Sunday, January 2, 2011

නාවිකයා: 1-ඉර බැස්ම

මැද පෙරදිග රටක ස්වාභාවික ගෑස් ප්‍රවාහන නවුකාවක වැඩ කරන ඔවුන් යුරෝපය කරා යන්නේ එන්නේ මුහුදු කොල්ලකාරයෝ පිරි ගමන් මාර්ගයක් හරහාය. එම ප්‍රවාහන නවුකාවේ වැඩ කරන නැවියන් අතර අයෙකි විතාරණ. ගෑස් පුරවා ගත් ඔවුන්ගේ නැව තවත් ගමනකට සූදානම්, බියෙන් පිරි ඔවුන්ගේ ගමනක් වටා ගෙතුන කොටස් තුනකින් සමන්විත කතාවේ පළමුවැන්න මින් දිගැහැරේ...


අද වැඩ සෙකන්ඩ් ශිෆ්ට් එකේ. පැවැරිලා තියෙන රාජකාරිය නම් ටිකක් කරදරයි... පැයෙන් පැයට යෝධ ගෑස් ටැංකි හතර පරීක්ෂා කරන්න ඕනේ. අද ශිෆ්ට් එකේ දෙන්නයි ඉන්නේ, ශන්කර් ජී ලෙඩ වෙලා. ගෑස් ටැංකි වල විදුලි මීටර්, පීඩනමාන, උශ්ණත්වමානා ආදියේ කියවුම, චිලර් යුනිට් මෝටර් වල සද්දය, රත්වීම, කූලින් ෆෑන්, අරක මේක සටහන කරන කොට ඊලඟ වාරයට වෙලාව හරි.

මේ වාරයේ මට තිබුණේ මීටර් රීඩිං ගන්න විතරයි. අනික් වැඩ ටික උඩුම්බා බාරගත්තා. වැඩ ටික ඉක්මනට ඉවර කරත් කැබින් එකට යන්න ගිහිල්ලත් "ඕන්නැහැ බ්‍රිජ් එකේම ඉන්නවා..." කියලා හිතුනා.

බ්‍රිජ් එකේ අත්වැලට බර දීල ඈත මුහුදේ ගිලෙන්නට මාන බලන හිරු දෙස බලා උන්නා. බැස යන හිරු ඈත සාගර ජලයේ ඇඳි ලස්සන රැස් මද රළ උස් පහත් වෙන කොට ඇති කරන චමත්කාරය මොන තරම් නම් ලස්සනද? කොච්චර බලන් හිටියත් එපා වෙන්නේ නැති හැටියක්...

නැව ඉස්සරහට ඇදෙන වේගයට කැපෙන සාගර ජල කඳ කිරිපාටට උඩු නගිනවා. ඒ මත බැසයන හිරු රැස් වැටුනාම හරිම අලංකාරයි "කෝ මෙතැනට පේන එකක්යැ..." හිතෙන් ඒ අලංකාරය වින්ඳෙමි.

වතුරට වැටුන ගල් කැටයක් ජබොග් ගාලා ගිලුණා වගේ විඩාබර හිරු තෙහෙට්ටුවෙන් වගේ වතුරට පැන්නේ ක්ෂිතිජයෙන් වෙන්න ඕනේ.

අහන්න දෙයක්යැ කවිකාරයෝ කෙළෙවරක් නැතිව ඉර බැස්මත් රස කර කර ලියන එක. ඒත් මට අල්ලන් නැත්තේ කවියෙන් ක්ෂිතිජයට ලං වෙන්න උත්සාහ කරන එක. මෙච්චර මහ මුහුද මැද ඉඳලත් ක්ෂිතිජය තව කොච්චර නම් දුරද... කවියෝ මුහුදු වෙරළටවත් එන්නේ නැතිව ක්ෂිතිජයට යනවානේ...

"වි තරණේ... වි තරණේ..." උඩුම්බාගේ හඬින් පියවි ලෝකයට ආවෙමි. කෙන්යානු ජාතික උඩුම්බා මගේ නම කියන්නේ අමුතුවට. ඒකා තරණේ කියන එකේ තේරුම දන්නවා නම්... අපි ඉතිං නැවක අනාථ වෙලා කිසිම විශේෂයක් නැති ඒකාකාරී විදියට තරණය කරන එකමනේ... දන්නේම නැතිව ලොකු හුස්මක් ද පිටවිය.

උඩුම්බාට වගේ ම බොහෝ අප්‍රිකානුවන් ද-යන්න උච්චාරණය කරන්නේ z-යන්න හැටියටයි. මුල් දවස්වලදී දර්ශණ කියන තම මුල්නම zර්ශණ කරපු හැටිත් ඒක හරිගස්සන්න ගිහින් උඩුම්බා "අzර් නේම්" (අදර් නේම් - අනික් නම) අහපු එක තේරුම් ගන්න බැරිව තමුන් මුහුණපෑ ප්‍රශ්ණයත් මතක් වෙලා සිහින් උපහාසත්මක සිනාවක් මතුවිය.

විතාරණලා වැඩ කලේ කටාර් රටේ ස්වභාවික ගෑස් ප්‍රවාහණය කරන නැවක.

ඊලඟ රාජකාරී වටය පටන්ගන්න එපැයි...

ශිෆ්ට් එක ඉවර වෙන්නේ රෑ දහයට. දැන් වෙලාව හවස හතයි තිස්දෙකයි, ඊයේ හවස දෝහා වලින් ගමන පටන් ගත්තේ මැඩ්‍රීඩ් වලට යන්න. හෙට දවල් යාමේ දී රතු මුහුදට ඇතුල් වෙන්න පුලුවන් වේවි. වැඩ කරන අතරම සැනසුම් සුසුමක් පිටවුනේ මහන්සියක සාංකාවක් නොදැනීම. ඊටත් වඩා අද රෑට පැය කිහිපයක් නිවිහැනැහිල්ලේ නිදාගන්න පුලුවන්. අනේ වාසනා!

මුහුදු කොල්ල කාරයෝ බෝවෙලා නිසා නැව් ඕමානය පසුකර රතු මුහුද දෙසටයි, අප්‍රිකාව දෙසටයි යන්නේ හරිම කනස්සල්ලෙන්.



ඉදිරියේ දී දිගහැරීමට නියමිත කොටස්:


ප.ලි.
මෙය කල්පිත රචනාවකි, නම් ගම් හා චරිත මනහ්කල්පිතයන්ය
සීගිරි.කොම් ෆෝරමය පැවැත්වූ සීගිරි සාහිත්‍ය තරඟාවලිය 2010 සඳහා ඉදිරිපත් කල කෙටි කතාවකි

Saturday, January 1, 2011

සුභ නව වසරක් වේවා!



නැවුම් සුවඳක් විහිදෙන
පිටු ගොඩාක් පිරුන
අළුත් දින දසුනක්
බිත්තියේ තැන අරගෙන

පායයි නව ඉරක්
උදාකර නව වසරක්!

සියළු පැතුම් ඉටුවේවා
නිදුක් නිරෝගී සම්පත හිමිවේවා
සාමය සතුට ජය වේවා
සුභ නව වසරක් වේවා!

Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts