Monday, November 17, 2014

පැතුම


තුතිය 
සොබා මවුණී
තුරුලට ගෙන දයාවෙන්
පුංචි වියළි බිජුවක
මුල් වැඩුව
පාදා දෙපත් කොළ කෙරුව
මොළකැටි කඳ
අතු ඉති රිකිලි කර හැඩ කෙරුව
රේණු නටන සුවඳ හමන
හැඩ මල් අතු අග තැබුව...

මීමැසි ගුමු ගුමුව 
බඹර රූං නද වැයුවා
පැනිකුරුල්ලන් රඟ දුන්නා
සමනොළ චාමර සැලුවා
තුඩඟින් රොන් ගෙන පියාසැලුවා
සුමුදු වත්සුණු සොරාගෙන
නෑගම් ගියා
පාට කුංකුම තිලකෙ තියා…

අතු අග පිපුණා
බරවි වැඩුණා
පැහැයෙන් දිලුනා
සුවඳත් හැමුවා
ලේනුන් එළවා සියොතුන් ඇදුණා
අතු ඉති සිඳලා නෙලාගෙන ගියා
රිදුමන් වින්ඳා
තුටුකැන් දැකලා විඳගෙන උන්නා
මවුනි උන් නුඹේ හින්දා...

සලා කොළ වඩා ළා දළු
සරසා මලින් අතු
පල බර වුණා  
සිව් සමයේ රැක
මව් සෙනේහසින්...

වසත් කල ගෙවුණා
සුවඳ මල් පොහොට්ටු  නැත
අතු අග බර වෙන්න
දෙන්නට නන් නද
රෑනින් ඒවිද...

කට්ට කාෂ්ටක අව්ව විඳ විඳ
ඉරිතැලුන පොත්ත පෑරුණ 
වට වටා වැඩී මේරුණ කඳේ
ඉරි රටා අතර සැඟවුන
නව දළු රිකිල්ල
වරම් යදිනවා
කඳ පාමුලින් මතුවෙන්නට
වැඩෙන්නට වි නව අත්තක්...

නිමිත්ත: වියපත්ව තනිවෙච්ච කලකට පෙර සරුසාර ගහක්
~~~oOo~~~

කොරල් පර වලට චණ්ඩ රළ අමුතු දෙයක් නෙවෙයි. විටෙක ගොඩබිමෙන් මුදා හරින කුණුකන්දල් අරන් යන මහ රළ පෙරළා ඒවා ආපහු අරගෙන ඇවිත් වනසන්නේ මේ පුංචි ලෝකයේ බහුතරය වසා සිටින සුවිසල් සාගර ජලය හා උස් මිටි තැන් වලින් අඩුවක් නැති කඳු, තැනි, පාතාල, අගල් වලින් පිරුණ පූඑත්ළලයත් අතර හැඩ කරන  වෙරළ තීරයයි. එදෙස මෙදෙස රැල්ලේ ඇදෙන කුණු රොඩු කොරල් පර වල පැටලෙනවා. ගල්මල් අඩවියට ද  මෙය අමුත්තක් නොවිය, පැටලෙන කුණු මූදු රළ ම අරන් ගියාවේ, නැත්නම් දිරාපත් වුනවේ කියා නොසලකා හැරියා. එහෙත් සහෘද බ්ලොග් සටහනකට, ෆේස්බුක් මිතුරු පොස්ටුවක මවිසින් කරන කොමන්ටුවක් පවා බොහෝම පහත් නිරස ඊමෙල් හා කොමන්ට් ප්‍රහරවලට මුල් වුණා.

තවත් එක් සිරකරුවෙක් කථාවෙන් උත්සාහ ගත්තේ මැදපෙරදිග රැකියාවේ අඳුරු පැතිකඩ පෙන්වීම වගේම අපේම තානාපති සේවයකින් පවා පිහිටක් නොලැබ අසරණවිම ගෙන හැර දැක්වීමයි. අරාබී ජාතිකයාගේ පරිත්‍යාගය ඉස්මතුකරන්නට කතාව පැත්තක් ගත් චෝදනාව එල්ල විය. දානපතීන්ගේ පරිත්‍යාග උපයෝගී කරගෙන අසරණයින්ට පිහිට වෙන අනෙකුත් රටවල තානාපති සේවාවන්, ස්වේච්ඡා සංවිධාන වෙතත් අපේම තානාපති අංශයෙන් පවා සිරිජයන්ත වැනි අයට එසේ පිහිටක් නොවෙනේ මන්දැයි යන ප්‍රශ්න, චෝදනා කරන අය අමෝරා ගෙන එන බෝඩ් ලේබල් වලට වැහී අන්ධ කරනවා වෙන්න ඇති.

බ්ලොග් ලිවීම කලාවක්, නිදහස් හිතකින් කල යුතු කාරියක් හැටියටයි මම සලකන්නේ. මා අතින් ලියන දෙයකින් අකටයුත්තක් නොවෙන්න නිතරම උත්සාහ ගන්නවා. ඒ නිසා කාලයාට ඉඩ දී පොඩි විරාමයක් ගත්තා, එය ලේසි දෙයක් නොවුන ද ආයෙ පටන් ගැන්ම ඊටත් වඩා අමාරු දෙයක් වුණා.

මගේ ලිවීමේදී සිදුවන වැරදි පෙන්වා දීම මා බොහෝ අගේ කරනවා වගේම භාර ගන්නේ ස්තුති පූර්වකව.

මේ නිහඬ කාලයේ දී ද විටින් විට මා ගැන හොයා බලන්න තරම් කාරුණික වූ සැමටත් බොහෝමත්ම ස්තුතියි.

(මේ සටහන නිමිත්ත හා සම්බන්ද නැත)

12 comments:

  1. ස්තුතියි ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ඔබට ද බොහෝමත්ම ස්තුතියි

      Delete
  2. දිගු කාලයකට පසු නැවත පැමිනීම අගය කරනවා.
    නව දළු රිකිල්ල මහා වෘක්ෂයක් බවට පත්වේවා !

    ReplyDelete
    Replies
    1. ඔබේ සටහන කවදත් දිරියකි ප්‍රසන්න, බොහෝමත්ම ස්තුතියි.

      Delete
  3. සෑහෙන කාලෙකට පස්සේ ඇවිත් තියෙන්නේ... ජය වේවා !
    දිගටම ලියමු ඈ..

    ReplyDelete
    Replies
    1. ඔව් ලියමු. බොහෝම ස්තුතියි ඔබට.

      Delete
  4. ජීවිතයේ කටුක තිත්ත ඇත්ත මෙතරම් සුමුදුව ඉදිරිපත් කරන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. ඒ අපේ බාසාවේ සුන්දරත්වය නේද? ඔබේ සටහනට බොහෝම ස්තුතියි.

      Delete
  5. කාලෙකින් ඩීන් අයියව ආයෙත් දකින්න ලැබීම සතුටක්... බුරන ඒවා ගැන තැවෙන්න යන්න එපා... ආයෙත් ලියමු අර සුපුරුදු පොඩි පොඩි කවි... සහ කතා.... අපි එනවා කියවන්න...

    ජය !

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි සෙන්නා, කික් ස්ටාර්ට් ලේසි නැහැ

      Delete
  6. සටහන කියව්වෙ දැන්. සියළු ගල් ප්‍රහාර, ඔබ අභිමුවේ මල් වේවා

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි නංගී.
      සිත් තුල මෙත් මල් පිපේවා!

      Delete