Friday, December 16, 2011

අපූරු පාට



රතු, කොළ, නිල් මූලික පාට
ත්‍රීමාන ලු සංකලනය පාට
ඉහළට යන්න රතු
පළලට වෙන්න නිල්
ගැඹුරට කොළ පාට
ඉන්නේ කොච්චර නම්
ඉහළින් පළලින් ගැඹුරින් ද
දන්නේ නම් එයයි
පෙන්නන පාට


(ඩිජිටල් ප්‍රින්ටින් සංකල්පයකි)

සටහන:
මෙහි ඉදිරිපත් කර ඇති සංකල්පය කලර් කියුබික් (colour cubic) ලෙස හඳුන්වයි. අපි එය මැජික් කියුබ් එකක් කියමු. මෙය ඩිජිටල් ඉමේජින් (digital imaging) වල භාවිතා වෙන මූලධර්මයකි.

තවදුරටත් පැහැදිලි කරන්න අපි මෙහෙම හිතමු:
  • උසට තට්ටු 6ක්, දිගතට කුටී 6ක්, පළලතට කුටී 6ක් තියෙන තට්ටු ගොඩනැගිල්ලක්
  • ඉන් එක තට්ටුවක කුටී 36ක්, ඒ වගේ තට්ටු හයේම කුටී 216ක් ඇත
  • හැම කුටීයකටම වෙන් වෙන් වූ අංකයක් ඇත්නම්
  • නැගෙනහිර දෙසින් පටන් ගෙන දකුණු දෙසට කොළ පැහයත්,
  • නැගෙනහිර දෙසින් බටහිරට නිල් පැහයත්,
  • නැගෙනහිර දෙසින් පටන් උඩතට වෙන්න රතු පැහයත් යන අන්දමට හැම කුටියක්ම රතු, කොළ, නිල් (RGB) සම්මිෂ්‍රණය වෙමින් හැම කුටි අංකයක් (වීදුරු කුටි කියලා හිතමු) එකිනෙකට හාත්පසින් වෙනස් ආවේනික පාටක් දරයි නම්
  • කුටී 216න් ඕනෑම කුටියක් අත්පත් කර ගතහොත් ඒ කුටිය යම් පාටක් දරයි ද, එය වේ පෙන්නන පාට...

Tuesday, December 6, 2011

පාර කියාපන් රළ පෙළේ



සැඩ කිරණින් දවාලූ හිරු
නෑගම් යන දුර ඈතක
හිස් අහසේ රටා මවන රොද වලා
වසා කළු වලා සොවින් බරවෙලා

පියන් නැති උස කවුළුවෙන්
කොහෙන් දෝ එඹීබලන
හිරු කිරණ ඈත දියඹේ
රිදී පලසක් එලා දිලෙනවා

විඩාබර හිරු සැඟවෙන විට
සයුරු රළ රටා මවන
පාට අරන් කොටු පවුර
තුටින් සැඳෑ දසුන දකිනවා

පවුර පාමුල වරම් යදින නුඹ
පාට රැළි මත දුරට පදින්නේ
ඈත දියඹේ අරුණලු ගනින්නී
ඇගේ හිරු මූදු වැල්ලේ දකින්නී

ඈත ගොඩකරේ රඟන රළ පෙළේ
ඇදී ගිහින් මහසයුරේ දුර ඈතට
පාර කියාපන් අතර මං එවුනට
දිනකර උදාකරන් ඒ පුංචි ලොවට

නොවැම්බර් මාසයේ මැද වෙනවත් එක්කම හිරු රජු කෙමෙන් කෙමෙන් ඈතට යද්දි හිස් අහසේ මතුවෙන වලාකුළු තරඟයට වගේ ඒ මේ අත දුවමින් එක්වෙමින්ද වරෙක විසිරෙමින්ද පාවෙමින් රටා මවනවා. උණුසුම අඩු වෙද්දී වටාපිටාවේ පිරී තියෙන දුහුවිලි ද පොළොවට බැස තැන්පත් වෙන නිසාදෝ ඇස් මායිම තව තවත් ඈතට විහිදෙනවා. ඒත් මෙවර දෙසැම්බරය එඹී බලන්න ඔන්න මෙන්න තිබියදී ද කතරක සිසිරය ගෙනෙන සුන්දරත්වය වෙනුවට අහස ඝන කළු වලාකුළු වලින් පිරිලා... අමුතුම අඳුරක් පළාතම වෙලාගෙන විය.

බැලූ බැලූඅත දකින්න පුළුවන් ඉදිකිරීම් බිම්වල උස දොඹකර තරඟයට ඉහළ නගින ගොඩනැගිලි ගැන කියාපානවා වගේය. ඈතක ඉදිවෙන සුවිසල් පාලම බිම්කඩ දෙකක් යාකරන්නට කඩිමුඩියේ ඉහළට එසවෙනසේය. තැනින් තැන හිටවූ උස් මිටි ගස් වලින් සැකසුණ කොළපැහැ තීරු, කට්ටි දකින්නට පුළුවන් වුවද වෙනදා දිස් වූ ලස්සන නැතුවද? ඉන් ඔබ්බට වෙන්න පෙනෙන මුහුදු තීරය කිහිප පොලකින් ගොඩබිම ඇතුළතට නෙරා ඇවිත් මවන දියකඩිති ද පළාතම වසාගත් අඳුරේ...

මුහුදු ඉම පැහැදිලි නැතත් ඒ මේ අත යන මුහුදු යාත්‍රාවල ඡායාව දෑස් ඈතක බැඳ තබා ගනාවා කීවොත් නිවැරදියි. ඒත් අද ඒ මුහුදු ඉම ද හිස්වෙලා වගේය.

අඳුරු වලාකුළු ඉරාගෙන කොහෙන් දෝ ඇදී ආ සැඳෑ හිරුගේ මුදු කිරන මිටක් අඳුරේ ගිලුන කරදිය දියකඩිත්තේ තීරුවක් පාට කලේ ඝණ අඳුරේ තරම කියාපාන්න ද ඒ අඳුරේ දිලෙන රිදී රේඛාවක තරම ඒත්තුගන්වන්න ද නොදනිමි. ඒ කෙසේ වෙතත් ඇඳුරු අහස යට සැඳෑ අහසේ පාට අරගෙන දියකඩිත්තේ මූදු රැළි රටා මවනවා දිස්වේ…

බැසයන හිරු කිරණින් නැහැවෙන සගර ජලතලය, තාලයට ඉහළට එසවී බැසයන, තරඟයට ඉදිරියට ඇඳී අතරින් පතර ඇති ගල්කුලක හැප්පී පාට පාට පෙණ හැටියට සිඳී බිඳී යන අයුරු... ඈත අහසේ වළාරොඳ පාටින් දිලෙන අතර ජබොග් ගා වතුරට ඇද වැටෙනවා වාගේ සිතිජ ඉමෙන් නොපෙනී යන විඩාබර හිරු මවන ලස්සන සැඳෑ වෙලාවක ගාලු කොටුපවුරේ ඉඳන් දකින්න පුළුවන් සුන්දර දසුනක් හිතේ ඇඳේ... (කැමරා ඇස හසුකරගත් ඒ ලස්සන මේ මෑතකදී කියවන්න මගේ ඇස ඉදිරිපත් කර තිබුණා).

ඒ කොටුපවුරේම අනික් පැත්තේ පාමුල දවසේ රාජකාරියට තෙරක් නොපෙනෙන මුහුදේ ඈත යන්න සූදානම් වෙන ධීවරයින්ගෙන් පිරිලා තියෙනවා දකින්න පුළුවන්. බැස යන හිරු මැවූ සුන්දර දසුන් අතර මූදු රළ මත ඇදෙන ධීවර යාත්‍රා... රෑ අඳුරේ මුහුදේ ගෙවන ඔවුන්ගේ මාළු මඩියේ බර කිරන්න තරාදි බලා ඉන්නවා ඇති, මිල කරන්න කාසි ගැනෙනවා ඇති. ඒත් පෙරළා ගොඩට එන ඔවුන් දකින්න පෙරුම් පුරන සිත ඈත සිතිජයෙන් මතුවෙන පළමු අරුණැල්ලේ පටන් අරුණලු එකිනෙක ගනිනවා ඇති. හිරු සේවයට ඇවිත්, කුරුලු කිචිබිචිය  පැතිරුණ ද ධීවර බිරින්ඳෑට හිරු පායනවා ඇත්තේ ඔහු ගෙපැලට පා තැබුවාම.

පසුගියදාක ඇති වූ චණ්ඩ මාරුතය නිසා මුහුදු ගිය බොහෝ දෙනෙකු සැඟව ගිය දුක්මුසු පුවත හිතට කරදරයි. රැල්ලට නැගෙන, ගොඩකරේ (inland) රඟදෙන රළ පෙළේ... රුදුරු මහ රළ මැඩගෙන ඈත සාගරයට ඇදී ගොස් අතරමං වූ එවුනට පාර කියන්න පුලුවන් නම්...

පදපෙල විස්තර කරන ලෙස වූ ඉල්ලීම් නිසා සටහන පසුව එකතු කරා.


Image credit: http://farm4.static.flickr.com/3620/3482810329_c133eeb7af.jpg

Wednesday, November 16, 2011

පොත් සුවඳයි

 
පොත් බෑගය අලුත්
නැවුම් සුවඳ පිරි
යට කර බෝ'බර
අත්තටු අරන් සිඟිතිය

පුංචි සිනා කතා මැද
සමනොළ තටු මත නැඟ
සාමලා අමරලා සොයමින සිත
සැරි සරණා දුර ඈතක

පොත් මිටිය කන්දක් උසත
තනිව නැග යුතු එකල
කිසිදු අඩුවක් නොමකර දෙන්න
විරුවාණනී ඔබ බෝ'දුක දරන්නැති


නැණ පහන ලක් මෑණී දල්වන
ගුරු සෙවණ දයාවෙන් බෙදන
අමිලයි කවදත් පිං දෙන
අකුරු මදි ද ලියවෙන

Friday, October 21, 2011

මිතු කුඩය


රන්ඳා එක්ව නන
විහිදා අත් ඈතට
තනනා උඩු වියන
අව් වැසි කුණාටු
නොනිමි පීඩා මැද
දිරියකි සෙවණ නිති


පිදුම: මිතු කැල වෙත ගෞරවයෙන් හා සෙනෙහසින්

Sunday, October 2, 2011

පුන්සඳ අඳුර (අවසන් කොටස)




බ්‍රහස්පතින්දා රැයක දෙගොඩහරිය පහුවෙනකම් ඉස්පාසුවක් නැති රූපවාහිනිය ද අද මලානිකව ඔහේ හිඳී. වෙනදා අල්ලාප සල්ලාපයෙන් ද වරෙක උණුසුම් වාද විවාද වලින් ද කාමරය දෙදෙරවන ඉලංදාරීන් අද කොහේ ගියාද මන්දා? කාමරය ඇතුළේ තියෙන රස්නයෙන් තෙරෙන්නේ සෑහෙන වෙලාවක් කවුරුවත් කාමරයේ හිඳ නැති බවයි. තවදුරටත් හිටගෙන ඉන්න බැරිය දැනුණ නිසාම ඒ.සී.ය ඕන්කර දහඩියෙන් තෙත් වූ ඇඳුම් පිටින්ම ඇඳ මත වාඩි වූයෙමි.

කෝල් කරන්න ඇත්තේ කවුරුන් වෙන්න ඇත්දැයි හිතන්න උත්සාහ කළෙමි. හදිස්ස්යකට ලොකු පුතා කතා කළාවත් ද?

තවානේ වැඩකළ කාලේ රටේ තිබුණ භීෂණයත්, වැඩ ඇරිලා එන අය තම කාමරයේ උන්නු සමරේ වටකරගෙන බීබීසී අහන්න ආ හැටිත්, නිතර අහන්න ලැබුණ තැන තැන දැවුණ තරුණ ජීවිත යනා දී අප්‍රසන්න මතකයන් ඔළුව තුළ හොල්මන් කරන්නට විය.


දෙදෙරුම් දෙමින් දුවන ඒ.සී.ය ඇති කරන කන්කරච්චලය ද වදයක් විය. ඇඳෙන් නැගිට අඩි කිහිපයක් ගිහින් එය නිමා දාන්න ඕනකරද... ඔන්න ඔහේ තිබුණාවි හිතුණි.


මුන් ඔක්කෝම එකයි... හැමදාම කරන්නේ තව කාව හරි කුලප්පු කරලා උන්ගේ වැඩේ කරගන්න එකයි. අපේ කොල්ලෝ කෙල්ලෝ නැහෙන්නේ...

සිමෙන්ති පෙළොවේ ඇතිල්ලීගෙන ඇරෙන දොර බරා...ස් ගෑ සද්දෙත් එක්කම කට්ටියම කාමරේට කඩාගෙන පැන්නාය.

"ජයසෝම අයියා බර කල්පනාවක වගේ... මොකෝ හෝම් සික්ද?"


කවදත් ජිවිතයේ බරක් නොදැනුණ ශාන්ත අහපු විදියට කවුරුත් හිනාවෙන්න පටන් ගත්තා.


"ඇයි බං අයියේ, මොකද වුණේ? උඹට අසනීපයක්ද? ප්‍රශ්නයක් ද?" අහමින් ඇවිත් පැත්තකින් වාඩි වූ රෝලන්ඩ් ඇහිබැමි රැළි කරගනිමින් මගේ නළලට පිටඅත්ල තියා බැලුවේ සැකයෙන් වගේය.


"කෑම එකත් ගැට ගහපු ගමන් මේසේ උඩ, උඹ දාඩියපිටින් තවම. ඇයි බං අයියේ?"


"විස්ස විද්‍යාලවල කලබලලු නේද?"


"ඕක ඉතිං අළුත් දෙයක් නෙවෙයිනේ අයියේ."


"ඒක නම් එහෙමයි. මේ බලහං රෝලෝ... මිස්කෝල් හතරක්ම. බස් එකෙන් බැස්සට පස්සේ මං දැක්කේ."


"අනේ බං අයියේ?" කියූ රෝලන්ඩ් ඇඟිලි විහිඳුවාගත් අත්ලෙන් දෙතුන්වර නළලට තට්ටු කරගත්තේ මුහුණේ පුංචි සිනාරැල්ලක් මතුකරගෙන.


"ඈ අයියේ, උඹට සමන් හම්බ වුණේ නැද්ද? සිවා කීපවරක් උඹට කතා කරන්න උත්සාහ කරලා තියෙනවා. බැරි තැන සමන්ට කතා කරලා තිබුණා."


"සිවා ඇවිල්ලද රෝලෝ?"


"පොඩ්ඩක් හිටහං බං අයියේ. ඒකා සඳුදා එන්නේ නැහැලු. තව සතියකින් නිවාඩුව දික් කරගෙන."


"ඒ කොහොමද?"


"ඕක අහන්න දෙයක්යැ අයියේ, සිවා ලංකාවට යන්න කලින්ම ආනන්දන් එක්ක ඒ ගැන ප්ලෑන් කරලා ඇති. ඕං උඹට තමා අයියේ තවත් සතියක් අදින්න වෙන්නේ."


"මදැයි."


"ඒ ගැන උඹට කියන්නයි සිවකාරයා ට්‍රයි කරලා තියෙන්නේ."


මටත් නොදැනීන එකපරටම එසවුණ පපුකූඩුව තත්පර කිහිපයක් හුස්ම අල්ලා පහත් වුනි.


"අප්පේ... උඹ එළියට දාපු හුස්මෙන් තෙරෙනවා අයියේ උඹ මොනතරම් ගිනි ගොඩක ඉන්න ඇද්ද කියලා."


"ඒක කියන්න වචන නැහැ රෝලෝ..."


"එච්චර ගිනිකකා හිටියා, උඹ කෝල් එකක් දුන්නේ නැතැයි හාමිනේට?"


රෝලන්ඩ්ගේ බැල්මද ප්‍රශ්ණකරන්නාක් මෙන් විය, ඒ අතරම හරිබරි ගැහී වාඩිවෙන්න හැදු මා දිහා බලමින්...


"අයියේ, ඇඳුම් හෙම මාරුකරගෙන කාලා හිටහං. අපි තේකක් බීලම කතා කරමු."


ඔළුවේ බරක් නිදහස් වූ හින්ද ද මන්දා වෙනදා මෙන් වතුරේ රස්නයක් දැනුණේ නැති ගානයි.



"අයියේ උඹේ කෑම එක පිළුන් වෙලා. රොටි දෙකත් වේලිලා ඇති, මං ඔම්ලට එකක් හැදුවා උදේට කන්න ගෙනා පාන් තියෙනවා අරගෙන කාහං. ශාන්ත මං වතුර එකක් රත්වෙන්න තිබ්බා, උඹේ ස්පෙෂල් ප්ලේන්ටිය දාපං මල්ලී. මාත් ඇඟ හෝදගෙන එන්නම්..."


කී රෝලන්ඩ් ඈත්වෙනකම් ඉඳ ඉක්මනට ඔම්ලට් එක්ක රොටියක් කෑවේ පාන් වලින් ගත්තොත් උදේට මදිවෙන්න පුළුවන් නිසාය. ළඟපාත කඩේක පාන් තියෙන එකක්යැ...


එක මත එක හයිකරපු බන්ක් බෙඩ් හත ඒ මේ අත හරවා සකස් කර කමරය වසර දෙකකට වැඩි කාලයක් අපේ නිවහන විය. පිරිස අතරින් වැඩිමල් දෙදෙනා වූ සිවා හා තමා වෙනුවෙන් ඇඳන් දෙක බා තනි ඇඳන් හැටියට සකස් කරදුන්නේ රෝලන්ඩ්ගේ යෝජනාව අනුවය. හදිසි නිවාඩුක් ගිය සිවාගේ ඇඳ හිස්ය.


අපේ ඇඳන් දෙක අතර යම්තම් එහා මෙහා වෙන්න පුළුවන් හිදැසකි. බිත්තිය අයිනට වෙන්න ඇති සිවාගේ ඇඳ මුල්ලේ දාම් ලෑල්ල හේත්තුකර ගමන්ම ඇත.


එකම කාමරයේ වෙසෙන දහහතර දෙනාගෙන් හය දෙනෙකු බ්‍රහස්පතින්දා වැඩ ඇරී එද්දීම තම ඥාති මිත්‍රයින් ඉන්න දිහා යනවා.


තරමක් පොඩි එනැමැල් පලඟානේ එක එක ප්‍රමාණයේ පොඩි වීදුරු අටක් තියාගත් ශාන්ත ප්ලේන් ටී කේතලයත් අනික් අතින් අරන් ආවා. කේතලයෙන් පිටතට එල්ලෙන තේ උරවල නූල් අඟ ලේබල් සැහැල්ලුවෙන් කැරකෙයි.


"මේ සමන් කොහේ ගියාද බං අයියේ..." අහමින් රෝලන්ඩ් ඇවිත් මා ඉදිරිපිටින් සිවාගේ ඇඳේ වාඩි වුණා.


වැඩියේ මහන්සිවෙන්න එතරම් කැමැත්තක් නැති සමන් පාඩුවේ කාමරේටවි ඉන්නා කෙනෙකි.


රෝලන්ඩ් උත්තරයක් බලපොරොත්තු වුණේ නැතිව ඇති, වීදුරුවලට තේ වත්කරන ගමන්ම...


"අයියේ අපිට අද මාර වැඩක් වුනාණේ..."


"ඒ මොකෝ රෝලෝ?"



"ඔන්න හවස් හතට විතර ආනන්දන් කඩන් පහත් වුණා. අල්-මදල්ලගේ මහගෙදර උත්සවයක්, ගේ සූදානම් කරන්න උදව්වට කියලා අපිව එක්කන් ගියා. හය දෙනාම එකතුවෙලා පැයක් විතර වැඩකරා කියමු. ඔන්න සන්තෝසෙට කියලා ඒකා එකසිය පනහක් දුන්නා."


"පුදුමයි!"


"ඔන්න අපි ආපහු එනවා, කට්ටියම ගොඩවුණා රෙස්ටුරන්ට් එකකට. ආනන්දනුත් කාපිය. අපි එකසිය විස්සක් ගෙවලා ආවා. ආනන්දන්ට තරුවක් එකතුවේවි, සිවාට නිවාඩු, ඒකාගේ වැඩ උඹට. අපිට වෙන්නේ මේවගේ වැඩ..."

තේ උගුර උගුර හිස්වෙද්දී...

හඳ එළියෙන් බැබළුණ බස් නැවතුම් පොළ ඉදිරිපිට දර්ශනය, රනේ කී ආරංචිය, මිස්කෝල් එකින් එක විස්තර කරන්න මට සිදුවිය විය.


"ඉතිං අයියේ එච්චර බය හිතුණේ ඇයි?" ඇහුවේ ශාන්ත


"මලයෝ ජයසෝම අයියා විතරක් නෙවෙයි බං විස්ස විද්‍යාල වල දරුවෝ ඉන්න හැම දෙමාපියන්ම එච්චර බයකින් ඉන්නේ..." උත්තර දුන්නේ රෝලන්ඩ්


"අපි උන්නද මළා ද කියලා බලන්න කවුරුවත් නැහැ." ශාන්ත කීවේ දුක්මුසු ස්වරයකිනි


"එහෙම කියන්න එපා ශාන්ත, මම තවානේ වැඩ කරන කාලේ රටේ තිබුණ තත්වය ගැන කතා කරද්දී මට දැනුනාට වඩා වෙනස් අද මට දැනෙන බය. අපිට නැතිවෙන්න දෙයක් නැහැ, ඒත් අපේ බලාපොරොත්තුව..."


"උඹට ඒ විදියට හිතුණේ ඇයි බං අයියේ?" ඇහුවේ රෝලන්ඩ්


"පෝය හඳ!"


"ඒ හඳේ වරදක් නෙවෙයි බං අයියේ, හඳ අපිට පේන විදියේ වැරැද්ද මිසක්."


වෙහෙසකර දවස නිමාකරමින් සනිටුහන් කර සතියක අග සැහැල්ලුවෙන් ගතකර ඔවුනට නිදි දෙව්දුව අතවැනුවා වෙන්න ඇති... විසිර ගියහ.


Image Credit: http://blog.lib.umn.edu

Thursday, September 22, 2011

පුන්සඳ අඳුර


නගරයේම පැත්තක වුණත් පාර දෙපස තියෙන තට්ටු දෙකේ ගෙවල් පේළිය, ඒ ගෙවල් ඉස්සරහට වෙන්න වැටිලා ඇති හැඩේට සිමෙන්ති බිම් ගඩොල් අතුරාපු අඩි පාර, වටා පිටාව කවදත් වගේ නිස්කලංක විය. ගෙවල් වටකර ඇති උස තාප්ප හා පාර අතර පස් තීරුවේ වවා ඇති මල් ගස්වලට අද පාරේ පහන් කණුවලින් එළිය ඕනේ නැහැ වගෙයි. ගෙවල් කිහිපයක් අතර හිදැසක් ඇති වෙන්න ඉඩ හැර ඇති කොටසේ පිළිවෙළට වවාපු මල්පැල, තැනින් තැන ඇති උස ඉඳි ගස් කිහිපයත් අතර සවි කර ඇති සෙල්ලම් පිටියත් අද පාළුවට ගිහින්. ඉඳහිට ඇහෙන සංගීත නාදයක්, අතරින් පතර ගෙයක ඉහළ මාලයේ උස ජනේල වහගෙන කඩා වැටුණ දුහුල් තිර රෙදි අතරින් පාරට පෙනෙන අඳුරු ආලෝකය නොවෙන්න මුලු පළාතම නිහඬතාවය විසින් ගිලගෙන විය.


අතේ ඇති බෝතලයේ ඉතිරි වතුර ටික කටට හලා ගනිමින්ම තාප්පයකට උඩින් පාරට ඇලවූ අරලිය ගහ තියෙන ඉසව්වට ලං වුණා ද විපරම් කර බැලුවේ ඊට ගෙවල් දෙකකට එහා තාප්ප කෙළෙවරේ හයි කරලා තියෙන සිසිල් වතුර කරාමයේ උවමනාව වැඩිපුර දැනෙන්නට වූ නිසාවෙනි.


ලීටර් භාගයේ බෝතලයට වතුර එකක් පුරවාගෙන, තෙතමාත්තු කරගන්න තුවා පොඩ්ඩෙන් මූණ කර හා දෑත් පිසදා ගත්තාම දැනෙන සනීපය... කවදාවත් දැකලා නැති ඒ ගෙදර උදවියට හිතෙන් පිං දීලා එතැන් සිට බස් නැවතුම් පොළට ඇති කිලෝමීටර එකහමාරක් විතර පයින් ගමන ඉක්මන් කරන්නේ පුරුද්දට වගේ. ගෙවල් පේළිය පසුකර මහා පාරට ළඟාවෙත්ම ඇහෙන්න පටන් ගන්නේ තොරතෝංචියක් නැතිව දුවන වාහනවල රෝද පාරේ ලේන් වෙන්වෙන්න හයිකර ඇති දිලිසෙන කෑලි උඩින් පනින වාරයක් පාසා ඇතිවන සරාස්! බරාස්! සද්දය. මහපාරට ලං වෙත්ම ඒ සද්දය ටික ටික වැඩියෙන් දැනෙනවා. නගරය මැදට වෙන්න පාර දෙපස ඇති ගොඩනැගිලිවල උසත් වැඩිවෙන්නේ තරඟයට වගේ කියලා හිතෙනවා. ඒවා පහුකරන වෙහෙසකර දෑස් පුරුද්දට වගේ විපරම් කරන්නේ බස් නැවතුම් පොළ දිහා.


හොල්ට් එකේ එච්චර සෙනඟක් නැහැ... බස් එක ගිහිල්ලා වගේ...


පොලිතින් කවර දෙකකම ඔතාපු මෝබයිලය කලිසමේ සාක්කුවෙන් අරන් වෙලාව බලුවාම දැනගත්තේ අනික් බස් එකට තව විනාඩි දහඅටක් ඉන්න එපැයි... පසෙකින් වූ ලෑලි තීරු වලින් හැදූ බංකුවේ යාම්තමට වාඩි වුණේ දාඩියෙන් තෙතබරිත වූ ඇඳුමෙන් බංකුව තෙමේවිද... සැකයෙනි.


වැළමිටි දණහිස් දෙකට බරකර දෙඅත්ලේ නිකට හොවාගෙන කලබලයෙන් පිරි පාරදෙස බලා උන්නෙමි. මද දුරකින් ඇති සිග්නල් එළියට කුරුමානම් අල්ලන වාහනයක් සෙමින් සෙමින් ඉදිරියට යමින් ඈතට ඇදෙන දෙසට ඇස් යොමු වුණේ නිරායාසයෙනි. එකිනෙක පරයා ඉහළට නැගි ගොඩනැගිලි පේළිය අතරින් පුන්සඳ පේනෙන්නේ නැතත්  ඈත අහස සඳ රැසින් ඔපවත් වෙලාය.


පාර එපිට අලුත් තට්ටු ගොඩනැගිල්ලක් ඉදිවෙමින් පවතී. රෑ තිස්සේ පිරිස වැඩ. ඒ ඉදිරිපිට පෙළට නවතා ඇති කොන්ක්‍රිට් මිශ්‍රණ ගෙනෙන වාහන පෙළකි. ඉහළටම එසවෙන කොන්ක්‍රිට් පොම්පකරන යන්ත්‍රය අවැසි පරිදි එහා මෙහා කර සූදානම් කරන ආරක්ෂක හිස්වැස්මක් පැළඳ සිටි කඩිසර තරුණයෙකු නෙත ගැටුනි. ඔහු වරෙක වෝකි ටෝකියකින් පහළ සිටින අය දෙස බලමින් උපදෙස් දේ. කඩිසර ඔහු සෝපානයෙන් බිමට බැස ඇවිත් කොන්ක්‍රිට් මිශ්‍රණයෙන් සාම්පල් ගෙන පිරික්සයි. නැවත ඉහළට යන ඔහු යමක් විපරම් කර බලා ආයෙත් පහතට එයි. පළාතම දෙවනත් කරමින් කොන්ක්‍රිට් පොම්පය පණ ගැන්වේ. පෝලිමේ ඇති වාහනවලින් කොන්ක්‍රිට් මිශ්‍රණ පොම්පයට හිස්වේ, පෝලිමේ උන් වාහන එකිනෙක අඩුවේ. පළාතම නිහඬ කරමින් කොන්ක්‍රිට් පොම්පය නවතී. ඇතෙකු හොඬ පහත් කරන විදියට නිල්පැහැ නල කොටසින් කොටස පහත් වී කොන්ක්‍රිට් පොම්පය ඇකිළුණි. අර තරුණයා සෝපානයේ නැගී නැවත ඉහළට ගියේය. අට්ටාලයේ උඩ වැඩ කර අය ඔහු වට කරගෙන කතාකරනු පෙනේ.


තව අවුරුදු තුන හතරකින් ලෙකු පුතාත් මේ විදියට වැඩ කරාවි කියන ආඩම්බරයකින් හිත පිරුණි.


ඈතින් එන බසය දැක බංකුවෙන් නැගිට්ට විට පිට දිගේ බේරෙන දාඩිය බිඳු තරඟයට මෙන් කොඳු ඇට ගනිමින් පහතට ඇදෙනවා දැනුණි.


හ්ම්... කමක් නැහැ, මොන දුකක් විඳලා හරි කොල්ලෝ දෙන්නා ගොඩ දානවා.


බස් එකට අතුල් වෙනවාත් එක්කම...


"ජයසෝම අයියේ... සෙනඟත් නැති එකේ මෙහාට ඇවිත් අතපය දිග ඇරලා වාඩියං අයියේ..."


"හරි හරි... අද රනේත් පරක්කුවෙලා වගේ?"


"ඔව් අයියේ, හෙට ස්ටෝරුවේ රෙපයාර් එකක්. රාක්ක පේළි දෙකක්ම අලුත් තැනකට මාරු කරන්න වුනා. එකෙන් පැය එකහමාරක් විතර වැඩියේ වැඩ කරන්න වුණා"


"හොඳයි, හොඳයි"


"මොන හොඳක් ද බං අයියේ, සතයක්වත් වැඩිපුර දෙන එකෙක්යැ ඒකා."


"ජයසෝම අයියා පරක්කු වුණේ?"


"තාප්පේ එහා පැත්තේ ගහෙන් ඉඳුනු රට ඉඳි වැටිලා තණකොළ තැනින් තැන විනාශ වෙලා තිබුණේ. හෙට නිවාඩු දවස නිසා ඒවා සුද්ද කරලා අලුතෙන් හිටවන්න දාගත්තේ අදට."


"අර හොයපු තණකොළ ඇට ජාතිය හම්බ වුණාද?"


"ඔව් මල්ලි, බොහෝම අමාරුවෙන් හොයාගත්තා ගාන නම් ටිකක් වැඩියි. ඒවා වැවිලා ගොඩ එනකම් ලේසි නැහැ."


"වැරදුණොත් සල්ලි හම්බ වේවිද?"


"ප්‍රශ්නයක් වෙන එකක් නැහැ..."


“ඒක නෙවෙයි ජයසෝම අයියේ... හවස සනී හම්බ වුණා, ආයෙත් විස්ස විද්‍යාලවල කලබල වගේ කිව්වේ. මං හිතුවේ දන්නවා ඇතියි කියලා. උඹ ඒ ගැන කල්පනා කරන්න එපා අයියේ. හෙට උදේ මං නංගිට කතා කරනවා, ඉන් පස්සේ උඹට කෝල් එකක් දෙන්නම්. මං ඉස්සරහ හෝල්ට් එකෙන් බහිනවා.”


“ඇයි මෙතැනින් බහින්නේ?”


“අස්කරන ගෙයක බඩු පැක් කරන පාට් ටයිම් එකක් ලැබුණා, රෑ තිස්සේ ඒ වැඩේ කරලා ඉවරයක් කරන්න පුලුවන්. සනියත් එනවා වාහනේ අරන්. දැනටත් හොල්ට් එකේ බලන් ඉන්නවා ඇති.”


රනේ තනිකඩයා. මොනවා හරි කරලා සල්ලි ටිකක් හොයාගෙන මල්ලිවයි නංගිවයි උගන්වනවා. හිත හොඳ එකා.


අතරින් පතර දෙතුන් දෙනා එකතුවෙන බසය නගරයෙන් ඉවතට ඇදේ. ඉන් බොහෝ දෙනෙක් අමතර ආදායමක් උපයන්න මොනවා හෝ වැඩක් කරලා නවාතැන කරා යන අය වෙති. පමණක් උදවිය බර නින්දේය. බසයේ එතරම් සෙනඟක් නොවූයේ රෑ එකළොහ ද පහුවී ඇති නිසාය.


වීදුරු කවුළුවෙන් ඔහේ ඉවත බලා සිටියෙමි...


නගර සභාවකට අයත් පැල තවානක් පවත්වාගෙන ගිය සමාගමක අත් උදව්කරුවෙක් හැටියට මැදපෙරදිග රැකියාවකට ආ තමා වීරසේකර මහත්තයාගේ මඟපෙන්වීම යටතේ තවාන්කරුවෙක් වීම, එතැන් පටන් ක්‍රමයෙන් පැල සකස් කිරීම, ගෙවතු සැකසීම ආදිය පළපුරුද්දෙන් කර හැටිත් එකිනෙක රූප පෙළ ගැහෙන්නට විය. පෙරළා ගමරට ගිය තමා සංචාරක හෝටල් කිහිපයකම උයන්පල්ලෙක් හැටියට වැඩ කර ද තමන්ගේම ගෙයක් හදාගැනීමේ සිහිනය නිතර කල් දැමූ හැටිත් ලොකු පුතා උසස් පෙළ පන්තියට ඇතුල් වෙද්දී රැකියාවක් නැතිව සිටි හැටිත් හිතට ආවේය.


ජයසෝම නැවත වරක් මැදපෙරදිග රැකියා සොයන්න පටන් ගනී. තම හැකියාව ඔප්පු කිරීමේ ක්‍රමයක් නැතිව උයන්පල්ලෙක් හැටියට රැකියාවක් සොයාගන්න නොහැකිව රජයේ ආයතනයක සේවා සපයන සමාගමක සුළු සේවකයෙකු හැටියට රස්සාවට එයි.


මාස කිහිපයක් උත්සාහ කර ගෙවත්තක් නඩත්තු කරන අමතර රැකියාවක් සොයාගනි. පුංචි ගෙවත්තේ කොහොඹ ගස් දෙක හා තැනින් තැන දුඹුරු වූ කේඩෑරි තණකොළ පියැදි කීපයක් හැර වෙනෙකක් නොවිය. එය මාස කිහිපයකින් මල් පැල වලින් පිරි, ඒ අතර ගල් ඇතිරූ ලස්සන ගෙවත්තක් බවට පත්කරයි. ඉහළ මට්ටමේ බැංකු නිලධාරියෙකු වූ ගෙහිමියා තම පඩිය වැඩිකර දුන් හැටි සිහිවිය. ඊට පසු ඔහුගේ මිතුරෙකුගේ ගෙවත්තක් සැකසීමට ද ජයසෝමට පැවරිණ.


ජයසෝම බොහෝ උනන්දුවෙන් ගෙවතු රැක බලා ගනි. නිති පතා සතියේ දින හයක් ගෙවතු තුනක වැඩ කරයි. ඉතිරි දවසේ ද නිකම් ඉන්න කැමැති නැති ඔහු වැඩක් පලක් සොයාගනි, එහෙමත් නැතිනම් වැඩි සාත්තු අවශ්‍ය ගෙවත්තක වැඩෙහි යෙදේ.


ජයසෝම ගෙවතු වැඩට යනෙන අතර නගරයේ තැනින් තැන ඉදිවෙන මහල් ගොඩනැගිලි දෙස උනන්දුවෙන් බලයි. වෙහෙසබර ඔහු මඳකට නැවතී දහඩිය බේරෙන නළල කරගැට පිරි ඇඟිලිවලින් පිසලා දකින්න උත්සාහ කරන්නේ එතැන්වල වැඩ කරන ඉංජිනේරු මහත්වරු යැයි ඔහු හිතන අය දෙසය. ඔවුන් අතර තම ලොකු පුතා දකී. ජයසෝමට විඩාවක් නොදැනේ. ලහි ලහියේ පා ඔසවන ඔහු බස් නැවතුම් පොළට එයි.


හදිස්සියේ කවරෙකු හෝ  "චාචා" කියමින් උරහිසට තට්ටුකර නිසාවෙන් තිගැස්සී අවදි වූයෙමි. හෝල්ට් එක කරා ළඟාවී ඇති බසයෙන් බැස්සෙමි.  එතැන් සිට නවාතැනට තවත් කිලෝමීටර් බාගයක් තරම් දුර පයින් යා යුතුව ඇත.


වෙලාව බලන්න මෝබයිලය අතට ගත්තාමයි දැක්කේ, මිස් කෝල් හතරක්! කවුද මේ වෙලාවේ ලංකාවේන් කෝල් කරලා තියෙන්නේ. ක්‍රෙඩිට් ඇත්තෙත් නැහැ.


රනේ කී කතාව මතකයට ආවේය.


ඈත අහසේ නැඟි පුන්සඳ ද බ්‍රවුන් පේපර්යකින් වැහුවා වගේ බොඳවෙලාය. දූවිලි ගතියක් එහෙම දැනෙන්න තිබුණේ නැහැනේ... ගිරීස්ම රස්නෙ හින්දා වෙන්න ඇති... හිතමින් ජයසෝම අඩිය ඉක්මන් කර කාමරයට ආවද කවුරුවත් එහි නොවිය.

පුන්සඳ අඳුර (අවසන් කොටස)

Image Credit: http://blog.lib.umn.edu

Thursday, September 15, 2011

තෙරපුම


ඇදී එකොන මෙකොන යාකර
සවිබල වේල්ල උසට ඉදිවුණ
රැකුමට රැළිනඟා ගලන ජලකඳ
උරදෙන්නේ සොරොව් දොර

ඉරිතැලුන පහත්බිම ඉඩෝරේ වියැළෙන
නොදැක්කා සේ ඇසිපිය වසාගෙන
අවාරයේ කීරිගා වැලපෙනු හැර
අවනතව අගුළුලනවා මිස

ඉවුරු තලා ඉහිරීයන වස්සානයේ
වාන් දාන බැමි රකිනූ හැර
පහත් බිම පෙළන්නේ කෝමද
අවනතව මුදාලනවා මිස

උරදී තෙරපුම බැටකන
කඩා නොවැටෙන්නට වෙරදෙන
රකින්නට රැකුමන් වලිකන
සොරොව් දොර සීමාවේ කැරකෙන


දසුන සිරිබර වික්ටෝරියා වේල්ල
Image Credit: http://www.damsafety.lk/Information/Dams/

Monday, September 5, 2011

ස්වදේශිකයා

වම් පැත්ත බැලුවා. පනින්න කලින් ආයෙ බෙල්ල දික්කරලත් බලලා පාර පන්නින්න උත්සාහ කළේ පෙනෙන තෙක්මානෙක හදිස්සිකාරයෙක්වත් ඇද්ද බලලා ඉදිරියෙන් නිමි නිමි පත්තුවෙන කොළ පාට "මෙතැනින් මාරුවෙනු" රතු වෙන්න කලින් අනික් පැත්තට පැනගන්න අදහසින්. කොහේද ඉඳලා ඇහිපිය ගහන්න කලින් ආපු වාහනයෙන් නූලෙන් බේරුණේ. ඒකා බ්‍රේක් කරපු පාරට කවුරුත් මා දිහා බලන්නේ කන්න වගේ, කලු කණ්ණාඩිය පහත් කරලා "සොරි සර්" කිව්වා අසරණ හිනාවක් දාගෙනම. ඉර උඩම හිටගෙන ගැස්සුන මා ඔළුව සොලවලා හරි, හරි... කියනවා වගේ හිනාවක් දාලා පැත්තකට වුණා. වෙන මොනවා කරන්නද?


සිග්නල් ලයිට් වලට අහු නොවෙන ලේන් එක පනින හැම වෙලාවෙම මතක් වෙන්නේ "තමන්ගේ ආරක්ෂාව තමුන්ම සලසාගන්න ඕනෙ" කියපු අපේ ජනාධිපතිවරයෙක් ගේ උපදේශයක්.


හයිපර්මාර්කට් එකට දුවන හදිස්සිය... ලේන් එක පැනගත්තත් තවම පපුව ගැහෙනවා... ඉස්සරහ ලේන් තුනේම වාහන පියෑඹුවේ හදිස්සියකින් වගේ, රතු වැටෙන්න කලින් එකිනෙකා ලුහුබඳිනවා වගේ.


එක පාරටම ආයෙත් බරාස්... ගාල සද්දයක්. රතු වැටිලා වාහන නැවතුනත් පාර පනින අපිටත් තවමත් රතු. අනික් පැත්තේ වාහන වමට හරවලා යන සිග්නල් වැටිලා නිසා.


මං කලින් බේරිලා ආපු ලේන් එකේ ඈත එන තවත් වාහනයක් දැක දැක පැනගත් කෙනෙක් මං හිටගෙන ඉන්න තැනත් පහුකර රතු ලයිට් එකේම පාර පනින්න ඉස්සරහට වුණා... මටත් නොදැනීම ඔහුව වළකන්න වගේ මං අත දැම්මේ...


ඒත් එකපාරටම වගේ මට "සොරි... සොරි" කියැවුණේ තවමත් වෙන්න ගිය අනතුරේ කම්පනයෙන් ඉන්න බව මට වැටහුණ නිසා වෙන්න ඇති.


"ඔයා කොහේද..." කියලා එකපාරටම සිංහළින් ඇහුවේ මාව පුදුමයට පත් කරමින්.


"ඔයා කොහේද?" කියලා දෙමළ බසින් මා පෙරළා ඇහුවේ ඔහුගේ උච්චාරයනය අනුව උතුරුකරයේ කෙනෙක් යැයි අනුමානයෙන්.


"අයියා ලංකාවේ කොහේද?" කියලා ආයේ සිංහළින් ම ඇහුවා.


"...මං_______ ඔයා?"


"මං ප්‍රකාශ්, තලවකැලේ, දැන් පදිංචිය කේරළයේ"


"ආ හොඳයි... ඔයා කොහොමද දන්නේ මං ලංකාවේ..." මං අහන්න ගියදේ ඉවර කරන්නත් කලින් ඔහු,


"මං රතු ලයිට් එකේ පාර පනින්න ගියවේලේ මට අනතුරක් වෙන්න පුළුවන් කියලා නැවත්තුවා, එහෙම හරි අනික් මිනිහා ගැන තවම හිතන්නේ ලංකාවෙ කෙනෙක් විතරයි"


පුංචි ආඩම්බරයක් හිතට දැනුණා. අපි චුට්ටක් නැවතිලා කතා කරා.


"අයියා හයිපර්මාර්කට් ද යන්නේ, යං ඉස්සරහට. මාත් ඉන්නේ ඒ ළඟම..." කතා කර කර අපි ඉස්සරහට ගියා.


"මගේ අම්මා තලවකැලේ. තාත්තා කේරළ. 83 දී අපිට ප්‍රශ්නයක් වුණේ නැහැ. 85 අන්තිමේදී අපේ ගෙවල් පිච්චුවා. 86 මුල අපි හැමෝම කේරල්වලට ආවා. මං එහේ දී ඉගෙන ගෙන යුනිවර්සිටි ගිහින් මිකැනිකල් ඉන්ජිනියර් කෙනෙක් වුණා. සන්තෝසයි, දැන් ලංකාවේ ප්‍රශ්න ඉවරයි. අපි ලංකාවේ පදිංචියට යන්න ඉන්නේ. දැන් තාත්තා නැහැ, අම්මායි නංගියි ඉන්නවා".


ඒ වචනවල බරක් විය. ප්‍රකාශ්ගේ දෑස් ද පැහැදිලිව බලාපොරොත්තුවෙන් දිලුණි.


"මම මෙතැනින් හැරෙනවා, තව ටිකකින් අපිත් හයිපර්මාර්කට් එනවා, ආයේ හම්බ වෙමු..."



මට පුදුමත් හිතුණා, "අපේ සුවඳ මොනතරම් දැනෙනවද නාස්පුඩුවලට" මට හිතුණා. 85 අගදී රටපුරා අසරණ වතු සේවකයින්ගේ ලයින්ගෙවල් ගිනිතියා අලාභ හානිකිරීම... ජනවසම ට වූ පාඩුව... ඉන් අහිමිවී ගිය පත්වීම... රටහැරදා ඇවිත් මැදපෙරදිග කටුක ජීවිතයක් පටන්ගන්න වීම... ආදි එකිනෙක අමිහිරි මතක බොඳ ඇස් මතුපිට සේයාපටලයක් සේ දිගහැරෙන්නට වූ අතර තුර ඉතිරි මීටර් තුන් සියයක පමණ පාගමන වෙනදාටත් වඩා වෙහෙසක් ඇති කළේය.


පාසැල් උපකරණ කීපයක් අරගෙන හාල් වර්ග තියෙන පැත්තට යන අතර...



"ගුඩ් ඊවිනිං, ආෆ්ටර් ලෝ...න්ග් ටයිම්" 'මිස්ට ගුණසිංහ' ළඟට ඇවිත් කතාකරනකම් දැක්කේ නැහැ.


"ලංකාවේ හාල් ටිකක් ගන්න කියලා ආවා..." මං එයාව මග අරින්න උත්සාහ කර ද...


"අපේ ළමයි ඕව්වා කන්නේ නෑ... මිස්ටර්. ටොප් කොලිටි බාස්මති විතරයි. සර්වන්ට් ඉන්න කාලේ නම් කැකුළු හාල් ගත්තා. දැන් එයාත් නැහැ නේ... මිල්ක් රයිස් වලටත් බාස්මතී වෙරි නයිස්, ලව්ලි වයිට්..."


මදැයි... මේ මිනිහට අපේ කට්ටිය කියන්නේ මයික් ගැටින් කියලා. කොතැනත් මයික් එක අතට ගත්තහම වෙන කාටවත් දෙන්නේ නැතිවම දිගින් දිගටම කතා කරනවාලු. හරි නම දාපු කෙනාගේ කටට සීනි ටිකක් දාන්න වටිනවා.


අපි ඉන්න තැනට ආපු වෙනත් කෙනෙකු හා ගුණසිංහ මහත්තයා කතාවට වැටුණා.


"එහෙනම් මිස්ට ගුණසිංහ... සන්තෝසයි කාලෙකට පස්සේ කතා කරන්න ලැබුණ එක, පස්සේ වෙලාවක හම්බවෙමු" කියලා අනික් මනුස්සයාට හිතෙන් පිං දීලා යාම්තම් ගැලවුනා.




කිලෝව බැගින් අසුරා ඇති සම්බා හාල් පැකට් කීපය ට්‍රොලියට දාගෙන රතු කැකුළු හාල් අහුරා ඇති රාක්ක පේළිය පැත්තට හැරෙන අතර තුරදී දැක්කේ දුර ඉඳන් අත වනාගෙන තවත් දෙන්නෙක් එක්ක ප්‍රකාශ් එනවා.


"මාත් කන්නේ ලංකාවේ රතු කැකුළු, මේවා හරි හොඳයි අයියා"


මගේ මතකයට ආවේ ගුණසිංහ මහත්තයාගේ බාස්මතී වර්ණනාව.


ඒ අතින් ප්‍රකාශ්...



(සත්‍ය සිද්ධියක් ඇසුරින් සැකසුණි, නම් පමණක් වෙනස් කර ඇත)
Image Credit: http://demelzastudios.com/blog/wp-content/uploads/2009/04/silhouette-300x210.jpg

Wednesday, August 24, 2011

කෝමාරිකාවනි දිරිය


පොද වැස්ස පිනි ඉසින
මද පවන මියුර නගන
තුරු ලතා සෙවණ සදන
හරිත තවානේ සුරැකුණ ද
පතොකකි නම්...

වියළි වැලි කතර
සැඩ හිරු දවන හිස් අහස
වැලි කුණාටු ගිනි පිඹින
නිති ජය ගනු මිස
කුමක් කරම්ද...

සෙවණක් නැති අහලක
පුරා හරිත කඳ
උනා දිය පොද පොද
සිසිලසින් පුරවා
සිරස දරනු මිස...

කටු කොහොලින් පිරි ගමනේ
නොනිමි පීඩා සමනය කර
වාරුව දෙන කෝමාරිකාවනි අමිල
ජීවන කතරේ අනේක බැට කන
නුඹත් එකුලයේ හින්දද...

සටහන:
පතොක් (Cactus) කටුක පරිසරයට උරුමකම් කියන පඳුරක් හැටියට වැඩෙන ශාකයක් වේ. සාමාන්‍ය පැළෑටියකට හිමි කොළ පත්‍ර හෝ ගසකට හිමි ලී ආකාර අරටු කඳක්වත් උරුම නැති පතොක් අවම පරිසර සාධක හමුවේ පැවැතීමට පුළුවන් හැටියට සොබාදහම මුලු පැළෑටියම හරිතයෙන් (කොළ පැහැයෙන්) පුරවා ඇත. පතොක සෙවණක් ලබන්නේ ද නැත, ස්වභාවයෙන් ආධාරකයක පිහිට ලැබන්නේ ද නැත. පතොකේ පැවැත්ම හා වර්ධනය එයම සකසා ගත යුතු වන්නේය. පතොක් ශාක කුලයට නොයෙකුත් හැඩ හා පැහැ වලින් යුත් වර්ග බොහෝමයක් අයත් වෙති. කෝමාරිකා (Aloe Vera) නමින් ප්‍රකට රූ වඩන නිෂ්පාදන හා බෙහෙත් ද්‍රව්‍ය සඳහා පාවිච්චි කරන පැළෑටියද පතොක් කුලයට අයත්ය.

ලාංකික අපේ බොහෝ පිරිසක් විදේශ රැකියාවන්හි නියුතුවන්නේය. තම පුරුදු පරිසරයෙන් ඈත්වී කටුක පරිසරයකට හුරු විය යුතු වෙන ඔවුන් ද පතොකකට වෙනස් නැතැයි කියන්න පුළුවනි. ඒ අතරින් මැදපෙරදිග තත්වය හැම පැත්තෙන්ම වඩාත් කටුකය; පරිසරය, රැකියාවන් හී පීඩනය හා යාන්ත්‍රික බව ඇති කරන්නේ වචන කල නොහැකි බලපෑමකි. දවස නිමාකර ඉන් මිදී එන ජීවිතයට දුවා දරුවා හා බිරිඳගේ සෙනෙහසින් පිරි කැදැල්ල මොනතරම් අස්වැසිල්ලක් ද විස්තර කිරීම අවශ්‍ය නැත.

පිදුම:
කටුක පරිසරය හා ඔට්ටු අල්ලන දිරිය මිනිසුනට සෙවණක්වී, අසමසම ඔසුවක්වී,  ශක්තිය සපයන
දිරිය කෝමාරිකාවනට ගෞරවයෙන්

Friday, August 19, 2011

රවිඳුනේ දැන් හිනැහෙන්න


රසඳිය කඳේ විඩා නැද්ද
තවත් වරක් රෑ අහසේ තරු අල්ලන්න ද
පාන්දරින් අහස උසට නඟින්නේ
හිරු සේවය දික් වෙච්ච කල නොවැ ගෙවන්නේ 

පාටින් පිරි සොබාදමට සේවය නුඹේ ඉටු වෙච්ච
රතු කහ දම් ලොකු පොඩි ගෙඩි පැණි වැදිලා
ඉඳි තීරුව පල පුදලා සැතපෙන්නට සැරසෙන්නේ
කවදැයි රවිඳුනේ බල අඩු කරලා හිනැහෙන්නේ

කොන්ක්‍රිට් වනේ මුවා වෙච්ච සඳ හොයන්න
උස වීදුරු බිත්තියේ සඳ රැස් දකින්න
ඈත අහසේ තරු බලන්න සිත පොරකන්නේ
උණුහුම් පවන එක්ක යන්න නිශාව අපිට දෙන්න

 පිංතූරය: සොබාදහමේ තවත් අපූර්වත්වයක් - පරිසරයේ ඌෂ්ණත්වය උච්චයටම නඟින කාලයේ ඉඳිගස් තීරුවේ ගසක පලදාව සැර හිරු රැසින් පිච්චී පැණි පිරී ඇති අන්දම මගේ කැමරා ඇසින් හසුකර ගත්තේ අද (19 අගෝස්තු 2011) . උදේ 6.15 හා 7.00 අතර, එතරම් සැර හිරු රැස්...

Wednesday, August 17, 2011

සිංහලින් විස්තර කරන ස්ලයිඩ්-ෂෝ සැකසීම හා අන්තර්ජාලයේ ඉදිරිපත් කිරීම (Slide Sharing)

මෑතක දී පළකළ ප්‍රතාපවත් රටඉඳිගස සහ ඉඳිගස් තීරුව පෝස්ට් වලට අදාළ පිංතූර වලින් සමන්විත විස්තර එකතුව ඉදිරිපත්කිරීමට මා සලයිඩ්-ෂෝ උපයෝගී කරගත්තා. ස්ලයිඩ්-ෂෝ නැරඹූ අය අතර ඒ ගැන උනන්දුවක් දකින්න ලැබුණා. ඊට කලින් වතාවක පවර්පොයින්ට් ප්‍රෙසන්ටේෂනයක් සකස් කරන ආකාරය පියවරින් පියවර විස්තර කරන පාඩම් මාලාවක් (guideline) ගෙන ආවේ ද ස්ලයිඩ්-ෂෝ පෙළක් හැටියට.

රූප හා විස්තර එකතුවකින් සමන්විත ඉදිරිපත්කිරීමක් කරන්න ස්ලයිඩ්-ෂෝ එකක් බොහෝ ප්‍රයෝජනවත්. පිංතූර පේළියක් බ්ලොග් පෝස්ට් එකක් හැටියට අඩංගු කරනවාට වඩා ස්ලයිඩ්-ෂෝ එකකින් ඉදිරිපත් කිරීම වඩාත් ආකර්ෂනීයයි. කියවන්න ද පහසුයි.

මයික්‍රෝසොෆ්ට් පවර්පොයින්ට් (Microsoft PowrePoint) භාවිතා කර අලංකාර ප්‍රෙසන්ටේෂනයක් හදා ගන්න පුළුවන්. එය SlideShare නම් වෙබ් සේවාවෙහි upload කර බ්ලොග් පෝස්ට් එකක, ෆේස්බුක් හෝ වෙනත් වෙබ් පිටුවක share කරන්න හැකියාව ලැබෙනවා. එමෙන්ම SlideShare අඩවියෙන් ද නැරඹිය (view කර) හැකියි.

SlideShare කියන්නේ 2006 වසරේ අගභාගයේදී වෙබ් තාක්ෂණය මුල්කරගෙන පවර්පොයින්ට් ප්‍රෙසන්ටේෂන් share කිරීමට හඳුන්වා දුන් සේවාවකි. පසුකාලීනව upload කරත හැකි ෆයිල් වර්ග අතරට word, pdf ද එකතු විය. ක්‍රම ක්‍රමයෙන් වැඩි දියුණු වූ SlideShare සේවාව අද වෙන කොට ප්‍රධාන ප්‍රෙසන්ටේෂන් share කිරීමේ සේවාවක් හැටියට පත්ව ඇත. ලොව පුරා රාජ්‍ය, වාණිජ හා අධ්‍යාපනික ආයතන SlideShare සේවාව තම දෛනික කටයුතු වලට අදාළ ප්‍රෙසන්ටේෂන් share කිරීමට යොදාගනී. අයකිරීමකින් තොරව ලබාදෙන SlideShare සේවාව ප්‍රෙසන්ටේෂනයක් upload කර බෙදා ගැනීමට ප්‍රමාණවත්ය.

SlideShare හි ෆයිල් upload කිරීමේදී කිසියම් convert කිරීමකට බඳුන් වෙනවා. ෆයිල්හි අන්තර්ගත ග්‍රැෆික් එලෙසම ද ෆොන්ට් සම්මතයකට අනුකූලව ද convert කිරීම සිදුවේ. දැනට ජාත්‍යන්තර භාෂාවන් කිහිපයකින් upload කිරීමට හැකි වුවද සිංහල ෆොන්ට් හෝ යුනිකෝඩ් convert කිරීමක සාර්ථකව සිදුවෙන්නේ නැහැ. ඒනිසා අනුමත මෘදුකාංගයකින් සැකසූව ද සිංහල අකුරු වලින් සමන්විත file එකක් කෙළින්ම SlideShare හි upload කිරීම පලක් නොවේ. ඊට පිළියමක් හැටියට අත් හදා බැලූ සාර්ථක විකල්ප (work-around) ක්‍රමයක් ගැන සාකච්ඡා කිරීමට මින් බලාපොරොත්තු වේ.

සිංහල ෆොන්ට්/යුනිකෝඩ් උපයෝගී කරගෙන ග්‍රැෆික් ඉමේජ් සහිතව මයික්‍රොසොෆ්ට් ප්‍රෙසන්ටේෂනයක් සැකසීම, SlideShare හි upload කර share කිරීම දක්වා පියවරෙන් පියවර; පහතින් දී ඇති ස්ලයිඩ්-ෂෝ එක මගින් ඉදිරිපත් කෙරේ.

ස්ලයිඩ්-ෂෝ හි පියවරයන් මනාව අවබෝධය කරගැනීමට මයික්‍රෝසොෆ්ට් පවර්පොයින්ට් පිළිබඳව දැනුම වගේම සිංහල ෆොන්ට් යොදාගෙන ප්‍රෙසන්ටේෂනයක් සැකසීම ගැන දැනුමක් ද අවශ්‍යවේ. ඒ සඳහා පවර්පොයින්ට් - MS-PowerPoint යොදාගෙන ලස්සන නිර්මාණයක් සැකසීම පොස්ට් එක උපකාරීවේ; ඒ හරහා උවමනා පරිදි අනෙකුත් පොස්ට් කරා යා හැකිවේ.


අවශ්‍ය නම් පහත දී ඇති ස්ලයිඩ්-ෂෝ එක PDF-Document (file size 1.75 MB) ලෙස Download කර ගැනීමට ද පුළුවන.

මේ විෂය සම්බන්ධව තවදුරටත් උදව්වක් හෝ උපකාරයක් අවශ්‍ය නම් කරුණාකර මේ පොස්ට් එක හරහා සාකච්ඡා කරන්න පුළුවනි.

මෙහි දකුණත පැත්තේ පහළ කෙළෙවරේ දකින්නට ඇති හතර මුලුවලට දිස්වූ ඊතල මත ක්ලික් කර Full Screen view කරත හැකිය.

Thursday, August 11, 2011

සියයෙන් බැඳී සැරසෙන ගල්මල්: උණ ගසේ

කොරල්පර වඩාත් ආකර්ෂණීය වෙරළබඩ ජීවින්ගෙන් සැදුම්ලත් රළු රළට ඔරොත්තු දීමට සමත් නොයෙකුත් හැඩ හා පැහැයන් ගෙන් සැරසුණ කොරල් වලින් සැදුම් ලත් පරිසර පද්ධතියකි. එදිනෙදා ව්‍යවහාරයේ කොරල් ගල්මල් යැයි කියැවේ. ගල්මල් සමූහ ලෙස ජීවත්වෙන මුහුදු ජීවින්ගෙන් හා අජීවි කොටස් එකතුවකින් සැකසේ. මුහුදු ජීවියා මියගියද ගල්මල් සැකිල්ලට වූ දායකත්වය එසේම පැවතීම විශේෂත්වයකි, ඉන් කොරල් හි පැවැත්ම වගේම වර්ධනය සැකසේ.


සුනම්‍ය පෙති නැති, පරනොවෙන ගල්මල් සැකිල්ලේ කාලයාත් සමඟ තව තවත් එක්වේ. ඒ පරිද්දෙන්ම මෙම ගල්මල්-Coral බ්ලොග් අඩවිය පියවරෙන් පියවර සෙමින් ගමනක ඇදී ආවේය. ඒ ගමනේ සියවැන්න අද මෙසේ එක් කරන්නේ ගල්මල්-Coral අඩවියේ කුරුටු ගෑ පැදිපෙළක්, කෙටි කතාවක් හෝ ලිපියක් කියවූ ඔබෙන් ගොඩනැගුණ වීව්ස් කවුන්ටරය කැරකෙද්දි කොමන්ටුවක් සටහන් කරන සහෘද ඔබෙන් ලද සහයෝගයෙනි, දිරි දීමෙනි. ඔබට හෘදයාංගම ස්තුතිය මෙසේ පිරිනමමි.


තෙල්පිරිපහදු වල උස චිමිනි වලින් බුර බුරා නඟින ගිනිදැල් හා දුම් කවුළු වලින් නිදහස්වී කළු දුමින් පිරෙන මැදපෙරදිග පරිසරයක හිර වූ යව්වනය නිරතුරුවම භාෂා දෙකකින් කොපි පොත්වල කුරුටු ගෑවිණ. කොළ මත පන්හිඳෙන් අකුරු වූවා තියුණු වෙද්දී 90 දශකයේ මුල් භාගයේ දී තිත තියන්න වුවද සෑහෙන කාලයකට පසුව ලාංකීය ෆෝරමයක 2009 දෙසැම්බර් වලදී පළකළ නිල් සයුර අප මිතුර පදපෙළින් නැවත පටන් ගත්තෙමි. ඒ ෆෝරමයට සීමාවී කටයුතු කරන අවදියක හමුවූ දුකා සහෘදයාගේ උනන්දු කිරීම 2010 මාර්තුවේ ගල්මල්-Coral අඩවිය පටන් ගැනීමට හේතුවක් විය - ස්තුතියි සොයුර. රවා මල්ලියා පළමු ෆලෝවර් ලෙස එකතුවී මුල් කොමන්ටුව ද එක් කළේය. සොඳුරු මිනිසුන් බොහෝමයක් අඳුනා ගත්තෙමි, කාර්‍යබහුල ජීවිතයට බ්ලොග් කලාවෙන් ලැබෙන අස්වැසිල්ල විස්තර කරන්න අවැසි නැත. එහෙත් එදා මෙදා කවි ලිවිල්ල වෙනස්ය.


ගල්මල්-Coral අඩවියට අමතරව මැදපෙරදිග රැකියා සම්බන්ධව කරන විමසුමක් ගෙනෙන්න පතොක් යාය, පියවරෙන් පියවර ඔසවන ජීවන ගමනට දිරියක් දෙන්න අරුණලු|inspirational හා ඉංග්‍රීසි බසින් කරන්න නිර්මාණ සඳහා Amazing Spring නමින් වෙන බ්ලොග් අඩවි ද කරගෙන යන්නෙමි. දැනට තියෙන කාර්යබහුලතාවය නිසා ඒ බ්ලොග් අඩවි පොඩි විරාමයක් ගනී, ඉක්මනින් යථා තත්වයට ගෙනෙන්න බලාපොරොත්තුවෙමි.

ගල්මල්- අඩවියේ දිගහැරෙන සියවන නිර්මාණය:

පවන් සලයි මල් හිනැහෙයි
ගුමු ගුමුවයි සමනල තටු රඟන්නේ
සිහින් සුළං අහුරනු ඇයි
සිලි සිලියයි පවනට නුඹ පුදන්නේ


සුළං සැරයි සියොත් හඬයි
පත් සැලෙයි ගස් අතු ඇඹරෙන්නේ
වියරු සුළං අහුරනු බැහැ
නමා සිරස මාරුතයට ඉඩ හරින්නේ


සුනැමි නුඹ හැම විඳගෙන
අතු විහිඳා අහස උසට නඟින්නේ
උසිනුසට පිය නඟිනු බැරිවා
ලතවෙන උන් අබියස පුරුකක්වී පිදෙන්නේ

පිදුම: ඉහළට නඟින්න තැනෙන අට්ටාලයක උස සකසන්න නැතිනම් කොටසක් දරන්න ජීවිතය කැපකර උණ ගස් වලට වඩා උස, මිටි වූ මිනිසුනට
 
Image Credit: http://www.bamboo-plant.info/bambooplant.jpg

Monday, August 8, 2011

ඉඳිගස් තීරුව

රටඉඳි ගස ගැන තොරතුරු ප්‍රතාපවත් රටඉඳිගස පොස්ට් එකෙන් හා පිංතූර සහිතව වැඩි විස්තර ස්ලයිඩ් ෂෝ එකක් හැටියට කලින් ඉදිරිපත් කරා.


ගොවිපල වගාවට අමතර අලංකාරය (landscape) සඳහා ද රටඉඳි ගස් වවනු ලැබේ. අපි ජීවත් වෙන මැදපෙරදිග දේසයේ එවන් අලංකාරයට වවපු ඉඳිගස් තීරුවක මගේ හිත වඩාත් ඇදී ගිය ගස් කිහිපයක පිංතූර එකතුවක් 'ස්ලයිඩ්-ෂෝ' එකක් හැටියට මෙ මේ සමඟ ඉදිරිපත් කරනවා.


මෙහි දකුණත පැත්තේ පහළ කෙළෙවරේ දකින්නට ඇති හතර මුලුවලට දිස්වූ ඊතල මත ක්ලික් කර Full Screen view  කරත හැකිය.

ප.ලි: මේ පින්තූර එකතුව සාමාන්‍ය ඩිජිටල් කැමරාවකින් ගත් ඡායාරූප වලින් සකසූ එකකි. කිසියම් අඩුපාඩුවක් ඇතොත් සමාකරනු මැනවි. හොඳ කැමරාවක් ගන්න තියෙන අදහසත් හරියට, ස්ලයිඩ්-ෂෝ එකේ දක්වා ඇති කුරු ඉඳිගස්වල පැහෙන රටඉඳි හරියට ඉදෙන්න කලින් නැතිවෙනවා වගේම; හැලී යනවා.

Thursday, July 28, 2011

නූතන වහලා ද නුඹ


කළු ගලින් ගල
කරමතින් ඇද ඔසවන්නැති
කළු ගලේ හැඩි
සුදු කිරිගරුඬ තහඩු වහන්නැති
කළු සිතින් හැඩ
සුසිනිඳු රටා මවන්නැති
කළු අතින් තව
සිහිවටන තැනෙයි හිතෙන්නැති
සුදු තාජ් මහල
සෙවණේ නුඹ අත සිඳින්නැති


කළු රටින් ගාල්කර
රුවල් නැවින් දුර ගෙනෙන්නැති
කළු දුමින් මුවාකර
එවැසි එවුන් පලවාහරින් කියන්නැති
කළු රළු ගෝරයින්
පුරවා ගැඹුරු අගලත් කපන්නැති
කළු ගලින් වටකර
රළත් ජයගෙන උසට බඳින්නැති
සුදු ඕලන්ද කොටුව
සෙමෙන් නුඹ පිටමං කරන්නැති


නිවහල් ලොව අද
ගාල් කරනු මොට ද ඇදවා ගනිතෑකි
නිදහස් ලොව අද
යදම් මොට ද බැඳ තබා ගතෑකි
අවිහිංසා ලොව අද
කස මොට ද හිරකර පෙලතෑකි
කාසිදිලෙන ලොව අද
නුඹ මොටද කහවණු ගෙනතෑකි
දියුණුයි ලොව අද
රුවල් මොට ද පිටමං කලතෑකි

සටහන:
අද ලෝකයේ රැකියා සඳහා සංක්‍රමණය අමුතු දෙයක් නොවෙන විදියට නූතන සමාජ ආර්ථික ක්‍රමය සැකසී ඇත. ඒ සඳහා මිනිස් ශ්‍රමය සැපයුමට ද වක්‍රව හෝ සෘජුව ක්‍රම යෙදී ඇත. අපේ රටටද එහි විශේෂත්වයක් නැත. විදේශ රැකියා සඳහා සංක්‍රමණය ගැන පතොක් යායේ පලකල ලිපියෙන් වැඩි විස්තර කියවන්න පුලුවනි.

මේ වන විට විදේශ රැකියාවල නිරත ලාංකිකයින්ගේ සංඛ්‍යාව මිලියන 1.5 කට අධිකය. ඉන් බහුතරයක් මැදපෙරදිග දේශවල රැකියාවේ නියුතු අය වෙති. මෑත කාලයේ මෙකලාපයේ ඇති වී ඇත්තාවූ නොසන්සුන්තාවයන් නිසා විදේශිකයිනට සපයන රැකියා සීමාකරන තත්වයක් උදාවෙන්න බොහෝ ඉඩ ඇත.

එදා කළු අප්‍රිකාණුවන් බුරුතු පිටින් අල්ලා ගාල්කර වහලුන් හැටියට රුවල් නැව් වලින් පිටමං කර බටහිර අප්‍රිකාවේ සුදු-මැදුර හා සම්බන්ඳ කුප්‍රකට වරාය ගැන ලිපියක් මෙතැනින්.

Wednesday, July 20, 2011

සීමාව


පට්ටම් හැඩකර හිස
පොට දිගේ කඳ
ඉහළ පහළ යායුතුය
හැඩ වුණත් මුරිච්චිය

රළුහකු හිරකර දෙපැත්තක
වෙරෙන් තදකරනා කල
සීරුවෙන් නොයා කෝමැයි
පොටපැන හිරවෙනු බෑමයි

යකඩ මෙවලම හැඬි පෙලුවද
සෙලවෙන්නට හිදැස් නැතිවා
පිපිරුණොත් සඩැස් මුරිච්චිය
දරාගනු බැරිවා තවත් තාඩන

කඩාවැටුන ද දෙපිළ යාකල
ගිලිහුණොත් රළුහකු මෙවලම
විසුනුව බල නැතිකර ගැම්ම
හිතාගනු බැහැ වෙන වින


පසුබිම: බොල්ට් ඇණයක් පයේ මහපට ඇඟිල්ලෙන් රඳවාගෙන ගොරහැඬි හකු ඇති ස්පැනර් දෙකක් එක්ක ඔට්ටු අල්ලන වයසක අයෙක්...

Image Credit:
http://image.tradevv.com/2010/09/01/suyurailroad3_1608075_600/stud-bolt-with-hexagonal-nuts.jpg
http://www.intelligentvending.co.uk/vending-machine-maintenance-service.htm

Saturday, July 2, 2011

හිතේ ඇඳි දියුණුවේ සිතුවමක්


ගඟබඬ වෙල්යායේ සිරිසිරිය
බරින් බරට පැහුණ රන්වන් වී කරල
තුන් කන්නෙම පල රැකදුන්න
අතු ගඟ ගමට එක් කළේ ආසිරිය

පිළිකන්නේ කොරටුවලින්
ලැබුණා ගමටම කිරි බිත්තර
ඇලබඬ කොටුවට සරු පොහොර
යසට වැඩුණා එළවළු පලා පලතුරු

නෙලා ගෙනා වට්ටි අම්මලා
කොස් පොලොස් ද එක්කර
සිනාමුවින් ගෙන් ගෙට යමින්
විකුණා ගත්තේ අත සරුවට

උඩුගම් ගංවතුරෙන් බේරන්න
හූරා ගං පතුලේ තාරවන් මඩ
පිරෙව්වා වෙල්යායන්
උස්සා උසට ජල තලයෙන්

යන්තර සමවිය කඩිසර චීන්නු
සිනාමුවින් අඳුරෙත් වැඩ කෙරුවෝ
යන්තරේ බර අඩුකළ අපේ ඇත්තෝ
එළිපිටම ඩීසල් ගැලුම් ගෙන බැස්සෝ

හිස සැලුණ ගං කොමලිය
පසුකරා ඉරිතැලුන වෙල්යායන්
ගොවි රජුන් උන්නා බලා
මතුවෙනතුරු මනි ඕඩර තැපෑලෙන්
 
සටහන: ළමා කාලයේ මතකය ඔස්සේ ආපස්සට යමින්.... 70 දශකයේ මැද දී දුටු සංවර්ධන වැඩපිළිවෙළක් ගැන හිතේ ඇඳුණ චිත්‍රයක් මෙම පදපෙළට හේතුවිය.
 
Image Credit: http://www.jillstanek.com/

Friday, June 10, 2011

සුවඳ දුම්


ජයගෙන රළු සුළඟ
නිවුන ගිනි සිළුව
අළු යට සැඟව
රත අඟුරු
දවා අගිල් සඳුන්
විහිදන මුදු සුවඳ

Image Credit: http://incensemaking.com/

සටහන:
මුදු සුවඳක් සුළඟේ ඇවිත් නාස්පුඩුවල ගැටෙද්දී මොනතරම් නම් සිහිල් සුවයක් දැනෙනවද... සොබාදහම විසින් පරිසරය අලංකාර කරන ගස් වැල්, මල්, ආදී අනේක සුවඳ උපදවන දේ දායාදය කරලා තියෙන්නේ ඒ ප්‍රියජනක දැනීම ලෝක වාසීන්ට හිමිකර දෙන්න වෙන්න ඕනේ. ඉන් විඩාබර ජීවිත සනහාලන්න, සුවපත් කරන්න වෙන්නෙ ඕනේ.


ඒ වගේම මේ ලෝකය සුවඳවත් කරන්න දැවෙන, ක්ෂයවෙන දේ ද බොහෝමයි. ඒ කැපවීම මුල් කරගෙන කල පොඩි පදපෙළක් සුවඳ දුම්. කබලක දැවෙන අඟුරු කෑල්ලක්, ඉන් නැගෙන සුවඳ දුමකින් වටාපිටාව සුවඳවත් කෙරෙන අන්දම... ඉන් කියැවෙන ගැඹුරු අදහස් කිහිපයක් මේ නිර්මණයට මුල් වුණා.


දුම් කබලක් කියද්දී ලාංකික අපේ සිතට එන්නේ පොල්කටු අඟුරු දැවෙන කබලක් වුණත් පහසුවෙන් සුවඳ දුම් ඇතිකරන්න පුළුවන් පරිදි සකස් කරන ලද අඟුරු වර්ග ද ඒවා දැවිය හැකි අනේක මොස්තරවල කබල වර්ග ද වෙළෙඳ පොලින් ලබාගන්නට තියෙනවා. ලොව පෙරදිග සිට අපරදිගටත් නොයෙකුත් සමාජ සංස්කෘතීන් තුළත් අනේක විදි සුවඳ දුම් භාවිතය දකින්න පුළුවනි.


ගල් අඟුරු, පොල්කටු අඟුරු, වියළි අතු කෑල්ලක් වැනි මොනවා වුනත් ගින්නට හසු වූ විට බුර බුරා නගින ගින්නේ දැවෙනවා. වටා පිටාවේ හමන සුලඟ ඒ ගින්න වැඩි කරන්න පුලුවන් වගේම සුළඟ සැර පරුස වෙද්දී නිමෙන්නත් පුලුවනි. ගිනි දලු ජය ගන්නේ නම් අලු ගොඩක් බවට පත්වේවි ඉක්මනටම, ඒ හටනේ දී ගිනි සිළුව නිවුනාම ඇතිවෙන්නේ ගිනියම් වූ අඟුරු කෑල්ලක්...


ගිනි ගත් අඟුර පවනේ ගැටී දැවෙද්දී ඇතිවෙන්නේ අළු, තම නැතිවීම පමා කරන්න පුලුවන් ක්‍රමයක් හැටියට අඟුරු කෑල්ල අළුයට ආවරණය ලබනවා. ඒ ගිනියම් වූ අඟුර මත ගිනිගන්නා සුළු දෙයක් වැටුනාම ගිනි ජාලයක් ඇතිවෙන්න පුලුවන්. සුවඳ උපදවන දෙයක් වැටුනාම කෙමෙන් කෙමෙන් දැවී සුවඳ විහිඳුවන්නත් පුලුවන්. නැතිනම් ඔහේ දැවී යන්නත් පුලුවන් නේද?


අගිල් හා සඳුන් (පහත කොමන්ටුවක මේ ගැන විස්තර කර ඇත) කියන්නේ දැවෙද්දී ප්‍රියජනක මුදු සුවඳක් නිකුත් කරන ගස් වලින් ලබාගන්නා, වියලාගත් පතුරු විශේෂයක්. ඒ වගේම මිල අධික ද්‍රව්‍යයක්. ඒ නිස ම ඒ සුවඳ විඳින්න පුළුවන් වෙන්නේ අතමිට සරුසාර හා වරප්‍රසාද හිමි අයටයි.


තවද, තම පවුලේ උදවියගේ සුබසිද්ධිය උදෙසා අනේක කම්කටොලු වලට මුහුණ දෙමින්, හැම විඳ දරාගෙන සුවඳ විතරක්ම විහිඳන අයත් අරකී දැවෙන අඟුරු හා සම නොවේද?

පදපෙළින් තවත් අදහස් මතුවෙන්නත් බැරි නැහැ...

Thursday, June 2, 2011

ප්‍රතාපවත් රටඉඳිගස - ස්ලයිඩ් ෂෝ

මේ තියෙන්නේ රටඉඳිගස ගැන පිංතූර හා තොරතුරු එක්තුවකින් සැකසූ ස්ලයිඩ් ෂෝ එකක්. මෙහි දකුණත පැත්තේ පහළ කෙළෙවරේ දකින්නට ඇති හතර මුලුවලට දිස්වූ ඊතල මත ක්ලික් කර Full Screen view කරත හැකිය.




මෙය ප්‍රතාපවත් රටඉඳිගස පොස්ට් එක හා සම්බන්ධ ස්ලයිඩ් ෂෝ එකයි. Embed කරවිට Comment කිරීමේ ප්‍රශ්ණයක් මතුවෙන නිසා පොස්ට් එකෙන් ඉවත්කරන්න සිදුවුනා. ඒත් බලන්න පහසු ලෙස මෙසේ වෙනම පොස්ට් කරනවා. කොමන්ට් කිරීමට ප්‍රතාපවත් රටඉඳිගස පොස්ට් එකම යොදාගන්න පුලුවන්.

Wednesday, June 1, 2011

ප්‍රතාපවත් රටඉඳිගස

රටඉඳි මදුලක් කියන්නේ රසබර වගේම ගුණපිරි වියළි පළතුරක්. පොල්, පුවක්, තල්, කිතුල් වගේ තාල (palm) වර්ගයට අයත් වුනත් රටඉඳි ගහ (date palm) වියළි දේශගුණයක් ඇති කාන්තාර ආශ්රිත පරිසරයේ වැඩෙන ගහක්. නොයෙකුත් වර්ග දහස් ගානක් ඇතැයි සඳහන් වෙන රටඉඳි, වසර 6000 තරම් ඈත අතීතයකට උරුමකම් කියන පර්සියානු බොක්ක (මැදපෙරදිග) ආශ්රිත ප්රදේශයට ආවේණික ගහක් හැටියට ගැනෙන අතර 17වන සියවස කාළයේ දී ස්පාඤ්ඤ මිශනාරිවරුන් විසින් ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්රාන්තය හා උතුරු මැක්සිකෝ දේශයට රැගෙන ගොස් හඳුන්වා දී ඇතැයි කියැවේ.


Phoenix Dactylifera කියන උද්භිද විද්‍යාත්මක නමින් හැඳින්වෙන ඉඳිගස උතුරු ඇමෙරිකානු කලාපය, මැදපෙරදිග දේශය, ඉන්දියාවෙන් පටන් පාකිස්තානය බටහිර ආසියාතික කලාපය පුරාද මහා පරිමාණ වගාවක් සේ පැතිර ඇත.


පරිණත ඉඳිගසේ කඳ සාමාන්යයෙන් සෙන්ටිමීටර 90ක් විතර විශ්කම්බයක් ඇතිව මීටර 15-30 උසක් දක්වා වැඩෙන අතර කඳ වටා සර්පිලාකාරව සැකසුන වියළී හැලුන අතුවල කොටස් දකින්න පුලුවන්. පොල් ගහක අතු පිහිටන ආකාරයට කඳ මුදුනේ අතු සියයක් විතර විසිරී පිහිටන ඉඳි අත්ත පිහාටුවක හැඩය එහෙමත් නැතිනම් පොල් අත්තක හැඩය  ගනී. මීටර් 3-5ක් පමණ දික් වෙන ඉඳි අත්තේ පිත්ත  දිගේ ඉරටුව දරන පොල් කොළ වලට සමාන සෙන්ටිමීටර් දෙකක් පමණ පලලින් 30ක් පමණ දිග ඉඳිකොළ සැකසෙනවා. වැඩෙන පරිසරයට ඔරොත්තු දෙන්න පුලුවන් අන්දමට වෙන්න ඇති ඉඳි කොළ ඝණකමින් වැඩියි, පොල් ඉරටු තරම් ශක්තිමත් මැද නාරටියක් නැතත් කොළයේ අග්ගිස්ස තියුණු උලක් වගේය.


රටඉඳි පලතුරක් හැටියට ගැනෙන අතර ඉංග්රීසියෙන් ඩේට්ස් (Dates), අරාබියෙන් තමූර් (Tamoor) හැටියටත් හින්දි හා උර්දු බසින් කජූර් (Khajoor) හැටියටත් හඳුන්වයි. රටඉඳි ඇටයෙන් පැලවෙන ගස ගැහැණු හා පිරිමි ගස් ලෙස ඒකලිංගික මල් දරණ ගස් වේ. පමණක් පත පොතේ සඳහන් වෙන්නේ ගැහැණු මල් කහ පැහැ වෙන අතර පිරිමි මල් සුදු පැහැ බව වුනත් අනෙකක පැහැ වෙනස දැකිය නොහැකි බව කියයි. ඉඳිමල් පොල්, පුවක් වගේම රෑන් ලෙස හටගනී. ගැහැණු ගස ඉඳි පල දරන අතර පිරිමි ගස පරාගනයට උවමනා මල් සඳහාම පමණක් වේ.


ස්වභාවිකව සුලඟ මගින් පරාගනය සිදුවෙන නමුත් ගොවිපල වගාවන්හි දී කෘතීම ක්රමයන් උපයෝගී කරගනී. සඳහා යන්ත්රාණුසාරයෙන් ඇතිකරන සුළං, පිරිමි මල් කපා ගහ මුදුනේ පරාග ඉසීම හෝ මල් රෑන ගහ මුදුනේ ගැට ගැසීම වගේ දේවල් කරන බව කියයි. මහා පරිමාණ වගාවන් හිදී පලදරන ගැහැණු ගස පමණක් වවන්න උනන්දුවෙන බව , ඔවුන් වෙලෙඳ පොලින් ලබාගත හැකි පිරිමි ඉඳිමල් යොදා ගන්නා බව කියැවේ.


ගොවිපල වගාවේ දී ඉඳිපැල; ඇට පැල කිරීමෙන් වගේම පරිණත ගස්වලින් ඇතිවන පැල යොදා ගෙන ද ඇතිකරයි. ඊට අමතරව නවීන කෘෂීතාක්ෂණික ක්‍රම උපයෝගී කරගෙන නොයෙකුත් විශේෂ නිපදවයි. ඉඳිඇට වලින් තොරව වැවෙන ගස්වලින් ඉක්මන්නින් හා වැඩි පලදාවක් වගේම උසස් තත්වයේ පල ලැබෙන බව මතයක් ද ඇත.


දිගින් සෙන්ටිමීටර් 3-7ක් පමණ ද ඝණකමින් සෙන්ටිමීටර් 2-3ක් ඔවල් හැඩයෙන් වෙන ඉඳි අමු අවදියේ දී කොළ පැහැය (අමු වෙරළු වගේ), මෝරන ගෙඩි ක්‍රමයෙන් කහ, රතු හෝ ඒ පැහැ දෙකම සම්මිශ්‍ර ලස්සන පාටක් ගනී. කහට ගතිය පිරුණ ගෙඩි ක්‍රමයෙන් ඒ රතු, දම් පාට ගැහී ඉදෙන්න මාස 6ක් විතර ගත වෙනවා.


මැදපෙරදිග උශ්ණාධික පරිසරය හා ඉඳිගස දේශගුණික තත්වය ඉතා සමීපව පිලිබිඹු කරනවා කිව්වාම හරි. උශ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 26-29 අතර ඇති සීතකාලය ගෙවෙද්දී ඉඳිගස් වලත් පොල් පැලවල වගේම මල් මතුවී සුදු, කහ මල් රෑනින් කඩා හැලෙන්න පටන් ගන්නවා, ගස් වල වර්ගය අනුව වෙරළු ගෙඩි වගේ වටකුරු, දිගැටි අමු ගෙඩි පිරෙන්නේ හරිම ලස්සනට. ඒවා මෝරනවා බලන්න උඩට යනවා වගේ රසදිය කඳ උඩට යමින් පරිසරයේ උශ්ණත්වය ඉහළ යනවා. කහ, රතු ඉඳිගෙඩි තව තවත් ලස්සන පාට ගන්නේ උශ්ණත්වය ඉහළ යන තරමට. ඒ ගෙඩි හොඳට මෝරා දිලිසෙද්දී වසරේ ඉහළම ඌශ්ණත්වය සටහන් වෙලා දවා සති ගානක් පවතින්නේ රටඉඳි පොකුරු දම්පාට වෙලා පැණි පිරෙන්න. පරිසරය හා බැඳි මිනිසුන් ඉඳි ගහ දිහා බලලා දේශගුණික තත්වය කියන්න පුරුදු වෙන්නේ එහෙමයි.



රටඉඳි වර්ග අනුව පලය වෙනස් නම් වලින් හඳුන්වයි. තවද ඒ ඒ වර්ග අනුව හැඩය, පාට ද මදුලේ ප්‍රමාණය හා ගණකම වෙනස් වේ. රටඉඳි වර්ග ගැන පිංතූර හා වැඩි විස්තර මෙතැනින් දැනගත හැකියි. තවත් එවැනි විස්තර සපයන තැනක් විකිපීඩියාව.

කාලාන්තරයක් තිස්සේ ලංකාවට රටඉඳි සැපයූවේ ඉරාකය විසිනි, මෑත කාලයේ ඒ කාර්යය සවුදි අරාබිය හා ඉරානය විසින් ඉටුකෙරේ.


ලාංකික ජන ජීවිතයේ පොල් අතු පාවිච්චිකරීම වගේ වහල සෙවිලිකීරීමේ සිට නොයෙකුත් ආවරණය කිරීමේ කාර්යයන් සඳහා ඉඳිඅතු යොදාගෙනී.

මේ තියෙන්නේ රටඉඳිගස ගැන පිංතූර හා තොරතුරු එකතුවකින් සැකසූ ස්ලයිඩ් ෂෝ එකක්. එය embed කරවිට කොමන්ට් ෆොර්ම් හි ඇතිවූ ප්‍රශ්ණයක් නිසා ස්ලයිඩ් ෂෝ එක මෙතැනින් ඉවත් කරන්න වුනා. මේ ලින්ක් එක මගිනුත් ස්ලයිඩ් ෂෝ එකට යත හැකිය: රටඉඳිගස - Date Palm - Slide Show.