Thursday, January 6, 2011

නාවිකයා: 3-මුහුදු කොල්ලකාරයෝ

මැද පෙරදිග රටක ස්වාභාවික ගෑස් ප්‍රවාහන නවුකාවක වැඩ කරන ඔවුන් යුරෝපය කරා යන්නේ එන්නේ මුහුදු කොල්ලකාරයෝ පිරි ගමන් මාර්ගයක් හරහාය. එම ප්‍රවාහන නවුකාවේ වැඩ කරන නැවියන් අතර අයෙකි විතාරණ. ගෑස් පුරවා ගත් ඔවුන්ගේ නැව තවත් ගමනකට සූදානම්, බියෙන් පිරි ඔවුන්ගේ ගමනක් වටා ගෙතුන කොටස් තුනකින් සමන්විත කතාවේ මෙය තුන්වෙනි (අවසන්) කොටසයි.

පලමු කොටස නාවිකයා: 1-ඉර බැස්ම
දෙවැනි කොටස නාවිකයා: 2-භීතිය


අපි තේ එකක් බීලා ආයෙ බ්‍රිජ් එක උඩට ආවා.

ශිෆ්ට් එක ඉවර වෙන අන්තිම වටයේ වැඩ, මේක ගොඩාක් කල්පනාවෙන් කරන්න ඕනේ, හැන්ඩ් ඔවර් කරන්න එපැයි.

ශිෆ්ට් එක ඉවරවෙලා කැබින් එකට එන ගමන්...

"වි තරණේ... උඹට මොනවද හිතෙන්නේ මුහුදු කොල්ලකාරයින් ගැන..."

උඩුම්බා මීට කලින් කීපවතාවක්ම මේ ප්‍රශ්ණය අහලා තියෙනවා, හැම පාරම මම මඟ ඇරියා...

"උඹට මොනවද හිතෙන්නේ..." මං පෙරලා ඇහුවේ පුංචි හිනාවක් එක්ක.

"අපි අප්‍රිකාණුවන්, අපිට බොහෝ වෙලාවට හිතන්න පුලුවන් තවත් අප්‍රිකාණුවෙක් හිතන විදිය ගැන... මට ඕනේ උඹලා හිතන විදිය ගැන දැන ගන්න..."

මට මෙදා පාර බේරුමක් නැහැ කියලා හිතුන නිසා මං විස්තර කරන්න හිත හදා ගත්තා.

"මට හිතෙන්නේ මුහුදු කොල්ලකාරයෝ කියන සෝමාලියෝ ත්‍රස්තවාදීන් නෙවෙයි".

ඉවසුමක් නැති උඩුම්බා "නෑ... නෑ උන්."

"හරි උන් කලින් ත්‍රස්තයින් වෙන්න ඇති, මං කියන්නේ උන් දැන් එහෙම නෙවෙයි කියලා..."

"උඹලා එහෙම ද හිතන්නේ..."

"බලපන් උන් මුලින්ම අල්ලගත් නැව් ගැන. ඒවා ඇමෙරිකානු, සවුදි, ප්‍රංශ... ඊට කලින් උන් කලේ එච්චර ලොකු නැති මුහුදු කොල්ලකෑම්. ඉන් පස්සේ නැව්වලට ආරක්ෂාවට කියල ජාත්‍යන්තර යුධ නැව් මෙතැනට ආව... උන් ආවත් කොල්ලකෑම්, නැව් අත්පත් කරගැනීම් නතර වුනේ නැහැ..."

"උඹලා හැමදාම ඇමෙරිකානු විරෝධී.... නොන්සන්ස්!" උඩුම්බා හරස් වුනා.

"පොඩ්ඩක් ඇහුම්කන් දීපන්... උන්ගාව තියෙන ආයුද ගැන බලපන්. එච්චර නවීන් ආයුධ කොහෙන්ද ත්‍රස්තයින්ට. මට හිතෙන්නේ මේ කොල්ලකාරයින් නාවික රක්ෂණ සමාගම් වලින් ගෙවීම් ලබන අය..."

"ලඟකදී අත්පත්කරගත් නැවක්, ස්ටාෆ් එක බේරගත්තේ යුරෝපා රක්ෂණ සමාගමක් නෙ... උඹ කොහොමද එහෙම කියන්නේ..." උඩුම්බා කේන්තියෙන් කිවා...

