Wednesday, September 30, 2026

හෙලේ මාලී | Hele Mali

හෙලේ මාලී පර්සියානු ජනකවියකි, හෙලේ මාලි ගැන බලන්න කලින් ජනකවිය ගැන පොඩි සටහනක් තියන්න හිතුවා.


ජනකවි:

ජනකවි යනු අතීතයේ සිට පොදු ජනයා විසින් කටින් කට පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යන ලද, ඔවුන්ගේ ජීවිතයේ සතුට, දුක, වෙහෙස සහ අත්දැකීම් පිළිබිඹු කරන අපූරු ගැමි කාව්‍ය විශේෂයක් හැටියටයි ප්‍රසිද්ධ. අපේ රටේ ජනකවිය විවිධ රැකියා හෝ කර්මාන්ත හා බද්ධව පවතී. වැඩපළවල යෙදී සිටිය දී දැනෙන වෙහෙස, පාළුව, කාන්සිය මඟ හරවා ගැනීමට ජනකවිය උපකාර වෙන බව ප්‍රසිද්ධ මතයකි.

මුහුණුපොත සමූහයක ජනකවිය ගැන තොරතුරු සකසන කාලෙක විශ්ව ජනකවි කලාව ගැන බොහෝ විස්තර තොරතුරු දැනගන්න, කියවන්න අවස්ථාව ලැබුණා.

‘අධ්‍යාපනය සහ සංගීතය’ නමැති යුනෙස්කෝ නිබන්ධනයේ ජනකවි - ගී පිළිබඳව මෙසේ සඳහන් වෙයි.

"ගැමි ගීය සරලය. එය ගැමියා ජීවත්වූ සමාජයේ ඕනෑ එපාකම් අනුව ගොඩනැඟූ කලාවකි. එය ගැමියා මෙන් ම අව්‍යාජය. විචිත්‍ර ආ‍‍ටෝපයන්ගෙන් තොර ය. ගැමි සමාජයට ම පොදු ය.

ඒ ඒ නිෂ්පාදන ක්ෂේත්‍රයට අදාළව ගෙතුණු ජන කවි පවතී. මෙහෙ ගී වර්ග කිහිපයකි‍. ගොයම් කවි තලමල කවි ආදිය කෘෂිකර්මය ආශ්‍රිත ය. විවිධාකාර රැකියාවන් හා කාර්යයන් හි යෙදුණු ගැමියෝ ඊට ගැළපෙන පරිදි සිය වෙහෙස නිවා ගැන්ම හා විරාමය සඳහා පැල් කවි, ගැල් කවි, පතල් කවි, පාරු කවි ආදිය ගැයූහ. ඔළිඳ කෙළිය, කළගෙඩි නැටුම, මේවර සෙල්ලම හා ඔංචිලි වාරම් ආදී වශයෙන් කාන්තාවන් කණ්ඩායම් ලෙස ගැයෙන ජන ගී පැවතිණ. වැදි ගී නැළවිලි ගී, වැළපුම් ගී, උපදේශන ගී මෙන්ම හටන් ගී ද විරිදු ද නාඩගම් ගී ද ජන ගායන ක්ෂේත්‍රයට අයත් ය. මේ සඳහා ගැළපෙන පදමාලා හා නාද රටා උපයෝගි කරගෙන තිබුණි."

අපි ජනකවිය ඉංග්‍රීසියෙන් folk poetry හැටියට හැඳින් වුවත් විශ්ව සාහිත්‍යයේ ජනකවිය folklore කියන පුළුල් සාහිත්‍යය යටතේ දක්වයි, එම වචනය ජන ශ්‍රැති හැටියට සිංහලින් අර්ථ දැක්වන නමුත් තනි වචනයකට ගොනු කිරීම සෑහේ ද යන ප්‍රශ්නය මතුවේ.

Folklore යන්න පැහැදිළි කිරීමට අන්තර්ජාලයෙන් හමුවූ සරල, පැහැදිලි අර්ථ දැක්වීම (සිංහල පරිවර්තනය) මෙසේය:

පුළුල්ම අර්ථයෙන් ගත් කල, ජනශ්‍රැතිය (folklore) යනු යම් කණ්ඩායමක් සතු, බොහෝ විට පරම්පරාවෙන් පරම්පරාවට දායාද වූ කතා, චාරිත්‍ර සහ විශ්වාසයන්ගේ එකතුවයි. 19 වන සියවසේදී නිර්මාණය වූ මෙම පදය බිහිවී ඇත්තේ 'folk' (ජනතාව) සහ 'lore' (කතා/ප්‍රවාද) යන වචනවල එකතුවෙනි.

ජනශ්‍රැතිය හුදෙක් වාචික කථාවලට පමණක් සීමා නොවන අතර, ඊට සංගීතය, නැටුම්, කලා සහ චාරිත්‍ර වාරිත්‍ර ද ඇතුළත් වේ; මේවා සංස්කෘතික හෝ සමාජීය අනන්‍යතාවක අත්‍යවශ්‍ය අංගයන් ලෙස ක්‍රියා කරයි. මෙම ජනශ්‍රැති අංග බොහෝ විට ප්‍රජාවකගේ ඉතිහාසය, වටිනාකම් සහ සාමූහික අත්දැකීම් පිළිබිඹු කරන කැඩපතක් බඳුය. 


හෙලේ මාලී (පර්සියානු ජනකවියක්):

පර්සියානු ජනකවි (Persian Folk Song) වල තියෙන්නේ ඔවුනටම සුවිශේෂී ආරක්. පර්සියානු කියන විට නූතන ඉරානය, ඉරාකය, සිරියාව කියන දේශයන් වගේම ඉරානයට යාබද පකිස්තානු හා ඇෆ්ගනිස්ථානු සීමාවන් කරා ද විහිදෙනවා. එය දේශසීමාවකට හිර කිරීමකට වඩා සංස්කෘතික විසිරීමක් කියන්න පුළුවනි.

දකුණු දිග ඉරාණයට නෑකම් කියන ප්‍රසිද්ධ ජනකවි විශේෂයකි හෙලේ මාලී. ඉරානයේ Rastak සංගීත කණ්ඩායම බිහිවෙන්නේ 1997දී, ඉරාන ජනගී සුරක්ෂිත කිරීමට කැප වූ දේශීය සංගීත කණ්ඩායමක් හැටියට. ඔවුන්ගේ උත්සාහයකින් එළිදකින මනරම් හෙලේ මාලි සුමිහිරි විඩියෝව රසවිඳිමු.

උපුටා දැක්වීමකි, නිර්මාණ ගෞරවය මුල් නිර්මාණකරුවන් සතුය.


හෙලේ මාලී දකුණු දිග ඉරාන ධීවරයින්ගේ ජනකවි ලෙස කියනවා, වගේම නැවියන්ගේ ජනකවි ලෙසත් ප්‍රසිද්ධය. ඔවුන් මුහුදු මැද රාජකාරියේ යෙදෙමින් කණ්ඩායම් දෙකක් හැටියට විනෝද ජනක සංවාදයක යෙදෙමින් කරන මෙ ජනකවිය රළු මුහුද ජයගෙන පදින හබලක වෙහෙස නිවාලනවා ඇති, කවි පද අතරින් පිරිමදින සිත තෝන්තුවෙන්, සංකාවෙන් මුදවනවා ඇති. හෙලේ මාලි වචනයෙන් සරලව තේරුම පැහැදිලි කිරීමට "Good Job" "Well Done" තරම් වෙනෙකක් සුදුසු ද මන්දා...

හෙලේ මාලී පදපෙළේ අදහස (සංක්ෂිප්තව):

නුඹේ දණහිස් සවිමත් නැත, ෂෙයි රටඉඳි නොමැතිව
නැගිටපිය, කියමු හෙලේ මාලි
මම ගමනක, කවදාවත් අමතක නොවන
මගේ ඉම සෝමාලිය, මලබාරය, සැන්සිබාරය
හෙලේ මාලී, හෙලේ මාලී
එන්න, මිතුර
හෙට කණගාටු නොවෙමු
අද ජීවිතයේ වටිනාකම තේරුම් ගමු
දවසක අපි මියයනු ඇත
අපි ද වසර හත්දාහකට පෙර උන් අය වගේ වෙනු ඇත
හෙලේ, හෙලේ මාලී

ආගන්තුක වචන: ෂෙයි රටඉඳි ප්‍රභේදයක්

අපේ ජනකවි, ජනකතා වල විවිධ කෑම, පලා වර්ග, මල් සුවඳ ආදිය ගැන සඳහන් වෙන්නේ පුළුල් ව්‍යාංගාර්ථ රසය එක් කරමින්. ඒ වගේම අරාබි, පර්සියානු, උර්දු කවි වල රටඉඳිය සඳහන් වේ.


ජනකවිය දෙස, බස, කර්මාන්තය මොනවා වුණත් විඩාව නිවීමටය. සුමියුරු ඉරාන දේශීය සංගීතයෙන් අලංකාරවත් කර ඇති හෙලේ මාලිය රසවිඳිමු. 


ps: විශ්ව සාහිත්‍යයේ රසවත් ජනකවියක රසය බෙදාගැනීම වගේම අධ්‍යාපනික කටයුත්තකට විශ්ව ජනකවිය ගැන සොයන අයෙකුට උපකාරයක් වෙන්න පුළුවන් යැයි හිතලා ගල්මල් අඩවියේ මෙය පළකරන්න අදහස් කලා.

8 comments:

  1. Replies
    1. බොහෝම ස්තුතියි මයියා

      Delete
  2. පර්සියන් කලාපය කොහොමත් කලාව අතින් බොහොම පොහොසත් නෙව. වැඩිමනත් කවියට!
    ඒ එක්කම මතකයට එන්න සුෆීවරැ. ඔමාර් ඛයියාම්, සහ රෑමි 🎶

    ReplyDelete
    Replies
    1. ඔව් නමි, පර්සියන් කලාපය වගේ ඒ වටේ ඉන්න අනෙක් රටවල් ද ඔවුනට ආවේණික ජන සාහිත්‍යයකට උරුමකම් කියනවා, ඒ අතරින් පරණ සෝවියට් රාජ්‍යයන් විශේෂයි. ඉන්දු-පකිස්තාන දේශවල ගසල් කලාව තව එකක් මං හිතන්නේ. බොහෝම ස්තුතියි සටහනට.

      Delete
  3. +++++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි, මේ වැට means a lot

      Delete
  4. +++++++++++++👌
    පර්සියාව කලාව අතින් වගේම තාක්ෂණයෙනුත් දියුණුව සිටි ශිෂ්ඨාචාරයක්.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි. ඔව් ඔබ හරි, අපෙ පරණ පෙල පොත්වල තිබූ මෙසපොටේමියා අයත් වෙන්නේ නූතනයේ පර්සියාව කියලා හඳුන්වන කොටස අතුලත කියනවා නෙහ්. සූෆි කවිවරුන් ගනනාවකගේ උපන් දේශය.

      Delete

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts