Saturday, October 17, 2026

නුඹට පුළුවන් - You Can

 

ඉමේජය මත ක්ලික් කර, zoomකර පහසුවෙන් කියවන්න පුළුවන්

හැඩතල නවා, මෝස්තර දමා
යකඩවලට හුස්ම දුන්නා,
පියාපත් දුන්නා විද්වතුන්...
ගුවන සිසාරා පියාසර කරනවා,
යකඩ කුරුල්ලෝ...

බඹරුනේ උඹට බැහැ පියාඹන්න
ඒ විද්වතුන් කිව්වා…

සුවඳ සොයා, ඈත දුර ගෙවා
හිමිදිරි උදයේ පියාපත් සැලුවා බඹරුන්
මල් පෙති නොතලා,
මල් පැණි රස වින්දා...

බඹරුනේ උඹට බැහැ පියාඹන්න
ඒ විද්වතුන් කිව්වා…

ඒත් උන් පියාපත් සැලුවා,
අහස දිහා බැලුවා, ඉගිල ගියා…

බින්දු, බින්දු, පැණි පුරවා,
රස මී බෙදුවා...
පරවෙන මලට හරයක් දුන්නා,
ගස් වැල් පළින් බර වුණා...

බඹරුනේ උඹට බැහැ පියාඹන්න
ඒ විද්වතුන් කිව්වා…

ඒක නොදත් වන බඹරා
තත්පරයකදී සිය, දෙසිය වතාවක් තටු ගැසුවා…
දවස ගානේ ඈත දුර ගෙවා ඉගිල ගියා
ගුමු, ගුමු, ගී මුමුණා මල් පැණි රස බැලුවා…
පසු බැස්සේ නැහැ, නැහැ පුංචි යාළුවා…

කවුද කිව්වේ පුතේ නුඹට බැහැ කියලා?
ඇයි හැංගෙන්නේ මුළු ගැන්විලා?

හිතන්න, පුංචි වන බඹරා
කවුරුවත් කියූ හන්දා 
ඌ ඉන්නවාද පියාපත් හකුළා?

නෑ, නෑ
බඹරුන් පියාපත් හකුළාගෙන හිටියේ නෑ
සට, සට, ගා අත්-තටු සැලුවා
ගුමු, ගුමු, ගී මුමුණා ජීවිතය වින්දා
යුතුකම් ඉටු කළා...

උඹට බැරි නැහැ පුතේ
එපා, එපා, හැංගෙන්න

උසට උසේ නිල් අහසයි,
ඈත පේන සිතිජයයි
උඹට පුළුවන් ජය ගන්න!
කවුද කිව්වේ බැහැ කියලා?
උඹට පුළුවන් ජය ගන්න!

පියාඹන්න බැහැ කියූ බඹරුන්
ඈත දුර ගෙවා අත්තටු සැලුවා
ඉගිල ගියා, ඉගිල ගියා...

විද්වතුන් ලිව්වා කතාව අලුත් කරලා
“බඹරුන්ට පුළුවන්ලු පියාඹන්න...”

උන් පියෑඹුවා,
උන් හැමදාම පියෑඹුවා…

කවුද කිව්වේ බැහැ කියලා?
බඹරුන්ට පුළුවන් පියාඹන්න!

එපා, එපා, හැංගෙන්න
එපා, එපා, පසුබසින්න

බඹරුන්ට පුළුවන් පියාඹන්න
බඹරුන්ට පුළුවන් පියාඹන්න!

කවුද කිව්වේ බැහැ කියලා?
නුඹට පුළුවන්... ජය ගන්න...


මා මීට කලින් වතාවන් කිහිපයක දී ලියා ඇති මගේ වෘත්තීය ජීවිතයේ විවිධාකාර පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම් ආදී නොයෙකුත් වැඩමුළු, වැඩසටහන් ආදිය කරා කියන එක. ඒ ලබාපු අමිල අත්දැකීම, පළපුරුද්ද උපකාරී කරගෙන විභාග වලට සූදානම් කිරීම, ඉහළ අධ්‍යාපන මට්ටමේදි අභියෝග වලට මුහුණදීමට සූදානම් කිරීම ආදීය මුල්කරගෙන වැඩසටහන් කරගෙන යනවා. එවන් අවස්ථාවලදී උපයෝගී මාතෘකාවක් වටා ගෙතුන මගේ කියමනක් Believe Beyond the Blueprint කියන එක, එය මුල්කරගෙන පදපෙළක් කිරීමේ අවශ්‍යතාවය කලයක පටන් හිතේ තිබුණත් එම අදහස නිර්මාණයකට කැටිකිරීමේ අභියෝගය නිර්මාණය කිරීම පමා කරා කියන එකයි නිවැරදිම කියවීම. කිසියම් අවශ්‍යතාවයකට මෙම කරුණ මුල්කරගෙන, Lighthouse බ්ලොග් සඳහා ලිපියක් ලියන්න වුනා. එම ලිපිය ලිවීම, මෙම අදහස බ්ලොග් වලින් ඔබ්බට ගෙනයෑමට නවීන AI තාක්ෂණය සලසන ඉඩප්‍රස්ථාව හා AI සිංදු නිර්මාණයට ඇති මගේ රුචිය "නුඹට පුළුවන්" නිර්මාණයට රුකුල් දුන්නා කියන්න පුළුවන්. හැබැයි, නිර්මාණය සිංදුවක් කිරීමේ වෑයමේ දී කෙළවරක් නැති අභියෝග මතු වෙන්නට විය, ඒකත් තේමාවට හරියන්නම "... පුළුවන්, ජයගන්න..." කියමින් සාර්ථකව නිමාකරගත්තා කියන එකයි මගේ විශ්වාසය, එනමුත් ඒ ගැන කියන්න පුළුවන් වෙන්නේ පාඨක ඔබටය...

නිර්මාණයේ නිමිත්ත හැටියට: aerodynamics නොහොත් ගුවන් යානයක් පියාසර කිරීමේ මූලදර්ම ගැන විග්‍රහ කරන විද්‍යාවේ (වායුගතික විද්‍යාව) න්‍යායන් වලට අනුව වන බඹරෙකුට පියාසර කිරීමට නොහැකි විය යුතුය (aerodynamically a bumblebee cannot fly). වන බඹරාගේ සිරුරේ හැඩය, පියාපත් වල පරාසය/ප්‍රමාණය මුල්කර ගෙන හැදෙන න්‍යාය 1930 ගනන් වල ඉඳන් පවතින එකක්. එනමුත් වන බඹරුන් කවදත් හිමිදිරියේම බොහෝ ඈතට පියාඹා, මලින් මලට යමින්, මල් පැණි උරමින්, රස ගුණ මීපැණි නිපදවා ලෝකයාට තෑගි කරමින් ඉන්නේ මෙලොව පටන් ගත් දා ඉඳන් වෙන්න ඕනේ. උදේ පිපෙන සුමුදු, මෙලෙක්, මලක් පරවෙන්න කලින් පරාගනය කරලා මෙ පෘථිවි තලයේ ජීවීන්ට ගෙඩි පළ ලබා දෙන්න පුංචි වන බඹරුන් ලොකු යුතුකමක් ඉටුකරන්නේ. පසුකාලීනව එකී විද්‍යාවම හඳුනාගන්නවා තත්පරයකට දෙසිය-තිස් වතාවක් පමණ තටුගසන වන බඹරුන්ට පියාඹන්න පුළුවන් වෙනවා කියන එක.

එම කතාව දිරිගැන්වීමේ (motivational) ක්‍රියාවලියේ දී අරුත්බර රිදී රේඛාවක් අඳිනවා. බොහෝ අවස්ථාවල දී කෙනෙකු උත්සාහය අතහැර දාන්නේ, අධෛර්යමත් වෙන්නේ, මුළු ගැන්වෙන්නේ ඔහුට/ඇයට බැරි නිසාම නොව ආපස්සට අදින බාහිර කාරනා ගොන්නක් නිසා. කවුරුන්හරි පුන පුනා කිව්වොත් "උඹට බැහැ" කියන එක, ඊට හිත වහල්වීමට ඇති ඉඩකඩ අපමණයි, හරියට හැම සැහැල්ලු යකඩ රොඩ්ඩක්ම කාන්දමක් විසින් ඇදගන්න සමත් වෙනවා වගේ. බොහෝ විට කෙනෙකු කරන්න මැලිවෙන, ඔහුට කරන්නට බැරිවූ දෙයක් තවෙකෙකු කරන්න උත්සාහ කරද්දී නැහැ, බැහැ කියන බැරිදාසලා හෙවත් Naysayersලා ගෙන් දුරස් වෙන තරමට ඉලක්කය කරා යන්න පුළුවන් වෙනවා. ඔවුන් කියන්නේ ඔවුන්ගේ සීමාව, බැරිකම මිස ඔබේ ශක්තිය ගැන නෙවෙන්න පුළුවන්. ජීවිතයේ අභියෝගයන් ජයගන්න නම් තවත් කවුරුන් හෝ කපලා දෙන ස්ටෙන්සිලයක හිරව පින්තාරු කිරීම හෝ කවුරුන් හෝ ඇඳලා දෙන සැලස්මක් හෙවත් ප්ලෑනකට කොටුවීම නොව, ඉන් ඔබ්බට පියවර යත හැකිය යන විශ්වාසයයි වැදගත් - Believe Beyond the Blueprint.

