හතර වටින් කළු කරගෙන
වැහි වලාවක් ඇදුණා
කුරුලු රෑන විග විගහට
කූඩු කරා තටු සැලුවා...
දළුකොළ පොහොට්ටු නොරිදවා
හීන් පොදක් හෙමිහිට වැටුණා
වියළි පොළොව සතොසින් තෙමුණා
පළාතම සුවඳින් පිරුණා
උඩින් උඩින් එල්ලීගෙන දුවනා
කණුවෙන් කණුව හිරවි ඇදෙනා
විදුලි රැහන් පොද වැස්සේ
ඔහේ තෙමුණා
පුංචි පුංචි දිය බිඳු සැදී
කළු රැහැන් දිගේ මුතුපෙළක්!
එල්ලීගෙන සීරුවෙන් යටිකුරුව
කණු දෙපසින් පල්ලම් බහිනා
දෙපසින් එන අතරමං කුහුඹුවන් විලස
හැපි උරෙන් උර තුටිනා
ලංවි කියන්නේ රහසක් දෝ
රැහැනින් සමුගෙන මිදෙනා
වැස්ස සෙමින් මෝරනවා
මුතුකැට ටික ටික ලොකු වෙනවා
රැහැන් දිගේ කඩිමුඩියේ ඇදෙනා
ගමන ටික ටික කෙටි වෙනවා
විනිවිඳ පෙනෙන දියබිඳු අඳුරේ
බර වැඩි වුණි ද තරම ලොකුවි
කඩා හැලෙනවා ගමන මගදී
නිති අනිති රැඟුම විදහා

