Saturday, October 28, 2023

සිනාව ඔසුවකි! සිනාසෙන්න | Smile (ශනිදා දහයට!)


උදේ පාන්දර ඔබට උනුම උණු කෝපි කෝප්පයක් පිළිගන්වනවා, ලස්සන සිනාවක් එක්ක. පදමට රෝස්ට් කර කෝපියේ ඇරෝමාව (Aroma, සුවඳ) ඔබේ නාස් පුඩු අතරින් රිංගන්නට කලින්, කෝපි කෝප්පයෙන් රැළි කැරලි දාමින් මතුවෙලා උඩට පාවෙන උණුසුම් දුම ඉහළට ඇදෙද්දි, කෝපි උගුර තොලගාන තුරු නොඉවසිල්ලෙන් බලන් ඉන්න රසාංකුර පිනවන්න කලින් ඔබේ නෙතු යුග ග්‍රහණය කරගන්නේ මොනවද... ලස්සන සිනහව නේද? ඔබ පෙරළා පුදන පිළිතුරු සිනාව, නොකී දාහක් වදන් අරන් යන කවියක්, මියුරු ගීතයක්, සිග්නල් එකක් නොවේ ද? That's the magic.

සිනාසෙන්න, වැඩි වැඩියෙන් සිනාසෙන්න. සිනාව ඔසුවකි. ඔබ සිනාවක් පිරිනමන විට එය ලබන්නා පිළිතුරු සිනාවක්පායි. එය ලැබුවේ එක් කෙනෙකුට වැඩි පිරිසක් නම් ඔවුන් ද සැබැවින්ම සිනාසෙනවා ඇත.
පුංචි සිනාවක් මොළයට ලොකු කෙමිස්ට්‍රියකි (chemistry), ඒත් එය දැනගන්න ඔබ රසායන විද්‍යාඥයෙකු වෙන්න ඕනේම නැහැ. කෙනෙකු සිනාසෙන විට ප්‍රකෘතිමත් වෙන මොළයෙන් මුදාහරින ශ්‍රාවයන් නිසා ආතතිය/මානසික පීඩනය (stress) සමනය කරයි, වේදනාව නසයි (pain reliever) විෂාදනාශකය (antidepressant) හැටියට වැඩකරයි. ඒ වගේම හදගැස්ම (heart beat) හා රුධිර පීඩනය (blood pressure) පාලනය කරයි.
මිනිස් මුව වටා පිහිටා ඇති සියුමැලි මස්පිඩු විශේෂයක් සිනාවට සම්බන්ධය, ඒවා හකු වලට යා වෙලා තියෙන්නෙ. හිතක උපදින සිනහව කියන හැඟීම ස්නායූ මගින් ඒ මස්පිඩු වලට දැනුම් දෙනවා, ප්‍රතිඵලයක් හැටියට මුව දෙකොන ඉහළට ඇදෙනවා. සතුටක සේයාව මුහුණේ ඇඳෙනවා. ඒ සිනාව ඇත්තවශයෙන්ම, අව්‍යාජ නම් එම පුද්ගලයගේ සිත සතුටින් ප්‍රමෝදමත් වෙනවා, මුවමඩලේ ස්නායුවක් විසින් ඒ සුන්දර පණිවුඩය ඇස් වටා පිහිටි සුමුදු මස්පිඩු වෙත අරගෙන පිම්මේ දුවනවා. එහි ප්‍රතිඵලය සුන්දර ඇස්වටා ලස්සන රැළි මතුවෙනවා. අව්‍යාජ සිනාවක් මුවමඩල පුරා විසිරිලා ලස්සන ඇස් කොනින් ප්‍රකාශ වෙන්නේ එහෙමයි. තවද පුංචි සිනාවක් ඔබේ මුහුණ පුරා ඇඳෙන විට, මුහුණේ පිහිටි සියුම් පේශීන් ගණනාවක් ප්‍රබෝධමත් වේ, එහෙම නැතිනම් ව්‍යායාමයේ යෙදෙයි. ඉන් මුහුණේ ලස්සන, තරුණ පෙනුම රැකෙනවා. ඒ කොහොමද? ඒක රහසක්! හොඳට, ලස්සනට හිනාවෙලාම බලන්න...
සිනහව සුන්දරය, අයෙකු උත්පත්තියෙන් ලබන මිලකළ නොහැකි දායාදකි. එහෙත් සිනහව පෑම එහෙමත් නැතිනම් ප්‍රකාශ කිරීමේ කලාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්ය. කෙනෙකු සතු, කොච්චර දුන්නත් අඩුවක් නොවන වස්තූන් මේ ලොවේ ඇත්නම් සිනාව ඒ අතරින් මුල්තැන ගන්නවා සැක නැහැ. පමණක් විටෙක ඒ මද සිනාව ලබන්නා ඒ මොහොතේ ලබන සුන්දරම, මිලකළ නොහැකි දායාදය ඒ සොඳුරු සිනහව වෙන්න පුළුවනි. එහෙත්, වියරු සිනහව අනපේක්ෂිත අප්‍රසන්න අවස්ථාවන් ඇති කරතෑකි.
ක්ලැරන්ස් විජේවර්‍ධන ගයන ගීතයේ මෙහෙම කියනවා:
ඉඳහිට හමුවන මේ පුංචි වෙලාවේ
ඇයි මේ ඔය තරමට අගය හිනාවේ
යහළු මිතුරු අය මග දී මුණගැසුනාම
සඟවන්නට එපා පිපෙන සුවඳ හිනාව
ඇත්තටම යහළු සිනහවක් මොනතරම් නම් අගේ ද?

ජිප්සීස් ගායක කණ්ඩායම ගයන ගීතයක, කියනවා:
හිනා හිනා හිනා හිනා වෙන්න හිනා
ඔහ් හිනා වෙන්න හිනා තරැණ වෙන්න හිනා
හිනා හිනා හිනා හිනා වෙන්න හිනා
කරදර ඉවත දමා පොඩ්ඩක් වෙන්න හිනා...
සිනහව කියන්නේ ඔසුවක්, අමිල ඔසුවක්. උදෙන්ම ඔබ මුණගැහෙන පුද්ගලයාට පුංචි, ලස්සන සිනාවක් පිරිනමන්න. එය එම පුද්ගලයාගේ දවසම වෙනස් කරන තිළිණයක්, driving force එකක් වෙන්න පුළුවන්.
ඔබේ චූටි පුතා මිඳුලේ වැහිවතුර වළක බැහැලා මඩ නාගෙන ගෙට එද්දි ඔබට කොහොමද දැනෙන්නේ? චූටි මුව රවුම් කරලා, curve කරලා පුංචි සිනාවක් දාද්දි එයාගේ නෝටි වැඩේ අමතක වෙනවා නේද?
රෙස්ටුරන්ට්, පාරිභෝගික සේවා, පිළිගැනීමේ නිලධාරි, ගුවන් සේවා සේවක මඩුල්ල ආදී පමණක් front-end රැකියා තියෙනවා රස්සාවටම සිනාසිය යුතුවෙන. බොහෝවිට ඔවුන් පුදන්නේ මවාගත් සිනාවක් වෙන්න පුළුවන්, එය මැනිය හැකි ක්‍රමයක් ඔබ වෙත නොවෙන්න පුළුවන්. සමාජයේ අපිට මුණගැහෙන අනික් අය ගැන ද ඒ කතාව පොදුයි. කෙසේ නමුත් පෙරළා ඔබ ඔවුන්ට නිර්‍ව්‍යාජ සිනාවකින් පිළිතුරු දෙන්න.
අද අපි ගෙවමින් ඉන්නේ මෑත ඉතිහාසයේ කවදාවත් මුහුණපා නැති තරම් දුෂ්කර කාලයක්. කෙනෙකුගේ ජීවිතය මොනතරම් බැරෑරුම් ද, දුෂ්කර ද හිතලා බලන්නවත් බැරි අවධියකය. හැකි සෑම විටම ඔබට මුණගැහෙන හැම කෙනෙකුටම සොඳුරු සිනාවක් පිරිනමන්න, ඔහු/ඇය පෙරලා පිළිතුරු සිනාවක් පාවි. අනිවාර්‍යයෙන් එයින් ඉහත කී ශාරීරික සුවයට මෙන්ම මානසික සුවය ඔවුනට ලැබේවි. ඒ ප්‍රතිලාභ ඔවුන්ට ලැබුණත් නැතත් ඔබේ නිර්‍ව්‍යාජ සිනාවකින් ලැබෙන යහපල ඔබේ සිරුරට, සිත් සුවයට ලැබේවි. තවත් සිතක සුවය සදන සතුට ඔබ වටා සතුට වඩාවි.

සිනා බෝ වේවා!

2022 ලෝක සිනහව දිනය නිමීත්තෙන් ලියූවකි

ස්මයිලි | Smiley (ශනිදා දහයට!)

 

පසුගිය දවස් හත ඇතුළත ඔබ කීවරක් Smiley Face පාවිච්චි කරා ද?

