කයිවාරුව වචනයෙන් හිතක ඇඳෙන රූප විවිධය, වෙනස්ය. කයිවාරුව පදයට විවිධ අර්ථ නිරූපණ සිංහල භාෂාවේ හමුවේ.
මේ කියන කයිවාරුව මවිසින් ෆේස්බුක් ගෲප් එහෙක හඳුන්වා දුන් විශේෂාංගයක්, ඉන් පදපෙලකට, කවියකට වාරුවක් වූ කතාවක් දිගහැරෙනවා. කවිය කියන පදයේ තවත් එක් සමපදයක් කයිය , ඒ අනුව කයියකට හේතු පාදක වූ එහෙමත් නැතිනම් වාරුවක් වූ කතාව කයිවාරුව හැටියට නම් විය.
පදපෙලක් වෙනුවන් ලියවෙන කයිවාරුව රසවත්. බොහෝ විට පදපෙලක දවටා, ඔතා ඇති අදහස ලිහා කියවද්දි විවිධ අරුත් දෙන්න පුළුවන්, එය පදපෙලක ලස්සන වගේම පදගෙතුමේ දක්ෂතාවය, හැකියාව මත රඳා පවතී. කයිවාරුව මගින් තෝරාගත් පදපෙලක අදහස රචකයාගේ කෝණයෙන් අදහස එළිදැක්වීමට අවස්ථාවක් ලැබෙනවා.
එහෙමනම් ඉතිං, අද අපේ කයිවාරුව දෙසට හැරෙමු.
අද කයිවාරුව වෙනුවෙන් තෝරාගත්තේ අහංකාර සුකුමාලිය පදපෙල. මෙය ලියුවේ 2010 පෙබරවාරි වලදී, මුලින්ම පළකළේ ඒ කාලයේ අපි රොක්ව සිටිය ෆෝරම් එකක. බ්ලොග් පෝස්ටුවක් හැටියට පල කරන්නේ 2010 ජූනි වලදී. මෙහි ඇති පදපෙල ග්‍රැෆික් ඉමේජය 2018 මැයි වල දී නැවත සැකසීමකි.
උජාරුවට වැජඹුණ
දූවිල්ල දුම්වැටිය තේ කොප්පය
පාවහන් පවා පිළිකුල් කල ඇය
සීරුවෙන් නැග මේසය
අරක් ගෙන පෙන්නා තේජස
ජනේලයේ එළියෙන් බබලමින
පෙන්නා හැඩ වැඩ
රුව නුඹේ වැඩිවුණා කලින් කල
හඬ මිහිර තුරුල් වුණේ රහසින
ඈත් වෙන්න බැරි ලෙසේ
එක් වුණා සෙනෙහසින
බැරිබර එල්ලා ගෙන දෙඋරේ
කැන්දාගියේ දඟකාර සුකුමාලිය
නැලවුනත් දෙඋකුලෙ
විඩාපත්ව මැලවින නිදිකුම්බාවිය
සවි බල ගත සිතින් අද
කෝකිලාවිය විහිදුවා රැස්
නිරතුරුව ඔපවත්ව රූ රැසින්
සියුමැලිය සැරිසරයි
සලා ඉඟසුඟ සැහැල්ලුවෙන්
තැන නොතැන නිසිලෙසේ
වෙලීලා පෙමින් කොමලිය
දැවටිලා සුරතේ
එදා අහංකාර නුඹ
අද තැන තැන පැටලිලා
දැලේ...
කවුද ඇය?
ශ්‍රී ලංකාවේ කොම්පියුටර භාවිතය ප්‍රචලිත වූයේ '80 දශකය ආරම්භයත් සමගයි. එවන විටත් ශ්‍රී ලංකා මහා බැංකුව, විභාග දෙපාර්තමේන්තුව වැනි ආයතන කිහිපයක් සීමිත ලෙස කොම්පියුටර උපයෝගී කරගෙන තිබුණා. පේරාදෙණිය සරසවියට කොම්පියුටරයක් තෑගි ලැබුණේ 1967 දී බව මා අසා ඇත්තෙමි.
මුල්කාලයේ කොම්පියුටරය වැඩි සැලකුම්, සත්කාර ලැබූ අයෙක්. 1982-1983 කාලයේ MS-DoS ප්‍රචලිත වෙන්න කලින් නොයෙක් නිෂ්පාදකයින් තම තමන්ට ආවේණික Operating Systems යොදාගනිමින් තරඟයට Software වෙළෙඳ පොළට ගෙනාවත් හරි හමන් සම්මතයක් නොතිබුණි. ඒ අනුව සීමිත නිෂ්පාදන නාම වැජෙඹුනා අපූරුවට.
MS-DoS Windows ලෙස ඉදිරියට පැමිණීම PC වලට ලොකු එළියක් ගෙන දුන්නා. සම්මතයක් ගොඩනැගුනා ඒ වටා, කාටත් ගන්න පුළුවන් සේ Software එන්න පටන් ගත්තා. එයත් සමග PC භාවිතය සුලබ වුණා. හැඩි දැඩි, තනි පාට මොනිටර් වෙනුවට ලස්සන කලර් මොනිටර් එළිදැක්වූවා. Desktop එකක් ලෙස පනිනවා මේසය උඩට.
කලින් වැරැද්ද්කදි ගොරහැඬි කෙටි කීක් හඬක් දුන් කෙනා අලුතින් එක්වූ Sound Card වලින් ලස්සන හඬ දෙන්න පටන් ගත් ගමනයි අද අපිට වීඩියෝ, ඉමිහිරි MP3 වගේ දෙවල් ගෙනෙමින් වෙළාගත්තේ...
2000 වසර කාලයේ Laptop එළි දකිනවා. ඒකා එල්ලාගෙන යන්න උරහිස් දෙකක් මදියි. කොච්චර චාර්ජ් කළත් වැඩපටන් ගන්න සූදානම් වන විටම බැටරි ලෝ (විඩාපත්ව මැලවින නිදිකුම්බාවිය) විදුලිබලය නැතිව වැඩකරන්න බැරිවිය. උජාරුවට එල්ලාගෙන ගියත් සීමිත වැඩකොටසයි කරන්න සමත්වුනේ.
සීරුවෙන් ක්‍රියාවෙන් හා හැකියාවන්ගෙන් බලවත් වූ Laptop වසරින් වසර ස්ලිම් හා බරින් සැහැල්ලු වුණා. අත්ලක රඳවා වැඩකරන්න පුළුවන් තරම් පුංවි Palmtop වලින් පටන් ගෙන අද හරිම ජනප්‍රිය ස්මාර්ට් ෆෝන් දක්වා හුරුබුහුටි වෙලා.
උඬඟු අහංකාර ලොක්කා බලවත් පුංචෙක් වෙලා, හොට්-ස්පොට් ඇති බස්-ස්ටොප් වලත් අද තනිවෙලා... සමහර වෙලාවට එයාට ලැබෙන අඩු සැලකිලි දකින්නත් දුකයි.
අහංකාර සුකුමාලිය ඒ තාක්ෂණික විපර්යාසය, කවිරසය හා යාකරන්න ගත් උත්සාහයක්. මෙම නිර්මාණය ලබා ගන්න සමත් වූ පාඨක ප්‍රතිචාර්ය අනුව මා නිර්මාණයකින් ලබාපු ඉහළම තෘප්තිය, සතුට ගෙන දුන් නිර්මාණයක් හැටියට කියන්න පුළුවනි.
අහංකාර සුකුමාලිය ඉංග්‍රීසි බසින් කරන අදහස එදා සිට මසිතේ තිබුණ ද සිංහල බස ලබාදෙන සුනම්‍ය, අලංකාරය කියන සුවිශේෂ හැකියාව ඉංග්‍රීසියෙන් පදකිරීමේ දී වෙනස් කියන කාරණය නිසා දෝ ඉංග්‍රීසි පදකිරීම කල්ගියා. අහංකාර සුකුමාලිය මුල් කරගත් ඉංග්‍රීසි පදපෙල You Beauty නිර්මාණය එළි දකින්නේ 2022 සැප්තැම්බර් වලදී, එය මෙසේය:
You Beauty ය අහංකාර සුකුමාලිය නිර්මාණයට වඩා පොඩ්ඩක් වෙනස් වෙන්නේ, නව තාක්ෂණය හා ගෙනෙන පහසුකම් IT වෘත්තීකයෙකුගේ ජීවිතය සුන්දර කරන විලාසය එක් කිරීමෙනි. මුල්යුගයේ PC වල monochrome (ඒකවර්ණ), බීප් (beep) හඬ වගේම හැම දෙයම කළයුතු වූ ගොරහැඩි (robust/crude) ක්‍රම වලට අනුගත වෘත්තීකයෙකුගේ ජීවිතය නව සුරුබුහුටි තාක්ෂණයේ ආගමනයෙන් හැඩගැන්වෙන අපූරුව You Beauty යෙහි එකතු වෙනවා. එය කාව්‍යමය වශයෙනුත්, ඉන් ඔබ්බටත් අතිශයෝක්තියක්ම නොවේ.
මා පොස්ටුව ආරභයේ දී කී පරිදි You Beauty පදපෙලේ ද එක, තනි අදහසකට වඩා අදහස් මතු කිරීමට ඉඩ ඇත, එය පදපෙල කියවීමට අනුරූපව ඉස්මතු වෙන්න පුළුවන්.
මුහුණුපොතේ You Beauty කියවූ අපේ සොයුරියක් එදා කියා සිටියේ මෙය ගීතයක කරන්න තරම් ලස්සනයි කියාය. එනමුත් එදා ගීතයක් කිරීම ගැන අදහස බොහෝ දුර විය. නොහැක්කක් නොමැත යන්න තවත් වරක් පසක් කරමින්, මෙවසරේ සැප්තැම්බර් වෙද්දි නව තාක්ෂණය ඒ අදහසට මග පාදා ඇත. SUNO AI මගින් You Beauty ගීතවත් වුනා අලංකාරව, මිහිරිව.
You Beauty ගීතය, රසවිඳින්න ඔබට ආරාධනා කරමි.
ජීවිතය සුන්දරය. මෙ නිර්මාණ දෙක වගේම ඒවා කේන්ද්‍ර කරගත් නිමිත්ත බොහෝ ඇලුම් කරමි, මන්ද යත් ඒ හැම පදයකම තියෙන්නේ පුද්ගලිකව ගෞරවයෙන්, භක්තියෙන් ආපසු හැරී බැලිය හැකි මාවතක සුන්දර සටහන්, හදගැස්ම වගේම ආදරණීය මතක, සුවඳ... ඒ හැම එකම කැටි කොට හැදෙන මියුරු ගීතය වඩාත් සුමියුරු වෙන්නේ ඒ නිසාවෙනි.
You Beauty යනු හුදෙක් වර්ණ රහිත monochrome ලෝකයකට විවිධත්වයක වර්ණ, රිද්මය හා තනුව ගෙන ඒම ගැන පිළිබඳ කතාවක් පමණක් නොවේ. එය, වසර ගණනාවක් පුරා තම පැවැත්ම තුළින් එම ලෝකයට අඛණ්ඩව අර්ථයක් එක් කිරීම පිළිබඳ කතාවකි.
තුතිමල් මිටක්: ලස්සන සිංදුව | Beautiful song done by The Breeze using Suno AI


බුදු සන්තෝ! 2010 කියන්නේ අවු 16කට පෙර. හාඩ්වෙයා පැත්ත නම් සරල රේඛීයව තමයි තාමත් දියුණු වෙන්නෙ කියල හිතෙනවා. ඒත් හොඳට හෝ නරකට AI කියන්නෙ , දාර පිම්මක්.
ReplyDelete+++++++++++++++++👌💐
හුම්. හාඩ්වෙයාවල වේගවත් දියුණුවක් තිව්නත් ලොකු පිම්මක් වගෙ එකක්නං නැ තමා 👀🤔
Deleteඒකනම් ඇත්ත, AI වලින් ලැබුණ වාසි ගොඩාක් වගේම පුද්ගලික රිචිය, ආර ප්‍රොෆයිල් කරලා ඒ ආරින් වැඩ කරවා ගන්න ඇති ඉඩකඩ හරියාකාරව පාවිච්චි කරනවා නම් යහපත් ටූල් එකක්ම තමයි.
Deleteනමි: PC වලට වඩා ලොකු පිම්මක් පැන්නේ සර්වර් වගේ හාඩ්වෙයාර්, ක්ලවුඩ් ස්ටෝරේජ්/හොස්ටිං වගේ මහා පරිමාණ දේවල්. ඒවායේ වාසිය තමයි AI
Deleteඑක නම් මාර කයිවාරුවක් නේ ගල්මල්.
ReplyDeleteමාර පිම්මක්.... තාමත් නැවතිලා නැති හැඩයි... දවසින් දවස ඉදිරියට......
අපූරු උත්සාහයක් ඔබේ. සමහර තැන්වල හරිම ලස්සන පදවැල්.
වෙලීලා පෙමින් කොමලිය
දැවටිලා සුරතේ
එදා අහංකාර නුඹ
අද තැන තැන පැටලිලා
දැලේ...
හරිම ලස්සනයි. සුබ පැතුම්
බොහෝම ස්තුතියි ලියෝනි.
Deleteඇත්තටම කයිවාරුව ලස්සනයි, වතාවක් ඕනම කෙනෙකුට සහබාගී විය හැකි කයිවාරු වලටම වෙන් වූ බ්ලොග් එකක් කරන අදහස තිබුනා. ඒත් කාලය ගැන ප්‍රශ්ණය නිසා ඒක මග හැරුනා.
මේක මම උපුටා ගත්තා හොදේ. thanks
DeleteOK, fine. ඊමේල් එකක් දාලා ඇති බලන්න.
Deleteඑදා අහංකාර නුඹ
ReplyDeleteඅද තැන තැන පැටලිලා
දැලේ...
මේ අවසානය ඉතාම සාර්ථකයි. 'දැල' කියන වචනයෙන් අන්තර්ජාලය වගේම ආදර දැලක පැටලීමත් මතු කරනවා. එය හොඳ ද්විත්ව අර්ථයක්.
I admire one who
Changed my monochrome life...
මෙහි monochrome යන්න පරිගණක තිරයක වර්ණ රහිත බවට පමණක් සීමා නොවෙයි. එය මිනිසාගේ ඒකාකාරී ජීවිතයටත් යොදාගත හැකි රූපකයක්.
බොහෝම ස්තුතියි මයියා කවදත් වගේ විස්තර සටහනට.
Deleteඔව් monochrome වචනයේ යෙදුම, පරිසරය අනුව දෙන අරුත් බොහෝමයි.
බොහොම කාලෙකට කලිං කියල තියෙන පද පෙළක් එහෙනං. ජය 🎉🎉
ReplyDeleteකොම්පීතර් ආව කාලෙ 😁.
ඒ කාලෙ ඉක්කොලෙ ලැබ් කියන්නෙ දේවාල වගෙ තැන් 😂😂. සපත්තු ගලවල, පිරිසිඳු වෙලා ඇතුලට යන්ට ඕන.
ඔව්, මේක එළකිරියේ රොඳබැදගෙන හිටපු කාලේ ලියපු එකක්.
Deleteඒකාලේ හරි සැලකුම් ලබපු අය නෙවැ.
අපිට ඒ දවස්වල කොම්පියුටර කියන්නෙ, නෙලා ගන්න බැරි ලස්සන මලක් වගේ එකක්. හැබැයි අර "වින්ඩෝ ෂොපින්" කරනව වගේ, හැකි සෑම විටම අතගාලා හූල්ලලා ගියා. වෙලාව හොඳ නං , පුස්තකාලෙදි අහුවෙනවා PC මැගසින් එකක්. හම්මේ ඒවයින් ගත්ත ෆන්. අදට වුනත් "අතීත මතක මංපෙත්"දිගේ යන්න හිතුනාම මම මේ තැන් වලට යනවා.
ReplyDeletehttps://archive.org/details/PCMAG/PC-Mag-1982-02/
ලංකාවේ ද 85 වගේ කාලයේ කොම්පියුටර් ලෝකය හෝ ආසන්න නමකින් සඟරාවක් පලවුනා සිංහලින් 86ත් තිබුණා, ඉන් පසුව මොනවා වුනා ද දන්නේ නැහැ.
Deleteකොම්පියුටර් අපේ මුලු ජීවන රටාවම වෙනස් කලා. අදටත් මම මොබයිල්, ටැබ් වලට වඩා ඩෙස්ක් ටොප් වලට ආදරේ ඒකයි. ඒ කාලෙ කොම්පියුටරයක් කියන්නෙ "ස්ටේටස් සිම්බල්" එකක්. ඉස්සර ඔපිස් ස්නැප් එකක් ගන්නව නං, කම්පූටරේ මොනිටරේට ඔරෝ ගෙන ඉන්න එක තමා පෝස් එක. ගල්මල්තුමා වගේ ක්ෂෙත්‍රයේ අය ඇරුනාම, අපි ඕකෙන් කලේ සිල්ලර වැදයි, ගේම් ගහන එකයි තමයි. ඒත් ඒ කාලෙ කොම්පියුටරේ අපේ ජීවිතේට ගෙනාපු චමත්කාරය, අද නැති එකයි කනගාටුව.
ReplyDeleteඒකනම් ඇත්ත කතාවක්. මම ලඟින් ඇසුරු කර අයෙකු හිටියා රජයේ ආයතනයක වැඩකර ඉහළ තනතුරක්. ඒ කාලේ ඔහු කියපු ලස්සන කතාවක් මතක් වුනා, එයා දන්න අඳුනන කෙනෙක් දවසේ වැඩ ඇරිලා යද්දි මොනවා හරි කොම්පියුටර් ප්‍රින්ට් පේපර් එකක් නවලා කොටසක් පේන්න අරන් යන්න පුරුදු වෙලා හිටියාලු.
Deleteපෙන් ඩ්‍රයිව් ආපු අලුත ID එල්ලනවා වගේ කර වටා එල්ල ගත් අයත් දැකලා තියෙනවා.