Saturday, October 31, 2026

මගේ බස

 


බහ තෝරන කාලයේ
සුළඟේ ඇදෙන්න ඇති
හිස් කන්පෙති මත දැවටෙන්න ඇති
වරින් වර හිතේ රැඳෙන්න ඇති
හුරුවෙන්න ඇති, බස

ගල්කූර ගල්ලෑල්ලේ හැඩ මවන
දයාබර, කරුණාබර වදන්
සාමලා අමරලා යාළුවෝ
හිතන්න, ලියන්න
සුබසක උරුමය ලැබුවා

කටු අකුලක පුංචි පැලය 
සිලි සිලි සුළඟ, මාරුත කුණාටු මැද
අතු ඉති විහිදා සින්දූරය වැඩුණා
මුල ගැඹුරට ඇදුණා, සවිය දුන් බස

මා වඩා පෝෂණය කර බස
හිතන පෙරනිමි බස
අකුරු කරන බස
ලොව සුන්දරම බස
මගේ බස
සිතුවිලි වලට පණ දෙන බස
මියුරු පද මුමුණන බස

ඉතින්, වියරු සුළඟේ විරාමයක් අරගෙන
සින්දූරය සෙවණේ විඳපන්නේ
මගේ බස
ලොව සුන්දරම බස


භාෂාව පුද්ගලයෙකුගේ ජීවිතයේ සුවිශේෂී උරුමයක්, බහ තෝරන කාලයේ දී පරිසරය කෙනෙකුගේ භාෂාවේ හුරුවට අනුබල දෙනවා ඇති. කෙනෙකු අකුරු ඉගැන්වීම සිට පාසැල් දිවිය පුරා භාෂාව ප්‍රගුණ කරනවා ඇති, එය පාළමු බස හැටියට අභිෂේක ලබනවා ඇති. ඒ පළමු බස කෙනෙකුට යමක් හිතන්න පිටුවහල් වෙන භාෂාව, එහෙමත් නැත්නම් ඔහුගේඇයගේ පෙරනිමි නැත්නම් ඩිෆෝල්ට් භාෂාව වෙන්න පුළුවන්. එනමුත් මුල් පළමු බස මව්බස නෙවෙන්න පුළුවන්, හේතුව මව්බස හා එහි අරුත දෙන mother tongue, first language, native language  කියන හැඳින්විම විවිධ අවස්ථා වලදී වෙනස් අර්ථ දැක්වීම් වලට බඳුන් වෙන නිසා. 

පුද්ගලිකව, මගේ පළමු බස සිංහල. එය මා ලියන, කියවන සුභාවිත භාෂාව, ඒ වගේම ඉංග්‍රීසි ඊට දෙවෙනි මගේ බස. එනමුත් ජන කොට්ඨාශයකට අයත් නිසා මා බහ තෝරද්දී තෙපලූ බස මගේ පළමු බසම විය යුතු නැත, එබස ලිවීම හෝ කියවීම හැකියාව මට නැත. සන්නිවේදනයේ දී සුභාවිත භාෂාවන් දෙකට අමතරව පරිගණකයක් හුරුකර, හැසිරවිය හැකි, වැඩගත හැකි භාෂාවා කිහිපයක මගේ බස ලේබලය යටතේ දැක්විය හැකිය.

83-84 කාලයේ පටන් ගත් පරිගණකය සිංහලට හුරු කිරීමේ මගේ වෑයම නූතන AI යුගය දක්වා විහිදෙන අතර, බාසාව වෙනුවෙන් ඊටත් වඩා යමකට මුලපුරා ඇත. සදාචාරාත්මක හේතු මත දැනට ඒ ගැන විස්තර සාකච්ඡා කළ නොහැකිය.

මා නැණ ලැබූ බස, මගේ බස ය. සින්දූරයක් (ඕක් ගහක්) වගේ ඕනෑම සුළඟක් දරන්න පුළුවන් සවිබල අත්තිවාරමක් මට ලබා දුන් මගේ බස සිංහල ය කියා ගෞරවයෙන්, භක්තියෙන් කියමි.

සින්දූරය = ඕක් (oak) ගහ
පෙරනිමි භාෂාව = ඩිෆෝල්ට් (default) හෙවත් සවයංක්‍රීයව භාවිතා වෙන භාෂාව  

No comments:

Post a Comment

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts