Friday, January 27, 2023

තොපට විතර ද රජෙක් ඉන්නේ | Kingdom

 


ගව් ගණන් ගෙවා
උදේ රැයේ
මලින් මල තුඩින් තුඩ
රොන් ගෙන තටු සලන
කඩිසර මී මැස්සනේ...
පෙළින් පෙළ ඇදෙන
මුවින් මුව තුඩින් තුඩ
රහස් කියා දුවන
යුහුසුළු කුහුඹුවනේ
ඇයි කලබල?

තොපිට විතර ද
රාජධානියක්,
රැජිනක්,
දිවිහිමියෙන් රකින
වට පිරිවර
බැල සේනාව
නමට රජෙකු
ඉන්නේ?

ඇයි අපි?
අපිත් ඉන්නේ රජදහනක,
වේ රජදහනක!
කා වැනසුව ද උන්
දරා බරපැන අපිම රැකිය යුතුවෙන
උන්ගේ හුඹහ - රජධානිය

* වේ රජදහන = වේයන්ගේ රජධානිය


සත්ව ලෝකයේ සමූහ ලෙසෙ ජීවත්වෙන මී මැසි, කුහුඹු, වේයන්, දෙබර ආදී රාජධානියක රැජින මූලික වූ ද නොයෙකුත් රාජකාරීන් වලට වෙන් වූ පිරිවර හා රැජිනට රජෙකු ද සිටින බව කියැවේ.



Friday, January 20, 2023

සුවඳ බොන රසාංකුර

 


දින ගාණක් වැසි අහසේ
අඳුරු වලා අතරින් එබි
හිරු හිනැහෙනවා
රැස් විහිදා

රොන් රොඳ කෙඳි වලා
හනි හනිකට ඈත ඇදෙනවා
නෑගම් යනවාදෝ
පමා වෙලා

ගං කොමලිය ඉවුරු පෙළා
වියරුව මහ මුහුදට ඇදෙනවා
කේඩෑරි තණපත්
දිය මත මුහුණ බලනවා

සුළං රොදේ වෙලී අවුදින්
කබලේ බැදෙන කෝපි සුවඳක්
රිංගා'විත් නාස්පුඩු
සුවඳේ බැරුවා

රස මිහිරි කෝපි පුසුඹ
පිරිලා දසත 
රසාංකුර සුවඳ
උරා බොනවා...

Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts