Wednesday, November 3, 2021

දීවාලි පහන් - Diwali Lights



දැන් දැන් ආලෝක සැරසිලි
පිරිලා ඇති කඩසාප්පුවල…
ඒ කාලේ උඹ ආවේ බරට බරේ 
රසකැවිලි පුරෝගෙන
හැම වාරෙම
ඉන් පෙට්ටියක් පොඩි දුවටත්
ඔතා දෙන...
කන්නෙ කොමෙයි රසකැවිලි
රාම රජු ගමන සිහිකර
අපි ඉතිං අනික් පැත්තේ
පරාද වුණ...
එනමුදු සමරන්නම්
ඔසු උයන උනාවැටුණ
කේසරි, ලඩ්ඩු තලුමරමින
මොනා කීවත් නුඹ නිහඬය
දැස් පුංචි කර සිනාසෙන...

අද නම් බැහැ
කේත වනේ වැළලෙන්න
ඉර අවරට යන්න කලින්
දුවන්න එපැයි
වාසනාව ගෙනෙන
රන් අභරණක් අරගන්න...

පඩිපත ගිලිහුණ මීනා
නුඹ අද දිල්ලියේ ද
එපා බොඳ වෙන්න
පුංචි තරුනෙතු අහිංසක
දිලිසෙන ලෝ පතුරක් නැතුවාට
වාසනා ගෙනේවා දීවාලි පහන් වැට...


සටහන:
තම රාජධානියේ හා වැසියන්ගේ අපල කාලයක් දුරුවීම උදෙසා සියලු රාජ සම්පත් අතැහැර වසර 14ක් තිස්සේ වනගතව සිට රාම රජුගේ නැවත සම්ප්‍රාප්තියේ ප්‍රීතියෙන් උද්දාමයට පත් භාරත වැසියන් පහන් වැට දල්වා නගර, ගම් දනව් ආලෝකමත් කර, රසකැවිලි බෙදාගෙන කමින්, ශබ්ද පූජාවන් පවත්වමින්, ගයමින්, නටමින්  උත්සවශ්‍රීයෙන් සමරා ඇත. ඉන් පසුව උදා වූයේ බොහෝම සශ්‍රීක, සෞභාග්‍යමත් කාලයක් වු බව හින්දු භක්තිකයින්ගේ පිළිගැනීමයි.

එම උත්සවය සැමරිම දීවාලි (diwali) උත්සවය හැටියට, හින්දු ආගමික දිනදසුනේ වැදගත් තැනක් ගනී. ලොව පුරා දීවාලී හැටියට හඳුන්වන එය තමිල් නාඩුවේ දීපාවලී (deepawali) ලෙස කියන අතර ඒ ආභාසයෙන් අපේ රටේ ද දීපාවලී (දමිළ බසින් තීපාවලී හැටියට ද කියන) උත්සවය වේ. දීවාලී හෙවත් දීපාවලී කියනුයේ ආලෝකමත් කර පහන් වැට කියන අරුතෙන්ය.

දීවාලී හෙවත් දීපාවලී උත්සවයේ විශේෂය වෙන්නේ නෙයෙකුත් රසකැවිලි වර්ග බෙදාගනිමින්, වීදි හා නිවෙස් ආලෝකමත් කිරීම වගේම රාත්‍රිය නිලා කූරු, රතිඤ්ඤා දල්වමින් ප්‍රීතිවීමය. තවද සෞභාග්යය සනිටුහන් කරමින් අලුත් රන් ආභරණයක් මිලදී ගැනීම ද  චාරිත්‍රයකි.

භාරත රාජ්යයේ රාම රජුගේ නැවත සම්ප්‍රාප්තිය කීවද එය අපේ ජනප්‍රවාදයේ එන රාම රාවණා කතා පුවත හා බැඳේ. රාම රජු වනගතව වසා ඇත්තේ ලංකාවේය, එවකට ලක්දිව රජකළ රාවණා රජු විසින් සිරකර  සිටි තම දේවිය සීතා ද නිදහස් කරගැනීමට යුද කර වානර හමුදාව ගැන කියවේ. යුද්ධයෙන් තුවාල ලැබූවන්ට බෙහෙත් කිරීමට හිමාල වනයෙන් ඔසු උයනක් උදුරාගෙන ආ හැටි කියවේ. මග වැරදී මුහුදෙන් ඔබ්බට ගමන්කර හනුමා හමුදාව ආපසු හැරී එද්දි අත්ලෙන් ලිස්සා හෙවත් උණා වැටුණ ඔසු උයනේ කොටසක් දකුණු දිග ලක් මුහුදු වෙරළේ පතිත වූ බවත් කියැවේ. එය ගාල්ල නගරය ආසන්නයේ පිහිටි උණවටුන නමින් ප්‍රසිද්ධ ප්‍රදේශය හැටියට සැලකේ. ගාල්ල වරාය දෙසින් පටන් ගෙන මුහුදට නෙරා ගිය රූමස්සල කන්ද ඔසු උයන උණා වැටීමෙන් හටගත් කොටසක් හැටියට ජනප්‍රවාදයේ කියැවේ. කෙසේ නමුත්, ලොව සුන්දර සොබාවික වරායන් වලින් එකක් වෙන ගාල්ලට මනරම් ආභරණයක් වෙන රූමස්සල කඳුවැටිය අදටත් ඉතා විරල ඖෂධ පැළෑටි වලින් ගහන වටිනා ඔසු උයනකි. ඕ එදා මුහුද කලතාගෙන ගෙඩට ඇදුන රුදුරු සුනාමි රළ පහරට උර දී අඩපණ කළා විය යුතුය, ඒ කුරිරු හිංසනය වළකාලන්නට බැරිව ලතවෙන්නට ඇති.

සුප්‍රසිද්ධ විදේස් ගුවන් සේවා සමාගමක IT අංශයේ විශේෂඥ සේවාවක යෙදී සිටි කාලයේ ලොව නන්දෙසින් පැමිණි බොහෝ පිරිසක් ඇසුරු කරන්න භාග්යය ලැබුණා. ඩූබායි නුවර හැම තැනම වගේ අපේ කණ්ඩායමේ ද වැඩිපුර සිටියේ ඉංදීය පිරිසකි. බොහෝම හිතවත් මිත්ර සමාගමක් මට විය, මානසිකව වඩාත් විඩාබර රැකියාවක යෙදී සිටි අපි පතුලටම බහින බැටරි චාජ් කරගත්තේ පුංචි සල්ලාපයක යෙදිලා, අපේම රටවල විස්තර කතා කරලා. ලංකාවේ දීපාවලි උත්සවය කැලන්ඩරයේ නිවාඩු දවසක් විතරක් බව දැනගෙන සිටි මට ඔවුන් දීවාලි ගැන බොහෝ දේ කියා දුන් අතර, අපේ පැත්තෙන් බොහෝ දේ කියා දෙන්නත් හැකි වුණා. ඒ හැම දෙයටම වඩා අප රට ගැන අප්‍රසන්න දේ පැතිර ගිය යුද සමයේ පොඩි පිරසක් අතරට හෝ හරි දෙය පැහැදිලි කරන්න අවස්ථාවක් ද ලැබුණා, උපතින් උරුම සුළු ජාතික ලේබලය මා සවිඥානව පාවිච්චි කර එකම එක විෂය එය විය.

කාලෙන් කාලයට ඉංදියන් විශ්ව ව්ද්‍යාල වලින් තෝරා ගන්නා නවක software engineers පිරිසක් අතර කෙනෙකු හැටියට අපේ කණ්ඩායමට මීනා එක්වුණා. IT ක්ෂේත්‍රයේ රැකියාවක සම්මත කාර්යාල වැඩමුර කාලසීමාවක් අනුගමනය කරන්න ලැබීම ඉතා විරලය. රැකියා ස්වභාවය එහෙම වුණ ද ඉංදීයනුවෝ රැකියාවට ඇති කැපවීම හා හැඩගැසීම අගේ කරයුතු  මට්ටමක ඇත. එරට උසස් අධ්‍යාපන ආයතන විසින් ඒ වෙනුවෙන් ලොකු කාර්යභාරයක් ඉටු කරනවා කියන්න පුළුවනි.

ලංකාවේ IT ක්ෂේත්රය ලොව පිළිගත්, ජාත්‍යන්තර මට්ටමකට යායුතු වෙන්නේ නම් වෙනසක් විය යුතු මුල්ම කරුණ 8-5 වැඩ මුර ක්‍රමයෙන් මිදී නම්ය වැඩමුර (flexible shift) ක්රමයට අනුගත වීමය. එය IT ක්ෂේත්රයට පමණක් නොව අනික් ක්ෂේත්‍රයන්ට ද අදාළ වේ.

ආගන්තුක වචන:
කේත වනේ: කොම්පියුටර් ප්‍රෝග්‍රෑම්/computer Program  හෙවත් කේත/code, කේත වනය/code jungle
කේසරි, ලඩ්ඩු: ඉන්දීය රසකැවිලි


7 comments:

  1. ඉන්දියාවෙ පොඩි උන්ට හිටං ටීවී චැනල් වල දාන එඩියුකේෂන් ඇඩ් වලින් පේනව උං පරිගණක පැත්තෙන් කොච්චර දියුණුවෙන්න හදනවද කියන එක.

    ReplyDelete
    Replies
    1. අපේ රට එයාලට කලින්ම මුල් පියවර තැබුවත්, අපි ක්‍රමවත්ව කලේ නැහැ. තවද එයාලට තියෙන මිනිස් ශ්‍රමය ලොකු සාධකයක්, අපේ රටේ මූලික ප්‍රශ්ණය කැපවීමක් නැහැ. ඉතිං කෝමෙයි තරඟ කරන්නේ.

      Delete
  2. මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "අංක 8 කැටපත් පවුර" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න!

    ReplyDelete
    Replies
    1. බොහෝමත්ම ස්තුතියි, ඒ උත්සාහයට සුබ පතමි. සින්ඩිය බ්ලොග් එකේ දිස්වෙන්න සලස්වන්නම්.

      Delete
    2. කරුණාකර සඳකඩපහන URL ලබා දෙන්න

      Delete