Monday, December 12, 2022

වැසි දිය බිඳිති - Rain Droplets

 


හතර වටින් කළු කරගෙන
වැහි වලාවක් ඇදුණා
කුරුලු රෑන විග විගහට
කූඩු කරා තටු සැලුවා...

දළුකොළ පොහොට්ටු නොරිදවා
හීන් පොදක් හෙමිහිට වැටුණා
වියළි පොළොව සතොසින් තෙමුණා
පළාතම සුවඳින් පිරුණා

උඩින් උඩින් එල්ලීගෙන දුවනා
කණුවෙන් කණුව හිරවි ඇදෙනා
විදුලි රැහන් පොද වැස්සේ
ඔහේ තෙමුණා

පුංචි පුංචි දිය බිඳු සැදී
කළු රැහැන් දිගේ මුතුපෙළක්!
එල්ලීගෙන සීරුවෙන් යටිකුරුව 
කණු දෙපසින් පල්ලම් බහිනා

දෙපසින් එන අතරමං කුහුඹුවන් විලස
හැපි උරෙන් උර තුටිනා
ලංවි කියන්නේ රහසක් දෝ
රැහැනින් සමුගෙන මිදෙනා

වැස්ස සෙමින් මෝරනවා
මුතුකැට ටික ටික ලොකු වෙනවා
රැහැන් දිගේ කඩිමුඩියේ ඇදෙනා
ගමන ටික ටික කෙටි වෙනවා

විනිවිඳ පෙනෙන දියබිඳු අඳුරේ
බර වැඩි වුණි ද තරම ලොකුවි
කඩා හැලෙනවා ගමන මගදී
නිති අනිති රැඟුම විදහා

4 comments:

  1. වර්ෂාවේ වැඩිවීම නිරීක්ෂණයට ලක්වන දියබිඳු ‍වෙනස් කරන සැටිත් එය ජීවිතයට සම්බන්ධ කරන සැටිත් සිත් ගන්නා සුළුයි.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි ඔබේ සටහනට. වැස්සක නැවුම් සුවඳ විඳිමින් ඉන්න අවස්ථාවක අදිසැර කේබල් දිගේ මැවුන රටා දුන්න අදහස.

      Delete