Saturday, November 14, 2026

අදිසි අත - Invisible Hand (හොල්මන් කතා)

 


ටවර් ක්‍රේන් (Tower crane) ලෙස බහුලව හැඳින්වෙන මෙය, උස් සිරස් කුළුණු (tower) ව්‍යුහයක් මත සවි කර ඇති, විශාල සහ ස්ථාවර සමතුලිත දොඹකරයකි. ටවර් ක්‍රේන් යන්ත්‍රයක ඉහළ කොටසේ සිට විහිදෙන, තිරස්ව හෝ යම් ආනතියක් සහිතව පිහිටි දිගු බාහුව (boom) —සාමාන්‍යයෙන් 'ජිබ්' (jib) හෙවත් "වැඩ කරන බාහුව" (working arm) ලෙස හැඳින්වේ—ඉදිකිරීම් භූමියක් තුළ බර ද්‍රව්‍ය එසවීමට, නියමිත ස්ථානවල තැබීමට සහ එක් තැනක සිට තවත් තැනකට ගෙන යාමට යොදා ගැනේ (අන්තර්ජාලයෙන් ලබාගත් සරල හැඳින්වීමක පරිවර්තනයකි).

අඩි සිය ගානක උස ටවර් ක්‍රේන් ක්‍රියාත්මක කරන්නෙ ක්‍රේනයේ ඉහළ පිහිටි කුටියක රැඳී ඉන්නා වූ පළපුරුදු ඔපරේටර් කෙනෙකු විසිනි. එම කුටියට ඔහු ළඟා වෙන්නේ විශාල දම්වැල් වලින් ඔසවන බාස්කට් එකක් වැනි ව්‍යූහයක තුළ බැස ක්‍රේණයේ උස කුළුණට සමීපව උඩට එසවීමෙනි, ඔහු විසින්ම ක්‍රියාත්මක කරන උපකරණයක පාලනය හරහාය. ඉහළ කුටියේ සිටින ඔපරේටර්වරයා සමඟ සම්බන්ධීකරණය, පණිවුඩ හුවමාරුව ක්‍රේනය පාමුල සිටින සහායකයෙකු රේඩියෝ (වෝකි-ටෝකි) හරහා සිදු කරයි.

ඩේව් ජනාකීර්ණ නගරයේ උසට ඉදිවෙන නව ගොඩනැගිල්ලක ඉදිකිරීමේ බිමක වැඩ කරන පළපුරුදු ටවර් ක්‍රේන් ඔපරේටර්වරයෙකි. වටේම ඇති අනෙකුත් ගොඩනැගිලි වලට උඩින් ඉදිකිරීමේ කිරිමේ කටයුතු වලට අවශ්‍ය දේවල්, බර ලෝඩ් උඩ පහළ ගෙනියන්න ඔහු ටවර් ක්‍රේන් එකෙහි බූමය (boom) හසුරුවන හැටි දකින කෙනෙකුට වෙනම ලස්සනකි, ඔහු ඒ වැඩේට දක්ෂයෙකි. නගරයේ උසම තැනක පිහිටි, ඔහු වැඩ කරන, විශාල ටවර් ක්‍රේන් එක හසුරුවන කුටියේ සිට උදේ හිරු, ඈත අහස පීරන උස ගොඩනැගිලි අතරින් නැඟ එන ලස්සන, දවසේ රාජකාරිය නිමාකර විඩාපත් හිරු වෙරළේ ජල කඳ රිදී පැහැයෙන් සරසන අලංකාරය, චමත්කාරය ඔහු උපරිමයෙන් රසවිඳියි. වැඩට යන එන අතර තුර, කෑම වෙලාවෙදි, එහෙමත් නැති නම් හවසක විවේකයේ ඉන්න වෙලාවෙ දී ඩේව් ජනාකීර්ණ, කලබල නගරයේ ඉහළක හිඳ ඔහු දකින, විඳින දේවල් ඔහුගේ සඟයන් වටකරගෙන රසකර කියන්නට පුරුදුව සිටියා. "පොත් ලියන එකෙක්, කවියෙක් උඩට එක්ක ගියා නම්, පහළට ගේන්න ලේසිවෙන එකක් නැහැ..." ඩේව් නිතරම කියුවා.

සැහැල්ලුවෙන්, විනෝදයෙන් ජීවිතය ගත කරන ඩේව්ගේ කතා ටවර් ක්‍රේනයේ පාමුල ඉඳන් ඔහුගේ වැඩවලට උදව් දෙන සහකරු, සුනිල්ගේ හිතේ ඊර්ෂ්‍යාවක් ලියලන්නට පටන් ගත්තා. කාලයක් යද්දි එය වෛරයකට හැරුණා. සුදුසුකම් සියල්ල අතැති සුනිල් නිතරම හිතුවේ ඩේව් වැඩකරන කුටියේ වාඩි වෙන්න, ටවර් ක්‍රේන් ඔපරේටර් වෙන්න.

දවසක්, ඩේව් ටවර් ක්‍රේනය ක්‍රියාත්මක කරමින් ඉන්නා අතරතුර, පාලනය ගිලිහී එය වේගයෙන් පහළට ඇද වැටෙන්නට විය. දැඩි අරගලයකින් පසු, ඔහුට යම් තාක් දුරකට එය පාලනය කර ගැනීමටත්, යන්ත්‍රයේ දිගු බාහුව (boom) මුහුද දෙසට හරවා ගැනීමටත් හැකි විය. වාසනාවකට මෙන්, එමගින් සිදුවන්නට ගිය මහා විනාශයක් වළක්වා ගැනීමට හැකි විය. වැඩ බිමේ ආරක්ෂක අංශ නිලධාරීන්ගේ සහාය සහ උත්සාහයෙන් ඩේව්ව ආරක්ෂිතව පහළට ගෙන එන ලදී. කෙසේ වෙතත්, ඔහු දැඩි කම්පනයකට (shock) පත්ව සිටි අතර මුඛයෙන් රුධිරය වහනය වෙමින් තිබූ බැවින්, ඔහුව වහාම රෝහල වෙත ගෙන යාමට සිදුවිය. ගිලන් රථයට නංවන අවස්ථාවේදී ඔහු සිහිසුන් විය. දින ගණනාවක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීමෙන් පසු ඔහුව සාමාන්‍ය වාට්ටුවකට මාරු කෙරිණි. මාස කිහිපයකට පසුව ඔහු නැවත සේවයට පැමිණි විට, ඔහුගේ සේවය තවදුරටත් අවශ්‍ය නොවන බව දැනුම් දෙන ලදී. ඔහු භක්තියෙන්, ගෞරවයෙන් කර රැකියාව අහිමිව ඉතා අසරණ වූ ඩේව් මාස කිහිපයකට පසු මෙලෝකයෙන් සමුගෙන ගියේය.

තමාගේ සහායකයා මෙම කුමන්ත්‍රණයට සම්බන්ධ බව ඩේව්ගේ හිත නිතර, නිතර කියන්නට විය.

වෙනදා වගේම උදේ පහටත් කලින් සුනිල් අවදි වුණා. ඩේව් අයියා ගෙන් පසුව ඒ කැබින් එකේ වැඩ කරන එක ඔහුට දැන් අමුත්තක් නොවුණත්, අද උදේ පපුවේ මොකක්දෝ අමුතු බරක් තිබුණා. කවුදෝ බලා සිටින්නාක් වගේ හැඟීමක් ඔහුට දැනුණා.

වෙනදා වගේ ස්ටාෆ් බස් එකේ කවුරුවත් කතා කළේ නැහැ. ඩේව්ගේ ආසනය හිස්ව තිබුණා. කවුරුත් එහි වාඩි වුණේ නැහැ.

ඉදිකිරීම් භූමියට ළඟා වන විටත් අහස අඳුරුය, අළු පැහැයි. අහස පෙනෙන තරම් උස ටවර් ක්‍රේන් මුදුන එක වලාකුළු අතරට ගිලී තිබුණා. බාස්කට් එකට නගින පඩිපෙළ ළඟ සුනිල් නතර වුණා. යකඩ පඩිපෙළ අයිස් වගේ සීතලයි.

"ඩේව් අයියා නැතත් මට පුළුවන්" කියා ඔහු තමාටම කියා ගත්තා.

ඔහු පඩි නගින්න පටන් ගත්තා. එක, දෙක, දහය… සුළඟ වැඩි වුණා. පහළින් ඇසුණු යන්ත්‍ර හඬ ටිකෙන් ටික දුරස් වී, අන්තිමට සම්පූර්ණයෙන්ම නැති වුණා. කුරුල්ලෙකුගේ හඬවත් නැහැ. ඒ නිහඬතාව සාමාන්‍ය එකක් නෙවෙයි.

හදිසියේම ඔහුට ඇසුණා. පිටුපසින්, පඩි පෙළ නගින තවත් කෙනෙකුගේ පා හඬක්, සෙමින්, බොහෝම සෙමින්...

සුනිල් හැරී බැලුවා. කිසිවෙක් නැහැ. හිස් පඩි පෙළ පමණයි.

"මං අහන්නේ… කවුද?"

පිළිතුරක් නැහැ. සුළඟේ කෙඳිරිල්ල පමණයි.

ඔහු වේගයෙන් නැග බාස්කට් එකට ඇතුළු වුණා. ලිවරය ඇද්දා. බාස්කට් එක ඉහළට නගින්න වුණා. අවට නගරය පහළින්, ටිකෙන් ටික කුඩාවි ගියා. ඈත මුහුද රිදී පැහැයෙන් දිලිසුණා. ඩේව් අයියා කියූ ලස්සන ඒකද කියා සුනිල්ට මොහොතකට හිතුණා. බය පොඩ්ඩක් අමතක වුණා.