අද ලෝකයේ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් අතර නැතුවම බැරි විවිධ රූප සංකේත, ඉමෝජි, රිඇක්ට්ස් අතර Smiley ප්‍රමුඛස්ථානයක් ගනී. මුල් ස්මයිලි ෆේස් සංකේතය ලොව එළිය දුටුවේ කවදාද කියා ඔබ දන්නවාද?
ඇමෙරිකානු වෙළඳ ප්‍රචාරක ක්ෂේත්‍රයේ නිර්‍මාණකරුවෙකු වූ හාවි රෝස් බෝල් (Harvey Ross Ball) ස්මයිලි ෆේස් නිර්‍මාණකරුවා ලෙස සැලකේ. 1963 වසරේ දී රක්ෂණ සමාගමක් විසින් හාවිගේ සේවාව ෆ්‍රීලාන්ස් ඩිසයිනර් කෙනෙකු ලෙස ලබාගෙන ඇත. සමාගම් දෙකක් ඒකබද්ධකර පිහිටවූ එම නව රක්ෂණ සමාගම කෙරෙහි එහි සේවකයින් එතරම් සතුටක් දක්වා නැත, හාවිට පැවරුණේ සේවකයින්ගේ චිත්ත ධෛර්‍යය (morale) නංවාලිය හැකි ඩිසයින් එකක් නිර්‍මාණය කිරීමය. ඔහු විනාඩි දහයක තරම් කෙටි කාලයක දී, එය මනාව ඉටු කළේය. එම ඩිසයින් එකෙහි එක් ඇසක් අනෙකට වඩා ලොකු වූ අතර, කන් දෙක දක්වා විහිදුන පුළුල් මුව සිනාවෙන් යුතු සතුටින් පිරි දීප්තිමත් කහ පැහැ මුහුණකි. එම නිර්‍මාණය පළමුව සමාගමේ විධායක නිලධාරීන්ගේ මුවට සිනහව ගෙන ආවේය. ඔවුන් ඒ සරල අරුත්බර නිර්‍මාණය ඉතා සතුටින් බාරගෙන ඇති අතර ඒ සඳහා ඩොලර් 45ක ගෙවීමක් කර ඇත.
එම ස්මයිලි නිර්‍මාණය යොදා ගෙන සමාගම ස්මයිලි පින් (Smiley pin) සියයක් නිපදවා සේවකයින් අතර බෙදා දී අත්තේ රාජකාරී කාලය තුළදී පැළදිම සඳහාය. එය කොතෙක් ජනප්‍රිය වූයේ ද කියනවා නම් කෙටි කාලයක දී ස්මයිලි පින් 10,000ක් අලෙවි වූ බව කියවේ. 1971 වෙද්දි ස්මයිලි පින් අලෙවිය මිලියන 50ක් ඉක්ම වූ බව සඳහන් වේ.
හාවිගේ ස්මයිලි ෆේස් ලොව පුරා iconයක් වෙන්නට විය.
1921 උපන් හාවි, 1998 දී තම නිර්‍මාණයේ 35 වන වසර සමරා ඇත. 1999 දී World Smile Foundation නමින් ස්වේච්ඡා සංවිධානයක් ආරම්භ කර ඇත්තේ ළමා අභිවෘද්ධිය ප්‍රධාන අරමුණ කරගෙනය. 1999 දී පළමු ලෝක සිනහව දිනය සමරා ඇත්තේ හාවිගේ සංවිධානයේ අනුග්‍රහයෙනි. ලොවට සිනාවේ සංකේතය උරුමකර දුන් හාවිගේ මුව සිනාහව 2001 අප්‍රේල් 12දා වියැකී ගියේය. ඉන් පසුව හාවි අනුස්මරණ “Harvey Ball World Smile Foundation” පිහිටුවා ඇත, එහි ආදර්‍ශ පාඨය වෙන්නේ “ලෝකයේ යහපතට, එක සිනාවක්” “enhancing this world, one smile”. අදටත් හාවි සංවිධානය ලෝක සිනහව දිනය සැමරිමේ ප්‍රධාන අනුග්‍රාහකයා වේ.
ලොවට සිනහව සංකේතය පිදූ නිර්‍මාණකරුවා කිසිදා තම මෝස්තරයේ අයිතිය බදාගන්නට තරම් කෑදරයෙකු නොවිය, එය තම වෙළඳනාමයක් යටතේ ලියාපදිංචි කරන්නට කැමැත්තක් දැක්වා නැත. ඔහු ඉතා සරල මනුස්සයෙක් විය, එය සනාථ කරන ඔහුගේ පුතාගේ වචන වලින් he was not a money-driven guy, he used to say, "Hey, I can only eat one steak at a time, drive one car at a time". හාවි ඉන්න තැනක සිනහ බෝ වේවා!
එනමුත් සෑම ලෝක සිනහව දින සැමරුමකදිම හාවිගේ නිර්‍මාණය යොදාගෙන නිපදවන සිහිවටන භාණ්ඩ වලින් සෑහෙන මුදලක් උපයනවා ඇත. මෙම ලිපියේ අරමුණ වාණිජ අරමුණු සහිතව පවත්වන ලෝක/ජාත්‍යන්තර දින කැලන්ඩරයේ තවත් දවසක් මතුකර දැක්වීම නොව, ඉන්ටනෙට් භාවිතය ප්‍රචලිත වූ දවස පටන් කැරැක්ටර් බේස් සිස්ටම්ස් වලින් පටන් ගෙන අද දක්වා විකාශය වී ඇති හුරුබුහුටි Smiley Face නොදත් කතාව ගෙන ඒමය. සුන්දර නිර්‍මාණකරුවෙකු වූ හාවි විසින් ලොවට ඉතිරි කරගිය ලෝකයේ යහපතට, එක සිනාවක් “enhancing this world, one smile” සංකල්පයේ මානුෂික හා මානසික සුවය පැත්තෙන් බැලීමය.

2022 ලෝක සිනහව දිනය නිමිත්තෙන් ලියූවකි

*සෑම වසරකම ඔක්තෝබර් මස පලමු සිකුරාදා දිනය ලෝක සිනහව දිනය - World Smile Day හැටියට නම් කර ඇත

Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts