Thursday, September 22, 2011

පුන්සඳ අඳුර


නගරයේම පැත්තක වුණත් පාර දෙපස තියෙන තට්ටු දෙකේ ගෙවල් පේළිය, ඒ ගෙවල් ඉස්සරහට වෙන්න වැටිලා ඇති හැඩේට සිමෙන්ති බිම් ගඩොල් අතුරාපු අඩි පාර, වටා පිටාව කවදත් වගේ නිස්කලංක විය. ගෙවල් වටකර ඇති උස තාප්ප හා පාර අතර පස් තීරුවේ වවා ඇති මල් ගස්වලට අද පාරේ පහන් කණුවලින් එළිය ඕනේ නැහැ වගෙයි. ගෙවල් කිහිපයක් අතර හිදැසක් ඇති වෙන්න ඉඩ හැර ඇති කොටසේ පිළිවෙළට වවාපු මල්පැල, තැනින් තැන ඇති උස ඉඳි ගස් කිහිපයත් අතර සවි කර ඇති සෙල්ලම් පිටියත් අද පාළුවට ගිහින්. ඉඳහිට ඇහෙන සංගීත නාදයක්, අතරින් පතර ගෙයක ඉහළ මාලයේ උස ජනේල වහගෙන කඩා වැටුණ දුහුල් තිර රෙදි අතරින් පාරට පෙනෙන අඳුරු ආලෝකය නොවෙන්න මුලු පළාතම නිහඬතාවය විසින් ගිලගෙන විය.


අතේ ඇති බෝතලයේ ඉතිරි වතුර ටික කටට හලා ගනිමින්ම තාප්පයකට උඩින් පාරට ඇලවූ අරලිය ගහ තියෙන ඉසව්වට ලං වුණා ද විපරම් කර බැලුවේ ඊට ගෙවල් දෙකකට එහා තාප්ප කෙළෙවරේ හයි කරලා තියෙන සිසිල් වතුර කරාමයේ උවමනාව වැඩිපුර දැනෙන්නට වූ නිසාවෙනි.


ලීටර් භාගයේ බෝතලයට වතුර එකක් පුරවාගෙන, තෙතමාත්තු කරගන්න තුවා පොඩ්ඩෙන් මූණ කර හා දෑත් පිසදා ගත්තාම දැනෙන සනීපය... කවදාවත් දැකලා නැති ඒ ගෙදර උදවියට හිතෙන් පිං දීලා එතැන් සිට බස් නැවතුම් පොළට ඇති කිලෝමීටර එකහමාරක් විතර පයින් ගමන ඉක්මන් කරන්නේ පුරුද්දට වගේ. ගෙවල් පේළිය පසුකර මහා පාරට ළඟාවෙත්ම ඇහෙන්න පටන් ගන්නේ තොරතෝංචියක් නැතිව දුවන වාහනවල රෝද පාරේ ලේන් වෙන්වෙන්න හයිකර ඇති දිලිසෙන කෑලි උඩින් පනින වාරයක් පාසා ඇතිවන සරාස්! බරාස්! සද්දය. මහපාරට ලං වෙත්ම ඒ සද්දය ටික ටික වැඩියෙන් දැනෙනවා. නගරය මැදට වෙන්න පාර දෙපස ඇති ගොඩනැගිලිවල උසත් වැඩිවෙන්නේ තරඟයට වගේ කියලා හිතෙනවා. ඒවා පහුකරන වෙහෙසකර දෑස් පුරුද්දට වගේ විපරම් කරන්නේ බස් නැවතුම් පොළ දිහා.


හොල්ට් එකේ එච්චර සෙනඟක් නැහැ... බස් එක ගිහිල්ලා වගේ...


පොලිතින් කවර දෙකකම ඔතාපු මෝබයිලය කලිසමේ සාක්කුවෙන් අරන් වෙලාව බලුවාම දැනගත්තේ අනික් බස් එකට තව විනාඩි දහඅටක් ඉන්න එපැයි... පසෙකින් වූ ලෑලි තීරු වලින් හැදූ බංකුවේ යාම්තමට වාඩි වුණේ දාඩියෙන් තෙතබරිත වූ ඇඳුමෙන් බංකුව තෙමේවිද... සැකයෙනි.


වැළමිටි දණහිස් දෙකට බරකර දෙඅත්ලේ නිකට හොවාගෙන කලබලයෙන් පිරි පාරදෙස බලා උන්නෙමි. මද දුරකින් ඇති සිග්නල් එළියට කුරුමානම් අල්ලන වාහනයක් සෙමින් සෙමින් ඉදිරියට යමින් ඈතට ඇදෙන දෙසට ඇස් යොමු වුණේ නිරායාසයෙනි. එකිනෙක පරයා ඉහළට නැගි ගොඩනැගිලි පේළිය අතරින් පුන්සඳ පේනෙන්නේ නැතත්  ඈත අහස සඳ රැසින් ඔපවත් වෙලාය.


පාර එපිට අලුත් තට්ටු ගොඩනැගිල්ලක් ඉදිවෙමින් පවතී. රෑ තිස්සේ පිරිස වැඩ. ඒ ඉදිරිපිට පෙළට නවතා ඇති කොන්ක්‍රිට් මිශ්‍රණ ගෙනෙන වාහන පෙළකි. ඉහළටම එසවෙන කොන්ක්‍රිට් පොම්පකරන යන්ත්‍රය අවැසි පරිදි එහා මෙහා කර සූදානම් කරන ආරක්ෂක හිස්වැස්මක් පැළඳ සිටි කඩිසර තරුණයෙකු නෙත ගැටුනි. ඔහු වරෙක වෝකි ටෝකියකින් පහළ සිටින අය දෙස බලමින් උපදෙස් දේ. කඩිසර ඔහු සෝපානයෙන් බිමට බැස ඇවිත් කොන්ක්‍රිට් මිශ්‍රණයෙන් සාම්පල් ගෙන පිරික්සයි. නැවත ඉහළට යන ඔහු යමක් විපරම් කර බලා ආයෙත් පහතට එයි. පළාතම දෙවනත් කරමින් කොන්ක්‍රිට් පොම්පය පණ ගැන්වේ. පෝලිමේ ඇති වාහනවලින් කොන්ක්‍රිට් මිශ්‍රණ පොම්පයට හිස්වේ, පෝලිමේ උන් වාහන එකිනෙක අඩුවේ. පළාතම නිහඬ කරමින් කොන්ක්‍රිට් පොම්පය නවතී. ඇතෙකු හොඬ පහත් කරන විදියට නිල්පැහැ නල කොටසින් කොටස පහත් වී කොන්ක්‍රිට් පොම්පය ඇකිළුණි. අර තරුණයා සෝපානයේ නැගී නැවත ඉහළට ගියේය. අට්ටාලයේ උඩ වැඩ කර අය ඔහු වට කරගෙන කතාකරනු පෙනේ.


තව අවුරුදු තුන හතරකින් ලෙකු පුතාත් මේ විදියට වැඩ කරාවි කියන ආඩම්බරයකින් හිත පිරුණි.


ඈතින් එන බසය දැක බංකුවෙන් නැගිට්ට විට පිට දිගේ බේරෙන දාඩිය බිඳු තරඟයට මෙන් කොඳු ඇට ගනිමින් පහතට ඇදෙනවා දැනුණි.


හ්ම්... කමක් නැහැ, මොන දුකක් විඳලා හරි කොල්ලෝ දෙන්නා ගොඩ දානවා.


බස් එකට අතුල් වෙනවාත් එක්කම...


"ජයසෝම අයියේ... සෙනඟත් නැති එකේ මෙහාට ඇවිත් අතපය දිග ඇරලා වාඩියං අයියේ..."


"හරි හරි... අද රනේත් පරක්කුවෙලා වගේ?"


"ඔව් අයියේ, හෙට ස්ටෝරුවේ රෙපයාර් එකක්. රාක්ක පේළි දෙකක්ම අලුත් තැනකට මාරු කරන්න වුනා. එකෙන් පැය එකහමාරක් විතර වැඩියේ වැඩ කරන්න වුණා"


"හොඳයි, හොඳයි"


"මොන හොඳක් ද බං අයියේ, සතයක්වත් වැඩිපුර දෙන එකෙක්යැ ඒකා."


"ජයසෝම අයියා පරක්කු වුණේ?"


"තාප්පේ එහා පැත්තේ ගහෙන් ඉඳුනු රට ඉඳි වැටිලා තණකොළ තැනින් තැන විනාශ වෙලා තිබුණේ. හෙට නිවාඩු දවස නිසා ඒවා සුද්ද කරලා අලුතෙන් හිටවන්න දාගත්තේ අදට."


"අර හොයපු තණකොළ ඇට ජාතිය හම්බ වුණාද?"


"ඔව් මල්ලි, බොහෝම අමාරුවෙන් හොයාගත්තා ගාන නම් ටිකක් වැඩියි. ඒවා වැවිලා ගොඩ එනකම් ලේසි නැහැ."


"වැරදුණොත් සල්ලි හම්බ වේවිද?"


"ප්‍රශ්නයක් වෙන එකක් නැහැ..."


“ඒක නෙවෙයි ජයසෝම අයියේ... හවස සනී හම්බ වුණා, ආයෙත් විස්ස විද්‍යාලවල කලබල වගේ කිව්වේ. මං හිතුවේ දන්නවා ඇතියි කියලා. උඹ ඒ ගැන කල්පනා කරන්න එපා අයියේ. හෙට උදේ මං නංගිට කතා කරනවා, ඉන් පස්සේ උඹට කෝල් එකක් දෙන්නම්. මං ඉස්සරහ හෝල්ට් එකෙන් බහිනවා.”


“ඇයි මෙතැනින් බහින්නේ?”


“අස්කරන ගෙයක බඩු පැක් කරන පාට් ටයිම් එකක් ලැබුණා, රෑ තිස්සේ ඒ වැඩේ කරලා ඉවරයක් කරන්න පුලුවන්. සනියත් එනවා වාහනේ අරන්. දැනටත් හොල්ට් එකේ බලන් ඉන්නවා ඇති.”


රනේ තනිකඩයා. මොනවා හරි කරලා සල්ලි ටිකක් හොයාගෙන මල්ලිවයි නංගිවයි උගන්වනවා. හිත හොඳ එකා.


අතරින් පතර දෙතුන් දෙනා එකතුවෙන බසය නගරයෙන් ඉවතට ඇදේ. ඉන් බොහෝ දෙනෙක් අමතර ආදායමක් උපයන්න මොනවා හෝ වැඩක් කරලා නවාතැන කරා යන අය වෙති. පමණක් උදවිය බර නින්දේය. බසයේ එතරම් සෙනඟක් නොවූයේ රෑ එකළොහ ද පහුවී ඇති නිසාය.


වීදුරු කවුළුවෙන් ඔහේ ඉවත බලා සිටියෙමි...


නගර සභාවකට අයත් පැල තවානක් පවත්වාගෙන ගිය සමාගමක අත් උදව්කරුවෙක් හැටියට මැදපෙරදිග රැකියාවකට ආ තමා වීරසේකර මහත්තයාගේ මඟපෙන්වීම යටතේ තවාන්කරුවෙක් වීම, එතැන් පටන් ක්‍රමයෙන් පැල සකස් කිරීම, ගෙවතු සැකසීම ආදිය පළපුරුද්දෙන් කර හැටිත් එකිනෙක රූප පෙළ ගැහෙන්නට විය. පෙරළා ගමරට ගිය තමා සංචාරක හෝටල් කිහිපයකම උයන්පල්ලෙක් හැටියට වැඩ කර ද තමන්ගේම ගෙයක් හදාගැනීමේ සිහිනය නිතර කල් දැමූ හැටිත් ලොකු පුතා උසස් පෙළ පන්තියට ඇතුල් වෙද්දී රැකියාවක් නැතිව සිටි හැටිත් හිතට ආවේය.


ජයසෝම නැවත වරක් මැදපෙරදිග රැකියා සොයන්න පටන් ගනී. තම හැකියාව ඔප්පු කිරීමේ ක්‍රමයක් නැතිව උයන්පල්ලෙක් හැටියට රැකියාවක් සොයාගන්න නොහැකිව රජයේ ආයතනයක සේවා සපයන සමාගමක සුළු සේවකයෙකු හැටියට රස්සාවට එයි.


මාස කිහිපයක් උත්සාහ කර ගෙවත්තක් නඩත්තු කරන අමතර රැකියාවක් සොයාගනි. පුංචි ගෙවත්තේ කොහොඹ ගස් දෙක හා තැනින් තැන දුඹුරු වූ කේඩෑරි තණකොළ පියැදි කීපයක් හැර වෙනෙකක් නොවිය. එය මාස කිහිපයකින් මල් පැල වලින් පිරි, ඒ අතර ගල් ඇතිරූ ලස්සන ගෙවත්තක් බවට පත්කරයි. ඉහළ මට්ටමේ බැංකු නිලධාරියෙකු වූ ගෙහිමියා තම පඩිය වැඩිකර දුන් හැටි සිහිවිය. ඊට පසු ඔහුගේ මිතුරෙකුගේ ගෙවත්තක් සැකසීමට ද ජයසෝමට පැවරිණ.


ජයසෝම බොහෝ උනන්දුවෙන් ගෙවතු රැක බලා ගනි. නිති පතා සතියේ දින හයක් ගෙවතු තුනක වැඩ කරයි. ඉතිරි දවසේ ද නිකම් ඉන්න කැමැති නැති ඔහු වැඩක් පලක් සොයාගනි, එහෙමත් නැතිනම් වැඩි සාත්තු අවශ්‍ය ගෙවත්තක වැඩෙහි යෙදේ.


ජයසෝම ගෙවතු වැඩට යනෙන අතර නගරයේ තැනින් තැන ඉදිවෙන මහල් ගොඩනැගිලි දෙස උනන්දුවෙන් බලයි. වෙහෙසබර ඔහු මඳකට නැවතී දහඩිය බේරෙන නළල කරගැට පිරි ඇඟිලිවලින් පිසලා දකින්න උත්සාහ කරන්නේ එතැන්වල වැඩ කරන ඉංජිනේරු මහත්වරු යැයි ඔහු හිතන අය දෙසය. ඔවුන් අතර තම ලොකු පුතා දකී. ජයසෝමට විඩාවක් නොදැනේ. ලහි ලහියේ පා ඔසවන ඔහු බස් නැවතුම් පොළට එයි.


හදිස්සියේ කවරෙකු හෝ  "චාචා" කියමින් උරහිසට තට්ටුකර නිසාවෙන් තිගැස්සී අවදි වූයෙමි. හෝල්ට් එක කරා ළඟාවී ඇති බසයෙන් බැස්සෙමි.  එතැන් සිට නවාතැනට තවත් කිලෝමීටර් බාගයක් තරම් දුර පයින් යා යුතුව ඇත.


වෙලාව බලන්න මෝබයිලය අතට ගත්තාමයි දැක්කේ, මිස් කෝල් හතරක්! කවුද මේ වෙලාවේ ලංකාවේන් කෝල් කරලා තියෙන්නේ. ක්‍රෙඩිට් ඇත්තෙත් නැහැ.


රනේ කී කතාව මතකයට ආවේය.


ඈත අහසේ නැඟි පුන්සඳ ද බ්‍රවුන් පේපර්යකින් වැහුවා වගේ බොඳවෙලාය. දූවිලි ගතියක් එහෙම දැනෙන්න තිබුණේ නැහැනේ... ගිරීස්ම රස්නෙ හින්දා වෙන්න ඇති... හිතමින් ජයසෝම අඩිය ඉක්මන් කර කාමරයට ආවද කවුරුවත් එහි නොවිය.

පුන්සඳ අඳුර (අවසන් කොටස)

Image Credit: http://blog.lib.umn.edu

Thursday, September 15, 2011

තෙරපුම


ඇදී එකොන මෙකොන යාකර
සවිබල වේල්ල උසට ඉදිවුණ
රැකුමට රැළිනඟා ගලන ජලකඳ
උරදෙන්නේ සොරොව් දොර

ඉරිතැලුන පහත්බිම ඉඩෝරේ වියැළෙන
නොදැක්කා සේ ඇසිපිය වසාගෙන
අවාරයේ කීරිගා වැලපෙනු හැර
අවනතව අගුළුලනවා මිස

ඉවුරු තලා ඉහිරීයන වස්සානයේ
වාන් දාන බැමි රකිනූ හැර
පහත් බිම පෙළන්නේ කෝමද
අවනතව මුදාලනවා මිස

උරදී තෙරපුම බැටකන
කඩා නොවැටෙන්නට වෙරදෙන
රකින්නට රැකුමන් වලිකන
සොරොව් දොර සීමාවේ කැරකෙන


දසුන සිරිබර වික්ටෝරියා වේල්ල
Image Credit: http://www.damsafety.lk/Information/Dams/

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts