Tuesday, February 22, 2011

කැරපොත්තෝ


කොත්තමල්ලි ඇටයක්වන් කරබාගත් ඔළු පුංච
ඕනෑ දෙයක් කන්න පුලුවන් මුව පොන්ච
දෙපැත්තෙ පොකුරු ඇස් පොඩි දෙක
හෙල්මට් එකෙන් වහගෙන
දිගැටි ඇන්ටෙනා දෙපලත් දාගෙන...

දිඟටි ඇඟ උස්සාගෙන
පා යුග තුනෙන් වෙඩිල්ල වගේ දුවන්නෙ
ඕනෑම ඉමර්ජන්සියකදි කොට පෙරපා යුගලින්
බ්‍රේක් ගහලා යූ-ටර්න් ගන්නේ අපූරුවට...

ඇඟ වසා ඇති ඝණ ඉටි පොත්ත
නුඹව බේරගන්නෙ පුදුම විදියට
ජිවිත කාලයේ කීපවරක්ම
ඒක ගලවලා මාරුකරගන්නෙ
ඇඟටත් නොතේරෙන සීරුවෙන්
හැබයි පොත්ත ගැලවුනාම
නුඹව බලන්න දුකයි
අළුත් හමේ ඉටි රතු පාට වෙනකම්...

නුඹට කොන්දක් නැති වාසනාවට
බෙල්ල ගියත් ටිකක් ජීවත්වෙන්න පුලුවන්ලු
ඒ ස්නායු පද්ධතිය ඔළුවෙන් පිට හින්දාලු
අනේ මන්දා...

නුඹේ පා කෙලවර පිහිටි ඇලෙන සුලු විශේෂක් නිසා
රළු ජරා ගොඩකත්
මටසිලිටු තැනකත්
සීලිමක යටිකුරුවත්
නුඹට ගමන් කරන්න පුලුවන්ලු
නිච්චියටම සීරුවෙන්...

කන ඕනෑම දෙයක් ජීරණය වෙන්නෙ
නුඹේ විශේෂ බ්ලෙන්ඩරය - ගොජුර දෙන
සපොර්ට් එකෙන්...

නුඹට අස් පොකුරු තියෙන නිසා හරි ෆෝකස් එකක් නැතිලු
නුඹට පෙන්නෙ බොඳ වෙච්චි ඡායාව විතරක් ලු
එහෙව් එකේ නුඹ ඇන්ටෙනා පාවිච්චි කරලා
බුද්ධිමත්ව එතැන මෙතැන මාරු වෙන ලස්සන
අපූරුයි...

අත්‍රොපෝඩා වංශයට අයිති ඉන්ටෙලිජන්ට් නුඹ
කොහොමද ඥාති වෙන්නෙ මිනිස් වංශයේ
සමහර හොමෝ සාපියන්ලාට
කියාපන් කැරපොත්තෝ...


පසුගිය වසරේ පෙබරවාරි වල ලියූවක්; සුළු වෙනස්කිරීම් කිහිපයක් කර බ්ලොග් එකට ගෙනාවා

Wednesday, February 16, 2011

රනිල කුලේ නිදිකුම්බා


කඩිසර ලොව නුඹ නිදියන
බුදියන ලොව නුඹ බැබලෙන
කුලෑටි හින්දද ඔහේ ගුලිවෙන
රනිල කුලේ නිදිකුම්බා නුඹ

වටා පිටාවෙන් වා අරගෙන
මුලේ ගැටති හවුල් කරගෙන
පස සරුකරන නයිට්‍රජන් දෙන
එපා හදන්නට හිනා වායුව නුඹ

අඩක්වත් පිරිනැති කුස අහරින
දෑතින් බදාගෙන හිනාවෙන
වාරු නැති උන් වියරු වැටුන
ගැලුවා නම් ඉතිරිවේද පඳුරේ නුඹ


නිදිකුම්බා පඳුර ගැන පදපෙල ලියන අතර එම ශාඛ විශේෂය හා සම්බන්ධ තවත් කරුණු පෙලක් මතකයට ඇදි ආවා.
  • පොලෝ පසේ සරුසාර බව රැකෙන්න නයිට්‍රජන් අවශ්‍ය කරයි
  • පෘථිවි වායුගෝලයේ 75%කට වඩා නයිට්‍රජන් අඩංගුවේ
  • එහෙත් වායුගෝලීය නයිට්‍රජන් කෙලින්ම පසට ලබා ගැනීමේ හැකියාවක් නැත
  • රනිල කුලයේ පැලෑටි හැටියට ගැනෙන පරිප්පු, කව්පි, මුං, ආදී දෙපියළි සහිත ධාන්‍ය බෝග (Legumes) හා නිදිකුම්බා පඳුරු වායුගෝලීය වාතය උරාගෙන ඉන් පසට වැඩදායී නයිට්‍රජන් ලබාදෙන හැකියාවකින් සමන්විතයි
  • එම පැලවල මුලේ ඇති ගැටිතිවල වැඩෙන බැක්ටීරියා විශේෂයක් (Rhizobium bacteria) මේ කර්තව්‍යය ඉටුකරයි
  • ඒ අනුව පසට නයිට්‍රජන් සපයන ප්‍රධාන මූලාශ්‍රය වායුගෝලය යැයි කිව හැකිය
  • තවද වර්ෂා ජලයේ දියවිමෙන් යම් ප්‍රමාණයක වායුගෝලීය නයිට්‍රජන් ද දිරාපත්වී පසට එක්වෙන ගස්කොලන් හා සත්ව කොටස් වලින් ද, පසට නයිට්‍රජන් එකතුවේ
නිදිකුම්බා පඳුරේ හැකිලෙන-දිගහැරෙන ස්වභාවය නිසා නෙයෙක් භාෂා වලින් නිදිකුම්බා පැලය සංවේදී පැලය, ලැජ්ජාශීලී පැලය කියන නම් දී තියෙන අතර උද්භිද විද්‍යාත්මක නම මිමෝසා පුඩිකා (Mimosa Pudica - සංවේදී පැලය යන අරුත) වේ. දෙමළ බසින් තොට්ටා සිනින්ගි (Thotta-siningi) යැයි කියන බව ලඟකදී දැන ගත් නමුත් අපේ ගම් පලාතේ කතාකරන දෙමළින් කියන්නේ තොට්ටාල් වාඩි (ඇල්ලුවෙත් මැලවෙන කියන අරුත) කියාය.
නිදිකුම්බා පැලය ගැන වැඩි විස්තර පහත දී ඇති සැබැඳි වලින් කියවන්න පුලුවනි.
කලබලයක දී ලැජ්ජාශීලීව ගුලිවෙන, වටාපිටාව නිසසල වෙද්දී ඔදතෙද දක්වා වැජඹෙන කටු පිරුන නිදිකුම්බා පඳුරු... පොලෝ පසට නයිට්‍රජන් වෙනුවට හිනා වායුව කියා ප්‍රසිද්ධ නයිට්‍රස් ඔක්සයිඩ් නිපද වූවහොත්... මොනවා වෙන්න පුලුවන්ද හිතුන වෙලාවක ලියපු පදපෙලක්.
කවදත් වගේ පදපෙල ගැන ඔබේ අදහස් සටහන් කරලා යන්න...

Friday, February 11, 2011

වේයා

ගමන්මලු පොදි දෙකත් අත්බෑගයත් ට්‍රොලියේම තියලා තල්ලු කරගෙන ගේට්ටුවෙන් එලියට ආවත් ඊලඟට කල යුතු දේ ගැන පැහැදිලි අදහසක් ජයන්තට නොවිය. හයර් අල්ල ගන්න දඟලන වාහනකාරයින් ගෙන් ගැලවීමක් නොවිය. අවුරුදු ගානක් පිටරට ඉඳලා එන පවුලේ අය දැකගන්න බලාපොරොත්තු පුරවාගත් ඇස් බලා ඉන්න හැටි දකිද්දි ජයන්තගේ හිත දැවී යනවා වගේ දැනුනා.

"ජයන්ත කොහොමද යන්නේ..." කඩිසර ගමනින් පිටුපසින් ආ ප්‍රනාන්දු උරහිසට තට්ටුකරමින් ඇහුවා.

මට දෙන්න උත්තරයක් නොවිය.

"අපේ මල්ලි වාහනයක් අරන් ඇවිත් ඇති, අපි හොරේතුඩුවටනේ යන්නේ. ජයන්තව මාතර බස් එකට දාන්න පුලුවන්."

"බොහෝම ස්තුතියි මිස්ට ප්‍රනාන්දු."

පැය බාගයක් තරම් කොටි වෙලාවක් කතාකරලා මේ මනුස්සයා මාව බොහෝ දුරට තේරුම් අරන් ඇති හැටි. ඔහු කඩිසර තරුණයෙක්, දෝහා එයර්පොට් එකේ දී හම්බවෙල අඳුනා ගත්තේ. අවුරුද්දකට වරක් නිවාඩුවට එනවා කිව්වා. එයා වගේම කුළුපඟ තරුණයෙක් ඉස්සරහට ඇවිත් ප්‍රනාන්දු තල්ලු කරගෙන ආ ට්‍රොලිය ඉල්ලා ගත්තා.

"මල්ලී, මේ මිස්ට ජයන්ත."

උත්සාහයෙන් නගාගත් හිනාවකින් ජයන්ත උත්තර දුන්නා.

"මෙයා මාතර, අපි මෙයාව බස් එකට දාගෙන යමු."

"අයියගේ බෑග් දෙකත් මේ ට්‍රොලියට ම දාන්න. වාහනේ පාක් කරලා තියෙන්නේ ටිකක් ඈතින්."

"නෑ මල්ලී මේක එච්චර බරක් නැහැ, මට උස්සාගෙන එන්න පුලුවන්. යං."

"මල්ලී, අපිට පුලුවන් නේද මිස්ට ජයන්තව පෙටාවලින් මාතර බස් එකකට දාන්න."

"අයියේ..."

"ඇයි?" යමක් කියන්න උත්සාහ කල මල්ලීව වලකමින් ප්‍රනාන්දු ඉක්මන් විය.

"ලොකු අයියාට වාහනය ඕනෙ කිව්වා..."

"හරි මං අයියාට කතා කරන්නම්, අපි මිස්ට ජයන්තව බස් එකට දාලම යමු."

"නෑ, මාව මොරටුවෙන් බස්සලා යන්න ඒ ඇති."

"නැහැ, නැහැ මේ බෑග් එක්ක මොරටුවෙන් නගින එක ලේසි නෑ."

මග දිගේ අයියා මලෝ දෙන්නා පවුලේ තොරතුරු කතාවෙමින් ආවා. මගක් එද්දී ජයන්ත නින්දට වැටුනා. පිටකොටුවට එනකම් ජයන්ත හොඳටම නිදි.

ප්‍රනාන්දු මල්ලී විසින් ජයන්තගේ ගමන් මලු කිහිපයත් බස් එකට දාලා දුන්නා. ඒ අතර තුර ප්‍රනාන්දු පැත්තකට කරලා නෝට්ටු කිහිපයක් ජයන්ත අත තිබ්බා.

"මේක තියගන්න ගමන් වියදමට."

"නෑ නෑ... එපා."

"ඔයාගේ තත්වය මට තේරෙනවා, මේක තියාගන්න."

"මල්ලී අපි යමු."

"ගොඩාක් පින්..." කඳුලු පිරි ඇසින් මම බලා උන්නා මිස ඉන් එහා වචනයක් දොඩන්න බැරිවිය.

බස් එකේ තවමත් දහ දෙනෙක්වත් නැහැ. ලොඩ් වෙන්න තව වෙලා යාවි... ජයන්ත දහ අතේ කල්පනා කරන්නට විය...

ප්‍රනාන්දු දුන් සල්ලිවල රුපියල් 7500 ක් විය. පොඩි වෙලාවක් තුල අඳුනාගත් මනුස්සයා මෙච්චර උදව්කරා. තමා යහමින් හම්බකරලා විනෝද වුන කාලේත් කාටවත් උදව් කරා කියන මතකයක් ජයන්තට නොවිය.

ජයන්ත වැඩ කලේ ඇලුමිනියම් බාර් නිෂ්පාදන කම්හලක සේල්ස් රෙප් කෙනෙක් හැටියටය. එය පොඩි සමාගමකි, ඔවුන්ට කටුබැද්ද පලාතේ පොඩි නිශ්පාදන කම්හලක් ද විය. ලංකාව තුල තිබුනේ එවන් කම්හල් දෙකක් විතරයි. ඒ නිසාම රටට අවශ්‍ය ඇලුමිනියම් බාර් නිශ්පාදනය කරා, ඉල්ලුමද යහපත් විය. පුන්චි සේල්ස් කණ්ඩායමක් වුවද ඔවුන් ඉතා හොඳ ආදායමක් ලැබුවා. ලංකාව තුල ඉල්ලුම වැඩි වෙද්දී නිෂ්පාදනය වැඩි දියුණු කරන අදහසින් සප්ලයර් කෙනෙක් කර යෝජනාව මත සමාගම ඉන්දියන් සෙල්ස් ඉන්ජිනියර් කෙනෙක් මාකටින් මැනේජර් හැටියට පත්කලා.

මාස කීපයකින් සේල්ස් වැඩි වුනා. සේල්ස් ටීම් එකත් වැඩි කලා. අලුත් රෙප්ලා පිට පලාත්වලට පත්කලා. අලුත් මැනේජර් සෙල්ස් රෙප්ලා න‍යිට් ක්ලබ්, බාර් වලට එක්ක ගිහින් රෙප්ලාට හොඳට සලකන්න පටන් ගත්තේ සෙල්ස් ප්‍රමොෂන් පිට දාලා.

කලින් සේල්ස් බාරව හිටියේ සමාගමේ හවුල්කාරයින් ගෙන් කෙනෙක් වෙන මිස්ට දේවෙන්ද්‍රන්. එයා මිස්ට අබේධීරත්, මිස්ට කාදරුත් එකතුකරන් පටන් ගත් පලමු ප්ලාන්ට් එක ලංකාවේ. තුන් දෙනාම එකම කැම්පස් එකේ බැචාලා. අයිතිකාරයෝ කිව්වට එකා වගේ මහන්සියෙන් වැඩකල අය.

අළුත් මැනේජර් ජයන්තව ගොඩාක් ලං කරගත්තේ ජයන්තගේ සල්ලිවලට තියෙන කෑදරකම තේරුම් අරගෙන. ජයන්ත අනික් රෙප්ලාව බා ගත්තා. කට්ටියට කන්න බොන්න දෙන්න කලින් මාකට් රිපෝට් ඔක්කෝම බාගන්නවා. ඒ අතරතුර අළුත් මැනේජර් හිටි හැටියේම පෙරලා ඉන්දියාවට ගියේ. තමා ආපසු නොඑන බව කියා ඉල්ලා අස්වුන බව දින දෙකකට පසුව ජයන්ත දැනගත්තේ මිස්ට අබේධීරගෙන්.

පෙර පරිදි මිස්ට දේවෙන්ද්‍රන් සේල්ස් මැනේජර් වුනා. සති දෙකක් ගියේ නැහැ කම්හලේ නිෂ්පාදන වලට සමාන නිෂ්පාදන වෙලඳ පොලට ආවේ අඩු මිලකට. අපේ කොම්පැණියෙ නිෂ්පාදන ඉල්ලුම පිරිහෙන්න පටන් ගත්තා. අපෙන් බඩු ගත් අය තොග ගනන් රිටන් කරන්න පටන් ගත්තා, කම්හලේ තිබුණ අමුද්‍රව්‍ය සල්ලි කරන්න බැරිවිය. ඒත් වැඩකරන මිනිසුන් ගේ දුක මහන්සිය දන්න රත්තරං මහත්වරු තුන් දෙනා පුලු පුලුවන් විදියට වැඩකරන අය ගැන බැලුවා. මාස තුන හතරක් ගිහින් බැංකුවෙන් ඇවිත් සීල් කලේ කවුරුත් හිතපු නැති විදියට.

මිස්ට දේවෙන්ද්‍රන් කම්හලේ තාප්පයෙන් එලියේ රැඳිලා හිටිය අය දිහා බලන්නේවත් නැතිව බිම බලාගෙන කතාකලේ...

"අපිට වෙරදුනා. අපේ සෙල්ස් මැනේජර් හැටියට ඇවිත් තියෙන්නේ අපිව විනාස කරන්න ඉන්දියන් සමාගමක් යවපු ඒජන්ට් කෙනෙක්. එයා අපේ රෙප්ලා ඔක්කෝම අල්ලගෙන අපේ රටට අවස්ය දේවල් ස්ටඩී කරගෙන ගිහින්. දැන් එයාලා අපේ රටට සප්ලයි කරනවා... ලෝ ප්‍රයිස් වලට... ලෝ කොලිටි. ඒත් අපිට එයාලගෙ ප්‍රයිස් එක්ක කරන්න බැහැ. අපි ඔයාලට පඩි ගෙවන්න බෑන්ක් ලොන් ගත්තා. ඒවා ගෙවන්න බැරි වුණා. බෑන්ක් එක එවිත් සීල් තිබ්බා."

"ස්ටොර්ස් වල තියෙන මැටීරියල් වලට සල්ලි ගෙව්වේ අපි තුන්දෙනාගේ ගෙවල් විකුණලා. අපි වැඩ නැතිව මාස තුනක් පඩි ගෙව්වා. ඔයාලට වෙන මොකුත් කරන්න බැරිව අපි අසරණ වෙලා, අපිට සමාවෙන්න ඕනේ..." දෝත හිසේ තියාගෙන ඔළුව උස්සලා බලාපු දේවෙන්ද්‍රන් මහත්තයාගේ ඇස් වලින් කඳුලු දෝර ගලනවා.

"අපිට වලකැපුවේ අපේම අයත් එකතුවෙලා" කිව්වේ සෙල්ස් රෙප්ලා දිහා බලාගෙන. ජයන්තගේ පපුවට පිහියෙන් අනිනවා වගේ ඒ වචන දැනුනේ, තවමත් කන්කුහර වල රැව් පිලිරැව් දෙනවා.

ජයන්ත කටාර් වල ඇලුමිනියම් ගොඩනැගිලි නිෂ්පාදන විකුණන සමාගමක රෙප් හැටියට ගියත් සමාගම බංකොලොත් වූ නිසා මාස හතරක් යන්න කලින් ආපසු එන්න වූයේ වියදම් කර සියල්ලත් නැතිකරගෙන.

තමුන්ට ප්‍රනාන්දු හමුවූයේ දඬුවමක් හැටියටද?


දිගින් දිගටම ජයන්තට සිතුනි.


* වසර කිහිපයකට කලින් සිදුවූ සත්‍ය කතාවක් මුල්කරගෙන; නම් ගම් වෙනස්කර ලියූ කෙටි කතාවකි

Monday, February 7, 2011

එදා මෙදා කවි


පුරවා තින්ත ඇඟිලි තුඩ රැඳි පෑන
අකුරු කලේ ගලනා සිතුවිලි රෑන

ගුලිකල කවි තැන තැන විසිරූන
පෙරලා වර වර පදමට ඇහිරූන

මිටිකල රස කවිපත් දුම් තැවරූන
නැතුවට කම් නැත යල්පැන ඉහිරූන



බරදී හිඳ අසුන නෙත රැඳි තිරය
සිතේ කොනක පිපෙන කවි මලය
තාලෙට සැරිසරනා ඇඟිලි තුඩය
පද මුතුවැල් මතුවී යාවෙන සිරිය

වැරදුන කල බැට කන්නේ ආපස්සා
මුතු වැල රිසි ලෙස හරිගස්සා
පිටමං වෙන්නේ සීරුවෙන් ලිස්සා
අනවැසි හින්ද ද ඉන්නට රුස්සා

නොකරට සිතුවම එක් වෙන්නේ
අරුමෙට පදපෙල හැඩ ගන්නේ
කව්මුතු සයිබරයේ පායන්නේ
තරුවකි ඈත අහසේ දිදුලන්නේ

සැන්දෑ අහසේ තව කවි මල් පිපීයන්
ඇඟිලි තුඩින් අකුරු කෙටීයන්
සිත්සරි සිතුවම සෙවුමා ගෙනීයන්
සයිබරයේ සීමා වැට නොබැඳීයන්

* ආපස්සා = Backspace key

Thursday, February 3, 2011

කඩතුරාව




"මහත්තයා... මේ හරියේ නවත්තලා තේ එකක් බීලා ම යනවද?"

විමලසිරි කණ්නාඩියෙන් පිටුපස අසුනේ වාඩි වී ඉන්නා මා දෙස බලමින් ඇහුවා.

"ඇයි විමලසිරි... නිදිමතද?"

"නෑ මහත්තයෝ... මහත්තයාට මහන්සි පාටයි. ඒකයි ඇහෙව්වේ..."

"හ්ම්, ඒකත් හොඳයි. ඔන්න හොඳ තැනක් බලලා නවත්තන්න කෝ."

අන්තිම මොහොතේ ප්‍රසන්ටේෂන්ස්වල වෙනස්කම් කරන්න වුන නිසා රෑ තිස්සේ වැඩ කරලා නිදා ගත්තේ ගොඩාක් පරක්කු වෙලා. ආයෙත් උදේ හතරට නැගිටලා කොළඹ යන ගමන ලේසි නැහැ. ප්‍රසන්ටේෂන් ආයේ කියවලා අඩු වැඩිය කරන අදහසින් පිටුපස අසුනේ වාඩි වුනේ, මම නිදි කිරන එක විමලසිරි දකින්න ඇති.

"තව වැඩ ටිකක් තියෙනවා ඉවර කරගන්න, අද වෙනදා වගේ විමලසිරි එක්ක කතාවක් දාගෙන යන්න බැරි වුනානේ..."

"මං දන්නවා මහත්තයෝ... වෙනදා චුට්ටක්වත් ඇහැපියවන එකක්යැ..." රෙස්ටුරන්ට් එකට අතුල් වෙන ගමන් විමලසිරි කිව්වා.

දෙන්නෙක්, හතර දෙනෙක්, වැඩි පිරිසක් වාඩි වෙන්න පුලුවන් විදියට මේස සකසා ඇත. මේස පුටුවල අලුත් තින්ත සුවඳ දැනෙනවා තවමත්. දිග වයරයකින් පහතට එල්ලෙන ෂේඩ් එකෙන් ලස්සන මද එළියක් මේසය මතට වැටෙනවා... මස්සෝ ලකුණු කර වයරයේ එල්ලෙන හොල්ඩරයක ඇස් කකියන එලියක් දෙන සැර බල්බයකට වඩා ඒ එළිය කොච්චර සනීප ද? සාමාන්‍ය රෙස්ටුරන්ට් එකකට වඩා බෙහෙවින් වෙනස් විය.

"අලුත් තැනක් වගේ..."

"ඔව් මහත්තයෝ, ගිය සතියේ තමයි විවෘත කලේ. එදා තමයි මං කොළඹ ඉඳන් පොඩි මහත්තයත් එක්ක ආවෙ... එනගමන් තේ බිව්වේ මෙතැන"

"ගාන සැර ඇති?"

"එච්චර වැඩි නැහැ, ඉන්දියන් කට්ටියක් කරන්නේ..."

සරම හා අත්කොට කුර්තාවෙන් සැරසුන ප්‍රියමනාප තරුණයෙක් අපිව සුහඳව පිලිගෙන පුටු එකිනෙක ඈත්කර වඩිවෙන්න සැලස් වූවා. උදේ පාන්දරම නිසා අපි තේ දෙකක් විතරයි ගත්තේ. කවුන්ටරයට ගෙවන්න කියා බිලත් අතටම දුන්නා.

"පිරිසිදු තැනක්" කියමින් විමලසිරි වාහනය නැවත පණගැන්වූවා

"ඉන්දියන්කාරයෝ නේ... මුලදි ඔහොම තමයි..." මම ලැප්ටොප් එක ඕන් කරගත්තා. විමලසිරි කණ්නාඩියෙන් බලනවා දැක්කා.

කිසි කතාවක් නැතිව ඉදිරියට ඇදුන වාහනය නැවැත් වූයේ කළුතර බෝධියට පඬුරු පූජා කරන්න විතරයි.

"මහත්තයා... වැල්ලවත්තේ වෙජිටේරියන් රෙස්ටුරන්ට් එකකින්ම උදේට කාලා යමුද?"

"වැල්ලවත්තෙත් අලුත් ස්පොට් එකක් තියෙනවද?"

"ඔව් මහත්තයා, අපේ සයිවර් කඩ වගේ නෙවෙයි..."

"කමු, කමු. උදේට මොනව හරි සප්පයම් වෙන්නත් එපැයි"

කල්වේලා ඇතිව නියමිත ස්ථානයට ලඟා වූයෙමු. විමලසිරි සැනසුම් සුසුමක් මුදා හැර සිහින් සිනාවක් දැම්මා.

"මහත්තයා... වහනයක් එහෙම ගන්න අදහසක් නැතැයි".

"දැන්ම බැහැ විමලසිරි. අලුත් කොම්පැණිය රෙජිස්ටර් කලාට තවම හරිහමන් වැඩක් නැහැ නේ".

"එහෙම කියලා බැහැ නොවැ මහත්තයෝ... හැමදාම හයර් වාහනවල දුවැන්නැයි".

"අපිට විමලසිරි ඉන්නව නේ".

"මහත්තයාට පින්සිද්ද වෙන්න මේ වාහනය ගත්තේ, නැතිනම් බැංකුවට ගෙවලා ඉවර වෙන කොට වාහනයත් ඉවරයි".

"විමලසිරි මං ණයක් දුන්න එක විතරයි නේ කලේ..."

"මහත්තයා අලුත් වාහනයක් ගන්න, මං වැඩ කරන්නම්".

"එතකොට මේක?"

"මේකට ඩ්‍රයිවර් කෙනෙක් දාන්න බැරියැ..."

"හරි බලමුකෝ, මේ වැඩේ හරි ගියොත්?"

"එහෙනම් මං ඇතුලට යනවා, විමලසිරිට පොඩි නින්දක් දාන්න පුලුවන්".

ප්‍රසන්ටේෂනය ඉදිරිපත් කරන්න තිබුණේ රාජ්‍ය ආයතනයක ජ්‍යෙෂ්ඨ කලමණාකාර මට්ටමේ පිරිසකින් සැදුම්ලත් මණ්ඩලයක් ඉදිරියේය. එම ආයතනය විවිධ කාර්යයන් සඳහා භාවිතා කරන තොරතුරු පද්ධතීන් ගනනාවක් ඒකාබද්ධ කර ඒ හරහා ඉහල කළමණාකරුවනට තීරණ ගැනීමේ දී උපකාරීවෙන දත්ත හා විෂ්ලේශණ ලබා ගැනීමේ අරමුණින් දියත් කිරීමට නියමිත ව්‍යාපෘතියක ඉහල මට්ටමේ සැලසුම් සැකසීම අරමුණ විය.

මෙවන් ව්‍යාපෘති ගනනාවක සැලසුම් හා ක්‍රමවේද සැකසීමෙන් දායක වී තිබුණද මේ ව්‍යාපෘතිය එතරම් විශාල එකක් නොවිය. ඒත් පොඩියට හෝ අපේම ව්‍යාපෘතියකට දායක වෙන්න ලැබීම ගැන කිසියම් සතුටක් වගේම ආඩම්බරයක් මගේ හිතේ ඇතිවිය.

පිලිගැනීමේ නිලධාරිනියගේ උපදෙස් අනුව දෙවන මහලේ ශාලවට කැඳවාගෙන ගියේ කාර්යාල සහායකයෙකු කියා සිතිය හැකි මැදිවියේ අයෙකි.

නියමිත වෙලාවෙන් පැය භාගයක් පමාවී මූලාසනය හෙබවූ ප්‍රධානියා කෙටි සුහද පිලිගැනීමකින් සාකච්චා වාරය ආරම්භ කලේය. යෝජනා ඉදිරිපත් කිරීමට කණ්ඩායම් හතරක් විය. එක් එක් කණ්ඩායම වෙන වෙනම ප්‍රෙසෙන්ටේෂන් ඉදිරිපත් කිරීමට නියමිත විය. පලමු ප්‍රසන්ටේෂන් වාරය සඳහා මට ඇරයුම ලැබුනි.

පිලිවෙලින් ඉදිරිපත් කිරීම් හතරම ඉවර වූ පසුව නැවත පොදු වාරයක් විය. එතැන දී කියා සිටියේ මෙම ව්‍යාපෘතිය ඉන්දීය මධ්‍යම රජයේ පරිත්‍යාගයකින් දියත් කරන බවත් එනිසා ව්‍යාපෘතිය සම්බන්ධ කටයුතු ඉන්දීය සමාගම් වලට පැවරීමට නියමිත බවත්ය. ලාංකීය සමාගමක් සුදුසුකම් ලැබුවහොත් එහි සේවය සඳහා නියමිත ශ්‍රම බලකායෙන් පිරිසක් ඉන්දීය වැසියන් විය යුතු බවත් පැහැදිලි කෙරිනි....

මා හැර ප්‍රසන්ටේෂන් ඉදිරිපත් කල සාමගම් තුනම ඉන්දීය සමාගම් වූ අතර නියෝජිතයින් ද ඉන්දීය වැසියන් විය. ඔවුන් තිදෙනාම මා දෙස අමුතු බැල්මක් දැම්මේය.

කතාව අවසන් කල ප්‍රධානියා ගාම්භීරව "එනි ක්වෙස්ෂන්ස්..."

ඇයි හත්වලාමේ මේ ගැන කලින් දැනුම් දුන්නේ නැත්තේ... ප්‍රශ්ණ! එකක් නෙවෙයි ගොඩාක් තියෙනවා... අහන්නම්... මේසයට දෑතේ බර දීගෙන නැගිටින්නට උත්සාහ කලෙමි.

අත ගැස්සී පැත්තකට ඇල වූයෙමි!

"දඩාස්..." ගා හඬ දෙමින් ඇඟිලි අතර රැඳි තිබූ මවුසය ලිස්සි වැටුණි.

විගසින් දෑස් පියගසා බැලුවෙමි, ස්ක්‍රීන් සේවර් එක තිරය මත රටා අඳියි. එය නවතා බැලුවාමයි තේරුම් ගියේ මා කියවමින් සිටි
CEPA ගැන විමසුම තවමත් තිරය මත රැඳී ඇති බව.


ඒවගේ තත්වයක් ඇතිවුනොත් අපිට හැමදාම පිටරටක කඹුරන්න තමයි වෙන්නේ.



(*ලිව්වේ සැප්තැම්බර් 2010)