Tuesday, December 6, 2011

පාර කියාපන් රළ පෙළේ



සැඩ කිරණින් දවාලූ හිරු
නෑගම් යන දුර ඈතක
හිස් අහසේ රටා මවන රොද වලා
වසා කළු වලා සොවින් බරවෙලා

පියන් නැති උස කවුළුවෙන්
කොහෙන් දෝ එඹීබලන
හිරු කිරණ ඈත දියඹේ
රිදී පලසක් එලා දිලෙනවා

විඩාබර හිරු සැඟවෙන විට
සයුරු රළ රටා මවන
පාට අරන් කොටු පවුර
තුටින් සැඳෑ දසුන දකිනවා

පවුර පාමුල වරම් යදින නුඹ
පාට රැළි මත දුරට පදින්නේ
ඈත දියඹේ අරුණලු ගනින්නී
ඇගේ හිරු මූදු වැල්ලේ දකින්නී

ඈත ගොඩකරේ රඟන රළ පෙළේ
ඇදී ගිහින් මහසයුරේ දුර ඈතට
පාර කියාපන් අතර මං එවුනට
දිනකර උදාකරන් ඒ පුංචි ලොවට

නොවැම්බර් මාසයේ මැද වෙනවත් එක්කම හිරු රජු කෙමෙන් කෙමෙන් ඈතට යද්දි හිස් අහසේ මතුවෙන වලාකුළු තරඟයට වගේ ඒ මේ අත දුවමින් එක්වෙමින්ද වරෙක විසිරෙමින්ද පාවෙමින් රටා මවනවා. උණුසුම අඩු වෙද්දී වටාපිටාවේ පිරී තියෙන දුහුවිලි ද පොළොවට බැස තැන්පත් වෙන නිසාදෝ ඇස් මායිම තව තවත් ඈතට විහිදෙනවා. ඒත් මෙවර දෙසැම්බරය එඹී බලන්න ඔන්න මෙන්න තිබියදී ද කතරක සිසිරය ගෙනෙන සුන්දරත්වය වෙනුවට අහස ඝන කළු වලාකුළු වලින් පිරිලා... අමුතුම අඳුරක් පළාතම වෙලාගෙන විය.

බැලූ බැලූඅත දකින්න පුළුවන් ඉදිකිරීම් බිම්වල උස දොඹකර තරඟයට ඉහළ නගින ගොඩනැගිලි ගැන කියාපානවා වගේය. ඈතක ඉදිවෙන සුවිසල් පාලම බිම්කඩ දෙකක් යාකරන්නට කඩිමුඩියේ ඉහළට එසවෙනසේය. තැනින් තැන හිටවූ උස් මිටි ගස් වලින් සැකසුණ කොළපැහැ තීරු, කට්ටි දකින්නට පුළුවන් වුවද වෙනදා දිස් වූ ලස්සන නැතුවද? ඉන් ඔබ්බට වෙන්න පෙනෙන මුහුදු තීරය කිහිප පොලකින් ගොඩබිම ඇතුළතට නෙරා ඇවිත් මවන දියකඩිති ද පළාතම වසාගත් අඳුරේ...

මුහුදු ඉම පැහැදිලි නැතත් ඒ මේ අත යන මුහුදු යාත්‍රාවල ඡායාව දෑස් ඈතක බැඳ තබා ගනාවා කීවොත් නිවැරදියි. ඒත් අද ඒ මුහුදු ඉම ද හිස්වෙලා වගේය.

අඳුරු වලාකුළු ඉරාගෙන කොහෙන් දෝ ඇදී ආ සැඳෑ හිරුගේ මුදු කිරන මිටක් අඳුරේ ගිලුන කරදිය දියකඩිත්තේ තීරුවක් පාට කලේ ඝණ අඳුරේ තරම කියාපාන්න ද ඒ අඳුරේ දිලෙන රිදී රේඛාවක තරම ඒත්තුගන්වන්න ද නොදනිමි. ඒ කෙසේ වෙතත් ඇඳුරු අහස යට සැඳෑ අහසේ පාට අරගෙන දියකඩිත්තේ මූදු රැළි රටා මවනවා දිස්වේ…

බැසයන හිරු කිරණින් නැහැවෙන සගර ජලතලය, තාලයට ඉහළට එසවී බැසයන, තරඟයට ඉදිරියට ඇඳී අතරින් පතර ඇති ගල්කුලක හැප්පී පාට පාට පෙණ හැටියට සිඳී බිඳී යන අයුරු... ඈත අහසේ වළාරොඳ පාටින් දිලෙන අතර ජබොග් ගා වතුරට ඇද වැටෙනවා වාගේ සිතිජ ඉමෙන් නොපෙනී යන විඩාබර හිරු මවන ලස්සන සැඳෑ වෙලාවක ගාලු කොටුපවුරේ ඉඳන් දකින්න පුළුවන් සුන්දර දසුනක් හිතේ ඇඳේ... (කැමරා ඇස හසුකරගත් ඒ ලස්සන මේ මෑතකදී කියවන්න මගේ ඇස ඉදිරිපත් කර තිබුණා).

ඒ කොටුපවුරේම අනික් පැත්තේ පාමුල දවසේ රාජකාරියට තෙරක් නොපෙනෙන මුහුදේ ඈත යන්න සූදානම් වෙන ධීවරයින්ගෙන් පිරිලා තියෙනවා දකින්න පුළුවන්. බැස යන හිරු මැවූ සුන්දර දසුන් අතර මූදු රළ මත ඇදෙන ධීවර යාත්‍රා... රෑ අඳුරේ මුහුදේ ගෙවන ඔවුන්ගේ මාළු මඩියේ බර කිරන්න තරාදි බලා ඉන්නවා ඇති, මිල කරන්න කාසි ගැනෙනවා ඇති. ඒත් පෙරළා ගොඩට එන ඔවුන් දකින්න පෙරුම් පුරන සිත ඈත සිතිජයෙන් මතුවෙන පළමු අරුණැල්ලේ පටන් අරුණලු එකිනෙක ගනිනවා ඇති. හිරු සේවයට ඇවිත්, කුරුලු කිචිබිචිය  පැතිරුණ ද ධීවර බිරින්ඳෑට හිරු පායනවා ඇත්තේ ඔහු ගෙපැලට පා තැබුවාම.

පසුගියදාක ඇති වූ චණ්ඩ මාරුතය නිසා මුහුදු ගිය බොහෝ දෙනෙකු සැඟව ගිය දුක්මුසු පුවත හිතට කරදරයි. රැල්ලට නැගෙන, ගොඩකරේ (inland) රඟදෙන රළ පෙළේ... රුදුරු මහ රළ මැඩගෙන ඈත සාගරයට ඇදී ගොස් අතරමං වූ එවුනට පාර කියන්න පුලුවන් නම්...

පදපෙල විස්තර කරන ලෙස වූ ඉල්ලීම් නිසා සටහන පසුව එකතු කරා.


Image credit: http://farm4.static.flickr.com/3620/3482810329_c133eeb7af.jpg

Wednesday, November 16, 2011

පොත් සුවඳයි

 
පොත් බෑගය අලුත්
නැවුම් සුවඳ පිරි
යට කර බෝ'බර
අත්තටු අරන් සිඟිතිය

පුංචි සිනා කතා මැද
සමනොළ තටු මත නැඟ
සාමලා අමරලා සොයමින සිත
සැරි සරණා දුර ඈතක

පොත් මිටිය කන්දක් උසත
තනිව නැග යුතු එකල
කිසිදු අඩුවක් නොමකර දෙන්න
විරුවාණනී ඔබ බෝ'දුක දරන්නැති


නැණ පහන ලක් මෑණී දල්වන
ගුරු සෙවණ දයාවෙන් බෙදන
අමිලයි කවදත් පිං දෙන
අකුරු මදි ද ලියවෙන

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts