Tuesday, November 17, 2026

දහතුනේ කාමරය - Room No. 13 (1)

 


ඇන්ඩෘ හා සොෆියා දෙදෙනා කීප වතාවක්ම ඇවිත් නතර වුණේ දියඇල්ල ආසන්නයේ පොඩි හෝටලයේ. උදේ ආහාරය අරගෙන හෝටලයෙන් පිටත්වෙන ඔවුන් ඒ අසල ඇති වන ලැහැබේ, කඳුගැට වල ඇවිදින්නට බොහෝ කැමැත්තක් දැක්වූවා. දවසේ වැඩි කාලයක් විනෝදයෙන්, කෙලිදොලින් එහෙ මෙහේ ඇවිදින ඔවුන් හවස් වෙලා නැවත කාමරයට එන්නේ ඔවුන් වෙනුවෙන් බලා ඉන්න නැවුම් පලතුරු වට්ටිය බලාපොරොත්තුවෙන්. හෝටලයෙන් ලබාදෙන දවසේ නැවුම් පලතුරු වලට අමතරව මෙ දෙදෙනාගේ කාමරයට වැඩිපුර යමක් ලැබෙන්නට විය.

මෙවර ඔවුන් ආවේ ඔවුන්ගේ මධුසමය ගෙවීම ප්ලෑන් කරගන්නය. ඇන්ඩෘගේ කැමැත්ත වුණේ මුහුදුබඩ පෙදෙසක් තෝරා ගැනීම වුණත් ඔවුන්ගේ පළමු හමුවීම, ආදර කථාවේ රසමුසු තැන්, සුවඳින් පිරුණ, මේ දියඇල්ල ආසන්නයේ පොඩි හෝටලයම තෝරාගන්න සොෆියාගේ කැමැත්ත විය. ඇය දියඇල්ල කඩා හැලෙන පහළ කොටසේ නෑම විතරක් නෙවෙයි ගංඟාව ඉහළ සිට ඇදී එන සුන්දරත්වය, ගංඟාවේ ගීතය, ඒ දෙපස වන වදුලු වල කුරුලු කිචි බිචිය ගොඩාක් අලුම් කරා. හැබැයි, ඇයට උවමනා වුණා මෙතෙක් ඔවුන් වැඩියේ නොගිය ගංඟාවෙ උඩහට වෙන්න පිහිටි සුන්දර තැනක මධුසමයේ වැඩි කාලයක් ගත කරන්න. වෙනදාට වඩා උදෙන්ම හෝටලයෙන් පිටත් වූ ඔවුන් හෝටලයෙන් සොයා දුන් ගමන් සඟයෙකු ද සමඟ ඉදිරියට ඇදෙනවා. කෙළිලොල් සොෆියාගේ උනන්දුව, පරිසරයට ඇති පෙරැත්තය නිසාම දුවන පනින ඇයට රුකුල් දෙමින් විඩාවක් නොපෙන්වා ඇන්ඩෘ ද සෙවනැල්ලක් වගේ ඇය පිටුපසින්ම වැටුණා. ඇන්ඩෘ තම ගමන් සඟයා සමඟ යමක් කතා කරමින් රැඳුන මොහොතක පහළ ගල්තාලා අතරින් හැඩ දමමින්, ලතාවට ගලන ගඟ නඟන හඬ කල ආරාධනයට වසඟව දිවගිය සොෆියා ගල්තලාවකින් ලිස්සා ඇද වැටුණේ බලාපොරොත්තු නොවූ විදියට.

සුන්දර සිහින සමුදායකින් පිරි ඔවුන්ගේ මෙවර ගමන කෙළවර වුණේ අවාසනාවන්ත විදියට.

ඇය මාස ගනන්වක් රෝහලේම ගතකර ජීවිතයෙන් සමුගත්තේ ඇන්ඩෘ මෙලොව හැමදාම තනි කර.

එනමුත්, ඔහුට ලැබෙන නිවාඩුව ගත කරන්නට ඇන්ඩෘ දියඇල්ල ආසන්නයේ පොඩි හෝටලයට එන පුරුද්ද අතහැරියේ නැහැ. සොෆියා සමඟ ඔහු අවසන් වරට සිටිය කාමරයම ලබාගන්න ඔහු වග බලාගත්තා. සොෆියා සමඟ ඇවිදි ගිය වන ලැහැබ, තුරු වදුල, ගං ඉවුර ඔහු වඩාත් ප්‍රියකලා, තනිව සක්මන් කලා.

පෙම්වතුන්, සොබාව පරිසරයට ළැදිකම් දක්වන අය (Nature Tourists), තනියෙම ජීවිතය විඳින්න එන සොලෝ ටුවරිස්ට්ලා (Solo Tourists) අතර පොඩියට, පිළිවෙළට පවත්වා ගෙන ගිය දියඇල්ල ආසන්නයේ  පොඩි හෝටලය වඩාත් ජනප්‍රිය තැනක් වෙනනට විය.

සාරා උදෙන්ම චෙකින් වූ තැන්පත්, පියකරු සොලෝ ටුවරිස්ට් කෙනෙක්, ලහි ලහියේ දියඇල්ල පාමුල නාන්න ගියේ පහුව දා උදේට ගං ඉවුර දිගේ උඩහට ඇවිදින්න යන්න ඕනේ... උපදෙස් පත්‍රිකාව හවස් වෙද්දි සූදානම් කරලා තියන්න කියලා. ඒකත් කවුන්ටරයෙන් අරන් ආපහු කාමරයට ගිය සාරා... සැණකින් බය වෙලා වගේ දුවගෙන ආවේ "කවුද මගේ කාමරයේ බාත් රූම් එකේ නන්නේ..." කියමින්.

ස්ටීව්, රූබි යුවළ හුරතල් දූ පොඩ්ඩ එක්ක ආවේ දියඇල්ල බලන්න, දවස් තුනක දිග සති අන්තය ගතකරන අදහසින්. පළමු දිනයේ ඔවුන් ඇවිදලා කාමරයට එද්දි "පලතුරු බාස්කට් එක මාරු කරලා නැහැ". ස්ටීව් පැමිණිලි කර පසුව අලුත් පලතුරු පුරවපු බාස්කට් එකක් ඔවුන්ට ලැබුණා. රූබියි, දරුවයි මහන්සියට නිදාගත්ත ද වහලා ඇති බැල්කනි දොර අතරින් එන අමුතු හුළඟ, තිර රෙදි ඈත් මෑත්වීම ඔහුට කරදර කරමින් නින්දක් නැති විය. මනස්ගාත... ඔහු හිත හදාගන්න උත්සාහ කරා. පහුවදා, ගඟ ඉහළට ඇවිදින්න ගිය ඔවුන්, දුව කුරුලු කීචි බිචිය විඳින අයුරු බලාගෙන හිටියේ හරිම සතුටින්, හෙමිහිට ගලන ගඟේ සිසිල් දිය පහාරේ පාද ගිල්වා සිටියේ සනීපෙන්. "ඩැඩී ගඟේ පීනන මාලු නැද්ද දුව අහනවා" රූබි එබිකම් කර කියනකම් ස්ටීව්ට ඇහුණේ නැතිවා වගේ. ගෙවුණ රාත්‍රියේ කාමරයේ අත්දැකීම ඔහුගේ හිතට කරදර කරන්නට විය. සතුටින් දවස ගෙවා ආපසු කාමරයට එද්දී එදාත් පලතුරු වට්ටියේ එහෙන් මෙහෙන් කාපු පලතුරු... තරහින් වෙවුලන ස්ටීව් ෆ්‍රන්ට් ඔෆීස් එකට ගිහින් කෑගහන්න පටන් ගත්තා.

ගොල්ෆ් පිස්සෙක් වූ රොබට් ගුවන් සමාගමක වැඩකළ තනිකඩයෙක්. නිවාඩුවක දී දවස් ගණන් ගොල්ෆ් පිටියේ ගෙවලා, ඊළඟට දුව එන්නේ දියඇල්ල ආසන්නයේ පොඩි හෝටලයට, ඒත් එදා ඔහුට දෙන්නට වෙනත් කාමරයක් නොවූ නිසා මෙම කාමරය ලබා දෙන්නට සිදු විය. ඔහු දවස අවසානයේ කාමරයට ඇවිත් ෂවර් එකක් ගන්න බලද්දි, බාත් රූම් එක පුරාම අමුතු ෂැම්පු සුවඳක්, ෂවර් එකේ දිග හිස්කෙස්, ඔහු ෆ්‍රන්ට් ඔෆීස් එකට ගියේ හවුස් කීපිං වලට දොස් කියමින්.

වසරේ එක්තරා කාලයක දී අමුත්තන් විතරක් නොව දියඇල්ල ආසන්නයේ පොඩි හෝටලයේ කාර්ය මණ්ඩලය පවා බියටපත් කරමින් තරුණ යුවලක් තැන තැන සැරිසරන්නට විය. වරෙක සුදු වේලයකින් සැරසුණ සුරූපියක් හා මංගල ඇදුමින් සැරසුණු මනාලයෙක්, තවත් විටෙක දුහුල් ඇඳුමින් එහෙ මෙහෙ සැරිසරන සුන්දරියක්, ඉඳහිට අඩි උස හීල් සපත්තු පොළවේ ගැටෙමින් මතුකරන හඬ හෝටලය තුල මෙන්ම වටා පිටාව ද බියෙන් ගිල්වන්නට විය.

නමුත් ඇන්ඩෘ නවාතැන් ගන්නා වූ ප්‍රියතම කාමරයේ සංචාරකයින් රාත්‍රියක් ගත කළේ නැති තරම්. පරිසරය විඳින කෙළිලොල් ඔවුන් හවස කාමරයට ඇතුල් වෙද්දී කාලා ඉතිරි වූ පලතුරු වට්ටිය, ඇරෙන වැහෙන සඳළුතලයේ දෝර, අඳුරු වැටෙද්දී කාමරයේ එහා මෙහා යන පාවහන් හඬ, සිනහව, බාත් රූම් ෂවර් ඇරෙන වැහෙන, දියනාන හඬ, ෂැම්පූ සුවඳ වගේ නොයෙකුත් සද්ද බද්ද ගැන හෝටලයේ ෆ්‍රන්ට් ඩෙස්ක් එකට පැමිණිලි ලැබෙන්නට විය. මේ කිසිවක් ඔවුනට අමුත්තක් නොවිය. "අපි ඔබට වෙනත් කාමරයක් සූදානම් කරලා දෙන්නම්", ඔවුන් පරිස්සමෙන්, සැහැල්ලුවෙන් පවසන්නට විය.

හෝටලයේ කළමනාකරණය විසින් එම කාමරය, කාමර අංක 13 හැටියට නම් කළේ මෙ අමුතු සිදුවීම් මාලාව පටන් ගත් අලුතය.

කාමර අංක 13 ඩාර්ක් ටුවරිසම් (Dark Tourism) හෙවත් හොන්ටිං ටුවරිසම් (Haunting Tourism) ගැන උනන්දුව දක්වන්නන් අතර ජනප්‍රිය වෙන්නට විය, එනමුත් ඔවුන් ද එහි රාත්‍රියක් ගත කළේ බොහෝ කලාතුරකිනි.

කාමර අංක 13හි නවාතැන් ගත් තෘප්තිමත් එකම පුද්ගලයා ඇන්ඩෘ පමණක්ම විය. ඔහු කවදත් චෙක්-අවුට් වුණේ ප්‍රීතියෙන් ඉපිල ගිය අමුත්තෙකු හැටියටය. ඔහු තවමත් තනිකඩය. ඔහු නවාතැන් ගන්නා අතරතුර කාලයේ දී හෝටලය බොහෝ සන්සුන්ය.

දියඇල්ල ආසන්නයේ පොඩි හෝටලය තුළ මෙන්ම අවට ද සිනා හඬ අමුත්තක් නොවිය...

දෙවෙනි කොටස කියවන්න...

*  ගල්මල්-Coral ප්‍රබන්ධයකි.

සටහන:
Dark tourism, or haunting tourism: මරණය, ඛේදවාචක, අවතාර හෝ ඓතිහාසික වශයෙන් දුක් වේදනා හා සම්බන්ධ ස්ථාන වෙත සංචාරය කිරීම 'අඳුරු සංචාරක ව්‍යාපාරය' (Dark tourism) ලෙස හැඳින්වේ. ඉතිහාසය, කුතුහලය සහ අද්භූත දේ පිළිබඳ උද්යෝගය යන සාධකවල එකතුවක් මත පදනම් වූ මෙය, බිලියන ගණනක වටිනාකමකින් යුත් ගෝලීය කර්මාන්තයකි.

Solo travel: හුදෙකලාවට ප්‍රියයන්, තනිව සංචාරය කිරීම (Solo travel) යනු කලින් සැලසුම් කරගත් සංචාරක සහකරුවෙකු, පවුලේ සාමාජිකයෙකු හෝ සමීප මිතුරෙකු නොමැතිව, සම්පූර්ණයෙන්ම තනිවම ගමනක් යාමයි. මෙහිදී සියලු තීරණ ගැනීම, සංචාරක සැලැස්ම සකස් කර ගැනීම මෙන්ම වෙන්කරවා ගැනීම් (bookings), ප්‍රවාහන කටයුතු සහ දෛනික ක්‍රියාකාරකම් කළමනාකරණය කිරීම යන සියල්ල ඔහු/ඇය විසින්ම සිදු කරනු ලබයි.

බටහිර සමාජයේ විශ්වාසයන්ට අනුව, දින දර්ශනයේ යම් මාසයක 13 වැනි දිනය සිකුරාදා දිනකට යෙදෙන විට, එම දිනය අවාසනාවන්ත දිනයක් ලෙස සැලකේ. තවද, 13 වැනි අංකය: 12 වැනි අංකය මෙන් නොව, 13 වැනි අංකය බොහෝ සංස්කෘතික සම්ප්‍රදායන් තුළ අසම්පූර්ණ හෝ යම් අපහසුතාවක් ගෙන දෙන අංකයක් ලෙස සැලකේ.


තවත් හොල්මන් කතා:

බ්ලොග් පෙට්ටගමෙන් හොල්මන් කතා:


Saturday, November 14, 2026

අදිසි අත - Invisible Hand (හොල්මන් කතා)

 


ටවර් ක්‍රේන් (Tower crane) ලෙස බහුලව හැඳින්වෙන මෙය, උස් සිරස් කුළුණු (tower) ව්‍යුහයක් මත සවි කර ඇති, විශාල සහ ස්ථාවර සමතුලිත දොඹකරයකි. ටවර් ක්‍රේන් යන්ත්‍රයක ඉහළ කොටසේ සිට විහිදෙන, තිරස්ව හෝ යම් ආනතියක් සහිතව පිහිටි දිගු බාහුව (boom) —සාමාන්‍යයෙන් 'ජිබ්' (jib) හෙවත් "වැඩ කරන බාහුව" (working arm) ලෙස හැඳින්වේ—ඉදිකිරීම් භූමියක් තුළ බර ද්‍රව්‍ය එසවීමට, නියමිත ස්ථානවල තැබීමට සහ එක් තැනක සිට තවත් තැනකට ගෙන යාමට යොදා ගැනේ (අන්තර්ජාලයෙන් ලබාගත් සරල හැඳින්වීමක පරිවර්තනයකි).

අඩි සිය ගානක උස ටවර් ක්‍රේන් ක්‍රියාත්මක කරන්නෙ ක්‍රේනයේ ඉහළ පිහිටි කුටියක රැඳී ඉන්නා වූ පළපුරුදු ඔපරේටර් කෙනෙකු විසිනි. එම කුටියට ඔහු ළඟා වෙන්නේ විශාල දම්වැල් වලින් ඔසවන බාස්කට් එකක් වැනි ව්‍යූහයක තුළ බැස ක්‍රේණයේ උස කුළුණට සමීපව උඩට එසවීමෙනි, ඔහු විසින්ම ක්‍රියාත්මක කරන උපකරණයක පාලනය හරහාය. ඉහළ කුටියේ සිටින ඔපරේටර්වරයා සමඟ සම්බන්ධීකරණය, පණිවුඩ හුවමාරුව ක්‍රේනය පාමුල සිටින සහායකයෙකු රේඩියෝ (වෝකි-ටෝකි) හරහා සිදු කරයි.

ඩේව් ජනාකීර්ණ නගරයේ උසට ඉදිවෙන නව ගොඩනැගිල්ලක ඉදිකිරීමේ බිමක වැඩ කරන පළපුරුදු ටවර් ක්‍රේන් ඔපරේටර්වරයෙකි. වටේම ඇති අනෙකුත් ගොඩනැගිලි වලට උඩින් ඉදිකිරීමේ කිරිමේ කටයුතු වලට අවශ්‍ය දේවල්, බර ලෝඩ් උඩ පහළ ගෙනියන්න ඔහු ටවර් ක්‍රේන් එකෙහි බූමය (boom) හසුරුවන හැටි දකින කෙනෙකුට වෙනම ලස්සනකි, ඔහු ඒ වැඩේට දක්ෂයෙකි. නගරයේ උසම තැනක පිහිටි, ඔහු වැඩ කරන, විශාල ටවර් ක්‍රේන් එක හසුරුවන කුටියේ සිට උදේ හිරු, ඈත අහස පීරන උස ගොඩනැගිලි අතරින් නැඟ එන ලස්සන, දවසේ රාජකාරිය නිමාකර විඩාපත් හිරු වෙරළේ ජල කඳ රිදී පැහැයෙන් සරසන අලංකාරය, චමත්කාරය ඔහු උපරිමයෙන් රසවිඳියි. වැඩට යන එන අතර තුර, කෑම වෙලාවෙදි, එහෙමත් නැති නම් හවසක විවේකයේ ඉන්න වෙලාවෙ දී ඩේව් ජනාකීර්ණ, කලබල නගරයේ ඉහළක හිඳ ඔහු දකින, විඳින දේවල් ඔහුගේ සඟයන් වටකරගෙන රසකර කියන්නට පුරුදුව සිටියා. "පොත් ලියන එකෙක්, කවියෙක් උඩට එක්ක ගියා නම්, පහළට ගේන්න ලේසිවෙන එකක් නැහැ..." ඩේව් නිතරම කියුවා.

සැහැල්ලුවෙන්, විනෝදයෙන් ජීවිතය ගත කරන ඩේව්ගේ කතා ටවර් ක්‍රේනයේ පාමුල ඉඳන් ඔහුගේ වැඩවලට උදව් දෙන සහකරු, සුනිල්ගේ හිතේ ඊර්ෂ්‍යාවක් ලියලන්නට පටන් ගත්තා. කාලයක් යද්දි එය වෛරයකට හැරුණා. සුදුසුකම් සියල්ල අතැති සුනිල් නිතරම හිතුවේ ඩේව් වැඩකරන කුටියේ වාඩි වෙන්න, ටවර් ක්‍රේන් ඔපරේටර් වෙන්න.

දවසක්, ඩේව් ටවර් ක්‍රේනය ක්‍රියාත්මක කරමින් ඉන්නා අතරතුර, පාලනය ගිලිහී එය වේගයෙන් පහළට ඇද වැටෙන්නට විය. දැඩි අරගලයකින් පසු, ඔහුට යම් තාක් දුරකට එය පාලනය කර ගැනීමටත්, යන්ත්‍රයේ දිගු බාහුව (boom) මුහුද දෙසට හරවා ගැනීමටත් හැකි විය. වාසනාවකට මෙන්, එමගින් සිදුවන්නට ගිය මහා විනාශයක් වළක්වා ගැනීමට හැකි විය. වැඩ බිමේ ආරක්ෂක අංශ නිලධාරීන්ගේ සහාය සහ උත්සාහයෙන් ඩේව්ව ආරක්ෂිතව පහළට ගෙන එන ලදී. කෙසේ වෙතත්, ඔහු දැඩි කම්පනයකට (shock) පත්ව සිටි අතර මුඛයෙන් රුධිරය වහනය වෙමින් තිබූ බැවින්, ඔහුව වහාම රෝහල වෙත ගෙන යාමට සිදුවිය. ගිලන් රථයට නංවන අවස්ථාවේදී ඔහු සිහිසුන් විය. දින ගණනාවක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීමෙන් පසු ඔහුව සාමාන්‍ය වාට්ටුවකට මාරු කෙරිණි. මාස කිහිපයකට පසුව ඔහු නැවත සේවයට පැමිණි විට, ඔහුගේ සේවය තවදුරටත් අවශ්‍ය නොවන බව දැනුම් දෙන ලදී. ඔහු භක්තියෙන්, ගෞරවයෙන් කර රැකියාව අහිමිව ඉතා අසරණ වූ ඩේව් මාස කිහිපයකට පසු මෙලෝකයෙන් සමුගෙන ගියේය.

තමාගේ සහායකයා මෙම කුමන්ත්‍රණයට සම්බන්ධ බව ඩේව්ගේ හිත නිතර, නිතර කියන්නට විය.

වෙනදා වගේම උදේ පහටත් කලින් සුනිල් අවදි වුණා. ඩේව් අයියා ගෙන් පසුව ඒ කැබින් එකේ වැඩ කරන එක ඔහුට දැන් අමුත්තක් නොවුණත්, අද උදේ පපුවේ මොකක්දෝ අමුතු බරක් තිබුණා. කවුදෝ බලා සිටින්නාක් වගේ හැඟීමක් ඔහුට දැනුණා.

වෙනදා වගේ ස්ටාෆ් බස් එකේ කවුරුවත් කතා කළේ නැහැ. ඩේව්ගේ ආසනය හිස්ව තිබුණා. කවුරුත් එහි වාඩි වුණේ නැහැ.

ඉදිකිරීම් භූමියට ළඟා වන විටත් අහස අඳුරුය, අළු පැහැයි. අහස පෙනෙන තරම් උස ටවර් ක්‍රේන් මුදුන එක වලාකුළු අතරට ගිලී තිබුණා. බාස්කට් එකට නගින පඩිපෙළ ළඟ සුනිල් නතර වුණා. යකඩ පඩිපෙළ අයිස් වගේ සීතලයි.

"ඩේව් අයියා නැතත් මට පුළුවන්" කියා ඔහු තමාටම කියා ගත්තා.

ඔහු පඩි නගින්න පටන් ගත්තා. එක, දෙක, දහය… සුළඟ වැඩි වුණා. පහළින් ඇසුණු යන්ත්‍ර හඬ ටිකෙන් ටික දුරස් වී, අන්තිමට සම්පූර්ණයෙන්ම නැති වුණා. කුරුල්ලෙකුගේ හඬවත් නැහැ. ඒ නිහඬතාව සාමාන්‍ය එකක් නෙවෙයි.

හදිසියේම ඔහුට ඇසුණා. පිටුපසින්, පඩි පෙළ නගින තවත් කෙනෙකුගේ පා හඬක්, සෙමින්, බොහෝම සෙමින්...

සුනිල් හැරී බැලුවා. කිසිවෙක් නැහැ. හිස් පඩි පෙළ පමණයි.

"මං අහන්නේ… කවුද?"

පිළිතුරක් නැහැ. සුළඟේ කෙඳිරිල්ල පමණයි.

ඔහු වේගයෙන් නැග බාස්කට් එකට ඇතුළු වුණා. ලිවරය ඇද්දා. බාස්කට් එක ඉහළට නගින්න වුණා. අවට නගරය පහළින්, ටිකෙන් ටික කුඩාවි ගියා. ඈත මුහුද රිදී පැහැයෙන් දිලිසුණා. ඩේව් අයියා කියූ ලස්සන ඒකද කියා සුනිල්ට මොහොතකට හිතුණා. බය පොඩ්ඩක් අමතක වුණා.

ඒ අතරම, අහසේ මැදදී, බාස්කට් එක කිසිම හඬක් නැතිව නතර වුණා.

සුනිල් ලිවරය ඇද්දා. ඔබා බැලුවා. නැහැ. කන්ට්‍රෝල් පැනල් එකේ එක ලයිට් එකක්වත් නැහැ. රේඩියෝ බට්න් එක ප්‍රෙස්කලා, එකෙන් ආවේ කෘමි හඬක් වැනි කුරු කුරු සද්දයක් පමණයි.

"හෙලෝ! හෙලෝ! ඇහෙනවද? බාස්කට් එක හිරවුණා!"

ඔහුගේ හඬ ඒ අනන්ත අහසේ මැකී ගියා.

බාස්කට් එක පතුලේ යකඩ දැලෙන් බැලුවාම, පහළ ඉදිකිරීම් භූමිය කුඩා හතරැස් කුටී පෙළක් වගේ. සුළඟට බාස්කට් එක සෙමින්, සෙමින් සුළඟේ පැද්දෙනවා. අත් දෙකෙන් යකඩ රේලිං අල්ලා ගත්තේ මර බයෙන්. අත්ලේ දහඩිය. හදවත ගැහෙනවා.

එවිටම, හරියටම පිටුපසින්, හුස්මක් වැනි සීතල ඔහුගේ ගෙලට දැනෙන්නට විය.

සුනිල් ගල්ගැහීලා, නොසෙල්වී සිටියා. බාස්කට් එකේ ඔහු හැර කිසිවෙක් නැති බව ඔහු දන්නවා. මීටර් සියයක් උසින්, එහෙනම් මේ හුස්ම කාගේද?

මොහොතකට පසු ඔහුගේ උරහිස්  මත යමක බරක් දැනුණා,
බරයි. ඉතා සීතලයි. ඇඟිලි පහක්. සම හරහා ඇට දක්වා විනිවිද යන සීතලක්. ඒවා ඇඟිලි බව ඔහුට හොඳින්ම දැනුණා. 

හුස්ම ඇද ගන්න බැරි වුණා. කෑ ගහන්න උත්සාහ කළත් හඬ පිටවුණේ නැහැ. ඇස් පියාගෙන ඔහු මවට, දෙවියන්ට කියූ ප්‍රාර්ථනා සිතින් මතු කළා. ඩේව් අයියාගේ අනතුර, හිස් ආසනය ඔහුට මතක් වුණා.

ඉන්පසු ඒ අත් දෙක, සෙමින්, ඉතා සෙමින්, ඔහුව ඉදිරියට තල්ලු කළා.

බාස්කට් එක පැද්දෙන වේගය වැඩි වෙන්න පටන් ගත්තා, එක පැත්තකට ඇලවුණා.

කෝ, කෝ රේඩියෝව....

බියජනක අමුතු හිනාවක් ඔහු වටා ඇසෙන්නට විය...



*  ගල්මල්-Coral ප්‍රබන්ධයකි.


තවත් හොල්මන් කතාවක් ළඟදීම බලාපොරොත්තු වෙන්න...


අලුතින් එක් වූ හොල්මන් කතා කියවන්න:



තවත් හොල්මන් කතා:

බ්ලොග් පෙට්ටගමෙන් හොල්මන් කතා:

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts