. නගරය මැද්දේ කෑකෝ අතරම පැය ගණනාවක් ගෙවී ගියේය.
සයුර සිපගන්න ලස්සන කොළ පැහැ රූමස්සල කඳුවැටිය හා කොටුපවුර අතරින් ලද ඉඩකින් රිංගන සැඳෑ හිරුගේ සෝමාරි එළිය තවමත් කඩිසර කඩවීදිය දෙස එබී බලන සෙයකි.
සවස 5.05 කෝච්චියට යාගත නොහැකි වූ මා සිතේ ප්රධාන බස් නැවතුම්පොළ, මේ පැයේ බසයකට ගොඩවීම, කොළඹ පාර සිට ඇවිද යන්නට ඇති දුර, රූප මාලාවක් මැවේ. වෙනත් විකල්පයක් නැත, පය ඉක්මන් කළෙමි.
ටික දුරක් එද්දි අත්කරත්ත කීපයක් කඩවීදියේ නවතා තියෙන අයුරු ඈත සිට දුටුවෙමි. කීප දෙනෙක් කරත්ත දෙකකට බර දී කතාවට වැටී හිඳී, උදේ දුටු දෙදෙනා ද එතැනය. ඒ අසල නතර වූ මා වෙත සුහද සිනාවක් පාමින් ඔවුන් අත්කරත්තයෙන් නැගිටින්නට විය.
"මොකද්ද වෙන්න ඕනෙ සර්?" මුව ආවරණය නිකටින් පහළට පහත් කරගෙන බීඩියක් උරමින් හිටි අයෙක්, බීඩිය බිම දා පයින් පොඩි කරන ගමන් මාස්ක් එක හරියාකාරව දාගනිමින් මගෙන් අහන්නට විය.
"ලොක්කා! මට ඔය දෙන්නත් එක්ක ටිකක් කතා කරන්න පුළුවන් ද?"
"ඇයි මොකෝ සර්" ගිලිච්ච ඇස් දෙක ලොකු කර තවෙකෙක් අහන්නට විය, මුහුණුවල සැකයක් මතුවෙන්නක් මෙනි.
"උදේ මේ දෙන්නත් එක්ක අත්කරත්තයක් තල්ලු කරන් යනවා මං දැක්කා"
"ආ... ඔව් සර්"
"ඉතිං, අද දවසෙ වැඩ කොහොමද?" ඔවුන් තුළ ඇති වූ තැතිගැන්ම තුනී කරන අටියෙන් සිනාසෙමින් බොහෝම සෙමින් ඇසුවෙමි.
"හරිම ෂවුත්තුයි, උදේ එක විතරයි. අපි පස්දෙනාගේ ස්පොට් එක මේක. දවසටම ආවේ වැඩ දෙකයි." නවතා ඇති කරත්ත පහකි, ඉන්නේ හතර දෙනෙකි. වටපිට බලන මට ඉන් අයෙක් ඇඟිල්ලකින් 'එක' සන්කරයි "තව ටික වෙලාවක් හිටියා, අපි ගියා සර්"
"බොහෝම කණගාටුයි"
"මේ රස්සාව එහෙමයි සැර්, උඩහට වැස්සොත් ගිලෙන්නේ අපි..." තවෙකෙක් දොඩමළු වෙන්නට විය. "අද වැඩ දෙකක් හරි හම්බුනා, අපි පස් දෙනාට මොනව හරි කාල ප්ලේන්ටියක් බීලා බීඩියක් ගහන්න පුළුවන් උනේ ඒකෙන්. දෙයියෝ දෙන විදිය තමයි. බීඩියත් හවුලේ ගහන්න වෙන දවස් තියෙනවා, අතමිට සරු නම් ගෝඩ්ලීෆ්. හොරකම් කරන්නෑ සර්, මේක පුරුද්දට කරන රස්සාව. අතරින්න බෑනේ සර්..." ඔහු දොඩමළු වෙන්නට විය...
"ඒක නෙවේ තර්පලේ* කියන්නේ මොකක්ද" ඔහු නවතාලනු වස් අපේ කතා නායකයා දෙස බලමින් ඇසුවෙමි.
"මල්ලී, මගේ කරත්තේ යට තියෙන එක ගනින් බං"
පිළිවෙළට නවා, නයිලෝන් ලණු පටකින් ඔතා, ගැටගසා ඇති පාර්සලයක් බඳු එය කරත්තය මත දිගෑරුනි. එක පැත්තක් ලානිල්පාටින් ද අනෙක් පැත්ත සිල්වර් පේන්ට් ගෑවාමෙන් පාටින් ද යුත් එය ඝන ඉටි රෙද්දකි. නැවීම් නිසා හා අව්වට දුර්වර්ණ වූ එය ආපදා අවස්ථාවක පාවිච්චියට ගන්නා වූ කූඩාරම් එහෙමත් නැතිනම් ටාර්පොලීන් ටෙන්ට් ෂීට් එකක් වෙන්නැති.
දැන් එතැන පස්දෙනාම වෙති. ඔවුන්ගේ කතා විලාසයෙන්, වචන භාවිතයෙන් ඉඟියක් ලැබුණ ද ඔවුන් රස්සාවෙන් එකම කුලකයේය. අනෙකාගේ බඩගින්න දැනෙන, අනෙකා අදින බර දැනෙන, අතේ පිච්චියක් නැතිව අනෙකාගේ ලෝඩ් එකට තල්ලුව දෙන නාට්ටාමිලාය. එවුනට අනෙකාගේ හෘදස්පන්දනය දැනෙනවා වගේම, ඔවුනටම හුරු දහඩිය දුගන්ධය වගේම ඇඟ පුරා දුවන ලෙය එකම රතුපැහැ වගේම ඒ හා මුසුවූ තවත් බොහෝ දෑ පොදු වෙන්නට පුළුවන.
ඔවුන් නගරයේ කඩවීදි ඔස්සේ බර පැට වූ අත්කරත්තයක් තල්ලු කරගෙන, ගොරෝසු සද්ද නගා ඉඩ ඉල්ලමින් සෙනඟ අතර ඇදෙන අයවෙති. විටෙක බර පාර්සලයක් කර මත තියාගෙන, තවත් එකක් දෙකක් අතින් එල්ලා ගෙන කඩවීදි හරහා ඔබ මොබ යන්නෝය. කට්ට අව්කාෂ්ටකය, වැස්ස, කුණාටුව, දූවිල්ල සමඟ පොරබදින වළගැසුණ මුහුණ, අත් පා වල සම කඩාගෙන එළියට පනින්න මෙන් දිස්වෙන ඉලිප්පුණ, තැන තැන ගැටගැහුණ නහර පිරුණ කෙසඟ සිරුර වසා අවපැහැ ෂෝටකින් සැරසී විටෙක ඒ මත කැහැපට ගසා තදට වෙළුණ පිජාම සරමකින් ද සැරසුණ අය වෙන්න පුළුවනි. ඔවුන් පෝෂ් නොවුනද ද මිනිසුන්ය. අනේක බර කර ගසා වෙහෙස විඩාවටපත් කෙළවරක් නැතිව බැටකන නගර මද ජීවන රටාව නිසාදෝ ඒ හා බැඳි ජීවන රටාව නිසා දෝ පුරුදු බොහෝ ඇති, මොන බර එසවූවද විළුඹ පොළවේ ගැටීම පමණක් එවුනට බොහෝ වේදනාව ගෙනදෙනවා ඇති.
නගරයේ කිලිටි ඇඳගත් නාට්ටාමි ඔසවන්නේ නගරයට එන පිරිසුදුව හැඳගත් අයට එසවිය නොහැකි බරකි. ඒ හොර බොරු නොකර මහසිවි කාසි ඉපැයීමටය. එය ද බඩවියත රකින, නැණ ගුණ පාදා දරු දැරියන් රකින තවත් රස්සාවකි.
ප.ලි: මෙය 2020 අගෝස්තු අග දවසක අත්දැකීමක් මුල්කරගෙන ලියූවකි.
//"මේ රස්සාව එහෙමයි සැර්, උඩහට වැස්සොත් ගිලෙන්නේ අපි..."//
ReplyDeleteවචන!
තර්පලේ කිව්ව ම ටාර්පෝලින් එක වෙන්න ඇති කියලා හිතුණා.
සමහර නාටාමිලා ඉන්නේ පාන්පිටි නාගෙන වගේ. තවත් කෙනෙක් සිමෙන්ති වලින් නැහැවිලා. ඒ අයගේ භාශාවේ පටන් ම තිබෙන්නේ වෙන ම සංස්කෘතියක්. වටිනා ලියැවිල්ලක්
බොහෝම ස්තුතියි නංගී. මේ පසුගිය සැප්තැම්බර් වල දී ලියන්න පටන් ගත් පෝස්ටුවක්, ඇදි ඇදී තිබුනා. හොඳ වෙලාවට දෙබස් සටහන් කරලා තිබුණේ.
Delete