Sunday, September 26, 2010

දමක පුරුක් සේ



සිහින් රන් හූයෙන්
ගොතා වියන රටා පිරුණ
දිලිසෙන මාලා කර පලඳන
සවිබල වැඩි කරවන
තඹ කිසිදින නොදිලෙන
කිරන බරට රන් සම සම
සංයෝගය වැරදුනාම
දුබල පුරුක බිඳ දමන
දිලිසෙන වටිනා රන් දම

උතුම් මිනිසත් බවෙන් නිමැවුන
යහගුණ විහිඳා බැබලෙන
අමිල අගනා පුරුක් පෑහුන
සොයුරු සිතින් එක්වුන
දුරලා මිලින පාරතෑකි බන්දන
සවිමත් කර මිතුදම
අදිතෑකි මහබර

ගල්මල් අඩවියේ පොස්ට් 50 සනිටුහන් කරයි.
එය ඔබ දුන් දිරියයි, ශක්තියයි.
මිතුදමේ සෑම පුරුකක්ම අගයමින්
ගෞරවයෙන් පුදන වගයි.

Wednesday, September 22, 2010

රටාවට පියාඹන කුරුල්ලනී


පෙළ ගැසී
වමින් වමට
දකුණින් දකුණට
සීරුවෙන් පසුපසින
උසින් උසට
ගැටෙන්නේ නැතිව පියාපත්
පෙරටුකරන් නායකයා
රටාවට
දුරින් දුරට
පියාඹන ශිල්පයේ
රහස කිමැයි
කියාපන්නේ කුරුල්ලනී


සටහන:
මේ නිර්මාණයට උපයෝගී කරගත්තේ කුරුළු ලෝකයේ දක්නට ඇති අපූර්වත්වයක්. තමන් ජීවත්වෙන ආවේණික පරිසරයට ශීත සෘතුව උදාවෙත්ම කුරුළු විශේෂ රංචු පිටින් උණුසුම් දේශගුණික කලාපවලට සංක්‍රමණය වෙනවා. මෙම ගමන බොහෝවිට සැතපුම් දහස් ගනනක්, ඒ සඳහා සොබාදහමින් ඔවුන්ට දායාදය කර ඇති බුද්ධිය හා ඥානය මොනතරම් උසස් ද?

කුරුළු කණ්ඩායමේ පෙරමුණ දරන පක්ෂියාගේ දෙපසින් පිළිවෙලට තටු සලන කුරුළු රෑන මොනතරම් නම් ලස්සනද? ඉදිරියෙන් පියාසර කරන කුරුල්ලාගේ වම් පසින් පටන් ගන්නා පේලියේ සෑම පක්ෂියෙකුම තමාට ඉදිරියෙන් පියාසර කරන්නාගේ වමින් වමට වෙන්නද ඒ විදියට ම දකුණු පැත්තේ පේලිය කුරුල්ලන් පෙරමුණෙන් පටන් දකුණි දකුණටත් විහිදී V-හැඩය සකසයි. පසුපසින් ගමන් කරන පක්ෂියා ඉදිරියෙන් පියාසර කරන්නාට ඉහලින් පිහිටන සේ පෙල ගැසේ. ඒ අන්දමට සැකසී තටු සැලීමෙන් ඇතිවන සුලං රැල්ලේ තෙරපුමෙන් පසුපසින් ගමන් කරන පක්ෂියාගේ තටු සැලීමේ දී වැය වෙන ශක්තිය අඩුවන බව සොයාගෙන ඇත. තවද තම ඉදිරියෙන් ගමන් කරන පක්ෂියා මොනයම් කරුණක් නිසා හෝ වෙහෙසට පත් වුවහොත් ඉදිරියට අවුදින් ඒ තැන හා හැඩය ආරක්ෂා කරගන්නට පිටුපසින් ගමනේ යෙදෙන පක්ෂීන් වහා ක්‍රියාකරයි. කුරුළු නඳ දෙමින් ඉදිරියේ ගමන් කරන පක්ෂියා දිරිගැන්වීමට පිටුපසින් ගමන් කරන්නන් උත්සුක වේ. ගමනේදී පක්ෂියෙක් තුවාල ලබයිද ඒ පක්ෂියා සමඟ තවත් පක්ෂීන් දෙදෙනෙකු පහතට බසින බවත් කියැවේ. පෙරමුණ හොබවන පක්ෂියා වෙහෙසට පත්වූ විට පසුබැස ඒ ස්ථානයට පසුපසින් ගමනේ යෙදෙන පක්ෂියා පත් කරයි. පෙරමුණේ දරණ පක්ෂියා නඩයේ ආරක්ෂාව, වේගය පාලනය ආදී නායකත්ව වගකීම් දරමින් නඩය හසුරුවයි.

කුරුළු රෑනට ඈතින් ඉඳන් බලන විට V-හැඩය දිස් වුවද නඩයේ සැමදෙනා තම ඉදිරි දසුන දිස්වෙන සේ කණ්ඩායම රකිමින් පියාසර කරයි.

රටාවට පියාඹන කුරුළු රෑන එකමුතුව, කණ්ඩායම් හැඟීම යන මහඟු ගුණාංග පිලිඹිබු කරමින් ආරක්ෂිතව සැතැපුම් දහස් ගානක් ඈත ඉලක්කයට පියාසර කරති. තවද තම පරිසරයේ දේශගුණික වෙනස ඇතිවෙද්දී පෙරලා ආපසු ඒමට සමත් වෙති.

Saturday, September 18, 2010

මෙට්‍රික් නොවූ කල


සටහන:
අද භාවිතයේ ඇති කිරුම් මිණුම් සඳහා යොදා ගන්න ක්‍රමය මෙට්‍රික් ක්‍රමය ලෙස ප්‍රකටය. මෙට්‍රික් ක්‍රමය ක්‍රි.ව. 1791 සිට ප්‍රංශයේ භාවිතා වූ බව කියැවේ. 60 දශකයේ දී මෙට්‍රික් ක්‍රමය සම්මත අන්තර්ජාතික කිරුම් මිණුම් ඒකක හෙවත් අන්තර්ජාතික ඒකකය (ISU - International System of Units) ලෙස පිලිගෙන ඇත. ප්‍රංශ බසින් Système International d'Unités ලෙස යෙදෙන බැවින් මෙම ක්‍රමය SI ඒකකය ලෙසත් සඳහන් වේ.

1970-80 කාලය තුල දී ශ්‍රී ලංකාවේ කිරුම් මිණුම් ඒකකය ලෙස මෙට්‍රික් ක්‍රමයට මාරු වූයේ ඉන් පෙර යොදා ගත් බ්‍රිතාන්‍ය ඒකක (imperial units) ක්‍රමයේ සිටය.

ඇමෙරිකා එක්සත් ජනපදය, බුරුමය හා ලයිබීරියාව යන රටවල් තුන හැර ලොව පුරා කිරුම් මිණුම් ඒකකය ලෙස මෙට්‍රික් ක්‍රමයට අනුගතව ඇත.

මෙට්‍රික් ක්‍රමයේ සම්මතය අනුව සෑම ඒකකයක් ම දහයේ පාද වලින් දැක්විය හැකිය. ඒ සම්මතයේ පිහිටා මිලිතත්පර, කිලෝතත්පර හඳුන්වා දීමට විද්වතුන් උත්සාහ කරද එම ඒකකයන් යොදාගෙන ස්වභාවදර්මයෙන් සැකසුන දිනය ගොඩනැගීමට සමත් නොවූහ.

කාළය මැනීමේ ඒකක ක්‍රමය හැර සෑම ඒකකයම මෙට්‍රික් විය.

නිර්මාණයේ සඳහන් ගලපන්න යන වචනය හැඩගැස්සීම, adjust කිරීම යන අරුතින් යොදා ඇත.

Tuesday, September 14, 2010

ඉකිබිඳියි ඔරලෝසු කුළුණ


ගාලු කොටුවේ යෝධ ඔරලෝසු කුළුන
සෙවනක් දුන්නා පිටදී ගෙන සැන්ඳෑ හිරු
විඩාබර දෙපා දිගහැර වාඩි වෙන්නැයි
සෙනෙහසින් කීවා බෑවුමේ තණ බිස්ස
වෙහෙසකර දෑස් ලුහුබැන්ඳා රළ පෙළ

එදා පෙර අපර නැවියන් රුවලින් හබලින්
සොයා ආ සෙරෙන්ඩිපයට හරසරින් පිලිගෙන
සියුමැලි දකුණු ලියන් දෑතින් ගෙතූ බීරළු රේන්දය
ලොවටම මොස්තර හැඩකෙරුමට පැටවූ
ගාලු වරාය

උස්සා උසට කලුගල් පවුර කර ඕලන්ද කොටුව
පාමුල තැනුවට පුංචි වරායක්
සොබාදහමින් තිළිණ ලද ලොව විරල
කඩිසර සමුදු මගක හෙබවූ සොබාවික මැණික
ගාලු වරාය

ඉකිබිඳින හඬක් ඇසුනා...
සෙවන සැදූ මිත්තණිය තවමත් හිටගෙන...

කොලොම්පුරයට මන බැන්දූ සුදු බලයන්
කුදලාගෙන ගියේ නැව් ගොන්නත්
උන් ගිය මග අඩි තබනා උනුන්ගේ උනුත්
විවේක දුන්නේ වෙහෙසුන හින්ද ද සියවස් ගනනක්
ගාලු වරාය

ඈත්කර නිවහන සුරූපිය දුරස් වුනා
පාමුල නැතත් දුර සිට රුවින් පිනා
කරකාර ගන්නටා පොරොන්දූන් වුනා
දීගේ කැඩුවේ රන්කහවනු ගිලන් ද පිනා

එක් කර ගොරහැඬි සිල්ලරයන් උනා
තනා සමුදු කටුගෙයක් පාමුල උන් කනා
වරාය කුමරිය වියපත් කඳුලින් වනා
කොහේ යන්නද ඔහේ බලන් ඉන්නවා විනා

ඇගේ දුක්බර මුහුණත දුටුවා...
නුඹටත් දුකදැයි සෙනෙහසින් ඇසුවා!

සටහන:
ගාලු වරාය ලොව ඇති විරල ගනයෙහිලා ගැනෙන ස්වභාවික වරායන් කිහිපයෙන් එකකි. මුහුද ගොඩබිම තුලට නෙරා ඇවිත් පසෙකින් රූමස්සල කඳුවැටියත් අනෙක් පසින් ගාලු කොටුවත් තෙරක් නොපෙනෙන ඉන්දීය සාගරයෙන් ඇය සුරකින්නේය. අද වරාය ලෙස උපයෝගී කරගෙන ඇත්තේ ඉන් සැකසුන සුළු ප්‍රදේශයකි පමණි.

ක්‍රි.පු. 1400 තරම් ඈත කාලයේ ද ගාලු වරායෙන් කුරුඳු රට පටවා ඇති බව සඳහන් වේ.

දොලොස්වන ශත වර්ෂයේ තරම් ඈත අතීතයේ දී පාර්සි, අරාබි, මලායනු, ඉන්දු, චීන, ග්‍රීක, රෝමානු ආදී පෙර අපර නැවියන් ඔවුන්ගේ සමුද්‍ර මාර්ගික වෙළෙදාමේ කෙන්ද්‍රස්ථානය ලෙස ස්වභාවික ගාලු වරාය යොදාගෙන ඇත. එම මුහුදු මාර්ගය සිල්ක් රූට් (Maritime Silk Route) ලෙස ප්‍රකටය. ක්‍රි.ව. 1505 දී පෘතුගීසීන් ගාලු වරාය අත්පත්කර ගැනුමට ආවිට ගාලු වැසියන් යුද වැදුනද පෘතුගීසීන්ගේ ප්‍රබල හමුදා ශක්තිය හමුවේ පරාජය වී ඇත. පසු කලෙක ඔවුන් කුඩා බලකොටුවක් ද තැනූ බව කියැවේ.

පෘතුගීසීන් විසින් බීරළු කර්මාන්තය ගාල්ල අවට ප්‍රදේශයේ හදුන්වා දුන් බවත් ඈත ඉතිහාසයේ ගාලු වරාය මූලික කරගෙන ලොව නන්දෙසට බීරළු රේන්ද සැපයූ ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස ලංකාව කීර්තියක් අත්පත් කරගෙන තිබූ බවත් සඳහන් වේ (මේගැන මා කලින් පල කල බීරළු රේන්ද කලාව නැමැති නිර්මාණයෙන් විස්තර කලා). බීරළු රේන්ද අදටත් ගෝල් ලේස් (Galle Lace) ලෙස විදේශයන්හි ජනප්‍රියයි.

ක්‍රි.ව. 1640 දී පෘතුගීසීන් පලවාහරිමින් ගාලු වරායෙන් රට තුලට අවතීර්ණ වූ ඕලන්දයින් 1663 දී දැනට පවතින ගාලු කොටුව ගොඩනගා ඇත. කොටු පවුරේ නැගෙනහිර පෙදෙසේ පාමුල (පොඩි කොටු දෙරටුව පැත්තට වෙන්න ) වරායක් ද ගොඩනැගූවේය. ඕලන්ද කාලයේ ගාලු පුරවරය වඩාත් බැබලුන යුගයක් බව කියැවේ.

ක්‍රි.ව. 1796 දී ඉංග්‍රීසීන් රට අත්පත්කර ගත්ත ද ගාලු කොටුව වෙනසක් නොකර ආරක්ෂා කලෝය. 1873 වසරේ දී කොළඹ වරාය ගොඩනැගෙන තුරු ගාලු වරාය දිවයිනේ ප්‍රධාන වරාය ලෙස ක්‍රියාත්මක වී ඇත.

පසු කලෙක වරාය දැනට ගාලු වරාය යැයි භාවිත වන ප්‍රදේශයට ගෙනගොස් ඇත. කලින් තිබූ වරාය පරණ වරාය ලෙස ප්‍රසිද්ධියක් දැරූ අතර අපේ පාසැල් කාලයේ දී පිහිණුම් පුහුණුවට උරදුන් ජනප්‍රිය තැනක් විය. පසුව එහි කොටසක් නාවික හා සමුද්‍ර කෞතුකාගරයක් ද තවත් කොටසක නාවික පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවා ඇත.

1988 වසරේ දී ගලු නගරය හා උතුරු ඕලන්දයේ වෙල්සන් නගරය මිත්‍රත්වයේ සංකේතයක් වන Twin City සංකල්පයෙන් යා කලෝය. අදටත් ගාලු පුරවරයේ ඕලන්ද ගෘහ නිර්මාණශිල්පය පිලිඹිබු කරන ගොඩනැගිලි දැකගත හැකිය.

90 දශකයේ මුල ගාලු වරාය වැඩි දියුණු කරන පොරොන්දු පිට රජයක් පත්විය. කිසියම් සැලසුමක් ඇති විය, පරිසරය යන නම පෙරදැරි කරගෙන සැලසුම් හැකිලින. අඩුවක් නැති පොරොන්දු වූව ද මෑත යුගයේ ගාලු වරායේ දි‍යුණුව උදෙසා සැලකිය යුතු කිසිවක් සිදුවූවා ද සැකයකි, ඒ සම්බන්ධව ඊට වඩා ලිවීම පලක් නැත (ඇය දැක දැක කඩිසර සමුදු මගක ඉවත ගිය නැව් රජුන්, කුමරුන් කැන්දන්නට පලාතේ තවත් වරායක් ඉදිවීම එක්තරා සතුටකි).

සුඛවිහරණය අවම යුගයක සියවස් ගනන් වෙහෙසුන නිසාවත් දෝ විදෙස් ආක්‍රමණ වලින් පීඩා වින්ද නිසාවත් දෝ නූතන යුගයේ නුඹට විවේකය ලැබුණේ. ඇය තවත් බොහෝ කලක් විවේකයේ ගිමන් හරීවි කියා සිතේ. ස්වභාවික ගාලු කුමාරිය වියපත් වුනත් සුන්දරයි. සොබාදහමින් උරුම වූ ඒ අමිල තිලිණය බොහෝ අගේය.

සිල්ක් රූට් නම් ප්‍රෞඩ අතීතය සිහිකරමින් මෙ මෑතක දී ජුවෙල් ඔෆ් මස්කට් (Jewel of Muscat) නම් නවවන සියවසේ රුවල් නැවක අනුරුවකට දැවයෙන් සැකසූ නැවක් සිල්ක් රූට් ඔස්සේ තරණය කලේය. ඒ චාරිකාව ඕමාන් රටේ සිට පෙර කල මලයානු දේශයේ කොටසක් වූ සිංගප්පූරුව දක්වා ගමනේ යෙදුනේ ලොව විවිධ රටවල නැවියන් සමූහයක් කැන්දන්, ඒ අතර ලාංකිකයෙකු ද විය. එම නෞකාව ගාලු වරායට ද සේන්දු විය (විස්තර මෙතැනින්). ඒ නෑගම් ඒම ගාලු කුමාරිය සතුටු කඳුලින් දෝවන්න ඇති.

නිර්මාණයට අදාල වැඩි විස්තර (මූලාශ්‍රයන්) පහත ලින්ක් මගින් ද කියවිය හැකිය:

http://en.wikipedia.org/wiki/Galle

http://cf.hum.uva.nl/galle/galle/galleindex.html

Friday, September 10, 2010

ප්‍රදීපාගාරය


ජයගෙන නැග උසට
විඳගෙන රළු රල
බේරා ගල් පර
පෙන්වා නිසි මග
ලොකු පොඩි හැමට
බෙදනා එළිය දුරට
බිඳුවක් ලැබෙයිද
එක්ටැම් ගේ
අඳුරේ හැම
විඳගන්නා නුඹට

පිදුම:
ලබාගන්න නොව ලබාදෙන්න වෙහෙසෙන හැමට උපහාරක් සේ ගෞරවයෙන්

Monday, September 6, 2010

කටුස්සනි


ඉන්නේ නුඹ බදාගෙන අතු ඉති
ගන්නේ පාට හූරා අවසරින ද සකි
ලන්නේ ඇඟ ගල්වා විගස හැකි
වන්නේ ගැට ගහගන් පණ ද රැකි

ගස් හොරු කපයි ද නූපන් හෙට දිනේ
ගැස් සිලා හැලේද නොමෝරන කොලේ
උස් රිකිලි අග සරු ලා දළු හිනැහේ
ඉස් සිලා නෙලා ගනු මිස කිමද පලේ

දළු විතරද පැණි පිරුණ මලුත් ඇති
කළු ඇඹලයින්ද පේලියේ ඇදී එති
තළු මරමින් බල්පන්නේ එවුනුත් රසැති
රළු කටුස්සනි වඩිව් ඔය ගස් මැරෙති