Monday, August 30, 2010

තව කාසියක්


යන්තරේ රළු රෝල අතරින්
ඇදෙන උක්දඬු එකිනෙක
තැලී පොඩිවී තෙරෙපී
බිඳෙන් බිඳ යුෂ සරිකර
විසිවෙන හපය කුමට ද
පැණි බඳුන් වඩී නම්...

ගැහැට විඳ ගෙන සොච්චම
වක්කර කට පලල් පුනීලයේ
පුරවන තඩි බරණියේ බරට
රට කහවණු ගනින නුවරුනට
කුමට ද නුඹේ සෝකාලාපය
ඉල්ලයි එවුන් තව කාසියක්

නුඹේ සෝසුසුම් දෝ
ගිනි පිඹින්නේ කතරේ
සොයුරියේ...

සටහන:
විදේශ රැකියාවල නිරත ලාංකිකයින්ගේ සංඛ්‍යාව මිලියන 1.8 ක් වෙන බව මෑතක පලවූ පුවත්පත් වාර්තාවල දැක්විනි. ඉන් 70% ක්ම කාන්තාවන් බවත්, බහුතරයක් මැදපෙරදිග රටවල සේවය කරන බවයි සඳහන් වෙන්නේ.

වර්තාවලට අනුව විදේශ රැකියාවේ නියුතු ලාංකිකයින් විසින් රටට උපයා දුන් විදේශ විනිමය ප්‍රමාණය මෙසේය (මුදල් ඒකකය ඇමෙරිකානු ඩොලර්):

වසර 1999 දී බිලියන 1.0
වසර 2002 දී බිලියන 1.3
වසර 2008 දී බිලියන 2.9
වසර 2009 දී බිලියන 3.3

මෙමස (අගෝස්තු-2010) මුලදී පලවූ වාර්තාවක් අනුව 2010 වසරේ පලමු මාස හතර අතුලත දී බිලියන 1.2 ක් වූ බවත් එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 14% කට වඩා වර්ධනයක් පෙන්නුම් කරන බවත් කියැවේ. 2010 වසරේ අපේක්ෂිත ආදායම බිලියන 4 කි.

මෙම ආදායම් මාර්ගය 2020 වසර වෙන විට බිලියන 10 දක්වා වර්ධනයක් ලබන්නට රජය ඉලක්ක කරයි.

මූලාශ්‍රය:
http://gulfnews.com/news/gulf/saudi-arabia/sri-lankan-maid-gives-details-of-abuse-in-saudi-arabia-1.674259
http://www.thesundayleader.lk/2010/08/01/war-end-increases-remittances/
http://www.nation.lk/2010/06/20/busi3.htm

ප.ලි:
මහා පරිමාණ උක් කර්මාන්තයේ යුෂ/පැණි අරන් ඉවතලන උක් රොඩු (හපය) හෙවත් bagasse ("baa-gas") හි අඩංගු වෙන සෙලියුලෝස් කෙඳි පරිසර-හිතකර කෑම අසුරන හා වරක් පාවිච්චිකර ඉවතලන (Disposable) කෑම බඳුන් ආදිය නිෂ්පාදනයට යොදා ගනී.

Friday, August 27, 2010

දිය කෙළිය


රළු රළ නැග එන බැස යන
උන් කෙළිති දිය මත තුටින් එල්ලෙමින

බුර බුරා විදිමින වියතින් වියත උස්වෙන
උනට කෙළිති දිය යට කර වලලමින

සටහන:
දකුණත පැත්තේ ඉහල ඡායා රූපයෙන් දැක්වෙන්නේ කැරීබියානු දූපතක සාගර රළ මත විනෝද වෙන විදේශ සංචාරකයින් පිරිසකි.

අනෙක් ඡායා රූපයෙන් දැක්වෙන්නේ දැඩි ගංවතුරින් යටවූ පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ පෙදෙසකි. සොබාදහමේ ආශීර්වාදය ලබමින් ගොවිතැනින් ජීවත් වූ ඔවුන්, උරන වූ ජලකඳ සමඟ ඔට්ටු අල්ලයි - ජීවිත බේරාගන්නට.

ඇති හැකි බලවතුන් වනසන සොබාදහමට අසරණයින් ගෙවන තවත් වන්දියක් ද?නැතිනම් සොබාදහමේ තවත් ප්‍රකෝපකාරී බැල්මක්ද?

Monday, August 23, 2010

කෝච්චිය


කවුරුවත් ඇතිරූ පාරක
වේගයෙන් දුවන එන්ජිම
අමුණා ගත් මැදිරි පේලිය
පටවාගෙන සෙනඟ රිසි ලෙස
ඇදෙති ඉස්සරහට
නගා හූ හඬ
පිරිමැද යකඩ පීලි දෙක
සවි කල සිල්පර කොට උඩ
තලා පොඩිකර ගැල් කැට...

විසිරුණ ගල් පාත්තිය සරිකර
ඇණ මුරිච්චි තද කර
යෝධ යතුර කුළු ගෙඩිය
කරපින්නා ගෙන
ලයින්මෑන් පයින් ලුහුබඳි
ඊලඟ කෝච්චියට
මඟ පාදන්නට...

Tuesday, August 17, 2010

නන්දුට රෙස්ට්


අහස උසට නැගුන
සුවිසල් මහල් අතර
රැදුන කුණු බක්කි

කම්බි කොක්කෙන් විපරම් කර
ඇදලා ගත්තේ
හිස් ඇලුමිනියම් කෑන්
කරාච්චියේ ඛාන්

වැටුනොත් කාඩ්බෝඩ් කෑල්ලක්
කිලෝමීටර් ගානක ඉවෙන් ඇවිත්
එක්තු කරගත්තෙ
බංගාලි නුවර සයිබු

කන්දෙපලට තරම් සිනාව රැන්දු මූණ
තැන තැන පැද හීරෝ බයිසිකලය
ප්ලාස්ටික් කැල්ලක් ඉතිරි නොකර
අහුලා ගත්තෙ ගුජරාතේ නන්දු

හමන දුගඳ වලකන්න
පරිසරය රැකගන්න
නව පන්නයෙ කුණු බක්කි
ඉදිවිය පෙලොව යට

පලාතම අපූරුයි ලස්සනයි
නැහැ නොවැ කුණු ලොරියෙ කරදරය
අලුත් ක්‍රමය වැඩ පටන්
පරණ බක්කි හිස්

පුංචි කවුළුවකින් වැටෙන කුණු
කැබලිවී වැටෙයි ඇතුලට
හයිඩ්‍රොලික් ක්‍රමයට පාලනය
අලුත් කුණු ලොරිය එන්නෙ ඉඳහිට

සීතල රශ්ණය දූවිලි කුණාටු
කිසිවකට හිස නවාපු නැති
දාඩියෙන් අදුම් පෙඟුන
අවුරුදු ගානක් නිවාඩු දා උදේ
දකින ඛාන් කෝ අද

කෑන් කල කෑම බීම
අහක දාන පත්තර කාඩ්බෝඩ්
අඩුවක් නැති නිසා ඛාන්ලා, සයිබුලා
දිවිගැට ගහගනීවි

කුණු බක්කිය හයි-ටෙක්
නන්දුට රෙස්ට්
නන්දුට මුවාවූ දයාපාලලා දීරසේනලා
ගනේෂ්ලා නැතිව නොවේ

සටහන:
මෙ පදවැල මැදපෙරදිග නගරයක සත්‍ය සිද්ධියක් මුල්කරගෙන කරන ලද්දකි. එනමුත් චරිතයන්හි නම් පමණක් වෙනසක් කර ඇත.

නිර්මාණය ඉවතලන කසල රැස් කරනා කුණු බක්කිය වටා ගෙතුනද කතාවස්තුව ගෙනහැර දක්වන් චරිත සෝචනීය පැතිකඩක් ගැන කියාපන්නේ නැද්ද?

ඔවුන් කුණු බක්කිය හාරා අවුස්සමින් එකතු කරන හිස් ඇලුමිනියම් කෑන්, කාඩ්බෝඩ්, පරණ පත්තර, ප්ලාස්ටික් නිෂ්පාදන ආදියෙන් ජීවත් වෙති. මෙ ඉවතලන දෑ රිසයිකල් කිරීමේ (ප්‍රතිචක්‍රකරණයේ) යෙදෙන ආයතන උපයෝගී කරගනී.

එකතු කරන්නන් කොටස් දෙකකි. රිසයිකල් කිරීමේ ආයතන හා ඒවාට සැපයුම් කරන ආයතන ඉවතලන අපද්‍රවය එක් කිරීම සඳහා පිරිස (නුපුහුණු කම්කරුවන්) සේවයේ යොදවාගනී. ඔවුන් ගෙවන ජීවිතයේ කටුකත්වය ලියන්න වචන මදිය.

අනෙක් කොටස වෙනත් රැකියාවන්වල යෙදෙමින් අමතර ආදායමක් ඉපයීමේ අරමුණින් කුණු බක්කි අවුස්සන අයවලුන්ය. මොවුන් රැස් කරන කොටස අනුව ලැබෙන මුදල නිසාම වෙහෙසෙති වෙලාවක්, පරිසර තත්වයන් ආදිය නොතකාම.

ඔවුන් මෙවන් දුෂ්කර ක්‍රියාවක් කරන්නේ දහසකුත් බලාපොරත්තු කරපින්නා ගෙන බව සැකයක් නැත. ඔවුන්ගේ දහඩිය කීදෙනෙකුගේ කුසගින්න පුරවනවා අද්ද? ඔවුන් මෙවන් දුකක් විඳින බව ඔවුන්ගේම ඈයෝ දනවාද සැකයකි. ඒත් අනුන්ට බරක් නොවී මහන්සියෙන් ලොකු බරක් ඇදගෙන යන්නෝ නොවෙත්ද?

මෙවන් පිරිස ඉන්දියාව, පකිස්තනය, බංගලිදේශය, නේපාලය හා ලංකාව වැනි ආසියාතික රටවලින් ආ අසරණයින් පිරිසකි. සුවපහසුවේ හිඳිමින් මොවුන් දෙස බලා සුසුමක් පිට කිරීම හැර වෙන කරන්න දෙයක් නැත.

ඒත් සති තුනක පමණ සිට ඔවුන් දකින්නට නැත, ඔවුන් දෙස වේදනාවෙන් බැලූ දෙනෙත සමඟ කීරිගාන සිත තරඟ කරයි මට හිතේ.

අපිත් අසරණයි නන්දු...


පළමු පල කිරීම: 24-02-2010

Sunday, August 8, 2010

සමාවෙයන් පුතුනේ


හතේ කණිසමට අඩ හෝරාවකි
උදේ හිරුත් සැරින් රවනා බැලුම්
ගතේ දහඩියෙන් තෙතබරිතව
තත්පර කටුව ලුහුබැඳ දෑත් විසිකර
ටිකක් ඇඟ සොලවා ලහි ලහියේ
දුවනා අඩිපාරේ

වංගුව දෙක ගෙන තාලෙට රූං හඬ දෙන
ඉඳ හිට වේගය අඩුකර හන්දියේ නවතින
ගොරවමින් පණගෙන පිම්මේ දුවන
රටාවට බිම් ගඩෝල් ඇතිරූ තීරුවේ
බන්ඩි ගැහුන වියැලුන දෙබල් අත්තක්
දෑතින් අතුල්ලාගෙන
සීරුවෙන් ඇදෙන පොඩ්ඩෙක්

සෙමින් ලංවී විමසුවෙමි වන්ඩිය ගැන
තෙජසින් කීවා හාලි ඩෙවිඩ්සන් බව
වයසක ආච්චි සෙනෙහසින් රැලි වැඩිකර මුව
සිම්ඹා කවට කොලු පොඩ්ඩා ලං කර

වියලි පේර අත්තක් දෑතින් ගෙන
ගර්..ර් හඬ මුවින් මතුකර
ගල්කැට ගැලවුන වල පිරුණ
පටු තාර පාරේ අතුල්ලාගෙන ගිය
බාලේ අත් ට්‍රැක්ටරය සිහිවිය...

කොස් කොල ඔටුන්න කුරුම්බැට්ටි මැසිම
පොල්පිති ටිකියා පුවක්පට්ට වාහනේ
නුඹට අහිමි වුනේ මට ජය කැන්දූ දැණුම
අප සිරකල හින්ද නොවෙද එක්ටැම් ගෙයක
සමාවෙයන් මගේ පුතුනේ!