"දැට්ස් ද පොයින්ට...." මට ඉහේ මල් පිපුණා වගේ දැනුනත් උඩුම්බලා ගැන ඇතිවුනේ දුකක්... ඒ අදහස යටපත් කරගෙනම...

"බලපන් මට ඕනකරන තැනට උඹ ආවා... නාවික රක්ෂණ සමාගම් කියන්නේ යුරෝපා රටවල් මූල් කරගත් ව්‍යාපාර. උන් මුන්ට ඇමදීලා භීතියක් ඇති කරා කලාපයේ, ඉන්පසුව මේ පලාත හරහා යන නැව් වලට විශේෂ රක්ෂණ ක්‍රමයක් ඇතිකරා. රක්ෂණ සමාගම් ලොකු මුදලක් අය කලත් නැව් සමාගම් ඒකට එකඟ වෙන්න වෙනවා, නැතිනම් බඩු පටවන්න ක්ලයන්ට්ලා මැලි වෙනවා. ඉඳහිට සෝමාලියෝ නැවකට හිරිහැර කරපුවාම බටහිර හමුදා පොඩි පියවරක් ගන්නවා. බටහිර බලවතුන්ට ඕනේ මේ ලොකේෂන් එක උන්ගෙ බලය යටතේ තියාගන්න. කොල්ලකාරයෝ නැවක් අත්පත් කරගත්තාම රක්ෂණ සමාගම් සල්ලි දීලා බේරාගෙන හොඳ නම ගන්නවා. ඒ සමාගම් තව තවත් ප්‍රසිද්ධ වෙනවා... උන් තව තව සල්ලි හම්බ කරනවා."

උඩුම්බා ඉස්සරහටයි පස්සටයි සීරුවෙන් ඔළුව සලලා "උඹ හරි" කියන විදියට සිහින් හිනාවක් දාන්න ඇති කියලා හිතුනේ අඳුරේම සුදු දත් පේලිය දැක්ක නිසා.

"වි තරණේ, උන් ඔක්කෝම හම්බකර ගන්නවා. බලපන් මෙ පැත්තෙන් එහා මෙහා යන නාවිකයින් පොඩි දුකක් ද විඳින්නේ. මෙ පලාත හරහා යනවා කියලා දැනගත්තාම අපේ පවුල් වල අය පොඩි ගින්නක් ද දරනවා ඇත්තේ... ඇයි මෙහෙම වුනේ?" කියන ගමන් තම කරේ එල්ලෙන කුරුසය අරන් උඩුම්බා සිපගත්තේ අනික් පිටි අත්ලෙන් ඇස් පිසලමින්.

උඩුම්බාගේ වම් උරහිසට මගේ වමත දමා ඔහුගේ දකුණු උරහිසත් මගේ වම් උරහිසත් තදින් ගැටෙන සේ හිරකර ගත්තේ අපිරිමිත සෙනෙහසිනි...

එතැන් සිට අපි කිසිම වචනයක් නොදොඩා කැබින් එකට ඇතුල් වූයෙමු.

නාවිකයා කතාව මින් නිමාවේ. නවුකාව ඉදිරියට ඇදේ, විතාරණලා ද ජීවිකාව සමඟ ඒ ගමනේ යෙදිය යුතුය.

ප.ලි.
මෙය කල්පිත රචනාවකි, නම් ගම් හා චරිත මනහ්කල්පිතයන්ය
සීගිරි.කොම් ෆෝරමය පැවැත්වූ සීගිරි සාහිත්‍ය තරඟාවලිය 2010 සඳහා ඉදිරිපත් කල කෙටි කතාවකි

Tuesday, January 4, 2011

නාවිකයා: 2-භීතිය

මැද පෙරදිග රටක ස්වාභාවික ගෑස් ප්‍රවාහන නවුකාවක වැඩ කරන ඔවුන් යුරෝපය කරා යන්නේ එන්නේ මුහුදු කොල්ලකාරයෝ පිරි ගමන් මාර්ගයක් හරහාය. එම ප්‍රවාහන නවුකාවේ වැඩ කරන නැවියන් අතර අයෙකි විතාරණ. ගෑස් පුරවා ගත් ඔවුන්ගේ නැව තවත් ගමනකට සූදානම්, බියෙන් පිරි ඔවුන්ගේ ගමනක් වටා ගෙතුන කොටස් තුනකින් සමන්විත කතාවේ මෙය දෙවැනි කොටසයි...

පලමු කොටස නාවිකයා: 1-ඉර බැස්ම


බලාපොරොත්තු වූ විදියට හොඳට ඉර එළිය වැටිලා තියෙන උදෙන්ම නැව අරාබි මුහුද ඔස්සේ ඕමාන රටේ සලාල නගරයට ආසන්න වෙන බව කැප්ටන් ජෝර්ජි කියුවේ ලොකු ඈනුමක් අරිමින්. මිනිහගේ කටහඬින් හා බොරවුන ඇස් දෙකෙන් තේරුණා රෑ තිස්සේම නිදාගෙන නැතිබව.

"දෙවියන්ට ස්තුතිවෙන්න අඳුර වැටෙන්න කලින් රතු මුහුදට ඇතුල්වෙලා ටිකක් දුර යාගන්න පුලුවන්... අද සුලං පාරත් එච්චර සැර නැහැ. මම පොඩි නින්දක් දාලා එන්නම්..." කියුවත් ජෝර්ජියා නිදා ගන්න එකක් නැහැ.

උදේ ඉඳන් හැමෝම පුදුම උනන්දුවක් දක්වනවා. කැප්ටන්ලා හැමෝම වැඩ. ඕෆ් ශිෆ්ට් කට්ටිය පවා නොයෙක් විදියට වැඩවලට උදව් කරනවා. එතරම් සනීපයක් නැතත් උත්සාහයෙන් හිනාවක් මතුකරගෙන ශන්කර් ජීත් ගාට ගාට එනව අපි ඉන්න දිහාට. කවුරුවත් යකා ගැන කතා කරන්නේ නැතුවට හිත්වල හොල්මන් කරන තරම තේරෙනවා. සෝමාලි මුහුදු කොල්ලකාරයෝ ලේසි පාසු උන්යැ.

පුරුදු පරිදි උඩුම්බාත් මාත් අදත් සෙකන්ඩ් ශිෆ්ට් එක, ඊයේ වගේම වැඩ බෙදාගෙන කරන්න දෙන්නම එකඟ වුනා. තවම දොළහමාර වුනේ නැති හින්දා ඇලයක් දාන්න හිතුවත් හිතට අනං මනං ගලන නිසා ඒකත් පලක් වුනේ නැහැ. කැබින් එකේ තැන තැන කවුළු ලඟ එක්වූ ඕෆ් ඩියුට් කට්ටිය බයිනකොලෝස වලින් ඈතම බල බලා වෙහෙසෙනවා... කාඩ් අතක් සෙල්ලම් කරන්නවත් කාවත් අල්ලගන්න අමාරුයි වගේ. කම්මැලි වෙවි පැත්තක ඉඳලා දෙකට ලංවෙද්දි බ්‍රිජ් එක පැත්තට පියවර මැන්නා.

එක විදියකට වැඩ වැටුන එකත් හොඳයි, මොන මොනවා හරි කරලා කාලය ගෙවා ගන්න පුලුවන්. පුදුමෙක මහත උඩුම්බා වෙලාවටත් කලින් වැඩ පටන් අරන්! කලින් ට්‍රිප් එකේදී ෆෙර්ඩිනඩ් විහිළුවක් කරලා උඩුම්බට හොඳටෝම තරහ ගිය හැටි මතකයට ආවා. හැමෝම ඉන්නේ ටෙන්ෂන් එකේ... කට පියාගෙන ඉන්නයි ඇත්තේ...

ඔන්න ඔහේ මාත් වැඩ පටන් ගන්නවා... ඒත් වෙලාවට කලින් රීඩින් ලොග් ලියන්න බැහැ නේ... කමක් නැහැ උඩට යනවා...