අනෙක, මෙම නිර්මාණය හා ඉන් බිහිවෙන සිංදුව අද විශේෂයෙන් පිදෙන්නේ එදා සිට අද දක්වා ගල්මල්-Coral අඩවිය වටා සිටිය හා සිටින්නා වූ රසවතුන් වෙනුවෙන්. නිර්මාණ ද්විත්වය ගෙනෙන මෙම පෝස්ටුව ගල්මල් අඩවියේ හාරසිය වැන්න සනිටුහන් කරයි. මෙ ගමනේ දිරිය, ශක්තිය, ජවය ඔබ මිස වෙන කවුරුන් ද?

තවද, ඔබට අරගෙන යන්න පුංචි තිළිණයක්: වෙනත් අයෙකුගේ හෝ බාහිර විශ්ලේෂණයක් නිසා ඔබේ අදහස, ඉලක්කය, අභිප්‍රාය දියවෙන්න යන අවස්ථාවක දී මතක් කරන්න කඩිසර පුංචි වන බඹරා ගැන. "විශ්ලේෂණය නිසා ඇතිවන අකර්මන්‍යතාව" (paralysis by analysis) තුළ සිරවී සිටින විට, වන බඹරුන් (bumblebee) කිසිදු පැකිලීමකින් තොරව ක්‍රියාත්මක වෙමින් තම පියාපත් ගසන බව හිතට ගන්න. ඔබ ජයගත් දා ඔබ වෙනුවෙන් අනුන් එල්බ සිටි නිගමන වෙනස් කර ලියන්න ඔවුන්ට සිදුවේවි.


නිර්මාණය හා සිංදුව ගැන ඔබේ අදහස් කියන්න, එය මට බොහෝ වටී.

සවන් දෙන්න නුඹට පුළුවන් (You Can) ගීතය 


The Breeze a pleasant wave of music | නැවුම් සුවඳ මුසු, ප්‍රසන්න මදනල නගන මියුරු ගී රාවය from ගල්මල්-Coral අඩවියෙන්


ග්‍රැෆික් ඉමේජය නිර්මාණයේ තේමාවට අදාලව හැදුවේ ChatGPT මගිනි.
තුතිමල් මිටක්: ලස්සන තනුව හා සිංදුව | Beautiful song done by Suno AI

35 comments:

  1. ගල් මල් තුමා, AI ගීතය හරිම සාර්ථකයි. තනුව සංගීත සංයෝජනය අර්ථය කටහඬ යොදාගැනීම හොඳයි. ගීතය ටිකක් කෙටිවුනානම් කාව්‍යමය වුනානම් හොඳයි. එතකොට අදහස පැහැදිලිව සන්නිවේදනය වෙයි.

    ReplyDelete
    Replies
    1. මං පෝන් එකෙන් ඇහැව්ව හන්දද මන්ද හිමීට ඇහුනෙ.
      සිංදුව අගෙයි. ආයෙම කොම්පියුටරෙන් අහලත් බලනව හිටං 🤗

      Delete
    2. මට නං අල්ලලා ගියේ ගීතයේ කටහඞවල් දෙක. බීට් එක චේන්ජ වෙන හැටි වගේ දේ තමයි. අපි ඉතිං බස්සො නෙව? ඔලුව වන, වන දිගටම ඇහැව්වා. 🤔

      Delete
    3. නිහඬපාල Nihandapala: බොහෝම ස්තුතියි ඔබේ අගයීමට වගේම විමසුම් සටහනට. ඔව් පදපෙල ටිකක් දිගයි. හේතුව වුනේ නිර්මාණයේ පණිවුඩය සීමිත පාඨක/රසික පිරිසකට සීමා නොකර පොදු පුළුල් කවයකට ගෙනයෑමට අවශ්‍ය වුනා, ඒ නිසා ව්‍යාංගය හා කැප්සියුල් කරන්නේ නැතිව පද සරළව හා සෘජුව ප්‍රකාශ කරන්න ගත් උත්සාහය නිසා පදපෙල දික් වෙනවා.

      ඔබේ අදහස අගයමි, එය ඉදිරියේ දී කරන නිර්මාණ වලදී සැලකිල්ලට ගන්නවා අනිවාර්යෙන්ම. නැවතත්, ඔබේ අදහස ස්තුතිපූර්වකව බාරගන්නවා.

      Delete
    4. නමියගෙ වීදිය: බොහෝම ස්තුතියි.

      Delete

    5. D.G.M බස්සා: බොහෝම ස්තුතියි, ඒ වචන ටිකෙන් කරන Vetting-out එක ලොකු තෘප්තියක් ගෙන දුන්නා.

      Delete
  2. Replies
    1. බොහෝම ස්තුතියි මයියා.

      Delete
  3. මං හිතුවෙ පවුලූශා විතරයි සින්දු කියන්නෙ කියල. හැක්..
    අගෙයි සින්දුව

    ReplyDelete
    Replies
    1. එතකොට නයින්ට කන්-නෑ කියන්නෙ බොරුද? 😵‍💫

      Delete
    2. Praසන්ன: ගල්මලේ 400වෙනි "මයිලගල" රසවිඳින්න ගොඩවුනාට බොහෝම ස්තුතියි ප්‍රසා. ටෙක්නොලොජි ට්‍රෙන්ඩ් අල්ලාගැනිමේ උන්මාදය නිසා වැඩි දියුණුකර ගත් අංශයක්, රසවත් වගේම චැලේන්ජ් නිසාම කැමැතියි. දැනට සිංදු ගනනාවක් කරලා තියෙනවා,The Breeze නමින් කරන්නේ. මෙන්න පාර:

      The Breeze a pleasant wave of music | නැවුම් සුවඳ මුසු, ප්‍රසන්න මදනල නගන මියුරු ගී රාවය from ගල්මල්-Coral අඩවියෙන්

      https://suno.com/@m3de2n

      Delete
    3. D.G.M බස්සා: //නයින් කන්-නෑ// එක පාරටම කියෙවුනේ ට-අතෑරිලා.

      ඒ කියමනේ ලොකු කතාවක් තියෙනවා.

      සර්පයන්ට බාහිර කන්, කන් බෙර හෝ කන් පෙති නැති වුවද, සර්පයින් බිහිරි නොවේ.

      සර්පයන්ගේ හිස් කබල තුළ ආරක්ෂිතව පිහිටි, මනාව ක්‍රියාත්මක වන අභ්‍යන්තර කන් පද්ධතියක් ඇත. මිනිසුන්ගේ මැද කණෙහි කුඩා අස්ථි තුනක් තිබුණද, සර්පයන්ට ඇත්තේ එක් අස්ථියක් පමණක් වන අතර, එය සෘජුවම ඔවුන්ගේ හනු අස්ථිය හා සම්බන්ධ වී පවතී. යම් සතෙකු ගමන් කරන විට හෝ ශබ්ද තරංග ගමන් කරන විට, එම කම්පන පොළොව හරහා සර්පයාගේ හනු අස්ථියට හෝ ශරීරයේ ඇති කොරපොතු වෙත ළඟා වන අතර, එමගින් සංඥා කෙළින්ම අභ්‍යන්තර කණ වෙත යොමු කෙරේ.
      ඒ වගේම මිනිසුන්ගේ බොහෝම සියුම් හඬවල් ඇතුළුව, වාතය හරහා ගමන් කරන අඩු සංඛ්‍යාත (ආසන්න වශයෙන් හර්ට්ස් 50 සිට 1,000 දක්වා පරාසයක පවතින බව ගූගලයා කිව්වේ) ශබ්ද තරංග හඳුනා ගැනීමට ද සර්පයන්ට හැකියාව තියේලු.

      Delete
    4. හොඳ වෙලාවට නයි කණ්නාඩි දාන්නේ නැත්තේ.

      Delete
    5. ඒක ලිව්වාම මතක් වුනා තවත් එකක්:
      නයින්ට ඇස් නැහැ කියලා කතාවක් තියෙනවා නේහ්.
      ඒත් ඒක මෙහෙමයි, සර්පයන්ට ඇස් ඇත, නමුත් ඔවුන්ට ඇසිපිය හෝ ඇසිපිය හෙළීමේ හැකියාව නොමැත.

      Delete
    6. @ බස්සා, අහගත්ත නේද?

      Delete
    7. ඈහ්, ප්‍රසා එහෙනම් ඒක වෙන කතාවක් ද?

      Delete
    8. ගල්මල්තුමා ඔය නාගසේනගෙ කතන්දර සැට් එකක්ම තියනවා. අපේ අලකොමා නොහොත් ඩ්‍රැකී තමයි එව්වා දන්නෙ. පතෑං! 😋

      Delete
  4. ඇත්තෙන්ම. න්‍යාය, මූලධර්ම, සම්මත වැනි සීමා නිසා කී දෙනෙක් කොටුවකට සීමා වීම සිදුවෙනවද. සම්ප්‍රධාය අතික්‍රමණය කියන්නෙ ඉන් මිදීම. සීමා, බාධක ජයගන්න නම් අර කීව සම්මතත් හරියට කියවාගෙන තියෙන්න වුවමනයි. එතකොට තමයි තමාටත්, සමාජයටත් නියම ජයග්‍රහනයක් බුක්ති විඳින්ට පුලුවන් වෙන්නෙ නෙ...

    කවියටයි, ගීයටයි මයෙන් මල් මිටක්...💐 🎉

    ReplyDelete
    Replies
    1. පළමුව ස්තුතිපූර්වකව හා ගෞරවයෙන් මල්මිට බාර ගත්තා, සතුටුයි. ගොඩාක් සතුටුයි නමි.

      Delete
    2. "න්‍යාය, මූලධර්ම, සම්මත වැනි සීමා නිසා කී දෙනෙක් කොටුවකට සීමා වීම සිදුවෙනවද" අන්න ඒ පොයින්ට් එක තමයි නිර්මාණයට මුල්වෙන්නේ. වන බඹරා සිම්පල් ස්ට්‍රේට් එක උදාහරණයක් විතරයි.

      මේ අදහස නොට්පෑඩ් කොලේක කුරුටුගෑවුනේ මීට අවුරුදු 30කට උඩදී. 1996 දී මම මුල්පෙලේ එයාර්ලයින් එකක IT වින්ග් එකේ විශේෂඥයින් කණ්ඩායමක මූලිකයා වශයෙන් අලුත් ජොබක් පටන් ගන්නවා, අපේ ප්‍රධානම වගකීම Y2K Bug ඉෂූ එකට පිලියම් යෙදීම. IT කාරයෙක් හැටියට බොහෝම විරල අවස්ථාවක් උදාවෙනවා එයාර්ලයින් හෙඩ්ක්වාටර්ස්, එහි ලොව වටා විහිදුන නෙට්වර්ක් හා ඔපරේෂන් ගැන වගේම ලොව ඉතාම කාර්යබහුල එයාර්පෝට් එකක ඔපරේෂන් ආදී අලුත් පත ෆීල්ඩ් එකක් ගැන ගැඹුරින් දැන ගන්න. ඒක අතිවිශේෂ ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එකක් මාස ගානක් දුවපු.

      ගුවන් යානයකට රිවර්ස් ගියර් නැහැ කියන කතාව මම ඊට කාලෙකට කලින් ඉඳන් ටීම් බිල්ඩිං ප්‍රෝග්‍රෑම් වල දොඩවපු එකක්. මට දවසක් අවස්ථාවක් ලැබුනා ලොව ප්‍රධාන ගුවන්යානා නිෂ්පාදක සමාගමක විශේෂඥ කණ්ඩායමක් සමඟ පොඩි සෙෂන් එකකට සහබාගී වෙන්න. ඒ කාලේ ඩ්‍රීම්ලයිනර් හීනය හැඩගන්න කාලේ. පොඩි බ්‍රේක් එහෙක දී අපි කතාවට වැටුනා, කිමිදෙන්න වුනා පත සාගරයක, එයාර්ඩයිනමික් ගැන කතාව ඇදුනා. මේ වන බඹරා කතා වස්තුව හිතේ පැලවුනේ එදා.

      මගේ ප්‍රොග්‍රෑම් වලදී මම එයාර්ඩයිනමික් න්‍යාය හා වන බඹරා ගැන කතාකිරීම පුරුද්දක් වුනා.

      Delete
    3. උඩ ප්‍රසා/බකුස් තුමාට ලියූ පිලිතුරු කොමන්ටුවක නයින්ට කන් නැහැ, පේන්නේ නැහැ කියන කතා ඔබ ලියූ "සම්මතයන්ට කොටුකිරීමේ" උදාහරණ දෙකක්. "නයින්ට ... නැහැ" කියලා හිතාගෙන වැඩ වරද්දගන්න තැන් දෙකක්, නයින්ට කන් නැති වුනාට උගේ ඇඟ පුරාම ඇති කොරපොතු, පුංචි, වීක් බාහිර ශබ්දයක් වුනත් ග්‍රහණය කරගන්න සමත්.

      Delete
    4. ලොවට විදුලි බල්බය හඳුන්වා දුන් තෝමස් එඩිසන්ගේ ජීවන කතාවේ ළමා වකවානුව "උඹට බැහැ" කියන එක පරාජය කරපු ලොකු කතාවක්. මම ඒ ගැන ලයිට්හවුස් හි ලියපු කොමන්ටුව මෙතැනට අදාල නිසා අලවනවා:

      එඩිසන් මහත්මයා ද පේටන්ට් බර ගානක උරුමකම් කියන විද්වතෙක්, එහෙත් හත් හැවිරිදි ඔහුව සති තුනක පාසැල් ගමනට තිත තියා ගෙදර නවත්වා ගන්න ඔහුගේ මවට සිදු වෙනවා, ඔහුගේ පන්ති භාර ගුරුතුමියගේ ලියුම් කරදහියක් නිසා. එනමුත් මව කාරනය පුංචි එඩිසන්ට කියන්නේ නැතුව ඉන්න හිතාගත්තා. ඔහුට හෝම්ස්කූල් ක්‍රමයට ඉගැන්වූවා. ඔහු දක්ෂයෙක්, විද්වතෙක්, කීර්තියක් ලබා ගන්නාතුරු මව එරහස රහසක් හැටියට රැක්කා. ගුරුවරිය ඔහු අතේ ලියා එවා ඇත්තේ ඔබේ පුතා අපේ පාසැලට සුදුසු ලමයෙක් නෙවෙයි කියන එක, තවද ඔහු "addled" එහෙමත් නැතිනම් කළකිරුණු, ඔළුව අවුල් වූ කෙනෙකු හැටියට ලේබල් කරලා. ඒ මව බුද්ධිමත් නොවෙන්න එඩිසින් ලමයාගේ ගමන වෙනස් වෙන්න තිබුණා.

      තොමස් එඩිසන් විදුලි බල්බයේ කතාව හා සම්බන්ධ 999වරක් සාර්ථක නොවුන කතාව සඳහන් නොවෙන මෝටිවිෂන් ප්‍රෝග්‍රෑම් නැතුව ඇති.

      මෙය මම පෝස්ටුවේ සඳහන් කර අනුන්ගේ "විශ්ලේෂණය නිසා ඇතිවන අකර්මන්‍යතාව (paralysis by analysis)" කියන එක පරාජය කරපු උදාහරණයක්.

      Delete
  5. අපුරු ගීතයක්. වචන වගේම ගීතයත් රස වින්දා. හැබෑම ලස්සනයි

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි ලියෝනි, ඒ වචන පේලිය ලොකු හයියක්, සතුටක්, තෘප්තියක්.

      Delete
  6. අඩේ ආයිෂ් අප්පා. මේක පට්ට නෙව ගල්මල් තුමා.🙏👌💐

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි, ඒ එක්ස්ප්‍රෙෂන් එක මැවිලා පේනවා.

      Delete
  7. ප්ලේ කරන එක හැංගිලා වගේ තියෙන්නෙ. කමෙන්ට් වල දැක්කෙ නැත්නම් මඟහැරෙනවත් එක්ක.

    රිදම් එක නියමයි. අර බීට් මාරු වෙන එක එහෙම නිසා, අහපු ගමන් ඇඟට තේරෙනවා.👌

    ReplyDelete
    Replies
    1. "ප්ලේ කරන එක හැංගිලා වගේ තියෙන්නෙ" මේක කියවපු ගමන්ම මුලින්ම කලේ පොඩි ෆස්ට් ටෙප් ෆික්ස් එකක් කිරීම. බොහෝම ස්තුතියි ඉඟියට.

      Delete
    2. "රිදම් එක නියමයි. අර බීට් මාරු වෙන එක එහෙම නිසා, අහපු ගමන් ඇඟට තේරෙනවා."
      බොහෝම ස්තුතියි, වචන පේලිය ලොකු සටහනක්, ශක්තියක් වගේම අප්‍රමාණ ඉවැලුවේෂන් එකක්.
      මෙ සිංදුව සති 6-7ක වැඩක්. ඒ අතර තුර දී සූනෝ වර්ෂන් අප්ග්‍රේඩ් එකකුත් වුනා. ඔබේම වචන වලින් මේ "ලමිස්සිය", මේකප් දමා වැඩකෑලි දැම්මත් අප්ග්‍රේඩ් එකක ප්‍රොස්-කෝන්ස් එමටයි. අනෙක මැය හිලෑ කිරීම පහසු නැතත් ඉවසීමෙන් ලස්සන වැඩකොටසක් කරතෑකි. සංගීතකාරයෙකු නොවෙන මම අවශ්‍ය නිමාව ලැබෙන තුරු ට්‍රයි කරනවා, එක්ස්පෙරිමන්ට් කරනවා. ඒකේ ප්‍රතිපලයක් තමයි බීට් මාරු කිරීම. ඒ උත්සාහයට ඔබේ වචන වලින් ලොකු තිළිණයක් ලැබුණේ, බොහෝම ස්තුතියි.

      Delete
    3. බොහෝ කලකට පෙර මම පිලියන්දල පැත්තෙ මාධ්‍ය ආයතනයක වැඩ කලා. මතක හැටියට "පෙන්ටියම්" යුගේ. තිබ්බ. ඒ කාලෙ තිබ්බ "ප්‍රිමිටිව්" මියුසික්-කොම්පෝසර් ඇප් එක දැක්ක, හාදයෙක්, අර ඔබේ කලින් ලිපියෙ තිබ්බ "උන්මාද" ගාණට වැටුනා.දවසම ටැක් එකේ කෑලි කපනවා, කොටනවා. ආයෙ හදනවා, මේක"නියමයි" කියනවා.

      අද මේ Suno, එක්ක ඒවා ගල් යුගේ වගේ. Suno + "උන්මාදය" අපට අගනා නව නිපැයුම් ගෙන ඒවි.🙏👌💐🤔😁

      Delete
    4. ඒ කාලේ තිබිච්ච පිස්සුවක් Audio editingg. කැසට්, CD වල සිංදු mp3 වලට කන්වර්ට් කිරීම මතක් වුනා. ඒවා කරේ එල්ලන් යන mp3 ප්ලේයර්/ රෙකෝඩර් එකෙ දාගත්තාම කොම්පියුටරේ ඇලිලා ඉන්නේ.
      1997 දී වීඩියෝ කැමරා එකක් ගත්තා, ඒකත් සමඟ හම්බ වුනා සුපර් සොෆ්ට්වෙයාර් එකක්, එකෙන් වීඩියෝ එඩිටිං පුරුදු වුනා.
      ඒ කාලේ ස්කැනරයක් ගනිද්දි හම්බ වුන සොෆ්ට්වෙයාර් එකකින් පික්චර් එඩිටිං වගේ "උන්මාද" ගොඩ මතක් වුනා.

      Delete
    5. නොස්ටැල්ජික් මතක-මං පෙතේ රවුමක් යන්න නියම තැන මෙන්න"
      Cathode Ray Dude". වීඩියෝ ටිකක් දිගයි. ඒත් කම්මැලිකමක් දැනෙන්නෙ නෑ. එයා ගාව නැති "yesterday's tech" එකක් නෑ.
      https://www.youtube.com/watch?v=KT_-1TOyifc

      Delete
    6. බොහෝම ස්තුතියි මේ ඔත්තුවට

      Delete

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts