අද ටෙලිග්‍රෑම් කියන විට මුලින්ම හිතට එන්නේ තවත් එක්, එසැණින් පණිවුඩ හුවමාරු කරගත හැකි එහෙමත් නැතිනම් instant messaging App එකක් හැටියට. ලොව ප්‍රචලිත Facebook Messenger, WhatsApp, Instagram, Twitter, WeChat, Skype වැනි සේවාවන්ට විකල්පයක් හැටියට රුසියානු ජාතික Pavel Durov, Nikolai Durov සොහොයුරන් දෙදෙනෙකුගේ හඳුන්වාදීමක් හැටියට 2013 වසරේ දී එළිදැක්වෙන Telegram සේවය අද සෝෂල් මීඩියා අඹරේ දිලෙයි.
එනමුත් ටෙලිග්‍රෑම් හෙවත් විදුලි පණිවුඩ සේවාව කියන්නේ ලංකාවේ ඕනෑම අස්සක් මුල්ලක් නෑර හදිසි පණිවුඩයක් රැගෙන ගිය සේවාවක් බව ඔබ දන්නවාද? ලංකාවේ ටෙලිග්‍රෑම් සේවාව 1858 වසරේ දී ආරම්බ කර ඇත්තේ කොළඹ හා ගාල්ල අතර පණිවුඩයක් ගෙන යමින්.
ලොව සම්ප්‍රදායීක ටෙලිග්‍රෑම් සංනිවේදනයේ ආරම්බය 18වන ශතවර්ෂය තරම් ඈත කාලය දක්වා දිවෙයි, එය ප්‍රංශ ජාතික Claude Chappe ගේ සොයා ගැනීමකි. එය මුලින්ම යුරෝපයේ ප්‍රංශ ආධිපත්‍යය පැවැති පෙදෙස්වල බාවිතා වූ බව කියැවේ. ටෙලිග්‍රෑම් සංනිවේදනයේ දී දුරකතන පහසුකම් හරහා කියවනු/දෙනු ලබන පණිවුඩය අනෙක් පස ඉන්නා වූ ටෙලිග්‍රාෆ් ඔපරේටර් කෙනෙකු විසින් අතින් සටහන් කරගෙන නියමිත පාර්ශවය (recipient/ප්‍රතිග්‍රාහකයා) වෙත බෙදාහැරීමට යොමු කරයි. සාමාන්‍යයෙන් ටෙලිග්‍රෑම් සේවාව තැපැල් හා දුරකතන/විදුලි සංදේශ පහසුකම් සපයන රජයේ සේවාවක් හැටියට ලොව පුරා ක්‍රියාත්මක විය. අද මෙන් පණිවුඩ හුවමාරු තාක්ෂණය හිනිපෙත්තේ නොවූ අතීතයේ ටෙලිග්‍රෑම් සේවාව නැතුවම බැරි තවත් එක් සේවාවක් විය.
ලංකාවේ ටෙලිග්‍රෑම් හෙවත් විදුලි පුවත් සේවාව තැපල් සේවයට අනුබද්ධ සේවාවක් විය. ඕනෑම තැපැල්, උපතැපල් කාර්යාලයකින් පහසුවෙන් ලබාගත හැකි ෆෝරමයක අතින් ලියා ඉදිරිපත් කරන පණිවුඩය, දුරකතනය ඔස්සේ පණිවුඩය බෙදාහැරිය යුතු අන්තය දක්වා විකාශණය (transmit) කෙරේ. බොහෝ විට තැපැල් කාර්යාල දෙකක් හෝ ඊට වැඩි ගනනාවක් එම හුවමාරුවට සම්බන්ද වෙන අතර ලියුම් බෙදන ක්‍රමයට නියමිත පුද්ගලයාගේ ලිපිනයට විදුලි පුවත (ටෙලිග්‍රෑමය) බෙදා හරී. විදුලි පුවත් සේවයට අය කරනුයේ පණිවුඩයේ ඇති වචන ගනන අනුවය, එහෙත් සාධාරණ අයකිරීමක් තිබූ සේවාවකි.
ලංකාවේ මොබයිල් ෆෝන් මෙතරම් ප්‍රචලිතවීමට පෙර යුගයේ හදිස්සියේ අඳුරු වැටුන වෙලාවක තැපැල් මහත්තයාගේ සීනු හඬ ඇහෙනවා නම් එය බොහෝ විට නරක ආරංචියක් රැගෙන එන ටෙලිග්‍රෑමයක් වෙන්න පුලුවන් ඉඩකඩ වැඩිවිය. මඟුල් ගෙදරක වුනත් සහබාගීවීමට නොහැකියාව ප්‍රකාශකරමින් ලැබෙන ටෙලිග්‍රෑම් තිබුණි. හදිස්සියේ සේවා ස්ථානයට වාර්තා කරන්න බැරිවීම දන්වන්වන්න, හදිසි නිවාඩුවක් ලබාගන්න ටෙලිග්‍රෑමයක් නැතිවම බැරි සේවාවක් විය.
ඒ වගේම ටෙලිග්‍රෑම් නිසා සිදුවෙන අකලංචි නැතිවා නොවේ, මේ එවැන්නක් ගැන කතාවක්:
ඉහළ අධ්‍යාපන ආයතනයක සිසු පිරිසක් විනෝද ගමනක් යොදාගත්තේ ඔවුන්ගේ නිවාඩු කාලයක. අද වගේ හැමෝම අතේ කැමරා නැති ඒ කාලයේ කැමරාව ගෙන එන්න මතක් කරන අදහසින් ඔවුන් දුර බැහැරක සිටි මිතුරාට ටෙලිග්‍රෑමයක් යැව්වා. එය ගෙදරට ආ වේලේ ඔහු ගෙදර නොවිය, ටෙලිග්‍රෑමය ඔහුගේ පියා අතට පත්විය. එය කඩා කියවූ තාත්තා පුතාට ගමන තහනම් කලේය. එකඟ වූ පරිදි කැමරාව ගෙනාපු නැති එක හා චාරිකාවට සහබාගී නොවීම ගැන මිතුරන් ඔහුට දොස් කියන්නට විය. ඔහු ටෙලිග්‍රෑමය පෙන්වන්නට විය.
වරද්දන්නේ නැතිව කමලාවත් අරන් වරෙන් යැයි එහි සඳහන් විය. කාටත් වරද පැහදිලි විය. ටෙලිග්‍රෑමය සටහන් කරගනිද්දි ඔපරේටර් විසින් කැමරාවත් කියන පද කමලාවත් කියා සටහන් වීම කල හදිය නිසා තම පියා තමන්ව අවිශ්වාස කරබවත් කෙතෙක් පැහැදිලි කරත් ඔහුට ඒත්තු ගන්වන්න බැරි වූ බවත් බොහෝ අසරණව කියන්නට විය.
කෙසේ නමුත් වසර 155ක් සමාජ මෙහෙවරක් ඉටු කර ලංකා ටෙලිග්‍රෑම් සේවාව 2013 ඔක්තෝබරයේ සිට අත් හිටුවන බව අදාල අමාත්‍යාංශ දැනුම් දුන්නා ඊට මාස කීපයකට කලින්.
Pic curtsy Sunday Observer