Friday, June 28, 2013

වියපත් තොටියා (Journey…)



ඉහළට වහී
ගඟ දිය බොරයි
සුළි වට කැරකේ
රැළි දී ගලයි
ඉවුරු පාළුය
එගොඩ මෙගොඩ වූ අය බෝ'දුර
තනි වූ ඔරුකඳ
කුඹුක් සෙවණේ කණ්ඩියේ...
උඩුගං යන්නට
හබල සවි ද මන්දා
ගඟ දිය දිගේ
පහළට පදිනවා
අද හෙට නැතිවෙන
ගඟබඩ අසිරිය විඳිමින...
කඩොලානේ පඳුරු අතර
කුරුලු කිචිබිචිය කෑකෝවකට හැරෙන්නේ
තිත්ත පැටවුණේ ඇයි මඟ අහුරන්නේ
ඔරුකඳ හනි හනිකට පහළට ඇදෙන්නේ
මොනවා!
මෝය කට පාදලා
ගං දිය වැරෙන් මුහුදට ඇරෙන්නේ
ඈත කදුරු අත්තක් අත වනන්නේ...

15 comments:

  1. හැමෝම එගොඩ කරල තනිවිච්ච මිනිහට කාගෙවත් පිහිටක් නැද්ද.

    ReplyDelete
    Replies
    1. එගොඩ කරන්නම ජීවත් වෙන මිනිස්සු... සොබාදහමින් පිහිටක් වුනොත් මිසක්...

      Delete
  2. අර්ථ නම් එමටයි.. පද පේලි ගැලපීම අපුරුයි. දොසක් කියන්නට නොමැත..

    ReplyDelete
    Replies
    1. ඔබේ විමසුමට බොහෝම ස්තුතියි, නිර්මාණයක ගුණ දොස් පොන්වාදීම බොහෝ සේ අගයනවා.

      පදපේළියන් අරුත් ගනනාවක් මතුවෙනවා ගොඩාක් සතුටුයි.

      Delete
  3. ම්ම්, උඩුගං බලා යාම අත හැර, පොදු ජීවන රටාවටම එක් වුණහම, එතනත් අනතුරක්

    ReplyDelete
    Replies
    1. සොබාදහම කිරා මැන යන ගමන සොබාවික නොවන සාධකයක් නිසා ඇතිවෙන විපැත්තියක්...

      Delete
  4. ජීවිතේ බර ඇද ගිම් නිවන තොටියෙක් එතෙර වෙයි ද ගං දෑලින්. සිහිකරමින් වෙනස් වෙන ගඟ දෙපස කාලයේ අරුමය!

    ReplyDelete
    Replies
    1. ගඟ ජීවිතය වූ, දියවැල් දියසුළි ජයගත් මිනිහාගේ ඉරණම සොබාවික නොවන (මෝය කට පෑදීම) කාරණයකින් ඇතිවෙන දියවැලකින් වෙනස් වෙන හැටි... දුබල කදුරු අත්තෙන් වෙනසක් වුනා නම්...

      ප.ලි: පහුගිය ටිකේ දකින්නට වූ දුෂ්කර පරිසර තත්වයන් ගෙන් මතුවූ සිතුවිල්ලක්

      Delete
  5. උඩුගං බලා යන්න ආසයි. ඒත් දෙනවද ඉඩ ඊට සමාජය කියන මේ බැම්ම.
    Samakaya Wate නලින්

    ReplyDelete
    Replies
    1. ඒකට නම් ලැබෙන ඉඩ අඩුයි, නිදහසේ පහළට ගලන්නත් ලේසි නැහැ මොකද ජීවන ගඟ හරස් කර වේලි අකලට ඇරෙන/වැහෙන සොරොව්, අනපේක්ෂිතව පෑදෙන මෝය කට (එහෙම නොපෑදුවොත් මෝය අසල ඔවුන්ට ජල ගැලීම්).

      ඒත් අවැසි හැටියට ඉහළ පහළ පදිමු ගඟේ...

      Delete
  6. සුපුරුදු පරිදි තේරුන්නෑ ඩීන් අයියා..

    ReplyDelete
    Replies
    1. ගඟ සැඩ වෙලා. ඔරු කඳ කුඹුක් ගහ යට කණ්ඩියට කරලා නවත්වලා ඉන්න තොටියාට එහෙම ඉඳලා පුරුද්දක් නැහැ. ගංඟේ ඉවුරු අතර බොහෝ දෙනෙකු එතෙර මෙතෙර කර මහළු තොටියාට දැනෙන්නේ පාළුවක්, තනිකමක් මුසුවුන වේදනාවක්, කම්මැළිකමක්. ඉහළින් එන සැර වතුර පාර කපාගෙන උඩහට පදින්න තම අත ඇති හබල හයිය ද කියලා පසුබෑමට ලක්වෙන තොටියා ගං දිය පාර එක්ක පහළට පදින්නේ ගඟ දෙපස (කඩෝලානේ) සිරිය බලමින්. ඔහු කුරුළු නද විඳිනවා, මාළු පැටවුන්ගේ දඟය බලනවා. ගඟබඩ පරිසරයට බැඳි ඔහු හා ගොඩ දිය සතුන් ද එකතුයි, හැම දෙයම එක්ක නැතිවෙන පරිසරය ගැන ලතැවෙමින් පහළට පදිනවා. කුරුල්ලෝ මොර දෙන්න පටන් ගන්නවා. තිත්ත පැටව් ඔරුව හරස් කරන අතර බණ්ඩි පැටව් හැංගිලා, වින්නැහියක් ගැන දැනිලා. ඔහුට ඒ වගක් නැහැ, ගලන දියපාර ඔහුව පහළට අරන් යනවා. දියපාර සැරවෙනවා දැනෙද්දි ඔහු දකිනවා ඈත මිනිසුන් එකතුවෙලා මෝය කට කපනවා. මහළු ඔහුට කර කියා ගත හැකි දෙයක් නැහැ ජල කඳ වේගයෙන් මුහුදට ඇදෙනවා... කඩොලානේ දුබල කදුරු අත්තක් ඔහුගේ නෙත ගැටෙනවා...

      ගඟේ හැම තත්වයක් පවා ජයගත්, යායුතු අය පරිස්සමෙන් එගොඩ මෙගොඩ කර තොටියා තොටුපලේ - මහළුව හුදෙකලාවෙලා. සොබාදහමට ඇළුම කළ මිනිහා, සොබාදහම හරියට කියෙව්වා වෙන්න පුළුවන් අනතුරු මුඛයට පත්වෙන්නේ අනපේක්ෂිත ස්වබාවික නොවන හේතුවකින්...

      සෙන්නා අත්දැකීම් ගොඩාක් ඇති කෙනෙක්, දේශක යා සඳහන් කර වගේ තේරුම් ගොඩාක් දැනෙන්න පුළුවන්.

      Delete
    2. ෂාඃ.... හරිම අපූරුයි නොවැ.. ස්තූතියි ඩීන් අයියා..

      Delete
  7. අදහස් පල නොකලත් කියවලා යමි.

    -මන්දාකිණි-

    ReplyDelete
    Replies
    1. එය ද සතුටකි, බොහෝමත්ම ස්තුතියි.

      Delete