ඒ අතරම, අහසේ මැදදී, බාස්කට් එක කිසිම හඬක් නැතිව නතර වුණා.

සුනිල් ලිවරය ඇද්දා. ඔබා බැලුවා. නැහැ. කන්ට්‍රෝල් පැනල් එකේ එක ලයිට් එකක්වත් නැහැ. රේඩියෝ බට්න් එක ප්‍රෙස්කලා, එකෙන් ආවේ කෘමි හඬක් වැනි කුරු කුරු සද්දයක් පමණයි.

"හෙලෝ! හෙලෝ! ඇහෙනවද? බාස්කට් එක හිරවුණා!"

ඔහුගේ හඬ ඒ අනන්ත අහසේ මැකී ගියා.

බාස්කට් එක පතුලේ යකඩ දැලෙන් බැලුවාම, පහළ ඉදිකිරීම් භූමිය කුඩා හතරැස් කුටී පෙළක් වගේ. සුළඟට බාස්කට් එක සෙමින්, සෙමින් සුළඟේ පැද්දෙනවා. අත් දෙකෙන් යකඩ රේලිං අල්ලා ගත්තේ මර බයෙන්. අත්ලේ දහඩිය. හදවත ගැහෙනවා.

එවිටම, හරියටම පිටුපසින්, හුස්මක් වැනි සීතල ඔහුගේ ගෙලට දැනෙන්නට විය.

සුනිල් ගල්ගැහීලා, නොසෙල්වී සිටියා. බාස්කට් එකේ ඔහු හැර කිසිවෙක් නැති බව ඔහු දන්නවා. මීටර් සියයක් උසින්, එහෙනම් මේ හුස්ම කාගේද?

මොහොතකට පසු ඔහුගේ උරහිස්  මත යමක බරක් දැනුණා,
බරයි. ඉතා සීතලයි. ඇඟිලි පහක්. සම හරහා ඇට දක්වා විනිවිද යන සීතලක්. ඒවා ඇඟිලි බව ඔහුට හොඳින්ම දැනුණා. 

හුස්ම ඇද ගන්න බැරි වුණා. කෑ ගහන්න උත්සාහ කළත් හඬ පිටවුණේ නැහැ. ඇස් පියාගෙන ඔහු මවට, දෙවියන්ට කියූ ප්‍රාර්ථනා සිතින් මතු කළා. ඩේව් අයියාගේ අනතුර, හිස් ආසනය ඔහුට මතක් වුණා.

ඉන්පසු ඒ අත් දෙක, සෙමින්, ඉතා සෙමින්, ඔහුව ඉදිරියට තල්ලු කළා.

බාස්කට් එක පැද්දෙන වේගය වැඩි වෙන්න පටන් ගත්තා, එක පැත්තකට ඇලවුණා.

කෝ, කෝ රේඩියෝව....

බියජනක අමුතු හිනාවක් ඔහු වටා ඇසෙන්නට විය...



*  ගල්මල්-Coral ප්‍රබන්ධයකි.


තවත් හොල්මන් කතාවක් ළඟදීම බලාපොරොත්තු වෙන්න...


අලුතින් එක් වූ හොල්මන් කතා කියවන්න:



තවත් හොල්මන් කතා:

බ්ලොග් පෙට්ටගමෙන් හොල්මන් කතා:

Wednesday, November 11, 2026

නිහඬ කටහඬ - Silent Voice (හොල්මන් කතා)

 


ජබාරි ඉන්දියාවේ සංචාරයක යෙදී ඉන්න අප්‍රිකානු සංචාරකයෙක්.

හිරු බසිමින් තිබූ රත්පැහැ ආලෝකය යමුනා ඉවුරේ දිය රැල්ලේ දිලිසෙද්දී, ජබාරි තාජ්මහලේ දොරටුව වෙත දිව ආවේ හති වැටෙමිනි. ඔහුගේ ගමන් කාලසටහන අවුල් වී තිබුණි. එහෙත් තම මුතුන්මිත්තන්ගේ අත්වලින් නිම වූ ඒ ලොව පතළ ශිල්පය නොදැක ආපසු යාමට ඔහුට සිත ඉඩ නොදුනි.

ඇතුළු වූ සැණින් ඔහු නිශ්චලව සිටගත්තේය. සුදු කිරිගරුඬ මත සියුම් මල්වැල්, මැණික් කැටයම්, අහස සිඹින කුළුණු, සෑම අස්සක් මුල්ලක්ම ඔහුව මවිත කළේය. ඔහු ඇඟිලි තුඩින් කැටයම් සෙමින් පිරිමැද්දේය.

“මේ අත්වලට ඇත්තේ කොතරම් දක්ෂකමක්ද!” ඔහු මුමුණා කියුවා.

තම මුතුන්මිත්තන් විශ්වාස කර මේ සිහිනය ඔවුන් අතට පැවරූ ෂා ජහාන් අධිරාජයාටත්, මුම්තාස් මහල් දේවියට තිබූ ඔහුගේ අසීමිත ආදරයටත් ජබාරි හිස නැමුවේය. කාලය ගැන සිහියක් නැතිව ඔහු එකිනෙක මණ්ඩප පසුකර සෙමින් ගමන් කළේ මොහනයට පාත්‍ර වූ අයෙකු මෙනි.

ඔහු පියවි සිහිය ලබනවිට අවට සංචාරකයෝ නොවූහ. අවසන් මුරකරුවාගේ සීනුව පවා නිහඬ වී තිබුණි. සුළඟ නැවතී ගොසිනි. ඔහු සිටියේ කිසිදා නොදුටු දිගු, අඳුරු කොරිඩෝවකය. බිත්ති දෙපස පහන් නොතිබුණත්, අහසින් වැටෙන අන්තිම රතු රැස් තුනීවී ඒ අඳුර තව තවත් ගැඹුරු කළේය.

කොරිඩෝවේ කෙළවර, දශක ගණනාවක් වසා තැබූ බරැති දොරක් විය. එහි දිරාපත් වූ කවුළුවක්වත් නැත. ඒ මොහොතේ ජබාරිගේ පපුව කිසි හේතුවක් නැතිව වේගයෙන් ගැහෙන්නට විය.

එවිට දොර අතරින් සීතල හුළඟක් ඇදී ආවේය. ඒ සමඟම ඉතා පහත්, වේදනාවෙන් බර කටහඬක් ඇසුණි. එය ඔහුගේම මවු බසින්, ඔහුගේ ගමේ කතා ආරටම විය. ඒ වචන කිසිවෙක් මෙතරම් දුර රටක කිසිදා නොදන්නා ඒවා ය.

“...මගේ අත්... කෝ මගේ අත්, මගේ අත් කොහෙද...?”

ජබාරිගේ ලේ ශීතල විය. දෙපා එක තැනම සිර විය. කෑගසන්නට ඔහු උත්සාහ කළත් උගුරෙන් හඬක් පිට නොවීය.

“...මම මේක හැදුවා... මගේ ඇඟිලිවලින් ඒ මල් කැටයම් කළා... ඒත් දැන්... මට ඇඟිලි නැහැ...”

දොර යටින් තද රතු පැහැති, තවමත් උණුසුම් බව පෙනෙන තෙත් යමක් සෙමින් ජබාරිගේ පාද වෙත ඇදී ඇවිත් තැවරෙනවා දැනුණා. මුළු කොරිඩෝවම ඊයම් සහ ලේ ගඳින් පිරී ගියේය. කටහඬ වඩාත් සමීප විය. දොරේ අනෙක් පස සිට නොව, ඔහුගේ කනට පිටුපසින්ම මුමුණනවා සේ දැනෙන්නට විය.

“...රජතුමා අපට තෑගි දුන්නා... අපේ අත්වලට... මරණය.., මරණය...”  විලාපයක් වෙන්නට විය.

එකවරම දොරේ දැවැන්ත ලී ඇතුළතින් ඇඟිලි නැති, ගොරහැඬි අතක් ඉරි ඇඳෙන සද්දයක් ඇසුණි. නියපොතු නැති මස් පිඬු ලීය මත සෙමින් ඇදී යන හඬ, ඒ සෑම ඉරකටම ජබාරිගේ හදවත් ගැස්ම වැඩි වෙමින් පිළිතුරු දුන්නේය.

“...උඹත් ආවා නේද... අපේ ලේ හළපු තැන බලන්න, අපේ අත් සිඳදාපු හැකියාව බලන්න... මට ඔබේ අත් දෙන්න...”

දොර අගුල සෙමින් කැරකෙන හඬ ඇසුණි...

ජබාරි පසුපසට ඇදෙන්නට උත්සාහ කළේය. එහෙත් ඔහුගේ අත් දෙක, ඔහු නොදැනුවම, දොර දෙසට සෙමින් ඉහළට එසැවෙමින් තිබුණි.

ඒ මොහොතේම, අවසන් හිරු කිරණ නිවී ගියේය...


සටහන:
ඉන්දියාවේ තාජ්මහල ගොඩනැඟීමේ දී මුගල් අධිරාජ්‍යයා වන ෂා ජහන් විසින් විදෙස් නිර්මාණශිලිපීන් ගෙන්වා වැඩගත් බව කියවේ. ඒ අතර අප්‍රිකානු වහලුන් සෑහෙන ප්‍රමාණයක් සිටී බවත් කියවෙනවා. තාජ්මහලේ සදා ඉවර වූ පසුව එවන් තවත් එකක් ගොඩනැගීම වලක්වන අදහසින් නිර්මාණශිල්පීන් 22,000කගේ අත් සිඳ දැමුවා කියන දෝෂාරෝපණය තාජ්මහලේ සුදු කිරිගරුඬා අවපැහැ කරන්නක්.

තාජ්මහල නිමා වූ පසුව එදා සිට දොරඟුලු දමා සීල් කර කුටී බොහෝමයක් ඇති බව සඳහන් වෙනවා. ඒ වටා ඇති කතාව අද්භූතජනකයි.

මෙය ජබාරි, අප්‍රිකානු සංචාරකයා හා අද්භූතජනක කුටී කේන්ද්‍ර කරගෙන කළ නිර්මාණයකි.

තාජ්මහලේ පරිසරය කතාවට බද්ධ කරගන්න AI උපකාරය ලබාගත් බව සඳහන් කර යුතුයි.


තවත් හොල්මන් කතා කියවන්න:

බ්ලොග් පෙට්ටගමෙන් හොල්මන් කතා:

Tuesday, November 10, 2026

කැරකොප්පු හොල්මන

 


ඒ 1979-80 කාලේ රාත්‍රියක්.

කැරකොප්පුව පළාතටම නිසල අරණ සලසන මුහුද ආසන්නයේ බිම් තීරුව. ඈත මුහුදේ ඉඳන් වියරුව පෙරළාගෙන එන මහ රළ ගොඩබිම ආසන්නයේ පිහිටි ගල් පර්වතයක හැපිලා සුදෝ සුදින් ඉහළට නගිනවා වගේම තවත් වරෙක තාලෙට ඇවිත් වෙරළේ මුදු පෙනව විසිරෙනවා. මුහුදු වෙරළ හා කැරකොප්පුව වෙන් කර දිවෙන ගාල්ල කොළඹ මහා මාර්ගය, පාර දිගේ මිටි තාප්පය උඩින් අරලිය ගස් පේළිය වෙරළේ තැන තැන ඇති වැටකෙයියා පඳුරු එක්ක අල්ලාප සල්ලාපයේ... කැරකෝප්පුව පාර දිගේ සෑහෙන දුරක අදෙන බිම් තීරුවක්, මායිම්ව පාර දිගේ ලයිට් කණු කීපයක් එකිනෙකට දුරින් උසට හිටගෙන උන්නත් පිලමන්ට් බල්බ දෙන මන්දාලෝකය දුන්නේ ඉන් දෙක තුනක විතරයි. සඳවතිය තුනීවි ගිය ඇඳුම් මාරුකරන්න හැංගිලා. නිසල අරණේ තැන, තැන නෙක විදි සොහොන් සැරසිලි, සුදු අරලිය සෙවන, පාට පාටින් පිපෙන මිනීමල් පැල, කවදාවත් ඉටිපන්දම් එළියක් නොදුටු පස්කඳු, තුනීවූ සමතලා පොළව උදේ හිරු රැසින් දිළුනත් අඳුරු රැයක කැරකොප්පුව ගිලගත් පාළුවට එක් කළේ වෙනස්ම රූපයක්. මහ මුහුද හඬන සද්දය නොවෙන්න පළාතම ගිලගත්තේ මූසල නිහඬතාවය ඉඳහිට බිඳ දැමුවේ එහෙ මෙහේ පියාඹන වවුල්ලු. කැරකොප්පුව මැද පිහිටි ගම් උළු සෙවිලි කල ශාලාවේ උස කණු වගේම කොට බිත්ති වල සුදු හුණු අඳුරේ පාරට පෙනුණේ අමුතු විදිහට, ගුපත සිතුවිල්ලක් එක් කරමින්. ඒ වගේම තවත් කොටසක මැද්දට වෙන්න පිහිටි, පිලිවෙළට නඩත්තුවෙන දේවස්ථානය වෙනම අයිකොනයක්, හිතට දෙන්නේ තැන්පත් බවක්. 

ගාල්ල දෙස සිට පාගමින් එන බයිසිකලයේ කැරකෙන ඩයිනමෝවෙන් දෙන එළිය නොවෙන්න පළාතම අඳුරුය, මුහුද හඬන හෝ, හෝව විතරයි ඔහුට ඇහෙන්නේ. මලානිකව දැල්වෙන පහන් කණුවක් යට නතර වූ ඔහු ඔරලෝසුව දෙස බැලුවා. තත්පර කට්ට හනි හනිකට දුවයි, ඩයලයේ පුංචි හතරැස් කවුළුව අතරින් එබී බලන්න දෝ ඉලක්කමක් අනිකාව උඩට තල්ලු කරන උත්සාහයක. දකුණු කකුල පැඩලයේම රඳවාගෙන වම් කකුලෙන් පාර අයිනේ වැලි තීරුවට වාරු දී ගෙන ඉන්න ඔහුට හීන් දාඩිය දාන්නට විය.

කැරකෝප්පුව අවට ගැන මිනිස්සු කියන නොයෙක් කතා ඔහුගේ හිතේ හොල්මන් කරන්නට විය.

වෙන කරන්න දෙයක් නැහැ, ඔහුටම කියාගත් ඔහු දෙපයින්ම පැඩලය පාගන්නට විය.

කැරකොප්පුව බිම් තිරය පටන් ගන්නවාත් එක්කම උඩහට ඇදෙන හරස් පාරේ දුර ඈත ගෙයක පහන් එළියක් හැර වෙන දෙයක් දකින්නට නැත. හඬන මොරදෙන මුහුද දිහාවත් අඳුර ගිලගත් සැතපෙන නිසල අරණ දිහාවත් නොබලන ඔහු පාරේ දුර ඈත බලාගෙන බයිසිකලය පාගන්නට හිතාගත්තා. කොච්චර වෙරදාගෙන පෑගුවත් බයිසිකලය තවමත් කැරකොප්පුව සීමාවේ අඩක් වත් පහුකරලා නැහැ.

හදිස්සියේ බයිසිකලයේ බ්රේක් දෙකම තද කරලා අල්ලනට විය...

ඔහු ඉදිරියේ පාරේ, කැරකොප්පුව ඈත කෙළවරේ විශාල සුදෝ සුදු රෙද්දකින් වසාගත් අත්දෙකක් උඩ පහළ වනන හැටි පේනවා. හීන් දාඩියෙන් නැහැවුණ ඔහුට තවත් අඩියක් ඉස්සරහට පාගන්න දිරියක් නැත. ආපසු හැරිලා යන්නත් බැහැ. රෑ දොළහ වෙන්න කලින් මෙතැනින් පැනගන්නත් ඕනේ. ඔහොම හිතන් ඉන්න අතරතුර යෝධ රලක් ඇවිත් ගල් පර්වතයේ වැදිලා මහා සද්දයක් ඇති කළේ හිතට තවත් බයක් එකතු කරමින්.

මේ වෙලාවේ, දරුවා වඩාගත් අර ගැහැණියවත් ද?

තැතිගත් ඔහු දෙපැත්ත නොබලා ඉදිරියටම බයිසිකලය පදින්නට වූයේ මොන මොනවා දෝ මුමුණමින්.

මැක්ස්වෙල් මැන්ඩිස්ගේ මම බොහෝම බය වුණා ගිතයේ රූප ඔහු ඉදිරියේ මැවෙන්නට විය.

දැන්, දැන් කැරකොප්පුව සීමාවෙන් තුන්කාලක්ම පසුකර ඇති ඔහුගේ තොල් වේලෙන්නට විය, වෙවුලන්නට විය. මිමිණීම වැඩි වෙන්නට විය. මහ මුහුද හඬන්නේ වෙනස් විදියටය හිතෙන්නට විය.

පුළුවන් හයියෙන් පෑගුවත් බයිසිකලය ඉදිරියට යන්නේ හෙමින් නෙහ්, ඔහුට සිතුණි.

දැන්, දැන් කැරකොප්පුව අන්තිම හරියට එමින් ඉන්න ඔහු පාරෙන් දෑස් ඉවත් කර හොරැහින් නිසල අරණේ කෙලවර දිහා බැලුවේ, නැහැ බැලුණේ බොහෝම බයෙනි.

මුහුදු රළ සද්දය එකපාරටම වැඩි විය, සුළඟ සැර විය. ඔහුගේ ඇස් ඉදිරිපිට තරු කඩා හැලේ... මේ මොනවා ද වෙන්න යන්නේ?

නිසල අරණ තුළ කෙළවරේ පැල පොල් ගහක අත්තක් සැරවෙන සුළන් පහරේ රිද්මය අල්ලන් උඩ පහළ යයි, ඒ ආසන්නයේ ඇති නිමි නිමී පත්තුවෙන මර්කරි බල්බයේ එළිය පොල් අත්තේ මතුපිට දිලිසෙයි.

"වාටුවේ පිට කාටවත් ඉන්න දෙන්න බැහැ" කියලා එළෙව්වත්, ඇටන්ඩන්ට් කියපු කතාව ඔහුට මතක් විය "කැරකෝප්පුවෙ හොල්මන් නැහැ. තමුසෙලයි ඔළුවේ ඉන්නේ. බය නැතුව ගෙදර ගිහින්, උදේට එනවා"


හොල්මන් බ්ලොග් ට්‍රේන්ඩ් එකට අකුරු කළේ දන්න අඳුනන කෙනෙකුගේ අත්දැකීමක්.

සටහන:
කනත්ත, සුසාන භූමිය, මිනී පිට්ටනිය අපිට හුරු වචන. මේ කනත්ත හැඳින්වූයේ කැරකොප්පුව හැටියට. කැරකොප්පුව ලන්දේසි භාෂාවෙන් පැමිණි වචනයක් ලෙස සැලකෙන අතර, ලන්දේසි බසින් "කැරකොප්" (Kerkhof) යන්නෙන් දේවස්ථානයකට යාබදව පිහිටි සුසාන භූමිය හැඳින්වූ බව කියවේ.


තවත් හොල්මන් කතා කියවන්න:

බ්ලොග් පෙට්ටගමෙන් හොල්මන් කතා:

Saturday, November 7, 2026

කයිවාරුව: අහංකාර සුකුමාලිය - You Beauty

 


කයිවාරුව වචනයෙන් හිතක ඇඳෙන රූප විවිධය, වෙනස්ය. කයිවාරුව පදයට විවිධ අර්ථ නිරූපණ සිංහල භාෂාවේ හමුවේ.

මේ කියන කයිවාරුව මවිසින් ෆේස්බුක් ගෲප් එහෙක හඳුන්වා දුන් විශේෂාංගයක්, ඉන් පදපෙලකට, කවියකට වාරුවක් වූ කතාවක් දිගහැරෙනවා. කවිය කියන පදයේ තවත් එක් සමපදයක් කයිය , ඒ අනුව කයියකට හේතු පාදක වූ එහෙමත් නැතිනම්  වාරුවක් වූ කතාව කයිවාරුව හැටියට නම් විය.

පදපෙලක් වෙනුවන් ලියවෙන කයිවාරුව රසවත්. බොහෝ විට පදපෙලක දවටා, ඔතා ඇති අදහස ලිහා කියවද්දි විවිධ අරුත් දෙන්න පුළුවන්, එය පදපෙලක ලස්සන වගේම පදගෙතුමේ දක්ෂතාවය, හැකියාව මත රඳා පවතී. කයිවාරුව මගින් තෝරාගත් පදපෙලක අදහස රචකයාගේ කෝණයෙන් අදහස එළිදැක්වීමට අවස්ථාවක්  ලැබෙනවා.

එහෙමනම් ඉතිං, අද අපේ කයිවාරුව දෙසට හැරෙමු.

අද කයිවාරුව වෙනුවෙන් තෝරාගත්තේ අහංකාර සුකුමාලිය පදපෙල. මෙය ලියුවේ 2010 පෙබරවාරි වලදී, මුලින්ම පළකළේ ඒ කාලයේ අපි රොක්ව සිටිය ෆෝරම් එකක. බ්ලොග් පෝස්ටුවක් හැටියට පල කරන්නේ 2010 ජූනි වලදී. මෙහි ඇති පදපෙල ග්‍රැෆික් ඉමේජය 2018 මැයි වල දී නැවත සැකසීමකි.

අහංකාර සුකුමාලිය (පදපෙල):
වීදුරු කාමර අත්පත් කරගෙන
උජාරුවට වැජඹුණ
දූවිල්ල දුම්වැටිය තේ කොප්පය
පාවහන් පවා පිළිකුල් කල ඇය

සීරුවෙන් නැග මේසය
අරක් ගෙන පෙන්නා තේජස
ජනේලයේ එළියෙන් බබලමින
පෙන්නා හැඩ වැඩ

රුව නුඹේ වැඩිවුණා කලින් කල
හඬ මිහිර තුරුල් වුණේ රහසින
ඈත් වෙන්න බැරි ලෙසේ
එක් වුණා සෙනෙහසින

බැරිබර එල්ලා ගෙන දෙඋරේ
කැන්දාගියේ දඟකාර සුකුමාලිය
නැලවුනත් දෙඋකුලෙ
විඩාපත්ව මැලවින නිදිකුම්බාවිය

සවි බල ගත සිතින් අද
කෝකිලාවිය විහිදුවා රැස්
නිරතුරුව ඔපවත්ව රූ රැසින්
සියුමැලිය සැරිසරයි
සලා ඉඟසුඟ සැහැල්ලුවෙන්
තැන නොතැන නිසිලෙසේ

වෙලීලා පෙමින් කොමලිය
දැවටිලා සුරතේ
එදා අහංකාර නුඹ
අද තැන තැන පැටලිලා
දැලේ...

කවුද ඇය?


අහංකාර සුකුමාලිය කයිවාරුව මෙසේය:

ශ්‍රී ලංකාවේ කොම්පියුටර භාවිතය ප්‍රචලිත වූයේ '80 දශකය ආරම්භයත් සමගයි. එවන විටත් ශ්‍රී ලංකා මහා බැංකුව, විභාග දෙපාර්තමේන්තුව වැනි ආයතන කිහිපයක් සීමිත ලෙස කොම්පියුටර උපයෝගී කරගෙන තිබුණා. පේරාදෙණිය සරසවියට කොම්පියුටරයක් තෑගි ලැබුණේ 1967 දී බව මා අසා ඇත්තෙමි.

මුල්කාලයේ කොම්පියුටරය වැඩි සැලකුම්, සත්කාර ලැබූ අයෙක්. 1982-1983 කාලයේ MS-DoS ප්‍රචලිත වෙන්න කලින් නොයෙක් නිෂ්පාදකයින් තම තමන්ට ආවේණික Operating Systems යොදාගනිමින් තරඟයට Software වෙළෙඳ පොළට ගෙනාවත් හරි හමන් සම්මතයක් නොතිබුණි. ඒ අනුව සීමිත නිෂ්පාදන නාම වැජෙඹුනා අපූරුවට.

MS-DoS Windows ලෙස ඉදිරියට පැමිණීම PC වලට ලොකු එළියක් ගෙන දුන්නා. සම්මතයක් ගොඩනැගුනා ඒ වටා, කාටත් ගන්න පුළුවන් සේ Software එන්න පටන් ගත්තා. එයත් සමග PC භාවිතය සුලබ වුණා. හැඩි දැඩි, තනි පාට මොනිටර් වෙනුවට ලස්සන කලර් මොනිටර් එළිදැක්වූවා. Desktop එකක් ලෙස පනිනවා මේසය උඩට.

කලින් වැරැද්ද්කදි ගොරහැඬි කෙටි කීක් හඬක් දුන් කෙනා අලුතින් එක්වූ Sound Card වලින් ලස්සන හඬ දෙන්න පටන් ගත් ගමනයි අද අපිට වීඩියෝ, ඉමිහිරි MP3 වගේ දෙවල් ගෙනෙමින් වෙළාගත්තේ...

2000 වසර කාලයේ Laptop එළි දකිනවා. ඒකා එල්ලාගෙන යන්න උරහිස් දෙකක් මදියි. කොච්චර චාර්ජ් කළත් වැඩපටන් ගන්න සූදානම් වන විටම බැටරි ලෝ (විඩාපත්ව මැලවින නිදිකුම්බාවිය) විදුලිබලය නැතිව වැඩකරන්න බැරිවිය. උජාරුවට එල්ලාගෙන ගියත් සීමිත වැඩකොටසයි කරන්න සමත්වුනේ.

සීරුවෙන් ක්‍රියාවෙන් හා හැකියාවන්ගෙන් බලවත් වූ Laptop වසරින් වසර ස්ලිම් හා බරින් සැහැල්ලු වුණා. අත්ලක රඳවා වැඩකරන්න පුළුවන් තරම් පුංවි Palmtop වලින් පටන් ගෙන අද හරිම ජනප්‍රිය ස්මාර්ට් ෆෝන් දක්වා හුරුබුහුටි වෙලා.

උඬඟු අහංකාර ලොක්කා බලවත් පුංචෙක් වෙලා, හොට්-ස්පොට් ඇති බස්-ස්ටොප් වලත් අද තනිවෙලා... සමහර වෙලාවට එයාට ලැබෙන අඩු සැලකිලි දකින්නත් දුකයි.

අහංකාර සුකුමාලිය ඒ තාක්ෂණික විපර්යාසය, කවිරසය හා යාකරන්න ගත් උත්සාහයක්. මෙම නිර්මාණය ලබා ගන්න සමත් වූ පාඨක ප්‍රතිචාර්ය අනුව මා නිර්මාණයකින් ලබාපු ඉහළම තෘප්තිය, සතුට ගෙන දුන් නිර්මාණයක් හැටියට කියන්න පුළුවනි.


අහංකාර සුකුමාලිය ඉංග්‍රීසි බසින් කරන අදහස එදා සිට මසිතේ තිබුණ ද සිංහල බස ලබාදෙන සුනම්‍ය, අලංකාරය කියන සුවිශේෂ හැකියාව ඉංග්‍රීසියෙන් පදකිරීමේ දී වෙනස් කියන කාරණය නිසා දෝ ඉංග්‍රීසි පදකිරීම කල්ගියා. අහංකාර සුකුමාලිය මුල් කරගත් ඉංග්‍රීසි පදපෙල You Beauty නිර්මාණය එළි දකින්නේ 2022 සැප්තැම්බර් වලදී, එය මෙසේය:


Character based
Lengthy long codes
Syntax mind
Short beeps
It was the
concentration and efforts
Making sure
everything is perfect
Monochrome life...

The GUI
Sweet voice
Vibrant colors
Cool eyes
Handy tools
Made the techie life easy...

You beauty
The girl undertaken in passion
Changed my techie life
with colors and voice
I wonder how the years passed
Many ups and downs
along the road
You are the shadow always
as well lead in hard times 
I admire one who
Changed my monochrome life...


You Beauty ය අහංකාර සුකුමාලිය නිර්මාණයට වඩා පොඩ්ඩක් වෙනස් වෙන්නේ, නව තාක්ෂණය හා ගෙනෙන පහසුකම් IT වෘත්තීකයෙකුගේ ජීවිතය සුන්දර කරන විලාසය එක් කිරීමෙනි. මුල්යුගයේ PC වල monochrome (ඒකවර්ණ), බීප් (beep) හඬ වගේම හැම දෙයම කළයුතු වූ ගොරහැඩි (robust/crude)  ක්‍රම වලට අනුගත වෘත්තීකයෙකුගේ ජීවිතය නව සුරුබුහුටි තාක්ෂණයේ ආගමනයෙන් හැඩගැන්වෙන අපූරුව You Beauty යෙහි එකතු වෙනවා. එය කාව්‍යමය වශයෙනුත්, ඉන් ඔබ්බටත් අතිශයෝක්තියක්ම නොවේ.

මා පොස්ටුව ආරභයේ දී කී පරිදි You Beauty පදපෙලේ ද එක, තනි අදහසකට වඩා අදහස්  මතු කිරීමට ඉඩ ඇත, එය පදපෙල කියවීමට අනුරූපව ඉස්මතු වෙන්න පුළුවන්.

මුහුණුපොතේ You Beauty කියවූ අපේ සොයුරියක් එදා කියා සිටියේ මෙය ගීතයක කරන්න තරම් ලස්සනයි කියාය. එනමුත් එදා ගීතයක් කිරීම ගැන අදහස බොහෝ දුර විය. නොහැක්කක් නොමැත යන්න තවත් වරක් පසක් කරමින්, මෙවසරේ සැප්තැම්බර් වෙද්දි නව තාක්ෂණය ඒ අදහසට මග පාදා ඇත. SUNO AI මගින් You Beauty ගීතවත් වුනා අලංකාරව, මිහිරිව.

a pleasant wave of music | නැවුම් සුවඳ මුසු, ප්‍රසන්න මදනල නගන මියුරු ගී රාවය

You Beauty ගීතය, රසවිඳින්න ඔබට ආරාධනා කරමි. 


ජීවිතය සුන්දරය. මෙ නිර්මාණ දෙක වගේම ඒවා කේන්ද්‍ර කරගත් නිමිත්ත බොහෝ ඇලුම් කරමි, මන්ද යත් ඒ හැම පදයකම තියෙන්නේ පුද්ගලිකව ගෞරවයෙන්, භක්තියෙන් ආපසු හැරී බැලිය හැකි මාවතක සුන්දර සටහන්, හදගැස්ම වගේම ආදරණීය මතක, සුවඳ... ඒ හැම එකම කැටි කොට හැදෙන මියුරු ගීතය වඩාත් සුමියුරු වෙන්නේ ඒ නිසාවෙනි. 

You Beauty යනු හුදෙක් වර්ණ රහිත monochrome ලෝකයකට විවිධත්වයක වර්ණ, රිද්මය හා තනුව ගෙන ඒම ගැන පිළිබඳ කතාවක් පමණක් නොවේ. එය, වසර ගණනාවක් පුරා තම පැවැත්ම තුළින් එම ලෝකයට අඛණ්ඩව අර්ථයක් එක් කිරීම පිළිබඳ කතාවකි.


තුතිමල් මිටක්: ලස්සන සිංදුව | Beautiful song done by The Breeze using Suno AI

Saturday, October 31, 2026

මගේ බස

 


බහ තෝරන කාලයේ
සුළඟේ ඇදෙන්න ඇති
හිස් කන්පෙති මත දැවටෙන්න ඇති
වරින් වර හිතේ රැඳෙන්න ඇති
හුරුවෙන්න ඇති, බස

ගල්කූර ගල්ලෑල්ලේ හැඩ මවන
දයාබර, කරුණාබර වදන්
සාමලා අමරලා යාළුවෝ
හිතන්න, ලියන්න
සුබසක උරුමය ලැබුවා

කටු අකුලක පුංචි පැලය 
සිලි සිලි සුළඟ, මාරුත කුණාටු මැද
අතු ඉති විහිදා සින්දූරය වැඩුණා
මුල ගැඹුරට ඇදුණා, සවිය දුන් බස

මා වඩා පෝෂණය කර බස
හිතන පෙරනිමි බස
අකුරු කරන බස
ලොව සුන්දරම බස
මගේ බස
සිතුවිලි වලට පණ දෙන බස
මියුරු පද මුමුණන බස

ඉතින්, වියරු සුළඟේ විරාමයක් අරගෙන
සින්දූරය සෙවණේ විඳපන්නේ
මගේ බස
ලොව සුන්දරම බස


භාෂාව පුද්ගලයෙකුගේ ජීවිතයේ සුවිශේෂී උරුමයක්, බහ තෝරන කාලයේ දී පරිසරය කෙනෙකුගේ භාෂාවේ හුරුවට අනුබල දෙනවා ඇති. කෙනෙකු අකුරු ඉගැන්වීම සිට පාසැල් දිවිය පුරා භාෂාව ප්‍රගුණ කරනවා ඇති, එය පාළමු බස හැටියට අභිෂේක ලබනවා ඇති. ඒ පළමු බස කෙනෙකුට යමක් හිතන්න පිටුවහල් වෙන භාෂාව, එහෙමත් නැත්නම් ඔහුගේඇයගේ පෙරනිමි නැත්නම් ඩිෆෝල්ට් භාෂාව වෙන්න පුළුවන්. එනමුත් මුල් පළමු බස මව්බස නෙවෙන්න පුළුවන්, හේතුව මව්බස හා එහි අරුත දෙන mother tongue, first language, native language  කියන හැඳින්විම විවිධ අවස්ථා වලදී වෙනස් අර්ථ දැක්වීම් වලට බඳුන් වෙන නිසා. 

පුද්ගලිකව, මගේ පළමු බස සිංහල. එය මා ලියන, කියවන සුභාවිත භාෂාව, ඒ වගේම ඉංග්‍රීසි ඊට දෙවෙනි මගේ බස. එනමුත් ජන කොට්ඨාශයකට අයත් නිසා මා බහ තෝරද්දී තෙපලූ බස මගේ පළමු බසම විය යුතු නැත, එබස ලිවීම හෝ කියවීම හැකියාව මට නැත. සන්නිවේදනයේ දී සුභාවිත භාෂාවන් දෙකට අමතරව පරිගණකයක් හුරුකර, හැසිරවිය හැකි, වැඩගත හැකි භාෂාවා කිහිපයක මගේ බස ලේබලය යටතේ දැක්විය හැකිය.

83-84 කාලයේ පටන් ගත් පරිගණකය සිංහලට හුරු කිරීමේ මගේ වෑයම නූතන AI යුගය දක්වා විහිදෙන අතර, බාසාව වෙනුවෙන් ඊටත් වඩා යමකට මුලපුරා ඇත. සදාචාරාත්මක හේතු මත දැනට ඒ ගැන විස්තර සාකච්ඡා කළ නොහැකිය.

මා නැණ ලැබූ බස, මගේ බස ය. සින්දූරයක් (ඕක් ගහක්) වගේ ඕනෑම සුළඟක් දරන්න පුළුවන් සවිබල අත්තිවාරමක් මට ලබා දුන් මගේ බස සිංහල ය කියා ගෞරවයෙන්, භක්තියෙන් කියමි.

සින්දූරය = ඕක් (oak) ගහ
පෙරනිමි භාෂාව = ඩිෆෝල්ට් (default) හෙවත් සවයංක්‍රීයව භාවිතා වෙන භාෂාව  

Saturday, October 24, 2026

සුනම්‍ය - Bow Down, Rise Up

 


සුනම්‍ය (උණ ගසේ ගීතය):
පවන් සලයි, මල් හිනැහෙයි,
ගුමු ගුමුවයි සමනල තටු රඟන්නේ...
රළ නඟයි, ගඟ පහළට ඇදෙන්නේ,
සිලි සිලියයි නුඹ පවනට පුදන්නේ...

සිහින් සුළන් රැල්ලේ වෙලි
අතු ඉති පත් තාලෙට රඟන්නේ...
සිහින් සුළන් අහුරනු ඇයි
සිලි සිලියයි පවනට පුදන්නේ...

සුළන් සැරයි, සියොත් හඬයි,
පත් සැලෙයි, ගස් අතු ඇඹරෙන්නේ...
ගඟ සැරයි, හෝ හෝ හඬ නඟන්නේ,
වියරු සුළඟේ නුඹ කොහොමද ඉඳින්නේ...

සිහින් සුළන් රැල්ලේ වෙලි
අතු ඉති පත් තාලෙට රඟන්නේ...
වියරු සුළන් අහුරනු බැහැ
නමා සිරස මාරුතයට ඉඩ හරින්නේ...

සුනැමි නුඹ හැම විඳගෙන
අතු විහිඳා අහස උසට නඟින්නේ...
පුරුකෙන් පුරුක සවිබලව වැඩෙන්නේ
පාමුලින් කපා කවුරුද නුඹ බිම හෙළන්නේ...

උසින් උසට පිය නඟින එවුනට
පුරුකක්වී යුතුකම පුදන්නේ...
උන් ඉහළින් ඉහළට නඟින්නේ,
අපි සතුටින් පහළට බහින්නේ...

සිලි සිලියයි පවනට පුදන්නේ,
නමා සිරස මාරුතයට ඉඩ හරින්නේ,
උසින් උසට පිය නඟින එවුනට
පුරුකක්වී පිදෙන්නේ...


ශක්තිය යනු දෘඩ හෝ තද බව නොවන බව උණ ගස උගන්වයි. මෘදු සුළඟක දී, එය පැද්දෙමින්, මෘදු සුළඟ සිලි සිලියක සංගීතය බවට පත් කරයි. ප්‍රචණ්ඩ කුණාටුවකදී, එය පහළට නැමී, නොබිඳී යටත් වන අතර, සුළඟ බාලවූ පසු නැවත නැඟී සිටියි. කපා දැමූ විට පවා, එය කැමැත්තෙන් ඉදිරිපත් වන අතර, අන් අයට තනිවම ළඟා විය නොහැකි උසකට ඔසවන පලංචියක් බවට පත්වේ.

ජීවිතයත් එසේමය. කරුණාව කරුණාවෙන් හමුවන්න, ප්‍රීතියට එහි හඬ, රිද්මය සොයා ගැනීමට ඉඩ දෙන්න. අභියෝග හමුවේ නම්‍යශීලීව දුෂ්කරතාවන්ට මුහුණ දෙන්න. නැමෙන්න, නමුත් බිඳී නොයන්න. ඔබට හැකි විට, පරාර්ථකාමීව යුතුකම ඉටු කරන්න, එවිට අන් අයට නැඟී සිටිය හැකියාව ලැබෙනවා ඇත. සෑම කුණාටුවක්ම පහව යන අතර, ගැඹුරින් මුල් බැසගත් සහ ත්‍යාගශීලී ආත්මයන් උසින්, ශක්තිමත් සහ ප්‍රඥාවන්තව නැඟී සිටිනවා ඇත.

මෙම නිර්මාණය උණ ගස විසින් කියා දෙනු ලබන සුවිශේෂ ජීවිත පාඩම වටා ගොඩ නැඟුවෙමි. උණ ගස නිමිත්ත කරගත් නිර්මාණයක් මා පළමුව කළේ 2011 දී, එම නිර්මාණයේ පිදුම සටහන මෙසේ විය: ඉහළට නඟින්න තැනෙන අට්ටාලයක උස සකසන්න නැතිනම් කොටසක් දරන්න ජීවිතය කැපකර උණ ගස් වලට වඩා උස, මිටි වූ මිනිසුනට. ජීවන චාරිකාවේ බොහෝ නිහඬ කැපවීම් කර දිරායන පුද්ගලයින් බොහෝ හමුවී ඇත, විශේෂයෙන්ම කට්ට කාෂ්ටක පරිසරයක් ගැහැට විඳගෙන මැදපෙරදිග රැකියාව කරන කාලෙයේ හමුවූ ඔවුන් විශේෂයි. ඔවුන් පියවරු විතරක් නෙවෙයි ජීවිතයේ යව්වනය අනුන් වෙනුවෙන් දියකර වැඩිමහල් සොයුරන්, බාල සොහොයුරන් වගේම ඥාතීන් ගේ චරිත පණ පෙවූ අය විය. ඒවගේම ඊට නොදෙවෙනි භූමිකාවක නිරත කාන්තා පාර්ශවය ද බොහෝ වෙති.


a pleasant wave of music | නැවුම් සුවඳ මුසු, ප්‍රසන්න මදනල නගන මියුරු ගී රාවය

සුනම්‍ය
නිර්මාණය රසබර ගීතයක් කරා, සුනම්‍ය - උණ ගසේ ගීතය සවන් දෙන්න, රසවිඳින්න, ගීතය ගැන ඔබේ අදහස් අගේ කරමි.

තවද සුනම්‍ය නිර්මාණය Bow Down, Rise Up හැටියට ඉංග්‍රීසියෙන් ද නිර්මාණයක් හා ගීතයක් වුණා. එම පෝස්ටුව මගේ Amazing Spring බ්ලොග් අඩවියේ මීට සමගාමීව පළකර ඇත.


Saturday, October 17, 2026

නුඹට පුළුවන් - You Can

 

ඉමේජය මත ක්ලික් කර, zoomකර පහසුවෙන් කියවන්න පුළුවන්

හැඩතල නවා, මෝස්තර දමා
යකඩවලට හුස්ම දුන්නා,
පියාපත් දුන්නා විද්වතුන්...
ගුවන සිසාරා පියාසර කරනවා,
යකඩ කුරුල්ලෝ...

බඹරුනේ උඹට බැහැ පියාඹන්න
ඒ විද්වතුන් කිව්වා…

සුවඳ සොයා, ඈත දුර ගෙවා
හිමිදිරි උදයේ පියාපත් සැලුවා බඹරුන්
මල් පෙති නොතලා,
මල් පැණි රස වින්දා...

බඹරුනේ උඹට බැහැ පියාඹන්න
ඒ විද්වතුන් කිව්වා…

ඒත් උන් පියාපත් සැලුවා,
අහස දිහා බැලුවා, ඉගිල ගියා…

බින්දු, බින්දු, පැණි පුරවා,
රස මී බෙදුවා...
පරවෙන මලට හරයක් දුන්නා,
ගස් වැල් පළින් බර වුණා...

බඹරුනේ උඹට බැහැ පියාඹන්න
ඒ විද්වතුන් කිව්වා…

ඒක නොදත් වන බඹරා
තත්පරයකදී සිය, දෙසිය වතාවක් තටු ගැසුවා…
දවස ගානේ ඈත දුර ගෙවා ඉගිල ගියා
ගුමු, ගුමු, ගී මුමුණා මල් පැණි රස බැලුවා…
පසු බැස්සේ නැහැ, නැහැ පුංචි යාළුවා…

කවුද කිව්වේ පුතේ නුඹට බැහැ කියලා?
ඇයි හැංගෙන්නේ මුළු ගැන්විලා?

හිතන්න, පුංචි වන බඹරා
කවුරුවත් කියූ හන්දා 
ඌ ඉන්නවාද පියාපත් හකුළා?

නෑ, නෑ
බඹරුන් පියාපත් හකුළාගෙන හිටියේ නෑ
සට, සට, ගා අත්-තටු සැලුවා
ගුමු, ගුමු, ගී මුමුණා ජීවිතය වින්දා
යුතුකම් ඉටු කළා...

උඹට බැරි නැහැ පුතේ
එපා, එපා, හැංගෙන්න

උසට උසේ නිල් අහසයි,
ඈත පේන සිතිජයයි
උඹට පුළුවන් ජය ගන්න!
කවුද කිව්වේ බැහැ කියලා?
උඹට පුළුවන් ජය ගන්න!

පියාඹන්න බැහැ කියූ බඹරුන්
ඈත දුර ගෙවා අත්තටු සැලුවා
ඉගිල ගියා, ඉගිල ගියා...

විද්වතුන් ලිව්වා කතාව අලුත් කරලා
“බඹරුන්ට පුළුවන්ලු පියාඹන්න...”

උන් පියෑඹුවා,
උන් හැමදාම පියෑඹුවා…

කවුද කිව්වේ බැහැ කියලා?
බඹරුන්ට පුළුවන් පියාඹන්න!

එපා, එපා, හැංගෙන්න
එපා, එපා, පසුබසින්න

බඹරුන්ට පුළුවන් පියාඹන්න
බඹරුන්ට පුළුවන් පියාඹන්න!

කවුද කිව්වේ බැහැ කියලා?
නුඹට පුළුවන්... ජය ගන්න...


මා මීට කලින් වතාවන් කිහිපයක දී ලියා ඇති මගේ වෘත්තීය ජීවිතයේ විවිධාකාර පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම් ආදී නොයෙකුත් වැඩමුළු, වැඩසටහන් ආදිය කරා කියන එක. ඒ ලබාපු අමිල අත්දැකීම, පළපුරුද්ද උපකාරී කරගෙන විභාග වලට සූදානම් කිරීම, ඉහළ අධ්‍යාපන මට්ටමේදි අභියෝග වලට මුහුණදීමට සූදානම් කිරීම ආදීය මුල්කරගෙන වැඩසටහන් කරගෙන යනවා. එවන් අවස්ථාවලදී උපයෝගී මාතෘකාවක් වටා ගෙතුන මගේ කියමනක් Believe Beyond the Blueprint කියන එක, එය මුල්කරගෙන පදපෙළක් කිරීමේ අවශ්‍යතාවය කලයක පටන් හිතේ තිබුණත් එම අදහස නිර්මාණයකට කැටිකිරීමේ අභියෝගය නිර්මාණය කිරීම පමා කරා කියන එකයි නිවැරදිම කියවීම. කිසියම් අවශ්‍යතාවයකට මෙම කරුණ මුල්කරගෙන, Lighthouse බ්ලොග් සඳහා ලිපියක් ලියන්න වුනා. එම ලිපිය ලිවීම, මෙම අදහස බ්ලොග් වලින් ඔබ්බට ගෙනයෑමට නවීන AI තාක්ෂණය සලසන ඉඩප්‍රස්ථාව හා AI සිංදු නිර්මාණයට ඇති මගේ රුචිය "නුඹට පුළුවන්" නිර්මාණයට රුකුල් දුන්නා කියන්න පුළුවන්. හැබැයි, නිර්මාණය සිංදුවක් කිරීමේ වෑයමේ දී කෙළවරක් නැති අභියෝග මතු වෙන්නට විය, ඒකත් තේමාවට හරියන්නම "... පුළුවන්, ජයගන්න..." කියමින් සාර්ථකව නිමාකරගත්තා කියන එකයි මගේ විශ්වාසය, එනමුත් ඒ ගැන කියන්න පුළුවන් වෙන්නේ පාඨක ඔබටය...

නිර්මාණයේ නිමිත්ත හැටියට: aerodynamics නොහොත් ගුවන් යානයක් පියාසර කිරීමේ මූලදර්ම ගැන විග්‍රහ කරන විද්‍යාවේ (වායුගතික විද්‍යාව) න්‍යායන් වලට අනුව වන බඹරෙකුට පියාසර කිරීමට නොහැකි විය යුතුය (aerodynamically a bumblebee cannot fly). වන බඹරාගේ සිරුරේ හැඩය, පියාපත් වල පරාසය/ප්‍රමාණය මුල්කර ගෙන හැදෙන න්‍යාය 1930 ගනන් වල ඉඳන් පවතින එකක්. එනමුත් වන බඹරුන් කවදත් හිමිදිරියේම බොහෝ ඈතට පියාඹා, මලින් මලට යමින්, මල් පැණි උරමින්, රස ගුණ මීපැණි නිපදවා ලෝකයාට තෑගි කරමින් ඉන්නේ මෙලොව පටන් ගත් දා ඉඳන් වෙන්න ඕනේ. උදේ පිපෙන සුමුදු, මෙලෙක්, මලක් පරවෙන්න කලින් පරාගනය කරලා මෙ පෘථිවි තලයේ ජීවීන්ට ගෙඩි පළ ලබා දෙන්න පුංචි වන බඹරුන් ලොකු යුතුකමක් ඉටුකරන්නේ. පසුකාලීනව එකී විද්‍යාවම හඳුනාගන්නවා තත්පරයකට දෙසිය-තිස් වතාවක් පමණ තටුගසන වන බඹරුන්ට පියාඹන්න පුළුවන් වෙනවා කියන එක.

එම කතාව දිරිගැන්වීමේ (motivational) ක්‍රියාවලියේ දී අරුත්බර රිදී රේඛාවක් අඳිනවා. බොහෝ අවස්ථාවල දී කෙනෙකු උත්සාහය අතහැර දාන්නේ, අධෛර්යමත් වෙන්නේ, මුළු ගැන්වෙන්නේ ඔහුට/ඇයට බැරි නිසාම නොව ආපස්සට අදින බාහිර කාරනා ගොන්නක් නිසා. කවුරුන්හරි පුන පුනා කිව්වොත් "උඹට බැහැ" කියන එක, ඊට හිත වහල්වීමට ඇති ඉඩකඩ අපමණයි, හරියට හැම සැහැල්ලු යකඩ රොඩ්ඩක්ම කාන්දමක් විසින් ඇදගන්න සමත් වෙනවා වගේ. බොහෝ විට කෙනෙකු කරන්න මැලිවෙන, ඔහුට කරන්නට බැරිවූ දෙයක් තවෙකෙකු කරන්න උත්සාහ කරද්දී නැහැ, බැහැ කියන බැරිදාසලා හෙවත් Naysayersලා ගෙන් දුරස් වෙන තරමට ඉලක්කය කරා යන්න පුළුවන් වෙනවා. ඔවුන් කියන්නේ ඔවුන්ගේ සීමාව, බැරිකම මිස ඔබේ ශක්තිය ගැන නෙවෙන්න පුළුවන්. ජීවිතයේ අභියෝගයන් ජයගන්න නම් තවත් කවුරුන් හෝ කපලා දෙන ස්ටෙන්සිලයක හිරව පින්තාරු කිරීම හෝ කවුරුන් හෝ ඇඳලා දෙන සැලස්මක් හෙවත් ප්ලෑනකට කොටුවීම නොව, ඉන් ඔබ්බට පියවර යත හැකිය යන විශ්වාසයයි වැදගත් - Believe Beyond the Blueprint.

අනෙක, මෙම නිර්මාණය හා ඉන් බිහිවෙන සිංදුව අද විශේෂයෙන් පිදෙන්නේ එදා සිට අද දක්වා ගල්මල්-Coral අඩවිය වටා සිටිය හා සිටින්නා වූ රසවතුන් වෙනුවෙන්. නිර්මාණ ද්විත්වය ගෙනෙන මෙම පෝස්ටුව ගල්මල් අඩවියේ හාරසිය වැන්න සනිටුහන් කරයි. මෙ ගමනේ දිරිය, ශක්තිය, ජවය ඔබ මිස වෙන කවුරුන් ද?

තවද, ඔබට අරගෙන යන්න පුංචි තිළිණයක්: වෙනත් අයෙකුගේ හෝ බාහිර විශ්ලේෂණයක් නිසා ඔබේ අදහස, ඉලක්කය, අභිප්‍රාය දියවෙන්න යන අවස්ථාවක දී මතක් කරන්න කඩිසර පුංචි වන බඹරා ගැන. "විශ්ලේෂණය නිසා ඇතිවන අකර්මන්‍යතාව" (paralysis by analysis) තුළ සිරවී සිටින විට, වන බඹරුන් (bumblebee) කිසිදු පැකිලීමකින් තොරව ක්‍රියාත්මක වෙමින් තම පියාපත් ගසන බව හිතට ගන්න. ඔබ ජයගත් දා ඔබ වෙනුවෙන් අනුන් එල්බ සිටි නිගමන වෙනස් කර ලියන්න ඔවුන්ට සිදුවේවි.


නිර්මාණය හා සිංදුව ගැන ඔබේ අදහස් කියන්න, එය මට බොහෝ වටී.

සවන් දෙන්න නුඹට පුළුවන් (You Can) ගීතය 


The Breeze a pleasant wave of music | නැවුම් සුවඳ මුසු, ප්‍රසන්න මදනල නගන මියුරු ගී රාවය from ගල්මල්-Coral අඩවියෙන්


ග්‍රැෆික් ඉමේජය නිර්මාණයේ තේමාවට අදාලව හැදුවේ ChatGPT මගිනි.
තුතිමල් මිටක්: ලස්සන තනුව හා සිංදුව | Beautiful song done by Suno AI

Saturday, October 10, 2026

උන්මාදය - Craze

 


තනමින් රැල්ල පැතිරි යන
රැඟුමක්, පෙරැත්තයක්, ආශාවක්…
කෙටි කලක් වැජඹෙන විලාසිතාවක්…
සිහිවටනයක, පෙමාදර තිළිණයක
දිළිසෙන මතුපිට ඔපය පුරා දිවෙන
සිහින් ඉරි තැලීමක්…
පෙම්බර හදක නැඟෙන, කිතිකවන 
සිහින්, උමතු විදුලිය රේඛාවක්…
ඈත තරු චමත්කාරය දෙන
ඝනාදුරු රෑ අහසේ
නැඟෙන විදුලිය කෙටීමක්…
කවුරු කෙසේ කිව්ව ද
උන්මාදය තීව්‍ර ශක්තියක්, 
සිහින සිතිජයෙන් නැඟ එන
ගල්පර වෙරළක බිඳී පෙඩිවෙන
මුදු පෙණ විසිරෙන
යළි මතුව එන
රළ පෙළක්…
නොවුනොතින් “උන්මාදයක්”
බිහිවේද නව නිපැයුමක්.


සෑම නව නිපැයුමක් බිහිවන්නේ මනසේ හටගන්නා "උමතු උනන්දුවක්" (Craze) තුළිනි.

විවිධ ආර ස්පර්ශ කරන්න ඇති කැමැත්ත නිසා රාමුවක කොටු නොවී ස්ටෙන්සිලයක පින්තාරුවෙන් බැහැරව උන්මාදය කියන විසල් සයුරින්; සංස්කෘතික/ප්‍රවණතා/රැල්ල (Cultural Fads), භෞතික අවිනිශ්චිතතා/අසම්පූර්ණතා (Physical Imperfections), මානසික තත්ත්වය සහ මනෝරූප (Mental State and Imagery) කියන ඇබින්දක් ගෙන, දෝලනය කර  (Oscillation)  උන්මාදයේ ධනාත්මක පැත්ත මතුකරන්න ගත් උත්සාහය, නිදහස් ආරේ පද එකතුවක් හැටියට පුදමි. උන්මාදය පොදුවේ පිස්සුවක්ම නොව.

උන්මාදය මුලින්ම අකුරු කාලේ ඉංග්‍රීසියෙන් Craze හැටියට, එම අදහස ගෙනෙන උන්මාදය පදපෙල පරිවර්තනයක්ම නොවේ.

Saturday, October 3, 2026

අනුගත - Adapt

 


සැඩ හිරු මුදුනේ
කරටිය දවනවා,
පාමින් රැඟුමක් තාලෙට අතු
රැළිදියේ අඳිනවා,
පොඩි රළ පේළි ඇවිදින්
ඔච්චම් කරනවා,
දව දවා පෙලුවත් කඳ
ඉරු දෙසටම ඇදෙනවා,
දබර කුමටද අනුගතව විඳිමි
සොබවින් කියනවා.


පදපෙළට යොදාගත්තේ සොබාදහමින් කියාපාන මෙම සංකල්පය:
ස්වභාවධර්මය සමඟ ගැටෙනවාට වඩා ඊට අනුගතව ‘රැඟුමක’ යෙදීමට ඔවුහු ඉතා දක්ෂ ලෙස හැඩගැසී සිටිති.
They are masterfully adapted to dance with nature rather than fight it.


Wednesday, September 30, 2026

හෙලේ මාලී | Hele Mali

හෙලේ මාලී පර්සියානු ජනකවියකි, හෙලේ මාලි ගැන බලන්න කලින් ජනකවිය ගැන පොඩි සටහනක් තියන්න හිතුවා.


ජනකවි:

ජනකවි යනු අතීතයේ සිට පොදු ජනයා විසින් කටින් කට පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යන ලද, ඔවුන්ගේ ජීවිතයේ සතුට, දුක, වෙහෙස සහ අත්දැකීම් පිළිබිඹු කරන අපූරු ගැමි කාව්‍ය විශේෂයක් හැටියටයි ප්‍රසිද්ධ. අපේ රටේ ජනකවිය විවිධ රැකියා හෝ කර්මාන්ත හා බද්ධව පවතී. වැඩපළවල යෙදී සිටිය දී දැනෙන වෙහෙස, පාළුව, කාන්සිය මඟ හරවා ගැනීමට ජනකවිය උපකාර වෙන බව ප්‍රසිද්ධ මතයකි.

මුහුණුපොත සමූහයක ජනකවිය ගැන තොරතුරු සකසන කාලෙක විශ්ව ජනකවි කලාව ගැන බොහෝ විස්තර තොරතුරු දැනගන්න, කියවන්න අවස්ථාව ලැබුණා.

‘අධ්‍යාපනය සහ සංගීතය’ නමැති යුනෙස්කෝ නිබන්ධනයේ ජනකවි - ගී පිළිබඳව මෙසේ සඳහන් වෙයි.

"ගැමි ගීය සරලය. එය ගැමියා ජීවත්වූ සමාජයේ ඕනෑ එපාකම් අනුව ගොඩනැඟූ කලාවකි. එය ගැමියා මෙන් ම අව්‍යාජය. විචිත්‍ර ආ‍‍ටෝපයන්ගෙන් තොර ය. ගැමි සමාජයට ම පොදු ය.

ඒ ඒ නිෂ්පාදන ක්ෂේත්‍රයට අදාළව ගෙතුණු ජන කවි පවතී. මෙහෙ ගී වර්ග කිහිපයකි‍. ගොයම් කවි තලමල කවි ආදිය කෘෂිකර්මය ආශ්‍රිත ය. විවිධාකාර රැකියාවන් හා කාර්යයන් හි යෙදුණු ගැමියෝ ඊට ගැළපෙන පරිදි සිය වෙහෙස නිවා ගැන්ම හා විරාමය සඳහා පැල් කවි, ගැල් කවි, පතල් කවි, පාරු කවි ආදිය ගැයූහ. ඔළිඳ කෙළිය, කළගෙඩි නැටුම, මේවර සෙල්ලම හා ඔංචිලි වාරම් ආදී වශයෙන් කාන්තාවන් කණ්ඩායම් ලෙස ගැයෙන ජන ගී පැවතිණ. වැදි ගී නැළවිලි ගී, වැළපුම් ගී, උපදේශන ගී මෙන්ම හටන් ගී ද විරිදු ද නාඩගම් ගී ද ජන ගායන ක්ෂේත්‍රයට අයත් ය. මේ සඳහා ගැළපෙන පදමාලා හා නාද රටා උපයෝගි කරගෙන තිබුණි."

අපි ජනකවිය ඉංග්‍රීසියෙන් folk poetry හැටියට හැඳින් වුවත් විශ්ව සාහිත්‍යයේ ජනකවිය folklore කියන පුළුල් සාහිත්‍යය යටතේ දක්වයි, එම වචනය ජන ශ්‍රැති හැටියට සිංහලින් අර්ථ දැක්වන නමුත් තනි වචනයකට ගොනු කිරීම සෑහේ ද යන ප්‍රශ්නය මතුවේ.

Folklore යන්න පැහැදිළි කිරීමට අන්තර්ජාලයෙන් හමුවූ සරල, පැහැදිලි අර්ථ දැක්වීම (සිංහල පරිවර්තනය) මෙසේය:

පුළුල්ම අර්ථයෙන් ගත් කල, ජනශ්‍රැතිය (folklore) යනු යම් කණ්ඩායමක් සතු, බොහෝ විට පරම්පරාවෙන් පරම්පරාවට දායාද වූ කතා, චාරිත්‍ර සහ විශ්වාසයන්ගේ එකතුවයි. 19 වන සියවසේදී නිර්මාණය වූ මෙම පදය බිහිවී ඇත්තේ 'folk' (ජනතාව) සහ 'lore' (කතා/ප්‍රවාද) යන වචනවල එකතුවෙනි.

ජනශ්‍රැතිය හුදෙක් වාචික කථාවලට පමණක් සීමා නොවන අතර, ඊට සංගීතය, නැටුම්, කලා සහ චාරිත්‍ර වාරිත්‍ර ද ඇතුළත් වේ; මේවා සංස්කෘතික හෝ සමාජීය අනන්‍යතාවක අත්‍යවශ්‍ය අංගයන් ලෙස ක්‍රියා කරයි. මෙම ජනශ්‍රැති අංග බොහෝ විට ප්‍රජාවකගේ ඉතිහාසය, වටිනාකම් සහ සාමූහික අත්දැකීම් පිළිබිඹු කරන කැඩපතක් බඳුය. 


හෙලේ මාලී (පර්සියානු ජනකවියක්):

පර්සියානු ජනකවි (Persian Folk Song) වල තියෙන්නේ ඔවුනටම සුවිශේෂී ආරක්. පර්සියානු කියන විට නූතන ඉරානය, ඉරාකය, සිරියාව කියන දේශයන් වගේම ඉරානයට යාබද පකිස්තානු හා ඇෆ්ගනිස්ථානු සීමාවන් කරා ද විහිදෙනවා. එය දේශසීමාවකට හිර කිරීමකට වඩා සංස්කෘතික විසිරීමක් කියන්න පුළුවනි.

දකුණු දිග ඉරාණයට නෑකම් කියන ප්‍රසිද්ධ ජනකවි විශේෂයකි හෙලේ මාලී. ඉරානයේ Rastak සංගීත කණ්ඩායම බිහිවෙන්නේ 1997දී, ඉරාන ජනගී සුරක්ෂිත කිරීමට කැප වූ දේශීය සංගීත කණ්ඩායමක් හැටියට. ඔවුන්ගේ උත්සාහයකින් එළිදකින මනරම් හෙලේ මාලි සුමිහිරි විඩියෝව රසවිඳිමු.

උපුටා දැක්වීමකි, නිර්මාණ ගෞරවය මුල් නිර්මාණකරුවන් සතුය.


හෙලේ මාලී දකුණු දිග ඉරාන ධීවරයින්ගේ ජනකවි ලෙස කියනවා, වගේම නැවියන්ගේ ජනකවි ලෙසත් ප්‍රසිද්ධය. ඔවුන් මුහුදු මැද රාජකාරියේ යෙදෙමින් කණ්ඩායම් දෙකක් හැටියට විනෝද ජනක සංවාදයක යෙදෙමින් කරන මෙ ජනකවිය රළු මුහුද ජයගෙන පදින හබලක වෙහෙස නිවාලනවා ඇති, කවි පද අතරින් පිරිමදින සිත තෝන්තුවෙන්, සංකාවෙන් මුදවනවා ඇති. හෙලේ මාලි වචනයෙන් සරලව තේරුම පැහැදිලි කිරීමට "Good Job" "Well Done" තරම් වෙනෙකක් සුදුසු ද මන්දා...

හෙලේ මාලී පදපෙළේ අදහස (සංක්ෂිප්තව):

නුඹේ දණහිස් සවිමත් නැත, ෂෙයි රටඉඳි නොමැතිව
නැගිටපිය, කියමු හෙලේ මාලි
මම ගමනක, කවදාවත් අමතක නොවන
මගේ ඉම සෝමාලිය, මලබාරය, සැන්සිබාරය
හෙලේ මාලී, හෙලේ මාලී
එන්න, මිතුර
හෙට කණගාටු නොවෙමු
අද ජීවිතයේ වටිනාකම තේරුම් ගමු
දවසක අපි මියයනු ඇත
අපි ද වසර හත්දාහකට පෙර උන් අය වගේ වෙනු ඇත
හෙලේ, හෙලේ මාලී

ආගන්තුක වචන: ෂෙයි රටඉඳි ප්‍රභේදයක්

අපේ ජනකවි, ජනකතා වල විවිධ කෑම, පලා වර්ග, මල් සුවඳ ආදිය ගැන සඳහන් වෙන්නේ පුළුල් ව්‍යාංගාර්ථ රසය එක් කරමින්. ඒ වගේම අරාබි, පර්සියානු, උර්දු කවි වල රටඉඳිය සඳහන් වේ.


ජනකවිය දෙස, බස, කර්මාන්තය මොනවා වුණත් විඩාව නිවීමටය. සුමියුරු ඉරාන දේශීය සංගීතයෙන් අලංකාරවත් කර ඇති හෙලේ මාලිය රසවිඳිමු. 


ps: විශ්ව සාහිත්‍යයේ රසවත් ජනකවියක රසය බෙදාගැනීම වගේම අධ්‍යාපනික කටයුත්තකට විශ්ව ජනකවිය ගැන සොයන අයෙකුට උපකාරයක් වෙන්න පුළුවන් යැයි හිතලා ගල්මල් අඩවියේ මෙය පළකරන්න අදහස් කලා.

Wednesday, September 23, 2026

උණුසුම - Warmth

 


දැවෙටෙමින් හද පිරිමදින
රිද්මය දෙන, සුවපත් කරන

පෙළමින් වෙහෙසට පත්කරන
දව දවා අළු කර දමන

හීන්සැරේ බැසයන
සොඳුරු සිසිලස ගෙනෙන

සැඟව මුලු ගැන්වෙන
ශීත හිම සදන, හිම රකින

නපුර, උරණවෙන
හිම කඳු දිය කරන, වනසන

සොඳුරු සුහද,
රුදුරු සොඳුර,
සනහන දවන,
දවන සනහන,
නුඹ
උණුසුම.


සවන් දෙන්න උණුසුම ගීතය

තුතිමල් මිටක්: ලස්සන තනුව හා සිංදුව | Beautiful song done by Suno AI


The Breeze a pleasant wave of music | නැවුම් සුවඳ මුසු, ප්‍රසන්න මදනල නගන මියුරු ගී රාවය from ගල්මල්-Coral අඩවියෙන්

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts