සුනම්‍ය (උණ ගසේ ගීතය):
පවන් සලයි, මල් හිනැහෙයි,
ගුමු ගුමුවයි සමනල තටු රඟන්නේ...
රළ නඟයි, ගඟ පහළට ඇදෙන්නේ,
සිලි සිලියයි නුඹ පවනට පුදන්නේ...
සිහින් සුළන් රැල්ලේ වෙලි
අතු ඉති පත් තාලෙට රඟන්නේ...
සිහින් සුළන් අහුරනු ඇයි
සිලි සිලියයි පවනට පුදන්නේ...
සුළන් සැරයි, සියොත් හඬයි,
පත් සැලෙයි, ගස් අතු ඇඹරෙන්නේ...
ගඟ සැරයි, හෝ හෝ හඬ නඟන්නේ,
වියරු සුළඟේ නුඹ කොහොමද ඉඳින්නේ...
සිහින් සුළන් රැල්ලේ වෙලි
අතු ඉති පත් තාලෙට රඟන්නේ...
වියරු සුළන් අහුරනු බැහැ
නමා සිරස මාරුතයට ඉඩ හරින්නේ...
සුනැමි නුඹ හැම විඳගෙන
අතු විහිඳා අහස උසට නඟින්නේ...
පුරුකෙන් පුරුක සවිබලව වැඩෙන්නේ
පාමුලින් කපා කවුරුද නුඹ බිම හෙළන්නේ...
උසින් උසට පිය නඟින එවුනට
පුරුකක්වී යුතුකම පුදන්නේ...
උන් ඉහළින් ඉහළට නඟින්නේ,
අපි සතුටින් පහළට බහින්නේ...
සිලි සිලියයි පවනට පුදන්නේ,
නමා සිරස මාරුතයට ඉඩ හරින්නේ,
උසින් උසට පිය නඟින එවුනට
පුරුකක්වී පිදෙන්නේ...
ශක්තිය යනු දෘඩ හෝ තද බව නොවන බව උණ ගස උගන්වයි. මෘදු සුළඟක දී, එය පැද්දෙමින්, මෘදු සුළඟ සිලි සිලියක සංගීතය බවට පත් කරයි. ප්රචණ්ඩ කුණාටුවකදී, එය පහළට නැමී, නොබිඳී යටත් වන අතර, සුළඟ බාලවූ පසු නැවත නැඟී සිටියි. කපා දැමූ විට පවා, එය කැමැත්තෙන් ඉදිරිපත් වන අතර, අන් අයට තනිවම ළඟා විය නොහැකි උසකට ඔසවන පලංචියක් බවට පත්වේ.
ජීවිතයත් එසේමය. කරුණාව කරුණාවෙන් හමුවන්න, ප්‍රීතියට එහි හඬ, රිද්මය සොයා ගැනීමට ඉඩ දෙන්න. අභියෝග හමුවේ නම්‍යශීලීව දුෂ්කරතාවන්ට මුහුණ දෙන්න. නැමෙන්න, නමුත් බිඳී නොයන්න. ඔබට හැකි විට, පරාර්ථකාමීව යුතුකම ඉටු කරන්න, එවිට අන් අයට නැඟී සිටිය හැකියාව ලැබෙනවා ඇත. සෑම කුණාටුවක්ම පහව යන අතර, ගැඹුරින් මුල් බැසගත් සහ ත්‍යාගශීලී ආත්මයන් උසින්, ශක්තිමත් සහ ප්‍රඥාවන්තව නැඟී සිටිනවා ඇත.
මෙම නිර්මාණය උණ ගස විසින් කියා දෙනු ලබන සුවිශේෂ ජීවිත පාඩම වටා ගොඩ නැඟුවෙමි. උණ ගස නිමිත්ත කරගත් නිර්මාණයක් මා පළමුව කළේ 2011 දී, එම නිර්මාණයේ පිදුම සටහන මෙසේ විය: ඉහළට නඟින්න තැනෙන අට්ටාලයක උස සකසන්න නැතිනම් කොටසක් දරන්න ජීවිතය කැපකර උණ ගස් වලට වඩා උස, මිටි වූ මිනිසුනට. ජීවන චාරිකාවේ බොහෝ නිහඬ කැපවීම් කර දිරායන පුද්ගලයින් බොහෝ හමුවී ඇත, විශේෂයෙන්ම කට්ට කාෂ්ටක පරිසරයක් ගැහැට විඳගෙන මැදපෙරදිග රැකියාව කරන කාලෙයේ හමුවූ ඔවුන් විශේෂයි. ඔවුන් පියවරු විතරක් නෙවෙයි ජීවිතයේ යව්වනය අනුන් වෙනුවෙන් දියකර වැඩිමහල් සොයුරන්, බාල සොහොයුරන් වගේම ඥාතීන් ගේ චරිත පණ පෙවූ අය විය. ඒවගේම ඊට නොදෙවෙනි භූමිකාවක නිරත කාන්තා පාර්ශවය ද බොහෝ වෙති.


👍👍👍👍
ReplyDeleteබොහෝම ස්තුතියි මයියා
Deleteඅගෙයි. කටුකත්වය මතින් ජයටැඹ කරා... 🎉👍👍
ReplyDeleteකටු පොකුර සිපගනිමි හෙට මලක් වනු පිනිස. රන්ත ශ්රිගෙ කවි පදවැලකුත් මකත් වුනා 🤗
ඒක ලස්සන සටහනක්. බොහෝම ස්තුතියි, ඒ මතක් කිරීමත් බොහෝම අගේ කරමි.
Deleteමට කුඩලිගමත්, ඔහුගෙ 'සැඟවෙමි, එබෙමි නොනවතිමි...' කවියකුත් මතක්වුන. ඔහුත් මේ කටුකත්වය ගැන, ගැමි දිවියේ ගැහැට එක්ක මුසු කරල වෙනම අපූර්ව නිර්මාණ කලා නෙ 💔
ReplyDeleteකුඩලිගමයන්ගේ නිර්මාණ ස්වභාව සෞන්දර්යය සහ ගැමි දිවිය අතර ඇති සම්බන්ධය සුන්දරව, කවියට නඟමින් රචනා කළ ඒවා.
Deleteතවමත් ඔබ මගේය:
කළු ගල් පවා වනමල් පෙති මෙන් මුදු වේ
දවසක එහෙත් මල් පෙති කළු ගල් බදු වේ
ලුහුබැඳ ගමන් ගත් අදහස් ඇත පොදුවේ
සිතු දෙය නොසිදුවේ නොසිතුව දෙය සිදු වේ
ෂා නියාමයි . ගිහින් ඇහුවා . මියුසික් හෙම හොඳටම ගැලපෙනවා
ReplyDeleteමේ ඇගයීම් සටහන බොහෝ අගේ කරමි, බොහෝම ස්තුතියි ඔබට.
Deleteමමත් ගිහින් ඇහුවා. මියුසික් හෙමත් හොඳයි.👌
ReplyDeleteඔබේ ඇගයීම් සටහන බොහෝ අගේ කරමි, බොහෝම ස්තුතියි ඔබට.
Deleteකලින් පෝස්ටුවේ ඔබේ යෝජනාව පෝස්ටුවේ ගීතය මතුකර පෙන්වන්න අයිකොනයක් ද නිර්මාණය කරන්න පෙළඹුවා. එහි, බ්ලොග් පෝස්ටු/පදපේලි සංගීතවත්වීම සංකේතවත් කරන පොතක පෙරලූ පිටු හා මියුසික් සිම්බලයද, ඒදෙක නොගැඹුරු මුහුදේ පාටින් ගල්මල් අඩවියද, ගීතය විඳින හෙඩ්ෆෝනය ද එයට පාට දෙන සාගර ජලය පාට ද තෝරාගත්තා. නැවතත්, යෝජනාව වෙනුවෙන් මගේ ස්තුතිය.
Deleteහරිම අපූරුයි. අපිට හොද පාඩමක්. ඉහලට යත්දි උණ ගස වගේ වෙන්න ඕනේ කියන්නෙම මේ නිසා නෙ. 💕
ReplyDeleteඒක ලස්සන කියමනක්. බොහෝම ස්තුතියි අක්කේ මේ ඇගයීම් සටහනට.
Delete++++++++++++++
ReplyDeleteබොහෝම ස්තුතියි, මේ වැට බොහෝ වටී.
Deleteඅදහස් දැක්වූ සැමෝටම බොහෝම ස්තුතියි, කොමන්ටු වලට පසුව රෙප්ලයි කරන තුරු තියන පුංචි සටහනකි.
ReplyDeleteඔබගේ ගීතය රස වින්දා. එහි අරුත තාලා වචන හැම එකක්ම හරිම රසවත්. හරිම සාර්ථකයි කියා මට හිතුනා. සුබ පැතුම් ඔබට.
ReplyDeleteඋසින් උසට පිය නඟින එවුනට
පුරුකක්වී යුතුකම පුදන්නේ...
උන් ඉහළින් ඉහළට නඟින්නේ,
අපි සතුටින් පහළට බහින්නේ...
හැම තැනදීම මෙහෙම තිබුනානම් ලෝකය කොයි තරම් නම් ලස්සන වෙන්න පුළුවන් ද?
බොහෝම ස්තුතියි ලියෝනි මේ වටිනා ඇගයීම් සටහනට.
Deleteඇත්තෙන්ම ඒක ග්‍රවුන්ඩ් රියලිටිය වේ නම් මොනතරම් සුන්දරද?
අපි අකුරු හරහා ඒ පණිවුඩය ගෙනියමු.