මේ නැවේ ගෑස් කියුබික් මීටර් එක් ලක්ෂ විසිපන්දාහක් තියෙනවා. ඒ කියන්නේ 1/6ක් හිස්. ටැංකිවල පුරවලා ඒවා සීතල අයිස් කැට ගානට මුදවලා තියෙන්නේ ආරාක්ෂාවට. ඒක ලොකු දෙයක්, නැතිනම් මුහුදු කොල්ලකාර පිස්සෝ එක්ක සීමන් ජීවිතය තවත් අවදානම්.

උඩුම්බාගේ සිවුරුවම් පාර එන්න එන්නම වැඩි වෙනවා වගේ දැනුනේ ඉනිමග දිගේ එයාර් හැන්ඩ්ලර් පිට් එකට බහිනකොට. හප්පා... ඇතුලේ රශ්ණය ඉකමනට එහෙන් මෙහෙන් බලලා උඩට එන්න ඉනිමග ගාවට ආවා විතරයි බ්‍රිජ් එක උඩ කලබලයෙන් පය පොළොවේ ගහනවා දුවනවා වගේ දැණුනා..

දැන් මොකද කරන්නේ... ඇතුලේ ඉන්නත් බැහැ රශ්ණෙයි, උඩට යන්නත් බැහැ... හිතට බයයි. හිමීට හිමීට අත්වැල අල්ලාගෙන උඩට ආවේ පණ බයෙන්...

මේකා... මේකව මරන්න වටින්නේ...

උඩුම්බා... ඒකාගේ ලස්සනම ඇෆ්‍රිකන් ජන නැටුක් නටනවා. ඊට හපන් ඒකා අතර මැද එක් කරන ටැප් ඩාන්සින්...

හෙහ්... හෙහ්.. හේ යකා හිනාවක් දාගෙන ඇවිත් මගේ උරහිසෙන් හොලවලා "උඹ බයවුණාද..." අහපි! මං මොනවා කියන්නද... උඩුම්බා හොඳ එකා...

"දැන් ඒඩ්න් වලට ලඟ ඇති... " උඩුම්බා කියනවත් එක්කම වෝකි-ටෝකියෙන් "නැව ඒඩන් පසුකරා..." කියලා කියුවේ කැප්ටන් බිරේන්ද්‍ර.

ඈත මුහුදේ ලොකු මාලුවෙක් උඩුබුං ගැහුවත් පෙන්නේ ස්පීඩ් බෝට් එකක් කඩාගෙන එනවා වගේ...

උඩුම්බා නලලට අතක් තියාගෙන ඈතක් විපරම් කරනවා...

"ඇයි?"

"ප්‍රංශ නාවික හමුදාව මේ දවස් මේ හරියේ පැට්‍රොල් කරනවා කියලා කැප්ටන් ජෝර්ජි කියුවා, කෝ බං මොකෙක්වත් පේන්න නැහැ..."

"මොකෙක්වත් පේන්න නැහැ තමයි" ඔහේ කියුවත් කතාවට එතරම් උනන්දුවක් නොවිය මට.


ඊලඟ රීඩින් වාරය ආපු නිසා අපි දෙන්න දෙපැත්තට ගියා.

මටත් නොදැනීම මතකය මගේ මුල්ම ගමනේ දී ඒඩ්න් පහුකර ගිය හැටි මතක් කරමින් අවුරුදු අටක් ආපස්සට ගියා...

ඒඩ්න වරාය පසුකරලා රතු මුහුදට ඇතුල් වෙද්දි තදබදය නිසා පමණක් වෙලාවට නැව මුහුදේ නවත්වාගෙන ඉන්න වෙනවා. සමහර වෙලාවට හෙමින් යන්න වෙන්නේ. ඒ වෙලාවට අසරණ යේමන් වැසියන් පවර් බෝට්ටුවල සිගරට්, බීම වර්ග, ඇඳුම් ආදි දේවල් පුරවාගෙන විකුනන්න එනවා. බඩුනම් ගිනි ගනන්. සිගරට් බොන අය ස්ටොක් පුරවගත්තේ ඒ මිනිසුන්ගෙන්. කඹයක ගැටගපු කූඩයක් නැවෙන් පහලට දාලා බඩුටික උඩට ගෙන්න ගන්නේ. සමහරු බඩුටික අතට අරගෙන හෙට්ටු කරනවා, සයිප්‍රස් කාරයෝ ඒකට දස්සයෝ.

නැව් වලට බඩු විකුණන එකත් හරියට දුර ගමන් බස්වලට එක එක ජාති විකුණන්න එනවා වගේ කියලා මට හිතුනේ පලමු ට්‍රිප් එකේදී. මං පුදුමෙන් වගේ බලන් ඉන්න වෙලාවේ ග්‍රීක ජාතික වයසක ඇන්තෝනියෝ මට කිව්වේ සූවස් ඇල, පැනමා ඇල, ඉන්දුනීසියාවේ මලාක සමුද්‍රසන්දිය වගේ තැන්වල නැව් වලට වෙළෙඳම් කිරීමට හරි ප්‍රසිද්ධයි කියලා. ඒවුනාට නැව් වරායට ඇතුල් වෙන්න මහමුහුදේ නතර කරගෙන ඉන්නකොට බොහෝමයක් වරායන් වලදී බෝට්ටු-කඩ දකින්න පුලුවන්.


ඒ මිනිස්සු මහන්සි වෙලා හම්බ කරන එකනේ කීයක් වැඩියෙ ගත්තත් මොකෝ...

"හේයි! වි තරණේ... උඹ කොහේද, වැඩියෙ කල්පනා කරන්න එපා බං..."

උඩුම්බා ලඟට ඇවිත් කතාකරනකම් මං දැන්නේ නැහැ.

"ඔහ්, උඹ ඉවරද... තවම මගේ වැඩ ඉවර වුනේ නැහැ..."

"කෝ උඹ කල්පනාවේ ඉඳලා වගේ... වරෙන්, වරෙන් මාත් උදව් කරන්නම්" කී උඩුම්බා මගේ වැඩ ටික ඉවර කරගන්න උදව් කරා. ඒත් එක්කම අනික් වටය පටන් ගන්න වෙලාව හරි.

දැන කාලේ නම් රතු මුහුදට ඇතුල්වෙන තැන ජාත්‍යන්තර හමුදා වලට අයත් නැව්වලින් ආරක්ෂාව සපයනවා. කවුරුත් බලන්නේ පුලුවන් ඉක්මනට ඒ පැත්තෙන් ඈතට යන්නනේ.

අර අහිංසක බෝට්ටු-කඩකාරයින්ට මොනවා වෙලා ඇද්ද? පව්...

"අපි රතු මුහුදට ඇතුල් වෙලා විනාඩි විස්සක් වෙනවා, දැන් යේමනය හා ඉරිත්‍රියා රටවල් අතරින් රතු මුහුදේ උඩහට යන්නේ..." ඒ පණිවුඩය කැප්ටන් ජෝර්ජි වෝකි-ටෝකියෙන්.

මේ දවස් වල ඉරබහින්න හතත් පහුවෙන හින්දා අඳුර වැටෙන්න කලින් අපිට සෑහෙන්න උඩහට යන්න පුලුවන් වේවි.

වැඩ අතරින් කාලය ගතවී ගියද අද උඩුම්බයි මායි වැඩියේ කැබින් එකට ගියේ නැහැ. එකිනෙකා මාරුවෙන් මාරුවට බයිනකොලෝසයෙන් දුර බලබලා හිටියා මිසක්. දැන් නම් හොඳටම අඳුරුයි.

"වි තරණේ... වැඩ ඉවරනම් කැබින් එකට ගිහිල්ල එමු"

"යං" කියමින් මාත් එක් වුනා.

උදේ වරුවේ වගේම කවුරුත් තවමත් එකතුවෙලා කතාව, ඒත් මුහුණු වලින් දැනෙනවා හිත්වල ඇති සැහැල්ලුව. මිනිස්සු මොනතරම් නම් හිතෙන් පීඩා විඳිනවද හිතට භීතියක්, අස්ථීර බවක් ඇති වුනාම.


මීලඟට අවසන් කොටස නාවිකයා: 3-මුහුදු කොල්ලකාරයෝ

ප.ලි.
මෙය කල්පිත රචනාවකි, නම් ගම් හා චරිත මනහ්කල්පිතයන්ය
සීගිරි.කොම් ෆෝරමය පැවැත්වූ සීගිරි සාහිත්‍ය තරඟාවලිය 2010 සඳහා ඉදිරිපත් කල කෙටි කතාවකි

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts